හදවත්වල සිටින මාරයා පරාජය කළ යුතුය.

විපුල අබේසිංහ.

අපේ පුංචි මාමා ඇත්තටම පුංචි මනුස්සයෙක්. මම දන්න කාලේ වෙනකොට පුංචි මාමා කටුමැටි ගෙයක ජීවත් වුණේ, සරල මනුස්සයෙක් විදියට. වාමාංශික දේශපාලනය ගැනත් මාමාගේ පොඩි උනන්දුවක් කුතුහලයක් තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට පුංචි මාමා 71 හිරෙත් හිටිය. පුංචි මාමා සමහර වෙලාවට තියුණු උපහාස කථා කියනවා. එහෙම කියපු එක කථාවක් තාමත් මට මතකයි. “ස්ටාලින්ට පඩයක් ගියාම මෙහෙ ඉන්න අපේ සමසමාජ නායකයෝ කියනවා අන්න අපේ නායකයාගේ සුවඳ ආඝ්‍රාණය කරපල්ලා කියලා” මේක කියපු පුංචි මාමා හක හක ගාලා හිනා වුණා. මමත් මාමත් එක්ක හිනාවුණේ ඒකේ තිබුණ සරල හාස්‍ය අල්ලගෙන. එහෙත් ඒ කථාවේ තිබුණු ගැඹුර මට දැනෙන කොට මාමා මැරිලත් දශක තුනක් විතර ගිහිල්ල තිබුණා.

මාමා එදා ඒ කියපු කථාව අදටත් හොඳට ගැළපෙනවා. රනිල්ට වාතයක් ගියාම UNP  එකේ නායකයෝ ඔක්කොම කියන්නේ අපේ නායකයගේ සුවඳ ආඝ්‍රාණය කරපල්ලා කියලා. UNP  නොවන ඔක්කොම කියනවා අන්න අරූපැහැරුවා ගඳේ බෑ කියලා. මෛත්‍රීට වාතයක් ගියාම මෛත්‍රී වටේ ඉන්න ඔක්කොම කියනවා අන්න අපේ නායකයාගේ සුවඳ ආඝ්‍රාණය කරපල්ලා කියලා. මෛත්‍රී විරෝධී ඔක්කොම කියනවා අන්න අරූ පැහැරුවා ගඳේ බෑ කියලා. මහින්ද වාතයක් ඇරියත්, අනුර කුමාර වාතයක් ඇරියත් මේ කථාව මෙහෙමම තමයි. මේ රටේ පුරවැසියෝ තම තමන්ගේ පක්ෂ පාට අනුව මේ සියලු කථා පිළිගන්නවා. තමන්ගේ නායකයා ඇරිය වාතය ගඳයි කියලා පක්ෂ අනුගාමිකයාට තේරෙන්නෙ නෑ. අපේ රටේ මිනිස්සුන්ට පක්ෂය කියන්නෙ හරියට ආගම වගේ ඇදහිල්ලක්. විචාර බුද්ධියෙන් ඒ දිහා බලන සිරිතක් අපිට නෑ. තමන්ගේ පක්ෂය මොන මොන වැරදි කළත් ඒ වැරදි වැරදි විදියට කිසිම වෙලාවක දකින්නෙ නෑ. ඒකේ අනිත් පැත්ත තමා තමන්ගේ නොවන පක්ෂය මොනතරම් හරි දෙයක් කළත් ඒක නිවැරදි දෙයක් විදියට දකින්නෙ නෑ. 

UNP  එක මොනව කළත් UNP පාක්ෂිකයට ඒ ඔක්කොම හරි. කිසි වැරැද්දක් නෑ. ශ්‍රී ලංකා එකට UNP කරන ඔක්කොම වැරදියි. කිසි හොඳක් නෑ. ශ්‍රී ලංකා එක කරන සියලුම දේ  UNP එකට වැරදියි. හොඳ එකක්වත් නෑ. ශ්‍රී ලංකා පාක්ෂිකයට සියලුම දේ නිවැරදියි වැරදි එකක්වත් නෑ. යම්කිසි පුද්ගලයෙක්ව විනාශ කරන්න තියන හොඳම ක්‍රමය තමා ඒ පුද්ගලයා කරන කියන සියලුම දේ හරියි කියල කියන එක. අපේ දේශපාලන පක්ෂවලට වෙලා තියෙන්නේ මෙන්න මේ දේ. අන්ධ අනුගාමිකයන් විසින් අවිචාරීව සියලුම දේ හරියි කියන එක භයානක තත්ත්වයක්. දේශපාලන පක්ෂයක් වැරැද්දක් කළාම මුලින්ම ඒක වැරදියි කියන එක පැවසිය යුත්තේ පක්ෂය තුළ සිටින පක්ෂ සාමාජිකයන්. එහෙම විචාරශීලී වටපිටාවක තමයි පක්ෂය නිවැරදිව කටයුතු කරන පක්ෂයක් බවට පත්වෙන්නේ. එහෙත් අපේ රටේ නොවෙන්නෙම ඒක. මට හිතෙන්නෙම LTTE  එකේ හිටපු මරාගෙන මැරෙන සොල්දාදුවෙකුයි අපේ පක්ෂ සාමාජිකයොයි අතර ලොකු වෙනසක් නෑ කියල. දෙන්නම කරන්නේ විචාරශීලී බවකින් තොරව පක්ෂය කියන ඕනෙම දෙයක් නිවැරදියි කියල කියන එක. මේක කොච්චර භයානක තත්ත්වයක්ද කියල කියනව නම් කප්පම් ගන්න අහිංසක ළමයි උස්සල මරලදාපු මිනීමරුවො, රණවිරුවො කරන්න හදන්නෙ හරියට දරු දුක දන්නෙ නැති තිරිසන්නු ගාණට.

අපේ රට සිවිල් යුද්ධ තුනකට මුහුණදීපු රටක්. බෙදුම්වාදය විදියට එළියට ආවත්, සමාජවාදය විදියට එළියට ආවත් මේවා රටේ ඇතිවෙච්ච සිවිල් යුද්ධ. ඒ කියන්නේ මේ රටේ තරුණයන් තුන්පාරක් ආයුධ අතට ගත්තා කියන එකයි. මේ සිවිල් යුද්ධ තුන ඇතුලේ ඕනෑම කෙනකුට අධිරාජ්‍යවාදය, බෙදුම්වාදය, NGO,ත්‍රස්තවාදය, සිංහලයන්ගේ සිංහලකම විනාශ කිරීමේ කුමන්ත්‍රණ මේ ඕනෑම කථාවක් හදාගන්න පුළුවන්. ඒ වුණාට නිවැරදිම පින්තූරය දකින්න නම් මේ යුද්ධ තුන එකක් විදියට, ඒ කියන්නේ මේ රටේ තරුණයන් තුන්පාරක් ආයුධ අතට ගත්තා කියන කෝණයෙන් බලන්න ඕනෙ. රටක් දියුණු වෙනවනම්, දියුණුවේ ප්‍රතිඵල මහජනයාට ලැබෙනව නම් මොකටද මිනිස්සු ආයුධ අතට ගන්නෙ. කාලා බීලා දරුමල්ලොත් හදාගෙන විනෝදයෙන් ජීවත් වෙන්න තියෙද්දී ආයුධ අතට අරගෙන ඇයි දුක් විඳින්නේ. අනෙක් ඔක්කොම මිමි අහක දාලා අපේ රට පහුගිය අවුරුදු 70 තිස්සේ ගියේ කොයි පාරෙද කියලා මැනගන්න පුළුවන් මේ යුද්ධ ගැන අපි හරි කෝණයෙන් බැලුවොත්. මේ නිසා මොනතරම් ජීවිත විනාශ වෙන්න ඇද්ද? ඒ ජීවිත ඇතුලේ, සිරිල් පොන්නම්පෙරුමලා, අමරදේවලා, සුසන්තිකාලා, කීදෙනෙක් අපිට නැතිවෙන්න ඇද්ද? කොච්චර බුද්ධිමතුන් උගතුන් අපට අහිමි වෙන්න ඇද්ද? කොහෙන්ද අපි ඒ හිඩැස ආයෙත් පුරව ගන්නෙ. මට හිතෙන්නේ ආයේ කවදාවත් ඒ අඩුව පුරවාගන්න අපිට බැරිවෙයි. විනාශ කරන්න ලේසියි, නමුත් නිර්මාණය කරගන්න හරිම අමාරුයි.

සුද්දා මේ රටට එද්දී මේ රටේ තිබුණේ වැඩවසම් ක්‍රමයක් ඒකත් දිරාපත් වෙලා. නීතිය කියන්නේ රජ්ජුරුවන්ගේ කැමැත්ත විතරයි. ඉඩම් ඔක්කොම රජ්ජුරුවන්ගේ. රටේ පුරවැසියන්ට කියල කිසිම දෙයක් නෑ. අඩුම ගාණේ කැමති ඇඳුමක් අඳින්නවත් අවසර නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට අකුරු ඉගෙනගන්න පාසල් ක්‍රමයක් තිබුණෙ නෑ. තිබුණේ පිරිවෙන් විතරයි. ඒකෙන් ඉගෙනගන්න පුළුවන් වුණේ හාමුදුරුවරුන්ටයි රටේ ප්‍රභූ පවුල්වල අයටයි විතරයි. සුද්දා මේක උඩුයටිකුරු කරනවා. පුරවැසියා රජ්ජුරුවන්ගෙන් නිදහස් වෙනවා. කැමති රස්සාවක් කරලා මුදල් හම්බ කිරීමේ නිදහස හම්බ වෙනවා. වැදගත්ම දේ තමයි අපට පාර්ලිමේන්තු ක්‍රමයක් ලැබීම. රට පුරාම දියුණු මාර්ග පද්ධතියක් හැදෙනවා. හොඳ දුම්රිය සේවයක් අපට ලැබෙනවා. කොළඹ නගරයට ට්‍රෑම්ප් කාර් සේවයක් වගේම ට්‍රොලි බස් සේවයක් ලැබෙනවා. හොඳ පාසල් පද්ධතියක් ලැබෙනවා. අධිකරණ ක්‍රමයක් ලැබෙනවා. දියුණු වරායක් ලැබෙනවා. ආසියාවේ ඒක පුද්ගල ආදායම අතින් අපි දෙවැනි වෙන්නේ ජපානයට විතරයි. තිබුණේ එකම විශ්වවිද්‍යාලයක් වුණාට ඒක ආසියාවේ ඉහළම තැන තිබුණා. කොටින්ම 1948 සුද්දා මේ රට අපිට භාර දෙනකොට අපි ආසියාවේ දිලිසෙන රටක්.

අපේ රට අපි පාලනය කරන්න අරගෙන දැන් අවුරුදු හැත්තෑවක්. අවුරුදු හැත්තෑවකට පස්සෙ දැන් අපි කොහෙද ඉන්නෙ. ඒක පුද්ගල ආදායම අතින් අපි ආසියාවේ ඉන්නේ පහළම තැනක. තම ගෞරවය නැතිකර ගත්තු, පාර්ලිමේන්තුව හැම පුරවැසියෙක්ම උපහාසයෙන් බලන තැනක් වෙලා. අධිකරණය කියන්නේ අකාර්යක්ෂමතාව හින්දා මහජනයාට දැඩි පීඩාවක් දෙන මහජන විශ්වාසය කඩකළ ආයතනයක්. අපේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත වෙන්නේ ආසියාවේ පහළම තැනක. දුම්රිය සේවය හරියට අංශභාගය හැදිච්ච ලෙඩෙක් වගේ. ජන අනුපාතයට අනුව වැඩිම රාජ්‍ය සේවක සංඛ්‍යාවක් ඉන්න රටක් වෙලත් වැඩක් කරගන්න ගියාම පැය ගණන්, දවස් ගණන්, ආණ්ඩුවේ කන්තෝරුවල මිනිස්සු රස්තියාදු වෙනවා. තියන සම්මත මිමිවලින් මැන්නත් සාමාන්‍ය පේන විදියට බැලුවත් අපි දැන් ඉන්නේ ආසියාවේ පහළම තැනක. අපිට පහළින් හිටිය ගොඩක් රටවල් අපිව පහුකරගෙන ගිහිල්ලා. අවුරුදු 70ක් තිස්සෙ අපේ නායකයෝ ගහපු කයිවාරු, පුරසාරම්වල අවසාන ශේෂ පත්‍රය තමයි දැන් අපට පේන්න තියෙන්නෙ.

වාහනයක ටයර් එකේ හුළං ගියාම අපට ටයර් එක මාරු කරගන්න පුළුවන්. බැටරිය නරක් වෙලානම් බැටරිය මාරු කරගන්න පුළුවන්. බඳ දිරලා නම් ඒකත් හදාගන්න පුළුවන්. එන්ජිමේ දෝෂයක් නම් මුළු එන්ජිමම වුණත් දාගන්න පුළුවන්. ඒක් වාහනයක ටයර් හතරෙම හුළං ගිහිල්ල, බැටරියත් නරක් වෙලා, බඳත් හොඳටම දිරලා, එන්ජිමත් හොඳටම නරක් වෙලා තිබුණොත් සම්පූර්ණ අලුත්වැඩියාවකින් තොරව අඟලක්වත් වාහනය ඉස්සරහට ගන්න බෑ. මම හිතන්නේ දැන් ලංකාව තියෙන්නෙත් ඒ වගේ තත්ත්වයක. පාර්ලිමේන්තුවත් කුණුවෙලා, අධිකරණයත් කුණුවෙලා, සියලු රාජ්‍ය ආයතනත් කුණුවෙලා, පුරවැසියොත් හොඳටම කුණු වුණහම අපිට තව අඟලක්වත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ නෑ. ඉදිරි ගමනක් ගැන අපි හිතනවනම් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් නොකර අපට ඒ ගමන යන්න බෑ. අපි හැමදාම කරපු විදියට මාරුවෙන් මාරුවට පක්ෂ මාරු කරලා දැන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. පහුගිය අවුරුදු හැත්තෑවෙම අපි කළේ ඒක.

ලංකාව අද පත්වෙලා තියෙන භයානක තත්ත්වය ගැන හරි වැටහීමක් වර්තමාන නායකයන් කිසිම කෙනකුට තියෙනවා කියල මම හිතන්නේ නෑ. ඉතිහාසය පුරාම අපිට හිටියෙ ලොකු දැක්මක් නැති පුංචි නායකයන්. අද වෙනකොට ලංකාවේ ඉන්න සියලුම ජනතා නියෝජිතයින් අන්ත දූෂිතයි කියල කියන්න පුළුවන්. ඒ අර්ථයෙන් බැලුවොත් ලංකාවේ තියන සියලුම දේශපාලන පක්ෂ පටු අරමුණු පෙරදැරි කරගත් අන්ත දූෂිත සංවිධාන කියලා හිතන්න පුළුවන්. දැනට තිබෙන මොනම දේශපාලන පක්ෂයකටවත් ලංකාව මුහුණදී ඇති මේ අර්බුදයට විසඳුම් ඇත්තෙ නෑ. ඒ නිසා මේ දේශපාලන පක්ෂ නැවත නැවතත් බලයට ගෙන ඒමෙන් සෙතක් සැලසෙන්නේ නෑ. අප තේරුම් ගතයුත්තේ මේ යථාර්ථයයි. මේ යථාර්ථය තේරුම් ගත්තු දියුණු දේශපාලන සවිඥානකත්වයක් තියන මිනිසුන් අපේ සමාජය ඇතුලේ විසිරිලා සිටිනවා. මේ සියලුම පිරිස ඒකරාශී කරන තැනකට අප යා යුතුයි. ගම් මට්ටමෙන් පුරවැසි සංවිධාන ගොඩනගාගත යුතුයි. ඉන් අනතුරුව මුළු රටේම ඇති එවැනි පුරවැසි සමාජ ජාලගත කරගැනීම අවශ්‍යයි. ලක්ෂ ගණන් මිනිසුන් ඒකරාශී වන සමාජ ව්‍යාපාරයකින් කළහැකි බලපෑම අති විශාලයි. පළමුවෙන්ම අපි තේරුම් ගතයුත්තේ පරාජය කළ යුතු මාරයා සිටින්නේ අපේ හදවත්වල මිස පාර්ලිමේන්තුවේ නොවන වගයි. අපේ හදවතේ සිටින මාරයා පරාජය නොකර පාර්ලිමේන්තුවේ ඉන්න මාරයා පරාජය කළ නොහැකියි. වර්ගවාදී මාරයා, කුලභේදය කියන මාරයා, විතරක් නොව මුළු සමාජයම වෙලාගෙන සිටින මිථ්‍යාව කියන මාරයත් පරාජය කළොත් විතරයි අපට දියුණු සංස්කෘතික මිනිසෙක් වෙන්නට හැකිවෙන්නෙ. එවැනි දියුණු මානවයන්ට පමණයි ලංකාව ගොඩනගන දියුණු සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීමට පුළුවන් වෙන්නෙ. නව ග්‍රී ලංකාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය දැක්මක් සහිත හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අප හට නිර්මාණය කර ගනිමින් ලක්ෂ ගණන් මිනිසුන් එකතු කරගැනීමට හැකි නම් ආණ්ඩු බලයට උඩින් ගිය ලොකු බලයක් නිර්මාණය කරගත් විකල්ප සමාජ ව්‍යාපාරයක් අපිට ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ගොඩනගාගත් එවැනි සමාජ ව්‍යාපාරයක් තුළින් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරගත යුතුයි. ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය මෙම මාර්ගය පමණයි.