රාවය

කුණුවීම හා දර්ශනයේ දුගීකම

කුණුවීම හා දර්ශනයේ දුගීකම

වික්ටර් අයිවන්

මීට දශක කිහිපයකට පෙර ලොකු ගරු ගාම්භීරත්වයක් හිමි කරගෙන තිබූ රටේ ආයතන ක්‍රම සියල්ලක්ම පාහේ මේ වනවිට එම ගරුගාම්භීරත්වය අහිමිකර ගනිමින් හාස්‍යජනක විගඩම්කාර තත්ත්වයක් හිමිකරගෙන තිබෙන්නේ යැයි කිව හැකිය. එම හාස්‍යජනක තත්ත්වයේදී අංක 1 බවට පාර්ලිමේන්තුව පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යන විෂය ක්ෂේත්‍රයද ලංකාවේ සාමාන්‍ය ජනයාට පමණක් නොව උගතුන්ට පවා හොඳින් තේරුම් ගැනීමට නොහැකිව තිබෙන ප්‍රහේළිකාවක් ලෙසද සැලකිය හැකිය. 19 වැනි සංශෝධනයක් වෙනුවෙන් පෙනී සිටි ඒ අදහස කරළියට ගෙනා උගතුන්ගේ සිට ඒ අදහස වෙනුවෙන් පෙනී සිටි සියලුදෙනාම පාහේ ඒ මගින් විධායක ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත්කරන විධායක ජනාධිපති සතු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනාධිපති ක්‍රමයක් පවත්වන්නට පෙර පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට ආපසු යාහැකි වේ යැයි විශ්වාස කළෝය. එම මෝඩ ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පමණක් නොව, එම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලන නායකයෝද එසේ විශ්වාස කළහ. රටේ නාමධාරී දේශපාලන විචාරකයෝ පවා ඒ සංශෝධනය මගින් නැවත සැබෑ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවීමට හැකිවනු ඇතැයි විශ්වාස කළහ. එම සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ව්‍යර්ථ වීමෙන් පසුව අලුතෙන් 20 වැනි සංශෝධනයක් කරළියට ගෙනවිත් තිබෙන ජනතා විමුක්ති පෙරමුණද එවැනි සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නැවත පාර්ලිමේන්තු පන්නයේ ආණ්ඩුක්‍රමයකට මාරුවිය හැකි යැයි විශ්වාස කරන බව පෙනේ. ඒ මගින් පමණක් වුවත් ලංකාවේ දේශපාලන මතවාදී තලය දෘෂ්ටිමය වශයෙන් තිබෙන බංකොළොත්භාවයේ තරම තේරුම් ගත හැකිය.

ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීම

1977ට පෙර තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය යටතේ තිබුණු පාර්ලිමේන්තුව හා ජනාධිපති ක්‍රමයක් යටතේ පැවති පාර්ලිමේන්තුව එක සමාන නැත. එය ව්‍යුහාත්මක වශයෙන්ද ගුණාත්මක වශයෙන්ද එක සමාන නොවන ආයතන ක්‍රම දෙකකි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහනක් කරළියට ගත් අවස්ථාවේදීම මා එම දෝෂය රාවයෙන් පෙන්වාදීමට උත්සාහ කළෙමි. ඊට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අන්වර්ථ නාමයකින් පිළිතුරක්ද දී තිබුණි. මම ඊටද ප්‍රති පිළිතුරක් ලීවෙමි. එම වාදයේදී රාවය නිල වශයෙන් පෙනී සිටියේද ජයම්පති වික්‍රමරත්න දරන අදහස වෙනුවෙනි. ජනාධිපති ක්‍රමයේ විපර්යාසයක් වෙනුවෙන් පෙනී සිටි සමාජය පෙනී සිටියේද එම අදහස වෙනුවෙනි. අවසානයේ ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසු ජයම්පතිගේ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී එය අධිකරණය ඉදිරියට ගෙන ගියේ ජනමතවිචාරණයක අනුමැතිය නැතිව ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කර ගැනීමේ අරමුණ ඇතිවය. ඒ මගින් උත්සාහ කළේ ලැබූ මැතිවරණ ජයග්‍රහණය ආධාරකයක් කොටගෙන ජනමතවිචාරණයක අනුමැතිය නැතිව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. එහෙත් අධිකරණය ඊට ඉඩ නොදුන්නේය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමතවිචාරණයකින් ලබන අනුමැතිය අත්‍යවශ්‍ය බව අධිකරණය අවධාරණය කළේය.

අධිකරණය එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි වුවත් මුළුමනින් නිවැරදි වී යැයි කිව නොහැකිය. අධිකරණය ජනමතවිචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ඉඩදීමෙන් වැළකී සිටිනවාට අතිරේකව ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව ජනාධිපති බලතල අඩු කිරීමටද ඉඩ නොදිය යුතුව තිබුණි. අධිකරණය පළමු වැරැද්දට ඉඩ දුන්නේ නැතත්, දෙවැනි වැරැද්දට ඉඩ දුන්නේය. ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් පාර්ලිමේන්තුවත් පවත්වාගෙන යා නොැහකි අර්බුදකාරී අවස්ථාවක වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් කාටවත් නැත. ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව අගමැතිවරයකු පත් කළ නොහැකිය. ඇමති මණ්ඩලයද පත් කළ නොහැකිවා මෙන්ම ඇමතිවරුන්ද ඇමති මණ්ඩලයෙන් ඉවත් කළද නොහැකිය. ජනාධිපතිවරයාගේ තටු විශාල ප්‍රමාණයකට කපා ඇතත්, ඇමති මණ්ඩලය ගනු ලබන තීන්දු අවශ්‍ය නම් බලරහිත කිරීමේ බලය ජනාධිපති සතුය.

මෙවැනි මෝඩ විධිවිධාන සහිත ආණ්ඩු ක්‍රමයක් ලොව තිබිය හැක්කේ ශ්‍රී ලංකාවේම පමණය. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙන් විය හැක්කේ 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රමයේ ඇති කර තිබෙන අවුල උග්‍ර කිරීම පමණය. ජනාධිපතිට ලැබී තිබෙන බලතල අහෝසි කොට ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් බවට පත්කරන හා සියලු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවිය නොහැකිය. පරණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තිබූ කාලයේ පාර්ලිමේන්තුව සඳහා තිබූ ව්‍යුහයක් හා ජනාධිපති ක්‍රමයකට මාරුවීමෙන් පසු ඇති කරගත් පාර්ලිමේන්තු ව්‍යුහයත් එක සමාන නැත. ඒවා එකිනෙකට වෙනස්ය. ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමට හේතුවන ආණ්ඩුක්‍රම සංශෝධනයකින් මිස ජනාධිපති බලතල අහෝසි කොට ජනාධිපති නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත්කරන අතර සියලු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන ව්‍යවස්ථාවකින් ඒ ගැඹුරු වෙනස ඇති කළ නොහැකිය. ඉන් විය හැක්කේ ආණ්ඩුක්‍රමයේ ලොකු විකෘතියක් පමණය.

ලංකාවට ඩොමීනියන් තත්ත්වයක් ලබා දුන් 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බි්‍රතාන්‍ය ආකෘතියේ අංගසම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පිහිටුවන ලදි. අග්‍රාණ්ඩුකාරවරයාගේ තත්ත්වය බි්‍රතාන්‍යයේ ව්‍යවස්ථානුකූල රජතුමාගේ තත්ත්වයට සමාන විය. වගකීමෙන් යුක්තවූත්, පාර්ලිමේන්තුවට අනුකූලවූත් කටයුතු කරන අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුක්ත වූ කැබිනට් මණ්ඩලය පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය. ව්‍යවස්ථාදායකයෙහි මණ්ඩල දෙකක් විය. එහෙත් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් වූ අතර අනෙක අර්ධ වශයෙන් අනියම් ලෙස තෝරා ගනු ලබන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් විය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එංගලන්තයේ මහ රැජින වෙත ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පරමාධිපත්‍යය බලය ලංකාවේ මහජනතාව වෙත ප්‍රතිෂ්ඨාපනය කිරීමක් සිදුවිය. එය නිවැරදි ක්‍රියාවක් වුවත් ඒ සමග ඇති කළ සමහර වෙනස්කම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හා සම්ප්‍රදාය දුර්වල කිරීමට හේතුවී යැයි කිව හැකිය. සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීම, සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා තිබුණු විධි විධාන අහෝසි කිරීම, රාජ්‍ය සේවා කොමිසම හා අධිකරණ සේවා කොමිසම අහෝසි කිරීම ඒ අතර ප්‍රධානය. ඒ වැරදි අඩුපාඩුකම් තිබියදීත් මහජන ඡන්දයෙන් තෝරා ගත් අගමැති සහිත කැබිනට් මණ්ඩලය තවදුරටත් රාජ්‍යයේ බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය. ජාතික රාජ්‍ය සභාව රාජ්‍ය බලයේ උත්තරීතර ආයතනය විය.

මේ ක්‍රමයේ උඩ යට පෙරළීමක් සිදුවන්නේ 1978 ව්‍යවස්ථාවෙනි. ඒ සමග පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතර තත්ත්වය අහෝසි වී ජනතාව විසින් තෝරාපත් කරගත්තා වූ විධායක ජනාධිපති රාජ්‍ය බලයේ උත්තරීතර තත්ත්වය හිමිකර ගත්තේය. රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති සතුවිය. ඔහු රජයේ ප්‍රධාන විධායකයාද, ත්‍රිවිධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, ඔහු විසින්ම පත්කර ගන්නා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද විය. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගනියි. ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවකදී හැර පාර්ලිමේන්තුවට ඔහු විවේචනය කළ නොහැකිය. ඔහු දැන හෝ නොදැන කරන මොනම වරදකදීවත් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකිය. ඔහු විසින් ආණ්ඩු ක්‍රමයේ ඇති කරන ලද එම පරිවර්තනය සමග පාර්ලිමේන්තුවට එතෙක් තිබූ උත්තරීතරභාවය අහිමි වී පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක තත්ත්වයට පත්විය.

මන්ත්‍රීවරුන්ගේ භූමිකාව කනපිට හැරවීම

ඔහු ඇති කළ ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට ලැබෙන වැදගත්කම කොතරම් බාල්දු කළද ජනාධිපතිගේ පැවැත්මට පාර්ලිමේන්තුවේ සහාය නැතුවම බැරි කොන්දේසියක් වීම නිසා ඔහු තම මන්ත්‍රීවරු තෘප්තිමත් තත්ත්වයක තැබීම සඳහා මන්ත්‍රීකම අයථා ලෙස ධනය උපයාගත හැකි ජනප්‍රිය මාර්ගයක් බවට පත්කර දුන්නේය. ඔහු එහිදී ආදර්ශයට ගත් බව පෙනෙන්නේ නැපෝලියන්ය. නැපෝලියන් සිය කුලී හමුදාවල සටන්කාමී ආක්‍රමණික ගුණය ආරක්ෂා කරගැනීම සඳහා අල්ලා ගන්නා නගරවල වස්තුව කොල්ලකෑමේ අයිතිය එම කුලී හමුදාවන්ට ලබා දුන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තම දේශපාලන සටන්වලදී කුලී හමුදාව ලෙස යොදා ගත්තේ සිය මන්ත්‍රී කණ්ඩායමය. ඔහු තම මන්ත්‍රී කණ්ඩායමේ සටන් කිරීමේ ජීව ගුණය ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට අයතා ලෙස ධනය උපයාගැනීමට ඉඩ ලැබෙන රාමුවක් ඇති කර දුන්නේය. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව, දේශීය වශයෙන්ද. මහජන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සදාචාරමය නීතිමය රාමුව බලරහිත දෙයක් බවට පත්කොට අයථා ලෙස වස්තුව ඉපැයීම මන්ත්‍රී සදාචාරයේ වැදගත් හා නිත්‍ය ලක්ෂණයක් බවට පත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව එතෙක් දේශීය වශයෙන්ද ක්‍රියාත්මක වූ නීතිරීති හා පිළිගත් සම්ප්‍රදායන් අනුව මහජන මන්ත්‍රීවරයකුට රජය සමග කොන්ත්‍රාත්කරුවකු වශයෙන් හෝ බලපත්‍රලාභියකු වශයෙන් ව්‍යාපාර කිරීම මුළුමනින් තහනම් විය. රජයෙන් දේපළ මිලදී ගැනීම හෝ විකිණීමද තහනම් විය. මන්ත්‍රීවරයාගේ නිල කාර්යයක් සඳහා රජයෙන් දෙන කිසිවක් විකිණීමද තහනම් විය. එම කොන්දේසි උල්ලංඝනය කරන්නන්ට මන්ත්‍රී ධුරය අහිමි කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. මෙය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ මහජන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ක්‍රමයක් වන අතර 1977 දක්වා ලංකාවේද ඉතා හොඳින් ක්‍රියාත්මක වූ ක්‍රමයක් විය. 1977 මහ මැතිවරණයේදී ගාල්ල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වුණ ඩී.ජී. ඇල්බට් ද සිල්වාට මන්ත්‍රීකම අහිමි වූයේ ඔහුගේ නමට භූමිතෙල් බලපත්‍රයක් ලබාගෙන තිබීම නිසාය.

රටේ ක්‍රියාත්මක වූ එම නෛතික සම්ප්‍රදාය නිසාම එම සම්ප්‍රදායන් උල්ලංඝය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය වූ අතර මහජන මන්ත්‍රීවරුන් මන්ත්‍රීකම ධනය උපයන මාර්ගයක් බවට පත්කර ගැනීමෙන් තොරව සමාජ සේවයේ නිරත පිරිසක් ලෙස තබා ගැනීමට එම නෛතික සම්ප්‍රදාය හේතුවිය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු එතෙක් ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් සඳහා පවත්වාගෙන ආ එම යහපත් නෛතික සම්ප්‍රදායන් කනපිට හරවා මන්ත්‍රීවරුන්ට රජයේ දේපළ මිලදී ගැනීමට, විකිණීමට, ආදායම් ලබන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියා කරන්නට හා රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කරන්නට ඉඩ ලැබෙන දූෂිත නව රාමුවක් ඇතිකර දුන්නේය. ඒ සමග මන්ත්‍රීකම මහා පරිමාණයෙන් මුදල් ඉපැයිය හැකි මාර්ගයක් බවට පත්විය. ඒ මගින් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අත්තිවාරම ලෙස ක්‍රියා කරන මහජන මන්ත්‍රීවරුන් ගෞරවය හෝ මහජන සේවය සඳහා නොව ආර්ථික ලාභ සඳහා ක්‍රියාකරන්නන් බවට පත් කිරීමට හේතුවිය. රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්ත්වයක් ඇති කිරීමට එම ක්‍රියාදාමය හේතුවිය. එසේම එය වස්තුව කොල්ලකන කොල්ලකාරී ක්‍රමයක් බවට හැරිණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම විෂය ක්ෂේත්‍රයේ ඇති කළ නින්දාසහගත පරිවර්තනයට කිසිදු විරුද්ධ පක්ෂයක් විරුද්ධ වූයේ නැත. ඔවුන්ද ඔවුන්ට එවේලේ ලැබෙන වාසි හා අනාගතයේ බලයට පත්වූ පසුව ලැබෙන ලොකු වාසි සලකා එම ප්‍රජාතන්ත්‍ර විරෝධී කොල්ලකාරී ක්‍රමය ස්ථාපිත කිරීමට සහාය දුන්නේය.

වරදට පෙළඹවීම

හොඳින් පවත්වාගෙන යන යහපත් නෛතික සම්ප්‍රදායක් කනපිට හැරවීමට කනපිට හරවන්නන්ට ඒ වෙනුවෙන් විශේෂ මහන්සියක් දරන්නට සිදුවන අතර අන්‍යයන් වරදට පොළඹවාලීම සඳහා වැරදි පූර්වාදර්ශ සපයන්නටද සිදුවන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටද සිය දේශපාලන සගයන් අතර පොදු වස්තුව කොල්ලකන්නට ලැජ්ජාවක් හෝ බියක් තිබුණේ නම් එය නැති කිරීම සඳහා පොදු දේපළ කොල්ලකන පුරෝගාමී කොල්ලකරුවකුගේ භූමිකාව රඟපා පෙන්වීමට සිදුවිය. ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ පවරා ගත් ඉඩම් අක්කර 10 ලක්ෂයක් තරම් වන ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබුණු අතර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ පවුලේ අයට තිබුණු කනාටු පොල් වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී එම කොමිසම යටතේ තිබුණු සරුසාර පොල් වත්තක් ඒ වෙනුවට තමන් වෙත හිමිකර ගනිමින් ඉඩම් කොල්ලය සඳහා අවශ්‍ය කදිම පූර්වාදර්ශයක් සිය මන්ත්‍රී කණ්ඩායමට ලබා දුන්නේය.

එම ආදර්ශයෙන් පසු ඇරඹෙන ඉඩම් කොල්ලය නිදහසින් පසුව ලංකාවේ සිදුවූ ලොකුම ඉඩම් කොල්ලය ලෙස සැලකිය හැකිය. හෙංචයියන්ට තෝරාගත් සරුසාර වතු ඉඩම් අක්කරයක් සඳහා රුපියල් 4000-5000කටත් වඩා අඩු මුදලකට ලබාදෙන ලදි. ඉඩම් සමග තිබූ වටිනා වතු බංගලාද කිසිදු අතිරේක මිල අයකිරීමකින් තොරව ගැනුම්කරුවන්ට ලබාදෙන ලදි. පුද්ගලිකව මිලදී ගත් අය එක් පුද්ගලයකු සඳහා අක්කර 50 සීමාවට යටත්වද, සමාගම් හදාගනිමින් වඩා සටකපට ආකාරයකින් මිලදී ගන්නවුන් අක්කර දහස් ගණනින්ද නොවටිනා සරුසාර වතු ඉඩම් හිමිකර ගත්තේය. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉතා කෙටි කාලයක් තුළ ධනවත් ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්වූහ. මේ ඉඩම් කොල්ලයේදී ආණ්ඩුව හිතවත් රාජ්‍ය නිලධාරීන්ටද ඉතා අඩු මුදලකට රජයේ ඉඩම් ලබා දුන්නේය. ජයවර්ධන පාලනයෙන් ආරම්භ වුණු එම ඉඩම් කොල්ලය ඉන්පසු බලයට පත්වන හැම ආණ්ඩු පාලනයක් යටතේම ක්‍රියාත්මක වී යැයි කිව හැකිය. එම කොල්ලයට පක්ෂ භේදයක් නොතිබුණි.
ඊට අතිරේකව මහජන මන්ත්‍රීවරුන්ට රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීමේ, බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ අයිතිය ලබාදෙන ලදි. රජයේ බලපත්‍රලාභීන් ලෙස හෝ රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීමෙන් කෝටි, ප්‍රකෝටිපතියන් බවට පත්වූ දේශපාලකයන්ගේ සංඛ්‍යාව විශාලය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කාලයේදී තැබෑරුම් බලපත්‍ර බෙදාහැරුණේද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හරහාය. අලුතෙන් ලබාදෙන ලද බලපත්‍ර සංඛ්‍යාව 1500කට වැඩිය. ඒ මගින් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරක්කු තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවට පත්විය. ඒ මගින් මන්ත්‍රීවරු ධන බලය පමණක් නොව මැර බලයද හිමි පිරිසක් බවට පත්වූහ.

ජේ.ආර්. ජයවර්ධන විසින් ආරම්භ කොට අද දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මේ ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයේ පිළිගත් ආචාර ධර්මවලට සේ ම, නීතියටද පටහැනිය. ව්‍යවස්ථාදායකය පමණක් නොව, සමස්ත රාජ්‍ය ආයතන ක්‍රමයද කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. බලයට පත්වන පාලකයන් තමන් භාරයේ තිබෙන පොදු වස්තුව මහා පරිමාණයෙන් කොල්ලකන ක්‍රමයක් ඇතිවූයේද ඒ නිසාය. ඒ ක්‍රමය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහාය ඇතිව ක්‍රියාත්මක වන කොල්ලකාරී ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය.

කුණුවීම ජයගැනීම

1990දී පමණ එම ප්‍රශ්නය ගැන ශ්‍රීලනිප නායිකාව හා විරුද්ධ පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාවක් මට ලැබුණි. රොස්මිඞ් නිවසේ පැවති එම සාකච්ඡාවට පක්ෂ ලේකම් සූරියප්පෙරුමද, මහින්ද රාජපක්ෂ, අනුරුද්ධ රත්වත්ත යන මන්ත්‍රීවරුන්ද පසුකලක සයිටම් විද්‍යාලයේ හිමිකරුවා බවට පත්වූ දොස්තර නෙවිල් ප්‍රනාන්දුද සහභාගි වූහ. උදේ 9.30ට පමණ ආරම්භ කොට දහවල් ආහාර වේලාව දක්වා පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන තේමාව බවට පත්කර ගත්තේ ව්‍යවස්ථාදායකය දූෂිත කිරීමට ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දෙන ලද මන්ත්‍රීවරුන්ට කප්පම් දෙන කොල්ලකාරී ක්‍රමය ගැනය. එම කොල්ලකාරී ක්‍රමයෙන් සහන ලබන තැනකට යනවා වෙනුවට එයට ශ්‍රීලනිපය විරුද්ධ නොවූයේ ඇයිද යන්න මා බණ්ඩාරනායක මැතිනියගෙන් නගන ලද මූලික ප්‍රශ්නය විය. ඇය දුර්මුඛ තත්ත්වයකට පත්ව සිටියා මිස පිළිගත හැකි සාධාරණ පිළිතුරක් ලබාදීමට සමත් නොවූවාය.

එදා දහවල් ආහාරය සඳහා බුරියානි සපයා දී තිබුණේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. මා අඩුවෙන් කන කෙනකු වීම නිසා අන් අයට පෙර අත සෝදා ගැනීමට ගියෙමි. එහිදී මා සිටි තැනට පැමිණි දොස්තර ප්‍රනාන්දු අපූරු කතාවක් මට කීවේය. “ඔයාට හොඳටම පිස්සු. මේගොල්ලන්ට බණ කියලා හදාගන්න පුළුවන් පිරිසක් නෙවෙයි. මේගොල්ලො බලාගෙන ඉන්නේ ඊළඟ අවස්ථාව තමන්ට ලැබෙනකම්. ඔයා ඒගොල්ලන්ගේ දූෂණවලට විරුද්ධ වෙන්න ගියොත් ඔයාට මැරුම්කන්න වෙන්නේ යූඑන්පී එකෙන් නෙවෙයි. ශ්‍රීලනිපයෙන්” යැයි ඔහු කීවේය. ඔහු ඒ අවස්ථාවේදී ශ්‍රීලනිපය ගැන කරන ලද පුරෝකථනය මුළුමනින් නිවැරදිය. වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එම කොල්ලයේ හවුල්කරුවන් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

මේ වනවිට ව්‍යවස්ථාදායකයේ ඇතිවී තිබෙන කුණුවීමේ තරම අතිවිශාලය. මන්ත්‍රීවරුන් සතුටින් තබාගැනීම සඳහා ලෝකයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක වන නීති හා සම්ප්‍රදායන්ට පටහැනිව ඔවුන්ට නීතියට පටහැනි අයථා මාර්ගවලින් ධනය උපයා ගැනීමට ඉඩදී තිබෙනවා පමණක් නොව, වැටුප් හා දීමනා වශයෙන් ලැබෙන ආදායම්වලද සාධාරණ නොවන ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවන ක්‍රියාදාමයක් සටකපට ක්‍රියාදාමයක් ක්‍රියාත්මකවෙමින් පවතී.

මන්ත්‍රීවරුන් සඳහා අලුතෙන් ඇතිකර තිබෙන පඩි වැඩිවීම් තවමත් ක්‍රියාත්මක නැතත්, දැනටත් මන්ත්‍රීවරයෙක් වැටුප් හා විවිධ දීමනා වශයෙන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් උපයා ගනිති. ඒ ලැබෙන ආදායමට අතිරේකව ගම්පෙරළිය වැඩසටහනට සම්බන්ධ මන්ත්‍රීවරුන් අතරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 55ක් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක ගමන් දීමනාවක්ද ලබා දෙයි. ඊටත් අතිරේකව එම මන්ත්‍රී පිරිසට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවන්නට දරන ලද උත්සාහයක් ජනාධිපතිවරයාගේ විරුද්ධත්වය නිසා අත්හිටුවන්නට සිදුවිය. එයට විරෝධය පළකරමින් එජාපයේ එක් මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ගෙවන්නට ගිය ලක්ෂ දෙකේ දීමනාවට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතත්, ජනාධිපතිවරයාගේ කටයුතු අධීක්ෂණය කරන මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 6ක මාසික දීමනාවක් ගෙවන බවය. මේ සියලු දෙයින් පෙනෙන්නේ මන්ත්‍රීවරුන්ට නීතියට පටහැනිව අයථා ලෙස ධනය උපයා ගැනීමට ඉඩදෙන ප්‍රතිපත්තියට අතිරේකව වැටුප් හා විවිධ දීමනා වශයෙන් ලබාදෙන ආදායම්ද උපරිම කිරීමට හේතුවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවය.

ව්‍යවස්ථාදායකයේ ඇතිවී තිබෙන කුණුවූ තත්ත්වය ජයගැනීමට හේතුවන ලෙස ආණ්ඩු ක්‍රමයේ හා පාර්ලිමේන්තු ක්‍රමයේ සැබෑ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම් රාජ්‍ය නායකයන්ට අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන ඉඩ අහෝසි කරන දැඩි විධිවිධාන ඇති කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන අන් හැම රටකමත් ලංකාවේ 1977ට පෙර ක්‍රියාත්මක් වූ නීති හා සම්ප්‍රදායන් තරයේ ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. ආණ්ඩුවේ දේපළ මිලදී ගැනීමේ හා තමන්ගේ දේපළ ආණ්ඩුවට විකිණීමේ අයිතිය අහිමි කළ යුතුය. මන්ත්‍රීවරුන්ට රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීමේ හා ආදායම් ලබන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ අයිතිය නැති කළ යුතුය. එම අයථා ක්‍රමවලින් ධනය උපයාගෙන ඇති අය ගැන සොයා බලා ඔවුන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන හා අයථා ලෙස උපයා ගත් ධනය රාජසන්තක කරන ක්‍රියාමාර්ගයකට යා යුතුය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කරන කිසිවෙක් ඒ විෂය ගැන කතා නොකරන්නේ ඇයි? ඔවුන් කතා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම ගැන හෝ ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන පමණය. රටේ දේශපාලන නායකයන් ඔවුන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකන ක්‍රමයක් රටක ක්‍රියාත්මක වේ නම් ඒ රට කාලකණ්ණිවීම පුදුමයට හේතුවක් වන්නේ කෙසේද? රටේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට අවශ්‍ය නම් පිරිමීඩයේ පතුලේ ඇතිවී තිබෙන කුණුවීමට පෙර මුදුනත ඇතිවී තිබෙන කුණුවීම ජයගත යුතුය. ඉදිරිපත් වී තිබෙන විවිධ ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනාවලට ඇතුළත්ව නැති වැදගත්ම දේ වන්නේද එයයි. එය එසේ වූයේ කෙසේද? නොදන්නාකම නිසාද? නැතිනම් ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබෙන අයට මෙම කොල්ල පවත්වාගෙන යෑමට අවශ්‍ය වී තිබෙන නිසාද?
ලංකාවේ රාජ්‍යය හා එහි මුදුනත කුණුවී තිබෙන තරම අනුව ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන කවර නායකයකුටවත් එහි ගැඹුරු වෙනසක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක් නොපවතී. මෙම ඓතිහාසික මොහොතේ එම පරිවර්තනයේ කර්තෘකාරකයා ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ඇත්තේ සංවිධානාත්මක මහජනයාට පමණය. රාජ්‍ය කුණුවී තිබෙන තරම අනුව ව්‍යවස්ථාදායකයට ඒ වෙනුවෙන් කළහැකි කාර්යභාරයක් ඇත්තේම නැති තරම්ය. ලංකාව විසඳාගත යුතුව තිබෙන උභතෝකෝටික මූලික ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ කුණුවී තිබෙන ක්‍රමයෙහි විපර්යාසයක් කිරීමේ ඇත්ත හැකියාවක් ව්‍යවස්ථාදායකයට නැතිනම් ඒ හැකියාව ඇත්තේ පරමාධිපත්‍ය බලය හිමි මහජනතාවට නම් මහජනයා එම යුතුකම හා වගකීම කෙසේ සම්පූර්ණ කළ යුතුද යන ප්‍රශ්නයයි.