රාවය

සම්බන්ධන් අතරමංවීම සහ විග්නේෂ්වරන් මහින්දට ඇඳීම

සම්බන්ධන් අතරමංවීම සහ විග්නේෂ්වරන් මහින්දට ඇඳීම

ටිරන් කුමාර බංගගමආරච්චි

ලොකුම බොරුකාරයන් යනු දක්ෂ මැජික්කරුවන් බව ඇඩොල්ෆ් හිට්ලර් පවසා ඇත. එය දේශපාලකයන් ඉලක්ක කොටම කීවායැයි උපකල්පනය කරමු. ලංකාවේ මේ මැජික්කරුවන් අතරද අද ඇත්තේ නිම නොවන තරගයකි. වඩා ප්‍රබල මැජික්කරුවා කවුද යන්න තෝරා ගැනීම ලේසි පහසු නැත. සැවොම එකිනෙකා පරදවන බොරුකාරයන්ය. ජනතාව ඒ ඇස්බැන්දුමට හසුවී ඇති බව පැහැදිලිය. කාලෙන් කාලයට මැජික්කාරයකුට හසුවනු විනා කොටින්ම ඒ මොහොතේ මැජික්කාරයන්ට හසුවනු විනා වෙන විකල්පයක් නැති ගාණය. සැබැවින්ම මේ දක්ෂ මැජික්කරුවන් යනු ලොකුම බොරුකාරයන් බව සැබෑමය.
අපට කතා කරන්නට සිදුව ඇත්තේ මේ මැජික්කරුවන් ගැනය. ඒකාබද්ධ විපක්ෂය විපක්ෂ නායකකම ගන්නට නැටූ නැටිල්ල මඳකට අහවරය. එය කතානායකගේ ගිලටීනයට හසුවී සුනු විසුනු විය. ඒකාබද්ධයට හදිසියේ විපක්ෂ නායකකම ඕනෑවූයේ ඇයි? එයින් අමුතු දේශපාලන වාසියක් ලැබේද?

වත්මන් විපක්ෂනායක ආර්. සම්බන්ධන් බලසම්පන්න නැද්ද? ඔහු ඊට උචිත නොවෙත්ද? වසර තුනහමාරක් සිටි ඔහු එකවර නුසුදුසු වූයේ ඇයි? රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ලෙස කොතෙක් කලක් සිටියේද? එහෙත් එකලද විපක්ෂය ශක්තිමත්ද? රාජපක්ෂලාට දැනෙන විරුද්ධත්වයක් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂ නායක ලෙස කළ හැකිවීද? එකල විපක්ෂ නායක ධුරයත් අද එය දරන සම්බන්ධන් අතරත් ලොකු වෙනසක් වේද?

පැහැදිලිවම ආර්. සම්බන්ධන්ගේ විපක්ෂ නායකකම පවතිනුයේ යහපාලනයට ගැළපෙන පරිදිය. ඒ ගැන විවාදයක් නැත. ඒ නිසා ඒකාබද්ධය එය සියතට ගන්නට උත්සාහ කළේ ඒ හරහා ආණ්ඩුවට බලපෑමක් කරන්නට විය හැකිය. විපක්ෂ නායකකම නැතිව හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ භූමිකාව කළේ ඒකාබද්ධයය. එයද පිළිගත යුතු සත්‍යයකි. එය අදටත් එසේමය. එහෙත් අප කතා කළයුත්තේ ආර්. සම්බන්ධන්ගේ භූමිකාව ගැනය. ඊට ඈඳෙන විග්නේෂ්වරන් ගැනය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස තේරී පත්විය. යහපාලනයත් සමග අමුතු මැජික් බලාපොරොත්තු වූ ජනතාවට සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධුරයත් අමුතු අත්දැකීමක් විය. එකල විචාර දිගට හරහට ලියැවුණේ ඒ ගැනුමය.

ඒ මොහොතේද විපක්ෂ නායකකම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයත් තවත් පක්ෂත් කේවල් කරනමුත් හැත්තෑ හතේ දේ මෙකල නොවීය. එනම් 1977 මැතිවරණයෙන් පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අමිර්තලිංගම් විපක්ෂ නායකයා බවට පත්විය. එහෙත් ජේ.ආර්. ආණ්ඩුව 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථාමය උගුලක් අටවා ඔහුගේ විපක්ෂ නායක ධුරය උදුරා ගත්තේය. ඒ ලැජ්ජාසගත දේශපාලන භාවිතාව 2015දී නොවීය. එසේ නොවුණේ වෙන කිසිවක් නිසා නොව, යහපාලන ගමනට හොඳම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වූ නිසාය. ලංකාවේ සංහිඳියාව මනින මිනුම් දඬු අනුව බලන කල දෙමළ ජාතිකයකුට විපක්ෂ නායක ධුරය දීම ධනාත්මකය. බොහෝ අය ඒ මොහොතේ කතා කළේ ඒ කෝණයෙන්මය.

එහෙත් මෙහි අනෙක් පැත්තද ඒ මොහොතේ දකුණේ සමාජගත විය. එනම් සියලුම දෙමළ ජාතිකයන් කොටි වන අතර මේ නිසා සම්බන්ධන් විපක්ෂ නායකවීමත් සමග ඊළාම් සිහිනය කරා යන ගමන ශීඝ්‍ර වූවා වැනි විශ්වාස සිංහල සමාජයේ බෝ විය. මෙහි අනෙක් පැත්ත දෙමළ සමාජය තුළ සම්බන්ධන්ට විපක්ෂ නායකකම ලැබීම වටහා ගනුයේ තම අයිතීන්, දෙමළ ජනයාගේ නිදහස ලබා ගැනීම ඉක්මන් වූවා වැනි තැනකිනි. සම්බන්ධන් විපක්ෂ නායක වූවා කියා ජාතික ගැටලුව විසඳුණිද? සංහිඳියාව ගොඩ නැගුණිද? අවම වශයෙන් දෙමළ ජාතිකයකු එතැනට ආවා කියා ජාතිවාදය පරාජය වනවාද?
සිංහල ආණ්ඩුව සහ දෙමළ විපක්ෂය

සිංහල ආණ්ඩුවක් සහ දෙමළ විපක්ෂයක් නිර්මාණය වුණැයි ඒ මොහොතේ සුබවාදී බැල්මක් හෙළිය හැකි වුවත් අවසානයේ සිදුවූයේ විපක්ෂය ආණ්ඩුවේම ගැත්තකු වී නිශ්ශබ්දවීමය. එනම් පුරුදු පරිදි සිංහල ආණ්ඩුවට දෙමළ විපක්ෂය යටවීමය. සිංහල ආණ්ඩුව දෙමළ විපක්ෂ එකතු වී ඊළම ඉක්මන් කරාවි යැයි රාජපක්ෂලා හිතුවද ඒ කිසිවක් නොවීය. ඒ වෙනුවට වූයේ උතුරේද තවත් මහින්ද රාජපක්ෂ කෙනකු නිර්මාණය වීමය. ඒ විග්නේෂ්වරන්ය. ඒ ගැන පසුව කතා කරමු.

සම්බන්ධන් දෙමළ ජාතියේ නායකයාද? මෛත්‍රී සිංහල ජාතියේ නායකයාද? එය එසේ නොවේ. මේ නිසාම සම්බන්ධන්ට වුව ජයගත හැකි ඉලක්කය ඉතා කුඩා විය. මන්ද සිංහල සමාජය මෙන්ම කුලය, පන්තිය, දේශපාලනය වශයෙන් බෙදීම උතුරේද එසේමය. ඒ නිසා එක නායකයකු ඇතිවීම නොවිය හැක්කකි. විග්නේෂ්වරන් අල්ලන්නට උත්සාහ කරනුයේ උතුරේ ජාතිවාදයය. කුලයය. ඒ දේශපාලනයම දකුණේ මහින්දද කරයි. සම්බන්ධන් හසුවී ඇත්තේ රනිල්ගේ පන්නයේ රංගනයකටය. ඒක හොඳත් – නරකත් නැති පතෝල පන්නයකි. මේ බෙදීම් අස්සේ සම්බන්ධන් විපක්ෂ නායක වුණාට දෙමළ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගෙන පිළියම් යොදන්නට නොහැකි විය. යහපාලනය දකුණේ ප්‍රතික්ෂේප වූ තරමටම උතුරේ දෙමළ සන්ධානයද ප්‍රතික්ෂේප විය. මහින්ද දකුණේ වර්ධනය වන විට උතුරටත් එවැන්නෙක් ඕනෑ විය. විග්නේෂ්වරන් කරනුයේ ඒ හිඩැස පිරවීමය. විජයකලා මෛත්‍රී පන්නයේ රංගනයකට නොයා ප්‍රභාකරන් ඉල්ලා සිටින තැනට එන්නේද තමන් උතුරේ ප්‍රතික්ෂේප වන බව දැනෙන නිසාය. මෛත්‍රීට මහින්ද වෙන්න වුවමනා වන්නේත්, ඔහුව දකුණේ ප්‍රතිකේෂ්ප වන නිසාය. එසේ නොවී ඔහේ ඉන්න රනිල් – සම්බන්ධන්ලාත් ප්‍රතික්ෂේප වන්නේ ඉබේටමය. අනෙක් අතට රනිල්ට තම කල්ලිය ඇරුණු කොට සාමාන්‍ය මිනිසාගේ ප්‍රශ්නය නොදැනෙනවා සේ ම ඉහළ පන්තිය නියෝජනය කරන සම්බන්ධන්ටද උතුරේ සාමාන්‍ය හද ගැස්ම අල්ලා ගැනීමට නොහැකිය. මහින්ද උපායශීලීව අල්ලා ගන්නා දකුණේ එම පන්තිය උතුරේ විග්නේෂ්වරන් ඩැහැ ගන්නට මාන බලති. දැන් සිදුවන්නේ එයය.

දෙමළ ජනයාට ඇති එකම විසඳුම ඊළම යන්න සිංහල ජාතිවාදය පමණක් ඇති කළ ප්‍රවාදයක් නොව, දෙමළ ජාතිවාදීන්ද ඇති කළ දෙයකි. කිසිම දෙමළ පුද්ගලයකු උපතින්ම ඊළම ඉල්ලාගෙන ආ අය නොවේ. ඒවා දේශපාලනිකව ගොඩ නැගූ දේය. මේවා දේශපාලනිකව හරයාත්මකව කතා නොකර ප්‍රභාකරන්ට ලඝු කොට කතා කිරීම නිසා ප්‍රභාකරන් නැතත්, අදටත් කිසිදු විසඳුමක් නැතිවී ඇත. අද දෙමළ දේශපාලකයන් පවා හිතනුයේ එය ප්‍රභාකරන් පන්නයෙන්ම යායුතු ගමනක් බවය. ඒ ගමන අසාර්ථක බව ප්‍රභාකරන්ගේ අවසානයෙන් පෙනුණ විට උගත් දෙමළ නායකයන් කළ යුතුව තිබුණේ ඊට වඩා දේශපාලනික දැක්මක් නිර්මාණය කරගැනීම වුවත් එය සිදු නොවීය. ඔවුන් කැමතිද මහින්ද පන්නයේ ජනප්‍රිය දේශපාලනයටමය. ඒ ඡන්ද ලබාගැනීමේ තරගයටය. දකුණට ආණ්ඩු පිහිටුවන්නට උතුරේ ඡන්ද ඕනෑවී ඇත. මෙය නම් එසේ මෙසේ සරදමක් නොවේය. එහෙත් එයින් ආණ්ඩු පිහිටවන අය පවා අවසානයේ දෙමළ ජනයා සරදමට ගත්තා විනා සිදුවූ දෙයක් නැත. එය නොවැටහෙන්නේ ඒ සරදම දකුණ දෙමළ නායකයන්ම ලවා කරන නිසාය. සම්බන්ධන් ඒ පළමු ගොදුරය. සම්බන්ධන් විපක්ෂ නායක වීම නිසා දෙමළ ජනයාට අත්වූ වාසිය කුමක්ද? ඊළඟට දෙමළ ජනයාම පෙරළා අසන පැනයය. දකුණ ප්‍රශ්න කරනුයේ සම්බන්ධන් විපක්ෂ නායකවීම නිසා දේශපාලනිකව වූයේ කුමක්ද යන්නය. එයට වඩා බරපතළ පැනය නම් තම වරිගයට සිදු කළ දේ කුමක්ද යන්නය. මෙහිදී කෙනකුට විපක්ෂ නායක යනු තම ජාතියට සේවය කිරීමට පත් කරන තනතුරක්ද යන පැනය නැගිය හැකිය. එහෙත් සම්බන්ධන් විපක්ෂ නායකවීමත් සමග දකුණ බියවූ ඊළම පැත්තකට තැබුවහොත් දෙමළ ජනයාට තම නිදහස හෝ අල්ප වශයෙන්වත් ලැබුණේද යන පැනය ඇසීම අසාධාරණද?

මේ වන විට පැහැදිලි වූ එකම දේ නම් සම්බන්ධන් යනු දෙමළ ප්‍රභූ පන්තියේ නියෝජිතයකු මිස දෙමළ පීඩිතයාගේ නියෝජිතයකු නොවන බවය. මේ නිසා අද සම්බන්ධන් ඉවත් කොට විපක්ෂ නායකකම ඉල්ලන ඒකාබද්ධය එය ඉල්ලනුයේ විපක්ෂ නායක ධුරය තමන්ට ප්‍රශ්නකාරී නිසා නොව එය වැඩකට නැතිය යන තැන සිටය. ඒ නිසා දකුණේ පීඩිතයාට සම්බන්ධන් විපක්ෂ නායකවීම ගැටලුවක් නොවුණා සේ ම උතුරේ පීඩිතයාටද සතුට දනවන්නක් නොවීය. මේ හිඩස වාසුදේවගේ මස්සිනාට ටක්කෙටම වැටහෙන්නේය. ඒ නිසා ඔහු අද උතුර අල්ලන්නට උත්සාහ කරනුයේ දකුණේ මහින්ද තියරියටය. ඔහු මහ ඇමති ලෙස උතුරට කළ දෙයක් නැත. එහිදී ඔහු අසාර්ථකය. එහෙත් ඔහු ජාතිවාදය වපුරමින් ජනතාව දිනාගන්නට මාන බලමින් සිටී. උතුරේ යුද ස්මාරක ඉවත් කරන්නැයි විග්නේෂ්වරන් කියන විට හැඟෙනුයේ උතුරේ අරාජිකත්වයට එකම හේතුව මේ යුද ස්මාරකද? යන්නය. එහෙත් විග්නේෂ්වරන් උතුරේ ජනයාට ඒත්තු ගන්වන්නේ එයය. සිංහල ජාතිවාදීන් මෙන්ම දෙමළ ජාතිවාදීන්ද කේවල් කරනුයේ එකම දේය. එනම් වෛරයය. සී.වී. විග්නේෂ්වරන් උතුරේ මහින්ද කිව්වොත් එහි වරදක් නැතිය.

2015දී පැවති මහ මැතිවරණයේදී උතුරේ ඡන්දවලින් සියයට 65ක් දිනාගන්නා දෙමළ සන්ධානයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබාගත හැකිවන්නේ 35%කි. යහපාලනය සමග දෙමළ සන්ධානයද එකවර කඩා වැටෙන බව මින් පැහැදිලිය. එසේ නම් උතුරට මහින්ද කෙනකු ඕනෑ නැද්ද? දකුණේ ජාතිවාදීන්ගේ එකම සිහිනය මහින්ද මෙන්ම උතුරේ ජාතිවාදීන්ට විග්නේෂ්වරන් හොඳ නැද්ද? රනිල්ට මෙන්ම සම්බන්ධන්ටද ඒ හිඩැස පිරවිය නොහැකිය. ඔවුන්ගේ ප්‍රභූ දේශපාලනය සීමාසහිතය.

ලක්ෂ එකසිය පනහක පමණ ජනතාවක් ඡන්දය දමන රටේ දෙමළ ජාතික සන්ධානයට ලැබෙන්නේ ඡන්ද ලක්ෂ 5ක් පමණය. එහෙව් ප්‍රමාණයක් ඡන්ද ගත් දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායක ධුරය ලැබෙනුයේ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවට එකතුවීම නිසාය. මේ නිසා විපක්ෂ නායකකමෙන් රටේ දැවෙන අර්බුද ප්‍රශ්න කිරීම තබා තම ජාතියේ අයිතීන්වත් දිනා ගැනීමට ක්‍රියා නොකළේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තියට හෝ ඉදිරි දර්ශනයට විකල්පයක් නැති බව පැහැදිලිය. එහි පාපය දෙමළ සන්ධානයටද වැදී ඇත. එය සම්බන්ධන්ටද හරිගස්සා ගත නොහැකි තැනට තල්ලු වී ඇත. එහි බර අදින්නට පෙරමුණට පැමිණ ඇත්තේ විග්නේෂ්වරන්ය. එය වටහාගත යුත්තේ දෙමළ ජනයාගේ විමුක්තිය ලෙස නොව මහින්ද රාජපක්ෂ පන්නයේම සුරුවමක් ලෙසය. මෙය අදහන වුන් ඕනෑතරම් සිටිය හැකිය. මේ නිසාම මේ ජාතිවාදීන්ගේ පැවැත්ම කවදාවත් අහවරවන්නේ නැත. මහින්දට දේශපාලනය අතහැර යා නොහැකිය. ඔහු නැවත නැවත බලයට ඒමට මාන බලමින් සිටී. මෙය ඔහුට පමණක් නොව ඉදිරියේදී කාටත් වැළඳෙන රෝගයකි. එය දෙමළ දේශපාලකයාටද එසේමය. ජාති ආගම් භේදයක් නැතිව පිළිගත හැකි දෙයක් වේ නම් ඒ බලයය. බලය මත ඉහත සියල්ල පාලනය කළ හැකිය.

විපක්ෂ නායක ධුරය ඉල්ලීම හෝ තිබෙන අයුරින් තියෙන්නට හැරීම හෝ දෙකම මේ මොහොතේ දේශපාලනිකව විශේෂ යැයි සිතිය නොහැකිය. එහෙත් විශේෂ දේ නම් දකුණේ සියලු දේශපාලනික රෝග උතුරටද එලෙසම බෝවන බවය. බෝවී ඇති බවය. රනිල්ලා මෙන්ම මහින්දලාද උතුරේ ඇත. ජාතිවාදීන් දකුණේ මෙන්ම උතුරේද ඇත. එබැවින් සංහිඳියාව සෑහෙන දුරක බව බැලූ බැල්මට තහවුරුය.