ගම්පොළ සුද්දයි හිටපු අගමැති ගොඩ

නිමල් අබේසිංහ

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්කර මහභාරකාර දෙපාර්තමේනතුවේ පවතින “ගම්පොළ නගර සංවර්ධන භාරයේ ලිපි ගොනුව පරීක්ෂා කිරීමේදී අතින් ලියන ලද අපූරු ලියවිල්ලක් දකින්නට ලැබුණි. 2013.03.12 දාතමින් යුතුව අග්‍රාමාත්‍ය කාර්යාලය නො. 58. ලිපිනය සඳහන් කර එය යොමුකර තිබුණේ” එස්.ඒ.එස්. සෙනවිරත්න, මහභාරකාරතුමා මහභාරකාර දෙපාර්තමේන්තුව, අංක 02, බුලර්ස් පටුමග කොළඹ 07 යන ලිපිනයටය.

ලිපියේ ශීර්ෂය ගම්පොළ නගර සංවර්ධන වැඩසටහන යනුවෙන් යොදා තිබුණි. එම ලිපියෙන් කළ ඉල්ලීම මෙසේය.

අවිධිමත් ලිපි ගනුදෙනු

“2013-02-20 දින ඔබ වෙත එවන ලද ලිපිය අනුව මිලියන අටක මුදල (80,00000.00) ලංකා බැංකු පිළියන්දල ශාඛාවේ ගිණුමට බැරකරන ලෙස සඳහන්ව ඇත්තේ ප්‍රමාද දෝශයකිනි. එය අංක 74360145 වශයෙන් නිවැරදි විය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.”

මෙයට අවශ්‍ය ලිපිය හැකිතාක් ඉක්මනින් ලබාදෙන මෙන් දන්වා සිටිමි. මෙයට විශ්වාස වූ යනුවෙන් සඳහන් අපැහැදිලි අත්සනකින් එහි සඳහන්ව ඇත.
බැලු බැල්මට මෙම ලිපියෙන් කුමන කාරණයක් ගැන සඳහන් කරන්නේද යන්න පැහැදිලි නොවෙතත්, ගම්පොළ නගර සංවර්ධන භාරය ලිපිගොනුවේ තිබූ බැවින් ඒ වෙනුවෙන් මහභාරකාරවරයාගෙන් කළ ඉල්ලීමක් බව පැහැදිලිවේ. මෙහිදී බරපතළ ප්‍රශ්නයක් වන්නේ මිලියන අටක් ඉල්ලා ඇති මෙම ලිපිය ලියා ඇත්තේ සාමාන්‍ය හාෆ්ෂීට් කඩදාසියක වීමය. ආග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපිනය සඳහන් කරමින් ඉල්ලීම් කරන්නාගේ නමක් ගමක් මෙන්ම නිල මුද්‍රාවක් රහිතව ලියා ඇති මෙම ලිපියට අනුව මහාභාරකාරවරයා චෙක්පත නිකුත් කර තිබීමය.
සාමාන්‍යයෙන් ගමේ ගොඬේ තිබෙන මරණාධාර සමිතියකින් හෝ ග්‍රාම සංවර්ධන සමිතියකින් මෙවැනි අසම්පූර්ණ ලිපියක් ලැබුණුහොත් පහළම රාජ්‍ය නිලධාරියකු වුව මෙයට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නැත. එහෙත් මේ ලිපියට එවකට සිටි මහාභාරකාර තැන යහපත් ප්‍රතිචාර දක්වන්නට කාරුණික වී තිබේ. ඉදිරියේදී ඒ ඇයිදැයි පැහැදිලි වනු ඇත. ඒ තවත් එවැනිම අවිධිමත් ලිපි වලට ඔහු ප්‍රතිචාර දක්වා ඇති බැවිනි.

ගම්පොළ නගර සංවර්ධන භාරය යනු එවකට සිටි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අග්‍රාමාත්‍යවරයා ස්ථාපක ලෙසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනතක් මගින් මහභාරකාරවරයා යටතේ පාලනය වන සංවර්ධන භාරයකි. ගම්පොළ නගරය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙය පිහිටුවා තිබේ.

විදේශාධාර ඩැහැගැනීම

ගම්පොළ නගර සංවර්ධන භාරයක් පිහිටුවීමට දි.මු. ජයරත්න මහතාට කඩිමුඩියේ අදහසක් පහළ වන්නේ ඇයි ද යන්න එය ක්‍රියාත්මක වීමේ තතු දෙස බලද්දි පැහැදිලිය.
එහි නිධාන කතාව හෙළිදරව් කරගත හැකි ලියවිලි දෙකක් ගම්පොළ නගර සංවර්ධන භාරය ලිපිගොනුවේම තිබේ. පළමුවැන්න 2016 නොවැම්බර් 11 දාතමින් විගණකාධිපතිවරයා විසින් මහාභාරකාරවරයා අමතන (AS/D/DPT/03/2016/03/19)  දරන විගණන ගිවිසුමය. දෙවැන්න 2017/03/22 දාතමින් මහභාරකාර තරංගනී කීනවින්න දිසානායක විසින් ගම්පොළ නගර සංවර්ධන භාරයේ ස්ථාපක දි.මු. ජයරත්න මහතා අමතා යවා ඇති ලිපියය.

විගණකාධිපතිගේ විගණන විමසුම අනුව ගම්පොළ නගර සභාවට චීනයේ  LINSANG නගර සභාවේ SHANG SHIHONG විසින් ප්‍රදානය කරන ලද යුවාන් මිලියනයක මුදල නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එනම් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ගොස් එවකට සිටි මහභාරකාර එස්.ඒ.එස් සෙනෙවිරත්න විසින් ගිවිසුමක් මගින් ලබාගෙන තිබේ. ඒ මුදල් වියදම් කිරීම සඳහා අටවාගත් ආයතනය ගම්පොළ නගර සංවර්ධන භාරයය. මෙය එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ලෙස දි.මු. ජයරත්න මහතා විසින් සිය බලය යොදා පිහිටුවාගත්තක් බවත් ගම්පොළ නගර සභාවට ලැබිය යුතු මුදල නගර සභාවට නොදී තමන්ට රිසි සේ වියහියදම් කිරීමට පිහිටුවාගත් භාරයක් බවද පැහැදිලිය.

ගම්පොළ නගර සභාවට චීනයේ   LINSANG  නගර සභාවෙන් මුල්‍යාධාර ලැබීම සඳහා ගම්පොළ නගරාධිපති සරත් ගාමිණි හෙට්ටිආරච්චි සහ චීනයේ  LINSANG නගරාධිපති  SHANG SHIHONG  නගරාධිපතිවරයා අතර මිත්‍රත්ව ගිවිසුම අත්සන් කර ඇත්තේ 2011 ජූලි 07 දිනදී චීනයේ දීය. ඒ අධාරය ලැබෙනුයේ ගම්පොළ නගරයේ කසළ කළමනාකරණය නගර සංවර්ධනය වෙනුවෙන්ය. ආධාරය යුවාන් මිලියනයක් හෙවත් ඇමරිකානු ඩොලර් 159,604.18ක මුදලකි.

ඩබල් ගේමක්

මෙම මුදල තමන් වෙත ලබා ගැනීමට දි.මු. ජයරත්න මහතා ගඟසිරිපුර සංවර්ධන නගර සංවර්ධන භාරය (ගම්පොළ නගර සංවර්ධන භාරය) පිහිටුවයි. ඉන්පසු මෙම මුදල ශ්‍රී ලංකාවේ මහභාරකාර දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීම සඳහා දි.මු. ජයරත්න මහතාගේ මෙහෙය වීම මත නැවත ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ චීනයේ LINSANG  නගරාධිපති සහ ශ්‍රී ලංකාවේ මහභාරකාරවරයා (එවකට සිට ඇත්තේ එස්.ඒ.එස් සෙනෙවිරත්නය) අතරය. දිනය 2013 ජුනි 08 දිනදී චීනයේදීය. විගණන විමසුම අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, මුදල් රෙගුලාසි සංග්‍රහයට හා මහභාරකාර ආඥා පනතට අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහභාරකාරවරයාට ගිවිසුම් අත්සන් කිරීමට නීතිමය බලයක් නොමැති බව සඳහන්ය.

ගිවිසුම් ප්‍රකාරව චීන යුවාන් මිලියනය හෙවත් ඩොලර් 159,604.18 ලංකා බැංකුව හරහා මහභාරකාර දෙපාර්තමේන්තුවට 2012 ඔක්තෝබර් 19 ලැබී තිබුණත් ඒ වෙනුවෙන් වූ අංක 316974 දරණ රිසිට්පත නිකුත් කර ඇත්තේ 2012 නොවැම්බර් 14 දිනදීය. එම මුදල 2013 පෙබරවාරි 27 දින ගම්පොළ නගර සංවර්ධන භාරය ඨරැ165 නම් ගිණුමකට මාරුකර තිබුණද එනමින් මහභාරකාර දෙපරේතමේන්තුවේ භාරයක් නොතිබූ බවද විගණන විමසුමේ සඳහන්ය.

සාවද්‍යා තොරතුරු

දි.මු. ජයරත්න අගමැතිවරයා 2012 ජුලි 20 ගඟසිරිපුර නගර සංවර්ධන භාරය ඔප්පු අංක 10/28/2012 ආරම්භ කර එහි ආරම්භක මූල ධනය (ඉතිරි කිරීමේ බැංකුවේ) රුපියල් ලක්ෂයක් තැන්පත් කර ඇති බව සඳහන් කර තිබුණද එම මුදල තැන්පත් කළ බවට ඇති සහතිකයේ සඳහන් දිනය 2013.05.15 දිනය වේ. මෙයින් පෙනී යන්නේ නියත වශයෙන්ම චීන ආධාර මුදල් ලබාගත් පසුව මෙම තැන්පතුව කර ඇති බවත් ඊට පෙර එසේ තැන්පතුවක් තිබෙන බවට දක්වා ඇත්තේ ව්‍යාජ තොරතුරු බවත්ය. ගම්පොළ නගර සංවර්ධන භාරය සම්බන්ධයෙන් ගැටලු කීපයක් විසඳා ගැනීම සඳහා එහි ස්ථාපක දි.මු. ජයරත්න මහතා වෙත PT/9/10/28/2012 දරන අංකයෙන් යුතුව 2017/03/22 දාතමින් එවකට සිටි මහභාරකාර තරංගනී කීනවින්න දිසානායක විසින් ලිපියක් යවා ඇත.

මහභාරකාරවරියගේ නිරීක්ෂණ

එහි සඳහන් තොරතුරු අනුව ගම්පොළ නගර සංවර්ධන භාරය පිළිබඳ ලිපිගොනුව අධ්‍යයනය කිරීමේදී භාරයන් ක්‍රියාත්මක කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග අනුගමනය කර නැති බව නිරීක්ෂණය වී ඇති බව සඳහන්ය. එහි සඳහන් විශේෂ කරුණක් වන්නේ ගම්පොළ නගර සංවර්ධන භාරය නමින් ගොනුවක් ආරම්භ කර දෙපර්තමේන්තු ගිණුම් අංකයක් ඇති මුත් 2012.11.12 දින සඳහන් ආරම්භක ලේඛනයේ 10/28/2012 සටහන් යොදා ඇති මුත් එනමින් භාර ඔප්පුවක් නැති බවය. විගණන විමසුමද මේ කරුණු තහවුරු කරයි. තරංගනී කීනවින්න දිසානායක මහත්මියගේ ලිපිය අනුව ගම්පොළ නගර සංවර්ධන භාරයට ප්‍රථම මුදල නිදහස් කර ඇතතේ 2013.03.11 දිනය. භාරය නමින් පිටකොටුව ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් ලක්ෂයක ස්ථීර තැන්පතුව තැන්පත් කර ඇත්තේ 2013.05.15 දිනදීය. කලින් සඳහන් කළ පරිදි මෙම ස්ථීර තැන්පතුව භාරය ආරම්භ කරන අවස්ථාවේදී තැන්පත් කර නොතිබු බවත් චීන ආධාර මුදල් භාරයට නිදහස් කරගත් පසුව මෙම තැන්පතුව කළේද යන සැකයද මතුවෙයි.
මෙම ලිපියට අනුව චීනයෙන් මුදල් ලැබී ඇත්තේ ගම්පොළ නගරාධිපතිගේ නමින් වුවත් එම මුදල් නිදහස් කරන ලෙස දක්වා නගරාධිපතිවරයා විසින් දෙපාර්තමේන්තුවට ලිපි එවා ඇත්තේ මහභාරකාර දෙපාර්තමේන්තුව එයට පිළිතුරු දී නැති බවද සඳහන්ය. තරංගනී කීනවින්න දිසානායක මහභාරකාරවරිය විසින් දි.මු. ජයරත්න මහතා වෙත යවන ලද ලිපියෙහි ප්‍රධාන ගැටලුවක් මතු කරයි. ඒ ගම්පොළ නගර සංවර්ධන භාරය ගඟසිරිපුර සංවර්ධන භාරය යන නම් දෙකම පාවිච්චි කරමින් මෙහි ලිපි ගනුදෙනු කටයුතු කර තිබීමය. එනමුදු දෙපාර්තමේන්තුවේ ගොනුව නඩත්තු වී ඇත්තේ ගම්පොළ නගර සංවර්ධන භාරය නමින් බවද එම ලිපියේ සඳහන්ය. මෙයද බරපතළ ප්‍රශ්නයක් මෙන්ම සැක සහිත වුවක් බවද කිව හැකිය. එය වඩාත් සැකයට බඳුන් වන්නේ භාරයෙක නම වෙනස් කළ යුතු නම් එය නීත්‍යනුකූලව සංශෝධනය කළයුතු බවත් එය එසේ වී නැති බවත් මහභාරකාරවරියගේ ලිපියේ සඳහන් කර තිබීමෙනි.
ඉඩම්වල විස්තර නැත, මුදල් ගෙවා ඇත

මහභාරකරු කිසියම් භාරයක ආරක්ෂක භාරකරු ලෙස කටයුතු කරද්දී නිදහස් කරනු ලැබූ මුදල් යෙදවූ ආකාරය පිළිබඳ පසුවිපරමක් සිදුකළ යුතු නමුත් එසේ නොකර චීන රජයෙන් ලැබූ මුදල් නිදහස් කර තිබෙන වග සඳහන් කර ඇත. එම මුදල් යෙදවූ ආකාරය ගිණුම් හෝ සංවර්ධන කටයුතු පිළිබඳව කිසිදු තොරතුරක් ලිපි ගොනුවේ ඇතුළත්ව නැති බවද ඇයගේ ලිපියෙන් පවසන්නීය.
ඇයගේ ලිපියේ සඳහන් කරුණු සනාථ කරන ප්‍රබල ගැටලුවක් මෙහිදී මතුකළ හැකිය. ඒ ඉඩම් පවරා ගැනීමේ වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 8කට අදාළ මුදල සම්බන්ධවය. මෙහිදී ඉඩම් කොපමණ ප්‍රමාණයක් පවරා ගත්තේද? ඒවායේ රජයේ තක්සේරු මුදල කොපමණද? ඉඩම් හිමියන් කවුරුන්ද? යන්න වෙන් වෙන් වශයෙන් සඳහන් විස්තරාත්මක තොරතුරු ගම්පොළ නගර සංවර්ධන භාරයේ ලිපිගොනුවේ ඇත්තේ නැත. එතුළින් ගම්‍ය වන්නේ මෙම මුදල් අවභාවිතාවේ යොදවා ඇතිද යන සැකයයි.

අගමැතිගේ ලිපි ශීර්ෂ

ඊළඟට මතුවෙන ප්‍රබලතම සැකය නම් ලිපි ගනුදෙනු කිරීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපිනය සඳහන් ලිපි මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ භාවිත කරමින් මෙම භාරයට සම්බන්ධ ලිපි ගනුදෙනු සිදු කිරීමය. එයද ප්‍රබල ගැටලුවකි. අනෙක් කරුණ වන්නේ චීනයෙන් ලැබුණු මුදල නියත වශයෙන්ම ලබාදී ඇත්තේ ගම්පොළ නගරාධිපතිවරයාට බවය. එහෙත් ගම්පොළ නගරාධිපතිවරයා විසින් මෙම මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා මහාභාරකාරවරයා ඇතුළුව රජයේ වගකිව යුතු පාර්ශ්වයන්ට දිගින් දිගටම ලිපි ලියා ඇතත් ඔහුට ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද විමර්ශනය වීමය. වඩාත් වැදගත් වන්නේ චීනයෙන් ලැබුණු රුපියල් 20,426,675.04 මුදල ඉක්මවා ගොස් රුපියල් 590282.25 හර ශේෂයක් දක්වා මුදලක් ගම්පෙළ නගර සංවර්ධන භාරයෙන් වියදම් කිරීමට මහභාරකරු විසින් සිය අනුමැතිය ලබා දීමයි. එමෙන්ම මේ හර මුදල අනිවාර්යයෙන්ම ගෙවා ඇත්තේ මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු මුදල් වලින් බවද පැහැදිලිය.

වෙසක් සංවර්ධනය

චීන රජයෙන් ලැබුණු මුදල ගම්පොළ නගර සභාවට ලැබෙන්නේ නගර සංවර්ධනයට හා කසළ කළමනාකරණයට වුවත් එවැන්නක් සිදුව ඇති බවක් ගම්පොළ නගරයට පිවිසෙන ඇස් ඇති ඕනෑම අයකුට පෙනෙයි. එසේ නොවූ බවට පැහැදිළි වන්නේ එකී මුදල් වැය කර ඇති ආකාරය දැකීමෙන්ය. ඒ මෙලෙසය.

ඉඩම් පවරා ගැනීම සඳහා                                                                        8000000.00
වෙසක් උත්සවය සඳහා                                                                            1000000.00
බස් නැවතුම සංවර්ධනය සඳහා                                                                 1200000.00
නාගරික සංවර්ධන අධිකාරිය (පුස්සැල්ලාව නගරය සංවර්ධනය)           10000000.00
ස්ථාවර තැන්පතු                                                                                         100000.00
රජයේ ගාස්තු                                                                                               613800.00
එකතුව                                                                                                     2091800.00

වෙසක් උත්සවයක් වෙනුවෙන් 10000000.00 ක දැවැන්ත මුදලක් වියදම් කිරීම චීනයෙLINSANG නගරාධිපති හා ගම්පොළ නගරාධිපති අතර ගිවිසගත් ගිවිසුමට සම්පූර්ණයෙන් පටහැනිය. එමෙන්ම ගම්පොළ නගරයෙන් පරිභාහිර කුඩා නගරයක් වන පුස්සැල්ලාව නගරය සංවර්ධනය වෙනුවෙන් රුපියල් 10000000.00 ක මුදලක් වැය කිරීමද සාධාරණ නොවේ. මේවා වගකීම් සහගත පුද්ගලයින් විසින් සිදු නොකළ යුතු දේ වන්නේය. ඒ මන්ද යත් ඒ වන විට දි.මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා ආණ්ඩුවේ අගමැතිවරයා වූ බැවිනි.එහෙත් එවැනි වගවීම් ඔහු තඹේකට මායිම් නොකර කටයුතු කර ඇතිවා සේම තම නිලධාරීන්ද අගමැතිවරයා වශයෙන් සිය බලයද අනියමින් යොදාගෙන ඇති බව පෙනේ. එලෙසම එවකට සිටි මහභාරකාර එස්.ඒ.එස්. සෙනෙවිරත්න මහතාද සිය බලය නීත්‍යනුකූලව යොදවා නැති බවද පෙනේ. විගණන විමසුමද තරංගනී කීනවින්න දිසානායක මහභාරකාරවරිය දි.මු. ජයරත්න මහතා වෙත යවන ලද ලිපියෙන්ද චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගය අභිබවා ගිය මුදලක් ගම්පොළ නගර සංවර්ධනය භාරයට නිදහස් කිරීමට එස්.ඒ.එස්. සෙනෙවිරත්න හිටපු මහභාරකාරවරයා කටයුතු කර තිබීමෙන්ද මේ බව වඩාත් තහවුරු වේ.

සංවර්ධනය වූයේ ජයරත්න පවුලද?

ජයරත්න පවුල ගම්පොළ නගර සංවර්ධනයට මුවාවෙමින් තවත් අටවාගත් කෙමන දෙකක් ඇත. ඒ දි.මු. ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල දිසානායක මහතාගේ භාර්යාව වන අනුලා ජයරත්න මහත්මියගේ ගම්පොළ ලලන සවිය සංවිධානයයි.

තොරතුරු සැපයීම මගහරින හැටි

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල සම්බන්ධව තොරතුරු මහභාරකාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ 2017 නොවැම්බර් මාසයේදීය. මහභාරකාර දෙපාර්තමේන්තුවෙන් එවන ලද ලිපියකින් දන්වා තිබුණේ අම්බුළුවාව භාර අරමුදලින් එම තොරතුරු ලබා දෙන බවට දන්වා එවා ඇති බවය. ඒ අනුව වාර ගණනාවක් ලිපි හා දුරකතන පණිවිඩ හුවමාරුවකින් පසුව 2018 ජූලි 25 දින අදාළ තොරතුරු ලබාදීමට පැමිණෙන ලෙස එහි තොරතුරු නිලධාරි පී.ජී. විජේසිංහ විසින් දන්වා එවූවද එදින එහි ගිය පසු ලිපිගොනු පරීක්ෂා කිරීමට නොලැබුණු අතර දින හතක් ඇතුළත ලිපිගොනු පරීක්ෂා කිරීමටත් ඒවායේ අවශ්‍ය පිටපත් ලබාදීමටත් හැකි බවට තොරතුරු නිලධාරියා විසින් අතින් ලියූ ලිපියක් ලියුම්කරුට භාර දෙන ලද්දේය.
දින 7ක් ඉක්මවුවද නැවත කැඳවීමක් නොළද අතර ඒ වෙනුවට 2018.08.15 දාතමින් යුතුව ලියුම්කරුට ලිපියක් ඒවා තිබුණි. එහි මෙසේ සඳහන්ව ඇත.

“ඔබ විසින් මෙම ආයතනයෙන් ඉල්ලා ඇති 2012 සිට 2017 වර්ෂ දක්වා ගිණුම් වාර්තා, වැටුප් වාර්තා, ආදායම් වාර්තා, මේ සමඟ ඉදිරිපත් කරමි. එම ලේඛන වල එක් එක් වර්ෂයට අදාළ ගිණුම් වාර්තා, වැටුප් ගෙවීම් විස්තර, ආදායම් විස්තර ඇතුළත්ය. මේ සමඟ ලේඛන 6ක් ඔබ වෙත ඒවා ඇත. ඉදිරියේදී යම් තොරතුරක් විමසීමකදී අදාළ පෝරමයද සම්පූර්ණ කර එහි පැහැදිලිව ඉල්ලනු ලබව තොරතුරු දක්වනු මැනවි.” තොරතුරු නිලධාරී වෙනුවෙන් භාණ්ඩාගාරික ජී.ඩබ්ලිව්. චන්ද්‍රරත්න නමැති අය මෙම ලිපියට අත්සන් තබා තිබේ.

ව්‍යාජ ගිණුම් වාර්තා හා රැවටීම

ලිපියේ සඳහන් ආකාරයට ආදායම් වාර්තා, ගිණුම් වාර්තා හෝ වැටුප් වාර්තා වෙන වෙනම තිබුණේ නැත. පුදුමය වන්නේ වසරකට මිලියන 10කට වැඩි මුදලක් ගනුදෙනු වෙන මෙම ආයතනයේ ගිණුම් වරළත් ගණකාධිකාරිවරයකු සහතික කර නොතිබීමය. එය වසර 6ක් ම සිදු නොකිරීමෙන් පෙනී යන්නේ මෙම ආයතනය තුළ වංචාවක් සිදු වන බව නොවේද? ගිණුම් සැකසීමද දෙවිදියකින් සිදුකර ඇති බව පෙනේ. එයද ප්‍රශ්නගතය.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල
2012-වසරේ සිට 2017 වසර දක්වා උiාන සේවක වැටුප්, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදලට මුදල් ගෙවා ඇති ආකාරය.

වර්ෂය 2012 2013 2014 2015 2016 2017
උiාන සේවක වැටුප් 2,443,191,93 2,181,806.00 1,717168.00 1,954,754.00 නැත 2,755 468.00
සේවක අර්ථසාධක අරමුදල 225,150.00 363,600.00 526660.00 231,400.00 696,855.00 326,536.00
සේවක භාරකාර අරමුදල නැත 37006.00 42 203.70 නැත 112 107.00 80812.00

මෙම සංඛ්‍යා ලේඛන උපුටා ගනු ලැබුයේ භාණ්ඩාගාරිකවරයා විසින් එවා තිබූ වාර්තා හයෙනි.

මෙම සංඛ්‍යා ලේඛන අනුව ඒ ඒ වර්ෂවල සේවක වැටුප් අඩු වැඩි වී ඇති බව පෙනේ. එබැවින් මෙහි සඳහන් සංඛ්‍යා ලේඛනවල විශ්වසනීයත්වය පිළිබඳ සැක සංකා මතුවීම සාධාරණය. පුදුමය වන්නේ 2012 සහ 2015 වසරවල සේවක භාරකාර අරමුදලට මුදල් ගෙවා නොමැති වීමයි. අතපසු වීමක් නිසා එය නොගෙවා සිටියේ යැයි උපකල්පනය කළද එය ඊළඟ වර්ෂයේදී ගෙවූ බවක් මෙම වාර්තා වලින් සනාථ වීමක්ද නැත. එලෙසම 2016 වසරේදී උiාන සේවක වැටුප් ගෙවීමක් සිදුව නැති බව ද මෙම ලේඛන වලින් තහවුරු වේ.

මෙම ගිණුම් වාර්තා තවත් සැක සහිත වන්නේ ස්ථීර සේවක සංඛ්‍යාවක් නිශ්චිතවම දක්වා නොතිබීමය. එසේ වූයේ නම් සෑම වසරකම වැටුප් එකතුව සමාන විය යුතුය. කිසියම් ආකාරයකින් සේවක වැටුප් වැඩි වූයේ නම් එයද වසරින් වසර ක්‍රමානූකූලව වැඩි විය යුතුය. එහෙත් මෙහිදී පෙනෙන්නේ 2012 වැටුප් 2012 වැටුප් එකතුවට වඩා 2014,2015 වසරවල වැටුප් එකතුව අඩුවී 2017 දී යළි වැඩි වීමය. එහෙත් සේවක අර්ථ සාධක අරමුදල් දායකත්ව මුදල අඩුම වැටුප් එකතුවක් තිබූ 2014 වසරේදී 2013ට වඩා විශාල අගයක් ගෙන තිබේ.

අපූරු වියදම්

වියදම් පාර්ශ්වයෙන් ගත් කල 2014 දී තාවකාලික කම්කරුවන් වෙනුවෙන් රුපියල් 403 650ක් වියදම් කර තිබේ. හදිසියේ එවැනි වැඩි වීමක් වූයේ ඇයිද යන්න මෙහිදී මතුවෙන ප්‍රශ්නයකි. 2016 වසරේදී තවත් අපූරු වියදම් දෙකක් එම ගිණුම් වාර්තාවේ සඳහන්ව ඇත. විදුලිය වෙනුවෙන් 533 999.50ක් ද උiාන විදුලිය වෙනුවෙන් 2 236 215ක් ද වැය කර තිබීම ඒ වියදම් දෙකයි. ඊළඟ වැදගත් ප්‍රශ්නය වන්නේ ආදායම් පාර්ශ්වයෙන් පෙන්වා තිබෙන දුරකතන කුටි ආදායමයි. එය 2012දී 5,802 000කි. 2013 දී 2 900 000කි. 2014දී 4 476,000කි. 2015දී 2,412,000කි. 2016දී 5,225 833.50කි. 2017දී 5, 889 590කි. 2017දී දුරකතන කුලුනු ආදායමට ණය අය වීමක්ද එකතු කර තිබේ. සාමාන්‍යයෙන් දුරකතන කුලුනු වෙනුවෙන් ලැබිය යුත්තේ ස්ථාවර ආදායමක් වන අතර එය වසරින් වසර වැඩි වීමක් මිසක අඩුවැඩි වීමට හේතුවක් නැත.

මේ ගිණුම් වාර්තා දෙස බලන සාමානය දැනීමක් ඇති අයට වුවද වැටහෙනුයේ මේ නම් ඉල්ලා ඇති තොරතුරු ලබාදීම සඳහා තදියමින් සකස් කර ඇති ව්‍යාජ ගිණුම් වාර්තාවක් බවය. ඊට හොඳම උදාහරණය වරලත් ගණකාධිකාරිවරයකු මෙම ගිණුම් වාර්තා සහතික කර නොතිබීමයි. ඒ අතරම මෙම වාර්තා වලින් 2012 වාර්තාව සභාපති ලේකම් භාණ්ඩාගාරික යන තිදෙනාම අත්සන් කර ඇත. අනෙක් වාර්තාවල තිදෙනාම අත්සන් කර නැත. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ පනත ප්‍රකාරවම මෙහි ආදායම් වියදම් වාර්තා විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් විය යුතු වුවත් එවැන්නක් 2012 වසරේ සිටම එවැන්නක් සිදු කර නැති බවද නිරීක්ෂණය වීමය. අවසාන වශයෙන් කිවයුතු වැදගත්ම කාරණය මෙම අරමුදල තවමත් මහභාරකාරවරයාගෙන්ද යැපෙන බවය. ඊට සාක්ෂි සැපයෙන්නේ 2012 ගිණුම් වාර්තාවය. එවැනි ආදායම් පාර්ශ්වයේ මහා භාරකාරතුමාගෙන් රු.2,100 000ක් ගත් බව සඳහන්ව තිබීමය.

ජී.එම්. චන්ද්‍රරත්න

භාණ්ඩාගාරික, අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල

 

ඔබතුමා එවා තිබෙන ගිණුම් වාර්තා වරළත් ගණකාධිකාරිවරයකු සහතික කර නැත්තේ ඇයි?

ඔඩිටර් ජනරාල්වරයා ප්‍රයිවෙට් ගණකාධිකරිවරුන් සහතික කරන ඒවා පිළිගන්නේ නැහැ.

එහෙම නම් ඔබ ඔබේ ගිණුම් වාර්තා ඔඩිටර් ජනරාල්වරයාට භාර දුන්නේ කවදද?

2012 ඒවා භාරදීලා තිබෙන්නේ. 2013 ගිය අවුරුද්දේ දුන්නා. ඉතිරිව මේ මාසෙම භාර දෙනවා.

2012 සිට විගණකාධිපතිට නොයැවූ ගිණුම් වාර්තා 2017 වෙනකල් නොයවා කඩිමුඩියේ වාර්තා හැදුවේ අපි 2017 නොවැම්බර් වලදී ගිණුම් වාර්තා ඇතුළු තොරතුරු ඉල්ලුව නිසා නොවේද?

යවන්න පරක්කු වුණේ අපිට නිලධාරීන් නැති නිසයි. එක නිලධාරියෙක් ඉන්නවා. අනෙක් අය වෙනත් රැකියා කරන ස්වේච්ඡාවෙන් වැඩ කරන අය.

ආයතනයේ ස්ථීර සේවකයෝ කී දෙනෙක් ඉන්නවද?

ස්ථීර සේවකයෝ නැ. දෛනික වැටුප් ලබන අය ඉන්නේ. ඒ අයට නිවාඩු නෑ. වැඩට ආවොත් විතරයි පඩි හම්බ වෙන්නේ. කම්කරු දෙපාර්තමේන්තුව අපිව නිරීක්ෂණය කරනවා. ඒ අය මේ ගැන කිසිවක් කියා නැහැ.

එතකොට අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදලට මුදල් බැර කිරීම් වලදී එක් එක් වසර වලදී අඩුවැඩි වෙන්නේ ඇයි?

පරණ හිඟ මුදල් ගෙවන නිසා තමයි එහෙම වැඩි වෙන්නේ.

2013 අවුරුද්දේ ඔබ විදුලි කුලුනු බදු ආදායම් වැඩියි. 2014 අඩුයි. ඒ ඇයි?

2013 අපි අලුත් ගිවිසුමක් අත්සන් කරන්න ඇති.

ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද?

රුපියල් එකයි ශත පනහක් විතර.

එතකොට ටිකට්පත් කොපමණ විතර මුද්‍රණය කරනවද?

එක් වරකට පන්දහසක් විතර

ගිණුම් වාර්තාවේ විදිහට වසරකට ප්‍රවේශ ලත් මුද්‍රණයට ලක්ෂ එකහමාරේ සිට දෙලක්ෂ හැත්තෑ දහස දක්වා වූ පරාසයක ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරලා තිබෙනවා. එතකොට මේ ගණන් වැරදියි නේද?

එහෙම හරියට කියන්න මට මතකයක් නැහැ.

මහභාරකාර දෙපාර්තමේන්තුවෙන් වසරකට කොපමණ මුදලක් ඔබ ආයතනයට ලැබෙනවාද?

2009 වසරෙන් පසුව මහභාරකාර දෙපාර්තමේන්තුවෙන් මුදල් එවන්නේ නෑ.

2012 ගිණුම් වාර්තාවේ මහභාරකාරවරයාගෙන් රුලියල් ලක්ෂ 21ක් ලැබුණු බවට සඳහන් වෙනවා නේද?

ඒ ඒ අය කරන වැඩ වලට වටිනාකම ඒක තමයි. ගිණුම් වාර්තාවේ තිබෙන්නේ.

 

මහභාරකාරතුමාගෙන් අහන ප්‍රශ්න අපට අදාළ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ගම්පොළ නගර සංවර්ධන භාරයේ සාමාජික

ගම්පොළ නගර සංවර්ථන භාරය සම්බන්ධයෙන් මහභාරවරයාට විගණකාධිපතිවරයා එවූ විගණන විමසුම ගැන මොකද කියන්නේ?

ඒක අපිට අදාළ නැහැ. මහභාරකාරතුමා ඒකට උත්තර දීලා ඇති.

හිටපු මහභාරකාර තරංගනී කීනවින්න දිසානායක ගම්පොළ නගර සංවර්ධන භාරයේ ස්ථාපකගෙන් කරුණු විමසා යැවූ ලිපියට පිළිතරු යවා නැද්ද?

අපි ගිහිල්ලා ලිඛිතවම පිළිතුරු දීලා තියෙනවා. ඒක ලිපිගොණුවේ සටහන් වෙලා තිබෙනවා.

ගම්පොළ නගර සංවර්ධන භාරයේ සියලු ලිපි ගනුදෙනු සිදුකරලා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂ වලින්.ඒක වැරදි නැද්ද?

අග්‍රාමාත්‍ය කාර්යාලය නිසා තමයි චීනයෙන් ආධාර මුදල් ලැබුණේ. භාරය හැදුවෙත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමයි. අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා තමයි ඒ නිසා ලිපි ගනුදෙනු කළෙත්. ඒවායේ කොපිත් තියනවා.

විගණන විමසුම අනුව දැනට මහභාරකාර දෙපාර්තමේන්තුවේ ගම්පොළ සංවර්ධන භාරය ගිණුමේ හර ශේෂයක් තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මහභාරකාර දෙපාර්තමේන්තුවයි අපියි දෙපැත්තටම ගනුදෙනු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අපිත් සල්ලි දීලා තිබෙනවා. ඒ නිසා මට ඒක ගැන හරියටම කියන්න බැහැ.

චීනයෙන් මුදල් දෙන්නේ ගම්පොළ නගර සංවර්ධනයට සහ කසළ කළමනාකරණයට ගම්පොළ එහෙම එකක් වෙලා නෑ නේද?

අපි අත්සන් කළ ගිවිසුමේ එහෙම එකක් නෑ. විවිධ අරමුණු තිබෙනවා. ඒ විධියට තමයි අපි වැඩ කරලා තිබෙන්නේ.

 

ඉඩම් පවරා ගැනීමට මුදල් අරගෙන තිබුණත් ඒ ඉඩම් වල ප්‍රමාණය, රජයේ තක්සේරුව ගැන සඳහනක් නැහැනේ.

අපිට ඉඩම් පවරා ගන්න බැරිවුණා. ඒ සල්ලි එහෙමම බැංකුවේ තිබෙනවා. අනෙක අපි මේ සියලු ගනුදෙනු කරලා තියෙන්නේ චෙක් වලින්. මුදල් ගනුදෙනු කරලා නෑ.