රාවය

“එදා ‘ඩාර්ක් රූම්’ වැඩකළේ ඇඳයට …” කාටූන් චිත්‍රපට අධ්‍යක්ෂ – ගිවන්ත අර්ථසාද්

“එදා ‘ඩාර්ක් රූම්’ වැඩකළේ ඇඳයට …” කාටූන් චිත්‍රපට අධ්‍යක්ෂ – ගිවන්ත අර්ථසාද්

සංවාදය – බෙනිල් ශාන්ත

මාධ්‍ය රූප සජීවීකරණයේ (Animation) වෘත්තිකයකු වූ ගිවන්ත අර්ථසාද් කාටූන් චිත්‍රපටකරණයේ පුරෝගාමියකු වෙමින් දුටුගැමුණු (1979) වෘත්තාන්ත කාටූන් චිත්‍රපටය නිර්මාණය කළේය. එය මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹු 1979.10.09 දිනට පමණක් සීමාකර රජය විසින් පූර්ණ ප්‍රදර්ශන තහනමක් පනවන්නේ එහි කතා සංකල්පයම එදා පැවති රාජ්‍ය දෘෂ්ටිවාදයට පටහැනි වූ බැවිනි.
මෙරට සිනමා උලෙළවලදීද ඇගයීමට ලක් වී නොමැති අර්ථසාද්ගේ “දුටුගැමුණු” හා “මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි” යන කාටූන් චිත්‍රපට දෙකම දේශීය චිත්‍රපට නාමාවලියේද අනුපෙළ ගන්වා නොමැත්තේ එහි ස්වරූපය පිළිබඳ මතවාද හේතුවෙන් විය හැකිය.

2016දී හෙතෙම සිනමා තාක්ෂණය පිළිබඳව ලියැවුණු ‘සිනමා මායා’ ග්‍රන්ථයද පළ කළේය. චිත්‍රපට රැසක පූර්ව ප්‍රචාරක පට, නාමාවලිය සැකසීම හා විශේෂ දර්ශන ප්‍රයෝග නිර්මාණය කරමින් දීර්ඝ කාලයක සිට සිනමා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ගිවන්ත අර්ථසාද්ගේ චිත්‍රපටකරණය පිළිබඳ සිදු කළ කෙටි කතාබහක සටහනයි මේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාටූන් චිත්‍රපටකරුවා ලෙස ක්‍ෂේත්‍රයට පිවිසෙන ඔබ එවැන්නකට යොමුවූ පසුබිම පැහැදිලි කළොත්?

ඇත්තටම ලංකාවේ කාටූන් චිත්‍රපට ශිල්පය ආරම්භ කළේ මම නෙවෙයි. දයා කරුණාරත්න. ඒක හැමවිටම මම කියනවා. එහෙත් චිත්‍රපටකරුවෙක් ලෙස පුරෝගාමියා මම. 1971 දී පළමු කාටූන් කෙටි චිත්‍රපටය එළිදැක්වූවා “අන්දරේ” නමින්.

මම වෙස්ලි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ පාසලේ පෙන්නුවා “මිකී මවුස්” වගේ චිත්‍රපට. 16  mm ප්‍රමාණයෙන්. මම එතකොට 3 වැනි පන්තියේ. ගුරුවරියගෙන් විමසුවා එම චිත්‍රපට හදන හැටි. මම අදටත් ගරු කරනවා ඒ ගුරුතුමියට. එදා අවුරුදු 08 දී හිතා ගත්තා කවදාහරි කාටූන් චිත්‍රපටයක් හදනවා කියලා.

ඉස්කෝලේ යාලුවෙක් ඔලිම්පියා තියටර් එක ආසන්නයේ පදිංචි වී හිටියා. රීල් වලින් කපා ඉවත් කරන 35 mm පටල කැබලි මට ගෙනවිත් දුන්නා. මම තාත්තාගේ මැග්නිෆයින් ග්ලාස් එක අරගෙන ටෝච් බල්බ් එකක් සවිකර ස්ලයිඞ් පෙන්නුවා බිත්තියේ. මට මතකයි පළමුවෙන් බැලූ චිත්‍රපටය. “කැලෑ හඳ” පාසලේ කානිවල් එකකදී පොල් අතු මඩුවක පෙන්වූයේ. දෙවනුව “සුවනීත ලාලනී” බැලුවා. මම තනිවම චිත්‍රපට ශාලාවකට ගිහින් බැලු චිත්‍රපටය. “ගැටවරයෝ” (1964). පාසලේ 6 වැනි පන්තියේ. ඒක කළු සුදු චිත්‍රපටයක් වුවත් වෙළෙඳ දැන්වීම් ස්ලයිඞ් වර්ණයෙන් දැම්මා. මට හිතුණා චිත්‍රපට ශාලාවක් හදන්න. කාඞ්බෝඞ් පෙට්ටියකින් හැදුවා.

පාසල් අධ්‍යාපනයෙන් පසු ක්‍ෂේත්‍රයට යොමුවූ අයුරු…?

මම ඉපදුණේ කටුනායක වුවත් පසුකලෙක මොරටුවේ පදිංචියට ආවා. කටුනායක මෙතෝදිස්ත විද්‍යාලයට පළමුවෙන් ගියා. 2 වන ශ්‍රේණියේ සිට කොළඹ වෙස්ලි විද්‍යාලයට ආවා. පාසලේ බෝඩිමේ හිටියේ. එදා 2 පන්තිය භාරව සිටි ගුරුවරයා පසුකලෙක ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සිරිල් වික්‍රමගේ මහතා. එතුමා එදා මට කිව්වා “පීරිස් තමුසෙ ඕයි මේ රටේ නෙවෙයි ඉපදෙන්න තිබුණේ…” කියලා. පසුව 10 ශ්‍රේණියේ දී එහි ගුරුවරයා මම චිත්‍රයක් අඳිනවා දැකලා කිව්වා “ජර්මනියේ ඉපදුණා නම් කෝටිපතියෙක්” කියලා.

මම 10 පන්තියෙන් පසු චිත්‍ර වැඩවලට වැඩියෙන් යොමු වුණා. උසස් පෙළ කළේ නැහැ. ඒ කාලේ තිබුණා කාන්තාවක් සාරියක් මිලදී ගත්විට මල් මෝස්තර පේන්ට් කරන සිරිතක්. ඉතින් වැඩිහිටි සහෝදරියෝ මට කියලා සාරි පෙන්ට් කර ගත්තා. ඒ සඳහා මට ගෙවීමක් කළා. මුදල් ලැබෙන විට මම ඒ වැඩ වලට වැඩියෙන් යොමුවුණා. තාත්තා හැම මාසෙකම චිත්‍රපටයක් බැලීමට සල්ලි දුන්නා.

“අන්දරේ” කෙටි චිත්‍රපටය හදන විට කඩදාසිවල රූප ඇඳලා ලාල් දිසානායකගෙන් කැමරාවක් ඉල්ලගෙන රූපගත කළා. ඒ එක චිත්‍රයක් තවමත් මා ළඟ තියෙනවා. ඊළඟ අවුරුද්දේ චිත්‍රපට කැමරාවක් හදන්න පටන් ගත්තා. එක වරකට එක රූප රාමුවක් පමණක් ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා. පසුව මම ලී වලින් “ඇනිමේෂන්” කළ හැකි කැමරාවක් හැදුවා.

35 mm පටලයට එක එක බැගින් රූප ගත කළා. මම මේක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට පෙන්නුවා. ඔහු කිව්වා මෙච්චර දෙයක් හදපු එකේ “ඔප්ටිකල්” ප්‍රින්ටර් එකකුත් හදන්න කියලා. මම කිව්වා ඒ ගැන දන්නේ නැහැ කියලා. ඔහු පොතක තිබිලා ඒ ගැන පැහැදිලි කළා. ඉතින් මම හැදුවා. සුමිත්ත අමරසිංහ, එම්. එස්. ආනන්ද ඒ ගැන සතුටු වුණා. ටයිටස් තොටවත්තගේ “මරුවා සමග වාසේ” චිත්‍රපටයට එම යන්ත්‍රය භාවිත කළා. මගේ මල්ලි (දිනේෂ් ප්‍රියසාද්) මෙම යන්ත්‍රය වැඩි දියුණු කළා. පසුව චිත්‍රපටකරුවන්ගෙන් මේකට හොඳ ඉල්ලුමක් තිබුණා.

ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, සුනිල් ආරියරත්න ඇතුලු චිත්‍රපටකරුවන් රැසක් මා හමුවට ආවා. පූර්ව ප්‍රචාරක පට, නාමාවලිය සහ විශේෂ දර්ශන ප්‍රයෝග නිර්මාණය කරගැනීමට එම යන්ත්‍රයේ චිත්‍රපට 40 ක පමණ වැඩ කළා. “දුටුගැමුණු” හැදීමට පෙර 35 mm පටල පටවල රූප රාමු ඇන්දා. කෙටි චිත්‍රපට 10ක් හැදුවා.

දුටුගැමුණු හදපු පසුබිම මොකක්ද?

’‘දුටුගැමුණු” තිර රචනය ලිව්වේ “සරත් කැල්ලපත.” එය චිත්‍රපට සංස්ථාවෙන් B ශ්‍රේණියේ තිර පිටපතක් ලෙස අනුමත වුණා. එම චිත්‍රපටයට 50 ්‍ර ක් ණය ලබාගත හැකි වුවත් මට ණය දෙන්න බෑ කිව්වා. ඒ කාලේ නිහාල්සිංහ මහතා හිටියේ. සංස්ථාවෙන් ප්‍රශ්න කළා කැමරාවක් නැතුව කාටූන් චිත්‍රපට හදන්න පු`ඵවන්ද කියලා.

නිහාල්සිංහ මහත්තයා කිව්වා මේකට මටවත් උත්තරයක් දෙන්න බැහැ කියලා. ඒ වෙනකොට මට කලා අධ්‍යක්ෂවරයෙක් සහ කාටූන් චිත්‍රපටකරුවෙක් ලෙස බලපත්‍ර තිබුණා. නිහාල්සිංහ මහත්තයා කිව්වා කෙටි චිත්‍රපටයක් හදන්න ඔයාට බාධාවක් නැහැ කියලා. පසුව කෙටි චිත්‍රපටයකට 35 mm පටල පට අඩි 3000 ක් අනුමත කළා.

ඒ ප්‍රමාණය නැරඹීමෙන් පසු ඉතිරි ප්‍රමාණය අනුමත කිරීමට කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාව පැවසුවා. ඉතින් අපි “දුටුගැමුණු” චිත්‍රපටයේ පළමු රීල් එක හැදුවා. ඒ වෙලාවේ ආණ්ඩුව වෙනස් වුණා. වැඬේ හිරවුණා.

පසුව මම මේ ගැන ගාමිණි ෆොන්සේකා මහතාට පැවසුවා. ඔහු ලියුමක් දුන්නා සභාපති උපසේන මාරසිංහ මහතාට ඒ සඳහා අවසර ලබා දෙන්න කියලා. මම සංස්ථාවට ආවා රීල් එක අරගෙන. එහිදී කලින් කෙටි චිත්‍රපටයට දීපු බලපත්‍රය වෘත්තාන්ත චිත්‍රපටයක් සඳහා දීර්ඝ කර ලබා දුන්නා. ඒ බලපත්‍රය තවමත් මා ළඟ තිබෙනවා. “දුටුගැමුණු කෙටි කාටූන් චිත්‍රපටය” ලෙස. “දුටුගැමුණු” චිත්‍රපටය නිෂ්පාදනය සඳහා මගේ මිතුරන් විසිදෙනෙක් මාස්පතා රු. 50/- බැගින් ලබා දුන්නා. මාස 18න් චිත්‍රපටය හදා නිම කළා.

දුටුගැමුණු චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවීම සම්බන්ධ අතීත සිදුවීම කුමක්ද?

චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමත වෙලා පෙන්වීමට අවස්ථාව තිබුණේ සුනිල් ආරියරත්නගේ “වජිරා” චිත්‍රපටයෙන් පසුව, තුන්වන මණ්ඩලයේ. ඒ අතරේ සංස්ථාවෙන් ලිපියක් ලැබුණා ‘සම්භාව්‍ය චිත්‍රපටයක්ද යන්න සලකා බැලීමට අවශ්‍ය බව දන්වමින්’. ඔවුන් නරඹා පස්වන මණ්ඩලයට ලබාදෙන බව පැවසුවා. ඒ මණ්ඩලයෙත් පෝලිමක් තිබුණා. ඒ අතරේ 1979 ළමා වර්ෂය වෙනුවෙන් සංස්ථාව කොපි 02ක් ගහලා ප්‍රංශයේ “ඇනසි” චිත්‍රපට උලෙළ හා “ගියෝන්” චිත්‍රපට උලෙළට යැව්වා. ඒ අතර මට දැනුම් දුන්නා “චූඩාමාණික්‍ය” චිත්‍රපටයෙන් පස්සේ 5 වන මණ්ඩලයේ “දුටුගැමුණු” රිලීස් කරන බව.

ඒත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේදීම රාත්‍රියේ චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටවූ බව දැනගන්නට ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නියෝගයකින්. පළමු දිනයේ චිත්‍රපටයේ ආදායම රු. 15000/- යි. තියටර් එකක සාමාන්‍යය රු. 1000/- යි. එය ඒ කාලේ හැටියට සාමාන්‍ය ආදායමක්. පසුවදා මම චිත්‍රපට සංස්ථාවට ඇවිත් සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතා හමුවුණා.

චිත්‍රපටයට වැය වූ මුදල් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු පැවසුවා. වියදම වූයේ රු. 144000/- යි. පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කෙනෙක් මට කතා කළා. ලිඛිතව දෙන්න නොහැකි බව පවසමින් චිත්‍රපටය තහනම් කිරීමට හේතු පැහැදිලි කළා. යම් කාලයක් ගතවන තුරු මේ ගැන කාටවත්ම නොකියන ලෙස ඉල්ලීමක් කළා.

ලංකාවේ ඒ කාලේ මෝදු වෙමින් පැවති ජාතිවාදී ප්‍රශ්නයට “දුටුගැමුණු” චිත්‍රපටය උත්ප්‍රේරකයක් විය හැකි නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය නැවැත්වූ බව ඔහු පැවසුවා. මගේ නිර්මාණයේ කිසිම වරදක් නොමැති බවත්, රැගුම් පාලක මණ්ඩලයේ සහ චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ලැබී ඇති නමුත් රජය පාසල් විෂය පද්ධතියෙන් දුටුගැමුණු කතාව අයින් කළ නිසා මෙය ජනගත වීම ප්‍රශ්නයක් බව පැවසුවා. ඒ නිසා චිත්‍රපටයට වැය වූ මගේ මුදල් සියල්ලම ගෙවන බවත්, නිර්මාණ ගාස්තුව වූ රු. 10000/-මුදල නොගෙවන්නේ මා වෙත බුද්ධිමය දේපළ අයිතිය තිබිය යුතු නිසා බවත් පැවසුවා. මට රු. 33000/- ක චෙක්පතක් ලැබුණා.
ඒ මුදලට තව මුදලක් යොදවා දැනට මා පදිංචිව සිටින මොරටුවේ නිවස මිලදී ගත්තා. දුටුගැමුණු චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවීම නිසා මට ආර්ථික හානියක් වුණේ නැහැ.

එදා දුටුගැමුණු චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ආනන්ද තිස්ස ද අල්විස් මහතා පැමිණියා. ඔහු කිව්වා රූපවාහිනිය පටන් ගත්තාම තමයි ඔබට වැඩ තියෙන්නේ කියලා. ඒ වගේම 1980දී රූපවාහිනියට මාව ගත්තා. එතකොට ගොඩනැගිලි ඉදිවෙනවා. මාව බර්ලින් යැව්වා තවදුරටත් ඇනිමේෂන් පුහුණු වෙලා එන්න කියලා. ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමක් ලබාදීමෙන් පසුවයි එම පුහුණුවට යැව්වේ. ආපසු ඇවිත් මම ITN එකේ වැඩ කළා. 1982 දී රූපවාහිනියට ආවා. රූපවාහිනියේ පරිගණක තිබුණේ නැහැ. සියලු මෙවලම් අතින් හැදීමට සිදුවුණා. එම කාර්ය මා සාර්ථකව ඉටුකළා. මේ මෑතකදී රූපවාහිනී රාජ්‍ය සම්මාන මට ලැබුණා. සම්මානය හඳුන්වා තිබුණේ කිසිදු පහසුකමක් නොතිබූ යුගයක සියලු මෙවලම් අතින් හදාගෙන කටයුතු කළාට දෙන සම්මානය කියලා. අද ඉදිරියට පැමිණ තිබෙන ගමනේ මූලික හැරවුම සිදු කළේ මම.

දුටුගැමුණු චිත්‍රපටයෙන් පසුව ඔබේ නිර්මාණ මොනවාද?

රූපවාහිනියේ බොහෝ සජීවීකරණ නිර්මාණ කළා. රූපවාහිනිය ආරම්භ වී අවුරුදු 05 කින් මම ඉල්ලා අස්වුණා. ඒකට හේතුව අන්ධභාවයට පත්වීමට ආසන්න වීම. වෛද්‍ය පරීක්ෂණ වලදී පැවසුවේ ඇස් තදින් වෙහෙස වීම නිසා දෘෂ්ටි විතානය ඉරීමකට ලක්වෙලා කියලා. අතින් රූප ඇඳීම නිසා ඒ. එදා අද වගේ ලේසර් භාවිතය නොතිබූ නිසා කාබන්ඩයොක්සයිඞ් ගෑස්වලින් ඇස පෑස්සුවා. ඒත් රූප ඇදවීමක් තිබුණා. එය දෙයියන්ට බාර දෙන බව වෛද්‍යවරුන් පැවසුවා. පසුව ඇස් සාමාන්‍ය තත්ත්වයට පත්වුණා.
පසුව “මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි (2002) කාටූන් චිත්‍රපටය කළා. පරිගණක ඇසුරෙන් කළේ. කඩදාසියේ කළු සුදු රූප ඇඳලා ස්කෑන් කරලා අරන් පරිගණකය තුළ වර්ණ ගැන්වීම් ආදි සියලු කටයුතු කළා. එම චිත්‍රපටය 35 mm පටල පටයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළා. පාසල් දර්ශන පැවැත්වීමට අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබුණා. සිග්නීස් සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මානයක් ලැබුණා.
1989 දී මම කළ “මහ සිකුරාදා” නම් කෙටි චිත්‍රපටයට (16 mm) ocic සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ස්වර්ණ සම්මානය ලැබුණා.

ඔබේ නවතම චිත්‍රපටය හා එහි තත්ත්වය පැහැදිලි කළොත්

මට සරත් කැල්ලපත හමු වූ වෙලාවකදී ඔහු වස්තු බීජයක් දුන්නා. ඒක මම ලිව්වා. ඒත් චිත්‍රපටය කරන්න මුදල් තිබුණේ නැහැ. එහිදී මගේ ගෝලයෝ උදව් කළා. මම රූප ඇන්දා. ඒක කාටූන් පමණක්ම නෙවෙයි. “ආලේඛ්‍ය ශිල්ප (Graphic Tequenic) යනුවෙන් හැඳින්වෙනවා. ඒවාට තවම මෘදුකාංග හදලා නැහැ. චිත්‍රපටයේ නම : “යුරේකා”
පොඩි ළමයකුව සීයා විසින් ඉතිහාසයට රැගෙන යනවා. එහිදී බොහෝ දෙනා හමුවෙනවා. ආකිමිඩිස්, එඩිසන්, හිට්ලර්, ආදි මානවයා … මේ වැඬේ දැනගෙන චිත්‍රාගාර 3 කින් මට කතා කළා නොමිලේ වැඩ කරදීමට. චිත්‍රපටයේ සින්දු 12ක් තිබෙනවා. DCP ට්‍රාන්සර් එකත් නොමිලේ කරලා දුන්නා. හැමදෙනෙක්ම මේ චිත්‍රපටයට නොමිලේ දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටයේ නාමාවලියේ මම සඳහන් කළා “මෙහි නිෂ්පාදකවරයෙක් නොමැත. මෙයට බුද්ධිමය ශ්‍රමය කැපකල සියලු දෙනා අතරේ මෙහි ලාභාංශ බෙදී යනු ඇත.” ඒක මම නීත්‍යනුකූලව සකස් කරලා තිබෙන්නේ.

සිනමා ක්‍ෂේත්‍රයේදී ඔබව හැඳින්විය යුත්තේ කවුරුන් ලෙසද?

එඞ්වින් ආරියදාස මහතා තමයි මට සැබෑ හැඳින්වීම කළේ. “සිනමා විද්‍යාඥයා” නමින්. අදාළ උපකරණ හදාගෙන නිර්මාණ කළ නිසා. රූපවාහිනී සඟරාවේ මාව හඳුන්වලා තිබුණේ රූපවාහිනියේ “අර්ථ සාධනය” කියලා.

මම උසස් පෙළ කරලා නෑ. ඒත් අවුරුදු 29 දී කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස 1982 දී පත්වීමක් ලැබුවා. මගේ විෂය වුණේ රූපවාහිනි සජීවීකරණ කටයුතු. OCIC ආයතනයේ පාඨමාලාවල ඉගැන්වීම් කටයුතු කළා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුද්‍රණ කර්මාන්තය සම්බන්ධ දේශන පවත්වනවා.
ඇත්තටම මම කාටූන් චිත්‍රපට යන්ත්‍ර හදන්න කලින් හැදුවේ මුද්‍රණ යන්ත්‍රයක්. ස්ක්‍රීන් ප්‍රින්ටින් කළා. අද වගේ එදා මට සහතික ගන්න තැනක් තිබුණේ නැහැ. මේ ස්වයං උත්සාහයේදී මම ආයතනයක් හා සහතිකයක් බවට පත්වුණා.

ඔබේ චිත්‍රපට දේශීය චිත්‍රපට නාමාවලියට ඇතුළත් වී නොමැත්තේ ඇයි?

වරදක් සිදු වී තිබෙනවා. එම චිත්‍රපටවල කාටූන් කොටස ඇරෙන්න අනෙක් සියල්ලම සිනමාවනේ. වෙන රටවල කාටූන් චිත්‍රපට බහුල ලෙස හැදෙනවා. ඒ නිසා ඒ අයට වෙනම කාටූන් චිත්‍රපට උළෙල පැවැත්විය හැකියි. ඒත් අපේ රටේ මම විතරක් කාටූන් චිත්‍රපට කරන නිසා වෙනම උළෙලක් පවත්වන්න බැහැ.
දැන් ඉන්න මාධ්‍යවේදියෝ මේ ගැන දන්නේ නැහැ. එහෙමනම් ඉතින් නාමාවලියේ කලාත්මක හා වාණිජ යනුවෙන් චිත්‍රපට වෙන් කරන්න සිදුවෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවෙන්, සිනමාවට අවුරුදු 50 පිරීමේදී 1997 දී ප්‍රකාශයට පත් කළ සිංහල චිත්‍රපට නාමාවලියේ 416 වැන්න ලෙස “දුටුගැමුණු” අනුපෙළ ගන්වා තිබෙනවා. නමුත් අලුත් නාමාවලියට “දුටුගැමුණු” හා “මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි” චිත්‍රපට දෙකම ඇතුළත් කර නැහැ. මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට කිව්වා ඒක වැරැද්දක් කියලා.

සිනමා කර්මාන්තය පැත්තෙන් ඔබට සේවයක් වුණේ නැද්ද?

මම ඔප්ටිකල් යන්ත්‍රය හැදුවට පසුව සංස්ථාවෙන් ලියුමක් ආවා “සිනමා කැමරා ශිල්පි” බලපත්‍රය තිබෙනවා රැගෙන යන්න කියලා. මම ඇවිත් නිහාල්සිංහගෙන් ඇහුවා වැරදීමක් වෙලාද කියලා. ඔහු කිව්වා අපිට වැරදිලා නැහැ. ඔබ හදපු යන්ත්‍රය කැමරා දැනුම නැතුව කරන්න බෑ. ඒ නිසා මම අධ්‍යක්ෂ මණ්ඩලයට කිව්වා ඔයාට “කැමරා ශිල්පි” බලපත්‍රය දෙන්න කියලා. ඇත්තටම චිත්‍රපට සංස්ථාව තිබුණේ නැත්නම් අපට මේ ගමන යන්න හැකි වන්නේ නැහැ. දුම්රිය සේවයේ රම්පාල යුගය. ගමනාගමන මණ්ඩලයේ අනිල් මුණසිංහ යුගය වගේ චිත්‍රපට සංස්ථාවේ ඩී. බී. නිහාල්සිංහ යුගය. ඒ තත්ත්වය අද තත්ත්වයට කිට්ටු කරන්නවත් බෑ. නිහාල්සිංහ මහත්මයා කලා ශිල්පියකු වගේම කාර්මිකයෙක්. අද බෙහෝදෙනා ඉගෙන ගන්නේ තමාගේ කොටස විතරයි. එදා එක් අයකු හැමදෙයක්ම ඉගෙන ගත්තා. 1976 දී මම වේදිකා නාට්‍ය සඳහා හොඳම වේශ නිරූපණ ශිල්පියා සම්මානය ලබාගෙන තිබෙනවා. රූපවාහිනියේදී අංශ හතරක ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඒ අංග රචනා, පසුතල නිර්මාණ, සජීවීකරණය සහ මාධ්‍ය රූප අංශවල. තනතුර – නියෝජ්‍ය අධ්‍යක්ෂ.

වර්තමානයේ චිත්‍රපට සංස්ථාවෙන් කර්මාන්තයට සෘජු සේවයක් සිදුවන්නේ නැහැ. මගේ චිත්‍රපටය සම්බන්ධව ගැටලු කිහිපයක් මතු වුණා. පසුගිය කාලයේ හිටපු හැම සභාපතිවරයෙක්ම සුහදව කටයුතු කළත් ඒ අයට මා වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. ණය දීමේ ක්‍රමය නවතා දමා තිබූ නිසා. එසේ නොමැතිව කාටූන් චිත්‍රපටකරුවෙක් කියා චිත්‍රපට සංස්ථාව මාව නොසලකා හැරියේ නැහැ. හැකි පමණින් උදව් කළා.

අතීතයේදී සංස්ථාව මගේ වැඩ කොතරම් පිළිගත්තාද කිව්වොත් නිහාල්සිංහ මහතා කිව්වා ලියුමක් එවන්න ඔයාගේ චිත්‍රාගාරය රෙජිස්ටර් කරන්න කියලා. ඒ කාලේ ලංකාවේ චිත්‍රාගාර 06ක් ලියාපදිංචි වී තිබුණා. විජය චිත්‍රාගාරය – හැඳල, එස්. පී. එම්. – කඳාන, ආර්. ටී – වැල්ලම්පිටිය, සරසවි – ද`ඵගම, ලංකා චිත්‍රාගාරය – කිරුළපන සහ ෆිල්ම් යුනිට් එකේ චිත්‍රාගාරය. හත්වැනි එක මගේ “ගිවා ස්ටුඩියෝ” එක – මොරටුවේ ලෑලි කාමරේ.