මම දැන් දකින්නේ කොළ එළියක් – තාරිකා තත්සරිණි

දිනී ජයසේකර

කෝෂගත සිහිනයක් තාරිකා සත්සරණී කිවිඳියගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මේ සටහන ඇගේ කවිය පිළිබඳවය.

මොකක්ද කෝෂගත සිහිනයක් කියන්නේ?

කෝෂගත සිහිනයක් කියන්නේ මගේ පළවැනි කවි පොත. මේ පොත කියන්නෙත් මගේ එක හීනයක්. හැබැයි මං කැමති මේ හීනය කිහිප දෙනෙකුගේ ම සිහිනවල ප්‍රතිඵලයක් විදිහට දකින්න. පුවත්පත සහ මුහුණු පොත තුළ කවියට ලබා ගත් ඉඩ පොතක් විදිහට එළිදැක්වීමට බොහෝ දෙනා උදව් කළා. ඔවුන් ගෞරවයෙන් සිහිපත් කිරීමට මේක අවස්ථාවක් කරගන්නවා.

මිනිස් සිත් සතන්වල පල්වෙමින් කෑකෑරෙමින් නිර්මාණය වන කවිය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

ඔව්. නිර්මාණයක් කියන්නේ මම මාත් එක්ක කරන ගනුදෙනුවක ප්‍රතිඵලයක්. කවිය විතරක් නෙවෙයි ඕනෑම කලා කෘතියක පදනම වෙන්නේ මේ ගනුදෙනුව. එහෙත් මට මාත් එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම් තියෙන්න ඕනෙ. ඒ අත්දැකීම නිසා නිර්මාණකරුවා තුළ ඇතිවෙන රිදුම හෝ විඳුම ඔබ කියූ ආකාරයට හිතේ පල්වෙමින් කැකෑරෙමින් පසුකලෙක නිර්මාණයක් බවට පත් වෙනවා. කවිය කියන්නෙත් එහෙම බිහිවන නිර්මාණයක්.

ප්‍රේමය විරහව තුළින් ඉබේම වගේ කවි, කිවිඳියො නිෂ්පාදනය වනවාද? එසේ වනවානම් ඊට හේතු?

ඇත්තෙන්ම ඔව්. මම කලින් කියූ විදිහට නිර්මාණයක් කියන්නේ නිර්මාණකරුවා තම සිතුවිලි හා සිදු කරන ගනුදෙනුවක ප්‍රතිඵලයක්. සිතුවිලි උපදින්නේම හැඟීම් දැනීම් එක්ක. ප්‍රේමය සහ විරහව කියන කාරණා මෙහිදී මුල්තැන ගන්නවා. එහෙත් මෙය ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇතිවන හැඟීමට විතරක් සීමා කරන්න බෑ. මා සහ ඔබ අතර ඇත්තේද එක්තරා ප්‍රේමයක්. එහි ස්වරූපය කුමක් වුවත් නිර්මාණයේ පෙළඹුම් සාධකය වන්නේ ප්‍රේමය සහ විරහවයි. නිර්මාණයන් මගින් සිදුවිය යුත්තේද ප්‍රේමයේ පරාසය පුළුල් කිරීමයි. විඳීමේ කලාව සහ විඳවීමේ කලාව හමුවේ වේදනාව නිවාලන කලාව විදිහට නිර්මාණකරණය දකින්න පුළුවන්. මොනාලිසා චිත්‍රය, ටජ්මහල, ඉසුරුමුණි පෙම් යුවළ, ගම්පෙරළිය, මේ සෑම නිර්මාණයක්ම ප්‍රේමය හෝ විරහව විසින් කරන ලද නිෂ්පාදනයන් විදිහට මම දකිනවා. දුක, වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, කලකිරීම මේ සියලු හැඟීම් ප්‍රේමය සහ විරහවේ අතුරු නිෂ්පාදනයන්. එහෙනම් හොඳටම පැහැදිලියි ප්‍රේමය සහ විරහව ඔබටත් මටත් පොදු අත්දැකීම් සපයන බව සහ අප සංවේදී කරවන බව. මේ හැඟීම් අන් අයට විඳීමට හැකිවන ලෙස පිට කිරීමට සමත් වෙන පුද්ගලයා නිර්මාණකරුවන් විදිහට පුනරුත්පත්තිය ලබනවා.

කවි, කිවිඳියො කියන ඒකකය තුළ කිවිඳියො අල්පයි නේද?

ඔව්. වේදනාවන් හමුවේ ස්ත්‍රිය අඬා දොඩා සෑහෙනවා. වේදනාව එනම් විඳීම අවසන් කළ තැන නිර්මාණයක් බිහිවෙන්නේ නෑ. එහෙත් පිරිමි වේදනාව කඳුළු වෙන්නේ අපිට නොපෙනෙන්න. විවිධ කලා කෘතීන් තුළ දකින්න ලැබෙන්නේ විවිධ නිර්මාණකරුවන්ගේ ඇඬුම් ස්වරූප. සිංහබාහු නාට්‍යය තුළත් මළගිය ඇත්තන් තුළත් අපි දකින්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වේදනාවේ ප්‍රතිනිර්මාණයන්. නූතන තරුණ කවියන් තුළත් ඇල්කොහොල්වලින් දිය නොවුණු සංවේදනාවන් කවි විදිහට ප්‍රතිනිර්මාණය වෙනවා. එහෙත් මේ විඳීම් කෙරේ ස්ත්‍රී පුරුෂභාවය සීමාවක් වෙන්නේ නෑ. කියවීම අතිනුත් ස්ත්‍රිය පසුගාමී වුවහොත් මේ ලේබලය ගලවන්න බැරි වෙනවා. එහෙත් දැන් දැන් මම මේ පාරේ කොළ එළි දකිනවා.

කවියො එක්ක ගැටෙනකොට කිවිඳියක් විදියට ඔබට අභියෝග ඇතිවෙලා නැද්ද?

මේ නිර්මාණ භූමිකාව කියන්නේ තරගයක් නෙවෙයි. අභියෝග ඇති වන්නේ ජයග්‍රහණයක් අපේක්ෂිත තැනක. රේස් දිවීමයි කවි ලිවීමයි දෙකක්. අනිත් කාරණාව ස්ත්‍රී පුරුෂභාවය මත දේවල් තීරණය කරනව නම් අපි තාම ඉන්නේ ගෝත්‍රික යුගයේ. කෝෂගත සිහිනය දකින්නට මාව අවධි කරපු ආදරණීය මිනිස්සු අතරේ වැඩි දෙනෙක් කවියන්. ඒ නිසා කවියන් හා ගැටීමේ දී ආදරය සහ මගපෙන්වීම් මිස අභියෝග ඇති වී නැහැ.

රෝස මලක් හෝ රයිෆලයක් යන දෙවර්ගයෙන් එකක් ගැන කවියක් රචනා කරන්න කීවොත් ඔබ මෙයින් තෝරාගන්නෙ කුමක්ද? ඒ ඇයි?

ඒ විදිහේ සීමාවන් ඇතුළෙ ලියන්න මට බැහැ. මාතෘකාවකට කවියක් දීමට වඩා කවියකට මාතෘකාවක් දීමයි කළ හැක්කේ. හේතුව මගේ අදහස මේ කුමන තේමාවකින් වුවත් නිර්මාණය කළහැකිවීමයි. එකිනෙක පරස්පර තේමාවන් වුවද නිර්මාණකරණයේදී වඩා හොඳ අදහස් මැවීමට යොදාගන්න පුළුවන්. කෙසේ වෙතත් මගේ තෝරා ගැනීම මෙහෙම වෙන්න පුළුවන්.

රයිෆලය

ඊරෝස් මළ දවසෙ
රතු පැහැති රෝස මල්
සිඳින්නැති
සෑම නටුවක ම අග
විසම විස කටු පොකුරු
මවන්නැති