රාවය

River of the ink

River of the ink

නිමල් අබේසිංහ / ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

රිවර් ඔෆ් ද ඉන්ක් (River of the ink) කෘතිය ශ්‍රී ලංකාවේ අතීත පොළොන්නරු රාජධානිය කේන්ද්‍රීයව ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින් රචිත ඉංග්‍රීසි නවකතාවකි. කෘතියේ රචකයා පෝල්.එම්.එම්. කූපර්ය. ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන එනිසාම එම විෂය සිය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ලෙස තෝරා ගන්නා පෝල් ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව අතිශය ඇල්මක් දැක්වූවෙකි. බි්‍රතාන්‍ය පුස්තකාලය ඇසුරින් ශ්‍රී ලාංකික ඉතිහාස දැනුම වර්ධනය කරගන්නා පෝල් ඒ කෙරෙහි කෙතරම් වශී වූයේද යත් සිය දාහත්වැනි වියේදී ශ්‍රී ලංකාවට පැමිණ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පොළොන්නරුවේ ගුරු වෘත්තියේ යෙදෙමින්ම පුලතිසි ඉතිහාසය හදාරයි. වසර පහක් පොළොන්නරුවේ දිවි ගෙවන පෝල් පෙරළා බි්‍රතාන්‍යයට ගොස් සිය අත්දැකීම් හා ඉතිහාස ගවේෂණ ඇසුරින් (River of the ink) නව කතාව නිර්මාණය කරමින් එංගලන්තයේදී හා ඇමරිකාවේදී එක්වරම ප්‍රකාශයට පත් කරමින් කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත් වන්නේය. සිය දිවි මගෙහි 25 වැනි වියේදී (River of the ink) නව කතාව රචනා කරන පෝල් මේ වන විට විසි අට වැනි වියේ පසුවන අතර සිය ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටී.

දැනට කැනඩාවේ වෙසෙන නීතිඥ සමන් කළුආරච්චි ශ්‍රී ලංකාවේ සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන අතර ග්‍රන්ථ පරිවර්තකයකු ද වේ. සමන් පෝල්ගේ කෘතිය තීන්ත නදිය නමින් සිංහලයට පරිවර්තනය කරනු ලදුව සූරිය ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. පරිවර්තන කෘතිය දොරට වැඩීමේ උත්සවය අගෝස්තු 20 වැනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය. තීන්ත නදිය මුල් කෘතියේ රචකයා වන පෝල් එම්.එම්. කූපර්ද ඊට සහභාගී විය. විදේශීය රචකයකුගේ කෘතියක් ශ්‍රී ලාංකික පර්වර්තකයකු අතින් පරිවර්තනය වී එළිදැක්වූ මොහොතේ රාවයට මුල් කෘතියේ රචකයා මෙන්ම පරිවර්තකයාද එකවර සම්මුඛ සාකච්ඡාවකට සහභාගි කරවා ගැනීමේ සුදුර්ලභ අවස්ථාවක් උදා විය. මෙහි පෙළ ගැසෙන්නේ ඒ සාමීචීයයි.

මම පෝල් හදාරපු සියලුම මුලාශ්‍ර හැදෑරුවා

පරිවර්තක- සමන් කළුආරච්චි

මේ කෘතිය පරිවර්තනය කිරීමට ඔබ පෙළඹෙන්න බලපාපු විශේෂ හේතු තිබුණද? එ මොනවද?

විශේෂ හේතුව තමයි මේ පොත මා අතිශයින්ම කම්පනයට පත් කළා. මා අතිශයින් කම්පනයට පත් කළ පොත්පත් තිබෙන්නේ බොහොම කිහිපයයි. ඒ අතර මේ පොත මුල් තැනක් ගන්නවා. මා පත් කළ කම්පනය තමයි පොත ලියන ලද පුද්ගලයා විදේශිකයකු වීම.

පොතක් පරිවර්තනය කිරීම නිර්මාණ කාර්යයට වඩා දුෂ්කරයි. ඒක ජයගන්න ඔබ පෙළඹුණේ කොහොමද? මොනවද දරන ලද උපක්‍රම ?

මෙම පොත පරිවර්තනය කරන්න ඇත්තටම පෝල් හදාරපු මුලාශ්‍ර මම නැවත හැදෑරුවා. ඒ වගේම ඔහු සොයා ගිය ඉතිහාසය මා සොයා ගියා. ඒ නිසා මේකට මාස 4ක් විතර ගියා.
මෙහි ප්‍රධාන චරිතය දුර්වල චරිතයක් කියලා සමහරු කියනවා. ඒත් ඔහු දුර්වල චරිතයක් ලෙස මම දකින්නේ නැහැ. මොකද සැබෑ කලාකාරයකු වශයෙන් නිර්මාණයක් ඔස්සේ සමාජය පෙළගැස්සවීම සඳහා අවශ්‍ය තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඔහු පෙළඹෙනවා. ඒත් එක්කම ද්විත්ව වේදය යන සංකල්පය මේක යටින් හුයක් වගේ යනවා.

මං එකඟයි ඒ කාරණාවට. මේක ඒකකයක් වශයෙන් හිතලා සාහිත්‍ය පැත්ත අමතක කරලා සමාජීය කාර්ය භාරයක් මේකෙන් කෙරෙන්නේ නැහැ. අවංකව කියනවා නම් ඔබ කිව්වා වගේම යමෙකුට අවශ්‍ය නම් සමාජ ක්‍රමය වෙනස් කරන්න, අවශ්‍ය නැහැ අවි ආයුධ ගන්න, අවශ්‍ය නැහැ ඒ සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. ඕනැ තරම් තියෙනවා ක්‍රියා මාර්ග අනුගමනය කරන්න. ක්‍රියා මාර්ග ගත හැකියි බොහෝවිට දැනුවත්ව, සමාජය වෙනස් කරලා, සමාජය ප්‍රතිනිර්මාණය කරන්න. ඒකට මේ පොත හොඳ උදාහරණයක්. මෙහි එන අසංකගේ චරිතයත් හොඳ උදාහරණයක්.

කෘතියේ නිර්මාණකරුවා දැවැන්ත චරිතයක්. ඔහුගේ වයස අභිබවා ගිය දැවැන්ත කාර්යභාරයක් මෙමඟින් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම, සමාජයේ පීඩිත පන්තියට දෙන්න ඕන පණිවිඩයක් ඉතා සියුම් විදිහට ඔහු තමන්ගේ වයසට වඩා මුහුකුරා ගිය නුවණකින් දීලා තියනවා මේ කෘතිය හරහා.

ඒ කියන්නේ මුල් කෘතියේ කතුවරයා වගේ නොව මම ඔහුගේ වයස වගේ දෙගුණයක්. ඇත්තටම මට පුදුම හිතුණා ඔහුගේ පරිකල්පන ශක්තිය සහ ඔහුගේ මුලාශ්‍ර, ඔහු කළ පර්යේෂණ පිළිබඳව. ඔහු බොහෝම බරසාර ලෙස කළ දැවැන්ත පර්යේෂණයක් ඉතා සරලව සංවේදීව දීලා තියෙනවා. ඒක කරන්න ලෙහෙසි පහසු නැහැ. විශේෂයෙන්ම අපේ ඉතිහාසය ගත්තහම මම ඕනෑ තරම් පොත් කියවලා තියෙනවා අපේ ඉතිහාසය ඇසුරෙන් තැණුනු නවකතා. ඒවා බොහෙම භාරදූර සාහිත්‍යවේදීන් අතින් ලියවෙච්ච පොත්. ඒත් අවංකවම කියනවා නම් මම කැමති නැහැ නම් සඳහන් කරන්න. ඒ පොත බොහොම දුර ගිය පොතක්. ඇත්තටම මම ලාංකිකයකු විදිහට ලැජ්ජා වෙනවා අපට කරන්න බැරි වෙච්ච කාර්යයක් විදේශිය කෙනකුගෙන් සිදුවීම සම්බන්ධයෙන්.

‘තීන්ත නදිය’ කෘතිය (River of the ink) කෘතියේ පරිවර්තනයක්ද? අනුවර්තනයක්ද? එසේත් නොමැති නම් ඔබ කුඩා කල පටන් හැදුණු වැඩුණු සිංහල සංස්කෘතියට අනුව සිංහල පාඨකයාට එම කෘතිය හඳුන්වා දීමට කරන ලද වෑයමක්ද?

මුල් කෘතියට උපරිම සාධාරණයක් මම ඉටු කර තිබෙනවා කියා මම විශ්වාස කරනවා. කූපර්ගේ ඉංග්‍රීසි පොත සිංහලයට පරිවර්තනය කිරීමේදී ඇතැම් යෙදුම් සිංහල පාඨකයාට පහසුවෙන් ගෝචර කර ගැනීම සඳහා යොදා තිබෙනවා. ඒ වගේම ඇතැම් තැනක යොදන කවි තුළින් ද එය සිදුව තිබෙනවා. ඒත් මුල් කෘතියට කිසිදු හානියක් කිරීමට මා කිසිදු උත්සාහයක් ගෙන නැහැ. සිංහල භාෂාවට හුරු පුරුදු ඇතැම් යෙදුම් තෝරාගත් පමණින් මෙම පොත සිංහලකරණය කිරීමට මා උත්සාහ කළේ නැහැ.

ශිශුපාල වධය සංස්කෘතික කාව්‍යය කූපර්ගේ පොතේ සෑම පිටුවක්ම වෙලනු ලබන හුයක් ලෙස සැලකිය හැකියි. කූපර් ඒ තුළින් එම කෘතිය ලියන ලද මාඝ කවියාත් පොළොන්නරුව ආක්‍රමණය කරනු ලබන මාඝ චරිතයත් සංසන්දනය කරමින් කූපර් විසින් කරන ලද නිර්මාණය ඔබ දකින්නේ කෙසේද?

නිසැකවම කූපර් අපූර්වත්වයකින් යුතුව ශිශුපාල වධය, කෘතිය තුළ දිගහරිනවා. එම සංස්කෘත කාව්‍ය කියවීමට පාඨකයා යොමු කරන ගමන් එම කෘතිය ලියන ලද මාඝ කවියාගේ සහ පොළොන්නරුව ආක්‍රමණය කරන ලද මාඝගේ දේශපාලනය අපූරුවට ඉදිරිපත් කිරීමට ශිශුපාල වධය නිර්මාණශීලිව යොදාගෙන තිබෙනවා.

ඓතිහාසික ප්‍රබන්ධ වෙනම කලාවක්
පෝල් එම්. එම්. කූපර්

ඔබගේ පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට බලපාන ලද සාධක කවරේද?

ශ්‍රී ලංකාව ඉතිහාසය තුළ සුවිශේෂි ස්ථානයක්. ඊට හොඳ ඉතිහාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ විවිධ භාෂා සහ විවිධ සංස්කෘතීන් තිබෙනවා. ඒවා ශ්‍රී ලංකාව හොඳින් ආරක්ෂා කර ගන්නවා. මෙම ලක්ෂණ සංචාරකයින්ගේ අවධානයට ලක් වෙනවා. ශ්‍රී ලංකාවේ ලන්ඩනයේ මෙන් විශාල නගරයක් තිබෙන ස්ථානයක් තමයි පොළොන්නරුව. එය ඊට වඩා විශාලයි කියා සිතනවා. ශ්‍රී ලංකාවට නොමැරී පවතින ලෝකයේ තිබෙන විශිෂ්ට සංස්කෘතියක් තිබෙනවා. ඒ බව මා හොඳින් දුටුවා. ඒ වගේම ඉතිහාසය ගැන සැලකිමේදි කාලිංග මාඝ මෙරට පැමිණ විශාල විනාශයක් කර තිබෙනවා. විශේෂයෙන් පොළොන්නරු රාජධානියත් එහි ජීවත් වූ මිනිසුන්ටත් විශාල බලපෑමක් සිදු කළා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාහිත්‍යය පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

මම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඉතා ළැදියි. එය ඉතා දියුණු සංස්කෘතියක්. ශ්‍රී ලංකාවට ඉපැරණි ආසියාතික සංස්කෘතියක් තිබෙනවා. ඒ වගේම එම සංස්කෘතික තුළ වුවද විවිධත්වයක් තිබෙනවා. බොහෝ රටවල් වෙළෙඳාම සඳහා මෙරටට පැමිණ තිබෙනවා. මම පොළොන්නරුවේ තිබූ ශ්‍රී විභූතිය දුටුවා. එහි තිබෙන චිත්‍ර, කාව්‍ය, කැටයම්, ලෝකඩ, හා ස්ථූප එහි තිබෙන සංස්කෘතිය කියාපානවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉතා පොහොසත් එකක්. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ, වෛi ගුණදාස අමරසේකර වැනි ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති මා කියවා තිබෙනවා. ඒවා විශිෂ්ඨයි.

ඓතිහාසික ප්‍රබන්ධ ලිවීමේ වැදගත්කම කුමක්ද?

ඒ ගැන යමක් පැවසීම ඉතා අසිරුයි. එවැනි නිර්මාණ කරන තුර්කි ලේඛකයන්ගේ නිර්මාණ වලට මා කැමතියි. විශේෂයෙන් මොහාන් කාෆාගේ නිර්මාණ වලට මා කැමතියි. ඔහු ඉතා විශිෂ්ඨ ඓතිහාසික ප්‍රබන්ධ ලියා තිබෙනවා. ඓතිහාසික ප්‍රබන්ධ වෙනම කලාවක්.

පරිවර්තන කලාව පිළිබඳ ඔබගේ නිර්වචනය කුමක්ද?

පරිවර්තනය ඉතා දුෂ්කර කටයුත්තක්. එක් භාෂාවකින් පළ කර තිබෙන කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒත් එය සිත් ගන්නා කටයුත්තක්. එක භාෂාවක සිට තවත් භාෂාවකට පරිවර්තනය අසීරු කටයුත්තක් වුවද පරිවර්තන කලාවට මා ඉතා කැමතියි.

සිංහල භාෂාවට ඔබගේ මුල් කෘතිය පරිවර්තනය කර තිබෙනවා. එම පරිවර්තනය පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

සමන් ඉතා විශිෂ්ඨ වැඩක් කර තිබෙනවා. පළමුවෙන් මගේ පොත පරිවර්තනය කිරීමට ඔහු අවසර ඉල්ලා සිටියා. ඔහු එය ඉතා කැපවීමකින් යුතුව එම පරිවර්තන කටයුත්ත සිදු කර තිබෙනවා. සමහරක් අවස්ථා වලදී ඔහු වචන සමඟ ගැටෙද්දී ඒ ඒ වචන පිළිබඳව මගෙන් විමසුවා. ඉතිහාසය සම්බන්ධයෙන් නොපැහැදිලි තැන් මෙන්ම කෘතියේ බොහෝ දේවල් ඔහු මගෙන් විමසලා සිංහල භාෂාවට ගැලපෙන අයුරින් මගේ කෘතිය පරිවර්තනය කිරීමට ඔහු විශාල උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කළා.

සිංහල, දෙමළ, සංස්කෘත භාෂා හා සංස්කෘතීන් එක් තැන් කරමින් ඔබේ පොත ලිවීමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

මම පොළොන්නරුවේ බොහෝ තැන්වල ඇවිද්දා. ඉතිහාස පොත පත කියෙව්වා. ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතින් පිළිබඳව මනා පරිචයක් ලැබුවා. ඒ වගේ සංස්කෘතික විවිධත්වය පිළිබඳ පර්යේෂණ සිදු කළා. සංස්කෘත භාෂාවේ බොහෝ ගැඹුරු තැන් මෙන්ම සිංහල භාෂාවේ ප්‍රස්තාව පිරුළු තේරුම් ගැනීමට බොහෝ දුෂ්කර ක්‍රියා කළා. ඒ වගේම දෙමළ භාෂාව හා සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් කැපවීම් කිරීමට සිදු වුණා. ඒ භාෂා තුනේම වචන මෙම පොතට ඇතුළත් කොට තිබෙනවා.