රංගවේදය හැමෝගෙන්ම ගිලිහිලා – ප්‍රවීණ නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව

එන්. ලංකා මාගම්මන

සිනමා රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන ඒ පිළිබඳ වැඩිදුර හැදෑරීමක් සිදුකිරීමට කැමති අය වෙනුවෙන් මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව මගින් ජාතික චිත්‍රපට සංස්ථාවේද දායකත්වයෙන් මෙහෙයවන සිනමා රංගනය පිළිබඳ වසරක පාඨමාලාවක් මේ වනවිට සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේ නිර්මාතෘ ධර්මජිත් පුනර්ජීව හා කළ කතාබහකි.

සිනමා රංගනය පිළිබඳ පාඨමාලාව සම්බන්ධයෙන් ඔබ (මායා ශක්ති පදනම) හා ජාතික චිත්‍රපට සංස්ථාව අතර ඇතිවී තිබෙන එකඟතාව මොකක්ද?

ජාතික චිත්‍රපට සංස්ථාව වෙත අප මෙවැනි වැඩසටහනක් සඳහා කරුණු ඉදිරිපත් කරන්න මූලික හේතුවක් තිබුණා. ඒ පසුගිය දවස්වල ජනාධිපතිතුමා විසින් පත් කරන ලද දේශීය සිනමාවේ උන්නතිය ඇති කිරීම වෙනුවෙන් පත්කරන ලද වාර්තාව. එම කමිටුව සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක, සෝමරත්න දිසානායක ප්‍රධාන කොටගෙන සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා ඇතුළු කමිටු සාමාජිකයන් විශාල පිරිසකගෙන් සමන්විත වී තිබුණා. මෙම කමිටු වාර්තාව ගැඹුරින් හදාරලා බැලූ විට පෙනීයන්නේ මෙහි අන්තර්ගතය තුළ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ, ප්‍රදර්ශන මණ්ඩල ගැටලු පිළිබඳව මෙන්ම නිෂ්පාදනයත්, වෙළෙඳපොළට ගෙන ඒම දක්වා ඇති ගමනේ සකලවිධ සියලු කරුණු කාරණා පිළිබඳ ගැඹුරින් සොයා බැලීමක් සිදුකර ඇති බවයි. හැබැයි මේ හදන නිෂ්පාදනයේ ප්‍රමුඛම මෙවලම වන නළු, නිළි රංගන දායකත්වය පිළිබඳ මේ කමිටු වාර්තාවේ වචනයකින් හෝ කතා කරලා තිබුණේ නැහැ. මේ පිළිබඳව තිබෙන දහසකුත් ගැටලු කාලාන්තරයක් තිස්සේ සිටි අප දකිනවා. හැබැයි ඒ මූලික කාරණය පිළිබඳ වචනයකින්වත් කතා නොකිරීම ඛේදවාචකයක්. මෙහි උපදේශක මණ්ඩලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ දක්ෂ නළුවෙක්. හැබැයි ඒ නළු මහත්තයාටවත් මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න හිතිලා නැහැ. මේ කමිටුවේ සාමාජිකත්වය දරන රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා වගේ රංගනවේදියෝවත් මේ සම්බන්ධයෙන් වචනයක්වත් කතා නොකිරීම අභාග්‍යයක් ලෙසයි මා දකින්නේ.

එක් උදාහරණයක් ලෙස පසුගිය කාලයේ දේශීය සිනමාවේ නිර්මාණය වූ රජ කතාවල සිටි නළුවෝ අප ඉතිහාසයේ අසා තිබෙන පොත්වලින් කියවා තිබෙන රජවරු නොවන බව ඔවුන්ගේ ඒ දියාරු රංගන ස්වභාවයෙන්ම මනාවට පෙන්නුම් කරනු ලැබුවා. වළගම්බා, දුටුගැමුණු, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන්ගේ චරිත අප මනසේ විරාජමානවී තිබුණා. හැබැයි මේ චරිත රංගනයේ නියැලුණු නළුවන් මේ රජවරුන් යළි යළිත් ඉතා සැහැසි ලෙස ඝාතනය කර දැමුවා. සාමාන්‍ය මිනිසුන්ටත්, ඉතිහාසය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන අයටත් මෙහි නිරූපණය කැරුණු රජවරු ගැන උපහාසයකුයි මතුවුණේ. එම රජවරුන්ගේ චරිත කඩා වැටුණේ ඒ රජවරු පිළිබඳ කිසිම හැදෑරීමක් කිරීමට අදාළ චරිත රංගනයේ නියැලුණු නළුවන් උත්සාහ නොකර සිටීම නිසයි. විශේෂයෙන්ම මෙම චිත්‍රපටවල තිර රචනය තුළ පවා තිබූ දෙබස් ඉතාම බාල බොළඳ ස්වභාවයක් ගත් බව පෙනී ගියා. අනික මේ චරිත රංගනයේ නියැලුණු නළුවන්ගේ නළු පෞරුෂය සම්පූර්ණයෙන්ම දියාරු වී තිබෙනු දක්නට ලැබුණා. මෙම කරුණු නිසාම මා කල්පනා කළා මේ ගැඹුරු පරිහානියේ උන්නතියක් ඇති කරන්න අපට හැකියාවක් තිබෙන බව. මේ කමිටුවට මගේ වාර්තාව දාන්න මා අකමැති වුණේ මේ කමිටුවේ ආයු කාලය මොනතරම්ද කියලා ඇතිවූ සැකය නිසයි. මේ කමිටුවට තව මාස 18ක් ඇතුළත මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. මොන දේ වුණත් ජාතික චිත්‍රපට සංස්ථාව සමග අප ඇතිකර ගන්නා එකඟතාව බිඳ නොදමන ආකාරයට වැඩ කටයුතු කරන්න මගේ පැත්තෙනුත් උපරිමයෙන් කටයුතු කරන්න ඇති හැකියාව මත අප දන්නා දේ නවකයන්ට කියා දෙන මේ පාඨමාලාව සාර්ථක කරගැනීමට අපහසු නොවන බවයි මගේ වැටහීම.

මේ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිතුමා සමග මූලික එකඟතාවකට අප පැමිණියා. හැබැයි සභාපතිතුමාටවත් හැකියාවක් ඇත්තේ නැහැ මේ පාඨමාලාවට මූලික වශයෙන් ඉදිරිපත් වෙලා ප්‍රතිපාදන ලබාදෙන්න. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ශාලාවක් යම් මුදල් ගෙවීමේ පදනම මත අපට ලබා දුන්නා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව අපගේ මේ නළු නිළි රංගනය ඉගැන්වීමේ පාඨමාලාවේ යටිතල පහසුකම් සපයන්නෙක් ලෙස දායක වී තිබෙනවා. එය අපගේ කාර්යය සඳහා ලැබුණු රුකුළක් ලෙසයි මා දකින්නේ.

ඔබට අනුව ජාතික චිත්‍රපට සංස්ථාව මේ සඳහා දායකවන්නේ ශාලා පහසුකම් සැපයීමට පමණයි. ඒ අනුව මේ පාඨමාලාවේ ඉදිරි සැලැස්ම මොන වගේද?

මේ පාඨමාලාවේ වැය ශීර්ෂ හැදූ විට එය විශාල මුදලක් වෙනවා. මේ පාඨමාලාවට දේශන සඳහා දායක වන සම්පත්දායකයන්ට ඔවුන්ගේ කාලයට ගෙවන්න වන මුදලක් තියෙනවා. අනික මේ වගේ රංගන පාඨමාලාවක් අද දවසේ කරන විට අති නවීන තාක්ෂණ මෙවලම් භාවිත කරමින් ඒ ළමයින්ට දැනුම ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙසයි මා දකින්නේ. අවම වශයෙන් මේ සඳහා ළමයි 50 දෙනෙක් එකතු කරගෙන ඒ සඳහා සතිඅන්ත යොදාගෙන අවුරුද්දක් එම අභ්‍යාසයන්හි යොදන්න වන මුදල මිලියන 10ක් පමණ වෙනවා. මේ මුදල ළමයින්ගෙන් ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ආර්ථිකය මිනිසුන්ව බිත්තියටම හේත්තු කරලා තියෙන නිසා මෙය කෙසේවත් පාඨමාලාවට සහභාගි වන අයගෙන් අයකර ගන්න බැහැ. ඒ නිසාම අප මේ වනවිට මේ මිලියන 10 මුදල ලබාගැනීමට අනුග්‍රාහකයන් සොයා යන්න අදහස් කරනවා. මේ පාඨමාලාවට දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා ගන්නා අයදුම්කරුවන්ට අඩුම තරමින් දිවා ආහාර සමග තේ කෝප්පයක් ලබාදීලා ඉතා සාර්ථකව සිනමා රංගනය පිළිබඳ පාඨමාලාවකට යොමු කිරීම තමයි අපගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා ගන්නා අයදුම්කරුවන් 50 දෙනාට සිංහල අයදුම්කරුවන් 25 හා දෙමළ අයදුම්කරුවන් 25ගෙන් සමන්විත වෙනවා. සතිඅන්ත සෙනසුරාදා හා ඉරිදා දවස් දෙක තුළ කණ්ඩායම් දෙකක් වශයෙන් මේ අයදුම්කරුවන්ට පාඨමාලාවට සහභාගි විය හැකිවෙනවා. අනෙක් විශේෂ කාරණයවන්නේ මේ සිනමා රංගන පාඨමාලාවට වයස් භේදයක් කොහෙත්ම බලපාන්නේ නැහැ.

ටෙලි කර්මාන්තයේ නළු නිළි ඇබෑර්තු පුරවන්න මෙයින් අදහසක් නැද්ද?

අද ටෙලිනාට්‍ය කර්මාන්තය කියන්නේම පුදුම විදිහට වාණිජකරණයට නතුවෙච්ච වැඩක්. මේ අයදුම්කරුවන් තෝරා ගැනීමේදීම ඒ අයගේ අරමුණු සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. සිනමා රංගනය සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ දැනීම පිළිබඳවත් ඔවුන්ගේ හැදෑරීම් සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කරන්න කැමැතියි. කෙසේවත් ටෙලිනාට්‍යවල ඇබෑර්තු පුරවන්න මේ සිනමා රංගන පාඨමාලාවෙන් නම් ඉඩක් හදන්න අප බලාපොරොත්තු වෙන්නේ නැහැ.

සිනමා රංගන පාඨමාලාව හදාරන්න පැමිණෙන අයට දළ වශයෙන් හරි සිනමාව පිළිබඳ වැටහීමක් තිබීම වැදගත් නේද?

අනිවාර්යයෙන්ම. ලංකාවේ සිනමාවද, ලෝක සිනමාවද පිළිබඳ යම් හැදෑරීමක්, සහිත ආධුනිකයකුට අප හා එක්වන්න තිබෙන ඉඩකඩ වැඩියි. අඩුම තරමින් මොන රටේ හැදුවත් චිත්‍රපට බලන්න, ඒ චිත්‍රපටවල චරිත පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට වෙහෙසෙන අය මේ රටේ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම සිනමා රංගනය පිළිබඳ දැඩි ආශාවක් කැමැත්තක් දක්වන අය අප අතර ඉන්නවා අපට මේ අවස්ථාව හොඳ තෝරා ගැනීමක් වේවි.

ලංකාවේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් සිනමාව පිළිබඳ හැදෑරීම් කරන බවක් පෙනෙන්න තියෙනවද?

දවසක් ගාමිණී ෆොන්සේකා මහතා මට කිව්ව කාරණයක් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඉල්ලීමකට අනුව ඩෙවිඞ්ලින් ඔහුගේ බි්‍රජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ සහය කාර්මික නිලධාරියෙක් ලෙස ගාමිණී මහතාට වැඩ කරන්න අවස්ථාව ලබාදෙනවා. එහිදී ඔහු දකිනවා සෑම දවසකම රෑට යුරෝපීය නළු නිළියන්, ඇමරිකානු නළු නිළියන් හා අධ්‍යක්ෂවරයා පසුවදාට මුහුණ දෙන්න තියෙන රංගන ජවනිකාවන් පිළිබඳ කතාබහ කරන ආකාරය හා පෙර සූදානම් වන ආකාරය. හෝම් වර්ක් කරන්නේ නැතිව මේ තරම් තාත්වික රංගනයක (Method Acting) යෙදෙන්න නොහැකි බව ගාමිණී ෆොන්සේකා මේ අනුව වටහා ගන්නවා. දැන් බලන්න අපේ රටේ චිත්‍රපටයක් කරන්න මේ වගේ හෝම් වර්ක් කරන අය ඉන්නේ කීයෙන් කීදෙනාද? නළු නිළියන් තියා අධ්‍යක්ෂවරයාවත් ගෙදර වැඩ හරියාකාරව කරනවාද යන්න සැකසහිතයි.

මේ ළඟකදී තිරගතවූ යශෝධරා චිත්‍රපටයට වියදම දළ වශයෙන් කෝටි 10 ඉක්මවනවා. මෙහි නිෂ්පාදකවරයා හරි දන්නවාද මේ චිත්‍රපටයේ Acting  මොන තත්ත්වයේද තියෙන්න ඕනද කියලා. යශෝධරා චිත්‍රපටයේ පෙර සූදානම මොනවගේ වෙන්න ඕනෑද? ඒ ගැන ඔවුන්ට අවබෝධයක් තිබිලා නැහැ කියන එක චිත්‍රපටය නරඹන විට පෙනී යන දෙයක්. සුනිල් ආරියරත්න මෙහිදී කරන මැජික් එක තමයි යශෝධරාට ඉන්දියාවේ ටෙලිනාට්‍ය රඟපාන නිළියක් හයර් කිරීම. ඒ නිළිය දන්නේ නැහැ යශෝධරා කියන්නේ කවුද කියලා. ඒ නිළියට යශෝධරාගේ චරිතය පිළිබඳ පුළුල් හැදෑරීමක් ඇත්තේ නැහැ. මෙහෙම පසුබිමක් ඔස්සේයි අපේ රටේ චිත්‍රපට කරන්නේ.

ඉන්දියාවේ වාණජ චිත්‍රපටයක වුණත් ගීතයක නැටුමකට ඔවුන් මොනතරම් සූදානම් වෙනවද? සමහර නැටුම් ජවනිකා දවස් ගණනාවක් තිස්සේ පෙර සූදානම් කරනවා. ඒ සඳහා නළු, නිළියන්ගේ කැපවීම මොනවගේද? අධ්‍යක්ෂවරයාගේ හා සහයක පිරිසකගේ කැපවීම මොනතරම්ද? ඒ කැපකිරීම්, පෙර සූදානම, හෝම් වර්ක් මත ඉතා ආකර්ෂණීය, ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගන්නා නිර්මාණයක් බිහිවෙනවා. එය තමයි ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස.

අපගේ සිනමා රංගන පාඨමාලාව ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන අය වෙනුවෙන් ඔවුන්ම තිරනාටකයක් ලියලා ඔවුන් විසින්ම නිර්මාණය කරන චිත්‍රපටයක් හදන්න ඔවුන්ව මෙහෙයවනවා. ඒක ඇතුළෙන් තමයි අපට දැකගත හැකිවෙන්නේ අපේ පාඨමාලාවේ නියැලුණු අයගේ සාර්ථක අසාර්ථක බව. අප මේ පාඨමාලාව ආරම්භයේදීම අප සිටින තැන හා අපට යාහැකි දුර පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ. මේ පාඨමාලාවේ අයට රංගනය පිළිබඳ පුහුණුවක් වගේම සමාජ දේශපාලන දැනුම පිළිබඳ මූලික පෙළඹවීමක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා. මේ පොළොවේ සිනමා රංගනය පිළිබඳ මෙවැනි වැඩක් කරන පළමු වතාව මෙය වෙන්න ඇති. ඒ නිසා ආරම්භයක් හැටියට ලැබෙන අභියෝග භාරගෙන ඒවා ක්‍රමානුකූලව ජයග්‍රහණය කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අපේ සිනමා රංගන පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති ඕනෑම කෙනකුට පහත සඳහන් දුරකතන අංකය සහ විද්‍යුත් ලිපිනය ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

දුරකථන : 0779884019
ඊ – මේල් : dharmajithpunarjeeva@yahoo.com