හීනියට ගොතා ලොකු කතා කියන මල් සූටික්කා

අමිල යහලවෙල

උමා- ප්‍රධාන චරිත අතරේ අතරමැදි චරිතයේ ප්‍රධානත්වය

තම ප්‍රධාන චරිත සහ සංසිද්ධීන් විවරණය කිරීම වෙනුවෙන් ඔවුන් අතරට අතරමැදි චරිතයක් ගෙන්වා ප්‍රතිෂ්ඨාපනය කිරීම නිශ්ශංක විජේමාන්නගේ කතා කලාවේ විශේෂ ලක්ෂණයක්. මෙය යථාර්ථවාදී අඛ්‍යාන රීතියේ සීමා ඉක්මවා යන අවස්ථාවක්. ඒ හරහා යථාර්ථය වඩාත් විචක්ෂණ අක්ෂියකින් දැකීමට අවශ්‍ය වන අනුබලයක් ලැබෙයි. හුදෙක් විකාරරූපී නොවන මෙම අධියථාර්ථවාදී කතා කලාවේ ජීව ගුණය හොඳින් පෙනෙන කෙටිකතාවක්, ‘උමා’. එම කතාවට ඒමට පෙර අප විසින් මෙහිදී යෝජනා කරනු ලබන කරුණ වඩාත් පැහැදිලි කරගැනීම සඳහා තුලනාත්මක අධ්‍යයනයකට චිත්‍රපටයක් දෙසට හැරෙමු.
චිත්‍රපටය මේ වසරේදී ඔස්කාර් සිනමා සම්මාන උළලේදී හොඳම සිනමාපටය ලෙසින් සම්මාන දිනූ මෙක්සිකානු සම්භවයක් සහිත අධ්‍යක්ෂවරයකු වන ජුයිලර්මෝ ඩෙල් ටෝරෝ (Guillermo del Toro) ගේ ‘ෂේප් ඔෆ් වෝටර්’  (Shape of Water) යි.1960 දශකයේදී ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ පර්යේෂණාගාරයක් තුළ ඉතා රහසිතගව මිනිස් රුවකට විශේෂයෙන් සමාන වන උභයජීවී සත්වයකු ගැන පර්යේෂණයක් සිදු කෙරෙයි. එම පර්යේෂණාගාරයේ පිරිසිදු කිරීමේ සේවිකාවක වන කතාකිරීමේ ආබාධයකින් පෙළෙන, හුදෙකලා දිවියක් ගෙවන එලිසා අපූරු සන්නිවේදන හැකියාවන්ගෙන් පිරි මෙම උභය ජීවියා සමඟ ප්‍රේමාන්විත සම්බන්ධයක් ගොඩනගා ගනියි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය මුහුණ පාන අභියෝග විසින් පෙන්නුම් කරනු ලබන්නේ අසම්මත ප්‍රේමයක ස්වරූපයන්ට වඩා එම කාලවකවානුව තුළ පැතිර ගිය ඇමරිකා-රුසියා සීතල යුද්ධයේ හැසිරීමයි. රුසියානු ඔත්තුකරුවකුගේ භූමිකාව ද ඉටු කරන උභය ජීවියා භාර වෛද්‍යවරයා වන රොබර්ට් හොෆ්ස්ටෙලර්, කවදා හෝ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වුවත් යැවීය හැකි, මානව සාධකයන්ට වඩාත් සමීප වන උභය ජීවියාගේ සාරය තම රටේ පර්යේෂණ සඳහා යොදාගත යුතුයි දැඩිව විශ්වාස කරයි. ඇමරිකානු මිලිටරි බලාධිකාරය නියෝජනය කරන, පර්යේෂණාගාරයේ ප්‍රධානී මයිකල් ෂැනොන්ගේ පටු මනස වීශේෂ උභය ජීවීයා ස්වභාවදහමේ අපූර්වතම නිමැවුමක් ලෙස දකින්නට සමත් නොවන අතර ඔහු උත්සාහ කරන්නේ වෛද්‍ය රොබර්ට් සහ උභය ජීවියා යන දෙදෙනාම වීනාශ කිරීමටයි. අවසානයේදී මයිකල් ෂැනොන් වෛද්‍යවරයා ඝාතනයය කිරීමට සමත් වුවත් එලිසාගේ අසීමිත ආදරය ලබන ඇම්ෆිබියන් (Amphibian)  මිනිසා ඝාතනය කිරීමට ඔහුට නොහැකි වේ. මානව පරමාර්ථයට ප්‍රතිපක්ෂව බලාධිකාරීන් හැසිරෙන අන්දම පිළිබඳ මෙම චිත්‍රපටය ප්‍රබල රූපකාර්ථයක්. ඒ ප්‍රබලත්වය නිර්මාණය වන්නේ එලිසා, වෛද්‍ය රොබර්ට්, මිලිටර් නිලධාරී මයිකල් ආදී ජීවීන්ගේ ක්‍රියාකාරකම්වලට වඩා ඔවුන් අතරට එන උභය ජීවීයාගේ මැදිහත් වීමෙනි. ප්‍රස්තුතයට අදාළ වට්ටෝරු චරිත නියම කිරීම සහ ඔවුන් මුහුණ පාන අත්දැකීම්වලට පමණක් සීමාවීමට බලකිරීම සාම්ප්‍රදායික යථාර්ථවාදී රීතියේ ස්වභාවයයි. බොරිස් පැස්ටර්නැක්ගේ ‘දොස්තර ශිවාගෝ’ නවකතාව සෝවියට් තන්ත්‍රය හා බැඳුණු නිලධාරිවාදයත්, පුද්ගල නිදහස උල්ලංඝනයේ ප්‍රචණ්ඩත්වයත් නිරූපණය කරන්නේ යථාර්ථවාදී රීතිය වීසින් දෙනු බලන නිශ්චිත චරිත රැසක් උපයෝගි කරගනිමිනි. නිර්මාණාත්මක කාර්යභාරයක් ලෙස ඒ යුගයට එය ප්‍රමාණවත්. එහෙත් දැන් අවශ්‍ය වන්නේ යථාර්ථවාදයේ මඩ තවරාගන්නේ නැතිව එහෙත් එහි මූලයන්ගෙන් පෝෂණය වෙමින් ඉස්මතු වන පියුමාකාර කතාකලාවක්. උමා ඊට හොඳ නිදසුනක්.

ෂේප් ඔෆ් වෝටර් චිත්‍රපටයේ මෙන්ම උමා කෙටිකතාවටත් සම්බන්ධ කරන්නට අන්ත දෙකක් ඇත. එකක් 2004 දී සිදු වූ සුනාමි ස්වාභාවික ආපදාවයි. අනෙක ඊට දශකයකට පමණ පසුව වන මිනිසුන් විසින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් නිර්මාණය කරන ලද උමා ඔය ආපදාවයි. මේ දෙක අතර රූපකාර්ථයන් ගොඩනගන වාහකයා වන්නේ උමා නමැති බැල්ලයි. ඇය තමන් සමඟ විශ්වවිද්‍යාල වරම් ලැබූ උමාලි නමැති මිතුරිය සුනාමියට හසු වී ජීවිතක්ෂයට පත් වූ බැවින් තම විශ්වවිද්‍යාල ගමනත් නතර කර දැනටමත් බාහිර උපාධියක් හදාරන තරුණියකි. උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධව ක්‍රියා කළ අයකු වන ඇගේ පෙම්වතා සුනාමි කඳවුරේදී හමුවන බැල්ලියට උමා යන නම තැබුවේ ඇයිදැයි අසයි.

“ඔයා එයාට උමා කියලා තිබ්බේ ඇයි?”
“ඒකටම තමා”
“ඒ කියන්නේ ඔයාගෙ යලුවා, හම්බන්තොටදි අතුරුදන් වෙච්චි උමාලි මතක්වෙන්ඩ”
ඇය නිහඬව සිටින්නේ ඔව් කියන්නටය. මම නැවත ඇගෙන් ප්‍රශ්නයක් අසමි.
“එතකොට මේ බැල්ලි උමා ඔය සිහිකිරීමක් නොවේද?”.
ඇය එවීට වියරු දෑසින් මා වෙත කඩාපැන්නාය.
“ඔයාගේ ප්‍රබන්ධවලට මේක ගාවගන්ඩ එපා. මට පාරභෞතික වීඥානයක් ද මොකක් ද කියන එක, පෙර නිමිති පේන එක තිබ්බේ නෑ. ස්වාභාවික ආපදාවක ඉදං මිනිස්සුන්ගේ දුරදිග නොපේන වැඩ හංදා වෙන ආපදාවක් වෙනුවෙන් බැල්ලියකට නමක් තියන්ඩ මං සාස්තරකාරියක් නොවේ”.

(පිටුව 18-19)

කෙටිකතාවේ ආරම්භයේදීම බැල්ලගේ මැදිහත් වීම සංකල්පරූපී අර්ථයන් නිර්මාණය කරන්නේ ඒ විදිහටයි.
උමා ඔයා ව්‍යාපෘතිය නිසා දිය උල්පත් සිඳී ගොස් ප්‍රදේශයේ ජනතාවට මුහුණු දෙන්නට සිදු වන උග්‍ර පානීය ජල අර්බුදය නිරූපණය කරන්නට බැල්ල නිසා අලුත් ඉවක් ලේඛකයාට ලැබෙයි.

පසුදින මා දකින්නේ බැල්ල පහුරු ගෑ බිමේ පැල්ලම්ය.
“පොළව විතරක් නෙමේ මේ බලන්න”.
ඇය පෙන්වන්නේ ඇගේ නිවසේ පිපිරුමක් සහිත බිත්තියකි. “එක දිගට එයා උඩුබුරනවා”.

(පිටුව 25)

මේ ආකාරයට බැල්ලගේ අධි සංවේදනා හැකියාව ඉදිරියට නියමිත ඛේදවාචකයන් පිළිබඳ සංඥා එළි දල්වන්නට කෙටිකතාකරුවාට ඉමහත් ලෙසින් ප්‍රයෝජනවත්. දිය සිඳී ගිය ළිං පතුල් දැක හෘදයාබාධ වැළඳී මියයන ගමේ මිනිසුන් මෙන් (කරඳගොල්ල වෙද මහත්තයා) බැල්ලද අවසානයේ සිඳී ගිය ළිඳට පැන අනතුරට ලක්වන්නේ පොදු මානව ඛේදවාචකයක වින්දිතයෙක් බවට පත්වෙමිනි.

“නෝනා බල්ලා හම්බ වුණා”.
“ඒක තමා එයා මාව දාල යයිද?. එයා හැමදාම නිදාගත්තේ මගේ යටි පතුල් අතරේ”.
එහෙත් ඌ හිටියේ ඇගේ වත්තේ ළිං පතුලේය.

(පිටුව 32)

ස්වාභාවික ආපදාවන්ගේ හා මිනිසා වීසින් නිර්මිත ආපදාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අහිමිවීම්වල වේදනාව මේයැයි පෙන්වමින් ඒ හිඩැස් තැන් යම් පමණකට හෝ පුරවන්නට එන මානව දයා පුනරාගමනයක සංකේතයක් බවට බැල්ල පත්වන්නේ නිතැතිනි.

ග්‍රීස් යකා- භීතීන් ඇතුළත ඇති සමාජ රීතීන්

භීතීන් නිර්මාණය බල අධිකාරීන්ගේ එක් මෙවලමක්. ඒ තැතිගැන්වීම් එක් එක් ස්වරූපයන්ගෙන් ජනතාව අතරට එයි. සීනි මිල ඉහළ දැමීම ශීඝ්‍රයෙන් වැඩිවෙන දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් මැඩලීමට ගත් තීරණයක්’ වගේ ප්‍රකාශයන් තුළින් වුවත් ප්‍රකට වන්නේ පාලක අධිකාරියේ තැතිගැන්වීම්වල මුදුසුමුදු භාෂණයක්. ඊට එහාට යමින් කහවත්ත, කොටකෙතන වැනි ප්‍රදේශවල සිදු වූ අඛණ්ඩ කාන්තා ඝාතනයන් කිසියම් නිශ්චිත සංසිද්ධියක් සමාජගත වීම වැළැක්වීම වෙනුවෙන් නිර්මාණය කළ භීතීන් පෙළක් විය නොහැකිදැයි සිතීමට අනුබල දෙන වියමනක් ලෙස ‘ග්‍රීස් යකා’ කෙටිකතාව හඳුන්වන්න පු`ඵවන්. නිශ්ශංක වීජේමාන්න කෙටිකතකරුවා ඉසියුම් ආකාරයකින් තත්කාලීන සමාජ ආවරණයන් විවෘත කර බලන්නෙකි. ඒ සඳහා ඔහු උපයෝගී කරගන්නේ සිද්ධිවාර්තාකරණීය මෙවලම් වෙනුවට ඒ සිදුවීම් පතුලේ ඇති ගැඹුර මතුකරන කතා සෞන්දර්යයක්. ඒ කතා සෞන්දර්යය ඔහු ගොඩනගාගන්නේ ඇත්ත සිද්ධි අතරට මිනිසුන්ගේ ආචීර්ණක්පික විශ්වාසයන්, සංස්කෘතික ඇදහිලි ආදිය ද මුසු කරමින්. එසේ සකසාගන්නා වියමන නිසාම ඔහුට කෘත්‍රිම ආයාසයකින් ඉදිරිපත් වී සිය සමාජ විවරණයන් පිටු අතරට කෙටුම්පත් කිරීමට අවශ්‍ය නොවේ.

සැබවින්ම එය ඇත්තක් විය. වැව හාරමින් තිබුණේය. බැකෝ යන්ත්‍ර හතරක් වැඩ කරමින් තිබිණි. බොහෝ කටයුතු සිදු වූයේ දහවල් වුව ද රාත්‍රී කාලයට ද එය සිදුවෙමින් තිබුණේය.

(පිටුව 56)

ග්‍රීස් යක්කු නිර්මාණය කර විල්ලුව වැවේ නිධන් හාරනවා යන චෝදනවාට ප්‍රදේශීය සභාපතිවරයා උත්තර දෙන්නේ මෙලෙසින් :

“කොහොම වුණත් බොරුවලට අපි රැවටෙන්න හොඳ නෑ. ඒත් ප්‍රවේසම් වෙන්න ඕනි. තම තමන්ගේ ප්‍රවේසම ගැන තමන්ට වඩා අනෙක් අය බලන්නේ අඩුවෙන්. ඒ නිසා මගේ යෝජනාවත් රාත්‍රී කාලයේ ගෙදර ගත කිරීමයි”.
ප්‍රදේශීය සභාපතිවරයා තීන්දුවක් දුන්නේය.
“ඒ එක්කම කියන්න ඕනි වැවේ ප්‍රතිලාභ ඔක්කොම ජනතාවට හිමිවෙනවා”.
ප්‍රතිලාභ මොනවා ද කිසිවකුට තේරුම් නොගිය ද ජනතාව ඔල්වරසන් දුන්නෝය.
“හුරේ….ආණ්ඩුවට ජයවේවා….”.

(පිටුව 56)

ග්‍රීස් යක්කු, මෝහිණිලා, ගෙවල්වල ගෑනුන් දිහා එබිකම් කරන්නන් නිර්මාණය කිරීමට ගැහැනුන්ට අතවර කළ පිරිමින්, අතරවයට ලක් වූ ගැහැනුන්. විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නන් යොදාගැනීමම නොදියුණු සමාජයක පොදුජනයා පහසු ගොදුරු බවට පත්වීම පිළිබඳ ප්‍රබල හැඟවුම්කාරකයක්. දියුණුවීම වැනි සුබවාදී ජීවිත අරමුණු ඇති මිනිසුන් සුබසාධනවාදී දේශපාලනයට ණය මුදල් ලබාදී මිනිස්බල දිරිගැන්වීමේ ව්‍යාපෘති සඳහා වැදගත් වන්නා සේම ජීවිතය වැරුදුණූ ‘උලත් එකයි පිලත් එකයි’ මාදිලියේ මිනිසුන් ද ජනප්‍රිය දේශපාලන යාන්ත්‍රණයට වැදගත්වන්නේ තම තිරයෙන් පිටුපස රංගනය ගෙනයෑමටයි. සමාජ විරෝධි ව්‍යාපාරවලට, පාතාල මෙහෙයුම්වලට මෙම ජීවිත අපේක්ෂා භංගවූවන් වටින්නේ ඒ අර්ථයෙන්. මෙහි වඩා ඛේදජනක අත්දැකීම වන්නේ එවන් අශීලාචාර අරමුණු වෙනුවෙන් පොදු මිනිස් ජීවීතවල අපේක්ෂාභංගත්වය ඇතිවෙන තැනටම බලාධිකාරීන් විසින් සවිඤානිකවම වැඩ කරනු ලැබීමයි.
විවාහ ගිවිසගන්නා පොරොන්දුව පිට අතවරයකට ලක් කරනු ලැබූ ගැහැනියට මෝහිනියක ලෙස රඟන්නට සිදු වන යෝජනවා එන හැටි බලන්න.

“උඹට රස්සාවක් හොයාගත්තා”.
සති තුනකට පෙර ප්‍රාදේශීය බලමණ්ඩලයේ ලේකම් වූත් ‘ඇතීනා’ ගාමන්ට් එකේ සිකියුරිටි ඔෆිසර් වූත් චන්දරේ හෙවත් සත් ගුණවත් චන්ද්‍රා සේනාරත්න කීවේ කීපවරක්ම කළ ඇගේ ඇවිටිලිවලට සහතික ලෙසම සවන්දුන් මිනිසෙක් විලසටයි.
“මොකක් හරි පක්කිලි වැඩක් නම් එපා’‘.
“එහෙම වැඩක් නෙමේ බං. මේක ක්‍ෂණික සල්ලි හොයන වැඩක්. සති දෙකයි වැඬේ තියෙන්නේ. වීසිදාහක් අතේ”.

(පිටුව 58)

දොස්තර හොඳහිත-උඩුදුවන සමාජ ව්‍යාධියක්

මොලෙව එළිය දකින සෑම දරුවකුම වෛද්‍යවරයකු බවට පත්කිරීමේ වුවමනාව අප රටේ ඇති බරපතළ සමාජ ව්‍යාධියක්.
“මෙයැයි දවසක දොස්තර කෙනෙක් වෙනවා. දොස්තරලටත් දොස්තර කෙනෙක් වෙනවා”.

(පිටු 82)

එසේ කියන්නේ ඔහුගේ හඳහන බැලූ දෛවඥයා. ’
“එයාගේ සෙල්ලම් කඬේ එක්ස්රේ කාඞ් ඉදං තිබුණා”
“ස්කෝලේ විකට ඇඳුම් තරගයටත් එයා ඇන්දේ දොස්තරට”
ලයනල් මාමා කීවේ ‘දොස්තර’ යන නාමය ඔහුට භෞතිස්ම කළේ තමන් බවයි.

(පිටුව 83)

‘සයිටම්’ වැනි ආයතන ඒ සමාජ ව්‍යාධිය සුව කරන්නට බිහි වූ ගොඩ වෙළෙඳ වෙදකමකි.
අනෙක් අතට සමාජයේ උඩු දුවන දොස්තරවරයකු වීමේ අසීමිත රෝගාශාව තුළ ඇත්තේ නව පර්යේෂණ කරමින් මානව සංහතියට සුගතියක් කිරීමේ කැක්කුමට වඩා සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍යවරුන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය අත්පත් කරගැනීමට ඇති කෑදරකමයි.
“තමුසෙ හොඳට සල්ලි හෙව්වලු නේද?”

(පිටුව 84)

හිත හොඳ දොස්තර පොලිස් අත්අඩංගුවේ සිටිද්දී එලෙසින් ප්‍රශ්න කෙරෙයි.
හිත හොඳ දොස්තර කෙටිකතාව වෛද්‍ය සේවාව හා බැඳුණු අනෙක් සමාජ ජාවාරම් වෙත ද දිශාගත වෙයි.

”දොස්තර තුණ්ඩුවක් නැතිව බෙහෙත් දෙන්නෑ”.
ෆාමසි හිමියාගේ ගණන් බලන්නට දොස්තර විජේපාල එතන නතර වුණේ නැත. ඔහු එතැන සිටම කර ඔසවා ටවුමේ ඊළඟ අතුරු පාරට හැරෙන තැන ඇති ෆාමසිය දෙස බලනවා ෆාමසිකරු දුටුවේය.
”මෙහෙ එනවකෝ ….මං මේ සැරේට බෙහෙත් දෙන්නම්”.

(පිටුව 87)

හොර දොස්තරවරු බිහිවීම හොර බොරුව රජයන සමාජයකම ප්‍රතිඵලයක් බව කතුවරයාගේ කතාකල්පයයි.