රාවය

විස්සයි විස්ස

විස්සයි විස්ස

රජිඳු කාශ්‍යප

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මහා ඉහළින් පැවැත්වෙන බවට පාරම් බෑව ද එය පළමු තරගයෙන් දෙකෙන්ම ගිලිහී ගියේය. තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන දෙවැනි දා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එම තරගයද දිවා/රාත්‍රී තරගයක් හැරෙන්නට වෙනත් කිසිදු විශේෂත්වයක් නොමැති පැවැත්වීමටය දැනට නියමිතව ඇත්තේ.

තරගාවලිය පැවැත්වෙන්නේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධානය කරගත නොහැකි වීම නිසා වන අතිරේක තරගාවලියක් ලෙසිනි. මේ වෙනුවෙන් මිලියන ගණනක මුදලක් වෙන් කෙරෙති.

‘ජාත්‍යන්තර තරගාවලියක් හා සමානවම මේ තරගාවලිය පැවැත්වීමයි අපේ බලාපොරොත්තුව. තරගාවලිය සඳහා සහභාගී වෙන සෑම ක්‍රීඩකයෙක්ටම ඒ හා සමාන පහසුකම් උපරිමයෙන්ම ලබාදෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා.’ තරගාවලි අධ්‍යක්ෂ සජිත් ප්‍රනාන්දු තරගාවලිය ආරම්භයේ දී පවසා තිබුණි.

එහෙත් මේ වන විට පැවැති තරගවලදී සුපිරි මට්ටමේ තරගාවලියක් දැක බලා ගැනීමට අවස්ථාවක් නම් නොවුණි. ශූරයන්ට මිලියන දෙකක මුදලක් ගෙවන, අනුශූරයන්ට මිලියන එකහමාරක් ගෙවන සහ තරගයේ වීරයා, තරගාවලියේ වීරයා සහ තරග ජයග්‍රාහකයන් මෙන් ම සෑම ක්‍රීඩකයෙක්ට ම මුදල් ගෙවන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉතා අලස ආකාරයෙන් බැව් කනගාටුවෙන් සටහන් තැබිය යුතුය.
පැවැති මාධ්‍ය හමුවේ දී කණ්ඩායම්වල නායකයන් ලෙසින් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා නම් කළ ද ඔවුන් තරගාවලිය පුරා දැක ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් අවස්ථාවක් ලැබුණේ නැත. ඒ වෙනුවට බොහෝ තරගවල නායකයන් වූයේ දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ඉසුරු උදාන මෙන්ම ජීවන් මෙන්ඩිස් වැන්නෝය.

මොවුන් නායකත්වයේ යෙදවීම වරදක් නොවේ. එහෙත් මෙම තරගාවලියට දුන් ආරෝපණය අනුව එවැන්නක් සිදුවීම තරගාවලියේ ජීව ගුණයට හානිකර බැව් ය අපගේ නම් අදහස. අනෙක් අතට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් පවත්වනවා යැයි පුරසාරම් දොඩා මේ කරන කෙරුවාව කුමක්ද?

තරගාවලිය ආරම්භයේදී කණ්ඩායම් තේරීම පිළිබඳව පැවති නෝක්කාඩුව මේ වන විට ද අහවර ව නැත. විශේෂයෙන්ම මිලින්ද සිරිවර්ධන වැන්නෝ මෙම කණ්ඩායම් වෙනුවෙන් නම් නොකිරීම කුමන ආකාරයක තේරීමක්ද යන්න පවතින්නේ කුකුසකි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, කොන්ත්‍රාත්ගත දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ද සමගින් ක්‍රීඩකයින් 84 දෙනෙක් මේ තරගාවලිය සඳහා සංචිතගත කර තිබූ අතර ඊට මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක වැන්නෝ ඇතුලත් නොවුණි.

තවමත් 32 හැවිරිදි වියේ පසුවෙන මිලින්ද සිරිවර්ධන සේම 33 හැවිරිදි සචිත්‍ර සේනානයකද කදිම තුන් ඉරියව් ක්‍රීඩකයෝය. එහෙත් මේ ක්‍රීඩකයන් ගොන්නේ ඔවුන් නැත. සිදුකර ඇති එකම වෙනස නම් ලෝක ශූර විස්සයි 20 නායක ලසිත් මාලිංගට මේ කණ්ඩායම්වල තැනක් වෙන් කිරීමය.

ක්‍රීඩකයන්ම පවසන ආකාරයට කණ්ඩායම් නම් කිරීම ප්‍රශ්නකාරීය. බැලූ බැල්මටම වඩාත් ශක්තිමත්ම කණ්ඩායම කොළඹ කණ්ඩායම බව පෙනෙන්නට තිබුණ අතර ඔවුන් මේ වනවිට ඒ තැන ගෙන හමාරය. දුර්වල කණ්ඩායම ලෙසින් ක්‍රීඩකයන්ම දන්නා මහනුවර කණ්ඩායම ඒ තැනම හිමිකර ගෙන තිබේ. ඇතැම් කණ්ඩායම්වලට ඇති තරම් පන්දු යවන්නෝ සිටියද තවත් කණ්ඩායමකට හදිසියකට පන්දු යවන්නෙක් තෝරාගැනීමට නැත. මේවා අපි නොව ක්‍රීඩකයෝම පවසන දේය.

කණ්ඩායමකට කඩුලු රකින්නන් නම් කර සිටියද ඇතැම් තරගයක දෙකකදී පන්දු යැවීමේ දීද දක්ෂතා දක්වන්නන්ට කඩුලු රැකීමේ අත් ආවරණ පැළඳ වූ අවස්ථාද වෙති. එවන් වෙනසකින් තේරීම් කමිටුවේ බලාපොරොත්තුව කුමක් ද?

එපමණක් නොවේ ක්‍රීඩාංගණයේ ලකුණු සීමාවන්හි දුර අඩු කිරීමක් ද දක්නට ලැබෙන බවකි පැවැසෙන්නේ. එවැන්නක් සිදු කිරීමෙන් මේ බලාපොරොත්තු වෙන්නේ අපි හොඳ තරගකාරී ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට රුසියෝ යන්න ලෝකයට පෙන්වීමද?

‘තරග සියල්ලම පැවැත්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවල, ඒක ඉදිරියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න යොවුන් ක්‍රීඩකයින්ටත් ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ තරග සියල්ලම නරඹන්න ඕනෑම කෙනෙක්ට නොමිලේම එන්න පුළුවන්.’ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා තරගාවලිය ආරම්භයේ මාධ්‍ය මගින් ප්‍රකාශ කළ බැව් මතකය.
ඒ අනුව කණ්ඩායම්වල නම් කළ චරිත් අසලංක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියෙල්, නිශාන් පීරිස් වැන්නන්ට අවස්ථාවන් ලැබුණද තවත් බොහෝ දෙනෙක්ට ඒ තැන හිමි වූයේ නැත. මේ අතුරින් තමන් ලැබූ අවස්ථාවන් අතුරින් උපරිම දක්ෂතා දක්වන්නට සම්මු අශාන් හැරෙන්නට අනෙක් සියලුම දෙනා සමත් වීමත් කැපි පෙණුනි. සම්මු තම ආකෘතියෙන් බැහැර ව ක්‍රීඩා කරන්නට යෑමෙන් මේ වින්නැහිය වෙන්නට ඇත.

කෙසේ වෙතත් ඉදිරියේ දී බලාපොරොත්තු තැබිය හැකි රමේෂ් මෙන්ඩිස් සහ මිනෝද් භානුක වැන්නන්ට තවත් අවස්ථා ලැබුණේ නම් වඩා වැදගත් ය. නිමා වූ තරගවල දී තික්ෂිල ද සිල්වා දැක් වූ දක්ෂතා අනාගතයට කදිම ආයෝජනයකි.

මේ සියල්ලන්ගේ දක්ෂතා හෝ අදක්ෂතා දැකීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නොවීම ද අප දකින දුර්වලතාවකි. මිලියන ගණනක් වියදම් කර හුදෙකලාවේ තරගාවලියක් නිමා කරනවාට වඩා අඩුම තරමින් පාසල් කණ්ඩායම් කිහිපයකින් හෝ මේ ක්‍රීඩාංගන පුරවා තැබීමට ක්‍රිකට් පාලකයන් කටයුතු කළේ නම් වැදගත් බවකි අපගේ මතය වන්නේ.