රාවය

ෆයිසර් දැක්කොත් ඇති

ෆයිසර් දැක්කොත් ඇති

ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රීඩාවේ ජය ලැබීමේ අයිතිය මුදුන් පමුණුවා ගැනීමේ කාර්යය නිවැරදි පරිපාලන සහභාගිත්වයෙන් තොරව කළ නොහැකි බව අප පුන පුනා ලීවෙමු. චීනය, ජපානය, දකුණු කොරියාව නොව ඉන්දුනීසියාවේ පදක්කම් සටහන් දෙස උනන්දුවෙන් බලන්නේ නම් මූලිකවම වටහාගත හැකි සත්‍යය ඒ රටවල්හි ක්‍රීඩා යාන්ත්‍රණය දියුණු තියුණු අවදියකට පැමිණ ඇති බවය. මෙහිදී චීනය ලෝකයේ ඕනෑම රටකට ඕනෑම ඉසව්වකදී අභියෝගයක් බව සක්සුදක් සේ පැහැදිලිය. එවන් වටපිටාවක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය කොතැනටද යන්න ගැටලු සහගතය.

මේ දිනවල අවසානය දකිමින් ඇති ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලෙහි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්වත් දිනාගැනීමට නොහැකි විය. මේ ලියවිල්ල ලියැවෙන විට ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ලෙස හෝ ඉතිරිව තිබූ එකම ඉසව්ව 4ං400 පිරිමි තරගයයි. එහි අවසන් වටයට සුදුසුකම් සපුරාගෙන සිටියද ඉන් එහාට පදක්කම් බලාපොරොත්තුවක් දල්වතැයි සිතිය නොහැකිය. එය තරග අවසන් කළ කාලයන් අනුව සරලව කිව හැකි දෑය.

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගි වූ වැඩිම සහභාගිත්වය මෙවර සිදුවිය. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකසිය අසූවට ආසන්නය. නිලධාරි යාන්ත්‍රණයත් සමග සාමාජික සහභාගිත්වය තුන්සියයට කිට්ටුය. ලොකු සහභාගිත්වයක් සිදුවුවද නැවත එන්නට සිදුව ඇත්තේ හිස් අතිනි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙහි පදක්කම් දිනීම යම් කිසි අයුරකින් පහසු වුවත් කලාපීය ගැටුමේදී එය කොතරම් වෙහෙසකාරී අත්දැකීමක්ද යන්න අප දැන් මනාව දන්නේය. එසේ නම් ඔලිම්පික් යන්න කතා කළ හැකි හෝ මාතෘකාවක්ද?

මහින්ද චින්තනය ක්‍රීඩාවට සුදු කොඩි අඳින විට යහපාලනය එන්නේද ගොක්කොළ අතු ඔසවාගෙනය. මේ ගෙවුණු වසර තුනහමාර තුළ ඒ බව පැහැදිලිය. සැවොම තමතමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කරනවා විනා රටක් ලෙස නිවැරදි දැක්මක් නැතිය. මොන පාලනයක් යටතේ වුව ක්‍රීඩා ඇමැත්තකු පත් කළ සැණින් මේ ක්‍රීඩාව ගොඩගත නොහැකිය. ඊට රටක් විදිහට නිවැරදි ප්‍රතිපත්තියක් කල්පවත්නා දැක්මක් සකස් කළ යුතුය. කවුරු ක්‍රීඩා ඇමති වුවද ඔහු එය ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුය. අද ෆයිසර් මුස්තාෆා නොකියා කියනුයේ යහපාලන වසර තුනහමාර තුළ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කුමක් කළේද යන්නය. එහෙත් ඔහු කරනුයේ කුමක්ද යන පැනයත් ඉතිරිය.

කාලයක සිට වගකිව යුතු ධුරයක් වූ ක්‍රීඩා අමාත්‍ය ධුරය මේ වනවිට නිකම්ම නිකන් හිස් අමාත්‍ය ධුරයක් වී ඇත. ඊට පත්කර ඇති අමාත්‍යවරයාද හිස් කණුවක් පමණක්ම වී ඇත.
ක්‍රීඩාවේ ප්‍රධාන තනතුරු වෙනස් නොකොට කවුරු එම තනතුරුවලට දැම්මද මෙරට ක්‍රීඩාව දියුණු නොවන බව කිව යුතුය. දැනට ඇමතිවරුන්ට උපදෙස් දෙන මේ අය වසර ගණනාවක් තිස්සේම ක්‍රීඩා අමාත්‍යවරු ගණනාවකට උපදෙස් දුන් අයය. මේ ආකාරයට ක්‍රීඩාවට අරක්ගෙන සිටින පොල්මඃකාරයන් ඉවත් නොකර අලුත් අදහස් මතුවෙතැයි සිටිය නොහැකිය. චින්තනයෙදිත් යහපාලනයේදිත් සිටිනුයේ මොවුන්මය.

රටක යාන්ත්‍රණයක් එකම පිරිසෙන් මුදවා ගන්නට ජනතාව කොයි මොහොතේ හෝ සිය බලය පාවිච්චි කරති. එහෙත් මේ ක්‍රීඩාවේ සිටින පල් හොරු (ක්‍රීඩා අමාත්‍යාංශයේ, ඔලිම්පික් කමිටුවේ හෝ ක්‍රීඩා සංගම්වල) ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිය. ඔවුහු එන එන ක්‍රීඩා අමාත්‍යවරුන්ව ගොනාට අන්දවා තම වැඩ කර ගනිති. මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් කළ හැකි එකම දේ නිවැරදි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ක්‍රිඩා පනත වෙනස් කිරීමට එන එන ඇමති දඟලන මුත් ක්‍රීඩා ප්‍රතිපත්තියක් හදන්නට උත්සුක නොවෙති. කවුරු හෝ රටක් ලෙස වුව එවැනි ප්‍රතිපත්තියක් හැදුවේ නම් පුද්ගලයන්ට සිදුවනුයේ එය ක්‍රියාත්මක කිරීමටය. එහිදී ඇමතිවරු සිටියද නැතිද ඒ ක්‍රමවේදය ගමන් කළ යුතුය. දැන් සිදුවනුයේ ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්ති මාරු කිරීමය. අයාලේ වැඩ කිරීමය. එහි ප්‍රතිඵලය නම් හිස් අතින් ගෙදර ඒමය.

ආසියානු ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූයේ තමන්ට කළ හැකි උපරිමය නොවේ. ඒ උපරිමය ඔවුහු මෙරටින් ගත හැකි තත්ත්වය පෙන්නුම් කිරීමකි. එහෙත් එය ආසියාව තුළ ලොකු ගැම්මක් නොවන බව පැහැදිලිය. එසේ නම් මේ තත්ත්වයන් වර්ධනය කිරීම ඔවුන්ට තනිව කළ හැකි දේ නොවේ. එය රටත් ලෙස ප්ලෑන් කොට කළ යුතු දෑය.

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශය සිටිනුයේ රටේ බර කරට ගන්නටය. වාර්ෂිකව එයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කරනුයේ මේ ක්‍රීඩා සංවර්ධනය සඳහාය. අනෙක් අතට ජාතික ඔලිම්පික් කමිටුවක් ඇත්තේ ට්‍රැවල් ඒජන්සියක කාර්යභාරය පමණක් කරන්නට නොව ඊට වඩා බොහෝ දේ ඔවුන්ටද කළ හැකිය. ජාත්‍යන්තර පුහුණුකරුවන් ගෙන්වීම ජාත්‍යන්තර පුහුණුව ලබාදීම වැනි වටිනා කාර්යයන් ඔවුන්ට කළ හැකිය. ක්‍රීඩා සංගම්වල අයද කළ යුත්තේ වසර ගණනාවක් ඒවායේ නිලතල දරමින් රැකියාවක් ලෙස එහි නියැලෙමින් එයින් බඩ පුරවා ගැනීම වෙනුවට ඒවා කළ හැකි පිරිස් අතට බාරදී විශ්‍රාම ගැනීමය.
මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති පදක්කම් සියල්ල මලල ක්‍රීඩාවෙන් දිනාගෙන ඇත. අද එකදු පදක්කමක් දිනාගත නොහැකි නම් ඊට එම සංගමය වගකිව යුතු නැද්ද? අද දවසේ නොව කවදත් ශ්‍රී ලංකාවේ පරාජයන්ට හේතු සොයනු නොපෙනේ. මෙවරත් තරගාවලියට නිලධාරීන් ගොන්නක් සහභාගි විය. එය විශාල පිරිසකි. එහෙත් ඔවුන්ට ඉන්දුනීසියාවේ සිට එන විට හිස් අතින් ආ නොහැකිය. ඔවුන් ඒ වෙනුවට මෙරට ක්‍රීඩාවේ පරිහානියට හේතු රැගෙන ආ යුතුය. සෙසු රටවල් හි වර්ධනයේ රහස් රැගෙන ආ යුතුය. ඔවුන් සහභාගි වනුයේ ඒ සඳහාය. එහෙත් මෙරට බලධාරීන් පසු විපරමක් කරන්නේ කවදාද? වැරදි නිවැරදි කරගනුයේ කවදාද? යම් ආකාරයට පදක්කමක් දිනාගෙන ආවේ නම් ජනපති, අගමැති නිල නිවසට කැඳවා මාධ්‍ය සංදර්ශන පවත්වති. එහෙත් හිස් අතින් එන විට බලධාරින් කැඳවා පරිහානියට සවිස්තරාත්මකව හේතු දක්වන්නැයි නොකියති.

මෙම තරගාවලි සඳහා රටක් ලෙස විශාල මුදල් කන්දරාවක් හැකි පමණික් වෙන් කරනු ලැබේ. එසේ නම් ඒවාට ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අය වගකිව යුතුව ඇත. රටකට ජනතාවට වගකියන බලධාරින්, නිලධාරින් වෙත්නම් හිස් අතින් එනවිට ඔවුන්ට මුනිවත රැකිය නොහැකිය. ඔවුන් රටේ ජනතාවට වගකිව යුතුය. ජයග්‍රහණ නැති වීම ගැන වගකිව යුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොව ක්‍රීඩා පරිපාලනයය. එහෙත් ඒ අයව කොමිසමක් ඉදිරියට ගෙන ගොස් ප්‍රශ්න කරන යාන්ත්‍රණයක් අපට අහිමිය. එසේ වූවේ නම් මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

ක්‍රීඩාවේ කඩා වැටීමටත් විමර්ශනයන් අවශ්‍යය. එයට අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සිට ඔලිම්පික් කමිටු ප්‍රධානීන්ද, ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ද කැඳවිය යුතුය. එසේ නොවී ක්‍රීඩාව ඉදිරියට යෑමක් ගැන සිතිය නොහැකිය. මිනිසුන් වඩා ශක්තිමත් විය යුත්තේ පරාජයන් තුළදීය. එහෙත් ලංකාවේ පල්හොරු වගේ වගක් නැති ගානට සිටිති.

ඉදිරි කාලය අමාරුවෙන් බලය අල්ලා ඉන්නට දඟලන යහපාලනය ක්‍රීඩාවක් ගැන සිතන්නට කල් ඇතැයි සිතිය නොහැකිය. ඉන්දුනීසියාවේදී ක්‍රීඩාව ගැන බොහෝ දේ සිතන්නට ඉඩහසර විවර කළේය. එහෙත් මේ අඳ ගොළු බිහිරන්ට එයින් පළක් වේද යන්න ප්‍රශ්නාර්ථයකි. හැම සංගමයක්ම සිය ක්‍රීඩාවේ පරාජයට විදිමත් හේතු දැක්වීමක් ඒවාට පිළියම් යෝජනා කිරීමක් ඒ ඒ සංගම් මේ තරගාවලියට පෙර ගත් ක්‍රියාමාර්ගයන් වාර්තාගත කළ යුතුය. ඒවා ක්‍රීඩා අමාත්‍යාංශය මසක් ඇතුළත ඉල්ලා සිටිය යුතුය යන්න අපගේ හැඟීමය. ඒ සියල්ල මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කළ යුතු බවද අපගේ හැඟීමය.
ක්‍රීඩා ඇමතිවරයා බොරු කයිවාරුකාරයකු නොවී මේවා කළ යුතු බව අපගේ හැඟීමය. එසේ නොවී ඉදිරියට යෑමක් නැති බව අපි ඉදිරියටත් ලියන්නෙමු.