රාවය

මියැන්මාර් හමුදා ප්‍රධානීන්ට ජනසංහාර චෝදනා

මියැන්මාර් හමුදා ප්‍රධානීන්ට ජනසංහාර චෝදනා

එස්. නන්දලාල්

මියැන්මාර් හමුදාව චේතනාන්විතව ම මනුෂ්‍ය වර්ගයක් සංහාරය කිරීම සඳහා (genocidal intent) සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණවල නිරතවිණියැ’යි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් පසුගිය 27 සඳුදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මෙම කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මර්සුකි දරුස්මාන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව හෙළිදරව් කළේ ය.
වාර්තාව සකස් කිරීමේ දී සාක්‍ෂිකරුවන් සහ වින්දිතයන් 875 දෙනා සමග සාකච්ඡා කරන ලද බවත් තහවුරු කරන ලද වීඩියෝ දර්ශන සහ ඡායාරූප නිරීක්‍ෂණය කරන ලද බවත් ඔහු පැවසී ය.
මර්සුකි දරුස්මාන් යනු ඉන්දුනීසියාවේ හිටපු නීතිපතිවරයාය. ඔහු කලක් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව ද සිටියේ ය. පසුව එක්සත් ජාතීන්ට සම්බන්ධ වූ ඔහු මානව හිමිකම් කඩවීම්වලට අදාළ විමර්ශන කිහිපයක් ම පවත්වා ඇත. දරුස්මාන් අප රටට අමුත්තකු නොවේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ ඇනවීමෙන් උතුරේ සිවිල් යුද්ධයේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කළේ ඔහු ය. 2011 මාර්තු 31 දින ඉදිරිපත් කරන ලද එම වාර්තාව ශ්‍රී ලංකා රජය නොපිළිගත් අතර ආණ්ඩු හිතවාදී කණ්ඩායම් ඔහුගේ පඹයකු පු`ඵස්සා විරෝධය පළ කරන ලදි. මෙයින් මහත් ආන්දෝලනයක් ඇතිවිය. එම වාර්තාවෙන් ඔහු ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය මෙන් ම උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ද විවේචනයට ලක් කළේ ය. පසුව ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීම පවා තහනම් කරන ලදි. 

Genocide (වාර්ගික සංහාරය) යන පදය එක්සත් ජාතීන් විසින් ලඝු කොට සලකන්නක් නොවේ. කිසියම් ජාතියක් හෝ ජන වර්ගයක් මිහිමතින් මු`ඵමනින්ම ඉවත් කිරීම යන්න එහි අර්ථ නිරූපණයයි. මියැන්මාර් හමුදාව රොහිංයා ජනයාට පහර දී ඔවුන්ගේ ගම් බිම් වනසා පලවා හරින ලද්දේ ඒ අරමුණෙන් බව දරුස්මාන් කමිටුව පෙන්වා දෙයි. මේ වනාහි අන්තර් ජාතික නීතිය යටතේ ගැනෙන බරපතළම අපරාධ විශේෂයකි. එම ක්‍රියාවලිය තුළ වූ කෲරකම් සිත් කම්පාකරවනසුලු වන අතර ඒවා දැකීමෙන් හදවතේ ඇති වූ කැළල ජීවිත කාලය පුරා පවතිනු ඇත.

2012 වසරේ මියැන්මාරයේ රඛයින් පළාතේ රොහිංයා මුස්ලිම් ජනයාට එරෙහිව බෞද්ධයන් අතරින් පැන නැගි විරෝධතා සහ ප්‍රහාර මැඬ පවත්වන ලදුව යටපත් වී ගියේ ය. නැවත එය අරඹන්නේ රොහිංයා ජනයා අතරින් බිහිවූ අර්සා නම් ඉස්ලාමීය ජිහාඞ් සංවිධානය විසිනි. ඔවුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ 2016 ඔක්තෝබර් මස බංග්ලාදේශ මියැන්මාර් දේශ සීමාවේ ආරක්ෂක මුරකුටිවලට එල්ල කළ ප්‍රහාරයෙනි. එහිදී සිවිල් නිලධාරීහු 9ක් සහ සෙබළු 4ක් මළහ. මෙවැනි ප්‍රහාර වරින්වර එල්ල වූ අතර මියැන්මාර් ජාතික හමුදාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදි.

2017 අගෝස්තු මාසයේ තත්ත්වය වඩා දරුණු අතට හැරිණි. මියැන්මාර් රජයේ හමුදාව විසින් සහ හමුදාවේ පිටුබලය සහිත පැරා මිලිටරි කණ්ඩායම් විසින් සෑම ආකාරයකින්ම වධ හිංසා පමුණුවනු ලැබූ රොහිංයා ජනයා බංග්ලාදේශය කරා පලා යන්නට පටන් ගත්තෝ ය. එසේ පළා ගිය සංඛ්‍යාව 700,000 ඉක්මැවූ බව පැවසේ. ඝාතනය කළ සංඛ්‍යා අවිනිශ්චිත ය. 20,000 ඉක්මවන්නට ඇතැ’යි ඇතැම් තැනක පළවිය. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලොව සිදුවූ විශාලතම වාර්ගික සංහාරය මෙය ලෙස සැලකේ.
දරුස්මාන් කමිටු වාර්තාවෙන් අඋන් සාන් සූ කීටද දෝෂාරෝපණය කරයි. ඇය ආණ්ඩු ප්‍රධානියා නිසාත්, ඇයට සදාචාරවත් වගකීමක් තිබෙන නිසාත් ඇය විසින් එය වැළැක්විය යුතු ව තිබිණි’යි මාධ්‍ය හමුවේ දී දරුස්මාන් පැවසූ බව වාර්තා වෙයි.

නොබෙල් ත්‍යාග කමිටුව 1991 වසරේ සූ කීට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරි නැමූ අතර අමෙරිකානු කොන්ග්‍රසීය රන් පදක්කම ඇතු`ඵ සාමය උදෙසා වන ත්‍යාග හා පදක්කම් 8ක් ඇය වෙත පිරි නැමී ඇත. මීට වසර හැත්තෑවකට පමණ පෙර රොහිංයා ජනයාගේ ගැටලුව ගැන සලකා බැලූ අඋන් සාන් ඇයගේ පියා ය. වර්තමාන මියැන්මාරයේ තත්වාකාර (de facto) පාලිකාව ඇය ය. ඇය දැන් දරන තනතුර හැඳින්වෙන්නේ පෙරෙවි මාණ්ඩලික  (Counsellor of State) යන නමිනි. එයට අග්‍රාමාත්‍යවරයකුගේ බලතල හිමි ය.

ආරම්භයේ සිට ම ඇය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටියේ මෞන වෘතයෙනි. ඇගේ ඒ පිළිවෙත එදා සිටම විවේචනයට බඳුන් විය. ඇයට දුන් ත්‍යාගය ආපසු කැඳවන්නැ’යි සාමය උදෙසා නොබෙල් ත්‍යාගලාභී ඩෙස්මන් ටුටූ පියනම නොබෙල් කමිටුවෙන් ඉල්ලා සිටියේ ය. නොබෙල් සාම ත්‍යාගලාභී ලාබාළතමයා වන මලාලා යූසුෆ්සායි ද ඇගේ නිහඬ බව විවේචනය කළා ය. ඒ පසුගිය ජනවාරි මාසයේ ය.
දරුස්මාන් වාර්තාව නිකුත් වූ දිනට පසු දින එනම් පසුගිය 28දා ඇය යැන්ගුන් විශ්වවිද්‍යාලයයේ සාහිත්‍ය පිළිබඳ දේශනයක් පැවැත්වූවා ය. එහෙත් ඇය එහි දී සිසුන් සමග පිළිසඳරේ යෙදී ඇත්තේ තමාට fදාස් පවරමින් නිකුත් වූ එබඳු වාර්තාවක් ඇති බවක්වත් නොදන්නා බව හැඟෙන පරිදි ය. එවකට කෙරීගෙන ගිය ජන සංහාරය අනුව අන්තර්ජාතික යුධ අධිකරණයට මුහුණ දෙන්නට ඇයට ද සිදුවනු ඇති බව කලකට පෙර මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් දරුස්මාන් වාර්තාවෙන් ඇයට ජන සංහාර චෝදනා නොමැත. එහෙත් එරට හමුදා ප්‍රධානීන් හත්දෙනකුට එරෙහිව අන්තර් ජාතික යුධ අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කළ යුතු බවට තමන් නිර්දේශ කරන බව දරුස්මාන් කමිටුව මාධ්‍යයට පවසා තිබේ. චෝදනාවට ලක්විය යුතුයැ’යි අනාවරණය කැර ගත් නිලධාරීන්ගේ නම් ද වාර්තාවේ ඇති බව පැවසුණත් ඒවා මාධ්‍යයට හෙළිදරව් කොට නොමැත. එක්සත් ජාතීන්ගේ කමිටුවක් මෙවැනිව ඍජුව ම චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවක් මින් පෙර නොවූ විරූ ය.

මේ අතර එරට යුද හමුදා ප්‍රධානියා ද ඇතු`ඵ ඉහළ නිලයන් 12කගේ ෆේස්බුක් ගිණුම් 18ක් ඇතු`ඵව පිටු 52ක් අත්හිටුවා ඇති බව එම සමාගම නිවේදනය කොට ඇත. දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කළ එක්කම වාගේ එය සිදුවිය. ෆේස්බුක් විසින් කිසියම් රටක ඉහළ හමුදා නිලධාරීන්ගේ ගිණුම් අත්හිටැවූ ප්‍රථම අවස්ථාව මේ ය. 28 දින රාත්‍රියේ රැස්වූ අමෙරිකා එක්සත් ජනපදයද එක් වූ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය එම වාර්තාව පදනම් කොට ගනිමින් චූදිත නිලධාරීන් අන්තර්ජාතික යුද අධිකරණය ඉදිරියට පැමිණැවිය යුතු බවට තීරණය කොට ඇත.
සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක්වල අරමුණුවලට පටහැනි ලෙස වෛරය පැතිරවීමේ අරමුණින් ප්‍රජා ප්‍රමිත උල්ලංඝනය වන අයුරින් සිය ගිණුම් යොදවා ගන්නා නිසා ඒවා සීමා කළ බව ෆේස්බුක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

28දා ජනාධිපති ලේකම් කාර්යාලයයේ මාධ්‍ය අංශයේ ඌ සෝ හ්ටෑග් නම් නිලධාරියෙක් මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහුගේ කථාවෙන් හතරෙන් තුනක් ම වාගේ වෙන්වී තිබුණේ හමුදා නිලධාරීන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට අවහිර කිරීම ගැන ය. ෆේස්බුක් සමාගම නිවේදනය කරන පරිදි සිය හමුදා නිලධාරීන් වෛරී අරමුණු ඉටු කැර ගැනීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය යොදා නොගන්නා බව ඔහු සඳහන් කළේ ය. ෆේස්බුක්හි කාර්යාලයයක් සිය රටේ නොමැති බැවින් ඔවුන් හමුවී සාකච්ඡා කළ නොහැකි වුවත් මව් සමාගම සමග දුරකතන මගින් වරක් කරුණු පැහැදිලි කළ බවත් නැවතත් වඩා සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වන බවත් පැවසූ ඔහු ෆේස්බුක්හි මීට වඩා හානිදායක වෛරී ප්‍රකාශ පළවන බව ද පෙන්වා දුන්නේ ය.
එම නිලධාරියා දරුස්මාන් වාර්තාව ගැන ද එහි දී කෙටි සඳහනක් කළේ ය. එම වාර්තාව ලැබුණු පසු එයින් නගා ඇති චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා රජය ස්වාධීන කොමිසමක් පත් කරන්නට පියවර ගනු ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රජය කිසිසේත් ම අනුමත නොකරන බවත් එබඳු ක්‍රියා සිදුව ඇත්නම් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නට රජය කිසිසේත් ම නොපැකිළෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

29 දා නැවතත් එම නිලධාරියා ම මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරදින සඳහන් කළ කමිටුව මේ වනවිටත් රජය විසින් පත් කරන ලද බව නිවේදනය කොට ඇත.
ඒ සමග ම ඔහු ප්‍රකාශ කොට ඇත්තේ එක්සත් ජාතීන්ගේ කරුණු සෙවීමේ කමිටුවට මියැන්මාරයට පැමිණෙන්නට රජය අවසර නොදුන් හෙයින් ඔවුන්ගේ වාර්තාව රජය මු`ඵමනින්ම ප්‍රතික්‍ෂේප කරන බවයි.