රාවය

ඇස්බැස්ටස් තහඩුවෙන් බෙල්ල කැපුණු උළු කර්මාන්තකරුවෝ

ඇස්බැස්ටස් තහඩුවෙන් බෙල්ල කැපුණු උළු කර්මාන්තකරුවෝ

රසික ගුණවර්ධන

රිටි මෙන් ඉහළට එසැවුනු චිමිනි බොහෝය. ඒවා දුම් දැමීම නවතා දමාය. ඒවා හි තණකොළ ද බෝ පැළ ද නානාප්‍රාකර වල් ද පැළවී ඇත. ඇතැමක රස්නය මුළුමනින් නිවී ගොස්ය. තැනින් තැන දුම් දමන චිමිනි ඇතත් ඒවා ද තිබෙන්නේ පණ අදිමින්ය. මේ චිමිනි ඇත්තේ දංකොටුවේය, දංකොටුවේ උළු කර්මාන්තශාල වලය. ඇතැම් උළු නිෂ්පාදනාගාර පැරණි ගඩොලින් තැනූ මාලිගා බඳුය. සුවිසල්ය, අලංකාරය. මෙහි බොහෝ නිවෙස් වල සෙවිලි කර ඇත්තේ උළු ය. ඒවා විචිත්‍රය. මේවා මැදින් අප යන්නේ දංකොටුවටය. එතැනින් වයික්කාලටය. ලංකාවේ උළු නිපද වෙන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතවය. එහෙත් අද මේ ප්‍රදේශයේ උළු නිෂ්පාදනයට අත්ව ඇති ඉරණම ඉතාම කනගාටුදායකය. පෙර කී ලෙසම තැනින් තැන උළු කර්මාන්තශාලා වැසී යමින් පවතී. දැනට සමස්ත කර්මාන්තශාලා වලින් 3/4 පමණ වැසීගොස් අවසන්ය. මෙසේ කර්මාන්තශාලා වැසී යාමට හේතුව නම් උළු සඳහා වෙළඳ පොල ඉල්ලුමක් නොමැති වීමයි.

ආරම්භය

සිංහළ උළු, ආදි රජකාලයේ පටන් පැවතිය ද. දංකොටුව, වයික්කාලේ, කොච්චිකඬේ ආශ්‍රිතව උළු කර්මාන්තශාලා ආරම්භ වන්නේ මූලික වශයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමයේය. ඒ ඔහුගේ උදාගම් ව්‍යාපෘතියට සමගාමීවය. ඔහු නිවාස ඇමතිවරයාව සිටියද’ ආරම්භ කළ එම ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය උළු ලබාදීම සිදු කෙරුනේ දංකොටුව ආශ්‍රිතව ඇති උළු කර්මාන්තශාලා වලිනි. වර්තමානයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස උදාගම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද ඔහු සිය පියා මෙන් උළු සෙවිලන්නේ නැත. සෙවිලන්නේ ඇස්බස්ටස්ය.
රටම ඇස්බැස්ටස් නම් උළු කුමටද? ඉදින් තැනින් තැන ගොඩ ගැසූ උළු ගොඩවල්ය. ඇතැම් තැනක එසේ ඇති උළු එකතුව ලක්ෂ තුනකි. බොහෝ ඒවා කාලාන්තරක් තිස්සේ ගොඩ ගසා තිබීම නිසා ඒවා අවපැහැ ගැන්වී ඇත. එසේ ගොඩ ගසා ඇත්තේ උළු සෑදුවද ඒවාට ඉල්ලුමක් නොලැබුණු නිසාය. සමස්ත ලංකා සෙවිලි උළු සංගමයේ ලේකම් සුමිත් අපට කීවේ මෙවැනි කතාවකි. ” අපි පහුගිය සැරේ සජිත් මහත්තය එද්දි බලාගෙන හිටියේ ආයෙ ගම් උදාව පටන් අරගෙන අපෙන් උළු ගනී කියලා. ඒත් ඒක එහෙම් පිටිම්ම අනිත් පැත්ත හැරවුණා. ඊට පස්සේ මේ පාර ජනාධිපතිතුමා කීව රජය ඇස්බස්ටස් ගේන එක නවත්තනවා කියලා. එතකොට අපි හිතුවේ උළු වලට නැවත ඉල්ලුමක් එයි කියලා. ඒත් ඒ තහනම දාගන්ඩ බැරි උනා. දැන් එහෙම හිතලා හදපු උළු වලින් ගබඩා පිරිලා තියෙන්නේ.”

ඇස්බැස්ටස්

කෙසේ හෝ වේවා, උළු වලට මේ ඇබැද්දිය අත්වන්නේ ඇස්බස්ටස් නිසාය. “All types of asbestos cause lung cancer, mesothelioma, cancer of the larynx and ovary, and asbestosis (fibrosis of the lungs).” ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්බස්ටස් ගැන කියා ඇත්තේ එබන්දකි. ඔවුන් කියන ආකාරයට සියලුම වර්ග වල ඇස්බස්ටස් පිළිකාකාරකය. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් ඇස්බස්ටස් ප්‍රතික්ෂේප කරමින් පවතී. යුරෝපයේ රටවල් සහ ආසියාවේ චීනය ජපානය වැනි රටවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඇස්බස්ටස් ප්‍රතික්ෂේප කර ඇත. යුරෝපයේ රටවල් ගව මඩු වලට පවා ඇස්බස්ටස් යෙදීම තහනම් කර ඇත. ඉන්දියාව මේ වන විට ඇස්බස්ටස් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාවේ එම ඉවත්කරන කර්මාන්තශාලා, පිහිටුවීමත් ලංකාව දිගින් දිගටම ඇස්බස්ටස් භාවිතයට දිරිදීමත්ය. ඒ දිරිමත්කිරීම් අතරතුර දැනට ලෝකයේ පිළිගන්නා වඩාත්ම සෞඛ්‍ය ආරක්ෂිතම සෙවිලි අමුද්‍රව්‍ය වන උළු ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටියි. රජයේ නිවාස ව්‍යාපෘතීන්ද සම්පූර්ණයෙන්ම පාහේ නිමවන්නේ විෂ සහිත ඇස්බස්ටස් යොදා ගනිමින්ය.

ඇස්බස්ටස් වලට සාපේක්ෂව ලී භාවිතය උළු සෙවිලි කිරීමේදී ඉහළ යන මුත් සෞඛ්‍ය ගැන සිතන විට ඒ වියදම නොසලා හැරිය හැකි තරම්ය. කෙසේ හෝ වේවා ඇස්බස්ටස් මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එයට හොඳම උදාහරණය උදලාදේවි ගම්මානයේ සිද්ධියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇස්බස්ටස් තහනම් කරන බව පවසා ඊට පසුදින සිය බලප්‍රදේශය වන පොළොන්නරුවේම ඉදිකළ ඇස්බස්ටස් සෙවිලි කළ උදලාගම නිවාස ව්‍යාපෘතිය විවෘත කළේය. එසේ බලන විට දැන් ජනාධිපති පවා ඉන්නේ ඇස්බැස්ටස් උගුලේය.
තවත් අපූරු කාරණාවක් ඇත. එනම්, ලංකාවේ වැලි ලොරියක්, පස් ලොරියක් විවෘතව ධාවනය කළ නොහැකි වූවද ඇස්බස්ටස් පැටවූ ලොරියක් විවෘතව ධාවනය කළ හැකි වීමයි. එහෙත් යුරෝපීය රට වල ඇස්බස්ටස් කැබැල්ලක් නිරුවත් දෑතින් ස්පර්ශ කිරීම පවා සිදු නොකරයි.

කඩවුනු පොරොන්දුව

පෙර අවස්ථාවක හමුවේදී සජිත් ප්‍රේමදාස උළු නිශ්පාදකයන්ට කියා ඇත්තේ උළු ෂුවර් නැති බවකි. කෙසේ හෝ දිගින් දිගටම සජිත් ප්‍රේමදාස හමුවීමට යාම නිසාම ඔහු ඔහුට ෂුවර් නැති උළු ෂුවර් කරගෙන පැමිණියහොත් උදා ගම්මාන සඳහා උළු ලබා ගන්නා බව පවසා ඇත. ඒ අනුව උළු නිෂ්පාදයන් මේවන විට බහුතරයක් සිය උළු සඳහා  SLS සහතිකය ලබාගෙන ඇත. SLS සහතිකය ලබාගැනීමෙන් පසු ඔවුන් නැවත සජිත් ප්‍රේමදාස හමුවීමට ගොස් ඇතත් ඔහු කියා ඇත්තේ ඒ පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවයි. එහෙත් තවමත් දිගින් දිගටම නිවාස ව්‍යාපෘති සඳහා යොදාගනු ලබන්නේ ඇස්බස්ටස් සෙවිලි තහඩුය.

රැකියා

ලංකාවේ රැකියා වෙළඳපොළ ඇත්තේ අර්බුදයේය. එනම් දිනෙන් දින රැකියා වෙළඳපොළ ක්ෂය වෙමින් පවතී. ඒ නිසා දේශපාලන වේදිකා උඩ කොතරම් උස් හඬින් කෑ ගැසුවද රැකියා ලබා දීමට රජයට හැකියාවක් නැත. එසේ ලබා දෙනවා නම් ලබා දිය හැක්කේ රජයට වැය බරක් ලෙසටය. දංකොටුව, වයික්කාලේ ප්‍රදේශ වල ලක්ෂයකට පමණ ආසන්න පිරිසක් සිය ජීවිකාව බවට පත්කර ගෙන ඇත්තේ උළු කර්මාන්තය ආශිත රැකියාවන්ය. ඉදිරියේදී උළු කර්මාන්තය වැසී ගියහොත් ඒ රැකියා බර ද පැටවෙන්නේ රජයේ කර මතය.
උළු කර්මාන්ත ශාලා වල සේවය කරන කම්කරුවන්ගේ විශේෂත්වයක් ඇත. එනම් ඔවුන් බොහෝ දෙනා ජීවත් වන්නේ උළු කර්මාන්තශාලා තුළ ම වීමය. ඔවුහු පවුල් පිටින් එහි ජීවත් වෙති. ආහාර, වතුර, දර සියල්ල සපයා ගන්නේ කර්මාන්තශාලා භූමියෙනි. ඒ අනුව ඔවුන් ස්වකීය ස්‘ථීර වාස භූමිය උළු කර්මාන්ත ශාලා භූමියේම සෑදූ නිවසකි. උළු කර්මාන්ත ශාලා වැසී ගිය හොත් ඒ සියල්ලන්ටම පවුල් පිටින් පාරට බැසීමට සිදුවනු ඇත.

“අපි අවුරුදු ගානක ඉඳලා මෙතන වැඩ කරන්නේ. දැන් ළඟකදි ඉඳලා උළු යනවා අඩුයි. ඉස්සර එහෙම නෑ. ඉස්සර ඉඳලා දන්න රස්සාව මේක. අපිට මේක නැතුව වෙන රස්සා මෙහෙ නෑ. උළු කර්මාන්තෙ විනාස උනොත් අපිට යන එන මං නැති වෙනව.” එසේ කියන්නේ උළු කර්මාන්තශාලාවක සේවය කරන සරවනමුත්තුය.

අපනයනය නොවීම

ලෝකයේ හොඳම උළු නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය ඇත්තේ ලංකාවේය. ප්‍රංශය වැනි රටවල් එම මැටි ප්‍රභේදය නිශ්පාදනය කරගනු ලබන්නේ විවිධ මැටි වර්ග මිශ්‍ර කිරීම තුළිනි. ඒ අනුව ලංකාවේ හොඳම අමුද්‍රව්‍ය තිබුණද ලංකාවෙන් උළු අපනයනය නොවීම ගැටලුවකි. එයට හේතු විමසා බැලීමේදී අපට අනාවරණය වූයේ ලංකාවේ නිපදවන උළු වල ඇති ගුණාත්මක බව පිළිබඳව ඇති ගැටලුව මීට හේතුව බවයි. එසේ නම් කුමක් නිසා ලංකාවේ උළු කර්මාන්ත කරුවන් තත්වයෙන් උසස් උළු නිශ්පාදනය සඳහා යොමු නොවන්නේ දැයි ගැටලුවක් පැනනගී. එයට අපට පිළිතුරු සැපයූවේ ‘සුවීන්’ උළු නිශ්පාදනය කරන සුවීන් ප්‍රනාන්දු විසිනි. ”අපට තත්වයෙන් උසස් උළු නිෂ්පාදනය කරන්ඩ බැරි කමක් නෑ. ඒකට අපට අලුත් තාක්ෂණය යොදාගන්ඩ ඕනෙ. අපි මේ වෙද්දිත් තාම පාවිච්චි කරන තාක්ෂණය ඉතාම පැරණියි. ක්‍රමවේදයක්. මෙතනින් එහාට ගිහිල්ල ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් උළු නිෂ්පාදය කරන්ඩ නම් අපි ඒකට ගැලපෙන යන්ත්‍ර ගන්ඩ ඕනෙ. ඒකට ලොකු ගාණක් යනව. ඉතින් දැන් තියන තත්වයත් එක්ක ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්ඩ අපි කවුරුත් කැමති නෑ. මොකද දැන් වෙළඳ පොළ අස්ථාවරයි. උළු විකිණෙන්නේ නෑ. මේ වෙලාවේ ඒ වගේ ලොකු මුදලක් ඉන්වෙස්ට් කරනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. රජයෙන් තමන්ගෙ ව්‍යාපෘතීන් සඳහා අපෙන් උළු ලබා ගන්නවා නම් අපට බයක් නැතුව පුලුවන් අපනයනය සඳහා උළු නිෂ්පාදනය කරන්ඩ. මේ කර්මාන්තයේ දියුණුවට රජයේ යම් උපකාරයක් අවශ්‍යයි.

වඳුරු උළු

ඇතැම් පිරිසක් උළු භාවිතයෙන් ඉවත් වීමට හේතුවක් ලෙස සඳහන් කරන්නේ උළු වලට සතුන්ගෙන් සිදුවන හානියයි. උදාහරණයක් ලෙස වඳුරන් උළු ගලවා නිවෙස් වලට ඇතුලු වීම දැක්විය හැකිය. එහෙත් ඇස්බස්ටස් සෙවිලි කළ වහලයකින් වඳුරන්ට එසේ ඇතුලු විය නොහැකිය. මේ කාරණාව නිසාම උළු නිශ්පාදකයෝ ඊට විසඳුමක් සෙවූහ. ඔවුහු ඒ සඳහා පිළියමක් ලෙස වඳුරු උළු නිෂ්පාදනය කළහ. අප වඳුරු උළු නිෂ්පාදකයා සොයා ගියද ඔහු ඒ වන විට උළු කර්මාන්තය අත්හැර දමා තිබුණි. ඔහුට ද සිදුව තුබුනේ සාදන උළු නොවිකිණීම නිසා උළු කර්මාන්තය අතහැර දැමීමටය. අප ඔහුගෙන් වඳුරු උළු පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තමා සතුව දැන් වඳුරු උළු නොමැති බවයි. එහෙත් ඔහු සතුව ඉවත ලූ, පලුදු වි ගිය වඳුරු උළු කැට දෙකක් තිබුණි. එය ඇත්තෙන්ම අපූරුය. එහිදි උළු කැටයක් තවත් උළු කැටයකින් ලොක් වීම සිදු වේ. එවිට වඳුරන්ට උළු කැට එසවීමට නොහැකිය. මක් නිසාද යත් එක් උළු කැටයක් එසවුවහොත් සම්පූර්ණ වහලයම එසවෙන බැවිනි. සරල කාරණාව නම් වඳුරෙකුට තබා මිනිසෙකුටවත් සම්පූර්ණ වහලයක් එසවිය නොහැකි වීමයි.

මැටි

මැටි කැපීම පිළිබඳව සමාජයේ බොහෝ කතිකාවත් ඇති වුණි. අප උළු කර්මාන්තශාල වල ද විශාල වශයෙන් ගොඩ ගසා ඇති මැටි ගොඩවල් දුටුවෙමු. මැටි කැපීම මේ වන විට සිදු වන්නේ සුද්ද පවිත්‍ර කරන වැව් වලින් බව උළු නිෂ්පාදකයෝ පැවසූහ. එහෙත් ඔවුන් පැවසූ ලෙසම වලක් හාරා මැටි ලබා ගන්නේ නම් ඊට භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවසරය ගත යුතුය. සාමාන්‍යයෙන් ගැඹුර අඩි පහළොවක පමණ සීමාවක් දක්වා සුදුසු මැටි ලැබෙන නමුත් සාමාන්‍යෙන් වඩාම සුදුසු මැටි පවතින්නේ අඩි දහයත් දොළහත් අතර ගැඹුරක බවත් උළු නිෂ්පාදකයෝ පවසති. කෙසේ වෙතත් මැටි සඳහා වළවල් හෑරීම නිසා පරිසර හානියක් සිදු විය හැකිය. එහෙත් වළවල් වලට බොරලු පුරවන නිසා පරිසර හානියක් සිදු නොවන බවඋළු නිෂ්පාදකයෝ කියති. එසේම උළු සෙවිලීමට යන විශාල ලී ප්‍රමාණයද වර්තමානය වන වැස්ම හා සසඳා බලන විට සැලකිය යුතු වන විනාශයකට පාර කපන්නකි. කෙසේ හෝ ලී වෙනුවට යකඩ රීප්ප යොදා ගත හැකිය. උළු නිෂ්පාදකයන් කියන විදිහට දැනට වැව්වල ඇති මැටි ප්‍රමාණය තවත් අවුරුදු තිහ හතළිහකට පමණ සහේ.

උළු මකර කටේ

උළු නිෂ්පාදනය දැන් ඇත්තේ මකර කටේය. උළු මකර කටට ලා අප ඇස්බස්ටස් තුරුලට ගෙන සියතින් සිය ගෙල සිඳගනිමින් සිටිමු. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පැහැදිලි ලෙසම කියන්නේ ඇස්බස්ටස් භාවිතාව මිනිස් සිරුරට අහිතකර බවයි. ඔවුන් කියන පරිදි ඇස්බස්ටස් අතින් ඇල්ලීම පවා අතිශය භයානක රෝග වැලඳීමේ හැකියාව තීවුර කරවයි. එහෙත් අප ඒ ඇස්බස්ටස් හිසට ඉහලින් සෙවිලි කර ගනිමු.

රටක් ලෙස ලෝකයේ අප සිටින තැන දෙස බල විට මහා එඩිතර තීරණ ගත නොහේ. ඒ එඩිතර තීරණ වීර කාව්‍ය වලට යෝග්‍ය නමුදු සෑබෑ ලෝකයට යෝග්‍ය නොවේ. ඒ නිසා තේ වලින් කුරුමිණියෝ මතු නොවන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අප යොමුවිය යුතුය. නැතිනම් පිළිකා රෝගීන් හිස තබාගත් රටක් ලෙස අපට ඉදිරියට යා හැකිය.

අප වයික්කාලෙන් පිටත් වූයේ මහලු උළු කර්මාන්ත ශාලා පසුකරගෙනය. ඒවාට දැන් තිරිහන් වීමට කාලය එළඹ ඇත. ඊට සහයෝගය අවැසිය.