‘සාම’ දියමන්තියේ කතාව

ප්‍රභාෂ්වර

ඊසාන දිගින් ගිනි දේශයටද, අග්නිදිගින් ලයිබීරියාවටද, නිරිතදිගින් අත්ලාන්තික් සයුරටද මායිම්ව පිහිටි සියරා ලියොන්, වර්ග කිලෝමීටර 71,740කින් හා මිලියන 07ක ජනගහනයකින් යුතු බටහිර අප්‍රිකානු රටකි. අනර්ඝ තත්ත්වයේ දියමන්ති නිපදවනු ලබන ලොව ප්‍රධානම රටවල් දහය අතර සිටින සියරා ලියොන් ඒ හරහා වාර්ෂිකව උපයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 300කි. එහෙත් මේ දැවැන්ත ආදායම බෙදා හදා ගන්නේ හොර පාරෙන් දියමන්ති දියුණු රටවලට යවන මාෆියා කල්ලි කිහිපයක් වන හෙයින් රටේ ජනයාගෙන් 75%ක්ම ඩොලර් 01කට වඩා අඩු දෛනික ආදායමක් ලබන අන්ත දිළින්දන් බවට පත්ව තිබේ. අනෙක් අතට, පතල්කරුවකු තමන් සොයා ගත් දියමන්තිය එරට රජයට අයිති මැණික් සංස්ථාවට නීත්‍යනුකූලව භාර දුන්නොත්, එහි වටිනාකමෙන් 60%ක් ආණ්ඩුව උකහා ගනියි. රජය කියන්නේ තමන් එසේ ගන්නා කොටසින් හතරෙන් එකක් දියමන්තිය සොයා ගනු ලැබූ ප්‍රදේශයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස යොදවන බවයි. එහෙත් දූෂිත මැති ඇමතීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ගහණ ආණ්ඩුව, සැබැවින්ම එසේ කරයිද යන සැකය සියරා ලියොන් මහජනතාව තුළ පවතී.

සිවිල් යුද්ධයේ ප්‍රතිවිපාක

සියරා ලියොන්හි දෙවැනි ජනපතිවරයා වූ ජෝසප් සයිදු මෝමෝගේ රජයට එරෙහිව, එරට හිටපු හමුදා කෝප්‍රල්වරයකු වූ ෆොඬේ සැන්කෝ, විප්ලවීය එක්සත් පෙරමුණ (RUF)  නමින් සන්නද්ධ දේශපාලන සංවිධානයක් ස්ථාපිත කළේය. අසල්වැසි ලයිබීරියානු සන්නද්ධ කැරලිකරුවකු වූ චාල්ස් ටේලර් RUF වෙත ආයුධ හා මිනිස් බලය නොමඳව සැපයීය. 1991 සිට 2002 දක්වා RUF සහ සියරා ලියොන්හි නිල හමුදාව අතර ඇවිළ ගිය එකොළොස් අවුරුදු සිවිල් යුද්ධය මිනිසුන් ලක්ෂ 03ක් පමණ පරලොව යැවූ අතර තවත් මිලියන 2.5ක් අවතැන් කරනු ලැබූහ. සංග්‍රාමය ඇරඹී වසරක් නික්ම යාමට මත්තෙන් රටේ සියලුම දියමන්ති පතල්, RUF කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලදි. ලොව මෙතෙක් හටගත් බියකරුම සිවිල් යුද්ධය ලෙස මෙය හැඳින්විය හැකිය. ආණ්ඩුව විසින් පවත්වන ලද ඡන්ද වර්ජනය කරන්නැයි RUF කැරලිකරුවන් නියෝග කළ අවස්ථාවන්හිදී එම අණ නොතැකූ මිනිසුන් හා ගැහැනුන්ගේ අත් පා කඩුවලින් කපා දැමිණි. වයස අවුරුදු පහේ දරු දැරියන් ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබූ අතර ඔවුන්ගෙන් බහුතරයක් RUF භටයන්ගේ ලිංගික වහලුන් බවට පත්වූහ. ප්‍රථමයෙන්ම ළමා සොල්දාදුවන් ලවා ඔවුන්ගේ මව්පියන්, සහෝදර සහෝදරියන් හා ඥාතීන් වෙඩි තබා මරා දැමීම ඍඹත්‍ චාරිත්‍රයක් ලෙසම ක්‍රියාවට නැංවූයේ ළමයින් යක්ෂයන් බවට පත්කිරීමේ අභිලාෂයෙනි. ගම්වලට පැන නිවෙස්වල විසූ දැරියන් හා කාන්තාවන් සමූහ දූෂණයට ලක් කිරීම, අත් වැලමිටෙන් හා උරහිසින් කපා වෙන් කිරීම, ගැබිනි මව්වරුන්ගේ උදරය පිහිවලින් කපා දරු ගැබ ඉවතට ගැනීම සහ අවසානයේ ගෙවල් ගිනි තැබීම, RUF නායකයන් සැලකුවේ වීර ක්‍රියා ලෙසිනි. සිවිල් වැසියන් දියමන්ති පතල්වල වහලුන් සේ යොදා ගත්RUF භටයෝ ඒවා බටහිර රටවලට විකුණා නවීන අවි ආයුධ මිලදී ගත්හ. මේ ලේ වැකුණු දියමන්ති මිලට නොගන්නා ලෙස එකල ලොව පුරා විසිරුණු මානව හිමිකම් ක්‍රියාකාරීහු ධනවත් රටවලින් ඉල්ලා සිටියහ. පතල්වලින් පැන යන්නට තැත් කළ ශ්‍රමිකයන් මරා ඔවුන්ගේ මස් අනෙක් අයට පෙනෙන සේ අනුභව කිරීමට භටයෝ ඒවා බටහිර රටවලට විකුණා නවීන අවි ආයුධ මිලදී ගත්හ. මේ ලේ වැකුණු දියමන්ති මිලට නොගන්නා ලෙස එකල ලොව පුරා විසිරුණු මානව හිමිකම් ක්‍රියාකාරීහු ධනවත් රටවලින් ඉල්ලා සිටියහ. පතල්වලින් පැන යන්නට තැත් කළ ශ්‍රමිකයන් මරා ඔවුන්ගේ මස් අනෙක් අයට පෙනෙන සේ අනුභව කිරීමට RUF සොල්දාදුවන් කටයුතු කළේ මිනිසුන් භීතියෙන් මුසපත් කිරීම සඳහාය. ලිබියාවේ ගඩාෆිද  RUF කැරලිකරුවන්ට යුද ආධාර පිරිනැමූ කෙනකු විය. සියරා ලියොන්හි ගම්මාන 1000ක්, පාසල් 1270ක් බිමට සමතලා කොට කාන්තාවන් 257,000ක් දූෂණය කිරීමට RUF හැකිවුණේ මේ විදෙස් ආධාර සහ දියමන්ති සල්ලිවල බලයෙනි. 2000 වසරේ මැයි මාසය වනවිට රටෙන් භාගයක්ම පැවතුණේ RUF සටන්කාමීන්ගේ අණසක යටතේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම මත, බි්‍රතාන්‍ය හමුදාවෝ RUF කැරලිකරුවන්ව අන්ත පරාජයකට පත් කොට අර්ථ ශාස්ත්‍රඥයකු සහ නීතිවේදියකු වූ අහමඞ් ටෙජාන් කාබාව සියරා ලියොන්හී ජනපති ලෙස 2002 ජනවාරි 18 දින පත් කරනු ලැබීය. එඞ්වඞ් ස්වික් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ, 2006දී තිරගතවුණු  ‘Blood Diamond’  නම් චිත්‍රපටිය, සියරා ලියොන්හි දියමන්ති පතල RUF අතින් පාලනය වුණු කාලවකවානුව පදනම් කොටගෙන සිදුකළ නිර්මාණයකි. වත්මනෙහි පවා සියරා ලියොන්හි වැඩිහිටි ජනගහනයෙන් 2/3කට අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමිව තිබෙන්නේ එරට සිවිල් යුද්ධය විසින් සිදුකළ බිහිසුණු විනාශය නිසාය.

කොම්බෝ ජෝන්බුල්

සියරා ලියොන්හි කෝයාඩු නම් ගමෙහි ඉපදී, හැදී වැඩුණු කොම්බෝ ජෝන්බුල් දරුවාගේ පියා මියයන්නේ ඔහුට වයස අවුරුදු දොළහ සපිරෙන මොහොතේය. 2014දී පාසල් ගමන නවතා, හෙතෙම දියමන්ති පතලක කම්කරුවකු ලෙස රැකියාවක් සොයා ගන්නේ පවුලේ බර කරට ගැනීමට අන් කිසිවකුත් නොමැති හෙයිනි. 2017 ජනවාරියේදී, 15 හැවිරිදි කොම්බෝ ජෝන්බූල්ගේ මවද මිය ගියාය. වටිනා දියමන්තියක් පතලෙන් ලැබුණොත් නැවත පාසල් ගමන ආරම්භ කළ හැකිවේ යැයි කොම්බෝ නිතර සිතුවේය. 2017 මාර්තු 13 දින මධ්‍යහ්නයේ පතලේ මඩ අතරින් ත්‍රිකෝණාකාර සහ ඝනැති ගලක් කොම්බෝගේ අතට හසුවිය. එහි තිබූ අසාමාන්‍ය හැඩය නිසා, ඔහු තම කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨයාට එසේ සොයාගත් ගල රහසේම පෙන්වීය. වැඩිහිටි ශ්‍රමිකයා කීවේ නිසැකවම එය වටිනා දියමන්තියක් බවයි. මේ ගැන කිසිවකුට නොකියා කළුවර වැටෙන තෙක් සාමාන්‍ය පරිදි වැඩ කරන්නැයි ජ්‍යෙෂ්ඨ කම්කරුවා කොම්බෝහට උපදෙස් දුන්නේය. සැබැවින්ම පස්දෙනකුගෙන් යුත් කොම්බෝ ජෝන්බූල්ගේ පතල් කණ්ඩායම මෙහෙයවූයේ කෝයාඩු ගමෙහි ක්‍රිස්තියානි පල්ලියේ පූජකවරයා වන 44 හැවිරිදි ඉමැනුවෙල් මෝමෝය. පතල් කණ්ඩායමට අවශ්‍ය කැණීම් හා අනෙකුත් උපකරණ, ආහාර පාන, වෛද්‍ය පහසුකම් සහ දෛනික වැටුප් පිරිනැමුවේ පූජ්‍ය ඉමැනුවෙල් විසිනි. ඔවුන් උකහා ගන්නා දියමන්තිවල වටිනාකමෙන් ලොකුම කොටස, ඒ අනුව හිමිවිය යුත්තේ පූජකවරයාටය. පූජක පාසලෙන් හොඳ අධ්‍යාපනයක් ලැබූ ඉමැනුවෙල්, යහපත් හා කරුණාවන්ත අයකු ලෙස ගම්වැසියන් අතර පිළිගැනීමට ලක්ව සිටියේය. ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් වටිනා, කොම්බෝ සොයා ගත් දියමන්තිය හොර මාෆියා කල්ලිවලට පිරිනමා දැවැන්ත ආදායමක් උපයනු වෙනුවට එය ආණ්ඩුවේ මැණික් සංස්ථාව හරහා අපනයනය කළ යුතු යැයි ඉමැනුවෙල් තීරණය කළේය. ඉන් ආණ්ඩුව ගන්නා කොමිස් මුදලෙන් 15%ක් කෝයාඩු ගමේ පාරවල් හැදීමට සහ අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා යෙදවිය හැකි වග හෙතෙම දැන සිටියේය. හොර පාරෙන් දියමන්ති පිටරට නොයවා, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඒවා අපනයනය කළහොත් පතල් ශ්‍රමිකයන්ගේ ගම්බිම්වලට අලුත් පාසල්, පානීය ජල යෝජනා ක්‍රම හා විදුලිබ ලබාගත හැකියැයි ඔප්පු කර පෙන්වීම ඉමැනුවෙල්ගේ අභිලාෂය විය. වටිනා දියමන්තියේ නීත්‍යනුකූල හිමිකරුවා වූ පූජ්‍ය ඉමැනුවෙල් මෝමෝ එය මාෆියා කල්ලිවලට නොදී මැණික් සංස්ථාවට භාර දුන් වග එවකට සියරා ලියොන්හි ජනපතිවරයා වූ අර්නස්ට් බායි කොරෝමාට ආරංචි විය. ජනපතිවරයා, ඉමැනුවෙල්ව රටේ අගනුවර වන ෆ්‍රීටවුන්හි පිහිටි තම මන්දිරයට කැඳවා කෝයාඩු ගම සංවර්ධනය කිරීම පිණිස දියමන්තියේ අලෙවි මුදලින් 15%ක් යොදවන බවට සහතික වූවා පමණක් නොව ආණ්ඩුවෙ කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ඔහුට ප්‍රශංසා කළේය. පතල් කම්කරු කණ්ඩායම් මෙහෙයවන අනෙක් හාම්පුතුන් ඉමැනුවෙල්ව ආදර්ශයට ගත යුතු වග ජනපතිවරයා ප්‍රසිද්ධියේම අවධාරණය කළේය.

ගමේ දියුණුව

සියරා ලියොන් මැණික් සංස්ථාව විසින් කොම්බෝ ජෝන්ඩුල් සොයාගත් දියමන්තිය ලෝ ප්‍රකට දියමන්ති වෙන්දේසිකරුවකු වූ මාර්ටින් රපාපෝ වෙත භාර දුන් අතර 2017 දෙසැම්බර් 04 වැනි දින එය ඇමරිකන් ඩොලර් මිලියන 6.5කට බි්‍රතාන්‍ය ස්වර්ණාභරණ සමාගමක් වූ ලෝරන්ස් ග්‍රාෆ් විසින් මිලට ගනු ලැබිණි. වටිනා දියමන්ති උකහාගත් හැම අවස්ථාවකම ඒවාට ගහමරාගෙන ලේ හලාගන්නා මාෆියා කණ්ඩායම්වලට නතු නොවී, නීත්‍යනුකූල ලෙස මෙකී දියමන්තිය වෙන්දේසි කෙරුණු හෙයින් එය ‘සාම දියමන්තිය’ ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. 2018 අප්‍රේල් 01 දින බලයට පත් සියරා ලියොන් මහජන පක්ෂයේ නායක ජූලියස් මාඩා බයෝ, එතෙක් අතපසුව තිබූ කෝයාඩු ගමේ සංවර්ධන කටයුතු වහාම ආරම්භ කරන ලෙස නව රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව, දියමන්තියේ කොමිස් මුදලෙන් ඩොලර් මිලියනයක් ග්‍රාම සංවර්ධන කටයුතු වෙනුවෙන් වහාම වෙන් කෙරිණි. ගමේ අලුත් පාසල සහ කුඩා රෝහල හා අදාළ අත්තිවාරම් මේ වනවිට ගොඩනගා අවසන් අතර වැසි කාලය නිමාවන 2018 සැප්තැම්බර් මාසයේදී ඉතිරි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරෙනු ඇත. පානීය ජලය සැපයෙන විශාල ළිඳ මේ වනවිට ඉදිකර අවසන්ය. කෝයාඩු ගම අයත් වන කෝනෝ දිස්ත්‍රික්කයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන දිසාපති පෝල් සකී පවසන්නේ වෙන් කර ඇති මුදලෙන් හැම සතයක්ම ගම්වාසීන්ගේ යහපත වෙනුවෙන් යෙදවීමට තමා පුද්ගලිකවම කැපවන බවය. සාම දියමන්තිය හරහා කෝයාඩු ගම්මානයට සංවර්ධනය ළඟා කර දුන් එහි ක්‍රිස්තියානි පල්ලියේ පූජක ඉමැනුවෙල් මෝමෝ ගැන වත්මනෙහි ගම්මුන් කතා කරන්නේ ඉමහත් භක්තියෙනි.

පතල් ශ්‍රමිකයන්ගේ ඉරණම

ආණ්ඩුවෙන් ඉමැනුවෙල් වෙත පිරිනැමුණු ඇමරිකන් ඩොලර් මිලියන 2.4න්, කැණීම් භූමිය හිමිකරුට, ගම් සභාපතිට හා පතල් කම්කරුවන් පස්දෙනාට හිමි පංගු බෙදා දුන් පසුව පූජකයා අත ඩොලර් මිලියනයක් පමණ ඉතිරි විය. කොම්බෝ ජෝන්ඩූල් ඇතුළු කම්කරුවන් පස්දෙනා වෙත එක් අයකුට ඇමරිකන් ඩොලර් 115,000 බැගින් ඩොලර් 5,75,000ක් බෙදා හැරිණි. සල්ලි අතට දෙනු වෙනුවට, ඉමැනුවෙල් කළේ ශ්‍රමිකයන් පස්දෙනාට බැංකු ගිණුම් විවෘත කරදීමයි. පහසුකම් තිබෙන ස්ථානවලින් ඔවුන්ට කියා නිවෙස් පහක් ඉදිකිරීමටද පූජකවරයා ක්‍රියා කළේය. ඉතිරි මුදලේ පොලිය පමණක් මාසිකව ගෙන එයින් එදිනෙදා වියදම් පියවාගන්නා හැටිද ඉමැනුවෙල් ඔවුන්ට කියා දුන්නේය. එහෙත් දියමන්තිය සොයා ගත් කොම්බෝ ජෝන්බූල් පුන පුනා කීවේ බැංකු ගිණුමෙන් මුදල් අතට ගෙන කැනඩාවට හෝ එංගලන්තයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තමන්ට අවැසි බවයි. රට යාමට පෙර මූලික අධ්‍යාපනයක් හා ඉංග්‍රීසි දැනීමක් සියරා ලියොන්හිදී ලබාගන්නැයි පූජක තෙමේ කොම්බෝට කීවත් ඔහු එම උපදෙස් නොතකා හැරීය. ඇමරිකන් ඩොලර් 15000ක් හොර ඒජන්සිකරුවකුට පිදූ ඔහුට කැනඩා හෝ එංගලන්ත තානාපති කාර්යාලවලින් කැඳවීමක්වත් නොකෙරිණි. නැදෑයින්ට මුදල් බෙදා, යහළුවන් සමග සාද පවත්වා විනෝද වුණු කොම්බෝ අත 2018 ජූලි වනවිට සතයක්වත් නොතිබුණි. දැන් ඔහු ගමට මුහුණදීගත නොහැකිව රටේ අගනුවර වන ෆ්‍රීටවුන්හි රැකියාවක් සොයමින් තැවෙයි. කොම්බෝ සොයාගත් දියමන්තිය නිසා කෝයාඩු ගම්මානයම වත්මනෙහි සංවර්ධනය වෙමින් පැවතුණත්, ඔහුට යන එන මං නැතිවුණේ පූජක ඉමැනුවෙල්ගේ උපදෙස් පිළිපැදීමට හෙතෙම මැලිවූ හෙයිනි. එංගලන්තයේ ඩයනා කුමරිය පැළඳි මුද්දට මැණික සැපයූ ශ්‍රී ලාංකික බිලියනපති මැණික් ව්‍යාපාරිකයා, 2017 වසරේදී කළුබෝවිල රෝහලෙන් ටිකට් කපාගෙන, ආපසු නිවසට යාම සඳහා රුපියල් 100ක් ඉල්ලා ගත්තේ රෝහලේ ගේට්ටුවේ සිටි ආරක්ෂක නියාමකවරයකුගෙනි. අතට කෝටි ගණනින් මුදල් ලැබුණත් ඒවා කළමනාකරණය ගැනීමේ ප්‍රඥාව සහ යහගුණය අහිමි වූ විට යමකු නැවත හිඟන්නකු වීමේ සම්භාවිතාව ඉතා ඉහළය.