රාවය

ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංග ඔස්සේ සංගක්කාර වෙත

ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංග ඔස්සේ සංගක්කාර වෙත

බන්ධුල ප්‍රියංකර සුබසිංහ

ඉම්රාන් ඛාන් යනු පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් 1992 වසරේ දී පාකිස්තානය එතෙක් මෙතෙක් දිනාගෙන ඇති එකම ලෝක එක්දින ක්‍රිකට් කුසලානය එ රටට ලබාදීමට ප්‍රබලතම දායකත්වය ලබාදුන් පාකිස්තානු ක්‍රිකට් තරු අතර වැජඹෙන දීප්තිමත්ම තරුවකි. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තම කාර්යභාරය අවසන් කළ ඉම්රාන් ඛාන්, පාකිස්තානු ජනතාව එරට දූෂිත දේශපාලකයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමේ අරමුණ පෙරදැරිව අනූව දශකයේ මැද භාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී පාකිස්තානු ජාතික දේශපාලන පිටියට අවතීර්ණ විය.
පාකිස්තානයේ දීර්ඝකාලීන දූෂිත දේශපාලන යාන්ත්‍රණය දැඩි ලෙස විවේචනය කරමින් එම දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාව මහජනතාවට පෙන්වා දෙමින් ආරම්භ කළ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන භූමිකාවට නිවහනක් ලෙස ඔහු කිසි විටකත් ඒ රට තුළ එවකට පැවති අන්ත දූෂිත දේශපාලන පක්ෂවල සෙවණ ලබා නොගැනීමට වග බලා ගත්තේය. එය ආරම්භක අවස්ථාවේ පරිණත දේශපාලකයකු නොවූ ඉම්රාන් විසින් ගැනීමට යෙදුන වැදගත්ම දේශපාලන තීන්දුව ලෙස සඳහන් කළ හැකිවේ. 1996 වසරේදී තමන් විසින්ම ආරම්භ කරන ලද ‘තෙහ්රීක් ඊ ඉන්සාෆ්’ නැමති නවතම දේශපාලන පක්ෂය සිය දේශපාලන නිවහන කරගත් ඉම්රාන් එවකට පාකිස්තානයේ පැවති පාලන තන්ත්‍රයේ දූෂණය මර්දනය මෙන්ම මහා පරිමාණ වංචාවන්ට එරෙහිව සටන එම පක්ෂය සමග ආරම්භ කරන ලදී. එමෙන්ම ඔහු පවතින රජය හෝ විපක්ෂය හරහා සිය දේශපාලන ගමන්මග ඇරඹීමට අදහස් නොකිරීමෙන් ගම්‍යවන්නේ එම දූෂිත යාන්ත්‍රණය සමග එක්ව අයුතු ලාභ වරප්‍රසාද ලැබීමේ උවමනාවක් ඔහුට මුල පටන්ම නොතිබුණු බවය. එමෙන්ම පාකිස්තානු ජනතාව එවකට පැවති දූෂිත දේශපාලන යාන්ත්‍රණයෙන් මෙන්ම කපටි කෛරාටික දේශපාලකයන්ගෙන්ද ගලවා ගැනීමට ඔහුට තිබූ සැබෑ වුවමනාව ඉන් පෙනෙයි.

කෙසේ වෙතත් තම පක්ෂය සහ තමන් මුහුණ දුන් පළමු මැතිවරණයේ දීම එකදු අසුනක් හෝ ජයග්‍රහණය කිරීමට ඔහුගේ නව පක්ෂය අසමත් වීමෙන් පෙනීයන්නේ පාකිස්තානු ජනතාව හුදු ක්‍රිකට් ක්‍රීඩකයකුට තම රටේ අනාගත ඉරණමට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති වූ බවයි. මේ තත්ත්වය ඉම්රාන් මුල සිටම අවබෝධ කරගෙන සිටි බවක් පෙනීයන්නේ ඔහු කිසිම අවස්ථාවක තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලද ජනප්‍රියත්වය මතින් සිය දේශපාලන ජයග්‍රහණය සනිටුහන් කිරීමට උත්සාහ නොකළ නිසාය. ඒ වෙනුවට සිය මාතෘ භූමියට සහ ජනතාවට ඇති සැබෑ ලෙන්ගතුකම, රට දැය දීර්ඝ කාලයක සිට වෙලාගෙන ඇති දූෂිත දේශපාලන යාන්ත්‍රණයෙන් මෙන්ම කෛරාටික දේශපාලකයන්ගෙන්ද ජනතාව මුදවා ගැනීමට ඔහුට ඇති සැබෑ වුවමනාව ඉම්රාන් රට හමුවේ තබන ලදි. එමෙන්ම එහිදී ඔහු ඒ සඳහා තමන්ගේ වැඩපිළිවෙළ ජනගත කිරීමටද වග බලා ගත්තේය.
කෙසේවෙතත් අවසානයේදී ඉම්රාන් ඛාන් නැමති ක්‍රිකට් විරුවාගේ දේශපාලන ආගමනයෙන් විසිදෙවසරකට පසුව එම ක්‍රිකට් විරුවාට නොව ඉම්රාන් ඛාන් නැමති දූෂණය පිටුදකින වංචාවට එරෙහි වෙන සමස්ත පාකිස්තානයේ ජීව රුධිරය උරාබොන දූෂිත දේශපාලන යාන්ත්‍රණය කණපිට පෙරළීමට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බව පෙනෙන අනිවාර්යයෙන්ම එය ක්‍රියාත්මක කිරීමට ධෛර්යය ඇතැයි ජනතාව විශ්වාස කළ ඉම්රාන් ඛාන්ට පාකිස්තානු ජනතාව සිය අනාගත ඉරණම භාරදෙන ලදි.

පාකිස්තානයට ලෝක ක්‍රිකට් කිරුළ හිමිවී වසර හතරකට පසු එනම් එක්දහස් නවසිය අනූහයේදී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර ගත්තේය.⁣එහිදී එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද අර්ජුන රණතුංග නම් මහා ක්‍රිකට් පෞරුෂය මෙම ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රමුඛ තම සාධකය වූයේය. ක්‍රිකට් පිටියේ ඔහු දක්වන ලද සහජ කුසලතාව සංවිධානයේ හැකියාව තීරණ ගැනීමේ නිපුණතාව, පිටිය මැද විදහාපාන ලද පෞරුෂය පරිපූර්ණ විය.

කෙසේවෙතත් අර්ජුන රණතුංගද ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව දේශපාලනයට අවතීර්ණ විය. ඔහු දේශපාලකයකු බවට පත්වීමේ මුඛ්‍ය අරමුණ පැහැදිලි නැතත්, ඔහුගේ දේශපාලන ආගමනය සිදුවන විට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයද එහෙම පිටින්ම වංචාව, දූෂණය, හොරකම මෙන්ම මර්දනයටද නතුවී පැවතිණි. මගේ මතකය නිවැරදි නම් අර්ජුනගේ දේශපාලන ආගමනය සිදුවන්නේ දෙදහ දශකයේ මුල භාගයේය. පසුකලෙක වික්ටර් අයිවන් විසින් චෞර රැජිණ නම් විරුදාවලිය ලබාදෙන ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූවාය. රටේ ජාතීන් අතර දීර්ඝ කාලයක පටන් පැවති යුද්ධයක්ද තිබූ අතර එයට සැබෑ විසඳුම් ලබාදීම පසෙකලා පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එයින්ද දේශපාලන වාසි ලබාගැනීමට උත්සුක වූහ. රජය නියෝජනය කරන දේශපාලකයන් මෙන්ම ඔවුන්ගේ නෑ හිතවතුන්ද, රාජ්‍ය සේවකයන්ද, වංචාව දූෂණය රිසි සේ පවත්වාගෙන යමින් මෙරට දේශපාලන යාන්ත්‍රණයද පකිස්තානයේ මෙන්ම අන්ත දූෂිත එකක් බවට පත්කර තිබිණ.
හා හාපුරා කියා දේශපාලනයට අවතීර්ණ වූ අර්ජුන රණතුංගද සිය දේශපාලන නිවහන වශයෙන් තෝරා ගනු ලබන්නේ එවකට පැවති අන්ත දූෂිත පාලන යාන්ත්‍රණය මෙහෙයවන ලද චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙහිදී ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාපිළිවෙතින් බැහැර වන ඔහු මෙරට පවතින අන්ත දූෂිත දේශපාලන යාන්ත්‍රණයේම කොටසක් බවට සිය කැමැත්තෙන්ම පත්වීම තුළින් දිස්වනුයේ අර්ජුන රණතුංගගේ සහ ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික අරමුණවල ඇති පරස්පරතාවයි.

ඉම්රාන් ඛාන්ගේ උඩුගම්බලා පිහිනීමේ ක්‍රමවේදය ලංකාවේදී ක්‍රියාත්මක කිරීමට අවංක දේශපාලන නායකත්වයක් රටට දැඩිව ඇවැසිව තිබූ වකවානුවක සිය දේශපාලන ආගමනය සිදුකරනු ලබන අර්ජුන රණතුංග චන්ද්‍රිකා බණ්ඩාරනායක නමැති දූෂිත දේශපාලන චරිතය වෙතින් දේශපාලනයේ මුලකුරු හැදෑරීමට තීරණය කිරීම එක් අතකින් ඔහු විසින් ඔහුගේම අනාගත දේශපාලන ඉරණම තීන්දු කරගනු ලැබූ ඉතාමත් වැරදිසහගත තීරණයක් ලෙස වර්තමානයේ ඔහුගේ දේශපාලන හැසිරීම දෙස බලන විට මැනවින් පැහැදිලි වේ.
මෙහි දී ඉම්රාන් ඛාන්හට ඇවැසිව තිබූ, සිය මව්බිමට සර්ව සාධාරණ වූ රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කරලීමේ අභියෝගාත්මක කාර්යභාරයට උරදීමට අර්ජුන රණතුංගට කිසිවිටෙකත් අවශ්‍ය නොවුණු බව ඔහුගේ කෙටිකාලීන දේශපාලන භූමිකාව විමසා බැලීමේදී මනාව පැහැදිලි වේ. එහෙයින් ඔහු දේශපාලනය සිය වෘත්තීය ලෙස තෝරාගනු ලබන්නේ මෙ රට අනෙක් බොහෝ දේශපාලකයන් මෙන්ම බලය ලබාගැනීමේ ඉතාම පහසු මෙන්ම කෙටිම මාර්ගය එය ලෙස වටහාගත් බැවින් යැයි පෙනීයයි.

මෙහි ඇති ප්‍රශ්නය වන්නේ මෙ රට ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු විසින් කරන ලද විශිෂ්ට සේවයද උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුටව පැමිණෙන අර්ජුන රණතුංග තමා ලද මේ මහඟු අවස්ථාව රට නිවැරදි මාවතකට යොමු කිරීමටත් එමඟින් මෙරට ජන හදවත් තුළ වංචාව, දූෂණය පිටු දකින අවංක ජාතික නායකයකු ලෙස තම සලකුණ සටහන් කරගැනීමටත් සමත් වූවාද යන්නයි.

අර්ජුන රණතුංග වත්මන් රජයේ වරාය සහ නාවුක කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද වකවානුවේ ඔහුට එල්ල වූ ප්‍රබලතම චෝදනාවක් වූයේ ඥාති සංග්‍රහයයි. ඊට අමතරව රක්ෂණ කටයුතුවල සිදුකරන ලද ආයතනික වෙනස්කම් හේතු කොටගෙනද ඔහුට චෝදනා එල්ල විය. ඒ ඇතැම් දේවල් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නොබෝදා සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබිණි. මේනයින් බලන කල අර්ජුන රණතුංග තමන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ගොඩ නගාගත් ගෞරවාන්විත පෞරුෂය සිය දේශපාලන භූමිකාව හේතුකොටගෙන විනාශකර ගනිමින් සිටින බවක් පෙනෙන්නට ඇත. මේ වනවිට ඔහුද මෙරට වත්මන් දේශපාලන පරපෝෂිතයන් අතර වැජඹෙන තවත් එක් පරපෝෂිත දේශපාලකයෙක් බවට පත්වී අවසන් බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවී ඇත.
එහෙත් පාකිස්තානයේදී සිදුව ඇත්තේ ඉම්රාන් ඛාන් නමැති දේශපාලනඥයා විසින් ඉම්රාන් ඛාන් නැමැති හිටපු ක්‍රිකට් විරුවාගේ ගෞරවාන්විත ප්‍රතිරූපය ශ්‍රේෂ්ඨත්වය කරා ඔසවා තැබීමයි.
මේ දිනවල 20/20 ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලබා පොහොට්ටුව ලකුණින් තරග වදින අපේක්ෂකයා පරාජය කිරීමට හැකියාව ඇති පුද්ගලයකු සොයමින් සිටින්නන්ගේ අවධානයට ලක්වීමට අර්ජුන රණතුංගට නොහැකිවීමත් ඒ සඳහා ඔවුන් මෙරට තටත් ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර සංගක්කාර කෙරේ උනන්දුවක් දැක්වීමත් තුළින් ගම්‍යවන්නේ අර්ජුන රණතුංග ගේ දේශපාලන භූමිකාව අර්ජුන රණතුංග නම් දේශපාලකයාගේ දේශපාලන පෞරුෂයට මතු නොව අර්ජුන රණතුංග නම් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයාගේ පෞරුෂයටද කර ඇති විනාශයේ ප්‍රමාණය කෙතෙක්ද යන්නයි.

වත්මන් ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියලුදෙනාම එකාවන්ව ජනතා පරමාධිපත්‍ය ප්‍රසිද්ධියේ කෙලෙසමින් හුදෙක් තම ස්වාර්ථය පමණක් පෙරදැරි කරගනිමින් බලය ධනය උදෙසා තම තමන්ගේ යුතුකම් පසෙකලා වංචාව, දූෂණය තමන්ගේ වෘත්තීය අයිතිවාසිකමක් ලෙස සලකා කටයුතු කරන සෙයක් දකින්නට තිබේ. මේ තත්ත්වය යටතේ රටක් වශයෙන් මෙරට සෑම අංශයකින්ම පහළට වැටෙමින් පවතින අතර ඉහළ යන බඩු මිල සේවා ගාස්තු මෙන්ම බදු බර ජනතාවට ඉසිළිය නොහැකි මට්ටමට පැමිණ තිබේ. රට මේ නරාවළෙන් ගොඩ ගැනීමට වහාම ඉම්රාන් ඛාන් කෙනකු මෙරට නායකත්වයේ විකට්ටුවට පැමිණ වහ වහා ලකුණු රැස්කිරීම අන් කවර දාකටත් වඩා රටට අවශ්‍ය වී තිබේ. අවාසනාවක මහත ඉම්රාන් ඛාන් ඉපිද ඇත්තේ පාකිස්තානයේය. ඔහු සිය මාතෘ භූමිය වෙනුවෙන් රාජ්‍ය නායකත්වයේ විකට්ටුවට පැමිණ වගකීම් භාරගෙන තිබේ. අර්ජුන රණතුංග ලකුණු නොලබාම විකට්ටුව පූජා කර ඇති සෙයකි. මෙවන් වාතාවරණයක් තුළ ඊළඟ රාජ්‍ය නායකත්වය සඳහා කුමාර සංගක්කාර කෙරේ උනන්දුවක් මතුවීම තුළින් ගම්‍යවන්නේ ඉහතින් සඳහන් කරන ලද මෙරට ඉහවහා ගොස් ඇති වංචාව දූෂණය බලකාමය අවසන් කර යහපාලනය ඇති කරන බවට 20/20 ජනාධිපතිවරණ වේදිකාවේ අවම වශයෙන් සාර්ථක රංගනයක් හෝ ඉදිරිපත් කළහැකි කිසිවකු වත්මන් රජයේ පාර්ශ්වය තුළ නොමැති බවයි ඔවුන් එ තරම්ම ඔවුන්ගේ ජනතාද්‍රෝහී ක්‍රියාවන් නිසා ජනතාව අතර පිරිහීමට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් මේ වන විට මෙරටට අවශ්‍යව ඇත්තේ ⁣ලෝකයේ දූෂිතම රාජ්‍ය දහය අතරේ ශ්‍රී ලංකාවේ නාමය සටහන් කිරීමට දායක වූ මුළු රාජ්‍ය යාන්ත්‍රණය ම වංචාවේ දූෂණයේ ගොදුරක් බවට පත් කළ වත්මන් දේශපාලක චෞරයන් විසින් නිර්මාණය කර තම තමන්ගේ ස්වාර්ථය උදෙසා පමණක් කෙසේ හෝ පවත්වාගෙන යාමට වෙර දරන කුණුවී ඕජස් ගලන ගඳගහන මෙරට දේශපාලන යන්ත්‍රයට ප්‍රාණ වායුව පිඹ ඉන් තමන්ගේත් තම පරපුරේත් ස්වාර්ථය සකසා ගන්නා කෙනෙකු නොව පාකිස්තානයේ මෙන් ම මෙ රට ද පවතින අන්ත දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව උඩුගම්බලා පිහිනිය හැකි ඒ වෙනුවෙන් කැපකිරීම් සිදුකළ හැකි ඉවසීමෙන් කටයුතු කලහැකි, ජනතාව සමග සිටිමින් ජනතාව රටේ ජයග්‍රහණය සඳහා පෙළගැස්විය හැකි ජනප්‍රිය ජාතික නායකත්වයකි. පාකිස්තානයේ මෙන්ම මේ වන විට මෙරට දේශපාලකයන් විසින්ම එවැනි නායකත්වයකට පිටිය සකස්කර අවසන්ය, අවශ්‍ය වන්නේ ඉම්රාන් ඛාන් කෙනෙකුගේ ආගමනය පමණි.