සීමානිර්ණය හා දේශපාලක – නිලධාරී වගකීම

විමලනාත් වීරරත්න

නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයකුත්, තව චුට්ටක් ඕනෑ කියන කතාවත්, අඬන්නට සිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ කතාවත් යන යෙදුම් දෙකම එකවර සිහිගන්වන සිදුවීමක් ඉකුත් සති අන්තයේ සිදුවිය. එය නම් පළාත් සභා ඡන්දයට අදාළ සීමානිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සිද්ධිය අරභයාය. නොකෙරෙන වෙදකම නම් නොපැවැත්වෙන ඡන්දයයි. අඬන්නට සිටි එකා නම් ආණ්ඩුවයි. අඬන්නට සිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන තිබුණේ සීමානිර්ණය කමිටුවයි. සීමානිර්ණය වාර්තාව ඡන්ද 139කින් පරාජය කිරීම මෑත අවධියේ පාර්ලිමේන්තුවේදී දුටු හොඳම හාස්‍යජනක සිද්ධිය වනවාට සැක නැත. සීමානිර්ණය කමිටුව ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ 2017 වසරේදීය. එම සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව පළාත් පාලන ඡන්දය පැවැත්වුණු අතර නව පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා පැවති ආසන සංඛ්‍යාව දෙගුණ වී නව සැලසුම් මගින් රට තවත් අසීරුවට ඇද වැටුණි. එබැවින් මුල සිටම පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව වාදයක් ආණ්ඩු පක්ෂය තුළ පැවතුණි. සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් කැරෙන්නේ එවැනි වාදයක් කා තුළත් තිබියදීය.

ආණ්ඩුවේම ව්‍යාපාරයක්

24 වැනිදා ආණ්ඩුව පරාජය කරන ලද්දේ තමාගේම වාර්තාවකි. ඡන්ද විමසීමට පෙර විෂයභාර ඇමතිවරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරයකු “ඔබ වාර්තාවට පක්ෂද විපක්ෂද?” යනුවෙන් විමසූ විට ඇමතිවරයා එක්වරම කීවේ විරුද්ධ බවය. එසේ නම් ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව පමණක් නොව තමාද විරුද්ධ වාර්තාවක්ද? එවැනි වාර්තාවක් ඔහු කිසිදු විචිකිච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවට රැගෙන ආවේ කෙසේද? මෙම නිරර්ථක ක්‍රියාව පාර්ලිමේන්තුවට ඒමට පෙර අතරමගින් නවතා ගැනීමට නොතිබුණිද? මෙහිදී මෙම ප්‍රශ්න මතුවීම නොවැළැක්විය හැකිය. මෙම ප්‍රශ්නවලට ආණ්ඩුව ඍජුව උත්තර නොදෙන නිසා ඉන් තහවුරු වන එක් කරුණක් වන්නේ සීමානිර්ණය වාර්තාව පරාජයට පත්කිරීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුණු බවය. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් විසිදෙනකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින්නේද එහෙයිනි. මේ තරම් අරමුණක් නැති, කරන්නේ කුමක්ද යන්න ගැන විචාරයක් නැති අවිචාරවත් ආණ්ඩුවක් ලංකාවේ කවර කලෙකවත් තිබිණිදැයි යන්න සැකසහිතය. ආණ්ඩුවට ඕනෑකම තිබුණි නම් මෙය ගෞරවනීය පරාජයක් බවට හරවා ගැනීමටද ඉඩ තිබුණි. එනම් සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් වාර්තාවට පක්ෂව ලබා ගැනීමෙනි. එසේ වූවා නම් ආණ්ඩුව මේ තරමට දුර්වල යැයි පෙනෙන්නේද නැත. ආණ්ඩුවට මෙමගින් අවශ්‍ය ඡන්දය තවදුරටත් කල් දමා ගැනීම නම් එය ප්‍රයත්නයේ සෙළුව පෙනෙන ආකාරයට කළ බව කිව යුතුය.

තවලිංගම් – කමල් ගැටුම

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි පවසා තිබුණේ සිය අමාත්‍යාංශය සීමානිර්ණය වාර්තාව සැකසීමට කිසිදු සම්බන්ධතාවක් නැති බවත් එහි අඩුපාඩු රැසක් තිබුණු බවත්ය. විශේෂයෙන්ම මෙම වාර්තාවෙන් කොට්ඨාස වෙන්කර ඇති ආකාරය පිළිබඳව විවිධ පාර්ශ්ව වෙතින් අමාත්‍යාංශයට පැමිණිලි ලැබුණු බව හෙතෙම කියයි. වාර්තාව තම අමාත්‍යාංශයට ලැබුණු පසු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කොට අවශ්‍ය සංශෝධන කිරීමට විෂය භාර ඇමතිවරයා යෝජනා කළමුත් සීමා නිර්ණ කමිටුව එය ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා තිබුණි. එහෙත් එය විය හැකි දෙයක්ද? මේ පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කොට අවශ්‍ය සංශෝධන සිදු කිරීම විෂයභාර අමාත්‍යාංශයේ වගකීමකි. ඊට සීමානිර්ණය කමිටුවට විරුද්ධ විය නොහැකිය. ඔවුන් විරුද්ධ බව කියා ප්‍රශ්නයෙන් මගහැර යෑම පිළිබඳව විෂය භාර අමාත්‍යාංශය වගකිව යුතුය. රටේ පාලනතන්ත්‍රය පිහිටුවීම පිළිබඳ අත්‍යවශ්‍ය ක්‍රියාවක් මගහැර මෙසේ කනිපින්දම් ගැසීමට කමල් පද්මසිරිට හෝ ෆයිසර් මුස්තාපාට ඉඩ නොතැබිය යුතුය. සීමානිර්ණය කමිටුවේ සභාපති කේ. තවලිංගම් කියා තිබුණේ වාර්තාව සියයට සියයක්ම නිවැරදි බවය. එයත් මුළුමනින් පිළිනොගත යුතු කතාවකි. සියයට සියයක්ම නිවැරදි විය හැක්කේ ලොව කවර වාර්තාවද? ඔවුන් මෙය විෂයභාර අමාත්‍යාංශය සමග සහයෝගීතාවෙන් කළ යුතුව තිබුණු කටයුත්තකි. සෑම ආයතනයක්ම හා පුද්ගලයෙක්ම උද්ධච්ච ලෙස ක්‍රියා කිරීමට යාමෙන් සමස්ත රටම පාරාජිකා වන බව ඔවුන් වටහාගත යුතුය. ෆයිසර් කියූ සංශෝධන අවශ්‍ය බවට වූ කතාවට පිළිතුරක් දී නොතිබුණු තවලිංගම් මුස්ලිම් හා දෙමළ ජනයාට මෙම සීමානිර්ණයෙන් පාඩුවක් සිදුවනවා නම් ඉන් සිංහල මහ ජාතියට වාසියක් අත්විය යුතු බවත් එයින්ම පාර්ලිමේන්තුවේ බහුතරයෙන් වාර්තාව සම්මත විය යුතුව තිබුණු බවත් කියා තිබුණි. ඔහු එහිදී නොකියා කියන්නේ මේවා එකක්වත් වාර්තාව පරාජය කිරීමට ඇත්ත හේතු නොවන බවය. වාර්තාවෙහි මේසා ගැටලු තිබුණි නම් හොරගල් අහුලමින් නොසිට ෆයිසර් මුස්තාපාට එය වේලාසනම කියන්නට තිබුණි. ඇමති ෆයිසර් වැඩ කරන්නේ ජනාධිපතිවරයාගේ වචනයට අනුව බව පසුගිය පළාත් පාලන ඡන්දයේදී සීමානිර්ණයට අදාළ සිදුවීම්වලදීත් ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. මෙය ඉන් වෙනස් වන්නට විදියක් නැත. ප්‍රශ්නය වන්නේ ෆයිසර් ජනාධිපති කියන විදියට වැඩ කිරීම හෝ කමල් -තවලිංගම් ව්‍යාජ ගැටුම හෝ නොවේ. මේ කවුරුත් වගකීම් විරහිතව ක්‍රියාකරනු දක්නා ලැබීමය. ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තව කල් ඉල්ලන්නේ මෙවැනි වගකීම් විරහිත පිරිසක්ද යන ප්‍රශ්නය මැදහත්ව බලන අය තුළ නැගේ.

මිලියන 21.2ක පාඩුව

පරාජයට පත් කළ වාර්තාව සකස් කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 21.2ක් වැයවී ඇතැයි ගණන් බලා තිබේ. ඒ සේවක පඩි නඩි, ගමන් වියදම්, සැපයීම්, සේවා හා කාර්යාල කටයුතු, වාහන මෙන්ම යන්ත්‍රෝපකරණ භාවිතය සඳහාය. මෙසේ වැයකර තිබෙන්නේ වගකීම් විරහිතව මේවා ගැන තීන්දු ගත් දේශපාලකයන්ගේ පුද්ගලික ධනය නොවේ. මහජන මුදල්ය. එම කරුණවත් සලකා පාර්ලිමේන්තුවට මෙම අංගවිකල යැයි කියන වාර්තාව ගෙන ඒමට පෙර අත්‍යවශ්‍ය කරුණු සලකා බලා එය සකස් කිරීමට අදාළ සියලු පාර්ශ්වවලට වගකීමක් තිබුණි.

ලංකාව තිබෙන්නේ ආර්ථික වශයෙන් නන්නත්තාරවූ තත්ත්වයකය. ශීඝ්‍ර ආර්ථික දියුණුවක් රට අත්කර ගනිමින් පවතී යැයි රනිල් වික්‍රමසිංහ රැස්වීම්වලදී කියන බොරුව රටේ මිනිසුන් තබා බල්ලන් බළලුන් වත් ගණන් ගන්නේ නැත. රට මූල්‍යමය දියුණුවක් අත් කරගෙන තිබේ නම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අගය 162 දක්වා පහත වැටුණේ කෙසේද? එවැනි ආර්ථිකයක් තිබෙන රටක දේශපාලනඥයන් වැටුප් වැඩි කර ගැනීමට හා වරප්‍රසාදවලට දක්වන ගිජුකම පමණක් නොව නිරර්ථක වියදම් සිදුකර කිසිදු පාඩුවක් සිදු නොවූ අයුරින් දෑත පිසදා ගැනීම කෙතරම් ඛේදනීය තත්ත්වයක්ද? ආණ්ඩුව සෑම දෙයක්ම ආපස්සට ගැනීමට සිතන්නේ වැරදුණාට පසුවය. ගැනීමට යන පියවර ගැන වේලාසනින් තත්‍ය සමීකරණයක පිහිට ඔවුන් නොපතන්නේ ඇයි? නිවසක පවා කෑම බීම හා වෙනත් සුළු මිලදී ගැනීම්වලදී වුව සැලසුම් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මන්ද නැතහොත් ආදායම හා වියදම අතර මහත් හිඟයක් ඇතිවී නිවසේ කටයුතු අඩාලවීමට ඉඩ තිබෙන හෙයිනි. රට යනු මෙරට මහජන නියෝජිතයන්ගේ වගකීම්සහගත නිවස නොවේ. එය ඔවුන් දිවා රෑ කෙළින පාරාදීසයක් බවට පත්කර තිබෙන නිසා ජනපතිටත්, අගමැතිටත්, සෙසු අයටත් මිලියන විසි එක මුහුදට ගසාගෙන ගිය පොල් ලෙල්ලක් විය හැකිය. නාස්තිකාරී වියදම් අයකර ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර එම මිලියන 21.2 ඊට වගකිවයුතු පාර්ශ්වවලින් ලබාගැනීමට විගණකාධිපතිවරයා ක්‍රියාකරනවාද?

ජනපතිගේ අමාරුව

ජනපති තරම් මෑත අවධියේ නායකයන් අතරින් ගෙදර ගියොත් අඹු නසී – මග සිටියොත් තෝ නසී තත්ත්වයට පත්වූ නායකයකු නැති තරම්ය. ඔහුට ජනපතිකම පවා පරදුවට තබා බදාගත් පක්ෂයෙන්වත් සැනසීමක් නැත. උන් සී සීකඩය. ජනපතිකම හරියට කළා නම් ඒ මොකා සීසීකඩ ගියත් ප්‍රශ්නයක් නැති බව දැන්වත් ඔහුට සිතෙනවාද? නැද්ද කිව නොහැකිය. අමාරුවෙන් උඩට ආ ළමයාගේ ළමා මනසින්, එනම් තුත්තිරි ගස් අල්ල අල්ලා පැමිණ මහ ලේකම් වී අනතුරුව ජනාධිපතිවීම් හුදු ආහ්ලාදයෙන් පමණක් ඔහු පසුවනවා නම් මේ කියන කාරණය තවමත් තේරෙන්නට විදියක් නැත. මිනිසුන් සැමවිටම පැරණි දේ අතහැරිය යුතුය. ඉන් අදහස් වන්නේ නැගපු ඉණිමග පෙරළා දමා මතු මහලට ගොඩවෙනවා යන්න නොවේ. පැරණි දෙය බදා වැලඳ ගෙන නොසිට අලුත් තත්ත්වයට මුහුණදීමය. ඕනෑම මිනිසකු කළයුතු වැඩ ටික ඇත්තේ අලුත් වේදිකා තුළය. ජනපතිටත් එසේමය.

ඉම්රාන් ඛාන් වේගයෙන් වියදම් කපා හරිමින් සිටියි. 524ක සේවක සංඛ්‍යාව දෙකට බස්සයි. තමාගේ සිට සියලුදෙනාටම අධි සුඛෝපභෝගී ගුවන් යානා තහනම් කරයි. ඊළඟට ඔහු සමාජ ප්‍රතිසංස්කරණවලට අත ගැසිය යුතුය. ඒ අතින් ගත්විට ලංකාවේ සිටින්නේ තමාගේ සුරතල් බලු පැටවා වෙනුවෙන් ගුවන් යානයක් යොදවන්නට හැකි නායකයෝය. මෛත්‍රීපාල සිරිසේන ඉහළටම නැග්ගේ බණ්ඩාරනායකගේ පක්ෂයෙනි. ඉම්රාන් උඩටම ආවේ තමා විසින්ම හදාගත් පක්ෂයෙනි. ඉම්රාන් ජනතාව අතර වීර භූමිකාවකට ප්‍රවිෂ්ට වන්නේ ඉන් පමණක් නොවේ. ඔහු ජනතාව පීඩාවට පත්ව සිටියදී තමාට සැප විඳිය නොහැකි බව පෙන්වාදී එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට පියවර තබා ඇති නිසාය. මෛත්‍රී, තමා ජනාධිපති නොව ජනතා සේවකයකු බව මුලදීම කිව්වත් ඉම්රාන් තරම් දුර දැක්මක් ඇති නායකයකු නොවන බව ඔහුගේ තෙවසරක චලනයෙන් පෙනේ. ඕනෑම ජනපති කෙනකුට තමාගේ ශුද්ධ වැටුප් කීමට පුළුවන. එහෙත් ජනපති කෙනෙක් වෙනුවෙන් රටක් වැය කරන මුදල කීමට නොහැකිය.

අනා ගැනීම

ජනපති මෛත්‍රී පුද්ගලයකු ලෙස ගුණයහපත් මනුෂ්‍යයෙකි. එහෙත් ඔහු රටක නායකයාගේ වගකීම් දැරීමට සුදුසු වන බවක් නොපෙනේ. ගුවන්තොටුපොළ වසා හොරු අල්ලන බව ජනාධිපතිවරණ රැස්වීමකදී කීමේ සිට කවුරු විරුද්ධ වුවත් එල්ලුම් ගස ගේනවාමයි වැනි ව්‍යාජ රංගන තුළින් ඒ බව ඔහු අවස්ථා කිහිපයකදීම ඔප්පු කර ඇත. ඔහු එක වැඩක්වත් හරියට කරගත නොහැකි නායකයකු ලෙස ලංකා ඉතිහාසය තුළ තහවුරුවෙමින් සිටියි. ඉතිහාසය තුළ තහවුරුවන්නේ ඵලදායක දෙයක් කළ නායකයන් මිස බොරු ආවේගශීලීභාවයක් පෙන්වා කිසිවක් නොකළ නායකයන් නොවේ.
ජනපති මෛත්‍රී ගැන ඉතිහාසය ඉතිරි කර දෙන ඉඩ ඇත්තේ කොතැනද? එය එක් අතකින් බය හිතෙන ප්‍රශ්නයකි. බියෙන් අත්මිදීමට නම් ඔහු යම් පමණකට හෝ නිර්භීත තීරණ ගත යුතුව තිබුණි. කඩුව ෆයිසර්ට දී කෑල්ලක් කපාගෙන වරෙන් පුතා කියන මානසිකත්වයෙන් මිදී ඔහු වඩා වගකීම්සහගතව සීමානිර්ණයට නොව ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයකට මුහුණ දිය යුතුය. පළාත් සභා ඡන්දය පිළිබඳ තීන්දුව දැන් ඇත්තේ අගමැතිගේ කමිටුව අතේ බවත් පසුව ඇමති ෆයිසර් කීවේය. මෙම බෝල පාස් කිරීම නතර කරන්නේ කෙදිනද යන්න ගැනත් ජනපති කල්පනා කළ යුතු වෙයි.