රාවය

ජනයා අසීමාන්තික වූයේ ඇයි?

ජනයා අසීමාන්තික වූයේ ඇයි?

අගෝ 28 වැනිදා ගලහ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඇතිවුණු මහජන විරෝධය නොසලකා හැරිය නොහැකි එකකි. මෑත අවදියේ, රටේ පවතින නීතිය ක්‍රියාත්මක නොවුණු අවස්ථා කිහිපයකදීම පුරවැසියන් නීතිය අතට ගෙන ක්‍රියාකරනු දක්නා ලැබිණි. ගලහදී මතුවූයේ ගලහ ප්‍රාදේශීය රෝහලට එදින ඇතුළත් කළ කුඩා දරුවකු සම්බන්ධයෙන් වෛද්‍යවරු ඉක්මන් ප්‍රතිකාර නොකිරීම නිසා උද්ගතවුණු මහජන විරෝධයකි. වෛද්‍යවරුන්ගේ ප්‍රමාදය නිසා එම දරුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ගෙනයාමේදී ඉතා කනගාටුදායක ලෙස දිවියෙන් සමුගෙන තිබුණි. ගලහ රෝහලට දරුවා ඇතුළත් කර පැය දෙකක් ප්‍රතිකාර රහිතව සිටි බව දරුවාගේ ඥාතීහු කියති. පේරාදෙණිය රෝහලට යාම සඳහා ඔවුන් ගිලන් රථයක් ඉල්ලා තිබුණත් එයද ලැබී නැත. දරුවාගේ මරණයෙන් කුපිත වූ ප්‍රදේශවාසීහු රෝහල වටකොට ගොඩනැගිලිවලට, මෝටර් රථ කිහිපයකට අලාභ හානි කර තිබෙනු ජනමාධ්‍ය වාර්තාවල දැක්විණි. ගලහ වෛද්‍යවරු දරුවාට ප්‍රතිකාර කළ හැකිව තිබියදී එසේ නොකර පැය දෙකක් ප්‍රමාදවීම බරපතළ කාරණයකි. එය අදාළ වෛද්‍යවරයා විනය පරීක්ෂණයකට කැඳවා වරදක් කර ඇත්නම් දඬුවම් පැමිණවිය යුතු සිද්ධියකි. අනෙක් අතට ඔහු එසේ කළා නම් එය වෛද්‍ය ආචාරධර්ම අමු අමුවේම උල්ලංඝනය කිරීමකි. අවසානයේදී එදින සන්ධ්‍යාවේ පොලිස් නිල ඇඳුමක් අන්දවා ප්‍රධාන වෛද්‍යවරයා පිටතට ගැනීම දක්වාත් පොලිස් නිලධාරියකුටත් ගල් පහර වැදී තුවාල වීම දක්වාත් මහජන විරෝධය බරපතළ අතකට හැරී තිබුණි.

කිසියම් වරදකට නීතියෙන් දඬුවම් කිරීමේ ඉඩ පාවිච්චි නොකර මහජනයා නීතිය අතට ගන්නා තත්ත්වයක් උදාවී තිබෙන්නේ ඇයි? මීට පෙර ඒ පිළිබඳ ආසන්න නිදර්ශනය වූයේ පසුගියද ඇතිවූ දුම්රිය වර්ජනයයි. දුම්රිය වෘත්තීය සමිති හදිසියේම වර්ජනය කිරීම නිසා කෝපාවිශ්ට වූ මගීහු වර්ජනයෙහි නිරත වුවන් හඹා ගොස් පහර දුන්හ. වර්ජනය කිරීම ශ්‍රමිකයාගේ අයිතිවාසිකමකි. ඒ අනුව මගී ජනයා ඔවුන්ට පහරදීම වැරදි ක්‍රියාවකි. දේශපාලන හස්තයක් එහිදී ක්‍රියාත්මක වූ බවත් පහරදීම සැලසුම් සහගතව සිදුවූවක් බවත් ඇතැම්හු කීහ. කෙසේ වෙතත් දුම්රිය සේවකයන්ට පහරදීමට පෙළඹුනේ මගීන් සේම ගලහ අර්ධ ප්‍රචණ්ඩ විරෝධයට එක්වූයේ එම ප්‍රදේශවාසීහුය. සාමාන්‍ය ජනයා මෙසේ නීතිය අතට ගැනීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වන්නේ රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවට තිබෙන අවිශ්වාසයය. ලංකාවෙහි තිබෙන්නේ නීතියේ පාලනය අඩාල වී ගිය සමාජයකි. මගියකු ජීවිතක්ෂයට පත්වන රිය අනතුරකදී පාරේ යන සෙස්සෝ අනතුර සිදු කළ රියදුරු හසුවුවහොත් බාගෙට මරති. ඒ සමගම අනතුර සිදුකළ රිය ගිනි තබති. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටෙහි තිබේ නම් සමහරවිට ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියාවලට නොපෙළඹෙන්නටද පුළුවන.

නීතියේ පාලනය නූල කැඩුණු සරුංගලයක් බඳු වීම හා රටේ ස්ථිරට කිසිවක් සිදුනොවන බවට තහවුරු වීමට වත්මන් පාලකයන්ගේ ක්‍රියාපිළිවෙත බලපායි. රාජපක්ෂ ආණ්ඩු කාලය තුළ ඇතිවූ මහජන විරෝධතා නිර්දය ලෙස මර්දනය කැරිණි. මර්දනය නිසාම ජනතාවට සංවිධානය වී ඕනෑවට වඩා දුර යා නොහැකි විය. රාජපක්ෂ පාලන සමයේදී ජනතාව නීතිය අතට ගත්තේ නැතැයි යන්න ඉන් අදහස් නොවේ. රටේ සිදුවන දේවල් කෙරෙහි බලවත් මහජන විරෝධයක් ජනතාව තුළ තිබුණි. එහෙත් දැඩි මර්දනය නිසාම මහජන නැගිටීම් හා වර්ජන තරමක් අඩුවෙන් සිදුවන ආකාරයක් දක්නට ලැබිණි. යහපාලන සමයේ සමාජය තුළ සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත වුණි. එය සාධනීය ලෙස ප්‍රයෝජනයට නොගෙන ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකරන තත්ත්වයට පත්ව තිබෙන්නේ යහපාලනයේ විශේෂ සිල් රැකීමක් නිසා නොවේ. යහපාලනය අකාර්යක්ෂම යාන්ත්‍රණයක සිරවී තිබෙන නිසාය. රටේ ඕනෑ තරම් නිදහස තිබියදී කිසිවක් හරිහැටි නොකෙරෙන තත්ත්වයක් ජනතාව ඉවසනු ඇතැයි සිතිය නොහැකිය. ඒ අනුව කිව යුත්තේ රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවය. එමෙන්ම එය රටේ සංවර්ධන වැඩ කැරෙන සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක් විය යුතු බවය.

ගලහ සිද්ධියේදී මහජන විරෝධය සාධාරණය. මහජන විරෝධයක් පැන නොනැගුනා නම් දරුවාගේ මරණය පිළිබඳ සිද්ධිය නිකම්ම යට ගසනු ඇතැයි කෙනකු කියන්නට පුළුවන. එය ඇත්ත වුවත් මහජන විරෝධය විනාශකාරී අයුරින් මතු නොවීමට නම් මෙවැනි ජීවිත සම්බන්ධ තීරණාත්මක වැරදි නොවන පසුබිමක් සකස් විය යුතුය. අනෙක් අතට වැරදි කරන ඕනෑම නිලධාරියකුට, දේශපාලකයකුට තරාතිරම නොබලා දඬුවම් ලැබෙන පරිදි නීතිරාමුව ශක්තිමත් විය යුතුය. නීතියේ පාලනය රටෙහි සියලු පුරවැසියන්ට අදාළ විය යුතුය. එසේ නොවන තාක් කල් ගලහ වැනි සීමාව ඉක්මවා යාම් බලාපොරොත්තු විය යුතුය.