විකටරූපී තත්ත්වයකට යමින් තිබෙන මහජන නියෝජිත ආයතන ක්‍රමය

වික්ටර් අයිවන්

රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ගරා වැටීම සිදුවෙමින් තිබෙන්නේ වෙනදාට වඩා වේගයකින් හා විකටරූපී ස්වරූපයකිනි. මෙම ගරා හැලීම සංකේතවත් කරන වැදගත් සිදුවීම් දෙකක් ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී සිදුවිය.

අපට තිබුණු පරණ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට තිබිය යුතු ගරුගාම්භීරත්වය හොඳින් සංකේතවත් කළ ගොඩනැගිල්ලක් ලෙස සැලකිය හැකිය. කවර හේතුවක් නිසා හෝ ලංකාවට එම ගොඩනැගිල්ල එපාවී චීන ආධාර යටතේ නව ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිලි සංකීර්ණයක් ඇතිකර ගන්නා තැනකට ගියේය. අලුත් ගොඩනැගිල්ල ඉදිකෙරුණේ චීන ආකෘතියකටය. එය පෙනුමෙන් චීන ලන්තෑරුමක් බඳුය. චීනය යුක්තිය පසිඳලීම පිළිබඳව විෂයෙහි ආදර්ශයට ගත හැකි රටක් ලෙස සැලකිය නොහැකිය. ගොඩනැගිල්ල මාරුවීමෙන් පසුව එතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන ආ වටිනාකම්වලද ලොකු හෝදා පාළුවක් ඇතිවිය හැකියැයි කිව හැකිය.

පාර්ලිමේන්තුව ගැන කියන්නට තිබෙන කතාවද ඊට සමානය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක තිබිය යුතු ගරු ගාම්භීරත්වය හොඳින් මූර්තිමත් කළ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් අපට තිබුණි. එය ඉඩ මදිය කියා කෝට්ටේ ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු මන්දිරයක් ජපන් ආධාර යටතේ ඇතිකර ගත්තේය. ඉඩ මඳකම යුරෝපයේ සමහර පාර්ලිමේන්තුවල දක්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයකි. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද එහි සිටින සියලුම මන්ත්‍රීවරුන්ට අසුන් ලබාදීමට ඉඩ නැති පාර්ලිමේන්තුවකි. මන්ත්‍රීවරුන් සියලුදෙනාම පාහේ සහභාගි වන සැසි වාරවලදී කිසියම් මන්ත්‍රීවරුන් පිරිසකට අසුන් නැතිකම නිසා හිටගෙන සිටින්නට සිදුවන්නේය. එහි තිබෙන අසුන් ක්‍රමයද අපේ පාර්ලිමේන්තුවේ තිබෙන අසුන් මෙන් සුඛෝපභෝගී නැත. එහි අසුන් මඳකමට පිළියමක් වශයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලුත් පාර්ලිමේන්තුවක් ඉල්ලා කෑගසන්නේ නැත. ඔවුහු ඓතිහාසික වැදගත්කමක් ඇති පාර්ලිමේන්තුවේම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යති.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්නේ සියලු සැපපහසුකම්වලින් ආඪ්‍ය පාර්ලිමේන්තු මන්දිරයකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා ජපානයද හොඳ ආදර්ශ මාදිලියක් ලෙස සැලකිය නොහැකිය. එහි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ක්‍රියා කළේ එම විෂයෙහි විශිෂ්ටයකු ලෙස සැලකිය හැකි ජෙෆ්රි බාවා වුවත් පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තිබුණු පාර්ලිමේන්තු ස්වභාවය මෙම නව පාර්ලිමේන්තු සංකීර්ණය කෙරෙන් මූර්තිමත්වන්නේ නැත. සමහරවිට ලෝකයේ තිබෙන සුව පහසුම පාර්ලිමේන්තුව තිබෙන්නේ ලංකාවට විය හැකිය. එහි හැම දෙයක්ම ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්ම හෝ සම්ප්‍රදායයන් තිබෙන බවක් නම් පෙනෙන්නේ නැත.

මන්ත්‍රීවරුන් එදා සහ අද

1977ට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්ම පාර්ලිමේන්තු සැසිවාරවලට ආවේ දුම්රියෙනි. එතැන් සිට ටැක්සි රියකිනි. ඈත ප්‍රදේශවලින් පුද්ගලික වාහනවලින් එන කිහිපදෙනාද බොහෝවිට ආවේ මරදාන හෝ කොටුව දුම්රිය ස්ථානය තෙක් මෝටර් රථය දුම්රියේ පටවාගෙනය. දුම්රිය ස්ථානයේ සිට ශ්‍රාවස්තියට ආවේ මෝටර් රථයෙනි. ආපසු මෝටර් රථ රැගෙන ගියේද දුම්රියෙනි. මෝටර් රථය දුම්රියෙන් රැගෙන ඒමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්ද ඔවුන්ට ලබාදී තිබුණි. මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත ක්‍රමයට මෝටර් රථ ලබාදෙන ක්‍රමයක් ඒ කාලයේ නොතිබුණි. එවැනි ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන කිසිදු රටක ඇත්තේද නැත. ඒ හැම රටකම පාහේ ක්‍රියාත්මක වන්නේ මන්ත්‍රීවරුන්ට පොදු ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන ක්‍රමයකි.

ලංකාව පුංචි රටකි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පැය කිහිපයකින් ගමන් කළ හැකිය. රටේ මහා මාර්ගද ප්‍රශස්ත තත්ත්වයක පවතී. හොඳ හයිබි්‍රඞ් වාහනයක් රුපියල් ලක්ෂ 60ක් තරම් මුදලකට මිලදී ගත හැකිය. ඉන්ධන පරිහරණය සඳහා යන්නේද ඉතා අඩු වියදමකි. එසේ තිබියදී අපේ රටේ මහජන නියෝජිතයන් අතර සිටින නිලදරන්නන් පමණක් නොව, සුප්‍රා ගණයේ නිලධාරීන්ද පාවිච්චි කරන්නේ ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 6-7ක් තරම් දුවන රුපියල් ලක්ෂ 350ත් 400ත් අතර වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනය. විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ භාර්යාවන් නඩත්තු කිරීමට රජය දරන වියදම අතිවිශාලය. ඒ සියලුදෙනාම තමන්ගේම සුඛෝපභෝගී මන්දිර තිබියදීත් ඒවා ලොකු මුදලකට බදු දී ඔවුන් ජීවත්වන්නේ රජයෙන් ලබාගත් මන්දිරවලය. ඒ ගැන ඔවුන්ට ලැජ්ජාවක් නොතිබෙනවා සේ ම මහජනතාවට බලගතු බරක් වී තිබෙන එම දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයක් දේශපාලන නායකයන්ට තිබෙන බවක්ද පෙනෙන්නට නැත. රටේ දේශපාලකයන් නඩත්තු කිරීමට රටට දරන්නට සිදුවී තිබෙන වියදම රටට ඔරොත්තු නොදෙන තරම් විශාලය. මන්ත්‍රීවරයකුට ගෙවන ඉන්ධන දීමනාව පමණක් රුපියල් ලක්ෂයකට ආසන්නය. මව හා පියා නැති රජයේ අනාථ නිවාසවල ජීවත් වන අසරණ දරුවකුට රජය දිනකට වැය කරන්නේ රුපියල් 20ක් තරම් සොච්චම් මුදලකි.

ඒ කාලයේදී මන්ත්‍රීවරයකුට ලැබුණේ සොච්චම් වැටුපකි. 1976 වනවිට එය මසකට රුපියල් 1000කි. අගමැතිගේ මාසික වැටුප රුපියල් 1250කි. ඒ කාලයේ මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීම, ආදායම් ලබන රජයේ බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීම, රජයේ දේපළ මිලදී ගැනීම හෝ බදු ගැනීම සපුරා තහනම් විය. මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබාදෙන කිසිදු ද්‍රව්‍යමය දෙයක් විකිණීම, බදුදීම හෝ අන්සතු කිරීමද තහනම් විය. එම සම්ප්‍රදාය ඒ දක්වා ලංකාවේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන සියලුම රටවල පාහේ ක්‍රියාත්මක වූ පොදු සම්ප්‍රදායක් වී යැයි කිව හැකිය.
වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකරන විශාල බහුතරයකට පිළිගත් නීති පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමේ නෛතික හා සදාචාරාත්මක අයිතියක් නැති පිරිසක් ලෙස සැලකිය හැකිය. ඔවුන් අතර රජයේ දේපළ මිලදී ගත්තවුන් හෝ බදු ගත්තවුන්ද, රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන්නන්ද, ආදායම් ලබන රජයේ බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකරන්නන්ද, වංචා හා දූෂණ චෝදනාවලට වගඋත්තරකරුවන් බවට පත්ව සිටින්නන්ද, චෝදනාලාභීන් වීමට සාධාරණ හේතු ඇති දේශපාලන බලපෑම් මත පරීක්ෂණ යටපත් කරගෙන සිටින්නවුන් තවත් විශාල පිරිසක්ද සිටිති. නියම පරීක්ෂණයකට ගියහොත් ඉහත කියන ලද එකදු වරදකටවත් හසුනොවන අය සිටිනවා නම් සිටිය හැක්කේ අතක ඇඟිලිවලින් ගණන් කළ හැකි තරම් සුළු ප්‍රමාණයකි.

ගෙවන්නට සිදුවී තිබෙන මිල

පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වැනි නිල තත්ත්වයෙන් පාර්ලිමේන්තුවට වඩා පහළ මට්ටමක තිබෙන මහජන නියෝජිත ආයතන අපේ පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබෙන ආදර්ශ යහපත් නැත. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන පුටුවලට සමාන පුටු ක්‍රමයක් ඉල්ලා සිටීම නිසා පළාත් සභාව එම මන්ත්‍රීවරුන්ගේ අභිලාෂය සපුරාලන්නට තීරණය කර තිබේ. ඒ සඳහා පුටු 104ක් ඇණවුම් කර තිබෙන අතර පුටුවක වියදම රුපියල් හය ලක්ෂ හතළිස් දහසකි. ඒ මගින් පාර්ලිමේන්තුවේ ගෘහ භාණ්ඩ සඳහා කර තිබෙන වියදමේ ස්වභාවය ගැනද දළ අදහසක් ඇති කරගත හැකිය.

බස්නාහිර පළාත් සභාවේ එම ක්‍රියාව නිසා වෙනත් පළාත් සභාද ඊට සමාන පුටු ඉල්ලා සිටින තත්ත්වයක් ඇතිවිය හැකිය. අපට ලැබී තිබෙන්නේ පළාත් සභිකයන්ට ලැබී තිබෙන පුටුවලට සමාන පුටු නම් අපට වඩා හොඳ හා වටිනා පුටු අවශ්‍ය යැයි කියා කෑගසන තත්ත්වයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පත්විය හැකිය. ලංකාවේ මහජන නියෝජිත ආයතන තිබෙන්නේ මහජනයාට පිළිකුළ, භීතිය හා හාස්‍ය උපදවන කුණුවූ තත්ත්වයකය.

දැන් පාර්ලිමේන්තුවේද සියලු දේවල් සිදුවෙමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නොව විකාරරූපී ක්‍රමයකටය. විරුද්ධ පක්ෂයට වෙන් කළ අසුන් ක්‍රමයක් හා එහි අසුන් ගන්නා විරුද්ධ පක්ෂ ගණයෙහිලා සැලකෙන මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් සිටියද විරුද්ධ පක්ෂයේ නායකත්වය ලැබී තිබෙන්නේ ඒ කණ්ඩායමේ පිළිගත් කෙනාට නොව ආණ්ඩු පක්ෂයට හිතවත් කණ්ඩායමක නායකයකුටය. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබී තිබෙනුයේද තවත් එවැනිම කණ්ඩායමක නායකයකුටය. සැබෑ විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි කණ්ඩායම විරුද්ධ පක්ෂ නායකත්වය තම කණ්ඩායමට ලබාගැනීමට නාමික ලෙස මිස ඇත්තටම වෙර දරන බවක්ද පෙනෙන්නේ නැත. සියලුදෙනා වැඩ කරන්නේ බඬේ බිජු හංගාගෙනය.

නීති සම්පාදනය

නීති සම්පාදනයේදී පාර්ලිමේන්තුව ඇද වැටී තිබෙන හාස්‍යජනක තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි නිදර්ශන රාශියකි. ඒවා අතර 19 වැනි සංශෝධනය හා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කරන ලද නීති සම්පාදනය ප්‍රධානය. 19 වැනි සංශෝධනය අධිකරණය ඉදිරියට ගෙන ගියේ ජනමතවිචාරණයක අනුමැතිය නැතිව ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට හැකියැයි කියන විශ්වාසයකින් යුතුවය. පාර්ලිමේන්තුවේ සිටින ව්‍යවස්ථා විශාරදයින්ට තිබෙන දැනුමේ තරම ඉන් තේරුම් ගත හැකිය. එම ව්‍යවස්ථා සංශෝධන සමස්ත ආණ්ඩු ක්‍රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන ලද නීති සම්පාදනයද සමස්ත පළාත් පාලන ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවූ තවත් කසිකබල් නීති සම්පාදනයක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් පළාත් පාලන ආයතනවලට තේරී පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා පමණක් නොව, කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා යොදා තිබෙන විධි විධාන තේරී පත්වීමට අවශ්‍ය තරම් ඡන්ද ලබාගත් අය තේරී පත්වීම වළකා තේරී පත්වීමට අවශ්‍ය තරම් ඡන්ද ලබා නොගත් අය තේරී පත්වන තත්ත්වයක් ඇති කිරීමටත් හේතුවී තිබේ.

රටේ ප්‍රධාන නීති සම්පාදන ආයතනය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුවේ නීති සම්පාදන කාර්යයන්ට දායක වන අනෙකුත් ආයතන මේ වනවිට නීති සම්පාදන හැකියාව මුළුමනින් අහිමි කරගත් බංකොළොත් තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය ඒ අනුව තේරුම් ගත හැකිය. එම ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට පත්වන පාලකයකුට කිසිදු යහපත් පරිවර්තනයක් ඇති කිරීමට පුළුවන්කමක් නැතැයි කියන පුනරුද තර්කය සනාථ කරන තවත් වැදගත් නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

පාර්ලිමේන්තුවේ නීති සම්පාදන විෂය පවත්වාගෙන යන විකටරූපී ස්වභාවයට අතිරේකව එහි සඟවාගෙන තිබෙන වංකකම හා ව්‍යවස්ථා විරෝධී ස්වභාවය පෙන්වන කදිම නිදර්ශනයක් මෙසේය.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස ක්‍රමයකට පැවැත්වීමට අදාළ එම විෂය භාර ඇමති ෆයිසර් මුස්තාපා පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සීමානිර්ණ පනත වැඩි ඡන්ද 139කින් පරාජයට පත්විය. එම වාර්තාවට පක්ෂව අඩුම වශයෙන් විෂය භාර ඇමතිවරයාවත් ඡන්දය දුන්නේ නැත. ඊට පක්ෂව ඡන්දය දෙන බව දිගින් දිගට ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුද ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටියෝය. එජාපයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය දුන්නේය.

සීමානිර්ණ වාර්තාව සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 212ක් බව වාර්තා විය. එය ආණ්ඩු පක්ෂයක් ඉදිරියට ගෙනා පනත් ආණ්ඩු පක්ෂය විසින්ම පරාජය කළ මීට පෙර කොයි කවරදාවත් සිදුවී නැති දෙයක් ලෙසද සැලකිය හැකිය.

ඇත්තටම සිදුවූයේ කුමක්ද? පරාජය කිරීමේ අරමුණින් පනතක් කරළියට ගෙනාවේ ඇයි? ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා ඡන්ද පවත්වන්නට කැමති නැත. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ මොන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද පැවැත්වීම වැළැක්වීමය. පනතේ හොඳ නරක කුමක් වුවද පනත පරාජය කිරීම තුළ පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්විය නොහැකි තත්ත්වයක් ඒ නිසා ඇතිවිය. දැන් පරණ පනත වලංගු නැත. අලුත් පනතක්ද නැත. අලුත් පනතක් අවශ්‍ය නම් එය අලුතෙන්ම ඇති කරගත යුතුය. ඒ සඳහා කිසියම් දීර්ඝ කාලයක් ගතවන්නේය. ඒ සඳහා පාර්ලිමේන්තුවට නැවත ඡන්ද විමසීම් දෙකකට යන්නට සිදුවන අතර තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීමටද සිදුවන්නේය. අවලංගු කර තිබෙන පරණ ක්‍රමය නැවත පණගැන්වීම සඳහා වුවද කාලයක් ගතවන අතර ඒ සඳහාද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම අවශ්‍ය වන්නේය.

දේවල් මෙතෙක් සිදුවී තිබෙන ආකාරය අනුව බලන විට පෙනීයන්නේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීමේ ඇත්ත වුවමනාවක් ආණ්ඩුවට තිබෙන්නට ඇතත්, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වන ලෙස පළාත් සභා මැතිවරණ නීතිය අවලංගු කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගික අරමුණ වූ බවය. පරණ නීතිය අවලංගු කොට ඒ වෙනුවට අලුත් නීතියක්ද ඇතිකර ගැනීමෙන් වැළකී සිටි විට අලුත් නීතියක් ඇතිකර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකිය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

ආණ්ඩුව පළාත් සභා මැතිවරණ නීතිය අවලංගු කොට ඒ වෙනුවට නව නීති සම්පාදනයකට ගොස් තිබෙන්නේ නීතියට පටහැනිව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයටය. එම තත්ත්වයට පාර්ලිමේන්තුව පමණක් නොව පාර්ලිමේන්තුවට නීති උපදෙස් දෙන ආයතනද වගකිව යුතුය.
කියන්නට යන කතාවේ එන තොරතුරු ලබාගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුවක් නොසලකා එම තීන්දුවට පටහැනි නීති සම්පාදනයකට ගිය බලධාරීන්ට එරෙහිව නාගානනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවට අදාළ ලිපිගොනුවෙනි. නීතිපති ජයන්ත ජයසූරිය, පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා, කතානායක කරු ජයසූරිය හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් 8 දෙනකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබෙන එම නඩුවෙන් කියැවෙන කතාව ඉතා බරපතළය.

පළාත් සභා ඡන්ද සඳහා පැවති පැරණි නීතිය අවලංගු කොට ඡන්ද ක්‍රමය වෙනස් කොට සියලු පළාත් සභා එකම දිනක පැවැත්වීමට අවශ්‍ය බලතල පාර්ලිමේන්තුවට ලබාගැනීමට 20 වැනි සංශෝධනයේ අරමුණ විය. මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රී පිරිසක් හා තවත් කිහිපදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය අතර පළාත් සභා එකම දිනක පිහිටුවන ලද ඒවා නොවන බැවින් එකම දිනයක පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් සඳහා කල් ඉකුත් වූ පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමත් කල් ඉකුත් නොවූ පළාත් සභා කල් ඉකුත්වීමට පෙර විසුරුවා හැරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එම පෙත්සම්කරුවන්ගේ මතය විය.

එක් දිනක පළාත් සභා මැතිවරණ පැවැත්වීම රටේ යහපතට හේතුවන බවට නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කළත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ 20 වැනි සංශෝධනයේ එන 2, 3, සහ 4 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12 (1) 2 14 61) යන වගන්තිවලට පටහැනි බැවින් එම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයක අනුමැතියද ලබාගත යුතු බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන මෙම තීන්දුව ඒකමතික නැත. විනිසුරුන් දෙදෙනෙක් තීන්දුවට පක්ෂ වන විට එක් විනිසුරුවරයකු තීන්දුවට විරුද්ධ වී තිබේ. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකර තිබෙන්නේ අගවිනිසුරු පියසත් ඩෙෆ්, අනිල් ගුණරත්න හා විජිත කේ. මලල්ගොඩ යන විනිසුරුවරුන් තිදෙනාය. තීන්දුව ඒකමතික තීන්දුවක් නොවන බව තීන්දුවේ සඳහන් වුවත්, තීන්දුවට පක්ෂ විනිසුරුවරුන් දෙදෙනා කවුද, විරුද්ධ විනිසුරුවරයා කවුද යන්න තීන්දුවේ සඳහන්වන්නේ නැත. එසේම තීන්දුවට විරුද්ධ වූ විනිශ්චයකාවරයාගේ මතයද වෙනම දක්වා නැත.
ඒ අර්ථයෙන් ලබාදී තිබෙන තීන්දුවේ අවුල්සහගත බවක් පෙනෙන්නට ඇතත්, එවැනි අවුලක් තිබූ පමණින් එය නොසලකා ක්‍රියා කළ හැකි තීන්දුවක් ලෙසද සැලකිය නොහැකිය. එක දිනක පැවැත්වීමට නියමිත ඡන්දයකට අදාළ නීති සම්පාදනයකට එවැනි තීන්දුවක් දී තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලද අරමුණ සඳහාම නීති සම්පාදනයකට යෑම නීතියට අනුකූල ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දෝෂයක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ වඩා පුළුල් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයක් ඉල්ලා සිටීමය. ලබාදී තිබෙන තීන්දුව ආණ්ඩුවට අවහිර කිරීමේ අරමුණින් දේශපාලන පදනමකින් ලබාදෙන ලද තීන්දුවක් වී නම් එම විනිසුරුවරුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඔවුන් තනතුරුවලින් පහකොට ව්‍යවස්ථා සංශෝධනය නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි.

නීතිපතිගේ භූමිකාව

එසේ නොකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා ඒ අරමුණ සපුරා ගැනීම සඳහා පළාත් ඡන්ද විමසීම් සඳහා පැවති නීතිය වෙනුවට සංශෝධිත අලුත් නීතියක් සම්පාදනය කරන තැනකට යෑම නීතියට පටහැනි හිතුවක්කාරී ක්‍රියාවක් වශයෙන් මිස නීතියට අනුකූල ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය.

ආණ්ඩුව එහිදී තෝරාගෙන තිබෙන හිතුවක්කාරී වැඩසටහනට අවශ්‍ය අනුමැතිය ලබාදී තිබෙන්නේ නීතිපතිවරයාය. පරණ පළාත් සභා මැතිවරණ නීතිය සංශෝධනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට ඇති බව සනාථ කිරීම සඳහා අර්ස්කින් මේ ගේ උපුටා දැක්වීමක් කතානායකවරයා වෙත යවන ලද ලිපියට ඇතුළත්ය. අර්ස්කින් මේ එහිදී කියන්නේ පනතට ඉදිරිපත් කරන සංශෝධනයක් පිළිබඳ තීරණයක් ගැනීමේ පූර්ණ බලය පාර්ලිමේන්තුවට තිබෙන බවය.

අර්ස්කින් මේ ගේ උපුටා දැක්වීම ගැන නාගානන්ද කොඩිතුවක්කුට වෙනත් බරපතළ විවේචනයක් ඇතත්, එම උපුටා දැක්වීම තත්‍ය උපුටා දැක්වීමක් වුවද නීති සම්ප්‍රදායන්ට අදාළ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කවර මට්ටමකින්වත් ලංකාව අදාළ කරගත නොහැකිය. බි්‍රතාන්‍යයේ තිබෙන්නේ පාර්ලිමේන්තුව උත්තරීතර බලයක් ලබාදී තිබෙන ක්‍රමයකි.

බි්‍රතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සම්මත කළ නොහැකි නීතියක් නැත. එහි අධිකරණ සමාලෝචන ක්‍රමයක් නැත. පාර්ලිමේන්තුව සම්මත කරන කවර පනතක්වත් ව්‍යවස්ථාවට පටහැනියැයි කීමේ බලයක් අධිකරණයට නැත. එහෙත් එවැනි ක්‍රමයක් තිබෙන්නේ බි්‍රතාන්‍යයේම පමණය. බොහෝ රටවල අධිකරණයට සමාලෝචන බලයක් තිබේ. ඇමරිකාවේ හෝ ඉන්දියාවේ මෙන් ව්‍යවස්ථාදායකය පනවන පනත්වල වලංගුභාවය සලකා බලා තීන්දු දීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැතත්, ව්‍යවස්ථාවේ 120 වැනි වගන්තිය යටතේ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි පරීක්ෂා කොට තීන්දු දීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. මීට අතිරේකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථනිරූපණය කිරීමේ බලය තිබෙන්නේද ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ නිසා නීති සම්පාදන විෂයේදී ලංකාවේ පාර්ලිමේන්තුවට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආදර්ශයට ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය.

ඒ අනුව බලන විට නීති සම්පාදනයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙන අවස්ථාවක එම නිර්දේශය නොසලකා එම නිර්දේශ උල්ලංඝනය කෙරෙන ආකාරයේ නීති සම්පාදනයකට යෑමේ බලයක් පාර්ලිමේන්තුවට තිබිය නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව නීතියට පටහැනි වේ නම් ඒ වරද නිවැරදි කරගත යුතුව තිබුණේ ව්‍යවස්ථාවට අනුකූල විධිමත් ආකාරයටය. එසේ නැතිව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඒ බලය ඇතිනම් ඒ බලය ලංකාවේ පාර්ලිමේන්තුවටද තිබිය යුතුයි කියන උද්ධච්ච ආකල්පයෙන් යුතුව ක්‍රියාකිරීමේ බලයක් පාර්ලිමේන්තුවට තිබිය නොහැකිය.
ලංකාව බි්‍රතාන්‍ය සම්ප්‍රදායන් අනුගමනය කරන්නේ නම් සීමානිර්ණ පරාජය වූ අවස්ථාවේදී මුළු ඇමති මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුව තිබුණි. මුළු ඇමති මණ්ඩලයම තබා විෂය භාර ඇමතිවරයාවත් තනතුරෙන් ඉල්ලා අස්වූයේ නැත. ආණ්ඩු පක්ෂය විසින්ම පරාජය කරන ලද එම පනත ආණ්ඩුව විසින්ම මහත් බලාපොරොත්තු හා උනන්දුවකින් යුතුව හදන ලද පනතක් ලෙස සැලකිය හැකිය. එවැනි පනතක් පරාජය කෙරුණු අවස්ථාවකදී පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. එහෙත් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ එවැනි සම්ප්‍රදායක් තිබෙන බව ලංකාව දන්නා බවවත් පෙනෙන්නේ නැත.
එම පනත සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු හාස්‍යජනක ප්‍රතිපත්තියෙන් සිදුවූයේ පාර්ලිමේන්තුවට තිබෙන පිළිගැනීම තවත් වටයකින් පහත දමා ගැනීමය.