රාවය

කවුද ලොක්කෝ

කවුද ලොක්කෝ

ටිරන් කුමාර බංගගමආරච්චි

2015 ජනවාරි 08 වැනිදා වෙනස් වූයේ මහින්ද රාජපක්ෂ පාලනය පමණක් නොව මෙරට අධිපතිවාදී දේශපාලන රටාවම උඩු යටිකුරු වූ බව කිව යුතුය. ජනවාරි 8 වැනිදායින් පසු මෙරට දේශපාලනය අලුත් කියවීමකට බඳුන් විය. මෛත්‍රීපාල සිරිසේන ජනපති වීම ඒ මොහොතේ පොදු අපේක්ෂක අරුතින් ගත්තත් මේ වනවිට එය ඕනෑම කෙනකුට ජනාධිපති විය හැකිතැනට ලඝු වී ඇත. රාජපක්ෂවාදීන් රාජපක්ෂලාගෙන් තොරව දේශපාලනයක් නැතැයි සිතන විට සෙසු අය එක නායකයකු ළඟ නතර නොවී සැවොම තමන්ද නායකයායැයි සිතන තැනට තල්ලු වී ඇත. මෙය හොඳ ප්‍රවණතාවක් මුත් පක්ෂවලට එකමුතුව ජය ලැබීමේ ගැටලුවක්ද නිර්මාණය කරයි. එජාපයේ අනාගත නායකයා සජිත් බවට තිබූ තනි ඒකාධිකාරිය මේ වනවිට නවීන් දිසානායකටත් බෝවී ඇත. ඒ පවුලේ උරුමය සලකාය. ප්‍රේමදාසට මෙන්ම ගාමිණී දිසානායකටද එජාපයේ තැනක් තිබූ බැවින් දරුවන් ලෙස එය තමන්ටද උරුම බව මේ දෙපළ දෙපැත්තකට වී කල්පනා කරමින් සිටී. මෙහිදී නවීන් එළිපිට කෑගසන තැනටද පත්වී ඇත. මේ දෙන්නාට අමතරව කරු ජයසූරියටත් නායක උණ ඇති බව පැහැදිලිය. ඒ අතර රවි කරුණානායක මෙන්ම රාජිත සේනාරත්නද සිටිය හැකිය. තව කාගෙ කාගේ හිත්වල නායකයා නිදාගෙන ඇත්දැයි කවුරු දනිත්ද? ඒ කෙසේ වෙතත් රනිල් නායකයා ලෙස පිළිගැනීම කෙසේ වෙතත් ඔහු තරගකරු ලෙස ඉදිරිපත් කරන්නට නම් බහුතරය මෙන්ම ඔහුද කැමති නැතිවාට සැක නැත. මන්ද ඔහු තරග කර දිනිය හැකි අශ්වයකු නොවන බව කවුරුත් දනිති. ඔහුගේ කැමැත්ත මේ සැමට වඩා රුවන් විජේවර්ධනට විය හැකිය.

මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂම බව පිරිසකගේ අදහසය. මහින්ද රාජපක්ෂට නැවත ඉල්ලන්න බැරි වුවද ඒ සියල්ල අමතක කොට මොවුන් ඉල්ලනුයේ මහින්දවමය. එය වෙනම සිතිය යුතු කරුණකි. ඒ තරමට මහින්ද සුරුවම බලසම්පන්න වී ඇත. අකමැත්තෙන් වුව මහින්දට ඉල්ලන්නට බැරි වුවහොත් ඒ තැන ගෝඨාට, බැසිල්ට, චමල්ට කවුරු හෝ රාජපක්ෂ කෙනකු අතට යා හැකිය. ඒ පෙනෙන චිත්‍රයය. ඒවා සැබැවින්ම කතා කිරීමට කල් වැඩිය. එයට ඕනෑතරම් කල් ඇතිය. එහෙත් දැනට කිවයුත්තේ මේ පක්ෂ ඇතුළාන්තයේ කැළඹිලි ඇත යන්නය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නායක සිහිනය ඇති අය නැතිවා නොවේ. ඒ අතර දයාසිරි ජයසේකර ප්‍රමුඛවය. ඔහු දැඩිව විශ්වාස කරන බව පෙනෙනුයේ මෛත්‍රීපාලට රටේ නායකයා වීමට හැකිනම් තමන්ටද ඒ භාග්‍ය වැඩි ඈතක නැති බවය. රාජපක්ෂලා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකයකු ගැන සිතීම මුලාවක් වී තිබුණි. ඒ කරුමය පොහොට්ටුවට උදාවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට විවෘත විය. එජාපයත්, ඒකාබද්ධයත් යන දෙකම පැත්තකින් තැබුවද මේ ඉඩ ඕනෑම කෙනකුට විවෘත වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තනතුරින් ඉවත්ව නිවසට යන කල ගෝලයන් නායකත්වයට එනු නියතය. ඒ දෙස දයාසිරි ඇස ගසාගෙන සිටියි. එය හොඳ ලක්ෂණයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂයන් නැත. ප්‍රවීණයන්ද වැඩ බැරි දාසලා ව ඇත. ඒ අතර දයාසිරිගේ පැතුම හොඳය.

වත්මන් ආණ්ඩුව නියෝජනය කළ 16 දෙනකු පොහොට්ටුව පැත්තට ගියේ ගියවර ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී පොදු පෙරමුණ ජයගත් නිසාය. දැන් මේ සැම පරදින්නට අකමැතිය. මේ බොහෝ අය අවංකවම ජනතා කැමැත්තද නොලබා පරාජය වී මෛත්‍රී පිහිටෙන් පාර්ලිමේන්තු ආ අයය. ඒ ඇවිත් නැවත ඇමතිකම් වින්ද අයය. මේ නොහොබිනා වැඬේ මෛත්‍රීපාල ජනපති ලෙස කරනවිටම ඔහුට අනන්‍ය සියලු යහපත් ලක්ෂණ ඔහු විනාශ කර ගත්තේය. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාවීමට මේ විකාර වැඬේ ඔහු කළද එය දේශපාලනිකව කළ බලවත් පාවාදීමක්ය. එනම් ජනතා ඡන්දයෙන් පරාජය වූ අය නැවත ගැනීමය. මේ පරාජය වූ අය එදා කීවේ තමන්ව පරාජය කළේ මහින්ද රාජපක්ෂ බවය. එහෙව් කියුම් කී මේ පරාජිතයෝ අද නැවත තම බෑණාට, පුතාට, සැමියාට, සහෝදරයාට පළාත් සභා දිනවන්නට මහින්ද සරණම යති. මේ නම් දේශපාලන සරදමක්ද? ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මේ බොහෝ අය පවුලේ අය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අයට අනාගතයක් හැදීමට නම් මහින්ද ඕනෑමය. මේ අයත් මහින්ද පරාජය කළා නම් මේ අයගේ ඥාතීන්ට, දරුවන්ට සහෝදරයන්ට කවර කතාද? එබැවින් නැවත මහින්දට එකතු විය. මේ දහසයෙන් එකවරම දයාසිරි ඉවත් විය. මුලදී යෑමත් නැවත ඉවත්වීමත් අතර බොහෝ කතා විය. මහින්ද දයාසිරි පිළිනොගන්නා නිසා දයාසිරි පරණ අතම බලාගත් බවටද අදහසක් ප්‍රචාරය විය. දහසය දෙනාගේ පිලේ දයාසිරිට වඩා අන්ත දේශපාලන චරිත ඇති අතර ඒ අය පිළිගන්නා මහින්දට දයාසිරි පිළිනොගන්නට හේතුවක් ඇතැයි සිතිය නොහැකිය.

මෙහිදී සිදුවන්නට ඇත්තේ දයාසිරි තමන්ගේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ නායක සිහිනය මේ පහළොවත් යන්නේ නම් තවත් ළඟ බව සිතීම විය හැකිය. දහසය දෙනාගේ පිල අදටත් මෛත්‍රීවාදිය. එහෙත් ලගිනුයේ මහින්ද ළඟය. මෙයින් ගම්‍යවන්නේ මෙය මෛත්‍රීත් මේ පිරිසත් දැනුවත්ව ගැසූ ගැටයක් බවය. මෛත්‍රීටද නැවත බලයට ඒමේ දැඩි කෑදරකම අද ඇත. එදා 2015 ජනවාරි 8 ජනපති වී නුවර දළදා මාලිගය ඉදිරිපිට ඇඬෙන මට්ටමේ කතාවක් කළ ජනතා සේවකයා ඒ අවසන් නායකත්ව සිහිනය බවත් නැවත තමන් තරග නොකරන බවත් සපථ කළේය. එදා ඔහු ඇදහූ දේශපාලන චින්තකයෝ එම කතාව පරසක්වළ ගැසුයේ අන්න නායකයා යන තැන සිටය. අපට නම් එය එදාම කෙප්පයක් බව පසක් වූ අතර එය එසේම බව කී විට කුඩා සාමීචිවල අපට හිනාවූවෝ අද නින්දෙන් ඇහැරී මෛත්‍රීට තඩි බාති. මෛත්‍රීගේ නායක සිහිනය දිගටම පවත්වාගෙන යෑම අරුමයක් නොවේ. නියම අරුතින් සලකා බලන්නේ නම් ඔහු සැබැවින්ම තවමත් නායකයා වී නැත. යහපාලන විකාරය ඇතුළේ ඔහුට වඩා අගමැති කෙරුමා වී ඇත. තමා ගෙනා පිරිසට ඕනෑ ලෙස තමන්ටද රූකඩයක් වන්නට ජනපතිට සිදුව ඇත. ඊට එරෙහි වුවහොත් තමන් ගෙනා නඩයම තමන්ට පෙරළා පහර දෙති. මේ දුකෙන් මිදීමට ඔහුටත් දැන් ඇත්තේ රාජපක්ෂලාමය. තමන් මේ පුටුවේ ඉන්දුවා තමන් රූකඩයක් ලෙස නටවන යහපාලන නඩයට වඩා තමන්ගේ හතුරා හොඳවන තැනට සියල්ල සිදුවී ඇත. ඒ නිසා මෛත්‍රීපාලට නැවත ගමනක් යෑමට ඇති හොඳම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ගැටුණු අයය.

මහින්ද රාජපක්ෂට වුවමනා වී ඇත්තේ බණ්ඩාරනායකලා, සේනානායකලා මෙන් තමන්ද දේශපාලන කෙරුමන් බව පෙන්වීමටත්, මෙරට දේශපාලනයේ සදා සුරුවමක් වන්නටත්ය. මේ පොහොට්ටුව ගෙනෙන්නේ ඒ නිසාය. දැන් රාජපක්ෂලාද දේශපාලන සුරුවම්ය. හෙට දවසේ ඔවුහු දේශපාලන ප්‍රබලයන්ය. ඒ බණ්ඩාරනායකලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව වෙනම ගමනක් තුළින්ය. මීට පෙර කොතරම් ශ්‍රී ලංකා එක තුළ රාජපක්ෂලා ප්‍රබල වුවත් එහි පහන් පත්තුවන්නේ බණ්ඩාරනායකලාටය. චන්ද්‍රිකා වුව අදටත් ශ්‍රී ලංකා එක තුළ හොල්මන් කරනුයේ එය තම මාපිය බූදලය නිසාය. මේ තත්ත්වය නාමල්ට අනාගතය හැදීමේදී අවදානම්ය. ඒ නිසා බණ්ඩාරනායකලා, සේනානායකලා අබිබවා රාජපක්ෂලා මතුවිය යුතුය. කෙසේ හෝ මහින්ද නැවත බලයට එන්නට හදන්නේ ඒ තැන හදන්නටය. එය ගෝඨාටවත්, බැසිල්ටවත් කළ හැකි නොවේ. මේ අය එක වල්ලේ පොල් නිසා කළ නොහැකිද නැත. කාට වුව මහින්ද නැතිව රාජපක්ෂ වාසගම දාගෙන යා හැකි ලොකු දුරක් නැත. මේ අස්සේ දහසයේ කණ්ඩායම හදන්නේ ඒ අස්සට මෛත්‍රීද රිංගවන්නටය. ඒ ඒකාබද්ධ ශ්‍රී ලංකා එකමුතුවෙන්ය. මොවුන් ඉදිරියේදී එකතු වුවද, ඒ මහින්දගේ නායකත්වයෙන් ඔහුගේ ආශිර්වාදයෙන් යන ගමනකටය. එවිට ඔහුගේ සුරුවම ඉබේම හැදේ. මේ දේශපාලන ගමන අතහැර රනිල් ජනපති කොට හෝ මෛත්‍රී අගමැතිවීම වැනි පට්ට බොරු මේ දේශපාලනයේ පැළ කළ නොහැකි කතාය. මේ විදිහත් එලෙස පුටු මාරු කරගැනීමේ ක්‍රමයත් යෝජනා කිරීමට ඉල ඇදෙන විහිළුවකි.

අද සැවොම කරනුයේ කල්ලි වශයෙනුත් තනි තනිවත් දේශපාලන ගේම් ගැසීමය. දැන් හැම කෙනකුටම ඕනෑවී ඇත්තේ ආණ්ඩුවේම සිටින්නටය. කවුරු ආණ්ඩු කළත් ඇමතිකම් දැරීමටය. එයට ඕනෑතරම් වේදිකාව පුළුල්ය. මන්ද කාට වුව ඉදිරියේදී තනි ජයග්‍රහණ විශිෂ්ට ජයග්‍රහණ ලබාගත හැකියැයි විශ්වාස කළ නොහැකිය. එකතුවන තරමට ජයග්‍රහණ ලැබිය හැකිය. හෙට දවසේ පොහොට්ටුවෙන් වුව පිරිසක් කැඩී වෙන්විය හැකිය. තිස්ස අත්තනායක වුව සුළු පිරිසක් තමන්ට ගනු ඇත. මේ විදිහට සෑහෙන දේශපාලන ත්‍රීවීල් පක්ෂ ලොකු කෙරුමන් විය හැකිය. අද විමල් මෙන්ම ගම්මන්පිලද කෙරුමෝය. චම්පික මෙන්ම රතනලාද බලවේග වී ඇත. ඡන්ද පදනමක් නැතත් තනි බල පරාක්‍රමයක් මේ අයට ඇත. ඒ නිසා චම්පික මෙන්ම ෆොන්සේකාද නායක සිහින දවල්ද මවමින් සිටී.
මේ සියලු කල්ලි එකතු වී බෙදී අවසානයේ වඩා හොඳවන්නේ කවුද ඒ අයව ජනතාව නැවත වතාවක් විශ්වාස කරනු ඇත. එතෙක් කාට වුව නියත විවරණදීම කල් වැඩි වුවත් දැන් හැම පක්ෂයකම ක්‍රියාත්මක වන්නේ ලබන වසරේ ජනාධිපති සැකසීම බව නම් පැහැදිලිය. මන්ද සැවොම මේ දිනවල කරනුයේ තරගය. පුහුණුවීමට වඩා තරගකරුවන් තේරීමය. හොර රහසේ වන දේශපාලන ගේම් මේ දිනවල බහුලව සිදුවනවා නියතය. ඒවා ඒ තරමට රහසිගත කුමන්ත්‍රණ විය හැකිය. ඒ නිසා කිසිවකු විශ්වාස කළ නොහැකි සත්තු වී සිටිති. කෙසේ වෙතත් එකක් කිව යුතුය. පොදු අපේක්ෂක භූමිකාව නම් මේ යහපාලනයෙන් විනාශ විය. අලුත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවද ගේන්නට වන්නේ මේ අයටම බැවින් දැන් මේ අය විශ්වාසය පළුදු කරගෙන හමාරය. එබැවින් පොදු අපේක්ෂකයා පමණක් විශ්වාස කරන්නට කවුරු කැමතිවේද? ඉදිරි දේශපාලනය යුද්ධයක් වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද ඒ තරමට මේ මොහොතේ දේශපාලනය විකෘති වී ඇත. කිසිවක් අලුත් නැති බව පමණක් දැනට කිව යුතුය.