දේශපාලකයා දෙවියකු ලෙස ඇදහීම අප අවසන් කළා – කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන්

නිමල් අබේසිංහ

පවතින දේශපාලන අර්බුදය අභිමුව දෙමළ නායකයෙන් හැටියට ඔබේ ස්ථාවරය මොකක්ද?

මම වතුකරයේ දෙමළ නායකයෙක්. උතුර බැලුවොත් විග්නේෂ්වරන් ඉන්නවා. සම්බන්ධන් ඉන්නවා. ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රස් එක. රවුෆ් හකීම් වගේ නායකයෝ ඉන්නවා. ඊට පස්සේ දකුණේ ඉන්නවා සිංහල නායකයෝ. තමන්ගේ වාසියට මේ අය ජාතිවාදය පාවිච්චි කරනවා. හැබැයි මම කවදාවත් ජාතිවාදය ගැන කතා කරන්නේ නෑ. ජාතිවාදය ඉස්සරහට ගෙන්නලා මේ රට කවදාවත් ගොඩගන්න බැහැ. මම ලංකාවේ පුරවැසියෙක් විදිහට කියන්නේ රට කඩන්න කැමති නෑ. මම ඒකට විරුද්ධයි.

ඒ නිසා මම කියන්නේ මේ ආණ්ඩුවම හොඳයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකමුතු වෙන්න ඕනේ. මේ රට විනාශ කරල ගිය රටක්. ඔක්කොම එකට හිටියා නම් මේ රට දියුණු කරන්න පුළුවන්.
අපේ ආණ්ඩුවෙ වුණත් අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු හදාගන්න නම් නායකයෝ එකතු වෙන්න ඕනේ. ආසියාව දිහා බලපුවහම අපි කණගාටු වෙන්න ඕනේ. බංගලිදේශෙත් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. මට මතකයි ඒ කාලේ ඉන්දියාවේ අය මෙහෙ එනවා. දැන් අපියි ඉන්දියාවට යන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි ඇතිවෙලා තිබෙන්නේ. ඒකට දේශපාලනඥයින් විදිහට අප වගකියන්න ඕනේ.

ඔබට වතුකරයේ ජනතාවට ඇත්තටම සේවයක් කරන්න පුළුවන් වුණාද? ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න ඔබලා හඳුනාගෙන විසඳලා තිබෙනවද?

මම වතුකරයේ ඉපදුන කෙනෙක්. ලයිම් කාමරයක ජීවත්වෙලා හිටපු කෙනෙක්. ජනතාව එක්ක එකට ජීවත්වෙලා ජනතාවගේ ප්‍රශ්න අඳුනගෙන ආපු නායකයෙක්. වෙන අය වගේ ඉන්දියාවෙ ඉඳලා ඇවිත් පරම්පරාවෙ බලයෙන් ඉස්සරහට ආපු නායකයෙන් නෙවෙයි මම. ඒ නිසා වතුකරයේ ජනතාවට යමක් කරන්න ඕනේ කියන හැඟීම මට තිබෙනවා. දැන් බලන්න අනෙක් අයට ගමක් තිබෙනවා. වතුකරයේ අයට ගමක් නෑ. ඒ අය වත්තෙ ඉන්නෙ. දැන් මම බලයට ආපු ගමන් ඒ අයට ඉඩම් දීලා, ගෙවල් හදාගන්න සල්ලි දීලා ගම්මාන හදන්න කටයුතු කරගෙන යනවා. දැනට මම කුඩා ගම්මාන එකසිය ගානක් හදලා තිබෙනවා. ලොකු ගම්මාන හදන්න පටන් ගත්තේ ගිය සුමානේ ඉඳලයි. එක ගමක ගෙවල් හාරසීයයි. සැප්තැම්බර් මාසේ ගම්මාන හතරක් විවෘත කරන්න තිබෙනවා. ඩයගම ගෙවල් දෙසීයක්, ගෙවල් සීයක් හෙල්බොඩ ගෙවල්, හාරසීයක් බගවන්තලාව. ඒ වාගේ ගම්මාන හදාගෙන යනවා දැන්. අපේ ජනතාවට ගෙවල් ලක්ෂ ගණනක් හදන්න තිබෙනවා. මේක එක දවසින් ඉවර කරන්න බැහැ. හැබැයි අප පටන් අරන් තිබෙනවා. ලබන අවුරුද්ද අවසානය වෙනකොට ගෙවල් 25000ක් හදන්න පුළුවන් වේවි කියලා මට විශ්වාසයක් තිබෙනවා. එතකොට අවුරුදු පහකින් ගෙවල් විසිපන්දාහක් හදන්න පුළුවන් නම් ඇයි අනෙක් අයට එහෙම බැරිවුණේ.

ඊළඟට සෞඛ්‍ය ප්‍රශ්න. ඒකටත් වැඩපිළිවෙළක් යොදලා වැඩකරගෙන යනව. ඒ වගේම ප්‍රාදේශීය සභා පිහිටුවනවා. දෙමළ අය ඡන්දෙත් දෙනවා. හැබැයි වතුවල වැඩ කරන්න බැහැ. පුස්සැල්ලාවේ උඩ පළාත ප්‍රාදේශීය සභාව වත්තකට වතුර ටැංකියක් දුන්නා කියලා සභාවට නඩු දැම්මා. පනතේ හැටියට ඒ අයට එහෙම කරන්න බැහැයි කියලා. මම මේ පනත වෙනස් කරන්න අවශ්‍ය නීති සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට දාලා තිබෙනවා. ඒක හෙට අනිද්දා සම්මත වේවි. එතකොට පළාත් පාලන ආයතනවලට වතුවල ජනතාව වෙනුවෙන් වැඩ කරන්න හැකිවෙනවා. ඒ වගේම වතු ජනතාව සංවර්ධනය කිරීමේ වැඩසටහන් කරන්න බලයක් රජයේ ආයතනවලට නැහැ. ඒකටත් අවශ්‍ය වැඩපිළිවෙළක් මම සකස් කළා. ඒකත් පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ. මාසෙකින් විතර ඒකත් සම්මත වෙයි.
අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් මම අගමැතිතුමාට කතා කරලා තිබෙනවා මිශ්‍ර පාසලක් හදන්න. ඒ වගේම හොඳම වතුර වතුකරයේ තිබුණත් වතුවල ජනතාවට ඒ වතුර ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒ අයට හොඳ වතුර දෙන්න ව්‍යාපෘතියක් හදලා තිබෙනවා.

තොණ්ඩමන් කියන්නේ වාසි අතට හැරෙන දේශපාලනඥයෙක්. ඒත් ඔහු දෙමළ ජනතාවට කළ දෙයක් නැහැ. ඔබේ ගමනත් තොණ්ඩමන්ගේ ගමනම වේවිද?

නෑ නෑ මම එහෙම කරන්නේ නෑ. මම ඔබට කීවනෙ. මම ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන, ජනතාවගේ බඩගින්න හඳුනගෙන ආපු නායකයෙක්. තොණ්ඩමන් කියන්නේ මිනිස්සුන්ගේ බඩගින්න නොදන්න කෙනෙක්.
ලෝකෙ දියුණුවෙලා තිබෙනවා. අප ඒ අය දියුණු ලෝකයට අරගෙන යන්න ඕනේ. ඒත් අපේ කම්කරුවන්ට තමයි අඩුම පඩි ලැබෙන්නේ. කවුද මේකට වග කියන්න ඕනේ. තොණ්ඩමන් තමයි අවුරුද්දකට ඉස්සෙල්ලා ගිවිසුම අත්සන් කරල පඩි වැඩි කරන්න දුන්නෙ නැත්තේ. දැන් තේ දළු මිල රුපියල් 100 යි. ඒත් පාඩුයි කියලා කොම්පැණි කියන්නේ. අපි කීවා බැරිනම් දාලා යන්න හොඳ කොම්පැණි තිබෙනව අප ඒ අයට කතා කරලා ගෙන්න ගන්නවා කීවා.

ඇතැම් පෞද්ගලික වතු සමාගම් උඩරට කඳුකරයේ වතුවල නිසරු කොටස් කම්කරුවන්ට නඩත්තුව පවරා දී ඒවායින් ලබාගන්නා දළුවලට මුදල් ගෙවීමේ ක්‍රමයක් සකසා තිබෙනවා. මෙය කම්කරුවන් කබලෙන් ළිපට හෙළීමක්. ඔබ මේ ගැන දන්නවාද?

ඔව් මම ඒ ගැන දන්නවා. මේ නිසා අපේ මිනිස්සු අමාරුවේ වැටුණ තැනුත් තිබෙනවා. මම ඒ වැරදි ක්‍රමය නවත්වලා තිබෙන්නේ. දැන් ඕක වෙන්නේ නෑ. ඉදිරියේදී කරන්න දෙන්නෙත් නෑ. වතු කොම්පැණිවලට කියන්නේ බැරිනම් දාලා යන්න කියලයි. ඔක්කොම වතු සමාගම් මේ වැරදි වැඬේ කරන්නෙත් නෑ.

තොණ්ඩමන් වතු ජනතාවට කළ දෙයක් නැතිවුණත් ඔහුව තවමත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා නෑ. එහෙම වෙන්නේ ඇයි?

මම දේශපාලනයට ඇවිත් අවුරුදු 14යි. තොණ්ඩමන්ලා එක්දහස් නමසිය හතලිස් ගණන් ඉඳලයි දේශපාලනය පටන් ගත්තේ. මුලින්ම පටන් ගත්තේ තොන්ඩමන් නෙවෙයි රාජේන්ද්‍රන්. ඊට පස්සෙ තමයි තොණ්ඩමන් පටන් ගත්තේ. ඒ කාලේ වතු ජනතාවට කිසිම අධ්‍යාපනයක් නෑ. ඒ අයට තේරෙන්නේ නෑ. එතකොට තොණ්ඩමන් තමයි දෙවියා කියලා හිතුවේ. ඒක තමා ඇත්ත කතාව. අනෙක තමයි මිනිස්සු තොණ්ඩමන්ට විරුද්ධව කතා කළේ නෑ මොකද එහෙම වුණොත් මිනිස්සු ලව්ව ගහනවා. පොලිසියට කියලා බලපෑම් කරවනවා. එතකොට මිනිස්සු බයයි. වෙන නායකයකුට ඔළුව උස්සන්න දුන්නෙත් නෑ. අපිට වුණත් එයා හරියට කරදර කළා. අපි ඒවට බය වුණේ නෑ. ඒ නිසා තමයි මම නුවරඑළියේ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙලා ආවේ. එයාගේ යුනියන් එකේ මුලින් එක්ලක්ෂ ගණනක් සාමාජිකයෝ හිටියා. දැන් අපි ඒක 48000ට අඩුකරලා තිබෙනවා. මගෙ යුනියන් එකේ 31000ක් ඉන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හවුල බිඳුනොත් ඔබ ගන්නේ මොන පාර්ශ්වයද?

අපි ජනාධිපතිතුමාට ආදරෙයි. අගමැතිතුමාටත් ආදරෙයි. අපි සන්ධාන ගතවෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය එක්කයි. එහෙම වුණොත් අපට එක්සත් ජාතික පක්ෂය එක්ක යන්න වෙනවා. ඒකෙන් ජනාධිපතිතුමාට විරුද්ධ වෙනවා කියලා කියන්නේ නෑ.