රාවය

දරුවකුට බැට දෙන මියුසියස් ගුරු නඩය

දරුවකුට බැට දෙන මියුසියස් ගුරු නඩය

රසික ගුණවර්ධන

කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ වර්ෂ 2006 පමණ කාය වර්ධන ඒකකයේ ඉහළ මහලෙන් පැන සිසුවියක දිවිනසා ගැනීම එකල මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කතාබහකට ලක්විය. ඇය එසේ දිවි නසා ගත්තේ ඇගේ පවුලේ ආරවුලක් නිසා යැයි කියා එකල මියුසියස් මෑණියෝ විලි වසා ගත්තාය. ඉන් පසුව නැවත වර්ෂ 2008 දී පමණ තවත් සිසුවියක් විද්‍යාලයේ වැසිකිළිය තුළ සිය කරපටියෙන් ගෙල වැලලාගෙන මිය ගියාය. එහිදී පාසල කියන්නේ ඇය පාසලට රැගෙන ආ ජංගම දුරකතනයක ඇතුලත් වූ යම් යම් දර්ශන පිළිබඳව ඇයට සිදු කරන ලද සුළු තරවටු කිරීම් නිසා සිත් තැවුලට පත් වී ඇය සිය දිවි නසා ගත් බවයි. පාසල නිදොස් කර ගැනීමට ඇයට කරන ලද අභූත චෝදනා නිසා ඇගේ මරණින් මාස තුනක් යන තැන හෘදයාබාධයක් සෑදී ඇගේ පියා මිය ගියේය. කෙසේ හෝ පාසල සිතන්නේ ඉහත කාරණා ද්විත්වයේදීම තමන්, තමන්ගේ විලි වසා ගත්තා යනුවෙනි. තමන්ගේ පාසලේ සිසුවියන් දෙදෙනකු දිවි නසා ගන්නා තත්ත්වයක් තුළ ඊට හේතු කියා පාසලක් නිර්දෝශී වන්නේ කෙසේ ද? පාසලට ඒ ගැන වගකීමක් නැතිද? එම ජීවිත පිළිබඳව වගකීමක් පැවරෙන්නේ නැද්ද?

මේවා මෙසේ තව දුරටත් ප්‍රශ්න කරන්නට සිදුව ඇත්තේ මෙවැනි සිදුවීම් උක්ත විදුහලෙහිද ඉන් බාහිරවද තව දුරටත් සිදුවෙමින් පවතින බැවිනි. ඔබට මතක නම් පසුගිය වසරේ කුලියාපිටියේ සිසුවියක්, තමන්ගේ මවට ඒඞ්ස් වැළඳී තිබූ හෙයින් හිංසාවට පත් වූ අයුරු. ඒ හා සමානවම මේ වසරේ ගනේවත්තේ දැරියක හිංසනයට පත් වූ අයුරු. මේවා දිගින් දිගටම සිදු වෙමින් පවතී. සිදු වන අතරතුර කතාබහට ලක් වූව ද සතියක් දෙකක් යන තැන, නැති නම් ඊට අදාළ වින්දිතයන්ට සරල විසඳුමක් ලැබෙන තැන ඒ කතිකාව නැවත වැළලී යයි. එවැනි කතිකාවක් නැවත ඇති වන්නේ තවත් එවැනි සිදුවීමක් ඇති වුවහොත් පමණකි.
අප අපේක්ෂා හමුවන්නේ ඇගේ කතාව අසන්නටය. අප හමුවන්නට ආ අපේක්ෂාගේ ද ඇගේ අම්මාගේ ද හිසේ මහා බරක් ඇති බව කියන්නේ ඔවුන්ගේ මුහුණුය. අපේක්ෂාගේ අම්මා, සුමාලි මේ වන විට පිළිකාවකින් පීඩා විදින්නීය. ඈ වියලුනු දෑසින් අප දෙස බලා සිටින්නීය. අපේක්ෂාට තවමත් පවුලේ සියලුම දෙනා අවශ්‍ය වනවා සේම, අපේක්ෂාගේ සම්පූර්ණ කතාව ඔබට කියන්නට ඇයගේ පවුලේ සියලුම දෙනා සහ සම්බන්ධ කරගත යුතුය.

සඳුනිගේ කතාව

පුංචි අපේක්ෂාගේ කතාව පටන් ගන්නේ ඇයගේ වැඩිමහල් අක්කාගෙනි. අපි ඇගේ අක්කාට සඳුනි යැයි කියමු. සඳුනිගේ සහ අපේක්ෂාගේ අම්මා සුමාලි, කියන පරිදි සඳුනි අක්කාගේ මුල්ම පාසල කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයයි. ඇය ඉගනීමට දක්ෂ, ක්‍රීඩාශීලී දරුවෙකි. සඳුනිගේ මව සඳුනිගේ පාසලටම ගුරුවරියක ලෙස ඇතුලු වන්නේ වර්ෂ 2012 දීය. එසේ ඇතුලු වන ඈ පාසලේ ප්‍රාථමික පංති ගුරුවරියක ලෙස කටයුතු කළාය. සඳුනි පාසලේ ඔරු පැදීමේ ක්‍රීඩාවට යොමු වන්නේ මේ අතරතුර කාලයේ දීය. ඇය දක්ෂ ක්‍රීඩිකාවක් වන අතර උනන්දුවෙන් පුහුණු වීම් වල ද නිරත වන්නීය. ඇගේ පාසල් පුහුණුකරු වන්නේ මාක් මොරිස් නමැත්තෙකි. සඳුනිගේ අම්මා එනම්, සුමාලි පවසන පරිදි සිය දියණියගේ පුහුණු වීම් පැවැත්වෙන බත්තරමුල්ල දියත පරිශ්‍රයට පැමිණෙන ඇගේ පුහුණුකරුගේ මිතුරන් පිරිසක් දිගින් දිගටම එහි පුහුණු වන සිසුවියන්ට බාධා කිරීමට පටන් ගත්හ. දැරියන් කුඩා හෙයින් ද මේ හරහා සිසුවියන්ගේ ජීවිතවලට එල්ල වන බළපෑම අනතුරුදායක හෙයින් ද සුමාලි මේ පිළිබඳව පාසල් අධිකාරියට පැමිණිල්ලක් සිදු කළාය.

ඉන් පසුව පාසල් අධිකාරිය විසින් මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන අතර එමගින් සුමාලිගේ පැමිණිල්ලේ සත්‍යතාවක් ඇති බව හෙළි වේ. එහෙත් පෙරකී පුහුණුකරුගේ මිතුරන්ගේ හැසිරීම නතර වන්නේ නැත. ඒ පුහුණුකරුට එකල රජයේ, එනම් පසුගිය රජයේ බේබිලා සමඟ තිබූ සමීප සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙසය. සුමාලි කියන පරිදි පාසල ද මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නේ පෙර කියූ බේබි ඌෂ්ණයට තුරුලු වී සිටීමට පාසල් අධිකාරියට ද සිදුවී තිබුණු නිසාය. ඒ බේබි ඌෂ්ණය ඇඟිලි නොගැසූ තැනක් නොවීය. තමන්ගේ මන දොල පුරවා ගැනීමට ඔවුහු මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන්නට සූදානම්ව සිටියහ.

ඒ අනුව සුමාලි කියන පරිදි මෙම පුහුණුකරු යටතේ පුහුණු වීම සඳුනිට එනම් සිය වැඩිමහල් දියණියට අනතුරුදායක වී තිබුණි. ඒ අනතුරුදායක බව වැලැක්වීම පසෙක තබා ඒ අනතුරුදායක බව දිගින් දිගටම පවත්වාගෙන යමින් ඇගේ පාසල පාර්ශ්වයෙන්ද කටයුතු කැරිණි. මවගේ පැමිණිලි කිරීමෙන් පසු පුහුණුකරුගෙන් සඳුනිට එල්ලවන්නේ පලිගැනීම්ය. ඇගේ මව කියන පරිදි වරෙක ඇගේ දියණිය පුහුණු වන විට ඇගේ ඔරුව ඇය සමඟම දියට පෙරලා දැමිණි. ඇතැම් අවස්ථාවල ඇය පුහුණු වීම් වලට පැමිණි විට ඇය රස්තියාදු කර නැවත යැවීමට කටයුතු කැරිණි. තවත් විටක සඳුනිට තරඟ ලබා දීමෙන් වැළකිණි. මෙවැනි අකටයුතුකම් සිදුවන තැන සුමාලි සිය දියණිය පාසලේ ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් ඉවත් කර ගත්තාය.

එහෙත් සඳුනිට ඉන් ක්‍රීඩාවට තිබූ ඇල්ම ද උනන්දුව ද දුරු වූයේ නැත. ඒ නිසාම සඳුනිගේ මව සඳුනිව පෞද්ගලික පුහුණුකරුවකු යටතේ පුහුණු කරවීමට කටයුතු කළාය. සඳුනිගේ පාසලට එනම්, මියුසියස් විද්‍යාලයට මෙය දැනගන්නට ලැබෙන අතර එවිට සඳුනිගේ මවට පාසල මගින් දැනුම් දෙන්නේ ඇයගේ එම පුහුණු වීම් නවතා දමන ලෙසය.

‘ඉස්කෝලෙ උගන්නන ටීචර් හොඳ නැත්තං ටියුෂන් පංති යන්ඩ පුලුවන්නෙ, ඇයි කෝච් හොඳ නැත්තන් වෙන තැනක ප්‍රැක්ටිස් යන්ඩ බැරි.’ සුමාලි ප්‍රශ්න කරන්නීය. ‘මම ඉස්කෝලෙට කීව, මගේ දුවට ඉස්කෝලෙ කෝච් ප්‍රැක්ටිස් කරවන්ඩ බෑ කියනව, ඒක හින්දයි මම එයාව ක්ලබ් එකකට දැම්මෙ කියල.’

මියුසියස් විද්‍යාලයට සිසුවියන් අමතර පංති යැවීම පිළිබඳව ගැටලුවක් ඇත්නම් ඒ ගැටලුවට සිසුවියන්ට හෝ සිසුවියන්ගේ මාපියන්ට තර්ජනය කර විසඳුම් සෙවීම විහිලු සහගතය. ඔවුනට ගැටලුවක් ඇත්නම් තමන්ගේ සේවාව ගුණාත්මක කර ඊට පිළියමක් යෙදවිය හැකිය. අපට පැහැදිලි වන කාරණාව අනුව මෙහි ඇත්තේ පෞද්ගලික පංති යාම පිළිබඳ ගැටලුවක් නොව තමන්ගේ හම්පුතකුගේ හෙන්චයියකුට උඩින් යාම පිළිබඳ පෞද්ගලික අවුලකි.

අම්මාගේ කතාව

මේ සිදුවීම්වලින් අනතුරුව ඇගේත් ඇගේ දියණියන්ගේත් ජීවිත පිරී ඇත්තේ දුක්ඛ දෝමනස්සයන්ගෙන්ය. ‘මට නීතිඥයෙක් කීව්වා ඔයා ඔය දේ නවත්තන්ඩ. නැත්තන් ඔයාට වෙන්නෙත් තාජුඩීන්ට වෙච්ච දේ තමයි කියල. ඊට පස්සෙ මම ඉස්කෝලෙ ඒ ගැන කතා කරන්ඩ ගියෙ නෑ. දුව එලියෙ ප්‍රැක්ටිස් යවල පාඩුවේ හිටිය. මොකද මම මගෙ දුවල දෙන්න වෙනුවෙන් ඉන්ඩ ඕනෙ.’ සුමාලි කියන්නේ සුසුමක් හෙළමිනි.
තාජුඩීන්ලා මරා දැමුවේ ද සුදු වෑන් ගෙනාවේ ද මරණ බිය වැපුරුවේ ද එදා ආණ්ඩු කළ රාජපක්ෂලාය. ඒ රාජපක්ෂ ඌෂ්ණය වැදී කුලප්පු වූ මී ගවයෝ හැසිරුනේ ද රට උන්ට ලියාදුන් ගානටය. මේ සුමාලිලා විඳින්නේ ද ඒ අසික්කිත දේශපාලනයේ අතුරුඵලය. සුසුම් වී ගලන්නේ රාජපක්ෂලා පැතිරවූ කෲරත්වයේ වේදනාවයි. රාජපක්ෂලා එලවා දමා ගෙන ආ යහපාලන රජය යටතේද සුමාලිලාට රාජපක්ෂලා සිදුකළ තුවාල වල වේදනාව විඳින්නට සිදුවීම කනගාටුදායකය.

කෙසේ හෝ පාසලේ දැනුම් දීම මත, සඳුනිගේ පුහුණු වීම් නවතා නොදමන තැන පාසල ක්‍රියාකළ ආකාරය සුමාලි විස්තර කරන්නේ මෙසේය.
‘අපි දුවගෙ ප්‍රැක්ටිස් නැවැත්තුවෙ නැති වුණහම, ඉස්කෝලෙ දුවගෙන් පලි ගන්ඩ පටන් ගත්ත. මගෙ ලොකු දුව සාමාන්‍ය පෙළින් වෙන ඉස්කෝලෙකට යනකොට එයාට ක්‍රීඩා කළා කියලවත් සහතිකයක් දුන්නෙ නෑ. මගෙ දුව තරඟ නැතුව අවුරුදු ගානක් තනියම ප්‍රැක්ටිස් කළා. අන්තිමට එයා වෙන ඉස්කෝලෙකට ගිහිල්ල එයාගෙ ඉන්ටවිව් එකේදි ටීචර් කෙනෙක් කීවා අයියෝ පුතා ඔයා පොත් පාඩම් කරල විතරනෙ තියෙන්නෙ, ඔයා සෙල්ලම් කළේ නැද්ද කියල. එවෙලෙ දුව මගෙ මූණ දිහා බැලුව. මට පුලුවන් වුණේ කමක් නෑ පුතේ කියල ඔලුව හොලවන්ඩ විතරයි.’ ඈ කතාව නවතා මදක් විඩා හරියි. ඇගේ පිළිකා තත්ත්වය කතා කරවීම පවා ඈ වෙහෙසට පත් කරන්නක් බවට පත්කර ඇත.

‘ලොකු දුව ඉස්කෝලෙට බාර දෙන දවසෙ තමයි මගෙ පිළිකාවට ඔපරේෂන් එක කරන්ඩ තිබුණෙ. මම එදාට අඳින්ඩ සාරියකුත් අරගෙන තිබුණෙ.’ දියත උයනේ සිටින ඈ දියවන්නාවේ නොපෙනෙන ඉම දෙස බලාගෙන කතා කරයි.

මේ සිදුවීම්වලින් පාසල සුමාලි හා වෛර බඳින්නට පටන් ගනී. ඒ ඈ සේවය කළ මියුසියස් විද්‍යාලයේම ඇගේ අංශ බාර ගුරුවරියගේ මූලිකත්වයෙනි. ‘මට පිළිකාවක් කියල දැනගත්තට පස්සෙ ඉස්කෝලෙ ටීචර්ස්ල එකතු වෙලා එයාලගෙ තියන අරමුදලකින් මට සල්ලි ටිකක් දුන්නා. ඒ කාලෙ වෙද්දි ඇවිල්ල හිටපු ප්‍රින්සිපල් අලුත් කෙනෙක්. එයා ඔක්කොම බලල මට වැඩ ටික කරල දුන්න. හැබැයි මට ටීචර්ස්ලා එකතු වෙලා සල්ලි දෙනකන් ඒ ගැන මගෙ අංශබාර මිස් දැනගෙන හිටියෙ නෑ. එයා අන්තිමට මගෙ ඔපරේෂන් එක කරල මම හොස්පිටල් එකේ ඇඳේ කතා කරගන්ඩ බැරුව ඉද්දි මට කෝල් කරල කීවා තමුසෙ ආයෙ එන්ඩ හිතන්ඩ එපා කියල. මට කතා කරන්ඩ බෑ. මම අඬනව. අම්ම තමයි එතකොට ෆෝන් එක කට් කරල පැත්තකින් තිබ්බෙ.’ කෙසේ වෙතත් මේ වන විට සඳුනි එනම්, සුමාලිගේ වැඩිමහල් දියණිය මියුසියස් විද්‍යාලයෙන් ඉවත් වී තිබූ අතර ඒ වන විට පාසලේ ඇගේ නැගණිය, පුංචි අපේක්ෂා ඉගෙන ගනිමින් සිටියාය.

සිය සැත්කමේ කටයුතු වලින් අනතුරුව සුමාලි පාසලට පැමිණෙන අතර ඉන්පසුව සිදුවූ දේ ඈ පවසන්නේ මෙසේය. ‘මට කාලසටහනක් දුන්නෙ නෑ. නිකන් පඩියක් ගන්ඩ බැරි නිසා මම ගිහිල්ල අනිත් ටීචර්ස්ලට උදව් කළා. පස්සෙ මට අංශභාර මිස් එක දෙක පන්ති දුන්න. එක දෙක පන්ති කියන්නෙ හොඳටම කෑගහන්ඩ ඕනෙ පන්ති. හැබැයි මගෙ ඔපරේෂන් එකත් එක්ක මට කෑ ගහන්ඩ බෑ. හැබැයි මම පුලුවන් විදිහට කළා. මම ළමයි එක්ක සින්දු කිව්වා. කතන්දර කිව්වා. ළමයි මට ආදරෙයි’ ඇය කතාව මදකට නවතා සිය අත් බෑගය අදින්නට පටන් ගනී. ටිකකින් ඒ තුළ තිබූ කුඩා සටහන් පොතක් එළියට ගන්නා ඇය එය පෙරළීමට පන් ගනී. ‘මේ බලන්ඩ’ ඈ අප වෙත එක් පිටුවක් පායි. එහි ඇත්තේ කුඩා දරුවකු අඳින ලද චිත්‍රයකි. ඒ චිත්‍රය කපා සටහන් පොතේ අලවා ඇත. එය සාරියක් හැඳගත් ගුරුවරියක උගන්වන චිත්‍රයකි. ‘මේ මම දවසක් පන්තියෙ සින්දුවක් කියනකොට ළමයෙක් මට ඇඳල දුන්න චිත්‍රයක්.’ ඈ කියන්නීය. අප නැවත හිස ඔසවා ඈ දෙස බැලුවෙමු. ඇයගේ දෑස් කඳුලින් පිරී තිබුණි. නැවතත් අප අතර නිහැඬියාවකි. මේ පිළිසඳරේ බොහෝ තැන් පිරී ඇත්තේ නිහැඬියාවලිනි.

‘අන්තිමට මෙයාල මට ටොයිලට් එකටවත් යන්ඩ දුන්නෙ නෑ. ටොයිලට් එක කැඩිල කියනව, ලොක් කරල කියනව. මට දවසට කැල්සියම් මිලි ග්‍රෑම් හයදාහක් ගන්ඩ ඕනෙ. ඒ ගන්න කැල්සියම් හින්ද මට ගොඩක් වතුර බොන්ඩ ඕනෙ. ඒ වතුර බොනකොට මට ගොඩක් වතාවක් වැසිකිළි යන්ඩ වෙනව. එතකොට මම තට්ටු පහක් නැගගෙන ජිම් එකේ ටොයිලට් එකට යන්ඩ ඕනෙ. අන්තිමට මේගොල්ලො මට ඉස්කෝලෙ එන එක එපා කෙරෙව්ව. සැරයක් ඉස්කෝලෙ මිස් කෙනෙක් අපේ අම්මට කෝල් කරල කියල තියනව මම වෙන මිසිස්සු එක්ක යනව කියල. එතකොටත් මම මහරගම පිළිකා රෝහලට ගිහින් හිටියෙ. මට එතකොට ඔපරේෂන් වලට සල්ලි දුන්නෙ අම්ම. ඒ ගොල්ලො හිතන්ඩ ඇති එහෙම කරල මගෙ ඔපරේෂන් එකට අම්ම සල්ලි දෙන එක නවත්තන්ඩ’ ඈ කියාගෙන යන්නීය.
අවසානයේ පල නොකියා පළා බෙදනා තැන සුමාලි සිය රැකියාව අතහැර දමන්නීය. එවිට පාසලෙන් ලිපි එවමින් දැනුම් දෙන්නේ නැවත පාසල් පැමිණෙන ලෙසයි. එවිට ඈ ඇයට සිදුවූ හිංසාවන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටින මුත් එය ලැබෙන්නේ නැත. සුමාලිද රැකියාවට යන්නේ නැත. ඒ අනුව මියුසියස් විද්‍යාලය විසින් ඇගේ ගිවිසුම අවලංගු කර ඇය සේවයෙන් ඉවතට දමයි. ‘මට ආයෙ රස්සාව ඕනෙ නෑ, මට ආයෙ කිසිම රස්සාවක් ඕනෙ නෑ. මට ඕනෙ මගේ දරුවට හොඳට ඉගෙන ගන්ඩ පරිසරයක් හදල දෙන්ඩ’ ඈ තැවෙන්නේ ඇගේ පුංචි අපේක්ෂා ගැනය.
අම්මාට තුරුලු වෙමින් සිටි පුංචි අපේක්ෂා විටක දුව පනිමින් ද උයනේ ඇති වතුර මල් හා සෙල්ලම් කරමින් ද අපේ කතාවට කන් දී සිටියාය. සිය මව සංවේදී වන විට පුංචි අපේක්ෂාද සංවේදී වේ. ඈ එවිට ඉවත බලා ගනී.

අපේක්ෂාගේ කතාව

‘කොහොමද ඉස්කෝලෙ’ අප ඇගෙන් ඇසුවේ ඈ පැමිණ අප අසල අසුන් ගත් විටය. ‘මට ඒකටනන් යන්ඩ බෑ’ ඈ ක්ෂණයකින් කීවාය. අපේක්ෂාගේ ශිෂ්‍යත්වය දැන් අවසන්ය. එහෙත් පාසලෙන් ඇයට පැටවූ ඛේදවාචකය තවමත් අවසන් වී නැත.

‘මම ඉන්නෙ පන්තියෙ පිටිපස්සෙම මේසෙක. එතනට බෝඞ් එක පේන්නෙත් නෑ’ සිඟිත්තිය කියන්නීය.

‘ඔයා ටීචට කීවෙ නැද්ද?’ කීව එතකොට ටීචර් කීවා එහෙනන් තව කණ්ණාඩියක් දාගන්ඩ කියල. මම ඒක ඩොක්ටට කීවහම ඩොක්ට කීව එහෙම කණ්ණාඩි දෙකක් දාන්ඩ බෑ කියල’ ඈ එසේ කියා සිනහ වන්නීය. නැවතත් සිය මවට තුරුලු වන්නීය.

‘මටනන් ගෙදරට වෙලා ඉන්ඩ පුලුවන්. හැබැයි මේ දරුවට පුලුවන්ද ගෙදරට වෙලා ඉන්ඩ.’ සුමාලි ඒ අතර කියන්නීය. ‘මම දන්නව මට කොච්චර වදයක් දුන්නද කියල. එතකොට මේ ළමයට කොච්චර වදයක් දෙනව ඇද්ද?’

‘අපේ ඉස්කෝලෙ ඩස්බින් නෑ. ඒක හින්ද ටීචර්ල කෑම කොළ ඔක්කොම දාන්නෙ මගෙ මේසෙ අස්සට. ඒක නිසා එතන ගඳයි. මම ටීචර්ට කීව ටීච මට මෙතන ඉන්ඩ බෑ ගඳයි කියල. එතකොට ටීච කිව්වා එහෙනන් අනෙක් ළමයි ඉන්න තැනට එන්ඩ කියල. එතකොට ළමයි කීව එපා , ඔයා අපි ළඟට එන්ඩ එපා, ඔයාට අපි ළඟට එන්ඩ බෑ කියල. ඔයාට මෙතන ඉන්ඩ දෙන්ඩ එපා කියල තියෙන්නෙ කියල ළමයි මට බැන්න. ඊට පස්සෙ මිස් කීව ඒ කට්ටිය ඉන්ඩ දෙන්නෙ නැත්තන් පිටි පස්සට වෙලා ඉන්ඩ කියල.’ පුංචි අපේක්ෂාගේ කතාවේ නිමක් නොවුවාය.

‘ළමයි කියනව මිස් කියල තියනවලු මාව ඉස්සරහට ගන්ඩ එපා කියල. මට ඉස්සර යාලුවො ගොඩක් හිටිය. දැන් ඒ අය කතා කරන්නෙ නෑ. ටීචලත් රවනව.’

‘දැන්නම් ඉතින් ගානක් නෑ නෙ විභාගෙ ඉවරයි නේ?’ අප අපේක්ෂාගෙන් ඇසුවෙමු. ‘මට ඒ ඉස්කෝලෙටනන් ආය යන්ඩ බෑ’ ඈ නැවතත් මුමුනන්නීය.

ගුරුවරුන්ට කියන්නේ ගුරු මෑණිවරුන්, පියවරුන් යනුවෙනි. එහෙත් මොවුහු එසේ නොවෙති. මොවුන්ට ඇති මෑණි කමක් ද පිය කමක් ද නැත. ළමයින් ගේ සිත් කුඩා අවදියේදීම මේ ලෙස දූෂණය කරන්නේ කෙසේ ද? කියන්නේ වෛරය, ක්‍රෝධය කුඩා දරුවන් තුළ නැති බවයි. එහෙත් ගුරුවරුන් කියා ගන්නා මේ පිරිස කරන්නේ ඒ සිතුවිලි දරුවන් තුළ රෝපණය කිරීම නොවේද?.

‘මම කොහොමද මේ ළමය ඉස්කෝලෙ යවල ගෙදර ඉන්නෙ. ළමය ඉස්කෝලෙ ගිහින් ගෙදර එනකන් මම පිච්චි පිච්චි ඉන්නෙ. අපි සල්ලිත් දීල ළමයින්ව ඉස්කෝලෙට දාන්නෙ. පෞද්ගලික වුණා කියල ළමයින්ට මෙහෙම සලකන්ඩ පුලුවන්ද?’ සුමාලි අපෙන් අසන්නීය.

‘මම මේ ගැන පැමිණිලි කරන්ඩ පොලීසියට ගියා, පොලීසිය පැමිණිල්ල බාරගත්තෙ නෑ. ඊට පස්සෙ මම හැම තැනකටම ලිව්වා. ඒ තැන් වලින් මට උත්තරයක් ආවෙ මානව හිමිකම් එකෙන් විතරයි. ඒකෙත් කියන්නෙ මේකට අපට මැදිහත් වෙන්ඩ බෑ, ඔයාල කතා කරල විසඳුමක් කරගන්ඩ කියල. ඊට පස්සෙ දවසක කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නීතිඥවරයා මගෙන් ඇහුව ළමය දැන් ඉස්කෝලෙ යන්නෙ නෑ නේද කියල. මම කීව නෑ කියල. එතකොට එයා කීව එහෙනන් ප්‍රශ්නයක් නෑනෙ. තව ටිකක් ඉවසන්ඩ කියල. ඔයාට ළමයට ගෙදර ඉඳන් උගන්නන්ඩ පුලුවන්නෙ. ටිකක් ඉවසල බලන්ඩකො කීව. ’
රටේ ළමාරක්ෂක අධිකාරියක්, මානව හිමිකම් කොමිසමක් පිහිටුවා ඇත්තේ එසේ ක්‍රියාකිරීම සඳහා ද?. එසේ නම් ඊට පඹයන් දෙතුන් දෙනෙකු ගෙනගොස් දමා රටේ මුදල් ටිකක් හෝ ඉතිරි කරගත හැකිය. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ විට මෙය ඔවුන් සමඟ කතාබහ කර විසඳාගන්නා ලෙස පැවසීම කෙතරම් අයුක්ති සහගතද? එසේ විසඳා ගැනීමට හැකියාවක් ඇත්නම් මානවහිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අවශ්‍ය නොවන බව එහි නිලධාරින්ට තේරෙන්නේ නැති ද? මානව හිමිකම් කොමිෂන් සභාවට ඇස් ඇරෙන්නට මෙම සිදුවීම මාධ්‍ය වල පළවිය යුතුමද.

නීති නිලධාරියාට අනුව අම්මා ගුරුවරයෙක් වූ පමණනින් සිය දරුවාට ගෙදර තබා ඉගැන්විය හැකිනම් ගුරුවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කර රජයේ වියදමින් ඉගැන්වීම අර්ථ විරහිතය.
සුමාලි හිරු බැස යන දෙස බලා සිටින්නේ බැසගිය හිරු නැවත කවදා හෝ ඔවුන්ගේ ලොවට පායන තුරු වන්නට ඇත. ඇගේ ඒ අපේක්ෂාව දළු ලන්නට ඇයට උපකාර අවශ්‍යය. ඒ ඇයගේ දියණියට හොඳින් ඉගනීමට හැකි පාසලකි. ඇය අද ඇයට රැකියාවක් හෝ මුදල් ඉල්ලන්නේ නැත. ඇයට මුදල් ඇගේ මිතුරු මිතුරියෝ එකතු කර ලබා දෙති. ඇයට අවශ්‍ය ඇගේ දියණිය හොඳින් ඉගෙන ගන්නවා දැකීමටය. ‘මට තව අවුරුදු දහයක් ඉන්ඩ තිබ්බොත් ඇති. එතකොට මෙයාට තේරෙන වයස. ලොකු දුවටත් මොනව හරි කරගන්ඩ පුලුවන්. මට මුකුත් එපා, මගෙ දරුවට ඉගෙන ගන්ඩ දෙන්ඩ’ ඒ සුමාලි අපට අවසානයේ පැවසූ වදන්ය.

(අපේක්ෂා සහ සඳුනි යනු ඔවුන්ගේ සැබෑ නම් නොවේ.)

අපේ පාසලේ එහෙම දෙයක් වෙන්ඩ බෑ
නෙළුම් සේනාධීර, විදුහල්පතිනී- කොළඹ මියුසියස් විද්‍යාලය.

මේ ගැන අදාල පාර්ශ්වය නඩු මඟට ගිහිල්ල තියන හින්ද මට එච්.ආර්. එකෙන් අහන්නෙ නැතුව ප්‍රකාශයක් දෙන්ඩ බෑ. හැබැයි ඔය වගේ සිදුවීමක් කොහෙත්ම අපේ පාසලේ වෙන්ඩ බෑ. එහෙම වෙන්නෙත් නෑ.