කොලුවා BOY

ප්‍රතිමූර්ති 2
එරික් ඉලයප්ආරච්චි

රොමෑන්ටික් කිවියර විලියම් වර්ඞ්ස්වර්ත් පැවසුවේ දරුවා මිනිසාගේ පියා බවය. එනමුත් මිනිස් ශිෂ්ටාචාරය තුළ දරුවාගේ ඉතිහාසය දීර්ඝ එකක් නොවීම අද විශ්වාස කළ නොහැකි කාරණයකි. ජීව විද්‍යාත්මක වශයෙන් අලුත බිහි වුණු සහ තවම නොවැඩුණු කුඩා මිනිස් ප්‍රාණියකු ඉතිහාසය තුළ සිටිය ද ඒ තැනැත්තාට අනන්‍ය ළමා සමාජ තත්වයක් ලැබී නොතිබුණු අතර උසින්, බරින්, ශක්තියෙන් අඩු කුඩා මිනිසෙක් පමණක් විය. ළමා සමාජභාවය නම් වරප්‍රසාදය ඔහුට හරිහැටි ලැබුණේ මිනිසා පිළිබද පැරණි, ගතානුගතික, ආධානග්‍රාහී, වැඩවසම් හා රදල අදහසට පහර පිට පහර දී ඉතිහාසයේ වළපල්ලට යවා, රාජාණ්ඩු සහිත ස්වාධිපති පාලනය අවසන් කරමින් ප්‍රංශ විප්ලවයට මග හෙළි කරන ලද 18 වෙනි ශතවර්ෂයේ මහා ප්‍රබුද්ධතා ව්‍යාපාරය නිසා ය.

ළමයා ලෙස හඳුනා නොගත් ඒ පුංචි මිනිසා සහ ලිලිපුටයා හරකබාන, ගේදොර, ඉඩකඩම් වැනි ජෛව සන්තකයෙහි හා සංස්කෘතික දේපළෙහි අයිතිකාරයා බව කියන මිනිස් යෝධයා දෙස බලා සිටින්නට ඇත. නොමැරී රැකුණ හොත් සොබාදහම විසින් තමා ද යම් දිනක එවැන්නකු බවට පත් කරනු ලබන්නේ ය බලාපොරොත්තුව පමණි ඔහුට තිබුණේ. සැබැවින්ම ළමා විය ලෙස වෙන් කර ගෙන ජීවිතය ගත කළ හැකි ආයු කාලයක් ද පැරණි මිනිසාට තිබුණේ නැත. අතීතයේ පැවති ස්වර්ණමය යුගයන් පිළිබඳව දෙසා බාන කෙප්පයෙහි ඇත්තේ පුරාණෝක්තිමය අලංකාරයක් විනා ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක හෝ සත්‍යයක් නොවේ. පැරණි මිනිසා විසින් භුක්ති විඳිනු ලැබුවේ රෝග, මහා වසංගත, යුද්ධ, සාගත, අස්වනු පාළුවීම්, ප්‍රාථමික නිෂ්පාදනය වැනි කාරණා නිසා සීමා වුණු කුඩා ආර්ථික අතිරික්තයක් සහිත කෙටි ආයු අපේක්ෂාවකි. මිනිසාට බිළිඳු විය-ළමා විය -නව යොවුන් විය-යොවුන් විය-මැදි විය-මහලු විය යනාදි වශයෙන් කායික මානසික අනන්‍යතා සහිත කාල කලාපවලට බෙදා ගත හැකි තරමේ දීර්ඝ ආයු කාලයක් ලැබුණේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත්, සමාජ-ආර්ථික නිෂ්පාදනයේ දියුණුවත් නිසා ය.
මීටර් 5 ක් හෙවත් අඩි 16 ක් තරම් උසැති මේ ළමා යෝධයාට දෙමහලක් තරම් උස නිවසක් වූවමනා වේ. ඔහුට වුවමනා පාසලේ, මේසයේ, බංකුවේ, ගල්ලෑල්ලේ, ඇක්සැයිස් පොතේ ප්‍රමාණය ද ඒ අනුව තේරුම් ගත මනාය. ජංගි කොටය වෙනුවට කච්චියක රෙදිවලින් මැසූ ජංගියක් ඔහුට වුවමනා වේ. සිලිකෝන්, පොලියෙස්ටර් රෙසින් හා තෙල් සායම් පාවිච්චි කර 2001 වසරේ දී නිර්මාණය කරන ලද මේ ළමා ප්‍රතිමාව අද වන විට ලොව පුරා ප්‍රදර්ශනය කර ඇත. එය ප්‍රදර්ශනය කළ කලාගාර, ප්‍රදර්ශනාගාර, කෞතුකාගාර ආදිය වෙත ඇදී ආ ප්‍රේක්ෂක පිරිස නූතන ප්‍රදර්ශන කලා ඉතිහාසයේ වාර්තාගත නැරඹීම් බව සඳහන් කළ මනාය. එය යම් තැනක පුරාණ ඊජීප්තු මමි ප්‍රදර්ශනය කළ හොත් ආකර්ෂණය වන ප්‍රමාණයට සමාන වේ.

එහෙයින් මේ අසමාන මූර්තිය ජන සාගරයකින් වටවුණු ළමා ජනරජයකි. ළමයාගේ මහේශාක්‍යභාවය සහ ළාමක බාලක කායික මානසික ක්‍රියාකාරිත්වයෙන් සුරතාන්තය ලබන වත්මන් වැඩිහිටි ලෝකය අතර මේ මූර්තිය නිසැක ලෙස දෝලනය වේ. එමෙන්ම ළමා ලෝකයේ අවිහිංසකභාවය සහ ඊනියා විනෝද ප්‍රාසාංගික කර්මාන්ත ලෝකයේ අමන අළුගුත්තරභාවය අතර මේ මූර්තිය දෝලනය වේ. එහෙයින් මේ මූර්ති රාජයා වර්තමාන විනෝදකරණයට, සුරතලීකරණයට, රූපවාහිනීකරණයට, සංස්කෘතික වෙළෙඳ ව්‍යාපාරවාදයට හා බොළඳ බාලකවාදයට විකල්පයක් නැති බව නිවේදනය කිරීමේ දෘෂ්ටිවාදයට අභියෝග කරන අභීත කලා නිර්මාණයකි. එම දෘෂ්ටිවාදය අද සවිශක්තිමත් කරන නූතන ආගම්වාදයට, මූලධර්මවාදයට හා සුඛ-සන්තෘෂ්ටි කර්මාන්තයට (Pleasure Industry) ද ඉන් අභියෝගයක් එල්ල කෙරේ.
මේ මූර්තියේ නිර්මාතෘ රොන් මුවෙක් (උපත. 1958) ලෞකික ක්‍රමයට වැඩ කරන ආගමික කලාකරුවකු ලෙස සැලකේ. සමහර විට මෙතරම් විශාල ප්‍රමාණයේ නිර්මාණයක් ඔහු බිහි කරන්නේ එලෙස යථොක්ත මතවාදය රජ කරන නින්දිත කලා කලාප හා අමන ජූරි සභා මණ්ඩල වෙත එය රැගෙන යාමෙන් බේරා ගන්නට විය හැකි ය. ඔහුගේ මූර්ති එක්කෝ අතිවිශාලය. නැති නම් ඉතාමත් කුඩා ය. ඒවා ජනමාධ්‍යයේ ප්‍රියතම අනුපාතයන් ලෙස අද ජනප්‍රිය වී ඇති මෙඝා ප්‍රමාණයට වඩා අතිදැවැන්ත ය. ලොලිටා මාධ්‍යයේ බටු ප්‍රමාණයට වඩා ඉතා කුඩා ය. විශාල ප්‍රමාණයේ කලාව හෙවත් ඩබල් එක්ස් එල් කලාව (XXL ART) කෘතිය සම්පාදනය කළ ඉලී බව්ෂෙරන් හා ඩියනි රූටෙක්ස් දෙදෙනාගේ දැක්ම ද අප නිගමනයට අනුබල දෙයි. “මුවෙක්ගේ මිනිස් රූප එදිනෙදා ඇසට හුරු අතිසාමාන්‍ය ඒවාය. ඒවා මීඩියාව විසින් ලොකු කර ප්‍රක්ෂේපණය කරනු ලබන රූපවලින් ඉතාමත් දුරස්ත ය. ඔහුගේ නිර්මාණ මගින් මනුෂ්‍යයා තම සකල සියලු කායික දෝෂ සහිතව, ලජ්ජාවෙන් හා වෙස් වලා ගැනීමෙන් තොරව නිරූපණය වේ. ඔහුගේ මනුෂ්‍යයා වයසට යන්නෙකි. ඇඟපත ජොල් ය. ශිෂ්ට බවක් නැත. සුදුමැලි සිරුරෙන් හෙබි ය…ඔහු සතු කිසිවක් නිර්මාණ ශිල්පියා සතු ප්‍රතිභාවෙන් ගැලවෙන්නේ නැත…රොන් මුවෙක් වූ කලී මිනිස් මාංශය ඊනියා සකල සියලු අමන අහංකාර සංතෘප්තයන්ගෙන් තොරව ඉදිරිපත් කරන කලාකරුවෙකි.” මේ කාරණය අතින් ඔහු වර්තමාන චිත්‍ර කලාවේ ලූෂන් ෆ්‍රොයිඞ්ට හා ෆ්‍රැන්සිස් බේකන්ට සමාන වේ.

ඕස්ටේ‍රලියාවේ මෙල්බර්න්හි උපත ලද ජර්මානුවකු වූ රොන් මුවෙක් රූකඩ හා බෝනික්කන් සාදන පවුලකින් පැවත එන්නෙකි. සාමාන්‍ය දෙයෙහි ගැබ් වූ අසාමාන්‍යය හෙවත් සාමාන්‍යයෙහි අද්භූතත්වය ග්‍රහණය කර ගැනීම අතින් ඔහු ෆ්‍රොයිඩියානු හා ලැකානියානු මනෝවිශ්ලේෂණ මගින් ගැඹුරු කරන ලද නූතන අලංකාරොක්තීන් පළ කරමින් සමාජය හා එහි ප්‍රතිරූප පිළිබඳ රැඩිකල් කියවීමක යෙදේ. ඔහුගේ කලාත්මක අනුභූතිය කූටප්‍රාප්තිය කරා ගමන් කරන්නේ හොඳ-නරක, ලස්සන-අවලස්සන, ආශාව-නිරාශාව, ආදරය-වෛරය යනාදි වශයෙන් සුලබ වෙනසකම් දකින අනුභූතික ලෝකය අතික්‍රමණය කිරීමෙනි. ඒ සාරගර්භ කලාත්මක අනුභූතිය සාමාන්‍ය ජීවිතයේ පිළිගත් අනුභූතික ප්‍රමිති, ආකෘති හා අණපැනවීම් ඉක්මවා යමින් නිර්වචනය කළ නොහැකි මානසිකයක් කරා නරඹන්නා රැගෙන යයි. එලෙසින් නරඹන්නා කැදවා ගෙන යන්නේ අනතුරුදායක හා තැතිගන්වන හැඟීම් ක්ෂේත්‍රයක් වෙතට ය. භාව මණ්ඩලයේ හා ඥාන මණ්ඩලයේ සැඟවුණු, එනමුත් දැන හෝ නොදැන නිතිපතා අත්දකින්නා වූ මානසික අත්දැකීමක් වෙතටය. අශූචි ගොඩක් කේක් ගෙඩියක් ලෙස පැවතීම, රූප ලාවණ්‍ය ආලේපනයක් ඇසිඞ් ගැසීමක් වීම, වාඩි වී සිටින පුටුව මහා ප්‍රපාතයකින් පහතට වැටීමක් ලෙස පවතින බව අවබෝධ වීම, තමා ලෙස හෝ අනෙකා ලෙස හෝ සැබැවින් ජීවත්වන්නේ කුරුමිනියකු වැනි සතෙකු බව තේරුම් යාම, විශාල ගොඩනැගිල්ලක් හෝ පාලමක් හෝ නැවතීමක් නැතිව සදාකාලිකව නොකඩවාම කඩා වැටෙමින් පැවතීම වැනි අභුත අත්දැකීමක් ඔස්සේ එය අවබෝධ කර ගත හැකිය.

එනයින් මේ මූර්තිය අනුරාගයේ කෙළවරට අප රැගෙන යයි. එනමුත් මාතෘකාවක්, නාම පාඨයක් වුවමනා නැති තරමට මේ රූපය සාමාන්‍ය එකකි. අප මූර්ති ශිල්පියාණෝ මෙසේ වදාරති. “මම සැම විටම කියන්නේ අනෙකකුගේ කථාවයි. ඡායාරූපය මගින් යුක්තිය ඉටු නොවුණු යම් දෙයක් මට කියන්නට තිබේ…මතුපිට වෙනුවෙන් මම බොහෝ කාලයක් වැය කරන නමුත් මට ග්‍රහණය කර ගැනීමට වුවමනා ඇතුළාන්තයේ ජීවිතයයි.”
මේ කොලු පැංචා ඔහු නැරඹීමට පැමිණෙන්නන් අරා ගිරි ශිඛරයක් සේ නැගී සිටිතත් ඔහුගේ මුහුණේ ඇත්තේ ළතැවිල්ලකි. හාත්පස ලෝකය ගැන විශ්වාසයක් දෙඇසේ නැත. තමා කොලුවකු බවට පත් කළ ලෝකය පිළිබඳවද ඔහු තුළ ඇත්තේ සැකයකි. තමාගේ විශාලත්වය ගැන ද, තමා තුළ වෙසෙන්නා ජීවත් කරවීමට තමාට ඇති හැකියාව ගැන ද, අනෙකාගේ බැල්ම තුළ තමා නිර්ණය වන ස්වරූපය ගැන ද ඔහු සැක කරයි. සියල්ලට වඩා ඔහු ළතවන්නේ හා බිය වන්නේ තමාගේ වැඩිහිටි සතුරා ලෙස හාත්පස සමාජය තමා තුළට රිංගා සැඟවී සිටීම ගැන විය හැකි ය. දුක් විඳින්නන්ගේ විශාල සමාජ ප්‍රතිරූප තුළ දී දුකේ හා පීඩාවේ චූදිතයා වූ පංති සමාජය ඇලිබයි(alibi) නම් නීති ශාස්ත්‍රීය උපායෙන් සැඟවී සිටින අයුරු ප්‍රංශ සංඥාර්ථවේදී රෝලන්ඞ් බාත පැහැදිලි කරයි. ළමා ප්‍රතිරූප තුළ ද ඒ සතුරා එපරිදි සැඟවී සිටින බව කොල්ලා දනියි. එය දරුවා මිනිසාගේ පියා බව විශ්වාස කළ රොමෑන්ටික විලියම් වර්ඞ්ස්වර්ත්ගේ විශ්වාසයේ පූර්ණ විපරීතයකි. අද දාරක රූපය කෙළි බඩු, ඖෂධ, ඇඳුම් පැළඳුම්, ළමා චිත්‍රපට හා රියලිටි ආදිය නිපදවන්නන්ට ඉතා ප්‍රිය උපදවන ආකාරයේ රූපයක් වී ඇත.