රාවය

ආසියානු පරාජයෙන් මුස්තාපා හිරිවැටේ

ආසියානු පරාජයෙන් මුස්තාපා හිරිවැටේ

ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රීඩාව අත්‍යවශ්‍ය මාධ්‍යයක් නොවන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කාලයක සිට ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමමින් සිටී. සමස්ත ක්‍රීඩා විනාශ කිරීම වටා විවිධ කතා, මතවාද, සංකල්ප ප්‍රබන්ධ ගොඩවෙමින් පවතී. ඒවා සීමිත පිරිසකට කොටුවීම, අලුත් දැනුම, තාක්ෂණය අන්තර්ගත නොවීම, යල්පැනගිය නිලධාරීන්, ක්‍රීඩා ඇමතිවරු හරවත් තීන්දු නොගැනීම, කොමිෂන් වාර්තා ක්‍රියාවට නොනැගීම මෙන්ම දේශපාලනික මැදිහත්වීම් යනාදී විවිධ කතාබහ සමාජය තුළ යම් කලක අඩුවැඩි වශයෙන් දෝලනය විය. මේ තත්ත්වය අද වනවිට ලිහිල් වී ඇත්තේ අද මෙරට සමාජය ක්‍රීඩාවේ ලබන පරාජයන් සාමාන්‍යකරණය කරගෙන ඇති බැවිනි. ජාත්‍යන්තර තරගාවලියක් අන්තයටම පරාජය වී ආවද? එකදු පදක්කමක් නොමැතිව හිස් අතින් ආවද? රටේ ජනතාව අතර කිසිදු කතාබහක් දොසක්, ආරෝවක් නැත. සැවොම කිසිවක් නොවූ ගාණට සිටිති. පරාජයේදී කිසිවකු අමුතු කුලප්පුවක් ඇතිකර ගත යුතු නැත. එහෙත් පරාජය යනු නැවත ගොඩනැගීමට ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලම කරගත යුතුය. ලංකාවේ සිදුනොවන්නේම එයමය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරී ඒකරාශිය 285ක් වේ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙන් කළ මුදල රුපියල් මිලියන 25කි. ඔලිම්පික් කමිටුව එයට වෙන් කළ මුදල තවමත් ප්‍රසිද්ධ කර නැත. ඒවා කල් නොඇර ප්‍රසිද්ධ කළ යුතු බව අපි යෝජනා කරමු. මේ සියල්ල පැත්තකින් තැබුවද වැදගත් වනුයේ ශ්‍රී ලංකාවට එකම පදක්කමක් හෝ දිනන්නට නොහැකිවීමය. ආසියාවේ රටවල් 37ක් කුමන හෝ පදක්කමක් තම රටට ඉදිරියෙන් ලකුණු කරද්දී ලංකාවට ඒ අවස්ථාව අහිමි විය. ප්‍රශ්නය ලංකාව මෙලෙස හිස් අතින් ආ පළමු ආසියානු තරගාවලිය මෙය නොවීමය. 1982, 1986, 2010 යන තුන් වතාවද කිසිදු හිරිකිතයකින් තොරව මේ ලෙස හිස් අතින් ආහ. එසේ නම් වෙනසක් හොයන දැක්මක් ඇති රටක් නම් පළමු පියවර තබන්නේම 1982දීය. නැතහොත් 86දීය. මේ කාල දෙකම අමතක කළද 2010 සිට හෝ මේ වරද නැවත නොවන්නට අදිටන් කරගන්නවා නියතය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. මේ පරාජය සමග හෝ අමුතුවෙන් හැදෙතැයි සිතිය හැකිද? එයද මුලාවක් බව පෙනෙනුයේ ක්‍රීඩාව භාර ඇමතිවරයාම කරන ප්‍රකාශ නිසාය.

අප සලකා බැලිය යුත්තේ මෙතරම් කඩා වැටීමකින් පසු එන ශ්‍රී ලංකා ක්‍රීඩා අනාගතය ගැන ක්‍රීඩා ඇමති කියන දෑය. “ඉන්දුනීසියාවේදී නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනාගැනීමට අපොහොසත්වීම පිළිබඳව අවධානය යොමු කරන ක්‍රීඩා ඇමති ඊට දෙන පළමු විසඳුම නම් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය වඩාත් ඵලදායී තරගවලට පමණක් සීමා කිරීමය. එනම් ජයගත හැකියැයි උපකල්පනය කරන ක්‍රීඩාවලට පමණක් සහභාගි කරවීම මේ කතාවේ තේරුමයි. මේ තත්ත්වය මෙවර තරගාවලියට ආදේශ කළහොත් අප මෙම තරගාවලියට සහභාගි විය යුතුද? ජයග්‍රහණයන් පිළිබඳ උපකල්පනයන් කරනුයේ කෙසේද? තරගාවලියට පෙර කීදෙනෙක් නම් පදක්කම් කරලාගෙන සිටියෝද? කයිවාරු කොතෙක් තිබුණේද? මේවා අධ්‍යයනය කරනුයේ කෙසේද?
ඉන්දුනීසියාවට ක්‍රීඩා ඉසව් තිහක් සඳහා 285 දෙනකුගෙන් සමන්විත පිරිසක් යැවූහ. දැන් ඒ ගැන සලකා බලන විට ඉදිරියේදී මේ ඉසව් 30න් කොපමණ කපා දැමිය යුතුද?
ක්‍රිකට් අතඅරින කල පිට පිට තෙවරක්ම ලංකාවට කිසිදු පදක්කමක් දිනිය නොහැකි විය. එසේ නම් තෝරාගෙන යවනවාටත් වඩා නොයවාම සිටීම යහපත් නැද්ද? අපට අනුව නම් සාප්පු සවාරි යන නිලධාරීන් අඩු කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොපමණ සහභාගි කළද කම් නැති බවය. එවිට පරාජයන් කෙසේ වෙතත් ඔවුන් ජාත්‍යන්තර තරග අත්දැකීමක් හෝ ලබනු ඇත. එවිට පරාජය වුවද ඔහුගේ ජීවිත කාලයටම එය මතකයක් ලෙස වුව රැඳෙනු ඇත. ලෝකය ජයගත නොහැකි වුවත් ඒ අරමුණින් ලංකාව තුළ අප්‍රමාණ වෙහෙස වගුරවන ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන් තරග අත්දැකීමක් වුව ලැබීම පවක්ද? ක්‍රීඩා ඇමති කඩා වැටීමට පිළියම් සොයනුයේ සහභාගිත්වය අවම කිරීමෙන් නම් ඔහුගේ දැක්ම ගැන කවර කතාද? ලංකාවේ ජනපති, අගමැති රට සවාරියක් ගියද ඒ සමග රොත්ත බුරුත්තක් රට යති. එවිට ප්‍රශ්න නොකරන ඇමතිවරු වසර ගණනාවක් සිය ජීවිතයම ක්‍රීඩාවට කැප කළ අයකු රට යෑම ගැන ගණන් හිලව් හදති.

කෙසේ වෙතත් මේ ආදර්ශයේ පිහිටා ක්‍රීඩා ඇමැත්තා එළැඹෙන සාග් ක්‍රීඩා උළෙල සඳහා මෙම කප්පාදුව කිරීමට සූදානම්ය. ලබන වසරේ මාර්තු 9-18 දක්වා නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල විස්සයි – 20 ක්‍රිකට් ඉසව්ව ඇතුළු තරග ඉසව් 24කින් සමන්විතය. සාග් යනු ඉන්දියාව ප්‍රබලයා වන ලංකාව එයට අභියෝග කරන දෙවැනියා වන තරගාවලියය. කොටින්ම ලංකාව යහමින් පදක්කම් නෙළන තරගාවලියය. මෙයට සහභාගි වන පිරිස කප්පාදු කිරීමේ අරුත කුමක්ද?

ආසියානු තරගාවලියේ පරාජයෙන් පසු ක්‍රීඩා ඇමති අමුතු කතා කියමින් සිටී. “මුල ඉඳලම කණ්ඩායම වැඩි බව අපට තේරුණා. ඒත් ඔලිම්පික් කමිටුව වියදම් දරාගන්න පුළුවන් කියපු නිසා අපි ඒකට ඉඩ දුන්නා. දැන් අපි ඒකට තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙල ගුණාත්මක තත්ත්වයට වඩා පහළ එකක් වුණත් අපි එකම අවම කණ්ඩායමක් සහභාගි කරනවා. පදක්කම් ගැන විශ්වාසයක් නැති ක්‍රීඩා ඉසව්වල සහභාගිත්වය ඒ හින්දා සීමා කරන්න අපට සිද්ධ වෙනවා.”
දැන් ක්‍රීඩා ඇමති මුස්තාපා සිතනුයේ එකම වරද ගොඩක් පිරිස සහභාගි වීම බවය. එසේ නම් මෙවර විශාල පිරිසක් සහභාගි කරවූයේ ඇයි කියන පැනයට ඔහු දෙන පිළිතුර නම් ඔලිම්පික් කමිටුව මුදල් දැමීමට පොරොන්දු වූ නිසා බවය. ඕනෑම ජාත්‍යන්තර තරගයකට යන කණ්ඩායමට අවසාන අනුමැතිය දෙනුයේ ක්‍රීඩා ඇමතිය. එලෙස අනුමැතිය දෙන විට මේ යන පිරිස විශාල බව ඔහුගේ ඔළුගෙඩියට නොවැටහුණිද? ජාතික තේරීම් කමිටුව කියා ඉටිගෙඩියක් ඇත්තේ කුමකටද? දැන් ක්‍රීඩා ඇමති තොත්ත බබා වී ඇත. තරගාවලියට පෙර සැමට අනුමැතිය ලබාදී හිස් අතින් ආ කල ඔලිම්පික් කමිටුව කිව්වා ඒ නිසා යැව්වා වැනි ළාමක කතා කියන ජනාධිපති නීතිඥයකු බවට පත්වී ඇත.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී හිස් අතින් ආවා යැයි රටේ ප්‍රධානීන් වචනයක් බිනුවේද? පදක්කමක් රැගෙන ආ විට ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට කැඳවා ජෝගි නටන මේ අය මෙතරම් පසුබැසිීමකින් පසු එනවිට වචනයක් නොකියති. ඊට වගකිවයුතු පාර්ශ්ව ගැන ප්‍රශ්න නොකරති. නිවැරදි කරගත යුතු අංශ ගැන අවධානය නොදක්වති. ක්‍රීඩාව වැනි විෂයයක් රටටම බලපානමුත් මෙරටට එය අදාළ නොවේ.

ජනාධිපති, අගමැති මේ ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බරපතළව ප්‍රශ්න කළ යුතු වේ. ක්‍රීඩා අමාත්‍යාංශයද, ඇමතිවරයාද ගිය පිරිසේ දිග පළල හොයනු වෙනුවට ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික තේරීම් කමිටුව මෙන්ම අදාළ සංගම් ප්‍රධානීන්ම බරපතළව ප්‍රශ්න කළ යුතු වේ.

සෙසු රටවල් ඉදිරියට යමින් ලංකාව එකතැන පල්වීමත් අතර ඇත්තේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් බව වටහා ගත යුතුය. එනම් ක්‍රීඩාව ගැන නව දැනුමය. තරගය එක වුවත් රටවල් අනුගමනය කරන විධික්‍රම විවිධය. අද චීනය, ජපානය, දකුණු කොරියාව ඉදිරියෙන්ම සිටියද ඔවුන්ගේ ක්‍රීඩා රහස සොයා ගියහොත් එහි මුල් ඇමරිකාවෙන් හසුවිය හැකිය. අද තම රටවල විධික්‍රම වෙනුවට මුදල් වියදම් කොට පිටරට තාක්ෂණය, නව දැනුම ලබා ගනිති. එය අද ලෝකයාටම විවෘතය. එය අපටත් එසේමය. ඒ වෙනුවෙන් අප පිඹුරු සැකසිය යුතුය. ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ වෘත්තියම පුහුණුකාරකමය. එයට මිලක් ඇත. රට අදාළ නොවේ. ඒ මිලට ඔවුන්ගේ දැනුම ලබා දේ. ඔලිම්පික් ක්‍රීඩකයන් බිහිකරන ෆැක්ටරි අද ඇත. චීනය එය මනාව අත්හදා බලා ප්‍රතිඵල ලබමින් සිටියි. මේ හැම එකම දිගුකාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන කැපකිරීම්ය. රටට නිවැරදි ප්‍රතිපත්තියක් අවැසිය.

ලංකාවේ වෛද්‍යවරු, ගුරුවරු මෙන්ම සෙසු ඕනෑම ක්ෂේත්‍රයකින් ලෝකය ජයගත් අය ඇත. ක්‍රීඩාවෙහිත් මේ ප්‍රවණතාව ඇති කළ යුතුය. අද ලෝකය විවෘතය. සඟවා ගත් දේවල් නැත. ටෝනි කැම්බල්ට සුසන්තිකා යනු ඔලිම්පික් පදක්කමකට ගොඩනැගිය යුතු එක් ක්‍රීඩිකාවක් පමණි. ඇය කුඩා රටකද අදාළ නැත. ඇය ඇමරිකාව පරාජය කරයිද අදාළ නැත. ඇයව පදක්කමක් කරා රැගෙන යයි. එයට ගෙවිය යුත්තේ මිලක් පමණි. මේ අත්දැකීම් ඇති අප අදටත් කියනුයේ සුසන්තිකාගේ පදක්කමේ රහස ඩර්වින් යැයි ළාමක කතාය. සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමේ රහස ඇමරිකාවය. ටෝනි කැම්බල්ය. එය මෙරට මාධ්‍යවේදීන් පවා නොදන්නාකමට වඩා කුහකකමට වහන කතාවක්ය. එදා සුසන්තිකාට ලබා දුන් සහය සුගත් තිලකරත්නට ලබා දුන්නේ නම් ඔහුගෙන්ද මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිව තිබුණි.
පරාජයෙන් පසු ක්‍රීඩා ඇමතිවරයා එය එකිනෙකාට පාස් නොකර වගකීම භාරගත යුතුය. මන්ද අවසානයේ සියල්ල සිදුව ඇත්තේ ඔහුගේ අනුමැතිය නිසා බැවිනි. ඉදිරියේදී තරගාවලියකට යවන පිරිස අඩු කරනු වෙනුවට උපකල්පනය කරමින් කාලය කනු වෙනුවට ඇමතිවරයා කළයුත්තේ දක්ෂයන් හඳුනා ගෙන විදෙස් පුහුණුවකට හෝ යැවීමය. ඒ සඳහා උචිතම පිරිස් නිර්මාණය කිරීම ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශයේ වගකීම විය යුතුය. එයට සංගම්වල සහය ලබාගැනීමට ඇමතිවරයාට අමුතුවෙන් නීති හැදිය යුතු නැත. මේ ක්‍රීඩා පනතේම ඊට අවැසි බලය ඕනෑතරම් ඇත. ඇමතිවරයා බොරු බයිලා නොගහා දැන්වත් ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රියා කළ යුතුය. එයට දියුණු ක්‍රීඩා වටපිටාවක් ඇති රටවල් අධ්‍යයනය කළ යුතුය. ඒවාද දැන් විවෘතය. රහසක් නොවේය. එබැවින් අවශ්‍යවන්නේ ඊට අවශ්‍ය අතපෙවීමය.