රාවය

සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1)

සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1)

පිළිසඳර සුනන්ද දේශප්‍රිය

මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය.

ඔබ අහන්නේ මගේ ජීවිතයේ ප්‍රධාන දේශපාලන පැතිමානයන් ගැනනේ. අපි මේ විදිහට කතා කරමු. හරි, සමාජ සාධාණත්වය සහ මානව දයාව ගැන මට ලොකු බැඳීමක් තියෙනවා. මං ඇත්තටම ඒක මගේ ජීවිත ආදර්ශය විදිහට පවත්වා ගන්න මං හැකි තරම් උත්සාහ අරං තියෙනවා. හිත උණුවෙලා අත දෙනවට වඩා මං කැමැතියි දේශපාලනිකව තත්ත්වයක් තේරුම් අරගෙන මැදිහත් වෙන්න. ඒක එක අතකට මානව හිමිකම් දේශපාලනය අපේ ජිවිතය ඇතුළටම අරගෙන ඒමක් නේද? අහසින් පොළවට වගේ!

ජනවාර්ගික යුක්තිය සහ ස්ත්‍රී විමුක්තිය සම්බන්ධ පැතිමානයන් එක අතකට පුලුල් මානව හිමිකම් රාමුවෙ ම කොටසක් බව ඇත්ත. ඒත් මගේ දේශපාලන ජිවිතයේ එම පැතිමානයන් කැපී පෙනෙන වැදගත්කමක් අල්ල ගන්නව කියන එක හරි. ඒ වගේම මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයෙ ම කොටසක්.
මේ හැම ක්‍රියාකාරිත්වයක් ම විසින් මාව වෙනස් කරලා තියෙනවා. ඒ ක්‍රියාකාරිත්වයන් අතර සිය ගණන් කැපවූ ජනයා එක්ක මං ගමන් කළා. සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් විසින් එක අතකට අපවම වෙනස් කරනවා. වඩා නිවැරදිව කියනව නම් එවැනි ක්‍රියාකාරිත්වයන් විසින් අපේ අවබෝධය සහ ක්‍රියාකාරිත්වය ඉහළ තලයකට ගෙන යනවා. අන්න එතකොට අපට එම ක්‍රියාදාමයන්ට බලපෑමට සහ ඒවා හරි පාරට ගන්න හැකියාවක් ලැබෙනවා. මං හිතන්නේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අන්‍යොන්‍ය අන්තර් සම්බන්ධය ඔය විදිහයි. ඉගැන්වීම කියන්නෙම ඉගෙන ගැනීමක්. කාලය ඉඩ දුන්නොත් තවත් දේ ගැන කතා කරමු.

ඔබ කැරැල්ලට ගියා, මා ගියේ නැත්තේ ඇයි ?

මගේ වසසෙම තරුණ පිරිස් 1971 අප්‍රේල් මාසයේ රටේ දේශපාලනය වෙනස් කරන්න දරපු උත්සාහය මට ලොකු කම්පනයක් වුණා. 1971 කැරුල්ල අපේ රටේ දේශපාලනයේ ඉතිහාසීය සන්ධිස්ථානයක් විදිහටයි මං සළකන්නෙ.

ඒ වුණත් පශ්චාත් අප්‍රේල් කැරැල්ලේ මානව හිමිකම් දේශපාලනයට මා ඇදී ගියේ කවර හෝ එක් විශේෂ හේතුවක් නිසා කියල කියන්න බැහැ. ඊට බලපෑවෙ රටේ තිබුණ පොදු දේශපාලන තත්ත්වය. පස්සේ මං 71ට සම්බන්ධ සමහර පවුල් එක්ක ළගින් සම්බන්ධ වුණා, සිරගතව සිටි අය නිදහස් කරගැනීමේ ක්‍රියාදාමයන් එක්ක. ඒකත් බලපාන්න ඇති.

ඔබ දන්වානේ අපි එකම වසසේ. 1971 අප්‍රේල් මාසයේ මං උසස් පෙළ ඉගෙන ගනිමිනුයි උන්නේ. ඔබ කැරැල්ලට ගියා. මම ගියේ නැහැ. ඉතිං ඒක කොහොමද තේරුම් ගන්නේ කියල මට මගෙන් අහගන්න වුණා.

ඒ වගේම ඔබ දන්නවා, මං කොළඹ ඉස්කෝලේ ගිය මැද පන්තික කෙල්ලක්. ඉතිං මං අහලවත් තිබුණේ නෑ ගොනාපීනූවල, කහටගස්දිගිලිය වගේ ගම්වල නම්. මං 1971න් පස්සේ කාලයක් බර්නඩින් සිල්වා එක්ක වැඩ කළා, ස්වේච්ඡාවෙන්. ඒ සිර ගතවූ කැරලිකරුවන්ගේ පවුල්වලට උදව් කරන්න. බර්නඩින් සිල්වා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක ව්‍යාපාරයේ(Civil Rights Movement of Sri Lanka) ආරම්භක සාමාජිකාවක්.

සිරගතවූ කැරලිකරුවන්ගේ පවුල් සොයා

1971 කැරුල්ල සම්බන්ධයෙන් සිරගත වූ තරුණ තරුණියන්ගේ පවුල් හමුවෙන්න අප දෙන්න ගියා. ඇය ඇගේ සම්බන්ධතා තොරතුරු අරන් කාරයකට නගිනවා. කොහොම හරි ඒ අය සොයා ගෙන යනවා. මොනවා වෙයි ද ප්‍රශ්න ඇතිවෙයි ද කියා ඇය සිතන්නේවත් නෑ. ඇයට තිබූණ එක අරමුණක්. මාත් ඇය එක්ක ඒ ගමන් බිමින් යන්න පටන් ගත්තා.

මේ 1970 දශකය මැද කාලේ. බර්නඩීන් ඒ වන විටත් කාලයක් ම මේ විදිහට උදව් අවශ්‍ය පවුල්වලට උදව් කරල තිබුණා. සමහර පවුල් හිටියේ හුඟාක් දුෂ්කර තත්ත්වයක. ඒ වගේම ඔවුන් බයෙන් උන්නේ. ඉතිං අප එවැනි පවුල්වල අයට කිව්වා ඔබ කොළඹ ආවහම ඇවිත් අප හමුවෙන්න එන්න. අප පුළුවන් උදව්වක් කරන්නම් කියලා. අවශ්‍ය ගමන් ගාස්තු සොයා දෙන්නත් බර්නඩීන් පොරොන්දු වුණා. නවතින්න නවාතැන් සොයා දෙන්න පුලුවන් බවත් අප කිව්වා. මේ මාපියන්ට සහ ඥාතීන්ට සිර ගත වූ සිය දරුවන් බලන්න කොළඹට ම එන්න වුණා. දන්නවනේ, 1975 විතර වෙන කොට සිර ගෙවල්වල ඉතිරිව සිටි ජවිපෙට සම්බන්ධ බහුතරය රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේ.

ඔන්න ඔය විදිහට මං මේ පවුල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම සමහර කැරලිකරුවන් බලන්න මං සිරගෙවල්වලටත් ගියා. මුලින් කිව්ව වගේ පවුල් එක්කත් ඇයි හොඳයිකම් වර්ධනය වුණා.
උදාහරණයක් විදිහට පාලිත ශාම්දාස් පවුල. පාලිත ශාම්දාස් සිරගත වෙලා සිටියෙ. ඔහු නිදහස් කරගන්න ඔහුගේ සොයුරියක් හුඟාක් මහන්සි වුණා. මට අවස්ථාවක් ලැබුණ හිර ගෙදරට ගිහින් ඔහු බලන්නත්. ඔවුන්ගේ පවුල විශාලයි. ඔවුන් හරහා පස්සේ මං මානෙල් රත්නායක හඳුන ගත්තා.

මං දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවට මේ කාලයේ අදහසක් ඒ අයට ඇතිවෙලා තිබුණ. සිරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් සමහරෙක් දේශපාලන වශයෙන් වැඩ කරන්න එන්නැයි මට යෝජනා කරා.

මරණ දණ්ඩනයට එරෙහිව ජවිපෙ සමඟ

එත් මං හිතන්නේ ඒ දවස්වල මගේ වැඩි බර තිබුණෙ සිවිල් අයිතිවාසිකම් පෙරමුණ එක්ක මානුෂීය වැඩ කරන්න. මරණ දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් ඉන් මුදා ගැනීම වගේ. මරණ දණ්ඩනයට විරුද්ධ ව්‍යාපාරය නමින් වැඩ සටහනක් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණට තිබුණ. සමහර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පවා මරණ දණ්ඩනයට නියම වෙලා තිබුණ. අපට අවශ්‍ය වුණා ඔවුන්ට මරණ දණ්ඩනය වෙනුවට වෙනත් දඩුවමක් ලබා දෙන ලෙස තර්ක කරන්න. මං ඒ ව්‍යාපාරයට ඇදිල ගියා.

ඒ විතරක් නොවෙයි, ඊට කලින් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර තිබූ ලේඛකයින් නිදහස් කර ගැනීමටත් ව්‍යාපාරයක් තිබුණ. කරුණාසේන ජයලත්, ජයසේන ජයකොඩි වගේ ලේඛකයින් අත්අඩංඟුවට අරං තිබුණ. තවත් ව්‍යාපාරයක් තිබුණ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ පෙත්සමක් අත්සන් කිරීමට. මං මේ වැඩවලට බරට ම සම්බන්ධ වුණා.
1977 දී අගමැති පදවියට පත් ජේ.ආර්. ජයවර්ධන සිර දඩුවම් ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට සමාව දීලා නිදහස් කළානෙ. ඉන් පස්සේ ජවිපෙ ප්‍රසිද්ධියේ දේශපාලන වැඩ කරන්න පටන් ගත්ත.
මේ කාලයේ ජවිපෙට අවශ්‍ය වුණා සිවිල් සමාජ වේදිකාවක් නිර්මාණය කර ගන්න. ඒත් එය කළ හැක්කේ කෙසේද කියල ඔවුන්ට අදහසක් තිබුණෙ නැහැ. ඒ වුණත් එවැනි වේදිකාවක් වැදගත් සහ වැඩදායක යැයි අලුත් පිළිගැනීමක් ඔවුන් අතර තිබුණ.

ආරම්භයේදී ඔවුන් බාලා තම්පෝ සමඟ වැඩ කරන්න පටන් ගත්ත. ජනතා විමුක්ති පෙරමුණ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණේ රෙජී සිරිවර්ධන සහෝදරයා සමඟ ඉතා සමීපව වැඩකරමින් මානව හිමිකම් සංවිධානය (Human Rights Organisation – HRO එච්ආර්ඕ) නමින් එවැනි වේදිකාවක් ගොඩ නැඟුව.
විවිධ අය එක්ක එක්වී ජවිපෙ එච්ආර්ඕ එක හැදුවේ අන්න ඒ විදිහට. මට මතක හැටියට එච්ආර්ඕ එකේ මුල් රැස්වීමට රෙජී සිරිවර්ධන, බාලා තම්පෝ සහ එච්.ඒ. සෙනවිරත්න යනාදීන් පැමිණ සිටියා.මං දන්න තරමට ලයනල් බෝපගේ තමයි එය හදන්න ක්‍රියාකාරීව මැදිහත් වුණේ.

ඒ කාලයේ ම, ඒ කියන්නේ 1977න් පස්සේ දිගටම ඇති වූ වාර්ගික ගැටුම් නිසා ම දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මර්ජ් නොහොත් ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය බිහිවුණා. ජවිපෙ වෙනුවෙන් මර්ජ් ව්‍යාපාරයටත් බෝපගේ සම්බන්ධ වී තිබුණා.
1980 සමස්ත මහා වැඩ වර්ජනය පරාජවීමෙන් පස්සෙ වර්ජක අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය නොහොත් එම්.ඩී.ඩී.ආර්. බිහිවුණා. රැකියා අහිමි වූ වර්ජකයින් එහි මූලිකත්වය ගත්තා.

මා හිතන්නේ 1970 ගණන් අග සහ 80 ගණන් මුල් කාලය කියන්නේ සිවිල් සමාජ සහ වාම කණ්ඩායම් සහ සමාජයේ ක්‍රියාකාරී වෙනත් පිරිස්, මානව හිමිකම් භාෂාවේ වැදගත්කම තේරුම් ගත් කාලයක් කියල යි. ඇත්තට ම එය දේශපාලනිකව යහපත් වර්ධනයක්. ඔවුන් තේරුම් ගනිමින් සිටියා සැබෑ වාම පක්ෂ නැති එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා අවකාශය පටුවෙමින් තිබූ මර්දනකාරී තත්වය යටතේ මානව හිමිකම් භාෂාව ප්‍රගතිශීලී සහ වාම අදහස් පෙරට ගෙන යාමට මාවතක් සපයන බව.

ඒ ඓතිහාසික මොහොතකි

ඒ අතින් 1970 ගණන් මැද භාගයේ සිට 80 ගණන් මුල් කාලය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ ඓතිහාසික මොහොතක් බවයි මා හිතන්නේ. මෙම කාලයේ ම තමයි ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ. ඒ වාගේම දහස් ගණනාවක් රැකියාවලින් දොට්ට දමා 1980 සමස්ත මහා වැඩ වර්ජනය දරුණු මර්දනයක් මගින් පරාජය කර තිබුණා. 1979 යාපනයේ හදිසි නීතිය පැනවුණා. 1981 යාපනයේ මර්දනකාරී විශාල යුද මෙහෙයුමක් සිදු කෙරුණා.දෙමළ තරුණයින්ගේ ඔලු කඳින් වෙන් කරල පාරවල දාල තිබුණා. ඔන්න ඔය වගේ සමස්ත මර්දනකාරී කාල පරිච්ජේදයක පසුබිම ඇතිව තමයි විවිධ සමාජ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් රැක ගැනීම සඳහා මානව හිමිකම් භාෂාව යොදා ගන්නට පටන් ගත්තේ. මාත් මෙ සියලු ක්‍රියාවලීන් එක්ක විවිධ විදිහට සම්බන්ධ වෙලා හිටිය. ඇත්තටම මේ මගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ජේදයක්.

සිර ගතව සිටි කැරලිකරුවන්ගේ පවුලවලට උදව් කිරීම හරහා ඇතිවුණ සමහර සමාජ සම්බන්ධකම් අද වනතුරුම පැවැතිලා තියෙනව. සමහර සම්බන්ධකම් ශක්තිමත් පුද්ගලික සම්බන්ධකම් බවටත් පත්වුණා. ඔබ දන්වානෙ කෙලී සේනානායක එක්ක මට තිබුණ සමීප සම්බන්ධකම. ඔහු නිදහස් වුණාට පස්සේ ආව මාව මුණ ගැහෙන්න. ඔහුට අවශ්‍ය වී තිබුණා ජවිපෙ ආරම්භ කරන්න යන ඉංග්‍රීසි භාෂා පුවත්පත ගැන මාත් එක්ක කතා කරන්න.

ඒ වගේම අනෙක් පැත්තෙන් පැට්රික් ප්‍රනාන්දුයි වසන්ත දිසානායකයි ආව ජනතා සංගමය සහ ජවිපෙ සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණ විවේචනය ගැන මාත් එක්ක කතා කරන්න. මට මතකයි පැට්රික් ආවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක කියන ලෙනින්ගේ න්‍යායාත්මක පොතත් අරගෙනයි! හා හා ඒ දවස් එක්තරා විදිහකට හරිම සුන්දරයි!

මට මතකයි ඇල්පිටියේ ඌරගහ පවුලක් හිටියා. ජවිපෙ සාමාජිකයෙක් වූ ඔවුන්ගේ පුතාට මරණ දණ්ඩනය ලැබිල තිබුණා. අවාසනාවකට වගේ පස්සෙ කාලෙ මට ඒ පවුල එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ඒ පවුලේ ඔහුගේ සහෝදරිය සිය සහෝදරයා බලන්න හෝ නීති කටයුතු වලට හෝ කොළඹ ආ හැම විටම අපේ ගෙදර ඇවිත් නැවතිල යි ආපහු ගියේ. කොළඹ ඇවිත් එදාම ආපහු යන ගමන ඔවුන්ට අමාරු එකක්. ඇය හරහා තමයි මා කරන්දෙනියේ ධර්මදාස ජයසිංහ පවුල හදුන ගත්තේ.

අපේ සමාජ සාධාරණ න්‍යාය පත්‍රය

ඔව්, ඒ දවස්වල මා ස්වෙච්චාවෙන් පුර්ණකාලීනව වැඩ කළා. ඔබ දන්නවා ද මට හරිම වැදගත් තේරුම් ගැනීමක් මේ කාලය පිළිබඳව තිබෙනවා. මේ අප කතා කරන සමස්ත ක්‍රියාවලියම ආරම්භ වුණේ සමාජ සාධාරණය උදෙසා වූ න්‍යාය පත්‍රයක් ඇතිව. ඒත් ඒ සමාජ දේශපාලන වාතාවරණය යටතේ යම් විදියකට හෝ සමාජ සාධාරණය ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ මානව හිමිකම් හරහා පමණ යි. නූතන ලෝකයේ මානව හිමිකම් කතිකාව ආරම්භ වුණේ හුදෙක් ලිබරල් සංකල්පයක් විදිහටනේ. එයින් කියැවුනේ සිවිල් සහ සමාජ අයිතිවාසිකම් මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ ගිවිසුම යනාදිය ගැනනේ. ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී රාමුව ඇතුලේ මානව හිමිකම් කතිකාව හිර වෙලයි තිබුණේ.

ඒත් යම් අවස්ථාවක දී ශ්‍රී ලංකාවෙ දි වගේ ම තවත් අපේ වැනි රටවල දී මානව හිමිකම් සමාජ සාධාරණය ගැන කතා කරන වචන සහ භාවිතය බවට පත්වුණා. අපේ තරුණ කාලයේ දී තමයි මේ වෙනස ලංකාවේ ඇති කරන්න පුලුවන් වුණේ.ඒ වගේම වෙනත් රටවලදීත්, උදාහරණයක් ගත්තොත් දකුණු අප්‍රිකාවේ වර්ගවාදී විරෝධී අරගලය ඇතුලේ ඒ වෙනස සිදුවුණා. ඇත්ත වශයෙන් ම මානව හිමිකම් කතිකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය ඉක්මවා යන්න අප සමත්වුණා. ඒක ජයග්‍රණයක්.

1980 වැඩ වර්ජනය බිඳවැටීම, 1983 කළු ජූලිය වගේ සිදුවීම් සමාජ ව්‍යාපාරයන්ට දරුණු පරාජයන් බවට පත් වුණා. ඒත් සම්ප්‍රදායික වාමාංශය ඒ හිඩැස පුරවන්න සමත් වුණේ නැහැ. ඔවුන් කිසිම දෙයක් කළේ නැහැ. ඒක ලැජ්ජා සහගත වාර්තාවක්. මානව හිමිකම් කතිකාව සමාජ සාධාරණය පිළිබඳ දේශපාලනයක් බවට පත් වුණේ එවැනි තත්ත්වයක දී. අප වැනි පිරිස් හරහා තමයි එම නව දේශපාලනය වැඩී ආවේ.
(සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී නෙදර්ලන්තයේ හේග් නුවරදී ඇය සමඟ යෙදුණූ පිළිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන් කෙරුණි.)