රාවය

මනෝමූලික ලොවක සදා වෙසෙන නුගේගොඩ ප්‍රජාතන්ත්‍රවාදය

මනෝමූලික ලොවක සදා වෙසෙන නුගේගොඩ ප්‍රජාතන්ත්‍රවාදය

චින්තක රණසිංහ

ජාතිවාදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් ඉතා නරක අප්‍රායෝගික අන්තයකට පැමිණ තිබේ. ප්‍රායෝගික සාධක මුළුමනින්ම නොතකා හරිමින් මනස් ලෝකවල සිට රටේ ප්‍රශ්න දෙස බැලීමටත්, ඉතා අලංකාර වාක් ප්‍රයෝග උපයෝගී කොට ගනිමින් ලිපි ලේඛන රචනා කිරීමත් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කර්තව්‍යය බවට පත්වී තිබේ. මෙය සම්පූර්ණ පොතේගුරුවාදී අප්‍රායෝගික තත්ත්වයක් බව කිවයුතු නොවේ.
මරණ දඬුවම දීම පිළිබඳ පසුගිය සති කීපය තුළ ක්‍රියාත්මක වූ සංවාදය මෙයට කදිම නිදසුනකි. මරණ දඬුවම දැඩි ලෙස විවේචනය කැරුණු අතර එහි බිහිසුණු බව ඉතාමත් ප්‍රබල කාව්‍යෝක්ති සහිතව ඉදිරිපත් කෙරිණි. බැලූ බැල්මට මේ ලියවිලි මනරම්ය. විචිත්‍රය. මාර පරමාදර්ශීය. එහෙත් ගැඹුරු අර්ථයෙන් බලන කල අප්‍රායෝගික, හුදෙක් ලේඛන බවට පත්ව ඝනීභූත වන ඒවා බව පැහැදිලිය.
රටේ යුක්තිය නීතිය යම් අර්බුදයකට ලක්වී අපරාධ විශාල වශයෙන් ඉහළ යන්නේ නම් එය සාර්ථකව මැඬපැවැත්වීමට ආණ්ඩුවකට ක්‍රමවේදයක් තිබිය යුතුය. එසේ ක්‍රමවේදයක් නැතිනම් එයින් විශාල වශයෙන් පීඩනයට ලක්වන්නේ කොළඹ කේන්ද්‍රීය වරප්‍රසාදලාභී මහත්වරුන්ගේ දරුවන් නොව ඈත දුර බැහැර පීඩිතයන්ගේ දරුවන්ය. එහෙත් කොළඹ මහත්තුරුන්ට මෙන් ලිපි ලිවීමට හෝ එක් දුරකතන ඇමතුමකින් තම දරුවාගේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඒ දෛනික ශ්‍රම වැටුපෙන් ජීවිතය හරි හම්බ කරන පීඩිතයන්ට නොහැකිය. මා ලිව්වේ ඒ අය වෙනුවෙන් ඒ අයගේ සැබෑ තත්ත්වයයි. ඒ අයට මේ නීතියෙන් පිළිසරණක් නොලැබෙන අතර අපරාධකරුවෝ දිගින් දිගටම ඉතා කෙටි කලකින් නිදහස් වී ගෙදර එති. දැන් මරණ දඬුවමට එරෙහි සංවාදය ලිබරල් මහත්තුරුන් විසින් ජයග්‍රහණය කර ඇතත්, එයට විකල්ප ඔවුහු ඉදිරිපත් නොකළෝය. ප්‍රශ්නය එතනමය. රටේ අපරාධ රැල්ල ඉහළය. ඒ එක් පැත්තකි.

පරිවාරය නොතැකීම

කොළඹින් කිලෝමීටර් 50-60ක් ඔබ්බට ගියවිට දැකිය හැක්කේ ඉතා දුක්ඛිත තත්ත්වයකි. නවීකරණයේ මතුපිට උපාංග උදාහරණ මොබයිල් ෆෝන් හා අනිකුත් තාක්ෂණික මෙවලම් මිනිසුන් අතට ලැබී තිබෙන මුත් ඔවුන් ගතකරන ජීවිතය බෙහෙවින් දුක්ඛදායකය. වරප්‍රසාද රහිතය. මේ කියන ප්‍රජාතන්ත්‍රවාදයෙන් වියුක්තය. නිලධාරිවාදයෙන් හා වෙනත් නන් විධ දූෂණයන්ගෙන් සමලංකෘතය. මේ යථාර්ථය නුගේගොඩ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදය තුළ රැඳෙමින් අවබෝධ කරගත හැකි නොවේ. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ක්‍රමය පිළිබඳ බරපතළ අර්බුදයකි. දැනුමෙන් ආඪ්‍ය වූ පමණින් හෝ ලිපි ලේඛන මගින් පරමාදර්ශී තත්ත්වයක් ගෙනහැර පෑ පමණින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකිය. ඒ සඳහා මුල පිරීමට පවා නොහැකිය.

අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගැටලුව

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි ලෙස න්‍යායාත්මකව පෙනී සිටින්නන් දැඩි ලෙස අප්‍රායෝගික ප්‍රවේශයක් ගැනීමත්, ඔවුන් මෙරට සාමාන්‍ය ජන ජීවිතයෙන් වියුක්ත පැවැත්මක් සහිත පරමාදර්ශී මනෝමූලික ලිබරල් මහත්තුරුන් පිරිසක්වීමත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගැටලුවයි. මේ පිරිස කයින් මෙරට දිවි ගෙවූවත්, මනසින් දිවි ගෙවන්නේ තමා මනසින් හදාගත් ලෝකයකය. එය ‘බටහිර’ යැයි කියන්නට අපි ඉක්මන් නොවිය යුත්තේ බටහිර විරෝධීජාතිවාදී අන්තවාදයක් අප විසින් නියෝජනය නොකරන නිසාය. අනෙක බටහිර ලිබරල්වාදය මූලික කොටගත් රාජ්‍යය නිර්මාණය කළෝ ‘අපේ නුගේගොඩ කේන්ද්‍රීය’ මහත්තුරුන්ට වඩා බෙහෙවින් ප්‍රායෝගික අය නිසාය. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ජප මන්තරයක් මෙන් මැතිරුවෝ නොව ඒ උදෙසා නිර්මාණය කළ හැකි ප්‍රායෝගික රාජ්‍යයක සක්‍රීය කොටස්කරුවෝ වූහ. ලාංකීය ප්‍රජාතන්ත්‍ර මහත්තුරුන්ගේ භාවිතය එයට වඩා වෙනස්ය. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වන්නේ සංවාදය හුදෙක් සංවාදය උදෙසාම පවත්වාගෙන යෑමයි. මෙය මාරක සංවාද කාමයකි. ඒ අතින් ලෝකයේ අප්‍රායෝගිකම උගතුන් වෙසෙන්නේ ලංකාවේ යැයි කිව හැකිය. සාකච්ඡාව, සම්මන්ත්‍රණය හා ලිවීම හැර ඔවුන්ට කළ හැකි දේ අතිශයින්ම සීමිතය.
ලංකාවේ රාජ්‍ය පාලකයෝ බොහෝ විට මේ උගතුන්ට හිස නමති; ගරු බුහුමන් කරති. එහෙත් යටි සිතින් ඔවුන්ට සිනාසෙති. ප්‍රායෝගික කටයුතු සඳහා අතිශයින්ම අප්‍රායෝගික ඒ නිසාම අතිශයින් අඳ බාල දේශපාලන භාවිතයක් සහිත උගතුන් කැඳවති. මක්නිසාදයත් පාලකයන්ට අවශ්‍ය විශිෂ්ට දැක්මක් සහිත භාවිතයක් නොව එදිනෙදා වැඬේ දුවාගන්නට පොහොනා යන්තං උගතකු නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදයේදී ලංකාව පසුවන්නේ මෙම ඛේදනීය අවස්ථාවේය.

නැවතත් පරිවාරය දෙසට

අපේ බුද්ධිමතුන් පරිවාරය දෙස බලන්නේ නැත. ‘බලනවා’ යැයි කීවාට ඇත්තටම ඔවුන් කරන්නේ නිල වශයෙන් චාරිකා යෑම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල විවිධ වැඩමුළුවලට සහභාගිවීම පමණි. ඒවාද කරන්නේ හෝටල්වල හෝ යම් ආකාරයක දුක නොදැනෙන ලැගුම් හල්වල නැවතී නිල කටයුතු වශයෙනි. ඉන්පසු වාර්තා පිළියෙළ වේ. ඒවාද පිටරටවලට යැවෙන ඒවා මිස මෙරට පළවන හෝ පළවුවත් අවධානයට ලක්වන ඒවා නොවේ.

මේ තත්ත්වය යටතේ පරිවාරයේ පවතින යථා ස්වභාවය ඔවුන්ගේ විශ්ලේෂණ පථයට හසු නොවේ. ඔවුන් සිතන්නේ මහා විප්ලවයකින් හෝ දැවැන්ත ප්‍රතිසංස්කරණයකින් තොරව පරිවාරය වෙනස් කළ නොහැකි බවයි. එසේම කොළඹින් බැහැර ගැටලු හුදු විශ්ලේෂණය කිරීම සඳහා ඇති දේවල් ලෙස මිස ප්‍රායෝගිකව විසඳීමට ඇති දේ ලෙස ඔවුහු නොදකිති.
කොළඹින් බැහැරද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ සමාජ සාධාරණත්වය පිළිබඳ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වේ. ඒවායේ ස්වභාවය ඉතා ඛේදජනකය. දුර්වලය. අසරණය. මා දුටු එක් උදාහරණයක් මම මෙහිදී ඉදිරිපත් කරමි.

පසුගිය මාසයේ 22දා මම මහියංගණයේ සිට අම්පාර දක්වා බසයෙන් ගමන් කරමින් සිටියෙමි. දඹාන ආසන්නයේදී එක්වරම බස්රථය නතර කිරීමට සිදුවූයේ පිරිසක් පාර වසා උද්ඝෝෂණයක නිරතවෙමින් සිටි නිසාය. ඉතා දිගු වාහන පෝලිමක් පාරේ වූ අතර මම බිමට බැස උද්ඝෝෂණය පැවති ස්ථානයට පයින් ගමන් කළෙමි. එය ඉතා දුර්වල හා දුක්ඛිත උද්ඝෝෂණයකි. විරෝධතා පුවරු ඉතා දුර්වල, වැරදි අකුරින් බොඳවී යන ආකාරයෙන් ප්‍රදර්ශනය කෙරුණි. අර්ධ වැරහිලි ඇඳ ගත්, රැවුල් වවාගත් මිනිසුන් හා ගැහැනුන් කීපදෙනකු ඉතා ප්‍රාථමික උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියෝය. ඒ අසලම පාර අයිනේ කැලෑ පඳුරු මැද එවේලේ මිනියක් භූමිදාන කරන ලද සොහොනක් දක්නට ලැබුණි. මරණයට හේතුව රිය අනතුරකි. ඊට දිනකට පෙර වැලි ගෙනයන ටිපර් රථයක් හිතුවක්කාරී ලෙස වැරදි ආකාරයට මාර්ගයේ පදවා ඒ ප්‍රදේශයේදී කීපදෙනකු හප්පාගෙන ගොස් ඇත. ඉන් එක් අයකු මරුමුවට පත්වූ අතර ඔහු දෛනික ශ්‍රමයෙන් දිවි ගෙවූ දිළින්දෙකි. ඔහු පැල්පතක වාසය කළ අතර දරු තිදෙනකුගේ පියෙකි. ඔහුගේ මිනිය තැබීමට එම පැල්පත ප්‍රමාණවත් නොවූ නිසා අසල නිවසක ගෙහිමියාගේ කරුණාව මත මළගෙය පැවැත්විණි. මේ ටිපර් රථය පොලිසියේ ලොක්කකුට අයිති නිසා රියදුරා දින දෙකකින් නිදහස් වී ඇති බවත්, ඔහු රු. 25,000ක මුදලක් ගෙවා මරණයේ වගකීමෙන් නිදහස්වීමට වෙර දරන බවත් උද්ඝෝෂණයට සහභාගි වූවකු මා සමග පැවසීය.

මොහොතකින් පොලිසිය එතැනට පැමිණි අතර වහාම පාරේ කලබලය නිමවුණි. මමද මගේ බස්රථයට ගොඩ වුණෙමි. මෙවැනි සිදුවීම් ගණනාවක් රටේ විවිධ ප්‍රදේශවල විවිධාකාරයෙන් සිදුවේ. බොහෝ විට දුර බැහැර ප්‍රදේශවල පොලිසිය, ප්‍රාදේශීය ලේකම්වරුන් එක්වී නොයෙකුත් ආර්ථික ව්‍යවසායන්හි නිරත වෙති. සාමූහිකව පිඩිතයන් පෙළති. නීතිය බෙහෙවින් උල්ලංඝනය කෙරෙයි.
දඹානේ උද්ඝෝෂකයන් මගෙන් ඇහුවේ මහත්තයා ඒගොල්ලො රු. 25,000ක් දීලා මේක යටගහන්න හදනව- මැරිච්ච මිනිහගෙ ළමයින්ට දවස් පහක් කන්ඩ ඒ සල්ලි ඇද්ද යන්නයි.
ලංකාවේ වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල වංගු රහිත, තැනිතලා පාරවල් තිබෙන අතර රිය අනතුරු බහුලය. මේවායේ ගමනාගමනය කරන වාහන අධික වේගයෙන් යනෙන අතර එම අනතුරුවලින් බොහෝවිට බැට කන්නෝ මාර්ග අසල පදිංචි වී සිටින ප්‍රජාවය. මොවුන් හේන් ගොවියන් හෝ දෛනික ශ්‍රමිකයෝය.

ප්‍රායෝගික විසඳුම්වල අවශ්‍යතාව

ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීති පොත්වල වගන්ති වෙනස් කළ පළියට මෙම තත්ත්වය වෙනස් කළ හැකි නොවේ. මේවාට පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය නොව ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කළ යුතුය. බොහෝ විට මේ දුර බැහැර ප්‍රදේශවල නිලධාරීන් එකට එක්වී වංචනික ක්‍රියාවල නිරත වන නිසා සාමාන්‍ය මධ්‍ය මහා විද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස් වෙනුවට ගම්බද මිනිසුන් හුදෙක් ශ්‍රමිකයන් හා අසරණයන් ලෙස නොදකින, මිනිසුන් ලෙස ඔවුන් දකින තරමක ඉහළ පාන්තික නිලධාරි පිරිසක් පත් කළ යුතුව පවතී. විදේශිකයන් වුවද විශේෂ තත්ත්වයක් තුළ යොදා ගැනීමේ වරදක් නොමැත. මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැක්කේ එබඳු ක්‍රියාවලියක් මගින් පමණි.
එබඳු ප්‍රජාතාන්ත්‍රික විකල්ප සොයා ගැනීම, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වනපොත් කරමින් සිටීම නුගේගොඩ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බව පෙනේ. මෙය මෙරට සංවේදී බුද්ධිමතුන්ගේ අවධානයට ලක්විය යුතුය.

දඬුවම් නොදී ඇපදීම

ලංකාවේ මානව හිමිකම්වාදීන් හා නාගරික ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ අවධානයට වහා ලක්විය යුතු කාරණයක් වන්නේ යම් වරදක් කළ පුද්ගලයකු ඉතා ඉක්මනින් ඇප මත එළියට පැමිණීමේ සංසිද්ධියයි. එල්ලුම් ගහ එපා – අමානුෂිකයි නම් දරුවන් මරා කුඩු විකුණා හොරකම් කර එක රැයින් ඇප පිට එළියට ඒමේ මානුෂිකභාවය කුමනාකාරද? අපරාධයට ලක්වූ අයට හා ඔහුගේ හිතවතුන්ට, සමීපතමයන්ට එම ඇප පිට නිදහස දැනෙන්නේ රටේ දඬුවමක් ක්‍රියාත්මක නොවන ආකාරයටයි. ඉන්පසු ඉලාස්ටික් ලෙස ඇදෙන මහා නඩු විභාග ඇරඹේ. වසර ගණනාවක් තිස්සේ නඩු අසනු ලැබෙන අතර රබර් වගේ නඩු ඇදෙන අධිකරණ ක්‍රමයක් අපට තිබේ. මේ නඩු ක්‍රමය නිසා ඇතැම් පිරිස් මහා පෝසතුන් බවට පත්වන අතර අපරාධකරුවන්ටත් වඩා මෙයින් දුක්ඛිත තත්ත්වයකට පත්වන්නේ අපරාධයට ලක්වූවන්ය.
මේ ඇස් පනාපිට තහවුරු වී තිබෙන පරම සත්‍යය නුගේගොඩ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහමුලින්ම අමතකව ගොස් ඇති අතර ඔවුහු කපුවන් ස්තෝත්‍ර කියන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදයම දොඩවති.

සමාලෝචනය

ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අර්ථය වන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය හැකි නීති හා ව්‍යුහ සහිත රටක් නිර්මාණය කිරීමකි. පැරණි ග්‍රීසියේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පවා ඉතා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වුණි. ලංකාව ඒ අතින් පොතේ ගුරුවාදී රටකි. මතවාදීන් හා ප්‍රායෝගිකවාදීන් ඉතා ගැඹුරු දෙඅන්තයකට බෙදී ඇති අතර අන්ත දෙකක් නියෝජනය කරති.
මේ තත්ත්වය වටහාගත හැකි පාලකයෙක් හෝ පාලක මඬුල්ලක් අපට අවශ්‍ය වේ. එසේ නැතහොත් සර්වකාලීනව අපි නුගේගොඩ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ අප්‍රායෝගික සංකල්පීය සංවාදයේ දිවා නින්ද්‍රාවේ ගැලී සිටිය යුත්තෝ වෙමු.