බලය සහ බලහත්කාරය නැති පාලනයක් අපට නැද්ද?

මහින්ද හත්තක

ජනතාවගේ විශ්වාසය සත්‍යය අභිබවා යන්නේයැයි ක්‍රිස්තු පූර්ව පස්වැනි සිය වසේ සිටි ග්‍රීක ඛේදාන්ත නාට්‍ය රචකයකු වූ සොපොක්ලීස් සඳහන් කෙළේය. ඔහුගේ මෙම කියමන අද හොඳින් වටහා ගෙන ඇත්තේ දේශපාලකයන්යැයි සිතේ. බලය ලබා ගැනීමටත් කෙසේ හෝ ලබා ගත් බලය තවදුරටත් පවත්වා ගැනීමටත් අද අප රටේ දේශපාලකයන් උත්සාහ කරන්නේ තමන්ට අවශ්‍ය දේ ගැන ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමෙනි. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ තමන් අපේක්ෂා කරන, තමන්ට වඩාත් ගැලපෙන්නේයැයි සිතන දේට ජනතාව දිනා ගැනීමය. ඔවුන් ගේ එම බලාපොරොත්තු සහ අපේක්ෂා යථාර්ථයට කිසිසේත් නොගැලපෙන්නක් විය හැකිය. එය යථාර්ථය නොවන බව දේශපාලකයන් දැන සිටිනු විය හැකිය. එහෙත් එම මුලාව සත්‍යය, පරම සත්‍යය බව ජනතාවට පිළිගැන්විය යුතුය. එසේ පිළිගැන්වීමට නොහැකි නම් දේශපාලකයෙකු වශයෙන් ඔහු හෝ ඇය සාර්ථක වන්නේ නැත.

අද පමණක් නොව පසුගිය දශක ගණනාවක් තිස්සේම මේ රටේ සියලු ආගම්වලට සහ වර්ගවලට අයත් දේශපාලකයන් ජනතා විශ්වාසය දිනා ගැනීමට යොදා ගත් එකම සහ බලවත්ම ආයුධය වූයේ ජනතාව තුළ බිය ඇති කිරීමය. ජාතික ආගමික වාර්ගික වශයෙන් ජනතාව මහත් අනතුරකට ලක්ව ඇති බවටත් ඉන් ගලවා ගැනීමට ඇති ඒකාන්ත මාර්ගය වන්නේ තමන් බලයට පත් කිරීම බවටත් මේ සියලු දේශපාලකයෝ යටි ගිරියෙන් මොර දුන්හ. ඔවුන්ගේ වාග් චාතුර්ය ඔප් නැංවුණේ ජාතියට වින කරන, ජාතිය පාවා දෙන බලවේග විනාශ කිරීමේ අවශ්‍යතාවත් එය කළ හැක්කේ තමන්ට පමණකි යන විශ්වාසය ජනතාව තුළ ඇති කිරීම සඳහාත් ය.

බලය ලබා ගැනීමේ අරමුණෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ජනතාව තුළ තම පැවැත්ම හා අනාගතය ගැන බියක් ඇති කරන මෙම දේශපාලකයන් මුහුණ දෙන බලවත්ම අභියෝගය වන්නේ බලය පවත්වා ගැනීම සඳහා ජනතාව තුළ ඇති කළ බිය පවත්වා ගන්නේ කෙසේද යන්නයි. තමන් පරාජය කළ බලවේග නැවතත් බලයට පත්වීමේ අනතුර ද බලයේ සිටින දේශපාලකයන්ට තම තනතුරු හා වරප්‍රසාද පවත්වා ගැනීමට ඉවහල් විය හැකිය. එහෙත් ජනතාව තුළ බිය ඇති කිරීමෙන් පමණක් බලය පවත්වා ගත නොහැකි බව ශූර දේශපාලකයන් වන ඔවුහු දනිති. හාස්‍යයට කරුණ වන්නේ එම උත්සාහයේ දී තමන්ගේ නොහැකියාව සහ මූඪ බව හෙළි වීමය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීමට යොදා ගත් ප්‍රධාන සටන් පාඨයක් වූයේ ඔහුගේ හිතුවක්කාර දඩබ්බර පාලන ක්‍රමයයි. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයේ දී දැනට බලයේ සිටින පාර්ශ්වයන් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට මූලික වශයෙන් යොදා ගත්තේ 2015 ජනවාරි 8 වැනි දා ලබා ගත් ජයග්‍රහණය තහවුරු කිරීමට පාර්ලිමේන්තුවෙන්ද එම කණ්ඩායම් පරාජය කිරීමේ අවශ්‍යතාවයි. නැතිනම් නැවත වරක් හිතුවක්කාර ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනයක් ඇතිවීම වැළැක්විය නොහැකිය යන බිය ජනතාව තුළ ඇති කිරීමය.

මතු පිටින් ගත්විට මෙම තර්කය වැරදි නැත. ජනතාවාදී නොවන හිතුවක්කාර පාලනයක් ඇතිවීම සියලු දෙනාටම බිය ගෙන දෙන්නකි. එහෙත් එම බිය තුරන් කිරීමට කළ යුත්තේ බලයේ සිටින පාලකයන් ඉවත් කිරීම පමණක් නොවේ. ජනතාව තුළ අනාරක්ෂිත භාවයක් ඇති කළ සහ එම තත්ත්වය පවත්වා ගෙන ගිය පාලන ක්‍රමය ද අහෝසි කළ යුතුවිය. ඒ සඳහා පාලන ක්‍රමයේ ඉහළ තනතුරුවලට තම හිතවතුන් පත් කිරීම ප්‍රමාණවත් නැත. එහෙත් ජනතාව තුළ බියක් ඇති කර බලය ලබා ගත් පාලකයන් තුළ සැබැවින්ම බිය තුරන් කිරීමේ වැඩ පිළිවෙළක් නැති බව දැන් වසර තුනකට පසු හොඳින් තහවුරු වෙමින් පවතී.
පසුගිය සමයේ ජනතාව තුළ බිය ඇති කිරීමට යොදා ගත් ප්‍රධාන චරිතයක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. එම අමාත්‍යාංශය භාරව සිටි ඇමති වරයාටත් වඩා ප්‍රබල චරිතයක් වූයේ ගෝඨාභයයි. ඔහුට අවශ්‍ය කරන ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබිණ. ඔහුගේ කැමැත්තට එරෙහිව යෑම සියලු අපේක්ෂා අතහැර කඩිනමින් අතුරුදන්ව යෑමට මග විවෘත කර ගැනීමකි. ඒ ගැන අපමණ නිදසුන් ඇති නමුත් වැදගත් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සිය පැවැත්ම සඳහා යොදා ගත් අවිය තදින් විවේචනය කර, ඔහු ගැන මහත් බියක් ඇති කළ අලුත් පාලකයන්ට ජනතාවගේ බිය නැති කිරීමට විකල්ප සාධාරණ වැඩ පිළිවෙළක් නොතිබීමය. එමනිසා ඔවුන්ට ගැනීමට ඇත්තේ පෙර රජයේ ගමන් මාර්ගයමය.

මීට කදිම නිදසුනක් පසුගිය දිනක මාතලේ නාගරාධිපති අළුවිහාරේ මහතා ලබා දුන්නේය. ඔහු ප්‍රසිද්ධියේම පැවසූ ආකාරයට මාතලේ නගරයේත් (සෙසු නගරවලත්) “සංවර්ධන” කටයුතු කඩිනම් කිරීමට නම් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති තනතුර නැවත වරක් ගෝඨාභය රාජපක්ෂට ලබා දිය යුතුය. එවිට නගරාධිපතිවරයා නම් කර දැක් වූ “සංවර්ධන” වැඩ සටහන් කඩිනමින් නිම කළ හැකිය. ගෝඨාභය නැති නිසා නගරාධිපති අළුවිහාරේ මහතා යෝජනා කරන “සංවර්ධන’‘ කටයුතුවලට දිස්ත්‍රික් ලේකම්වරියගේ අනුමැතිය ලබා ගත නොහැකිය. එමනිසා ඔහු යෝජනා කරන වැඩ සටහන් කඩිනම් කිරීම සඳහා ගෝඨාභයට නැවත වරක් නාගරික සංවර්ධන අධිකාරිය පවරා දිය යුතුය. ඉන් පසුව ඔහුගේ “සංවර්ධන’‘ කටයුතුවලට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහ සමහරවිට අනුග්‍රහයද ලබා ගැනීම කජ්ජක් නොවේ.

ආරක්ෂක ලේකම් සහ මෙන්ම නාගරිත සංවර්ධන අධිකාරියේ සභාපති ද වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ කඩිනම් කිරීමේ පරිපාලන විධික්‍රම හොඳින් ප්‍රගුණ කළ පුද්ගලයකු බව තහවුරු කිරීමට පැහැදිලි සාධක කිසිවක් දක්නට නැත. එහෙත් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් රාජ්‍ය අංශයෙන් පමණක් නොව පුද්ගලික අංශයෙන් ද කරවා ගැනීමට හැකියාවක් තිබිණ. ඔහු ඒ සඳහා යොදා ගත් එකම උපාය මාර්ගය වූයේ භීතිය ඇති කිරීම ය. ඔහු කියන දේ නොකරන, අවශ්‍ය දේ ලබා නොදෙන ඕනෑම කෙනකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇත. ඔහුගේ සීමාවන් ඉක්මවා ගිය සමහර ජනමාධ්‍යවේදීන්ට වූ දේ අදටත් සොයා ගත නොහැකිය. වෙනත් රාජ්‍ය නිලධාරීන් පරිපාලන නීති සහ මුදල් නීති උල්ලංඝනය කිරීමේ වරදට වෝදනා ලැබ සිටිති. හිටපු ආරක්ෂක ලේකම් නියෝග කළ කිසිවක් පැහැර හැරීමට කිසිවකුට හැකියාවක් නොවුයේ බිය නිසාමය. ජනතාව තුළත් නිලධාරීන් තුළත් බිය ඇති කිරීම ඔහුගේ මැර පාලන රටාව විය. මෙම ක්‍රමය කෙතරම් සාර්ථක වූයේද යත් ඔහු එම තනතුරට පත් කළ ජනාධිපතිවරයාටත් මැදිහත් වීමට කැමැත්තක් දැක් වූයේ නැත.

මාතලේ නගරාධිපති අළුවිහාරේ මහතා පවසන ආකාරයට “වැඩ‘ කිරීමට අවශ්‍ය වන්නේ එවැනි මැර බලයයි. එවිට බිය ගැන්වීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් කළ හැකිය. ඉන් ගම්‍ය වන්නේ කුමන හෝ ආයතනයක් මෙහෙයවීමට අවශ්‍ය වන්නේ බිය ගැන්වීමේ පාලන ක්‍රමයයි. ඒ සඳහා පදනම වන්නේ අසීමිත ලෙස බලය යොදා ගැනීමට ඇති හැකියාවයි. නගරාධිපතිවරයාගේ සැබෑ අරමුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් පුද්ගලයා නැවත නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති තනතුරට පත් කිරීම නොව ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරයෙන් කටයුතු කළ හැකි පුද්ගලයකු එම තනතුරට පත් කිරීම ය. වඩාත් සරලව බිය ගැන්වීමේ මැර බලය යොදා ගත හැකි පුද්ගලයකු පත් කිරීමේ අවශ්‍යතාවයි. එවැනි මැර බලයක් නොමැතිව “වැඩ” කිරීමට නොහැකිය.
තර්කය එසේනම් එවැන්නක් වෙනස් කිරීමට ඔවුන් ඉදිරිපත් වූයේ ඇයි? බිය ගන්වා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කෙළේ ඇයි? ජනතාව බියට පත් කිරීමේ පාලන ක්‍රමයට පැවති විරෝධය බලය ලබා ගැනීමට යොදා ගැනීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේ නැත. භීතියට පත් කර තිබු පාලන තන්ත්‍රය වෙනස් කොට නිදහස් සාධාරණ, ප්‍රතිපත්ති ගරුක පාලන ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නැත. නව පාලකයන්ට ද අවශ්‍ය වන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන බිය ගැන්වීමේ පාලන ක්‍රමය දිගටම පවත්වා ගැනීමය. බියෙන් අත් මිදීමට වඩා බිය තව දුරටත් පවත්වා ගැනීමටය. ඒ සඳහා ගෝඨාභය හෝ ඔහු වැන්නන් අවශ්‍ය ය.

මෙම තර්කය පොදුවේ යොදා ගත හැකි එකක් නොවේ. උතුරේ දේශපාලකයන් එවැනි තර්කයක් යොදා ගැනීම දේශද්‍රෝහී ක්‍රියාවකි. නිලතල අහිමිවීමට පමණක් නොව දේශපාලනයෙන් ඉවත් කිරීමට පවා හේතු වන්නකි.

රාජ්‍ය ඇමතිවරියක වූ විජයකලා මහේශ්වරන් මහත්මිය පසුගිය දා යාපනයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී එම ප්‍රදේශයේ උත්සන්න වෙමින් පවතින අපරාධ මැඩ පැවැත්වීමට ප්‍රභාකරන් කෙනකු අවශ්‍යයැයි කීවේ ද මාතලේ නගරාධිපති අළුවිහාරේ මහතාගේ තර්ක ක්‍රමය අනුවය. උතුරේ ප්‍රභාකරන්ගේ ආධිපත්‍යය පැවති සමයේ එම ප්‍රදේශයේ ලිංගික අපරාධ සිදු වූයේ නැති නිසා උත්සන්න වෙමින් පවතින අපරාධ මැඩ පැවැත්විය හැකි වන්නේ නැවත වරක් ඔහු වැනි අයකුට බලය ලබා දීමෙනි. ඇයට ප්‍රභාකරන්ට බලය ලබා දිය යුතුයැයි කිව නොහැකි වන්නේ ප්‍රභාකරන් ජීවතුන් අතර නැති නිසාය. කළ හැකි වන්නේ එවැනි කෙනකුට බලය ලබා දීම පමණි.

විශේෂත්වය වන්නේ මෙම ප්‍රකාශය රට පුරාත් පාර්ලිමේන්තුවේත් මහත් ආන්දෝලනයකට තුඩු දීමය. විජයකලා මහේශ්වරන් මහත්මිය පාර්ලිමේන්තුවෙන් පලවා හැරිය යුතු දේශද්‍රෝහියක ලෙස සමහරු හැඳින් වූහ. එහෙත් මූලික වශයෙන් අළුවිහාරේ නගරාධිපති වරයාගේ ප්‍රකාශය සහ විජයකලාගේ ප්‍රකාශය අතර වෙනසක් නොවේ. දෙදෙනාම යෝජනා කරන්නේ රට පාලනය සඳහා බලය සහ බලහත්කාරය යොදා ගැනීමය. වෙනසකට ඇත්තේ අළුවිහාරේ මහතා සිංහල බෞද්ධයකුගේ බලය අගය කරන අතර විජයකලා මහේශ්වරන් මහත්මිය බෙදුම්වාදී ද්‍රවිඩයකුගේ බලය වර්ණනා කිරීමය. ඒ හැර බලය සහ බලහත්කාරය යොදා ගැනීම ගැන අවුලක් නැත.

සමහර අය සුද්දන්ගේ පාලනය හොඳයැයි කියන්නේ ද මෙම නියායෙනි. ඒ සුද්දන් බලය යොදා ඒකාධිපති පාලනයක් ගෙන ගිය නිසාය. සුද්දන් පාලනය මෙහෙය වූයේ තම තමන්ගේ අභිවෘධිය සඳහාය.
සුද්දන්ගෙන් අප බොහෝ දේ උරුම කර ගෙන ඇති නිසා එවැනි ප්‍රකාශ නිදහස ලබා ගැනීමට සටන් කළ විරුවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙස මා දන්නා තරමින් කිසිවකු හෙළා දැක නැත.
අවසාන විග්‍රහයේ දී දේශපාලකයන් බොහෝ දෙනා රට පාලනය සඳහා බලය සහ බලහත්කාරය යොදා ගැනීමට අකමැත්තක් දක්වන්නේ නැත. ප්‍රශ්නය වන්නේ එය කවුරුන් විසින් කරන්නේ ද යන්නයි. විරුද්ධවාදියා බලය යොදා ගැනීම අපරාධයක් ලෙස හැඳින් වුවත් තමන් බලයට පැමිණි පසු එයම කිරීමට කිසිසේත්ම පසුබට නොවේ. ඒ රට පාලනය කිරීමට ජනතාව බිය වැද්දීම හැර වෙනත් වැඩ පිළිවෙළක් ඔවුන් වෙත නැති නිසාය.

පවතින සමාජ දේශපාලන ක්‍රමය යටතේ බිය ගැන්වීම සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි නමුත් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන් ශ්‍රේෂ්ඨ ගායිකාවක් වූ අරිටා ෆ්‍රැන්ක්ලින්ගේ අවමගුල් උත්සවයේ දී ප්‍රකාශ කළ ආකාරයට බියෙන් ජීවත් වුවද බිය ජයගැනීමේ ධෛර්ය ඇති කර ගැනීම වැදගත් ය.