රාවය

හාමුදුරුවරුන් දේශපාලකයන්ගේ වහළුන් වෙලා

හාමුදුරුවරුන්  දේශපාලකයන්ගේ වහළුන් වෙලා

මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්ථවිර

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයද, අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ධුරයද දරන මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ රුසියාව ප්‍රමුඛ රටවල් රාශියක දීර්ඝ කාලයක් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළි මහතෙර නමකි. රුසියානු භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් රුසියාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන උන්වහන්සේ කලක් කැළණිය සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල දෙකෙහිද ආචාර්යවරයකු වශයෙන් සේවය කළහ. වර්තමානයේ රට තුළ ඉස්මතුව පෙනෙන ශාසනික අර්බුද සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි, මේ.

හාමුදුරුවරු පිරිසක් ධර්මය විකෘති කරනවා කියා තවත් හාමුදුරුවරු පිරිසක්ම විශාල හඬක් නඟනවා. ගිහි බෞද්ධයනුත් මේ අනුව දෙපිලකට බෙදෙමින් සිටිනවා. මොකක්ද මේ සිදුවෙමින් තියෙන්නේ?

ඒක අලුත් ආර්ථික ක්‍රමය තුළ සමාජයේ ඇතිවුණු වෙනස්කම් නිසා සිදුවූ දෙයක්. ඒ නිසා පැවිදි වෙන පිරිස අඩුවුණා. කුඩා කල ලබාදෙන භික්ෂු අධ්‍යාපනය ටික දෙනෙකුටයි ලැබුණේ. සාම්ප්‍රදායික ආශ්‍රමික ජීවිතය ගත කරන අය එක් පිරිසක් වුණා. තව පිරිසක් නවීන අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වුණා. 88-89 භීෂණ කාලේ යම් වැඩක් කරන්නට පුළුවන් භික්ෂූන්වහන්සේලා හයසිය විසි ගාණක් නැතිවුණා. මේ නිසා ඇතිවූ හිඩැස තුළ වයසක ඇත්තොත් මහණ වුණා. තම තමන්ගේ හිතුමතේටත් මහණ වුණා. එහෙම මහණ වෙච්ච අයගෙන් කොටසක් සම්ප්‍රදායික හොඳ අධ්‍යාපනයකුත් නැතිව සමාජයෙන් වෙන්වෙලා වෙනම ධර්මයක් දේශනා කරන්න පටන් ගත්තා. ඒ මොකද අපේ හාමුදුරුවරුන්ගේ වගකීම් හරියට ඉටු වුණේ නැති නිසා.

හාමුදුරුවරුන්ගේ වගකීම කියන එක ගැනත් අද විවිධ නිර්වචන ඉදිරිපත් වෙනවා නේද?

බුදුහාමුදුරුවෝ හාමුදුරුවරුන්ට පැවරුව වැඩකොටසක් තියනවා. ඒත් බුදුහාමුදුරුවන්ගේ න්‍යාය පත්‍රයට වඩා දේශපාලන න්‍යාය පත්‍රවලට තමයි බොහෝ හාමුදුරුවරු වැඩ කළේ. බොහෝ පන්සල්වල උන්නාන්සේලා වාසි බලාගෙන යම් යම් දේශපාලකයන්ට වැඩකළා. ඒකට හේතු වුණේ තමන්වහන්සේගේ දායක පිරිස හුඟාක් දුප්පත්වීම. ඒ නිසා යමක් ලබාගන්න, පන්සල දියුණු කරගන්න නම් හාමුදුරුවරුන්ට දේශපාලන සහායක් අවශ්‍ය වුණා. ඒ නිසා හාමුදුරුවරු දේශපාලකයන් පස්සේ යමින් ඔවුන්ගේ වැඩකටයුතු කරන්න ගත්තා. සමහරු දේශපාලකයන්ගේ වහල්ලු බවට පත්වුණා. ඒ නිසා මේකට විරුද්ධ මිනිස්සු පන්සලෙන් ඈත්වුණා. උන්වහන්සේලාගේ ධර්මය අහන, පිළිපදින එකෙන් ජනතාව ඈත්වුණා. ඒ තත්ත්වය නිසා අර වයසට ගිහිල්ලා මහණ වුණ පිරිසට අවස්ථාවක් ලැබුණා ඇඟිල්ල දික්කරලා මිනිස්සුන්ට කියන්න අන්න ඔහෙලා හැමදාම දානේ දෙන හාමුදුරුවරු කරන වැඩ දිහා බලන්න කියලා. හාමුදුරුවරු කොහෙවත් ඉන්න හොරෙකුට, කසිප්පු කාරයකුට සහයෝගය දක්වනවා රටේ නායකත්වයට පත් කරගන්න. ඒක නෙවෙයි හාමුදුරුවරුන්ට පැවරුණ කාර්යය.

වර්තමාන භික්ෂුවගේ වගකීම සහ කාර්යභාරය ලෙසට අද දවසේ ‘රට රැකීම’, ‘ජාතිය රැකීම’ ආදී දේ ප්‍රකාශයට පත්වෙනවා. මෙය ශාස්තෘවරයාගේ අනුශාසනාවට කොතෙක් දුරට එකඟද? නිවන් දැකීමට කොතෙක් උපකාරී වෙනවාද?

බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහටම කරගෙන ගිය හාමුදුරුවරු හිටිය ලෝකයේ රටවල්වලට අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හොඳ උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය හාමුදුරුවරුන් පන්දහසක් විතර ඉගෙන ගත්ත හොඳ විශ්වවිද්‍යාලයක්. මුස්ලිම් ආක්‍රමණිකයන් ඇවිල්ලා කිලෝ මීටර් පනහක් විතර එහායින් තමයි කඳවුරු බැඳගත්තේ. ඒත් කිසි මිනිහෙක් ඇවිල්ලා අර හාමුදුරුවරුන්ට කිව්වේ නෑ තමුන්නාන්සේලා මරන්න දැන් එනවා, බේරිලා පොත් ටිකත් අරගෙන යන්න කියලා. ඇයි භික්ෂූන්වහන්සේලා බුදුහාමුදුරුවෝ කියාපු විදිහට බණ භාවනා කරමින් හිටියා මිසක් මහජන සම්බන්ධතා පැවැත්තුවේ නැති නිසා. මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ වෙන ප්‍රශ්නවලට සම්බන්ධ වුණේ නෑ. ඒ නිසා ඉන්දියාවෙන් බුද්ධාගම විනාශ වෙලාම ගියා. ඇෆ්ගනිස්ථානය, උස්බෙකිස්ථානය, පකිස්ථානය, පිළිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ජාවා, සුමාත්‍රා… ඒ සියල්ල අතීතයේ බෞද්ධ රටවල්ව තිබුණු රටවල්. ඒවාට අද තියන ඉරණම අත්වුණේ මහජනතාවත් එක්ක හාමුදුරුවරු හිටියේ නැති නිසා. අපේ රටෙත් ක්‍රිස්තු වර්ෂ පළමුවැනි ශත වර්ෂයේ වගේ වෙනකම් භික්ෂු සම්ප්‍රදාය ඒ විදිහට තමයි තිබුණේ. ඒත් රටේ සාගතය ඇවිල්ලා, වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ රට ආක්‍රමණය කළායින් පස්සේ තමයි භික්ෂූන්වහන්සේලාට තේරුණේ අපි පන්සලට වෙලා භාවනා කර කර හිටියට මදි, මේ මිනිස්සුන්ටත් මේක බේරගන්න උදව් කරන්න ඕනේ කියලා. ඒ නිසා ශාස්තෲවරයාගේ අනුශාසනාවට කොතෙක් දුරට එකඟ වෙනවද නැද්ද කියන එකට වඩා වෙනත් මානයකින් අපිට ඔය ගැන බලන්න වෙනවා.

ත්‍රිපිටක ධර්මය විකෘති කරනවා කියා හාමුදුරුවරුන් පිරිසකටම එල්ල වෙන චෝදනා ගැන ඔබවහන්සේ මොකද හිතන්නේ?

ඒගොල්ල දේශනා කරන ධර්මය එච්චර හොඳ ධර්මයක් නෙවෙයි. වයසට ගිහින් මහණ වෙච්ච ඔවුන්ට පාලි සංස්කෘත භාෂා පිළිබඳ අවබෝධයකුත් නෑ. මූලික බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයකුත් නෑ. එදිනෙදා ත්‍රිපිටකයෙන් සොයා ගත් කරුණු අනුව දේශනා පවත්වලා තමයි ජනතාව පහදවා ගන්නේ. ඔවුන්ගේ පැවැත්ම ග්‍රාමීයව වැඩ කරන භික්ෂුවට වඩා බොහොම සංවරශීලී නිසා ඒකටත් මිනිස්සු පැහැදුණා. ඒ තත්ත්වය නිසා තමයි අද මේ අර්බුදය ඇතිවුණේ.

භික්ෂූන්වහන්සේලාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමත් ශාසනික පිරිහීමට හේතුවක් නේද?

ඒ ගැන මත කීපයක් තියනවා. භික්ෂූන්වහන්සේලාට උසස් අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඒත් අද තිබෙන ක්‍රමය තුළ ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපල ලැබෙන්නේ නෑ. මෑත වෙනකොට භික්ෂූන් වහන්සේලා බොහොම පෞද්ගලිකත්වයට බර වුණා. උපාධි ගත්තා. රස්සාවල් ගත්තා. වැටුපක් ගත්තා. නෑදැයන්ට සැළකුවා. හුඟාක් වෙලාවට දෙවැනි අවුරුද්ද වෙනකොට උපැවිදි වෙලා යනවා. සම්බුද්ධ ශාසනයට මහජනයාගෙන් ලැබුණ සිව්පසයෙන් ඉගෙන කියාගෙන ඊට පස්සේ ගිහිල්ලා පෞද්ගලික ජීවිතයක් ගතකරනවා. ඒකත් එක්තරා බලපෑමක් වුණා.

නිවන් දකින්නට ශාසනයට ඇතුළත් වෙන භික්ෂූන්වහන්සේලාට ධර්ම අධ්‍යාපනයක් මිස විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මොකටද කියන ප්‍රශ්නයක් මතුවෙනවා?

දැන් බලන්න ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල හාමුදුරුවරු පන්දාහ, දහදාහ ඉන්නවා. උන්වහන්සේලා හොඳට ඉගෙන ගෙන මුළු ලෝකයේම ධර්ම ප්‍රචාරය කරනවා. කෝ මෙහෙ වෙන දේවල් වෙනවයැ? විශ්වවිද්‍යාල අධ්‍යාපනය නරක නම් ඒ හාමුදුරුවරුනුත් නරක් වෙන්න එපායැ. ලංකාවේ වුණේ තුන්වැනි ලෝකයේ රටක් විදිහට නව ආර්ථික ප්‍රතිපත්ති නිසා මිනිස්සු මුදලට යටවීමයි. විවෘත ආර්ථිකය ආවට පස්සේ වුණ දෙයක් මේ. බලන්න ඊට පෙර හිටපු උගත් භික්ෂූන්වහන්සේලා දිහා. මමත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත හාමුදුරු කෙනෙක්. මම රුසියානු භාෂාවෙන් බණ කියලා ඒ රටේදි රුසියානු ජාතිකයන් දහස් ගාණක් ථේරවාදී බෞද්ධයන් බවට පත් කළා.

විදේශ භාෂා ඉගෙන ගෙන විදේශ ධර්ම දූත සේවයට මහා උනන්දුවක් දක්වපු හාමුදුරුවරු තමන්ගේ රටේම උතුරු නැඟෙනහිර පළාත්වල මිනිස්සුගේ භාෂාව වන දෙමළ භාෂාව ඉගෙන ගෙන ඒ ජනතාව අතරට බුදු දහමේ පණිවිඩය ගෙන යන්න උනන්දුවක් නොදැක්වීම ගැන ඔබවහන්සේ මොනවගේ අදහසක්ද දරන්නේ?

දෙමළ භාෂාව කතා කරන අයට අමුතුවෙන් දහමක් උගන්වන්න අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? දෙමළ කතා කරන ජනතාව පොදුවේ අදහන ආගම හින්දු. හින්දු ආගමයි බුද්ධාගමයි කියන්නේ බොහොම සමීප ආගම් දෙකක්. හින්දු පූජකවරුන් උගන්වන හින්දු දහමයි බුද්ධාගමේ උගන්වන බුදු දහමයි අතර පරතරය බොහොම අඩුයි. හින්දු ආගම කියන්නේ මිනිසුන් බොහොම සංවර කළ ආගමක්. දෙමළ මිනිස්සු කවදාවත් බුද්ධාගමට විරුද්ධ වෙච්ච අය නෙවෙයි. දකුණු ඉන්දියාවේ එයාලගේ තියන හොඳම ග්‍රන්ථ සියල්ලම බෞද්ධ ග්‍රන්ථ. දෙමළ සාහිත්‍ය ගත්තත් එහෙමයි. ඒ නිසා හාමුදුරුවරුන්ට අවශ්‍ය වුණේ නෑ ඒ දෙමළ ජනතාව අතරේ බුද්ධාගම ප්‍රචාරය කරන්න. ලංකාවේ හාමුදුරුවරු කවදාවත් අනෙක් ආගම් ආවම ඒවාට විරුද්ධ වුණේ නෑ. හින්දු ආගම ආවම ‘හා හරි උඹලගේ දෙවියෝ අපේ බුදු හාමුදුරුවෝ’ කියලා පන්සලේම දේවාලත් හැදුවා. අදටත් පන්සල්වල දේවාල තියෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙන කොහොද තියෙන්නේ ආගම් දෙකක නායකයන් දෙන්නෙක් එහෙම එකට ඉන්න තැනක්. මෙහෙ විතරයි තියෙන්නේ. බුදු හාමුදුරුවෝ එක පැත්තකින්, ඝන දෙයියො කතරගම දෙයියො පත්තිනි අම්මා තව පැත්තකින්. ඒක තමයි සහජීවනය කියන්නේ. ඒ නිසා දෙමළ අයට අමුතුවෙන් බන කියන්න අපිට අවශ්‍ය වුණේ නෑ.

ඔය කියන තරම් ආගමික සමීපතාවක් තියෙන ජන කොට්ඨාස දෙකක් එකිනෙකා මරා ගන්නා යුද්ධයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මතුවෙනවා නේද?

යුද්දෙට ගියේ ආගම් අනුව නෙවෙයිනේ. ඒක ජාතිවාදය මත සිදුවුණ දෙයක්. එතනදි ඒ මිනිස්සුන්ට ආගමට වඩා වැදගත් වුණා ජාතිය සම්බන්ධ කාරණය. ‘උඹලව සිංහලයා යටත් කරගෙන ඉන්නවා’ කියන අදහස තමයි මතුවුණේ. වර්තමානයේ පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ එයාලා හිතුවා සිංහලයන් අපිව පාගාගෙන ඉන්නවා කියලා. ප්‍රභාකරන් වේවා වෙනත් දෙමළ දේශපාලකයන් වේවා තමන්ට රටක් ඕනේ කියලා කියන්නේ ආගම රැකගන්න නෙවෙයි. ආගම මුල්කරගෙනත් නෙවෙයි.

බුදුහාමුදුරුවෝ අනුමත නොකළ දෙයක් කාලීන අවශ්‍යතා අනුව යැයි පිළිගැනීම තුළින් වුණත් ධර්මය විකෘති කිරීමක් වෙනවා නේද?

බුදුහාමුදුරුවෝ අනුමත නොකළට බුදුහාමුදුරුවන්ගේ අන්තිම වචනයේ තියනවා ඔබවහන්සේලාට රකින්න අපහසු කුඩා, අනුකුඩා ශික්ෂාපද තියනවා නම් ඒවා වෙනස් කරගන්න කියලා. හුඟාක් රටවල එහෙම වෙනස් කරගෙනත් තියනවා. ථේරවාදී හාමුදුරුවරු ඒක පිළිනොගැනීම ප්‍රතිගාමී දෙයක් විදිහටයි මම දකින්නේ. අපේ හාමුදුරුවරු කාලානුරූපීව වෙනස් විය යුතුයි.

ඔබවහන්සේ කියන වෙනස්කම් ඔය විදිහට කරගෙන තියෙන්නේ මහායානේ නේද?

ඔව්. නමුත් ථේරවාද කිව්වත්, මහායාන කිව්වත් දෙකේම ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ ගෝලයො තමයි. එකම ධර්මය. එකම විනය. එකම සූත්‍ර. අපිට ඉන්දියාවෙන් බුදුදහම ආවේ බුදුහාමුදුරුවන් පිරිනිවන් පාලා අවුරුදු තුන්සීයකට විතර පස්සේ. ඊට අවුරුදු දෙසීයකට විතර කලින් ඒ අයට ධර්මය ගියා. එතකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ අර සූත්‍රය වැරදියි, මේ සූත්‍රය වැරදියි කියලා. දෙකේම තියෙන්නේ එකම දේ.

පුද පූජා, පෙරහැර සංදර්ශන වැනි ලංකාවේ ඇතැම් ප්‍රකට බෞද්ධ සංස්කෘතිකාංග තුළිනුත් බුදුදහම විකෘති කිරීමක් සිදුවෙනවා නොවේද?

ඒවා කාලයක් තිස්සේ ආව චාරිත්‍ර මිසක් බුදුහාමුදුරුවන්ගේ ධර්මානුකූලව සිදුවෙන දේවල් නෙවෙයි. ඒවා හොඳ වුණත් නරක වුණත් කමක් නෑ. ඒවා බුදුදහමට ගලපන්න ඕනේ නෑ. එහෙම නම් පන්සල්වල මල්වට්ටි වෙන්දේසි කරන්නේ? ඒවාත් බුදු දහමට එකඟද කියලා අහන්න පුළුවන්නේ. ඒවා මේ පන්සල් ආරාම දියුණු කරන්න මිනිස්සුන්ගෙ හිත නොරිදා කීයක් හරි ගන්න කරන ටැක්ටික්ස්.

ලංකාවේ භික්ෂුණි ශාසනය නොපිළිගැනීම ධර්මානුකූලද?

ලංකාවේ කාන්තාවෝ මහණ වුණාම තමයි පිළිගන්න බැරි. ලෝකේ අනෙක් කොහේ මහණ වුණත් පිළිගන්නවා. චීනයේ ථේරවාදී පන්සල් පන්දහක් විතර තියනවා කියලා දැනගන්න තියනවා. චීනෙත් භික්ෂුණීන්වහන්සේලා ඉන්නවා. චීනේ භික්ෂුණි ශාසනය ඇතිවුණෙත් ලංකාවේ භික්ෂූණීන්වහන්සේලාගෙන්. එහෙම තියන එක පිළිගන්න දැන් මේ අය කැමති නෑ. ලංකාවේ තමයි ගෑනු මහණ වුණාම ‘ආපෝ ශාසනේ විනාශ වෙනවා’ කියන මතය තියෙන්නේ. ඉතිං ඒ වගේ මත ඉදිරිපත් කරන භික්ෂූණ්වහන්සේලා කොච්චර ප්‍රතිගාමීයිද? එතකොට මේ ශාසනය පවතින්න පුළුවන්ද? එහෙම නෙවෙයි අපි ලෝකය පිළිබඳ අවධියෙන් ප්‍රගතිශීලි විදිහට ඉන්න ඕනේ.

කලා නිර්මාණ මගින් බුදුහාමුදුරුවන්ට සහ බුදු දහමට අපහාස කිරීම ගැන මේ දිනවල දැඩි කතාබහක් සිදුවෙනවා. කොහොමද අපි මේ කියන අපහාසය නිර්වචනය කරගන්නේ?

වියට්නාමයේ පන්සල්වල සමහර චිත්‍රවල තියනවා බුදුහාමුදුරුවන්ගේ උකුළ උඩ ගෑනියෙක් බදාගෙන ඉන්නවා. ඒක තන්ත්‍ර යානයේ එන සංකල්පයක්. ඒ ගැන නොදන්නා මේ රටේ මිනිස්සු ඒ ඡයාරූපයක් දැක්කමත් කියනවා අන්න බුදුහාමුදුරුවන්ට අපහාස කරලා කියලා. ෆේස් බුක් එකෙත් දානවා. ඒ නොතේරෙනකම. බුදුන්ගේ රස්තියාදුව කියලා ලිව්වත් එකයි. තව මොනව හරි ලිව්වත් එකයි. එහෙමනම් ඉතිං මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ‘බවතරණය’ කියලා පොතක් ලිව්වා. ඒවායින් බුද්ධාගමට මොකවත් වුණාද? ඒවා ඒ මිනිස්සුන්ගේ නිදහස් චින්තනයනේ. ලියපුවාවේ. ඒ ලියන ඒවා නරක දේවල් නම් අනෙක් මිනිස්සු කියවලා බැලුවම ලියපු අයම පිරිහෙනවා මිසක් වෙනත් දෙයක් වෙන්නේ නෑ.

අධිකරණයට අපහාස කරලා, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරලා බන්ධනාගාරගත වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ භූමිකාවට සමස්ත සංඝ සමාජයේම නිහඬ අනුමැතිය ලැබී ඇති බවක් පෙනෙනවා. එය ශාස්තෲවරයාගේ දේශනාවට කොතෙක් දුරට එකඟද?

ඒ ප්‍රශ්නයේදී මට ඒ ගැන මොකුත් කියන්න පුළුවන්කමක් නෑ. ඒ හාමුදුරුවෝ තමන් පෞද්ගලිකව පිළිගත් මාර්ගයේ ගිය කෙනෙක්නේ. මට කියන්න තියෙන්නේ මට නම් ඒ මාර්ගයේ යන්න බෑ කියන එක. ඒ වගේම තමයි මගේ අනුගාමිකයෙකුටවත් ඒ මාර්ගයේ යන්න දෙන්නෙත් නෑ.