රාවය

අපේ නීතිමය සීමාවන් සමාලෝචන කමිටුවත් අදාළයි

අපේ නීතිමය සීමාවන් සමාලෝචන කමිටුවත් අදාළයි

සමන් ශ්‍රී රත්නායක
ජාතික සීමා නීර්ණය කොමිසමේ ලේකම්
සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

පළාත් සභා සීමා නිර්ණයන් සම්බන්ධයෙන් ඔබ කමිටුව මගින් ඉදිරිපත් කරන ලද සීමා නිර්ණය වාර්තාව පහුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණා. සීමා නිර්ණය වාර්තාවේ කෙටුම්පතක් මූලික වශයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා විසින් විෂය භාර අමාත්‍යවරයාට ලබා නොදීම ඔබ කමිටුව විසින් කරන ලද අඩුපාඩුවක්ද?

2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ සඳහන් කළ ආකාරයට කමිටුව විසින් පත් කරන ලද දිනයේ සිට මාස හතරක් ඇතුළත මෙම පනතේ 3අ(2),(3),(3),(5) උප වගන්තිවල නියමයන් අනුව කටයුතු කර එහි වාර්තාව අමාත්‍යවරයා වෙත දෙන්න ඕන. එකොළොස්වන උපවගන්තියේ සඳහන් වෙනවා අමාත්‍යවරයා වෙත ලැබුණු වාර්තාව සති දෙකක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි කියලා. එහෙත් කිසි ම තැනක සඳහන් කරන්නෙ නැහැ කමිටුව විසින් කෙටුම්පත් වාර්තාවක් අමාත්‍යවරයාට ලබාදිය යුතුයි කියලා.
සීමා නිර්ණය වාර්තාවේ කටයුතු ගිය අවුරුද්දේ ඔක්තෝබර් දහතුන්වැනිදා ආරම්භ කරලා මේ අවුරුද්දේ පෙබරවාරි තුන්වැනිදා වන විට අවසන් කරන්න අපිට පුළුවන් වුණා. අපි මේ වාර්තාව අමාත්‍යවරයාට භාරදීමට වෑයම් කරන මොහොතේ ලංකාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් සූදානම් වෙලා තිබ්බනෙග මැතිවරණ දිනය වුණේ පෙබරවාරි අටග ඉතිං අපිට ඇමතිවරයා සම්බන්ධ කරගැනීමට හැකිවුණේ නැහැ. කොහොම වුණත් පෙබරවාරි දහතුන් වන දා එතුමාගේ අමාත්‍යාංශයට ඇවිල්ලා එම වාර්තාව භාර දෙන්න කියලා දැනුම් දුන්නා. එහෙත් එතුමා එදින පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් නිසා එදා භාරගන්න බෑ කියලා ආයෙම දැන්වූවා. ඒ වන විටත් කමිටුවේ සාමාජිකයන් සියලුදෙනා කොළඹට පැමිණ සිටි නිසා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙය භාරදීමට හැකිදැයි විමසූ විට හවස තුනට පැමිණෙන ලෙස දන්වා සිටියා. ඒත් පස්සේ අමාත්‍යාංශ නිලධාරිනියක් කතා කරලා ආයෙම කිව්වා ලේකම්වරයා ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු සඳහා අමාත්‍යාංශයෙන් බැහැරව යන නිසා එදා භාරගන්න බෑ කියලා. දහතුන්වැනිදා කියන්නේ බදාදා දිනයක්.

දහසයවන වන සෙනසුරාදා වාර්තාවේ කෙටුම්පතක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ලිඛිතව ඉල්ලීමක් කළා. මීට කලින් කෙටුම්පතක් ඉල්ලලා කිසිම ඉල්ලීමක් සිදු කරලා තිබුණේ නැහැ. එතනදි සභාපතිවරයා විසින් ඇමතිවරයාට ලිඛිතව දැනුම්දීමක් කළා කෙටුම්පත නොවෙයි අවසන් වාර්තාව භාරදීමට කමිටුව සූදානම් බැවින් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසග අන්තිමට පෙබරවාරි දහනවවනදා අමාත්‍යවරයා වෙත එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී භාෂා තුනෙන්ම මෙම කමිටු වාර්තාව භාර දුන්නාග

වාර්තාවේ කෙටුම්පතක් පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දිය යුතුයි කියලා මේ පනතෙහි සඳහන්වෙලා තිබ්බා නම් සීමා නිර්ණය කමිටුව ඒක නොපිරිහෙළා ඉටු කරනවා. ඒත් ස්වාධීන කොමිෂන් සභාවක් විදිහට අපි නීතියේ නොමැති කාර්යයක් සිදුකරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් බලාපොරොත්තු වන දේත්ග

පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස ගත්තත්, පළාත් පාලන ආයතන කොට්ඨාස ගත්තත් බොහෝ විට බහු ආසන දකින්න තියෙනවා. ඒත් ඔබ කමිටුව ඉදිරිපත් කළ මේ වාර්තාවේ බහු ආසන නැහැ කියන එක ඊට විරුද්ධ ප්‍රධාන චෝදනාවක් වුණා. මේ කතාවේ යථාර්ථය මොකක්ද?

යම්කිසි ඡන්ද ප්‍රදේශයක් නිර්ණය කිරීමේදී ඒ කොට්ඨාසය බහු ආසනයක් විදිහට සලකන්න නම් මොනයම් හෝ සාධකයක් තුළ පැහැදිලිව වෙනස් වූ කොට්ඨාසයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න ඕන. වෙන වචනයකින් කියනවා නම් එක් ජන වර්ගයකින් බහුතරයකුත් අනෙක් වර්ගවලින් සංඛ්‍යාත්මක සුළුතරයකුත් සිටිය යුතුයිග මේ පාර්ශ්ව සියල්ල සඳහා තමන්ගේ නියෝජනයන් ලබාදීමේ අවශ්‍යතාව තුළ තමයි බහු ආසන නිර්මාණය වෙන්නේ. ඒ වගේ ම බහු ආසන නිර්මාණය විය යුතු වන්නේ ඒ දිස්ත්‍රික්කයට වෙන් කළ මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාව තුළ ම තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස විස්සක් තියෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ භූමිය කොට්ඨාස විස්සකට බෙදන්න පුළුවන්. යම් විදියකින් කොළඹ දිස්ත්‍රික්කයේ තුන් දෙනකුගෙන් යුත් බහු ආසනයක් යෝජනා වුවහොත් කොළඹ දිස්ත්‍රික්කය බෙදා වෙන්කළයුත්තේ කොටස් දහ අටකට විතරයි.

බහු ආසන නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ විවිධ කණ්ඩායම් සඳහා නියෝජන අවස්ථා ලබාදීම වුණත්, ඒක ඒ විදිහට ම ඉටුවීමේ කිසිදු සහතිකයක් මේ පනතේ නෑ. මොකද, යම්කිසි ආසනයක් බහු ආසනයක් කිරීමට හේතු වූ කාරණාව පදනම් කර ගනිමින්, තරග කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න ඕන කියල නීතිමය නියමයක් නැහැ. එහෙම වුණහම බහු ආසන සකස් කිරීමේ අරමුණු ඉෂ්ට වෙන්නේ නෑ.

මේක පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදිත් අපට දැකගන්න පුළුවන් වුණා. අපි ඒ නිසා තමයි අපි බහු ආසන සඳහා යොමු නොවී යම් සංඛ්‍යාත්මක සුළුතරයක් සිටින ජන කොට්ඨාස වෙනුවෙන් ඔවුන්ගේම නියෝජනයක් ලැබෙන ආකාරයට කේවල කොට්ඨාස සීමා නිර්ණය කළේ. උදාහරණයක් විදිහට පැහැදිලි කරනවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 76.5ක් සිංහලග 11.1ක් ද්‍රවිඩග ඒ වගේ ම 10.7ක් මුස්ලිම් ජාතිකයින්. ඒ අනුව බැලුවොත් සිංහල ජාතිකයින් සඳහා කොට්ඨාස 16ක්, ද්‍රවිඩ ජාතිකයන් සඳහා කොට්ඨාස 02ක්, මුස්ලිම් ජාතිය සඳහා කොට්ඨාස 02ක් නියෝජන අවස්ථා ලැබිය යුතුයි. ඉතිං ඔබ මේ සීමා නිර්ණ වාර්තාව කියවලා බැලුවොත් පැහැදිලි වෙයි ඔවුන්ගේ නියෝජන අවස්ථා අපි මේකෙන් ආරක්ෂා කරලා තියෙන්නෙ කොහොමද කියන එක.

ඒ වගේම අපි මේ කතා කළේ කොට්ඨාසවලින් පත්වෙන සියයට පනහ ගැන විතරයිනේ. ඒ වගේම අතිරේක ලැයිස්තුවෙනුත් සියයට පනහක් සභිකයින් පත් කරලා එවනවා. යම් සංඛ්‍යාත්මක සුළුතරයක් අයත්වන්නා වූ මොනයම් හෝ සංඛ්‍යාත්මක සුළුතරයක් වන පාර්ශ්වයන් සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ විසින් නියෝජන අවස්ථාව ලබාදීමේ හැකියාව මිශ්‍ර සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමය තුළ තියෙනවා.

ඒත් එක්කම බොහෝ අයට අමතක වෙච්ච කාරණයක් තියෙනවාග ඒ තමයි 2017 අංක 17 සංශෝධන පනතේ 3අ (16)(අ) වගන්තියට අනුව පරිපාලන දිස්ත්‍රික්කයකින් මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් තෝරා ගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව එහි කොට්ඨාස සංඛ්‍යාවට සමාන විය යුතුයිග ඒ නිසා කොට්ඨාස සංඛ්‍යාව ඉක්මවා යන මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරා ගැනීමට නීතියෙන් ඉඩකඩක් නෑ. සීමා නිර්ණ වාර්තාවෙහි කටයුතු සියල්ල අපි ඉටු කළේ අපිට සම්මත කරලා දුන් නීතිමය රාමුව තුළග ඒ වගේම මේ සියල්ල ගැන ඉතාමත් හොඳින් සැලකිලිමත් වෙමින්ග

පූජාපිටිය කොට්ඨාසය ඉවත් කළා කියන එක ඔබ කමිටුවට එරෙහිව දිගින් දිගටම එල්ල වුණු තවත් ප්‍රධාන චෝදනාවක්?

අපේ දැනුම අනුව පූජාපිටිය කියලා පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාසයක් නෑ. ඒ විතරක් නෙමෙයි, මීට කලින් කළ කිසිදු මැතිවරණ සීමා නිර්ණ අවස්ථාවක දී පූජාපිටිය කියල කොට්ඨාසයක් සඳහන් වෙන්නෙ නෑ. එහෙත් පූජාපිටිය කියලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සක් තියෙනවා 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ 3අ (2) වගන්තිය අනුව පරිපාලන දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් 50%කට සමාන වන ආකාරයෙන් එම දිස්ත්‍රික්කයේ කොට්ඨාස කැඩීම කරන්න ඕන. එහෙම බැලුවම මහනුවර දිස්ත්‍රික්කයේ අපිට කොට්ඨාස සංඛ්‍යාව බෙදන්න වෙන්නෙ පහළොවකට. පනතේ එවැනි සීමාවක් නොතිබුණා නම් එවැනි ඉල්ලීම් කරන පාර්ශ්වවල අවශ්‍යතාව අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම පළාත් සභා මැතිවරණ කොට්ඨාසයක් බවට නිර්ණය කරන්න තිබුණා. එහෙත් නීතියෙන් එහෙම කිරීමේ හැකියාවක් නෑ කමිටුවට. කමිටුව කළයුතු වන්නේ මහනුවර දිස්ත්‍රික්කය කොට්ඨාස පහළොවකට බෙදීම. එම නිසා තමයි පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් කොටසක් හතරලියද්ද පළාත් සභා මැතිවරණ කොට්ඨාසයටත් ඉතුරු කොටස අකුරණ කොට්ඨාසයටත් ඇතුළත් වන්නේ.

සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල වගේ ඇමතිවරු ඍජුව චෝදනා කරලා තිබුණා සීමා නීර්ණය කමිටුව ඔවුන්ගේ අදහස් සලකා බැලුවේ නෑ කියලා?

අපේ සීමා නිර්ණ වාර්තාවේ 761 පිටුවේ සිට 788 පිටුව දක්වා, එහෙමත් නැත්තම් හයවැනි සහ හත්වන පරිශිෂ්ඨවල තියෙන්නේ අපිට ලිඛිතව අදහස් ඉදිරිපත් කළ අය සහ එම දිස්ත්‍රික්කවල පැවති අදහස් ලබා ගැනීමේ සැසිවලදී වාචිකව අදහස් ලබාදුන්න අයගේ නම් සහ ලිපිනයන්. ඒක බැලුවම ඕන කෙනකුට තේරෙනවා කුමන කුමන පාර්ශ්ව, කුමන කුමන පක්ෂ, කුමන කුමන කොටස්ද තම අදහස් ලබාදීලා තියෙන්නේ කියලා.
ඒ වගේම කිරිඇල්ල අමාත්‍යවරයාගේ පක්ෂයේ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා හා නීතිඥ මිස්භා මහතා ඇතුළු නීතිඥ මහත්වරුන් කණ්ඩායමක් 2017 දෙසැම්බර් 02 වන දින ජාතික සීමා නිර්ණ කමිටුවට සාකච්ඡාවක් සඳහා පැමිණියා. ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ අප සලකා බැලුවා ඒ බව සභා නායකතුමා නොදන්වා ඇති. මේ වාර්තාවෙහි දෙවැනි පරිච්ඡේදයේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව පොදු සමාලෝචනයක් සකස් කරලා තියෙනවා. මේක කියෙව්වම කමිටුවට වැඩ කිරීමට තිබුණ නීතිමය සීමාවන් මොනවද කියල බලන්න පුළුවන්. ඒවගේම දහතුන්වැනි පරිච්ඡේදයේ තියෙනවා අපට ඉදිරිපත් කරපු යෝජනාවලින් කමිටුවට ක්‍රියාත්මකවීමට නොහැකි කාරණා සහ අනාගතයෙහි මෙවැනි සීමානිර්ණ අවස්ථාවකදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියලා.

මේ සම්බන්ධයෙන් මේ වන විට සමාලෝචන කමිටුවක් පත්කරලා තියෙනවා. ඔබ කල්පනා කරන හැටියට මේ කමිටුවේ කාර්යභාරය මොකක් වෙයිද?

අපි දැක්කා බොහෝ මාධ්‍යවලින් කියනවා සීමා නිර්ණ වාර්තාව පරාදයි කියලා. ඒත් මේ වගේ වාර්තාවක් සම්බන්ධයෙන් පත්කරපු පළවැනි සමාලෝචන කමිටුව මේක නෙමෙයි. මෙතනදි වෙන්නෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට නොඅඩු මන්ත්‍රී සංඛ්‍යාවකින් මේක අනුමත කර ගැනීම. එහෙම නොවිච්ච වෙලාවක පනතේ සඳහන් වනවා කථානායකවරයාට පුළුවන් අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ ප්‍රධාන ජනවර්ගයන් නියෝජනය කරමින් පුද්ගලයින් පස්දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කරන්නග

ඒ කමිටුවට කරන්න පුළුවන් මොනවද කියලා පනතේ දහතුන් වන වගන්තියේ තියෙනවා. 3අ(13) උප වගන්තියේ සඳහන් වනවා යම් මැතිවරණ කොට්ඨාසයක නම්, අංක හා මායිම් සම්බන්ධයෙන් සමාලෝචන කමිටුව මගින් යම් වෙනස්වීම් කළ යුතුයි කියලා. ඉතින් අපි හිතනවා අපි හදපු වාර්තාව පිළිබඳව සමාලෝචන කමිටුව 3අ(13) වගන්තිය අනුව කටයුතු කරයි කියලා. ඒ වගේ ම ඔවුන්ට කටයුතු කරගෙන යෑමේ දී අපට තිබුණු නීතිමය සීමාවන් ඒ ආකාරයෙන්ම සලකා බැලීමට සිදුවෙයි කියලත් හිතනවා.