රාවය

දුම්රියේ විනය නියෝග සෙල්ලම

දුම්රියේ විනය නියෝග සෙල්ලම

රසික ගුණවර්ධන

ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වන්නේ යටත් විජිත සමයේ භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව තකාය. එහෙත් වර්තමානයේ භාණ්ඩ ප්‍රවාහනය පසෙකින් තබා දුම්රිය ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය බවට පත් වී ඇත. කෙසේ හෝ දුම්රිය ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය බවට පත් වූව ද ඒ මඟී ප්‍රවාහනය ද ඇත්තේ ඉතාම අකාර්යක්ෂම තත්වයකය. එය එසේ වීමට ප්‍රමුඛතම හේතුව වන්නේ දුම්රිය වර්ජනයන් ය. දුම්රිය සේවකයෝ ස්වකීය අයිතිවාසිකම් ඉල්ලා කරන වැඩ වර්ජන ඉතාම ශක්තිමත්ය. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ එකසිය හතරක් වූ දුම්රිය වෘත්තීය සමිති ප්‍රමාණය සමඟ ගොඩනැගෙන විශාල බලය නිසාය. කෙසේ හෝ මේ කියන්නට යන කතාව ඔය කියන දුම්රිය වෘත්තීය සමිති එකසිය හතරෙන් එකකට හෝ ඇස ගැටෙන්නේ නැත. බාග විට මේ කාරණාව ඔවුන්ගේ අයිතිවාසිකම් ගොන්නට ඇතුලත් නොවන නිසා විය හැකිය. නැතිනම් තමන්ගේ උන් වැරදි කළ විට ඇස කණ පියාගන්නා න්‍යාය දුම්රිය වෘත්තීය සමිති ද අනුගමනය කරන නිසා විය හැකිය.

ගනේමුල්ල දුම්රිය අනතුර සිදු වන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 29 වැනිදාය. ඒ ගනේමුල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක තවත් දුම්රියක් ගැටීමෙනි. ඒ දුම්රිය අනතුරින් එක් පුද්ගලයකු මිය ගොස් විසි හතරදෙනෙක් තුවාල ලැබූහ. කෙසේ හෝ මෙම අනතුරෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වුණා යැයි කියන අලාභය රුපියල් හැත්තෑ හත් ලක්ෂ විසි හයදාස් හැටයි ශත හැත්තෑවකි.
දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් මේ සිදුවීම සම්බන්ධව කරන ලද පරීක්ෂණ වලට අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ අනතුරට හේතුව අණ නොතකා දුම්රිය ධාවනය කරවීම බවයි. එය දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අංක 121 දරන දුම්රියේ රියදුරුට නිකුත් කරන ලිපියේ සඳහන් වන්නේ මෙසේය.

“ඔබ 2008.09.29 වන දින අංක 1029 දුම්රියේ රියදුරු ලෙස සේවය කරමින් සිටියදී තම දුම්රිය ගනේමුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවන විට අංක 121 දරණ ස්වයංක්‍රීය වර්ණාලෝක සංඥාවේ දැක්වුණු අවදානම් තත්ත්වය (ප්‍රවේශමෙන් යනු) හැඟවෙන කහ පාට සංඥාව අනුව දුම්රිය වේගය පාලනය කර, ධාවනය නොකිරීමෙන්, අංක 129 දරණ ස්වංක්‍රීය වර්ණාලෝක සංඥාවේ අනතුරු හඟවන තත්ත්වය (අනතුරකි නවතිනු) හැඟවීමේ රතුපාට සංඥාවට එරෙහිව දුම්රිය ධාවනය කිරීමෙන්, ගනේමුල්ල දුම්රිය ස්ථානයේ, අංක 133 දරණ පාලන වර්ණ සංඥාවට එකඟව නවතා තිබූ අංක 1162 දරණ දුම්රියෙහි ගැටීමට ඉඩ සලැස්වීමෙන්, දුම්රිය දෙපාර්තුමේන්තුවට රු. 7,726,060.70 හෝ ඊට ආසන්න මුදලක මූල්‍යමය අලාභයක් සිදු කිරීමට හෝ ඊට දායක වීමෙන්, එක් ජීවිතයක් අහිමි වීමට හා මගීන් 24 කට හෝ ඊට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුවීමට ඉඩකඩ තැබීමෙන් හෝ එසේ වීමට දායක වීමෙන්, ආරක්ෂාකාරී දුම්රිය සේවයක් පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදුකර, දෙපාර්තමේන්තුව මහජන අපකීර්තියට පත් කර, දෙපාර්තමේන්තුවේ විනය පරිහානියට පත්කර ඇත.”

උක්ත පාඨය ඇතුළත් කරමින් දුම්රිය අංක 1029 දරණ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ අයි.එල්.කේ. දිසානායක නමැත්තාට එවකට දුම්රිය සාමාන්‍යාධිකාරී වූ බී.ඒ.පී. ආරියරත්න විසින් දිසානායක නමැත්තාව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කළ බව දැනුම් දෙමින් ලිපියක් යොමු කරනු ලබන්නේ 2017.08.23 වැනිදාය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරණු ලබන්නේ ඔහුට එල්ල වූ චෝදනා 11 අතුරින් චෝදනා 8 කට වැරදිකරු වීම නිසා මෙම සේවයෙන් පහ කිරීම සිදු කරන බවය.

අනතුරට පත් වූ දුම්රිය වන අංක 1029 දරන දුම්රියේ රියදුරු වන අයි.එල්.කේ. දිසානායකගේ නම මේ ලිපියේ සඳහන් වන්නේ අයි.කේ.එල්. දිසානායක ලෙසය. එලෙස නමේ අකුරු මාරු වීම ප්‍රයෝජනයට ගනිමින් එම ලිපියේ සඳහන් වන පරිදි සේවයෙන් පහ කිරීම ක්‍රියාත්මක වන්නේ නැත. ඉන් පසුව 2017.10.27 දිනැති ලිපිය මඟින් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම 2017.08.23 නිකුත් කරන ලද විනය නියෝග ලිපියේ දෝෂ සහිත බැව් සඳහන් කරමින් ආයතන සංග්‍රහයේ XLVIII  හි 26.1 අනුව එම ලිපිය අවලංගු කරන අතර ඔහු විසින් ඒ සඳහා නව විනය නියෝග ලිපියක් ඉදිරිපත් කරණු ලබයි.
මුල් ලිපිය නිකුත් කරන බී.ඒ.පී ආරියරත්න නමැති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ලිපිය නිකුත් කරන මොහොත වන විට එම තනතුරෙන් විශ්‍රාම ගැනීමට ආසන්නයේ පසුවිය. පෙර කී පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති විශාල වෘත්තීය සමිති ප්‍රමාණය හා එහි ඇති ආධිපත්‍යමය බලපෑම නිසා මේ සාමාන්‍යාධිකාරීවරයා හිතාමතා ලිපියේ දෝෂය සිදුකර ඇති බව අපට දැනගන්නට ලැබිණි.
කෙසේ හෝ පළමු ලිපිය අවලංගු කරමින් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම විසින් නිකුත් කරන දෙවන ලිපියේ නිර්දේශ තුනක් ඉදිරිපත් කරණු ලබයි.

I. අලාභයෙන් කොටසක් ලෙස රු. ලක්ෂ පහක මුදලක් අධිභාරයක් ලෙස අයකිරීම (රු.500000.00)
II.වැටුප් වර්ධක තුනක් (03 ක්) විලම්භනය කිරීම.
III. වැඩ තහනම්ව සිටි කාලයේ වැටුප් අහිමි කිරීම.

එහෙත් මෙසේ ඉදිරිපත් කරනු ලබන නිර්දේශ වල කිසිදු තැනක ප්‍රථම විනය නියෝග ලිපියේ සඳහන් කර තිබූ “සේවයෙන් පහ කිරීමේ” නියෝගය සඳහන් වන්නේ නැත. ඒ අනුව එකම විනය පරීක්ෂණයකදී විනය නිර්දේශ දෙවර්ගයක් ඉදිරිපත් වීම ගැටලුවකි. ප්‍රථම ලිපියේ විනය නියෝගය අනුව අංක 1029 දුම්රියේ රියදුරුට වැඩතහනම් කරන අතර එය අවලංගු කරන දෙවන ලිපිය හරහා නිරායාසව ඔහුගේ වැඩ තහනම අවලංගු වන අතර ඒ හරහා සිදු වන්නේ ඔහුට තවදුරටත් රැකියාවේ නිරත වීමේ අවස්ථාව ලබා දීමයි.

දෙවන ලිපියට අනුව රියදුරු වන අයි.කේ.කේ. දිසානායක නමැත්තාගෙන් අයකරගැනීමට නියෝග කරන මුදල හානියෙන් ආසන්න වශයෙන් 6.5% තරම් ප්‍රමාණයකි. හානියේ සම්පූර්ණ මුදල රියදුරුගෙන් අයකර ගැනීම සැබැවින්ම සිදු කළ නොහැක. මන්ද යත් හැත්තෑ හත් ලක්ෂයක් වැනි මුදල් ප්‍රමාණයක් එක් අයකුගෙන් අයකරගැනීම ප්‍රායෝගික වන්නේ නැත. එහෙත් මෙහි හානියෙන් යම් මුදලක් රියදුරුගෙන් අය කරගැනීමට සලස්වන්නේ ඒ හරහා මේ සිදු වීමේ සැර බාල කිරීමට විය හැකිය.
ඒ අනුව පැහැදිලි වන කාරණාව වන්නේ අංක 1029 දුම්රියේ රියදුරු වශයෙන් කටයුතු කළ අයි.එල්.කේ. දිසානායක නමැත්තා ඔහුගේ කුමන හෝ හැකියාවක් භාවිත කර විනය පරීක්ෂණයේ නියෝගය තමාට වාසි සහගත ලෙස වෙනස් කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කරන බව සඳහන් කරමින් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත ලිපියක් යොමු කරන්නේ 2018.07.11 වැනි දිනය. ඒ ලිපියේ සඳහන් වන්නේ අයි.එල්.කේ දිසානායක නමැත්තා නැවත සේවයේ පිහිටවීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි. කෙසේ වෙතත් ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

එක් විනය පරීෂණයක් අනුව සේවයෙන් පහ කිරීමේ විනය තීරණය ගැනීමෙන් පසුව නැවත විනය පරීක්ෂණයක් නොපවත්වා එන විනය තීරණය වෙනස් කිරීම ගැටලු සහගතය. විනය පරීක්ෂණ නියෝගය සඳහන් කළ ලිපියේ දෝෂයක් ඇත්නම් සිදු කළ යුතුව ඇත්තේ එම ලිපිය අවලංගු කර නිවැරදි ලිපියක් නැවත යොමු කිරීමය. එසේ නොමැතිව විනය නියෝගය පවා වෙනස් කර ලිපියක් යොමු කිරීම සිදු කළ හැක්කේ කුමන පදනමක් මත දැයි පැහැදිලි නැත. විනය පරීක්ෂණයක් සිදුකිරීම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තනිවම සිදු නොකරන බැවින්ද, එම විනය පරීක්ෂණය සිදු කළ අවස්ථාවේ දෙවන ලිපිය යොමු කළ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම එම විනය පරීක්ෂණය සිදු කළ කාලයේ සිටි දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා නොවන බැවින්ද ඔහු මෙසේ විනය නියෝගය වෙනස් කිරීම කෙතරම් දුරට සදාචාරාත්මක දැයි ගැටලුවක් ඇත.

එසේම රජයේ සේවකයකුට එරෙහිව විනය පරීක්ෂණයක තීන්දුවක් ලබා දුන් විට එය වෙනස් කිරීමට බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමට වේ. එහෙත් මෙහිදී එම තීන්දුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලබාගෙන ඇත.

ලොකෝමොට්වි ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සහාපති ඉන්දික දොඩාවත්ත.

2008 දි ගනේමුල්ලෙ දුම්රිය අනතුරට අදාළව අයි.කේ.එල් දිසානායක සේවයෙන් පහ කරනවාද?

නෑ නෑ, සේවයෙන් පහ කරන්නෙ නෑ. සේවයෙන් පහකරන්ඩ කියල නියෝගයක් දෙනව, ඊට පස්සේ කරුණු දැක්වීම මත නියෝගය වෙනස් වෙනවා. සේවයෙන් පහ කරලා ගියාට හරියට වැඬේ කරලා නෑ.

ඉස්සල්ල හිටපු සාමාන්‍ය අධිකාරීවරයා එක විනය නියෝගයක් ඉදිරිපත් කරනව ඊළඟ කෙනා තව එකක් ඉදිරිපත් කරනවා. ඇත්තටම ඔබතුමන්ලා මේක දැක්කෙ නැද්ද?

ඇත්තටම එයා අපේ සංගමයෙ ක්‍රියා කාරීව හිටපු නිසා හිටපු දුම් රිය සාමාන්‍යාධිකාරීවරයාව ඒ තනතුරෙන් ඉවත් කරන්ඩ කටයුතු කරපු නිසා මෙයා විශ්‍රාම යන අන්තිම මොහොතේ මෙයාගෙ ෆයිල් එකට සේවයෙන් පහ කරන්ඩ කියලා ගහලා ගිහිල්ලා තිබුණා. දිසානායක කියන්නේ ඉස්සල්ලා අපේ සංගමයේ හිටපු සභාපති.

ඉස්සල්ලා හිටපු දුම්රිය අධිකාරීවරයා දුන්න විනය පරීක්ෂණ නිර්දේශයෙන් පස්සේ වෙනත් විනය පරීක්ෂණයක් නැවත තියලද වෙනත් විනය නියෝගයක් දෙන්නේ?

නෑ නෑ, නිසි බළධාරිය ජී.එම්.ආර් නෙ

ජී.එම්.ආර්. ට එහෙම තීරණ ගන්ඩ බෑනෙ. රාජ්‍ය සේවා කොමිසම නේද තීරණය ගන්ඩ ඕනෙ?

රාජ්‍ය සේවා කොමිසම තීරණයක් ගන්ඩනන් විනය නියෝගය එයාට බාරදීල තියෙන්ඩ ඕනේ.

අපි මේ පිළිබඳව විමසීමට විනය පරීක්ෂණය සිදු කළ සමයේ දුම්රිය සාමාන්‍යාධිකාරීව සිටි බී.ඒ.පී. ආරියරත්න හා විනය නියෝගය සංශෝධනය කරමින් ලිපියක් යොමුකළ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ට ඔවුන්ගේ ඡංගම දුරකතන අංක ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සති දෙකක් උත්සාහ කළද ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොලැබුණි.