මහින්ද මහත්තයා

මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ගැන කතා කිරීම කියන්නේම එක පැත්තකින් වැඩකටම නැති දෙයක් ගැන කතා කිරීමය. ඒ වගේම වැඩකට නැති දේවල්වලට ලංකාවේ වැඩක් ඇති බවද ප්‍රායෝගික ඇත්තය.
ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලෝම දැන් කතාවන්නේ පස්වැනිදා ගැනය. නාමල්ගේ ඇන ගැනීම ගැනය. කිරි පැකට් ගැනය. බේබද්දෝ ගැනය. බැසිල් නැති එක ගැනය. කොටින්ම අවසානයේ රාජපක්ෂලා ගැනමය.
2015 ජනවාරි 8 වැනිදා සිද්ධ වූයේ රාජපක්ෂ පාලනය පෙරළා රාජපක්ෂලා ගැන කතා කරන්නට පටන් ගැනීමය. අදටත් එහි ඉවරයක් නැත. මෑතකාලීනව එනම් මේ වසර තුනහමාර තුළ වැඩිම භාවිත වූ වචනය සෙවුවහොත් ඒ ‘රාජපක්ෂ’ නම බව පැහැදිලිය. මුළු රටම රාජපක්ෂ ග්‍රහණයට හසුව ඇත. එසේ නම් ජනවාරි 8 වැනිදා සැබෑවටම රාජපක්ෂ පාලනය පරාජය වීද? එය අදත් ඇසිය යුතු ප්‍රශ්නයකි.
යහපාලන කෙරුමෝ සහ සිවිල් සංවිධාන එක හඬින් කීවේ රාජපක්ෂලා හොරු බවය. හොරු කියමින් කෑගැහැව්වා මිසක හොරු යැයි පෙන්වීමට සමත් නොවූහ. ඇතැම් අවස්ථාවල රාජිත අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සාකච්ඡාවලදී මේ ගැන අහන මාධ්‍යවේදීන්ට ඔහු බැන වැදුණේ “ඔයගොල්ලෝ කියන විදිහට හොරු අල්ලන්න බෑ. ඒවට පරීක්ෂණ කරනවා. කල්යනවා යන්නය.” දැන් හොරු අල්ලනවා කීවේ ජනතාවද. එය කියූ තක්කඩින්ගෙන් ඒ ගැන ඇසූ කල අසන්නට ලැබෙන්නේ බැණුම්ය. ජනවාරි 8 වැනිදායින් පසු රාජපක්ෂ දේශපාලනය අහවරම කරන්නට ඕනෑතරම් ඉඩකඩ තිබුණා පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නගන්නටත් පොළොවක් තිබුණි. එහෙත් එදා සිද්ධවුණේද පසුගිය පස්වැනිදා වූ දේමය. එනම් එනවුන්ට සහ ගෙනාවුන්ට අරමුණක් නැතිවීමය. ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂකයෙක් යැයි කියා ගෙනා මෛත්‍රීපාල සිරිසේනට තමන් ජනපති යැයි හිතන්නටම වසර ගාණක් ගතවිය. රනිල් වික්‍රමසිංහ තමා ජනපතිටත් උඩින් යැයි අදටත් හිතමින් ක්‍රියා කරන්නේය. 2020 එන්නේ අගමැති ප්‍රමුඛ යුගයක් බව මෛත්‍රීපාල සිරිසේන කියද්දී මෑතකාලීන දේශපාලනය අත්විඳින අයට එන්නේ නොනවතින හිනාය. ඒ වෙන කිසිවක් නිසා නොව ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවුණේද නිර්නාමිකව අගමැති ප්‍රබල යුගයක් බැවිනි. ඇතැම්විට එය මේ මොහොතේ හෝ ජනපතිට වැටහී ඇද්දැයි මේ කතාවලින් සැක මතුවේ. තමන්ට අගමැති වී හෝ බලයක් ලැබෙතැයි ඔහු සිතනවා විය හැකිය. ඒ අනුව දැන් මෛත්‍රීගේ එකම අරමුණ අගමැතිවීමය. ජනාධිපතිවරයා නොබෝදා තවත් චණ්ඩි කතාවක් කීවේය.
ජනපති කියන මේ කතා දැන් මෙගා ටෙලියක් බඳුය. ඉවරයක් නැතිය. ඔහු එජාපයටත් ඒකාබද්ධයටත් කියනුයේ ඔවුන් අධිමානයෙන් පසුවන බවත් ඒ දෙපිරිසටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව ගමනක් නැති බවත්ය. ඒ දෙගොල්ලන්ටම තමන් පසුපස එන්නට වන බවය. එහි අනෙක් පැත්ත ජනපතිගේ ඔළුගෙඩියට නොවැටහේද යන්න ගැටලුසහගතය. එනම් මේ අයගේ සහායක් නැතිව ශ්‍රී ලංකා එකටත් ගමනක් නැති බවය. එසේ නම් දැන් කාටවත් තමන් කෙරුමා තමන් ඕනෑ යැයි කිව හැකිද? එජාපයට සහ පොහොට්ටුවට ශ්‍රී ලංකා එක ඕනෑ යැයි මෛත්‍රී කියන විට ඔහු තේරුම් ගතයුත්තේ ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා එකටද මේ දෙදෙනාගේ කාගේ හෝ කරේ නැග ගමනක් යා යුතු බවත්, තනිව ගමනක් නැති බවත්ය.

පස්වැනිදා
පස්වැනිදා සිද්ධ වූයේ නිකම් පාරට බැසීමකි. ඉබාගාතේ යෑමකි. එදාට රාජ්‍ය ආයතන වටකොට කොළඹ සියතට ගෙන ආණ්ඩුව පෙරළන බව ඒකාබද්ධ විපක්ෂය කීවේය. එහි නායකත්වය නාමල් රාජපක්ෂට පවරා තිබුණි. මේ නාමල් කරළියට ගේන්න කරන වැඩ යැයි බොහෝ අයගේ අදහස විය. ලියුම්කරුගේ අදහස එය ඒතරම් උඩ දැමිය යුතු කරුණක් නොවන බවය. නාමල් ගේන්නට තව කල් ඇත. එහෙව් එකේ මුහුද හත්ගව්වක් තියාගෙන නාමල්ට දැන්ම අමුඩයක් ගස්සන්නට මහින්ද රාජපක්ෂට පිස්සුවක් තිබිය නොහැකිය. මේ හරහා රාජපක්ෂ පොඩි එකකුටත් වැඩක් කළ හැකි බව පෙන්වන්නට උත්සාහ කළා විය හැක. නාමල් ඇන ගත්තා කියන මහත්වරු සිතිය යුතු අනෙක් කරුණ නම් ඇන ගන්නට හෝ නාමල්ටද වැඩක් කළ හැකි බවය. නාමල්ට හිනාවෙන ගොඩක් අයට බලය තිබියදී පවා පළාත් පාලන ආයතනයක් දිනාගත නොහැකි විය. මේ දේශපාලනයේ ස්වභාවයම වී ඇත්තේ තමන්ද හෙළුවෙන් සිටම අනෙකාගේ හෙළුවට සිනාසීමය.
පස්වැනිදා කළ කෙන්ගෙඩියක් නැතත් පස්වැනිදා ගෙවෙන තුරු ආණ්ඩුව සිටියේ පිස්සුවෙනි. මේ කෑගැහිල්ලෙන්ම ඒක පැහැදිලිය. වැඩක් කරන වැඩකට ඇති ආණ්ඩුවක් නම් ඕවා ගැන කතා කරන්නටද වෙලාවක් නැතිය. අනෙක් අතට නාමල් රාජපක්ෂ ඉදිරියට දමාගෙන මහින්ද නැටුවේද ගොන්පාට් එකක් වුවත් දේශපාලනිකව තවමත් ඔහු ප්‍රබල බව මේ හැමදේකින්ම පෙනෙන්නට ඇත.

රනිල්ගේ විගඩම
පස්වැනිදා නාඩගම ඉවර වන සැණින් ඇරඹෙනුයේ එජාපයේ 72 වැනි සංවත්සර විගඩමය. එහිදී මෙවර කතාබහ නාමල් ගැනය. පස්වැනිදා ගැනය. වෙනදාට එජාප සංවත්සරවලදී සිදුවන්නේ රනිල් පන්නන මෙහෙයුම්ය. මෙවර නාමල්ට බනිමින් රනිල් කියනුයේ 2030දී සුක්කානම භාරදෙන බවයි. පස්වැනිදා නාමල්ට අනාගතය හදන්නට පාරට බැස්සා යැයි කියන දේශපාලන විචාරකයෝ රනිල් එජාපයේ අනාගතය නැත්තටම නැති කිරීම ගැන කතාවක් නැත. මහින්දට වඩා දේශපාලනික කෛරාටිකයා රනිල්ය. ඒකාධිපතියා රනිල්ය. අඩුම තරමේ පොහොට්ටු බලය රාජපක්ෂ පවුල අතර හෝ බෙදා ගන්නට වලි කති. එහෙත් එජාප බලයට අත තැබිය නොහැකි වී ඇත. සජිත්ට බලය දී යමක් සංවිධානය කරන්න රනිල් ඉඩදේද? එහෙත් මහින්ද බලයට දක්වන කෑදරකම රනිල්ට ඇතැයි නොකියන්නට කට්ටිය පරිස්සම් වෙති. ගෝඨාගේ සුදු වෑන් මෙන්ම රනිල්ටද බටලන්ද යුගයක් තිබුණි. එහෙත් අද ගෝඨා ආවොත් යැයි වෙව්ලන අය හිටගෙන ඉන්නේ එවැනිම පරණ ගෝඨා කෙනකු ඉදිරිපිට යැයි නොසිතති.
ඔබාමා කොච්චර හොඳ වුවත් ඔහුට නැවත ඇමරිකාවේ දේශපාලන නායකත්වයක් නැතිය. එහෙත් මෙරට මියැදෙන තෙක් පමණක් නොව මියගිය පසු බිරිඳට, පුතාටද එය උරුමය. රාජපක්ෂ මෙන්ම මෛත්‍රී පැරදුණද දේශපාලනය අත නොහරිනු ඇත. මහින්දට ජනපති වී මන්ත්‍රී වන්නට හැකිනම් මෛත්‍රීට බැරි ඇයි? රනිල්ට නැවත විපක්ෂ නායක විය නොහැකිද? එයද ලැජ්ජාසහගත වුවත් ඒ ගැන කතා කරන්නේ මොනතරම් අඩුවෙන්ද?
පස්වැනිදා කළ පෙළපාළියේ සාර්ථක අසාර්ථකකම ගැන කතා කරමින් කාලය කා දැමීම ආණ්ඩුවට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයටද වටී. මේ සියල්ල හරහා සිද්ධ වනුයේ රටේ ප්‍රධාන ප්‍රශ්න මගහැරීමකි. මේ ආණ්ඩුව ඉතා සුක්ෂ්මව එය ඇඟට පතට නොදැනී කරමින් සිටියි. රාජපක්ෂලා වුව ජනතාවගේ අවංක ප්‍රශ්න කතා නොකර ආණ්ඩු පෙරළන්නට කතා කරති. සාර්ථක අසාර්ථකභාවය ගැන වාද කරමින් මේ සැවොම කල් මරති. දැන් මේ සැවොම එකය. හෙට රාජපක්ෂලාට බලය නොදෙන්නැයි කියන්නට වික්‍රමසිංහලාට හෝ සිරිසේනලාට කිව නොහැකිය. රාජපක්ෂලාගේ හොරකම අල්ලනවා යැයි කී යහපාලනයත් හොර ගුහාවක්ම විය.
ජනවාරි 8 වැනිදා බලය ගත් අයට කුමක් කරනවාද යන අනාථභාවය ඇතිවූයේ ඔවුන් බලය ලබාගැනීම ගැන විශ්වාසයක් නැතිව සිටි පිරිසක් මෙන්ම බලය ලබාගතහොත් ක්‍රියාකරන ආකාරය ඔවුන්ද සිතා නොතිබුණු නිසාය. ඒ අනාථවීම තවමත් එසේමය.
මේ තත්ත්වයට දැන් රාජපක්ෂද මුහුණ පා ඇත. එනම් තනි අශ්වයා ලෙස ගිය ඔහුගේ ගමනට එකවරම ගෝඨාභය කඩා පැන්නේය. එකම දෙවියා මහින්ද කියා සිතා සිටි අයට තවත් දෙවියෙක් ඉද්දී අපි පිදුවේ නෑ යන හැඟීමක් ඉපදී එක දිගට ගෝඨා පුදන්නට ගත්තෝය. මහින්ද රට වටා විවෘත කරමින් ගිය කොත් ගෝඨා ලවා විවෘත කරන තැනට මාර්කට් එක ඔහුට ඇතිවිය. මහින්දගේ කුණු හෝදන විමල් වීරවංශ ගෝඨාගේ ගොබෙල්ස් වූයේය. ගම්මන්පිලද ඊට එකතු විය. අලුත්ගමගේද ලාවට ළං විය. මහින්ද විතරයි එකම කෙනා කියා සිතා සිටි මහින්දට ගෝඨා දැනෙන ප්‍රශ්නයක් විය. එය තවමත් අහවර නැත. මහින්ද පිලේ වුවත් වැඩි ආකර්ෂණය ගෝඨාට ඇති බව නොරහසකි. මහින්ද බයද? නැද්ද යන්න කෙසේ වෙතත් තමන් පමණක් යැයි සිතා සිටි අධිමානය තම සහෝදරයා ලවා හෝ සෙලවීම ඔහුට දරාගත නොහැකි විය. එසේ කියා බලය ලබාගැනීමට ගැසිය යුතු තුරුම්පුව එය නම් මහින්ද ගෝඨාව පාවිච්චි නොකර සිටිතැයි සිතීම දේශපාලනිකව ළාමකකමකි.
පස්වැනිදා සිදුවූයේ අරමුණක් නැතිවීමය. අරමුණක් නැතිව හෝ ඇහිඳා ගතහැකි පිරිසක් රාජපක්ෂලා වටා තවමත් සිටිති. සාර්ථක අසාර්ථකකම් ගැන මාධ්‍ය සංදර්ශන නොතියා එය මැන බැලිය හැකි ප්‍රබලම කාරණයට ආණ්ඩුවට යා හැකිය. එනම් ඡන්දයය. දැන් මේ ආණ්ඩුව ඡන්දයට පණ බයය. පළාත් පාලන මෙන්ම පළාත් සභා පරාජය වුවහොත් එහි කඩා වැටීම මෙවර මෙන් දෙගුණයක් වන බව මේ ආණ්ඩුව දනිති.
දැන් ආණ්ඩුවට මෙන්ම ඒකාබද්ධයට ඇත්තේද තමන්ගේ කොන්ත්‍රාත් පාක්ෂිකයෝ ටිකය. එහෙත් පොදු ජන මතය පිළිතුරු සැපයීම කතිරය අනුව සිද්ධ වන්නකි. එයට දැනටමත් ආණ්ඩුව බිය වී ඇත. පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු ආණ්ඩුව වෙනස් වෙතැයි සිතුවද වෙනස් නොවුණි. ඒ නිසා ජනතාවට නරක දෙපිළෙන් වඩා නරක පිළ තෝරන්නට සිදුව ඇත. තවමත් වඩා නරක රාජපක්ෂලා වුවද අභියෝගය භාරගන්නට ආණ්ඩුව බයය.
අප අමතක නොකළ යුතු දේ නම් ජනතා ආමන්ත්‍රණයන්ය. ජනපතිට පෙන්දා කියන, රනිල්ට නපුංසකයා කියන ජනතාව මහින්දට ආමන්ත්‍රණය කරන විදිහය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ එජාප පාක්ෂිකයන් අතරවත් නැති මේ ආමන්ත්‍රණය දේශපාලන ඔස්තාර්ලා අමතක නොකළ යුතුය. එනම් ‘මහින්ද මහත්තයා’ යහපාලනය ආ දවසේ සිට හොරා කී මහින්දට සාමාන්‍ය ජන සමාජය අතර ‘මහින්ද මහත්තයා’ ලෙස ස්ථාපිත වන්නට හැකිනම් තවමත් පොළොවේ දේශපාලනය මහින්ද ළඟ බව අමතක නොකළ යුතුය. රනිල් තමයි මොළකාරයා. රනිල් තමයි මහත්තයා යැයි බලෙන් ඔප්පු කරන්නට ගිය අය ජනවාරි 8 වැනිදායින් පසු සැබෑ රනිල් කවුද යන්න හෙළි කළේය. දැන් රනිල්ලාව අමුතුවෙන් පින්තාරු කළ නොහැකිය. ප්‍රශ්නය වන්නේ යහපාලනයේ අවුරුදු තුනහමාරක් ගෙවුණ තැනත් මහින්ද මහත්තයා ඉතිරිවීමය. රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා කියා කතා කරන සාමාන්‍ය මිනිසා මහින්ද ගැන කියද්දී කියනුයේ මහින්ද මහත්තයා ලෙසය. මේ ලංකාවේ දේශපාලනයය.