ඉන්ධන සූත්‍රය හා ගාස්තු සූත්‍රය

ඉන්ධන මිල සූත්‍රයෙන් සෑම මසකම 10 වැනිදා වන විට ඉන්ධන මිල වැඩිවීම මහජනයාගේ පැත්තෙන් පීඩාකාරී සිද්ධියක් බවට මේ වනවිට පත්ව තිබේ. නමවැනිදාට පිරවුම්හල් අසල තරමක් දිගු පෝලිම් දක්නා ලැබෙයි. ඒ දහවැනිදාට මිල වැඩිවන නිසා පැරණි මිලට ඉන්ධන ෆුල්ටෑන්ක් බැරි නම් අමතරව පෙට්‍රල් බෝතලයක්වත් රැගෙන තබා ගැනීමටය. මෙය මිල වැඩිවීමට පිළියමක් නොවේ. සෑම මසකම ඉන්ධන මිල වැඩිවන නිසා ගෙවල්වල ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් සාමාන්‍ය ජනතාවට නැත. පෙට්‍රල් බෝතලයක් හෝ මිල වැඩිවන්නට පෙර ගැනීමට ඔවුන් ලොකු වෙහෙසක් දරන්නේ එනිසාය.

ඉන්ධන මිල සූත්‍රයක් ඔස්සේ ඉහළ යෑම දැනට මාස කිහිපයක් තිස්සේ සිදුවිය. සැප්තැම්බර් 11 වැනිදා වනවිට පුද්ගලික බස්රථ හිමියන් රජයට දැනුම් දී තිබුණේ ආණ්ඩුව බස් ගාස්තුව සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා නොදුනහොත් බස් ගාස්තු 10%කින් වැඩි කිරීමට සිදුවන බවය. ගාස්තු සඳහා මිල සූත්‍රය හැදීමට බස් හිමියන් ආණ්ඩුවට ලබාදී තිබෙන කාලය දින 03කි. මේ වනවිට සුපර් ඩීසල් ලීටරයක මිල රු. 133කි. ඔටෝ ඩීසල් ලීටරයක් 123/-කි. ඔක්ටේන් 92 වර්ගය ලීටරයක් 149ක්ද, ඔක්ටේන් 95 වර්ගය රු. 161ක්ද දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය තුළ කෙටි ගමන් වාර සහිත බස්රථයක් සඳහා දිනකට රු. 2000/-ක් පමණ අතිරේක ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් එක දිගට ධාවනය වන බස් රථයක නිරන්තරව සිදුවන පිළිසකර කිරීම් සඳහා වන වැය කිරීම්ද ගණනය කර බැලීමේදී ඉන්ධන මිල මාසයෙන් මාසයට ඉහළ යනවිට බස් ගාස්තු වැඩි කිරීමට සිදුවීම අරුමයක් නොවේ. බස් හැරුණු විට විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තුද වැඩි කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. ඊළඟට ප්‍රවාහන වියදම් වැඩිවීම නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළ යන ලකුණු දිස්වේ. ජනතාවට මේ තරම් අස්ථාවරව දිවි ගෙවීමට සිදුවී තිබීම මහත් පීඩාකාරී වාතාවරණයක් උදාකරන්නක් බවට තර්කයක් නැත. මේ අවුලට කිසිවෙක් පිළියමක් සොයන තත්ත්වයක්ද දක්නට නොලැබේ.

වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව ලාංකිකයාගේ ආදායම වැඩිවන්නේ ඉතා මන්දගාමීවය. භාණ්ඩ මිල ඉහළ යන විට වැටුප් අරගලය ඉස්මත්තට එයි. අරගල කර වැටුප් වැඩිකරවා ගත්විට යළි භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවෙයි. අනතුරුව යළි ශ්‍රමිකයාට වැටුප් අරගලය දක්වා පසුබැසීමට සිදුවෙයි. මෙම ක්‍රියාවලියෙහි අවසානයක් තිබිය නොහැකිය. මේ අනුසාරයෙන් බස් හිමියන්ගේ ඉල්ලීම සලකා බැලිය හැකිය. ඉන්ධන මිල සෑම මාසයකම සූත්‍රයකට අනුව ඉහළ දැමෙයි. බස් හිමියන් කියන්නේ ඔවුන්ටත් ගාස්තු සම්බන්ධයෙන් රජය සූත්‍රයක් සකසා දිය යුතු බවය. ගාස්තු සූත්‍රයට අනුව අවසානයේදී සිදුවිය හැක්කේ ඉන්ධන මිල මාසිකව ඉහළ යන වාරයක් පාසා බස් ගාස්තු මිලද ඉහළ යෑමය. ඉන්ධන මිල සූත්‍රය ජනතාව භාරගෙන සිටින ආකාරයටම ගාස්තු සූත්‍රයද ඔවුන්ට පිළිගැනීමට සිදුවෙයි. භාණ්ඩ මිල ඉහළ යනවිට මිල පාලනයක් කිරීම වැදගත් වන්නා සේ ම ඉන්ධන මිලද සූත්‍රයකින් ඉහළ යෑමට විකල්පව තුළනයකට භාජනය කළ යුතුය.

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම ලංකාවේ ඉන්ධන මිල වැඩි කිරීම යුක්තිසහගතද යන්නත් ආණ්ඩුව කල්පනා කර බැලිය යුතුය. සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ ගියද ලංකාවේ ඉන්ධන මිල අඩු නොවුණු කාලවකවානු තිබුණි. හෙජින් ගිවිසුම යටතේ ලංකාව එබඳු පාඩුවකට මුහුණ පෑවේය. යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම ඉන්ධන මිල අඩු කොට දිගු කාලයක් අඩු මිලකට ඉන්ධන ලබා දුන් බව සැබෑය. එහෙත් මිල සූත්‍රය වසරක් ක්‍රියාත්මක වුවහොත් මිල අඩුවීමෙන් රජය ලද පාඩුවට හිලව් වන්නට ජනතාවට විශාල වැයක් දරන්නට සිදුවනු ඇත. එබැවින් ආණ්ඩුව දුන් දේ අනික් අතින් නොගෙන ඉන්ධන මිල සූත්‍රය වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් ගැන සිතා බැලීම වැදගත්ය.

සාමාන්‍ය ජනයාගේ පැත්තෙන් සිතා රජයට යම් ඉන්ධන සහනයක් ලබාදිය හැකිය. ඒ සඳහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වැය පක්ෂය සැලකිය යුතු මට්ටමකින් කපා හළ යුතුය. සාමාන්‍යයෙන් රටක් ආර්ථික අර්බුදයක ගිලී ගිය අවස්ථාවක කැපකිරීම් කළයුත්තේ ජනතාව පමණක් නොවේ. පාලකයෝද ඒ පිළිබඳ වගකීමෙකින් බැඳී සිටිති. ප්‍රශ්නය වන්නේ ලංකාවේ පාලකයන් මේ ගැන වුවමනාවෙන්ම අමතක කර මජර දිවි පෙවෙතකට හුරුවී තිබීමය. ඒ නිසා ජනයා මුහුණ දෙන ප්‍රශ්න ගැන ඔවුනට නිසි වැටහීමක් නැත. අඩුතරමින් රටේ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව රු. 163 වෙද්දීත් දැන් රට සමෘද්ධිමත් යනුවෙන් රටේ අගමැති පවසන්නේ එනිසාය. අගමැතිගේ ගෝලයකුගේ ක්‍රියාවක් රටේ මූල්‍ය ස්ථාවරත්වයට බරපතළ ලෙස හේතුවක් වී තිබියදීත් අගමැති ජනතාව ගොනාට අන්ඳන්නට හදන්නේ එනිසාය. අගමැති එසේ කර තිබෙන්නේ හෙට රු. 4/-කින් ඉන්ධන ලීටරයක මිල වැඩිවන නිසා අද ඉන්ධන බෝතලයක් දෙකක් ගැනීමට පෝලිමේ සිටින අහිංසකයාට එරෙහිවය. දැන් ඉතිං මේ අවනඩුව කියන්නේ කාටද?