රාවය

20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ වුවද එය ඔවුන්ගේ දර්ශනය හෝ අදහස් අනුව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගත හැකිය. එම සංශෝධනයේ එන දර්ශනය සේ ම විධිවිධානද අගමැතිවරයාගේ දේවල් බව තේරුම් ගැනීමට අමාරු නැත. එයින් හමන අගමැති සුවඳ පහසුවෙන් හඳුනාගත හැකිය.

ජනමත විචාරණයකට නොගොස් තමන්ට මනාප ව්‍යවස්ථාවක් නීතිගත කරන ක්‍රමයක් අගමැතිවරයා සොයන්නට පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ කාලයේදීම වාගේය. ජයම්පති ලවා කෙටුම්පත් කරවා ගත් 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළේද ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියකින් පමණක් ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට ජනාධිපතිවරයා සතුව තිබූ සියලු බලතල තමන් වෙත හිමිකර ගන්නටය. යහපාලන ආණ්ඩුව අලුතෙන් තේරී පත්වූ ආණ්ඩුවක් වන නිසා අධිකරණය ඒ බව සලකා එම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය දෙනු ඇතැයි අගමැතිවරයා අපේක්ෂා කරන්නට ඇත. එහෙත් අධිකරණය ඒ වැඬේට ඉඩ දුන්නේ නැත. ඒ නිසා අවසානයේ කළ හැකි වූයේ එක්තරා ප්‍රමාණයකට ජනාධිපතිගේ තටු කපන්නට පමණය. හරි විදියට නම් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට පවා ජනමතවිචාරණයක අනුමැතියකින් තොරව අධිකරණය ඉඩ නොදිය යුතුව තිබුණි. කුමන හේතුවක් නිසා හෝ ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්නට අධිකරණය ඉඩ දුන්නද ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඉඩ දුන්නේ නැත. 19යේ අවසාන ප්‍රතිඵලය වූයේ තිබුණු ආණ්ඩුක්‍රමය මනා ඒකාග්‍රතාවක් නැති අවුල්සහගත ආණ්ඩු ක්‍රමයක් බවට පත්වීමය.

එම අභාවවාචක අත්දැකීමෙන් පසුත් ජනමත විචාරණයක අනුමැතිය නොමැතිව නොකළ යුතු දේවල් ජනමත විචාරණයක අනුමැතිය නැතිව කරන්නට තිබෙන උනන්දුව අගමැතිවරයා අත්හැරියේ නැත. පළාත් පාලන මැතිවරණවලින් ලැබූ පරාජයෙන් පසුව පළාත් සභාවලට මුහුණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොතිබුණි. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීමේ තේමාව කරළියට ගෙන පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනවලට එම මැතිවරණ නොපවත්වා සියලු පළාත් සභා ආණ්ඩුව කැමති එක දිනක පැවැත්වීමේ අරමුණ ඇතිව ආණ්ඩුව 20 වැනි සංශෝධනයක් ඉදිරියට ගෙනාවේය. යළි එම සංශෝධනයේ අරමුණ වූයේ ජනමත විචාරණයක අනුමැතියෙන් තොරව එම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කරවා ගැනීමය. එහෙත් ඊටද ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දුන්නේ නැත. ඒ ගැන මා මෙහිදී වැඩිදුර විග්‍රහයක් නොකරන්නේ පසුගිය කලාපයට ලියන ලද ලිපියෙන් ඒ ගැන විග්‍රහ කර තිබෙන නිසාය. අවසානයේදී එම ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

පළාත් සභා මැතිවරණ ගැන එවැනි අධිකරණ අර්ථකථනයක් තිබියදී ඒ අරමුණම වෙනස් ආකාරයකින් ඉටුකර ගැනීම සඳහා පළාත් සභා ඡන්ද නීතිය සංශෝධනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබාදී තිබියදී එවැනි නීති සම්පාදනයක් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබේද යන ප්‍රශ්නය පැන නැඟුණු විට නීතිපතිවරයා අර්ස්කින් මේ උපුටා දක්වන අර්ථකථනයක් පාර්ලිමේන්තුවට දුන්නේය. අර්ස්කින් මේ එංගලන්ත පාර්ලිමේන්තුවේ අයිතීන් ගැන කරන විවරණය ලංකාවට අදාළ නොවන්නේ ඇයිද කියන ප්‍රශ්නයද පසුගිය කලාපයට ලියන ලද ලිපියෙන් මා පෙන්වා දී ඇති නිසා ඒ ගැනද මා මෙහි කිසිවක් ලියන්නේ නැත. කරුණු තේරුම් ගැනීම පහසු කරගැනීම සඳහා එම ලිපිය මේ ලිපිය සමග එකට කියවන ලෙස මෙම විෂය ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

නීතිපතිගේ අර්ථකථනය හේතුවක් කරගනිමින් ආණ්ඩුව පළාත් සභා ඡන්ද සඳහා තිබුණු නීතිය අහෝසි කොට ඒ සඳහා අලුත් පනතක් සම්පාදනය කරන වැඩසටහනක් ඉදිරියට ගත්තේය. ලක්ෂ 200කටත් වැඩි වියදමක් දරා එම පනත සඳහා අවශ්‍ය සීමා නිර්ණ කටයුතු අවසන් කොට අලුත් නීතිය සම්පාදනය කිරීමේ කටයුතු නිමා කිරීමෙන් පසුව පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමට තිබෙන හොඳම ක්‍රමය අලුත් පනත නීති ගතවන්නට ඉඩ නොතබා එය පරාජය කිරීම බව තේරුම් ගත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන බලකණ්ඩායම්වල සහයෝගය ඇතිව ඒ පනත පරාජය කළේය. ඉතාමත් පුදුමසහගත දේ වනුයේ එම සංශෝධනයට පක්ෂව ඉතාමත් බලවත් ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණද පනත පරාජය කිරීමේ වැඩසටහනේ සැඟවුණු කොටස්කරුවකු ලෙස ක්‍රියාකිරීමය. පොහොට්ටුව කණ්ඩායමද ඊට දායක විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර භේද හා බලය සඳහා කුළල් කාගැනීම් ඇතත් ඒ සියලුදෙනාගේ යහපතට හේතුවන සටකපට වැඩවලදී එකට එකතු වී එක පොදියක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඒ සියලුදෙනාට තිබෙන බව ඒ අවස්ථාවේදී ඒ සියල්ලේදී ක්‍රියාවෙන් පෙන්නුම් කළෝය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙනවිත් තිබෙන 20 වැනි සංශෝධනයේ ප්‍රධාන අභිලාෂය අගමැතිවරයාගේ දේශපාලන අභිලාෂය සපුරා ගැනීමක් ලෙස නිර්වචනය කළ හැකිය. එකක් ජනමත විචාරණයකට තිබෙන ව්‍යවස්ථාපිත පිළිගැනීම අහෝසි කිරීමය. එය අගමැතිවරයාගේ පමණක් නොව, මේ වනවිට යහපාලන ආණ්ඩුවේ පොදු අභිලාෂය වී තිබෙන්නේ යැයි කිව හැකිය.

දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවේ එන සමහර කාරණා ජනමත විචාරණයකින් ලබාගන්නා අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් පමණක් වෙනස් කළ නොහැකිය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු වැදගත්ම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුව මෙතෙක් උත්සාහ කර තිබෙන්නේ එම කොන්දේසිය නොසලකා ක්‍රියාකරන්නටය. එහෙත් ඒ වැඬේට අධිකරණය ඉඩ දුන්නේ නැත. දැන් එම ප්‍රජාතන්ත්‍ර විරෝධී දුෂ්ට අරමුණද 20 වන සංශෝධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. එම දේශපාලන කොන්ත්‍රාත්තුවේ, කොන්ත්‍රාත්කරුවා බවට පත්ව සිටිනුයේ ජවි පෙරමුණයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයේ එන මේ කොටස හොඳින් කියවන්න. ව්‍යවස්ථා සංශෝධනයේ සැඟවුණු අරමුණ එම වගන්තිය ආශ්‍රයෙන් හොඳින් තේරුම් ගත හැකිය. එය ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන අතුරු මාතෘකාව යටතේය.
25 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන ව්‍යවස්ථාවේ (1) වන ඡේදයට ඉනික්බිතිව පහත දැක්වෙන වචන එකතු කිරීමෙන් එම ව්‍යවස්ථාව මෙයින් සංශෝධනය කරනු ලැබේ.
“එසේ වුවද එම පනත් කෙටුම්පතට පක්ෂව (පැමිණ නොසිටින මන්ත්‍රීවරුන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයක් පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව දින 28ක කාලයක් ඇතුළත එවැනි යම් පනත් කෙටුම්පතක් හෝ විධිවිධානයක් ජනමතවිචාරණයක් මගින් මහජනතාවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වන අවස්ථාවකදී, එම පනත් කෙටුම්පත හෝ එහි යම් විධිවිධාන ජනමත විචාරණයක් මගින් මහජනතාව වෙත ඉදිරිපත් කර ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර මැතිවරණ කොමිෂන් සභාව ඒ අනුව ක්‍රියාකරනු ලැබිය යුතුය.”

ඒ මගින් පරණ ව්‍යවස්ථාවේ අවලංගු කරන වගන්තිය මෙසේය.

“85 (2) යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධි විධානයක් ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති අවස්ථාවක හෝ පනත් කෙටුම්පතක් 85 වන ව්‍යවස්ථාවේ (3) වන අනු ව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් එම කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙන් එකී විධිවිධානය නීතිය බවට පත්වන්නේය. මෙහි පහත දැක්වෙන ආකෘතියෙන් වූ සහතිකයක් ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුතුය.

මෙම පනත් කෙටුම්පත/ විධි විධාන ජනමත විචාරණයකදී ජනතාව විසින් යථා පරිදි අනුමත කරන ලද බව මෙයින් සහතික කරමි.

කාගේ හෝ දුෂ්ට වුවමනාවකට දැන හෝ නොදැන ජනතා විමුක්ති පෙරමුණ ජනමත විචාරණ ක්‍රමයට වැඬේ දෙන්න හදන බව හොඳටම පැහැදිලිය.

රටක පරමාධිපත්‍යය බලය තිබෙන්නේ ජනතාවටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාව සමග ඇතිකර ගන්නා ගිවිසුමකි. ව්‍යවස්ථා සම්පාදනයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයක අනුමැතිය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය සලකයි. ජනතා විමුක්ති පෙරමුණ කුමන හේතුවක් නිසා හෝ අවලංගුවෙමින් සිටින පාලක පක්ෂවල පැවැත්ම සහතික කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් තමන්ගේ කරට ගැනීම කොතරම් ජුගුප්සාජනකය?

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධනය තුළ ඉදිරිගාමී හෝ විප්ලවකාරී ලෙස සැලකිය හැකි කිසිම දෙයක් ඇතුළත්වන්නේ නැත. අඩුම වශයෙන් ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් දූෂිත හා කුණු කිරීමට හේතුවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තිබෙන සියලු රටවල තහනම් කර තිබෙන 1977 දක්වා ලංකාවේද තහනම් කර තිබුණු ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීම, ආර්ථික ලාභ ලැබෙන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීම, ආණ්ඩුවේ දේපළ මිලදී ගැනීම වැනි ක්‍රියා මන්ත්‍රීවරුන්ට තහනම් කරන විධිවිධානවත් ඊට ඇතුළත් නැත.

තිබෙන ඒකාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට යාම අවශ්‍ය නම් එය කළයුත්තේ විධිමත් ලෙස ව්‍යවස්ථා සම්පාදනයකට යෑමෙනි. සරල ව්‍යවස්ථා සංශෝධනයකින් ඒ අරමුණ සපුරා ගන්නට යෑමෙන් විය හැක්කේ දැනටමත් විකාරයක් බවට පත්ව තිබෙන රටේ ආණ්ඩුක්‍රමය මළවිකාරයක් බවට පත්වීමය. ආණ්ඩු ක්‍රමයක් සමග සෙල්ලම් කරන්නට යෑම භයානකය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යටතේ තිබුණු පාර්ලිමේන්තුව හා ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් යටතේ තිබුණ පාර්ලිමේන්තුව එක සමාන නොවන බව මා මීට පෙර විස්තරාත්මක ලෙස පෙන්වා දී ඇත්තෙමි. ඒ නිසා මා ඒ ගැනද මෙහි ලියන්නේ නැත. ජනාධිපතික්‍රමය අහෝසි කොට ජනාධිපති ක්‍රමය සඳහා ගොඩනගා තිබුණු දූෂණයෙන් කුණුවී තිබෙන පාර්ලිමේන්තුවට සියලු බලතල ලබාදීමෙන් ඇතිවිය හැක්කේ වඩා හොඳ ආණ්ඩුක්‍රමයක් නොව, දූෂිත විකාරරූපී ආණ්ඩු ක්‍රමයක්ය. ජනතා විමුක්ති පෙරමුණ නිසි පරීක්ෂාවකින් තොරව කාගෙන් හෝ ලබාගෙන කරගසා ගෙන යන මෙම මෝඩ විනාශකාරී වැඩසටහන ජනතා විමුක්ති පෙරමුණට තිබෙන පිළිගැනීම මුළුමනින්ම නැතිභංග කිරීමට පවා හේතුවිය හැකිය.