රාවය

අගමැති බලවත් කිරීම හා ජනපතිගේ පරස්පරය

අගමැති බලවත් කිරීම හා ජනපතිගේ පරස්පරය

ජනපති මෛත්‍රී පසුගියදා නිවිතිගලදී කීවේ ශ්‍රීලනිප සහයෝගය නැතුව කිසිවකුටවත් ආණ්ඩු පිහිටුවිය නොහැකි බවකි. තම පක්ෂය ලක්ෂ 20ක් දක්වා ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගෙන තිබෙන බවද හෙතෙම කීවේය. කිසිවකුටවත් පැහැදිලි බලයක් ලබාගැනීමට නොහැකි පසුබිමක් උදාවීම රට දේශපාලනික වශයෙන් අස්ථාවර කරන්නක් වුවත් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම නරක නැත. එසේ සිතෙන්නේ අද රට පාලනය කරන හා පාලනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නායකයන්ට ස්ථාවර බලයක් ලැබුණත් ඔවුන් අවංකව රාජ්‍යය පාලනය නොකරන බවට වැඩි සම්භාවිතාවක් පවතින නිසාය. නිදසුනක් ලෙස ජේ.ආර්.ගේ හයෙන් පහ මෙන්ම මහින්දගේ තුනෙන් දෙක තිබුණු කාලවකවානු ගත හැකිය. එම කාල වකවානුවල රටේ සංවර්ධනය පැත්තෙන් කිසියම් වැඩ කොටසක් ඉටු කිරීමට ප්‍රවේශ වී තිබුණත්, ඒවා දූෂණය ඉහ වහා ගිය කාලවකවානු ලෙස හැඳින්විය හැකිය. 77 දූෂණය හඳුන්වා දුන් පාලනයක ආරම්භය සනිටුහන් කැරුණි. මහින්දගේ කාලයේ එහි කූටප්‍රාප්තිය සිදුවිය. එබැවින් මේ දේශපාලකයන්ට ජනතාව ස්ථාවර පාලනයක් ලබා දෙන්නේ කුමටද?

බෙදීයෑම
ජනපතිගේ ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 20ක් ලැබෙන විට එජාපය හා පොහොට්ටුව ලක්ෂ 40 බැගින් ලබා ගත්තත් ජනපති කියන අර්බුදය මතුවේ. ජනතාවට මේ තත්ත්වය තවදුරටත් අර්බුදයට ලක් කළ හැකිය. ඒ කිසිවකුටත් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙනි. එවිට අනෙක් පැත්තෙන් මෙම කණ්ඩායම් අතර හුදෙක් බලය සඳහා සන්ධාන ගතවීම් දියත් විය හැකිය. කාටත් කාගේත් සහාය පතන්නට සිදුවන්නේ එම තත්ත්වය තුළය. එය න්‍යායිකව ධනපති ක්‍රමය යා හැකි බවට අර්ථකථනය කර ඇති ව්‍යාකූල තත්ත්වයටත් වඩා දුර යාමකි. එනම් ප්‍රධාන පාර්ශ්ව තුනට තනි බලයක් පිහිටුවිය නොහැකි ලෙස අර්බුදයට යාම මෙම මජර දේශපාලන ක්‍රමයේ කූටප්‍රාප්තියක් බවට පත්විය හැකිය. එසේ වන්නේ උක්ත බෙදීම් තුළ කිසිවකුටත් අනන්‍යතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි වී ගොස් පාර්ශ්ව තුනම එක සමානයින් වීම නිසාය. ලංකාවේ වමේ ව්‍යාපාරය ධනපති ක්‍රමයටත් වඩා අර්බුදයට ගොස් තිබෙන නිසා වත්මන් තත්ත්වය තුළ කිසිවක්ම කළ නොහැකි වෙයි. එබැවින් දැන් සමාජයේ ඉඩ හැදෙමින් තිබෙන්නේ අලුත් මහජන ව්‍යාපාරයකට බව කිව යුතුය.

ජනපතිගේ ප්‍රශ්නය
ජනපති නිවිතිගලදී කීවේ ඉදිරියේදී ජනාධිපතිධුරය නොව අගමැති තනතුර බලවත්ව නැගී සිටින බවය. ඉන් ඔහු අදහස් කළේ කුමක්දැයි හරියටම පැහැදිලි නැත. එක්කෝ ඔහු ජනපති ධුරය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට අගමැතිවරයාට පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය. නැතහොත් ඔහුට ගෙදර යනවිට ජනපති පුටුව සඟවා ගොස් දැන් එම තනතුර නැත එබැවින් පළමුවැන්නා අගමැති යැයි කිව නොහැකිය. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඔහුට හා ඔහුගේ ආණ්ඩුවට ප්‍රමාණවත් ධෛර්යයක් ඇතැයි දැන් කෙසේවත් සිතිය නොහැකිය. යම්කිසි ධෛර්යයක් හා සමාජ සහායක් තිබුණු අවස්ථාවක ඔවුහු ඒ වැඩෙන් කර ඇරියහ. අනෙක් අතට ජනපති විදෙස් රටවලට ගොස් කියන 19 සංශෝධනය මගින් ජනපති ධුරයෙහි තටු තෙමේම කපා ගත්තා කියන උදාන කතාවෙන් අගමැති බලවත් වෙන්නේ නැත. රනිල් මේ තරමට හෝ අද බලවත්ව සිටින්නේ ඔහු ප්‍රධාන පක්ෂයක නායකයකුවීම නිසා හා මෛත්‍රී බලයට පත්කිරීමට ප්‍රධාන දායකත්වය දුන් තැනැත්තා නිසා ගොඩනැගී තිබෙන සමාජ බලය හේතුවෙනි.

අවස්ථාව මග හැරීම
පාර්ලිමේන්තුව වඩා ශක්තිමත් කරගැනීමට ජනපතිට අවංක වුවමනාවක් තිබුණි නම් මුල සිටම එම අරමුණ අභිමුව තබාගෙන වැඩ කිරීමට තිබුණි. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනු වෙනුවට එය කුජීතු කළ පළමු පියවර ගත්තේ ජනාධිපතිවරයාය. ඒ මහජනයා විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමෙනි. 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකි තරම් වරදාන දෙන තත්ත්වයක් ඇති කළේ ජනපතිවරයාය. පසුගියදා සීමානිර්ණය වාර්තාවට පක්ෂව එක් ඡන්දයක් හෝ නොමැතිව පරාජය කිරීම දක්වා ගෙන ගොස් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විය යුතු සාරගර්භ මැදිහත්වීම හාස්‍යයට ලක් කිරීම ගැන ජනපති වගකිව යුතුය. ජනපති ලෙස තමා තීන්දු ගත යුතු අවස්ථා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාරදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත යුතු ඇතැම් තීන්දු ජනපති විසින් ගෙන පාර්ලිමේන්තුවත්, ජනාධිපති ධුරයත් යන දෙකම සුළඟේ පාවෙන පිහාටු බවට පත්කිරීම ගැන වගකිවයුත්තේ ජනපතිය. අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී මඬේ සිටවූ ඉන්නක් පරිදි සිටියා මිස හරි කෙළින් තීන්දුවක් ගැනීමට ජනපතිට නොහැකි විය. පාර්ලිමේන්තුව බලවත් කොට ශක්තිමත් අගමැති ධුරයක් ඇති කිරීමේ අරමුණ ඇති නායකයකු මෙසේ දෙකකුල් අස්ථාවරව පොළොව මත තබාගෙන සිටීමෙන් සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුව ශක්තිමත් වීම නොව සමස්ත ක්‍රියාවලියම ගර්හාවට ලක්වීමය.

චූන් අගමැති
ජනපති, මමයි ජනාධිපතිවරණය පවත්වන දවස තීරණය කරන්නේ යනුවෙන් කියා ඔහු වටා සිටින කිහිපදෙනාට චූන් එකක් දෙනවිට අගමැති, බබා ෂැන්ග්‍රිලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ යනුවෙන් කියා තමන් වටා සිටින රැළට චූන් එකක් දුන්නේය. නායක දෙපළ නිරතවිය යුත්තේ මේ ආකාරයේ මෝඩ චූන් කතාවල නොව රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා උපකාර වන සම්මන්ත්‍රණවලය. රාජපක්ෂලා ඔවුන් දස වසරක් තිස්සේ කළ සකලවිධ කෙරුවාවල් වලින් නිදොස් වී නිදහස් වන බව දැන් පැහැදිලිය. ඒ නිසා ලසන්තලා, තාජුඩීන්ලා, එක්නැළිගොඩලා ඇතුළු මියගිය හා අතුරුදන්වූවන් ගැන පරීක්ෂණ කරපල්ලා කියා නායකයාගේ කකුල් ළඟ වැටී පළක් නැත. උන්ගේ සොරකම්වලට දඬුවම් දීපල්ලා කියා කන්නලව් කර පළක් නැත. මේ ගැන ආසන්න නිදසුනක් තිබේ. 2008 හා 2009 වසරවලදී තරුණයන් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වූ පුද්ගලයකුට රැකවරණය දීම, රටින් පිටවීමට උදව් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන චූදිතයකු වෙයි. මේ ගැන ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු සැප්. 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එසේ තිබියදී ඔහු මෙක්සිකෝවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට සහභාගිවීමට රටින් පිටව ගියේය. ඒ චූදිතයන් පිළිබඳ ජනපතිගේ දියාරු ප්‍රතිපත්තිය හෙළිවූ එක් අවස්ථාවක් පමණි.

හොට පැටලීම
ඇත්තටම දැන් මෙවැනි තත්ත්වයන් ගැන රටේ ජනයාගේ වැඩි අවධානයක් ඇතැයි කිව නොහැකිය. මිනිසුන්ගේ ජීවත්වීමේ ප්‍රශ්නය මුදුනට එනවිට සෙසු දේවල් ගැන අවධානය අවම වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. අඩුම තරමින් මහජනයාගේ දැවෙන ප්‍රශ්න එකකට දෙකකට විසඳුමක් ලබාදී දැන් ජනපතිටත්, අගමැතිටත් රාජපක්ෂලා කරදරයක් නැතුව බේරා හැරීමට පුළුවන. කවර හෝ ඡන්දයක් ළංවන නිසා ජනපති හොරු හිරේ දානවා, එල්ලනවා වැනි ප්‍රකාශ කළත් මේ එකක්වත් සැබෑ වුවමනාවෙන් කියන දේවල් නොවන බව පැහැදිලිය. ජනපති කියන්නේ ඒ මොහොතේ හිතෙන දේවල්ය. නැතහොත් රාජ්‍ය නායකයකු වෙතින් මේසා හාස්‍යයට ලක්වන දේවල් සෑම දෙසුමකදීම පිටවෙන්නට විදියක් නැත. ජනපති දුරදිග නොබලා වදන් බිනීමෙන් වැඩිම වාර ගණනක් හොට කෙසෙල් කඳේ පටලවාගත් නායකයා ලෙස ඉතිහාස ගතවනු ඇත.
වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය හැකිව තිබුණු, ඒ වෙනුවෙන් සමාජ මානසිකත්වයක් සකස් වී තිබුණු මොහොතේ ජාතිවාදීන්ට හා මහින්දගේ සංඝ සමාජයට බියේ ජනපති ප්‍රශ්නය මගහැරියේය. එමගින් ඔහු බලාපොරොත්තු වූයේ මහින්දට හා ගෝඨාභයට පක්ෂ ජනබලයේ හොඳ හිත දිනා ගැනීම නම් ඒ හොඳ හිතින් ජනපතිගේ පැරණි ව්‍යාපෘතියට වැඩක් නැත. පැරණි ව්‍යාපෘතිය යහපාලනය බැවින් දැන් එම ව්‍යාපෘතියෙහි ජනපතිත් නැති නිසා පොහොට්ටුව සමග එකඟතාවකින් යන ගමනකට නම් ජනපතිගේ ඉහත කර ඇරීම ප්‍රයෝජනවත් වන බව පෙනේ. ඒ අනුසාරයෙන් බැලුවහොත් ජනපති පසුගියදා මොර දුන් ‘ගිං – නිල්වලා’ ව්‍යාපෘතිය ගැන ජනපතිගේ පරීක්ෂණයත් හුදු බෙර වාදනයක්ම වනු ඇත.

අලුත් දවසක් එයිද?
සැබැවින්ම මේ අය ගැන කරන විග්‍රහවලින් පළක් නැත. ඉතිරි දින තුන්සිය හැටපහ පුරාත් කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින් සිටියත් මේ නායකයෝ රටට කිසිවක් නොකරති. එබැවින් මහජනයා මේ නන්නත්තාර විවාහය අතහැර වෙනත් අතක් බලාගැනීම යුක්තියුක්තය. මහජනයා බලගැන්විය යුතුය යන්න අපට පිළිගත හැකි වුවත් මහජනයාට බලය දීම යන්න පිළිගත නොහැකිය. මන්ද බලය ලද විටෙක මහජනයාට ඕනෑම දෙයක් කළ හැකිය. මහජනයා යන්නටම ඇත්තේද විසිරුණු අරුතකි. විසිරුණු අරුතක් ඇති පදයකට හෝ සමූහයකට තර්කානුකූල අවසානයක් තිබිය නොහැකිය. ඉන් අදහස්වන්නේ පක්ෂය ජනතා මූලස්ථානය යන ප්‍රායෝගික අදහසෙන් අප කිසිවකුටත් විතැන්විය නොහැකි බවය. පක්ෂ නිර්මාණය විය යුත්තේ සකල ආකාරයෙන්ම බලගැන්වෙන මිනිසුන් අතිනි. ඔවුනතින් නායකයන්ද අනාගතය වෙනුවෙන් බිහිවනු ඇත. අප දැන් රටක් හැටියට යායුතුවන්නේ එම ඉලක්කය දෙසටය.