සර්පයා දුටුවෙහිද?

විපුල අබේසිංහ 

කුඩාකල සිනමාපටයක් නැරඹීමට යාමට අවශ්‍ය වූ විට පියාගෙන් අවසර ගත යුතු විය.කරුණු කිසිත් නොවිමසාම “එපා” යැයි කීම පියාගේ සිරිතයි. කලාතුරකින් දිනක “හා” යැයි කී වීට අප ප්‍රීතියෙන් පිනා ගියෙමු. කාලයාගේ ඇවෑමෙන් අප වැඩිවියට පත්වූ පසුව අවසර ගැනීම අපටත් හොරාම අතුරුදන් විය. ඒ අප වයසින් මුහුකුරා යත්ම නිදහස් නිවහල් ස්වාධීන මිනිසුන් වූ බැවිනි.අවාසනාවකට දැන් නැවතත් එකී අවදානම මතුව එයි.ඒ සිනමාපටයක් ටෙලිනාට්‍යයක් පමණක් නොව ගුවන්විදුලි නාට්‍යයක් රසවිඳීමටත් විජේදාස රාජපක්ෂ මහතාගෙන් හා ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් අවසර ගත යුතු බැවිනි.

ලංකා ආගමික පුනරුදය හා කෝලාහල
යුරෝපීය සම්භාව්‍ය චින්තනය පහළ වන්නේ පහළොස්වැනි සියවසේ සිටයි. දර්ශනය, විද්‍යාව, ගණිතය, යන විෂයන්ගේ මානයන් පුළුල් වීම නිසා දේව ධර්මයට අති විශාල අභියෝගයක් එල්ල වීම මේ කාලයේ සිදු වූ විශේෂ සිදුවීමයි. මේ නිසාම විද්‍යාඥයන් රැසක් මරණ දඩුවමට ලක් වූහ. පාප්වහන්සේ පිළිගත් හා නොපිළිගත් රටවල් අතර 1618 සිට 1648 දක්වා සිදුවන තිස් අවුරුදු ආගමික යුද්ධ හේතුවෙන් අසූලක්ෂයක් පමණ පිරිසක් මරණයට පත්වූ බව වාර්තා වේ.ලෝක ඉතිහාසයේ ආගම හා ලෞකික සමාජය අතර ඇතිවූ විශාලම ගැටුම ලෙස මෙම යුද්ධ හැඳින්විය හැකි අතර මේ නිසා වැඩවසම් ක්‍රමයද, එයට බැඳී තිබුණු දැඩි ආගමික ආධිපත්‍යයද බිඳ වැටී ලෞකික රාජ්‍ය බිහිවීම ආරම්භ විය.
ලංකාවේ ආගමික පුනරුදය ඇතිවන්නේ 19 වන සියවසේ සිටයි. අන්‍ය ආගම් මර්දනය කරමින් තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම පළමු වරට ලාංකිකයන්ට අත්දකින්නට සිදුවන්නේ පෘතුගීසි යුගයේදීයි. පෘතුගීසීන් ඉතා කෲර ලෙස අන්‍ය ආගම් මර්දනය කරන අතර ඔවුහු සිය පාලන ප්‍රදේශ වල තිබූ සියලු ආගමික සිද්ධස්ථාන කඩා බිඳ දැමීමද සිදු කළහ. ලන්දේසි යුගයේ පෘතුගීසි යුගය තරම් කෲර ලෙස ආගම ප්‍රචාරය කිරීමක් සිදු නොවන අතර බි්‍රතාන්‍ය යුගයේදී ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස ලැබී තිබුණි. එහෙත් ඔවුන්ගේ කාලයේදී ලංකාවට පැමිණි මිෂනාරීන් විසින් පවත්වාගෙන යනු ලැබූ පාසල් ඇසුරෙන් ආගම ව්‍යාප්ත කිරීමේ දැඩි උත්සාහයක් ගනු ලැබූ අතර දේශීය ආගම් අසත්‍ය හා මිලේච්ඡ ආගම් ලෙස අර්ථ දක්වනු ලැබිණි. ලාංකික ආගමික පුනරුදයට පාර කැපෙන්නේ මිෂනාරීන් විසින් ගෙන ගිය මෙම ප්‍රතිපත්තිය නිසාය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ඕල්කට්,අනගාරික ධර්මපාල යන අය බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙහෙයවූ අතර අරුමුගම් නාවලර් හින්දු පුනර්ජීවයේ නායකයා විය. සිද්ධි ලෙබ්බේ ඉස්ලාම් ආගමේ පුනරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතය විය. ක්‍රිස්තියානි විරෝධී ආගමික පුනරුද ව්‍යාපාරයක් පළමුව හටගන්නේ උතුරේ දෙමළ ජාතිකයන් වෙතින් වුවද වඩාත්ම කැපී පෙනෙන බලවත්ම ව්‍යාපාරය වූයේ සිංහල බෞද්ධ පුනරුද ව්‍යාපාරයයි. අමද්‍යප ව්‍යාපාරයද මේ තුළම බිහිවෙන අතර නිර්භීතකමද චතුර කථිකත්වයද නිසා ආකර්ශනීයම නායකයා බවට අනගාරික ධර්මපාල පත් වේ. නිවටයන් ලෙස සිටි සිංහල ජාතිය දේශප්‍රේමයෙන් කුල්මත් කර වඩා ක්‍රියාශීලී තත්ත්වයකට පත්කරගැනීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරය සමත් විය.
දැඩි ක්‍රිස්තියානි ආධිපත්‍ය හමුවේ ආගමික පුනරුද ව්‍යාපාර බිහි වීම සාධාරණ හා යුක්තිසහගත වුවද බරපතලම ගැටලුව වුවේ මෙම ව්‍යාපාර අතර ප්‍රබලම ව්‍යාපාරය වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළ ගොඩනැගුණු දැඩි ජාතිවාදයයි.සිංහල බෞද්ධයන් ඉතා උතුම් ජාතියක් ය යන මතයේ සිට අනෙකුත් සියලුම ජාතීන් පහත් තත්ත්වයකට ඇද දැමීම මෙම ව්‍යාපාරයේ චින්තනය විය. මේ නිසා ශ්‍රී ලාංකික ජාතිය බේද බින්න වූ අතර ඉන් අනතුරුව ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලයටද හේතු වූයේ මෙම වර්ගවාදී මතයයි.

1915 සිංහල මුස්ලිම් කෝලාහලය
1915 සිදු වූ සිංහල මුස්ලිම් කෝලාහලය සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු වර්ගවාදී ගැටුම ලෙසයි. මෙයට සෘජුවම බලපා තිබුණේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා අමද්‍යප ව්‍යාපාරය විසින් සිංහලයන් තුළ ඇතිකර තිබූ මුස්ලිම් විරෝධී ආකල්පයයි. අනගාරික ධර්මපාල විසින් එක්තැනක ලියා ඇත්තේ.” විදේශීය සුද්දා මේ රටට පාතැබූ දා සිට සිංහලයාගේ කර්මාන්තද ගති පැවතුම් හා සිරිත්විරිත්ද අභාවයට යාමට පටන් ගත්තේය දැන් සිංහලයාට මරක්කලයන්ගේ හා දෙමළුන්ගේ පාමුල වැටීමට සිදු වී ඇත.” යනුවෙනි. තවත් තැනක ඔහු කියා ඇත්තේ “බි්‍රතාන්‍යයාට ජර්මානුවා යම් සේද සිංහලයාට මහමදිකයාද එසේමය ඔහු ආගමෙන් ජාතියෙන් මෙන්ම භාෂාවෙන්ද විජාතිකයෙකි.” පියදාස සිරිසේන විසින් “හම්බ මරක්කලයන්ද කොච්චින්ද වෙනත් විදේශිකයන් සමගද ගනුදෙනු නොකරන ලෙස” සිය පුවත්පත මගින් කියා තිබුණි. කෝලාහලය ආසන්න වීමට ආසන්නයේ ලක්මිණ පුවත්පතට ඔහු විසින් කියා තිබුණේ “මේ ශාපකටයුතු පිරිස රටින් පිටමන් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය” යන්නය.
ශ්‍රී ලාංකිකයින්ගේ චින්තනය කෙරෙහි වැඩිම බලපෑමක් කර ඇත්තේ ධර්මපාල චින්තනයයි. අද මහා වෘක්ෂයක් වී ඇති ජාතිවාදී බීජ සිංහලයන් තුළ පැල කරනු ලබන්නේ මෙම වර්ගවාදී ධර්මපාල චින්තනයයි. නිදහස දිනාගැනීමේ ව්‍යාපාරයේ ප්‍රබල නායකයින් රැසක් බිහි වන්නේද මෙම අමද්‍යප ව්‍යාපාරය තුළයි. එහෙයින් ඔවුන්ද පෝෂණය ලබාගන්නේ මෙම පටු දෘෂ්ඨිය තුළයි. ඔවුන් කිසිවකුටත් එක්සත් ජාතියක් ගොඩනැගීම හෝ ආගමික සහජීවනය ගැන දැක්මක් නොවීය. අද දක්වාම බොහෝ නායකයෝ අඩු වැඩි වශයෙන් ධර්මපාල චින්තනයෙන් පන්නරය ලබාගත් අය වෙති. අපි අපේ දරුවන්ට කියාදිය යුතු සත්‍ය ඉතිහාසය මෙයයි.බොරු වටිනාකම් දෙමින් බොරු ඉගැන්වූ කල ජාතික ගැටලුවට දිය යුතු පිළිතුර පමා වේ.

බුද්ධ ජයන්තිය හා 1956 පෙරළිය
2500 වැනි බුද්ධ ජයන්තිය යෙදී තිබුණේ 1956 වසරටයි. එයට සූදානම් වීමත් සමගම රට තුළ යම් ආගමික අසහනකාරී තත්ත්වයක් වර්ධනය විය. ඒ බුද්ධාගමට නිසි තැන නැති බව පවසමින්ය. බුද්ධ ජයන්තිය සැමරීමට සූදානම් වූ බෞද්ධ ව්‍යාපාර මෙම මතය ජනතාව අතර පැතිරවීය. 1815 ට පෙර වැඩවසම් යුගයේදී තිබූ බෞද්ධ ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීම අරමුණ වූවාද විය හැකිය.
අද මෙන් පෞද්ගලික ව්‍යාපාර නොතිබණු එසමයෙහි සමාජයේ කැපී පෙනෙන වැදගත්කමක් හිමි වූයේ රජයේ රැකියාවක් ලබා ගැනීමටය. මේ නිසා රජයේ රැකියා සඳහා දැඩි තරඟකාරීත්වයක් ඇති විය. එහෙත් මෙහි වැඩි පංගුවක් හිමිව තිබුණේ දමිළයන්ටය. මේ සම්බන්ධයෙන් සිංහලයන් තුළ දැඩි අසහනකාරී තත්ත්වයක් ඇති වී තිබිණි.
මහජනතාවට තිබුණු අනෙක් ගැටලුව වූයේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වීම නිසා ඇති වූ දුෂ්කරතාවයි. මේ තත්ත්වයන් මැද ගොඩනැගුනු සිංහල බෞද්ධ බලවේගයේ ප්‍රධාන ඉල්ලීම වූයේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් කරන ලෙසය. ඔවුන්ගේ ප්‍රවේෂය වර්ගවාදී වූ අතර බණ්ඩාරනායක පනස් හයේදී බලයට ඒමට උපයෝගී කොට ගත්තේ මෙම බලවේගයයි.
පනස් හයේ මැතිවරණයේදී බණ්ඩාරනායකගේ තේමාව වන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු යන්නයි. පංචමහා බලවේගයක් ගැන කියවුණද මෙම ව්‍යාපාරයේ දිශාව හා දැක්ම තීරණය කරන ප්‍රබලම බලවේගය වූයේ සඟ කොටසයි. මැතිවරණයට පෙර පැය විසිහතරෙන් රජයේ භාෂාව සිංහල පමණක් කරන බව පැවසුවද එය කළ නොහැකි බව වැටහෙන්නේ මැතිවරණ ජයෙන් පසුවය. එහෙත් මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා ඉදිරියේ බණ්ඩාරනායකට කළ හැකි දෙයක් නොවන අතර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම තුළ රාජ්‍ය සේවයේ සිටි සිංහල නොදත් දමිළ පිරිස් දැඩි අසහනකාරී තත්වයට පත් වූහ. සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කැරුණේ සිංහල නොදත් පිරිසට ඒ සඳහා පරිවර්තනය වීමට පවා කාලයක් නොදීම යන්නෙන්ම මෙම බලවේගයේ ඇති දැඩි ජාතිවාදී ස්වභාවය පෙන්නුම් කෙරේ. මේ නිසා දෙමළ ජාතිකයන් තුළ ඇති වූ කෝපයට මුහුණ දිමට සිදු වූයේ රටේ අගමැතිවරයා වූ බණ්ඩාරනායකටයි. ඇති වූ මේ තත්ත්වය උඩ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම බිහිවෙන අතර බණ්ඩාරනායක බලයට පත් කල සිංහල බෞද්ධ බලවේගය වෙතින් මෙයට දැඩි විරෝධයක් එල්ල විය. බෞද්ධ භික්ෂූන්වහන්සේලා පිරිසක් අගමැතිවරයාගේ රොස්මිඞ් නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරන අතර එහිදී අගමැතිවරයාට ගිවිසුම ඉරාදැමීමට සිදු විය. ඒ සමගම රට පුරා ජාතිවාදී කෝලාහල ඇති වීම ආරම්භ විය. නිදහස ලැබීමෙන් පසු ඇති වූ පළමු වර්ගවාදී ගැටුම මෙයයි. අවාසනාවන්තම සිදුවීම වනුයේ බණ්ඩාරනායක බලයට පත් කළ බෞද්ධ බලවේගය අතින්ම බණ්ඩාරනායක ඝාතනය වීමයි.

ආගම හා පෝෂණය
අනුරාධපුරයේ සිටින මාගේ ඥාති දියණියක් වරක් මා සමග පැවසුවේ, ඈගේ පාසලට පුද්ගලයකු පැමිණ දේශනයක් පැවැත්වූ බවත්, එහිදී ඔහු මස් මාංශ අනුභවයෙන් වළකින ලෙස ඉල්ලූ බවත් සිරුරට අවශ්‍ය සියලුම පෝෂණ කොටස් නිර්මාංශ ආහාර වේලකින් ලබාගත හැකි බව පැවසුව බවත්ය. පැය තුනක් පමණ කාලයක් පැවති දේශනය තුළ සතුන් මරණ වීඩියෝ රැසක්ද පෙන්වා ඇත. එහිදී සිදුවූ බලපෑම ගැන විමසූ විට ඇය පැවසුවේ තමා දන්නා සියලුම දෙනා ඉන් පසුව මස් කෑමෙන් වැළකුන බවයි. මෙම දේශකයා කියූ දෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගතය. සිරුරේ පැවැත්මට අවශ්‍ය යකඩ, කැල්සියම්, සහ විටමින් B සංකීර්ණයේ සමහර විටමින අපට ලබාගත හැක්කේ මස් මාංශ අනුභවයෙන් පමණි. ශාකමය ආහාර තුළ මෙම සංඝටක තිබුණද එය මිනිස් සිරුරට උරාගන්නේ මද වශයෙනි. මිනිස් සිරුර ඉහත සංඝටක උරාගැනීමේදී වඩාත්ම සංවේදී වන්නේ මාංශමය ආහාර වෙතය.එයට හේතු වන්නේ මිනිස් සිරුර සෑදී ඇත්තේ සර්ව භක්ෂකයින්ට ප්‍රතිචාර දක්වන ආකාරයට වීම නිසාය. මොහු ආගමික නියෝජිතයෙක්ද නැද්ද යන්න පැහැදිලි නැතත් ඔහුගේ මොළය සෑදී ඇත්තේ ඊනියා ආගමික මතවාදයෙන් බව නම් පැහැදිලිය.
සතුන් මරන දර්ශනයක් කිසි දිනක ප්‍රියජනක දර්ශනයක් වන්නේ නැත. මස් මාංශ අනුභව කරන පුද්ගලයන් එය නැරඹිය යුතු නොවේ. ඒ සඳහා කැපවූ පුද්ගලයන්ද නවීන උපකරණද ඇත්තේය. විශේෂිත ස්ථානද ඇත. යමෙක් මස් මාංශ අනුභවයෙන් තවකකු වැළකීමට මෙම දර්ශන පෙන්වන්නේ නම් එය නින්දිත ක්‍රියාවකි. අනියම් බලහත්කාරකමකි. නව ඖෂධ නිෂ්පාදනයේදී මුල්වරට එය අත්හදා බලන්නේ සතුන් වෙත දීමෙනි. ඒ නිසාම එම සතුන් දැඩි අපහසුතාවන්ට පත්වනවා නිසැකය. ඒ නිසාම අනේ පව් කියා අප විවිධ රෝගාබාධයන්ට ඖෂධ නොගෙන සිටිය හොත් කුමන ඉරණමක් අපට අත්වනු ඇද්ද.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට තිහක් රක්ත හීනතාවයෙන් ද සියයට පනහක් මන්ද පෝෂණයෙන්ද පෙලෙති. ලංකාව පොහොසත් රටක් නොවේ නමුත් ලොකු රැකියා වියුක්තියක්ද නැත.ආහාර නැතිව මිනිසුන් මිය යන්නේද නැත.මෙවැනි තත්ත්වයක් තුළ මෙම දත්තයන් කියා පාන්නේ බරපතළ ගැටලුවක් ඇති බවයි.මෙම දත්ත වලින් කියා පාන අනෙක් කාරණය වන්නේ අපගේ සංවර්ධන ඉලක්ක වලට යන ගමන අඩාල වන බවයි.
ඉහත තත්ත්වයන්ට හේතු වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගම විසින් ජනතාව තුළ ඇතිකර ඇති වැරදි මතයයි. මස් කෑම පාපයක් ලෙස ජනතාවගේ සිතට කාවද්දා ඇත. ආගම විසින් සාමාන්‍ය ජනතාව තුළ පතුරවා ඇත්තේ මස් කෑම පමණක් නොව සිතිවිල්ල පවා පාපයක් බවයි.මෙම පාපකාරී හැඟීම නිසා ලංකාවේ මිනිසුන් මාංශ ආහාරයට ගන්නේ කලාපයේ අනෙකුත් බෞද්ධ රටවලට සාපේක්ෂව අඩුවෙනි.වියට්නාමයේ එක් පුද්ගලයෙක් වසරකට මස් කිලෝ 50 ක් පමණ අනුභව කරන අතර ලාංකිකයන්ගේ මෙම අගය කිලෝ 6 කට මදක් වැඩිය.ජපානයේ මෙම අගය කිලෝ 46 කට ආසන්නය.
විදෙස් සංචාරකයින් සඳහා කාමර කුලියට දෙන හෝටලයක් පවත්වාගෙන යන මගේ මිතුරකු ළඟ සේවය කරන මාගේ ඥාති යුවලක් පැවසුවේ හෝටලය තුළට මස් කිසිවක් රැගෙන නොඑන ලෙසට මාගේ මිතුරා දන්වා ඇති බවයි. මස් පාරිභෝජනය කරන අයගේ ජීවිත සතුටුදායක නොවන බවද ඔහු පවසා ඇත. මාගේ මිතුරා කතෝලික ආගමිකයෙකි. එක් ආගමක මතය තම සීමාව ඉක්මවා වෙනත් ආගමික මනසටද බලපා ඇති ආකාරය මෙයින් පැහැදිලි කරගත හැකිය.
මස් මාංශ අනුභවය සම්බන්ධයෙන් ආගම විසින් ඇතිකරනු ලබන මෙම දුර්මතයන්ට අමතරව බලහත්කාරී ලෙස මස් මාංශ අනුභවය වළකාලන ප්‍රතිපත්තියක්ද අනුගමනය කෙරෙන්නේ යැයි කිව හැකිය. පොල්පිතිගම මස් කඩය හා මැල්සිරිපුර මායිවල මස් කඩය බෞද්ධ බලවේගයන් විසින් වසා දමන ලදී. මායිවල යනු මුස්ලිම් ගමකි.
ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්හි පරමාදර්ශි හරයන් ගැන අප මහ ඉහළින් කතා කළද අප ඉන්නේ පුරවැසියන්ට තමන් කැමති ආහාරයක්වත් පරිභෝජනයට ගැනීමට නොදෙන රටකය.රක්තහීනතාවය හා මන්දපෝෂණය ගැන ඉහත තත්ත්වයන් හා සැසඳීමේදී මෙම තත්ත්වයේ බරපතළකම හොඳින් වටහාගත හැකිය.

ගොවියා සහ කිරි ගොවියා
පසුගිය සතියේ රූපවාහිණී ප්‍රවෘත්තියකින් දැක්වුණේ ලංකාවේ කෘෂිකාර්මික අස්වැන්නෙන් සියයට තිහක් වනසතුන් විසින් විනාශ කරන බවයි. මෙය ඉතා විශාල ප්‍රමාණයකි. මුළු නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්නය. මෙම සතුන් වන්නේ අලියා, මොණරා, ඉත්තෑවා, වල් ඌරා හා දඬු ලේනායි. අලියා හැරෙන්නට අනෙකුත් සතුන් වඳවීමේ තර්ජනයට ලක්වූවෝ නොවෙති. අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් විනාශ වීමෙන් සිදු වන්නේ එම නිෂ්පාදනයේ වෙළඳපොළ මිළ ඉහළ යාමයි. මෙය රටේ සමස්ත පුරවැසියන්ට මුහුණදීමට සිදු වන නරක තත්වයකි. වනසතුන් විනාශ කරන ලද බෝගවල පාඩුවද දරාගැනීමට සිදු වන්නේ ගොවියාටමය. දිගින් දිගටම මෙසේ වීමෙන් සිදු වන්නේ ගොවියා ගොවිතැනින් ඉවත් වීමය. වගාවට හානි කරන සතුන් මර්දනය නොකර කෘෂිකර්මාන්තයේ යෙදිය නොහැකිය. එම සතුන් මර්දනය කිරීම තුළින් වගාව ආරක්ෂා කෙරෙන අතරම ගොවියාට අතිරේක ආදායමක්ද මිනිසුන්ට පෝෂ්‍යදායී ආහාරද ලැබේ. ගොවිපළ වල ඇති කරන සතුන් ආහාරයට ගැනීමට වඩා දඩමස් කෑමට මිනිසුන් කැමතිය. පරිසරයට හානියක් සිදුවන අයුරින් අධික ලෙස බෝවන සතුන් මරා දැමිම අනෙකුත් රටවලද සිදු වන දෙයකි. කැන්ගරුවා ඕස්ටේ්‍රලියානු ජාතික සංකේතය වුවද රජය විසින් වරින් වර ඔවුන් මරා දමයි. අවාසනාවකට ලංකාවේ නීති සාදා ඇත්තේ විනාශකාරී සතුන් ආරක්ෂා කිරීමට විනා මිනිසුන් ආරක්ෂා කිරීමට නොවේ. විනාශකර දැමිය යුත්තේ වගාවය හානි කරන සතුන් මිස කැලේ ඉන්න සතුන් නොවේ.මෙම නීති සම්පාදනය නොවීමේහි ලා බලපා ඇත්තේද ආගමික සංස්ථාවන්ගේ බලපෑමයි.
අතීතයේදී වනයට ගොස් සතුන් දඩයම් කරන මිනිසුන් සිටි අතර ඔවුන් දෙස වපර ඇහින් බලන සිරිතක් එකල නොවීය. මෙම තත්ත්වයද අනවශ්‍ය ලෙස ආගම ඇඟේ දා ගැනීම නිසා ඇති වූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ලංකාව කිරිපිටි ආනයනය කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 400 ක් වැය කරයි. එසේ විශාල මුදලක් වැය කිරිමට සිදුවී ඇත්තේ අපට අවශ්‍ය තරමට කිරි දේශීයව නිෂ්පාදනය නොවන නිසාය. එහෙත් ලංකාවට අවශ්‍ය කිරි සම්පූර්ණයන්ම හෝ වැඩි කොටසක් ලංකාවේම නිපදවාගත හැකිය. ගමන්බිමන් යාමේදී අපි දකින බොහෝ පොල්වතු වල ඇත්තේ පොල් වගාව පමණි. එම පොල්වතු ප්‍රශස්ථ ලෙස නඩත්තු කරන ආකාරයක්ද දැකිය නොහැකිය. බොහෝ විට දැකිය හැක්කේ අනවශ්‍ය ලෙස වැඩුනු ගස්කොලන් ඇති පොල් වතුය. මෙම පොල්වතු හා අත්හැරදමා ඇති තෙත් කලාපයේ කුඹුරු ඉඩම් කිරි නිෂ්පාදනය සඳහා යොදාගත හැකිය. එහෙත් මෙය ලාභදායී වන්නේ කිරිවලට අමතරව මස් නිෂ්පාදනයද කළ හොත් පමණි. කිරි වරන සතුන් හා පිරිමි සතුන් ආර්ථික ලාභයක් නොමැතිව නඩත්තු කිරීමේ හැකියාව ගොවියාට නැත. ගොවිතැනේදී ගොවියා හා ගවයා අතර ඇති බැඳීම හේතුවෙන් සිංහල මිනිසුන් අතීතයේ පටන්ම ගවමස් කෑම ප්‍රිය කරන්නේ නැත. දැන් ගොවිතැනේදී ගවයින් යොදාගන්නේ නැත. එහෙත් ගවමස් නොකෑම විතරක් ඉදිරියට ඇදී යයි. මෙම තත්ත්වය වෙනස් නොවීමට හේතු වී ඇත්තේ ආගම විසින් ඇති කර ඇති ගවමස් නොකෑමේ සංස්කෘතියයි. හින්දු භක්තිකයින් ගවයා සලකන්නේ පූජනීය තත්ත්වයෙනි එහෙත් හින්දු රාජ්‍යයක් වූ ඉන්දියාව ලෝකයේ වැඩිම හරක්මස් අපනයනකරුවා වේ. ඉන් වසරකට උපයන මුදල ඩොලර් මිලියන 4000 කට වැඩිය. මස් නිෂ්පාදනයේදී මන්දගාමී වන්නේ සිංහල බෞද්ධයායි. එහෙයින් මේ සඳහා ජන විවිධත්වය ප්‍රශස්ථ ආකාරයෙන් යොදා ගත හැකිය. එහෙත් අපි කරන්නේ මුස්ලිම් ජාතිකයාගේ මස් කඩයද බලහත්කාරී ලෙස වසා දමා ඔවුන්ගේ මස් කෑමේ අයිතියද අහිමි කිරිමයි. ලෝකයා සමග අපට ඉදිරියට යා හැක්කේ අප නීරෝගිමත් ජාතියක් වූ තරමටය. පෝෂණ ඌනතාවයෙන් පෙලෙමින් නොණ්ඩි ගසමින්ද බකල් ගසමින්ද එසේ කළ නොහැකි බව අප අවබෝධ කරගත යුතුය.

ආගම හා උපත් පාලනය
වරක් අප ගම්වැසියකු මට කී කතාවක් මෙසේ යි. “අපේ අම්මට දරුවො දාහතක් හම්බ වෙලා දාහතම මැරිලා. ඊට පස්සෙ තමයි මාව හදාගන්න අරන් තියෙන්නේ නංගිලා දෙන්න හම්බ වුණේ ඊට පස්සේ” එම කාන්තාවට දරුවන් දෙදෙනකු හදාගැනිමට දරුවන් දහනමයක් වැදීමට සිදු වූවාය. වෛද්‍ය විද්‍යාව නොදියුණූ කාලයේ උපතේදී සිදු වන මරණ අනුපාතිකය ඉහළ අගයක් ගත් අතර උපරිම ආයුකාලයද අඩු විය. එහෙයින් ශිෂ්ඨාචාරය පවත්වා ගැනීම වෙනුවෙන් හැකිතරම් දරුවන් හැදීම අත්‍යවශ්‍ය අංගයක් වී තිබුණි. ඒත් අද තත්ත්වය එසේ නොවේ උපතේදි සිදුවන මරණ සංඛ්‍යාව මෙන්ම උපරිම ආයු කාලය ද ඇත්තේ ප්‍රශස්ථ මට්ටමකය. අද පවුලකට අවශ්‍ය වන්නේ දරුවන් එක්කෙනෙක් දෙදෙනකු නැත්නම් වැඩිම තුන්දෙනෙක් පමණි.ජනගහනය වැඩිවූ පමණින් භූමිය වැඩි වන්නේ නැත. සම්පත් වැඩි වන්නේද නැත. අධික ජනගහන වර්ධනය, රටක ඇති සම්පත් කෙරෙහි දැඩි පිඩනයක් එල්ල කරනු ලබයි. ජනගහනය වර්ධනය වීම හේතුවෙන් ආහාර, නිවාස, ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම් ආදී සියලුම අංශ වර්ධනය කළයුතු අතර පරිසරයට පවා බලපෑමක් එල්ලකරනු ලබයි. අනිත් අතින් මිනිසා ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ දරුවන් හැදීමට පමණක් නොව විනෝදාස්වාදය ලැබීමේද අටියෙනි. එහෙත් අවාසනාවකට ආගම මෙම කරුණු ගැන සංවේදී වන්නේ නැත. පෙර කිවාක් මෙන් ඔවුන් ඉල්ලන්නේ මස් රාත්තලමය.
පෙම්වතාගේ රැවටීමකදී, යුවලකගේ හදිසි ගැබ්ගැනීමකදී, තමන්ගේ සියලු සැලසුම් සුන් කර දමනු ලබයි. එහෙත් නීතිය මේ සඳහා නම්‍යශීලී වන්නේ නැත. නීතියේ ඇති දැඩි බව නිසාම ගබ්සාවන් සිදු වන්නේ හොර රහසේය. සියල්ලම සිදු වන්නේ සුදුකම් නොලත් හොර වෙදුන් අතිනි. ජීවිතය සඳහා ඇති වන්නේ බරපතළ අවදානමකි. කරුණූ එසේ වූවත් දිනපතා ඉතා විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ගබ්සා සඳහා යොමු වෙති. මෙම නීති සංශෝධනය නොවීම පිටුපසද ඇත්තේ ආගමයි. ආගම විසින් අප ලෝකයා තුළ හුදකලා කර ඇත.

ආගම ඝෝෂාවක් වූ කල
තමන්ගේ ආගම තමන්ට පමණක් ඇසෙන ලෙස ඇදහීමේ නොහැකියාවක් ලංකාවේ ඇති සියලුම ආගම් වලට ඇත්තේ යැයි කිව හැකිය. ඔවුන් ආගම අදහන්නේ හත් ගව්වක් ඈතට ඇසෙන ලෙසය. තම ආගමේ අනුගාමිකයන් හා එසේ නොවන සියලුම දෙනා එය අසා සිටිය යුතුය යන්න ඔවුනගේ සිතුවිල්ලයි. සමහර විට තමන්ගේ ආගම පවා නුසුදුසු අවස්ථා වලදී ශ්‍රවණය වීම හිසරදයකි. ආගමික සිද්ධස්ථාන වලින් පිටත නගරවල හා මංසන්දි වල පිහිටුවා තිබෙන ආගමික සංකේත වලින් ඝෝෂාව විමධ්‍යගත කර ගේ දොරකඩටම ලබා දේ. සමාජය දැන් පෙරට වඩා සංකීර්ණ වී ඇත. රෑ වැඩමුරය සඳහා යනවුන්ද රෑ වැඩමුරය අවසන් කළ අයද අසම්මත වේලාවන් තුළ නිදාගැනීම සිදු කරති. ඉතා කුඩා දරුවෝ දවල් රෑ නොතකා නිදා ගනිති. අධ්‍යාපනය සඳහා දැඩි වෙහෙසක් දරන සිසුහු දිවා රෑ නොබලා අධ්‍යාපනික කටයුතු වල යෙදෙති. මේ සියලු තත්ත්වයන් ආගමික ඝෝෂාව විසින් ව්‍යාකූල කරනු ලබයි. ලංකාවට ඉහළින් සිට මුළු ලංකාවම දෙස එකවිට බැලිය හැකි නම් මෙම ආගමික සිද්ධස්ථාන වලින් කෙරෙන ඝෝෂාවේ විකාර රූපී බව හොඳින්ම පෙනෙනු ඇත.

මහනුවර නගරයේ පරිසර දූෂණය
නුවර නගරය සැලකෙන්නේ ලංකාවේ නගර අතරින් උපරිම වායු දූෂණයක් ඇති නගරයක් ලෙසය. නගරය වටා කඳු වලල්ලක් පිහිටීමත් නගරය ඒ මැද වළක පිහිටා තිබීමත් හේතුවෙන් නගරය හරහා තද සුළං ප්‍රවාහයක් ඇදී නොයයි. මේ හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන විවිධ වායූන් නගරයෙන් පිටතට ඇදී යන්නේ සෙමිනි. ආරක්ෂක හේතුන් මත දළදා මාලිගාව අසලින් ඇති මාර්ගය වසා දැමිම නිසා නගරයේ කාර්යබහුල වේලාවන් වලදී සිදුවන අධික වාහන තදබදය හේතුවෙන් මෙම තත්ත්වය තවත් වර්ධනය වී ඇත. මෑතකාලයේ ස්වසන ආබාධ වලින් පෙළෙන නුවර වාසී ළමුන්ගේ වැඩිවීමක් ඇති බව පර්යේෂණ දත්ත සමගින් විශේෂඥයින් විසින් කිහිප විටක් පෙන්වා දුන්නද මේ දක්වා මාර්ගය විවෘත වී නැත. මේ සටහන ලියන මොහොතේද රූපවාහිනි ප්‍රවෘත්ති සටහනක දැක්වූ පරිදි වායුගෝලීය දූෂණය හේතුවෙන් මිනිස් මොළයට දැඩි හානි පමුණුවන බව සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් ආගමික සංස්ථාවන් සංවේදී වන්නේ නැත. යුද්ධය දැන් අවසන් හෙයින්ද, ආරක්ෂක ගැටලු දැන් මතු නොවන හෙයින් ද මාර්ගය විවෘත කිරීමේ ගැටලුවක් ඇත්තේ නැත.

කල යුත්තේ කුමක්ද?
සියලුම මිනිසුන් උපදින්නේ ගිහියන් වශයෙනි.පැවිදි ජීවිතය යනු ගිහි ජීවිතයෙන් වෙනස් වූ වෙනම ගමනකි. ලෞකික හා ලෝකෝත්තර යනු ලෝක දෙකකි. මේ අන්ත දෙක පටලවා ගැනීමෙන් සිදු වන්නේ ලෝකෝත්තර හා ලෞකික ලෝක දෙකෙහිම බරපතළ අවුල් වියවුල් ඇතිවීමය. කැමති කෙනකුට කැමති ආගමක් ඇදහීමට අයිතියක් ඇතිවා මෙන්ම ගිහි හෝ පැවිදි ජීවිත ගත කිරීමටද අයිතියක් ඇත. පැවිද්දන් ලෝකය පුරා ඇත්තේ ඉතාම සුළු කොටසකි. බහුතරය වන්නේ ලෞකික ජීවිත ගත කරන ගිහියන්ය. එහෙයින් රාජ්‍ය හැම විටම ලෞකිකය. කිසිම දිනක ගිහියන් සියලුම දෙනා පැවිද්දන් වන්නේද නැත. ලෞකික සමාජය සැමදා පැවතිය යුතුය. කිසි දිනක එය ආගමික රාජ්‍යයක් නොවිය යුතුය. ඒ ලෞකික අරමුණු හා ලෝකෝත්තර අරමුණු අතර ඇති පරස්පරයන් නිසාය. ආගමික රාජ්‍ය ලොව ඇත්තේද නැත. තිබුණද තිබිය හැක්කේ දැඩි අන්තවාදී හෝ අසාර්ථක රාජ්‍යයන් වශයෙනි. ඒ නිසා ආගමික ආධිපත්‍යයට ලෞකික රාජ්‍යය යට වීමට ඉඩ නොදිය යුතුය. ලෝකයා සමග අපට අභිමානයෙන් සිටගත හැකි වන්නේ එවිටය.