රණවිරුකරණය වන බ්‍රසීලය

ප්‍රභාෂ්වර

දකුණු ඇමරිකානු සහ ලතින් ඇමරිකානු කලාපයේ විශාලතම රට ලෙස සැලකෙන බ්‍රසීලය,1964 සිට 1985 දක්වා පාලනය කෙරුණේ ආඥාදායක මිලිටරි ආණ්ඩුවක් අතිනි. එම හමුදා ග්‍රහණයෙන් මිදී, බ්‍රසීලය යළිත් සිවිල් වැසියන් සතු ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ජනරජයක් බවට පත් වූයේ 1988 දී නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමෙන් අනතුරුවය. රටේ ජනපතිවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභිකයින් තේරීමේ බ්‍රසීල මහමැතිවරණය, 2018 ඔක්තෝම්බර් 07 වැනිදා පැවැත්වීමට නියමිතය. 2003 සිට 2011 දක්වා බ්‍රසීලයේ 35 වැනි ජනපතිවරයා ලෙස එරට පාලනය කළ ලූලාද සිල්වා, එළඹෙන මහ මැතිවරණය සඳහා වාමාංශික කම්කරු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නමුත් එහි ඉහළ මැතිවරණ උසාවිය ඔහුට තරඟ කළ නොහැකි බව දන්වමින් 2018 අගෝස්තු 31 දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ තත්ත්වය හමුවේ සමාජ ලිබරල් පක්ෂයෙන් තරඟ වදින, හිටපු හමුදා කපිතාන්වරයකු වන හැට තුන් හැවිරිදි ජේයි බොල්සොනාරෝ බ්‍රසීලයේ නව ජනපතිවරයා ලෙස පත්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. 

හිට්ලර් ඉල්ලීම
සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී භූමිකාවක් රඟ දක්වන කැප්ටන් ජේයි, දශක තුනක් තිස්සේම බ්‍රසීලයේ කොංග්‍රස් සභිකයකු ලෙස අපරාජිතව සිටින්නේ පොලිසියේ හා හමුදාවේ සේවයේ නියුතු අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ඔහුට පැන පැන ඡන්දය දෙන හෙයිනි. දශක දෙකක් ඉක්මවූ මිලිටරි රෙජිමයෙහි කෲරතම හමුදා පාලකයින්ගේ පිංතූර ජේයිගේ කාර්යාලය පුරා එල්ලා තිබෙනු දැකිය හැකිය. සිවිල් වැසියන් කෲර වධ හිංසාවට බඳුන් කොට අතුරුදන් කළ මොවුන් වීරත්වයෙන් පිදීම ඔහුගේ ප්‍රතිපත්තියයි. අවුරුදු 17ක්ම හෙතෙම සිය සේවය ලබා දුන්නේ මෙකී භයානක මිලිටරි පාලකයින් වෙතය. එරට පෝලිස්ටා සරසවියේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්ය මාක්ස් වැස්කොන්සෙලෝස් පවසන්නේ බ්‍රසීලයේ සියලු දේශපාලනඥයින් ‘පට්ට හොරුන්’ සේ දකින මහජනයා, දූෂණයෙන් තොර මිලිටරි රෙජිමයක් ස්ථාපිත කිරීමට කැමැත්තක් දක්වන බවයි. 2003දී බලයට පැමිණි ලූලා ද සිල්වා, 2005 අවසානය වන විට රටේ ආර්ථිකය වර්ධනය කොට බ්‍රසීලය එතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබූ සියලු ණය, පොළියත් සමඟ ගෙවා අවසන් කළේය. පාඩු ලබමින් සිටි රාජ්‍ය බැංකු ලූලාගේ පාලනය යටතේ ඉහළ ලාභ අත්පත් කරගන්නට සමත් විය. බ්‍රසීලය ලෝකයේ 08 වැනි විශාලතම ආර්ථිකය බවට පත් වූයේත්, මිලියන 20ක් පමණ බ්‍රසීලියනුවන් දිළිඳු බවේ රේඛාවෙන් ඉහළට ඔසවා තැබුණේත්, ඔහුගේ දූර්දර්ශි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. ජාත්‍යන්තර වෙළෙඳ ගිණුමේ හිඟ ශේෂය, 2004 දී ඇමරිකත් ඩොලර් බිලියන 29ක අතිරික්තයක් බවට පත් කළේද ජනපති ලූලාය. 2004 සිට 2012 දක්වා එතෙක් වාර්ෂිකව වර්‍ග කිලෝමීටර් 27,700ක් ලෙස වාර්තා වුණු බ්‍රසීලයේ කැලෑ කැපීම වර්‍ග කිලෝමීටර් 4500 දක්වා පහත හෙලීමට හෙතෙම ක්‍රියා කළේය. කෙසේ වෙතත්, රාජ්‍ය ඛනිජ තෙල් සමාගම වන පෙට්‍රොබ්‍රාස් හරහා තම පක්ෂය හා එහි නායකයින් වෙත ගණනය කළ නොහැකි තරමේ අල්ලස් ත්‍යාග කිරීමට ලූලා ක්‍රියා කළ වග ඔප්පු වූ හෙයින් 2018 ජනවාරි 25 දින බ්‍රසීල අධිකරණය ඔහුට වසර 12 ක සිර දඬුවමක් නියම කළේය. අදටත් බ්‍රසීලයේ බොහෝ ජන කොටස් අතර ලූලා මහතා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වුවද එරට ස්වාධීන අධිකරණය ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මොහොතක්වත් පසුබට නොවීය. එහෙත් ජනපති අපේක්‍ෂක කැප්ටන් ජේයි පවසන්නේ, තමා බලයට පැමිණි පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මිලිටරි පසුබිමක් ඇති විනිසුරුවන් පත්කරන බවයි.

ඉහවහා ගිය දූෂණය
2011 සිට 2016 දක්වා බ්‍රසීලයේ 36 වැනි ජනපතිනිය ලෙස රට පාලනය කළ ඩිල්මා රූසේෆ්, අතීතයේදී එහි මිලිටරි පාලකයින්ට එරෙහිව ගරිල්ලා සටනක යෙදුණු වාමාංශික මාක්ස්වාදීන්ගේ සංසදයේ ප්‍රබල සාමාජිකාවක් වූවාය. මිලිටරි රෙජිමය, 1970 සිට 1972 දක්වා ඈව සිරගතක කළා පමණක් නොව අපමණ ශාරීරික වධ හිංසාවන්ටද බඳුන් කළේය. ‘පොදු ජනයාගේ ගැහැනිය’ ලෙස බලයට ආ නමුත්, 2014 වන විට පෙට්‍රොබ්‍රාස් සමාගමෙන් ඩිල්මාද බිලියන ගණන් සල්ලි හොරකම් කළ වග අනාවරණය විය. ඒ අතරතුර බ්‍රසීලය පුරා පැතිරගිය ආර්ථික අවපාතය හේතුවෙන් මහජනතාව ඩිල්මාගේ රජයට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කරන්නට වූහ. පොලිසියේ මෝටර් රථවලට ඉන්ධන නොමැති වීම, ප්‍රධාන රෝහල් වලට අත්‍යවශ්‍ය බෙහෙත් නැති වීම සහ වීදි අපරාධ සීඝ්‍රයෙන් වැඩිවීම යනාදිය නිසා ඇගේ ජනප්‍රියත්වය බෙහෙවින් පහළ ගියා. 2016 අගෝස්තු 31 වැනි දින බ්‍රසීලයේ සෙනෙට් මණ්ඩලය, දෝෂාභියෝගයක් ඔස්සේ ඩිල්මා රූසෙෆ්ව එරට ජනපති ධූරයෙන් නෙරපා හැරීමට ක්‍රියා කළේය. අද බ්‍රසීලියානුවන් දස දෙනකු අතරින් හත් දෙනෙක්ම පවසන්නේ, තමන්ට රටේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවයි. කැප්ටන් ජේයි බෝල්සොනාරෝ රණවිරුවකු ලෙස හිස ඔසවන්නේ බ්‍රසීල දේශපාලන වේදිකාව මත හටගෙන ඇති මේ හිඩැස නිසාය.

කැප්ටන් ජේයිගේ භූමිකාව
වසර 21 ක් බ්‍රසීලය පාලනය කළ මිලිටරි රෙජිමය 1964 දී, නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පැමිණි ජෝ ගුලාට්ගේ වාමාංශික ආණ්ඩුව පෙරළා දැමුවේ හමුදා කුමන්ත්‍රණයක් හරහාය.1964 – 1985 කාල වකවානුවේදී මිලිටරි රජයට එරෙහිව වචනයක් හෝ දෙඩීම මාරයාට අත වනන්නක් වැනි භයංකාර ක්‍රියාවක් ලෙස සැලකිනි. 1991 දී ජේයි බොල්සොනාරෝ කොංග්‍රස් සභිකයකු ලෙස තේරී පත්වුණු වහාම කියා සිටියේ රටට අවශ්‍ය වන්නේ අඥාදායක මිලිටරි රෙජිමයක් බවය. රට ගොඩ ගැනීමට නම්, රජයේ විවිධ ක්‍රියාකාරකම් වලට එරෙහිව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන වාමාංශිකයින් හා සමාජ ක්‍රියාකාරීන් තිස්දාහක් පමණ මරා දැමිය යුතු යැයි හෙතෙම පැවසුවේ 1999දීය. එවකට රටේ ජනපති ධූරය හෙබවූ ෆර්නෑන්ඩු හෙන්රික් කාර්ඩොසෝ ද ඝාතනය කළ යුතු දේශද්‍රෝහියකු වග ජේයි වරෙක අවධාරණය කළේය. බ්‍රසීල දේශපාලන විචාරකයකු වන ඇන්තනි පෙරෙයිරා කියන්නේ, කැප්ටන් ජේයි සිය අදහස් මෙසේ නිර්භයව ප්‍රකාශ කරනුයේ රටේ තවමත් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් තිබෙන නිසා වගයි. ජේයිගේ දේශපාලන අනුගාමිකයන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 34ට අඩු අයයි. මේ අයට එදා තිබූ මිලිටරි ආණ්ඩුවේ කෲරභාවය පිළිබඳ කිසිදු දැනුමක් නොමැත. තමා ජනපති වුවහොත් 15 දෙනකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයට, හමුදා ජෙනරාල්වරු හය දෙනකුවත් අනිවාර්යයෙන්ම පත්කරන බව ජේයි කියයි. ඔහු කපිතාන්වරයකු ලෙස සේවය සැපයූ මිලිටරි රෙජිමයේ බලවත් නිලධාරීහු එදා කන්‍යා සොයුරියන්ව සමූහ දූෂණයට ලක් කළහ. විරුද්ධවාදීන්ගේ වෘෂණ කෝෂ ඡේදනය කළහ. (හමුදාවට බියේ රටින් පලාගිය) සමාජ ක්‍රියාකාරීන්ගේ බිරින්දෑවරු දරුවන් අභියස ඝාතනය කොට එම සිරුරු කපා කොටා විරූපී කළහ. 2014 දී බ්‍රසීලයේ සත්‍ය ගවේෂණ කොමිසම මගින් අනාවරණය කරගත් පරිදි, මිලිටරි රෙජිමය බ්‍රසීලියානුවන් 434ක් අතුරුදන් කර තවත් 1843කට කෲර වධ හිංසා පමුණුවා තිබිණි. 1979 දී සම්මත කරගනු ලැබූ වගකීමෙන් නිදහස් වීමේ පනත නිසා එම අපරාධකරුවන්ට දඬුවම් දීමක් සිදු නොවුණි. කැප්ටන් ජේයි අද පවසන්නේ එවැනි වාමාංශික පිළිල සමාජයෙන් කෙසේ හෝ ඉවත් නොකළොත්, නීතිය හා සාමය පවත්වාගෙන යාම අපහසු බවයි. පුද්ගල අතුරුදන් කිරීම් හෙතෙම සාධාරණීකරණය කරන්නේ ඒ අයුරිණි.

දැඩි පිළිවෙත
අනවශ්‍ය පුද්ගලයින් සමාජයෙන් තුරන් කළ එකම රට බ්‍රසීලය නොවන බවත්, චිලියේ හිටපු ඒකාධිපති පිනෝචේ ද විරුද්ධවාදීන් 2279ක් ඝාතනය කළ බවත් කැප්ටන් ජේයි 2018 සැප්තැම්බරයේදී මාධ්‍යවේදීන් සමඟ පැවසුවේ සිනහමුසු මුහුණෙනි. චීලි රට සංවර්ධනය වූයේත්, පිනෝචේට අදත් එරට වැසියන් ගරු කරන්නේත් හෙතෙම එවැනි දැඩි තීරණ වලට එළැඹි නිසා යැයි ජේයි කියයි. කිසිදු ආත්ම සංයමයකින් තොරව, ජාත්‍යන්තර ටයිම් සඟරාවේ බ්‍රසීල වාර්තාකරු මැට් සැන්ඩි සමඟ කැප්ටන් ජේයි සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි. “ප්‍රජාතන්ත්‍රවාදය කියලා ආණ්ඩුවේ හැම වැඩකටම සමාජ ක්‍රියාකාරීන්ට ඇඟිලි ගහන්න මං ඉඩ තියන්නේ නැහැ.2017 වසරේ බ්‍රසීලය තුළ මිනීමැරුම් 63880ක් සිදු වුණා. මෙය ඇමරිකාවේ මිනීමැරුම් අනුපාතය හා සැසඳීමේදී හය ගුණයකින් ඉහළයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් පොලිස් නිලධාරීන් පවා ඝාතනයට ලක් වෙනවා. මං ජනපති වුණ ගමන් පොලිසියට අවශ්‍ය යැයි සිතුනු ඕනෑම වේලාවක එදිරිවාදියෙක්, කලබලකාරයෙක් හෝ මැරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ නිදහස නීතිගත කරනවා. දැන් බලන්න, පිලිපීනයේ ජනපති ඩුටර්ටේ, නීතියට පිටින් ගිහින් දස දහස් ගණනින් කුඩුකාරයින්ව දුටු තැන මරා දැමීමේ නිදහස හමුදාවටත්, පොලිසියටත් ලබා දුන්නා. ඒක හොඳ දෙයක් නෙවෙයිද? ගැහැනුන්ට හා සමලිංගිකයින්ට අද බ්‍රසීල සමාජය තුළ තිබෙන අසීමිත නිදහස මගේ පාලනයක් යටතේ අහුරා දැමීමට මං බලාපොරොත්තු වෙනවා. හමුදාවේ හිටපු කපිතාන් කෙනකු හැටියට මං ප්‍රගුණ කරලා තියෙන කලාව මනුෂ්‍යයින් ඝාතනය කිරීමයි. ඉතිං අවශ්‍ය යැයි සිතුණු විටෙක එය නොපමාව සිදු කළයුතුයි”

හිඩැස පිරවීම
හිටපු බ්‍රසීල හමුදා නිලධාරියකු වන 42 හැවිරිදි මාසිලෝ ෆ්‍රීටාස් කියන්නේ, මිලිටරි රෙජිමයක් යටතේ මත්පෙති මාෆියාවට මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කිරීමේ අවකාශයක් නොලැබෙන බවයි. වත්මනෙහි ජේයි බොල්සොනාරෝගේ ඡන්ද රැලිවලට පැමිණෙන සියලු සිවිල් වැසියන් ඒවාට එන්නේ හමුදා සෙබළුන් අඳින කැමෆ්ලාජ් ටී ෂර්ට් ඇඟලාගෙනය. මාසිලෝ ෆ්‍රීටාස් ද වීදි සටනකදී වෙඩි පහරට ලක් වූ අයෙකි. මීට වසර 10කට පෙර සිදු වූ එම ප්‍රහාරයෙන් හෙතෙම දිවි ගලවාගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි. සිය 05 හැවිරිදි පුතාගේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් බ්‍රසීලය තුළ මිලිටරි ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු වග ෆීටාස් පවසයි. කෙසේ වෙතත්, 2018 සැප්තැම්බර් 06 වැනිදා ඡන්ද රැළියකට සහභාගී වෙමින් සිටියදී කැප්ටන් ජේයි හට බිස්පෝ ඔලිවේරා නමැති පුද්ගලයා විසින් දරුණු පිහි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. දැන් ඔහු පෝලෝහි ආරෝග්‍ය ශාලාවක සුවය ලබමින් පසුවන අතර මේ සිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ දැමීමට හේතු වී තිබේ. තම විරුද්ධවාදීන් ඝතනය කොට අතුරුදන් කරවීම සාමාන්‍ය දෙයක් යැයි සිතූ හැම ඒකාධිපතියකුම මානසික ව්‍යාධීන්ගෙන් පෙළුණු උන්මත්තකයෝය. රුසියානු ඒකාධිපතියකු වූ ජෝසෆ් ස්ටාලින් දරුණු මානසික රෝගියකු වග ඔහු පරීක්ෂා කළ ශ්‍රේෂ්ඨ මනෝ වෛi ව්ලැද්මීර් බෙක්තෙරෙව් වරෙක අනාවරණය කළේය. ඉතින් මනුෂ්‍යයින් මැරීම තමා ප්‍රගුණ කළ කලාවක් බැව් කියන කැප්ටන් ජේයි, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙන අයෙක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. රණවිරුවකු යැයි කියමින් එවැන්නෙක් බ්‍රසීලයේ ජනාධිපති ධූරයට පත්කර ගැනීම ස්වකැමැත්තෙන්ම විනාශය ළඟා කර ගැනීම මිස වෙන කුමක්ද? ලංකාවට හිට්ලර් හොඳය කියන අය පහත සඳහන් ජූඞ් ප්‍රේමන් විසින් රචිත කවිය කියැවිය යුතුය.

“ඡන්දය දුන්නේ මා හට පරමාධිපතී – නීතිය රැක්කේ මා පත් කළ නීතිපතී
කොමිසම කුමට ඉද්දී මගේ පොලිස්පතී – මමමය ඔබේ ආඩම්බර ඒකාධිපතී ”