ඩයන් ගෝමස් මුස්තාපාට වැටෙන්න ගහයිද?

ක්‍රීඩා ක්ෂේත්‍රයේ විනයක් නැති වුවද ක්‍රීඩා ඇමතිවරයා නීතිඥයකු බව කිව යුතුය. වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්නා සේ ම ඇමැත්තා නීතිඥයා වුවද කිසිවක් නීති ප්‍රකාරව සිදු නොවේ. ඒ ක්ෂේත්‍රයේ නියැලෙන අය තම අභිමතයට ක්‍රියා කරති. ක්‍රීඩා පනත කුණු කූඩයට වැටී ඇත. නීතියක් නැති තැන විනයක් තිබිය නොහැකිය. නීතියක් විනයක් නැති තැන දියුණුවක් වේද? ක්‍රීඩා සංගම්හී ප්‍රබලතාව මත එහි නිලතල දරන අයගේ නාමික වටිනාකම් මත ක්‍රීඩා ඇමැත්තාට ඇති හිතවත්කම් මත නීති අවනීති වී ඇත.

ක්‍රීඩා පනත අනුව පුහුණුකරුවන්ට තම සංගමයේ නිලතල දැරිය නොහැකිය. එය හොඳ දෙයකි. සංගම් ප්‍රධානියකු පක්ෂග්‍රාහී අයකු නොවිය යුතුය. විශේෂයෙන්ම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට එහෙත් ඔහු හෝ ඇය පුහුණුකරුවකු හෝ පුහුණුකාරියක වූ කල තම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට විශේෂ සැලකිල්ලක් වීම ඉතාම සාමාන්‍යය. මේ නිසා පුහුණුකරුවන් සංගම්හී ප්‍රධාන නිලතල දැරීම අනුවණ බව පිළිගත යුතුය.

එහෙත් මෙය නීතියක් නම් එය සැමට සමාන විය යුතු බව නීතිඥයකු ලෙස ඕනෑවටත් වඩා අභිමානයෙන් දිවි ගෙවන ෆයිසර් මුස්තාපා කල්පනා කළ යුතුය.
තමා මුලින් මෙන්ම දැන්ද කටයුතු කරන පළාත් පාලන අමාත්‍යාංශයේ සියලු වැඩ අනාගෙන ඇති මුස්තාපා ක්‍රීඩා ක්ෂේත්‍රයේද අනාථයකු වී ඇත. ඔහු කියන්නේ කරන්නේ කුමක්ද යන්න ඔහුද නොදන්නා තැනට පත්වී ඇත. එහෙව් ඇමැත්තකුගෙන් අපි ක්‍රීඩාවේ දියුණුව බලාපොරොත්තු වෙමු. මේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වැනි වැඩය.
මෙවර පිහිනුම් සංගමයේ නිලතලවලට පුහුණුකරුවන් ඉදිරිපත්වීමත් සමග ක්‍රීඩා සංගම් නිලතලවලට පුහුණුකරුවන් ඉදිරිපත් වීම නීති විරෝධී බවට ලොකු හඬක් මතුවිය. ඒ නිසා එය මේ මොහොතේ අලුත් වූ කතාබහක් බවට පත්විය. මේ කතාබහ ඇතිවූයේ ඉන්දුනීසියාවේ පැවැත්වූ ආසියානු ක්‍රීඩා උළෙලට පෙරය.

එහෙත් ඒ කතාබහ අස්සේම ආසියානු ක්‍රීඩා උළෙලට යන බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු තනතුරකට ඩයන් ගෝමස්ද සහභාගි විය. ඩයන් යනු බොක්සිං සංගමයේ සභාපතිය. එසේ නම් බොක්සිං සංගමයකට එක නීතියකුත් පිහිනුම් සංගමයට තව නීතියකුත් ක්‍රියාත්මකවන්නේ කෙසේද? ඩයන්ට අමු අමුවේම නීති උල්ලංඝනය කරන්නට බලය ලැබෙන්නේ කෙසේද? ප්‍රසිද්ධ සභාවකදී පුහුණුකරුවන් තනතුරු දැරීමට විරුද්ධව ක්‍රීඩා ඇමතිවරයා ප්‍රශ්න කරන ඔලිම්පික් සභාපති ධුරයට තරග වැදී රොහාන් ප්‍රනාන්දුට තම අතිජාත මිත්‍රයා ඩයන් ගෝමස් පිස්සු කෙළිනු නොපෙනේ. ඔවුන්ගේ කයිවාරුවල තරමද එයින්ම පැහැදිලිය.

පුහුණුකරුවන්ට ප්‍රධාන තනතුරු දැරිය නොහැකි නම් ඩයන් ගෝමස් බොක්සිං සංගමයේ සභාපතිවන්නේ කෙසේද? පුහුණුකරුවකු වී සභාපති තනතුරට ඉල්ලුම් කළ නොහැකි නම් සභාපතිවරයකුට පුහුණුකරුවකු ලෙස ප්‍රසිද්ධියේම ජාත්‍යන්තර තරගාවලියකට යා හැක්කේ කෙසේද? පුහුණුකරුවකුට සභාපති කෙනකු විය නොහැකි නම් සභාපති කෙනකු පුහුණුකරුවකු වන්නේ කෙසේද? නීතිඥ ක්‍රීඩා ඇමතිවරයා එයට අරුත් සපයනුයේ කෙසේද?

ඩයන් ගෝමස්ට තමා පුහුණුකරු ලේබලය ඇතුලේ ආසියානු ක්‍රීඩා උළෙලට යෑමේ හැකියාව ලැබුණේ කෙසේද?
එසේ නම් පිහිනුම් සංගමයට එක නීතියකුත්, බොක්සිං සංගමයට තව නීතියකුත් තිබිය නොහැකිය. නීතිය නීතියක්ම විය යුතුය. සැමට පොදුවිය යුතුය. ඩයන්ද බෙල්ලටම හිරවී හමාරය. ඔහුට නිදහසට කිව හැකි කිසිවක් නැත. ඔහු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන්නේම පුහුණුකරු ලේබලය යටතේය. දැන් නීතිය බල්ලාට ගොස්ය.

පිහිනුම් සංගමයට පමණක් නීතියක් ක්‍රියාත්මක කළ නොහැකිය. එය සෙසු සංගම්වලටද අදාළ විය යුතුය. පිහිනුම් සංගමයේ නිලධාරීන්ට තනතුරු නොදෙන්නේ නම් ඒ එඩිතරභාවය ඇමති, ඩයන් ගෝමස් සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුතුය. ඇමති මුලින් කළයුත්තේ ඩයන් ගෝමස් සභාපතිකමින් ඉවත් කිරීමය. ඉන්පසු සෙසු අයට අත තැබීමය. එවිට නීතිඥකමේ අභිමානයද රටට පෙනෙනු ඇත.

නීතිය මකුළු දැලකි. මැසි මදුරුවෝ හසුවෙති. බඹරු කඩාගෙන යති. කීවේද කීර්තිමත් නීතිඥයකු වූ කොල්වින් ආර්. ද සිල්වාය. එසේ නම් මුස්තාපා, ඩයන් ගෝමස් හමුවේ කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි අපට බලනු හැකිය. ඩයන්ට අත නොතබන්නේ නම් නීතිය බල්ලටම දමා සෙසු අයටත් ඒ නිදහස දීම යහපත්ය.