දැල්පන්දුව දිනුම් කැරම් පරාදයි

ඒ. වික්‍රමසූරිය

ආසියානු දැල්පන්දු කිරුළ ජයග්‍රහණය කිරීම ගැන මේ දිනවල ඇති පදම් කතා වේ. 1989,1997, 2001 සහ 2009 වසරවලද දිනූ ශූරතාව මෙවරද දිනීය. ඒ අනුව සක් සුදක් සේ පැහැදිලි කරුණ නම් ශ්‍රී ලංකා දැල්පන්දු පිලට ආසියානු ශූරතාව දිනීම මැජික් එකක් නොවන බවය.

රටවල් දුසිමක් තරගාවලිය නියෝජනය කළද සැබැවින්ම ශ්‍රී ලංකාවට තරගයක් ඇත්තේ මැලේසියාවත්, සිංගප්පූරුවත් සමග පමණය. කිරුළ නිතර දෝලනය වන්නේද මේ රටවල් අතරමය. බොහෝ අවස්ථාවල මේ රටවල පුහුණුකාර ධුරය දැරුවේද ලාංකිකයන්මය. ඒ තරමට මේ අතළොස්සෙහි ශ්‍රී ලංකා දැල්පන්දුව ඇත්තේ ඉහළින්මය. පරිපාලනමය හේතු මත යම් යම් කාලවල අසාර්ථකවීම සාමාන්‍යය. ඕනෑම කණ්ඩායමකට හැමදා ශූරයන්ද විය නොහැකිය. ඒ අනුව බලන විට වසර කිහිපයක් එහා මෙහා වෙමින් මේ රටවල් තුන වටා දක්ෂතා එහා මෙහා වන අයුරු දැකගත හැකිවිය. ඒ නිසා ආසියානු ශූරතාවයේ කිරුළ දැල්පන්දුවට හිමිවීම මහා ආශ්චර්යයක් ලෙස නොතැකිය යුතුය. ඉන් මෙම ජයග්‍රහණය සුළු කොට තැකිය යුතුයැයි අපි නොකියනමුත් එකක් මහා ඉහළින් උඩ දමා තව එකක් පාගා දැමීම නොකළ යුතුයි යන්න අවධාරණය කරමු.

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ පරිපාලනය එවැනි අමන වැඩ නොකළ යුතුය. ආසියානු ශූරතාව කරේ තබාගෙන උඩ පනින ඇමති ඒ වෙනුවෙන් කළ නොකළ දේ ගැන පව් සමා කරන ක්‍රීඩා ඇමති කැරම් ලෝක ශූරතාවලිය දිනා ආ ක්‍රීඩකයන්ට සැලකුවේ කෙසේද?

පසුගියදා දකුණු කොරියාවේදී අවසන් වූ ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි සමස්ත ශූරතාව දිනා ගැනීමට පිරිමි කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියාව අබිබවා යමිනි. මෙම

තරගාවලියේ කාන්තා අනුශූරතාවද ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකාවට කැරම් ක්‍රීඩාවෙන්ද අභිමානයක් නිතර හිමිය.

2016 වසරේදී එංගලන්තයේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේදීද පිරිමි ශූරතාව දිනා ගැනීමට ලංකාව සමත් වූ අතර අනුශූරයන්වීමට කාන්තා පිලට හැකිවිය. මේ වනවිට ශ්‍රී ලංකාව කැරම් ලෝක ශූරතා හතරක් ජයගැනීමට සමත් වී ඇත. මෙවර තරගාවලියට රටවල් 20ක් සහභාගි විය. එහෙත් රටවල් විස්සක් අතරින් ලෝක ශූරයන් වී ආ අනු ශූරයන් වී ආ කණ්ඩායම ක්‍රීඩා ඇමති ක්‍රීඩා පරිපාලනය කුඩම්මාගේ සැලකිල්ලට ලක් කළේ ඇයි? මේ චූල ගණයේ ක්‍රීඩා නිසාද?

නෙට්බෝල් ක්‍රීඩිකාවන් සමග හිඳ පින්තූර ගෙන උජාරුවෙන් මාධ්‍යවල බැබළෙන ක්‍රීඩා ඇමති කැරම් ලෝක ශූර චමිල් කුරේ දැකවත් ඇත්ද?

මේවාද ලංකාවේ ඇති ක්‍රීඩාය. ලෝක ශූරතා පවා දිනන ක්‍රීඩාය. එහෙත් ක්‍රිකට්, පාපන්දු, රග්බි, නෙට්බෝල්, බොක්සිං මලල ක්‍රීඩා වැනි කිහිපයකට පමණක් අමුතු සැලකිලි ඇයි?

කැරම් ක්‍රීඩාවෙන් වුව අපට සිටිනුයේ ලෝක ශූරයෙකි. කාන්තා අනු ශූරයන්ය. දැල්පන්දුවට අමුතු සැලකිලි දෙන්නේ නම් ඒ සැලකිල්ල කැරම්වලට නොලැබෙන්නට හේතුව කුමක්ද? කැරම් අපත ක්‍රීඩාවක්ද?

දැල්පන්දු තරගාවලිය ආවරණයට මෙරට මාධ්‍ය රැගෙන යන බැවින් ඒ අය ඕනෑවටත් වඩා දැල්පන්දුව උඩ දමති. ඒ රට සවාරියට කළගුණ සැලකීමටය. කැරම් ක්‍රීඩා සංගමයට එවැනි තෑගි දීම් කළ නොහැකිය. එලෙසම මාධ්‍ය සැලකිල්ලද සුළුවටය. ආසියානු දැල්පන්දු කිරුළයි, කැරම් ලෝක ශූරතාවලියයි ජයග්‍රහණ වශයෙන් උස් පහත් කරනුයේ කෙසේද? දැල්පන්දු ක්‍රීඩිකාවන් සමග සමූහ රූපවලට හිඳිමින් ජය සමරන ක්‍රීඩා ඇමති සිතිය යුත්තේ තමන් ක්‍රීඩාවක, දෙකක ක්‍රීඩා ඇමති නොව අඩ ශතකයට වැඩි ක්‍රීඩාවල ක්‍රීඩා ඇමති බවය.

අමාත්‍යාංශ දෙකක් බදාගෙන ඉන්න මුස්තාපාට එකක් නොව, දෙකම හරියාකාරව කරන්නට බැරි බව දැන් නියමාකාරයෙන්ම පැහැදිලිය. යහපාලනයේ ඇත්තේ වැඩ බැරි දාසලාමය.