රාවය

ක්‍රිකට් පෙට්ටගමට තට්ටු කිරීම

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් පෙට්ටගමට තට්ටු කරන්නට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තිය මේ වනවිට විවිධ පැතිකඩ ඔස්සේ විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ම නිලධාරීන් පිරිසකගේ අභිප්‍රාය වී තිබෙන බැව් රාවයට ආරංචි වේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ රූපවාහිනි විකාශය වෙනුවෙන් මෙරට ට ලැබීමට නියමිත මුදලෙන් කොටසක් වන ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලින් තම හාම්පුතුන් බේරා ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

දැනට ආරංචි වන පරිදි සිදු කිරීමට උත්සාහ කළ මෙම වංචාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයෙක් විසින් නොව නන්නාඳුන පුද්ගලයෙක් විසින් පරිගණක දත්තයන් අවභාවිත කරමින් සිදු කිරීමට කළ උත්සාහයක් සේ ඒත්තු ගැන්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අනෙක් අතට මේ කතාන්දරයේ සිටින මහ මොළකරුවන් කිසිදු හේතුවක් නිසාවත් හෙළි නොකිරීමට මේ වෙද්දීත් අදාළ පාර්ශ්වයන් සාකච්ඡා පවත්වා ඇත. තත්ත්වය ඉතා ම බැරෑරුම් වන්නේ නම් දැනට චෝදනාලාභීන් වරදකරුවන් වේ නම් ඊට වන්දි ලෙසින් ඔවුන්ට සුදුසු ගතමනාවක් ගෙවීමට ද ඔවුන්ගේ බලාපොරොත්තුව බැව් ද ආරංචියයි.

අනෙක් අතට මෙම ගනුදෙනුව මෙසේ වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ කළේ රජය වෙත අධික බදු මුදලක් ගෙවීමට සිදුවෙන බැවින් ය යන්න කරළියට ගෙන ඒම ද චූදිත පාර්ශ්වයේ උත්සාහයක් වී තිබේ. මේ සම්බන්ධයෙන් සිදුව ඇති සාකච්ඡාවේ දී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි මුදලක් පෞද්ගලික ගිණුමක තැන්පත් කිරීමේ වරදට අමතර ව රජයට ගෙවිය යුතු බදු මුදලක් පැහැර හැරීම යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් විය හැකි බැවින් එම තීරණයේ නොසිටිය යුතුය යන්න වැඩි දෙනෙක්ගේ කතාව වූ බැව් ද පැවැසේ.
කෙසේ වෙතත් අදාළ චෝදනාවෙන් සියලු දෙනා ගැලවීම වෙනුවෙන් බලගතු සෑම පාර්ශ්වයක් වෙත ම තරාතිරම නොබලා ඉල්ලීම් කිරීමට කණ්ඩායමේ එකඟතාව වී තිබේ.
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් හී හිටපු නිලධාරීන් කිහිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන් අගනුවර සුඛෝපභෝගී නිවසක පවත්වා ඇති අතර අදාළ ප්‍රශ්නය සමථයකට කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයක දී රජයේ ප්‍රබල පුද්ගලයෙක් දුරකතනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණ ද එය ව්‍යර්ථ වී ඇත.

ඉතා බරපතළ ගණයේ මූල්‍ය වංචාවකට අරඇදීමට අරමුණු කරගනිමින් සිදු කෙරුණ මෙම ව්‍යාපෘතිය හිටි අඩියේ සංවිධානය වූවක් නොව මීට කලකට පෙර සිට ම ක්‍රියාත්මක වූවක් බැව් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. මේ සඳහා ප්‍රමුඛව ම කියැවෙනුයේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්ගේ නමකි. තමන්ගේ බලපරාක්‍රමය ශ්‍රී ලංකා ක්‍රිකට් හී විසිරුවා ලූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඉතා වැදගත් තනතුරුවලට තමන් ගේ ම පිරිස් යොදා ඇති වාර අපමණය. ඒ අතුරින් වැඩිම සේවකයන් පිරිසක් අනුයුක්ත කර ඇතැයි පවසනුයේ ගිණුම් අංශය වෙත ය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදුවන හා සිදුවූ යම් සුළු සිදුවීමකදී පවා මාධ්‍ය හමු පවත්වා තමන් ගැන ප්‍රකාශ කරමින් සහ පැවැතෙන සංක්‍රාන්ති පාලනය විවේචනය කළ කිසිවෙක් මේ අවස්ථාවේ කිසිවක් ම නොපවසා නිහඬව සිටීම ඇතැමුන්ගේ විමතියට ලක් ව තිබේ.

“දැන් තේරෙනව ඇති මේ පාලකයන් මෙතැනට එන්න දඟලන්නේ මොකක් නිසා ද කියලා. මේක ඇතුලේ වැඩ කරන අපිට කිසිම සැලකිල්ලක් නැහැ. හැබැයි කේළම් කියන අයටයි කැරකෙන පුටුවලට වෙලා තමන්ගේ බිස්නස් කරන අයටයි හොඳ සැලකිලි. වැඩි වැටුප්. මේ අහුවුණු එක දෙයක් විතරයි. මේ වහළ යට මේ වගේ කොච්චරක් නම් දේවල් වෙලා ඇද්ද?” ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවැසුවේ ය.

ඔහු පවසන ආකාරයට මේ සිදුවීම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිත්‍ය නිලධාරී මණ්ඩලයේ කිහිප දෙනෙක් ද වෙති. ඒ අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ ම නිලධාරීයෙක්ගේ නම ද කියැවේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකු ම එම ධුර දැරීමට පෙර සේවය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී හිටපු සභාපති තිලංග සුමතිපාලට සම්බන්ධ සුමති සමාගමේ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මූලික පරීක්ෂණවලින් හෙළිකරගෙන තිබේ.

මෙම බඳවා ගැනීම් සිදුකිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශයේ හිටපු ප්‍රධාන නිලධාරිනියකට සේවා දිගුවක් ලබා නොදෙමින් තිලංග සුමතිපාල විසින් අදාළ හිතෛශීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට එක්කර ගෙන තිබේ. ඉතා විශ්වසනීය චරිතයක් ව සිටි ඇයට සේවා දිගුවක් ලබා නොදුන්න ද තිලංග සුමතිපාල විසින් වයස අවුරුදු 60 ඉක්ම වූ හෝ ඊට ආසන්න වයසේ සිටි පිරිස් ද එකී කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවයට එක්කර ගෙන තිබේ.

තත්ත්වය කෙතරම් බරපතළ වූව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හී සේවයේ නියුතු අදාළ චූදිතයා සම්බන්ධයෙන් මේ දක්වා ම කිසිදු විනය තීරණයක් නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් නිහතමානී වී තිබේ. එසේ වෙද්දී මෙම ප්‍රශ්නයේ දී තවදුරටත් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා ද නිහඬව සිටීම බොහෝ දෙනෙක්ගේ විමතියට හේතු වී තිබේ. මේ කරුණු කාරණා නිසා අදාළ සිදුවීමේ අවසානයත් නඩුත් හාමුදුරුවන්ගේ – බඩුත් හාමුදුරුවන්ගේ වේදැයි සැකයකි දැන් පැවැතෙනුයේ.