සමාජ ආධ්‍යාත්මයේ ඇතිවී තිබෙන විකෘතිය

ලංකාවේ වර්තමාන සමාජයට තිබෙන්නේ හොඳටම ඔද්දල් වූ රෝගී වූ හා විකෘති වූ ආධ්‍යාත්මයකි. එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් උපරිම මට්ටමේ අශීලාචාර වටපිටාවක පැවති සමාජයක් එවැනි තත්ත්වයකට පත්වීම අස්වාභාවික දෙයක් ලෙස සැලකිය නොහැකිය. බිහිසුණු ප්‍රචණ්ඩ ගැටුම් පැවති එම අශීලාචාර කාලයේදී සිංහල, දෙමළ කැරලිකරුවන් සේ ම කැරලි මැඬ පවත්වන්නට ක්‍රියා කළ ආරක්ෂක හමුදාද උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහැරියෝය. සමාජ ආධ්‍යාත්මයේ ඇතිවී තිබෙන රෝගී බව හා විකෘතිය එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් මියගිය සංඛ්‍යා පිළිබඳ නිල නොවන විවිධ ඇස්තමේන්තුව ඇතත්, රජයට ඒ ගැන නිල ඇස්තමේන්තුවක් නැත. සිංහල දකුණේත්, දෙමළ උතුරේත් එම ගැටුම්වලින් මියයන්නට ඇති අයගේ සංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩිවේ යැයි කිව හැකි වුවත් ඒ සංඛ්‍යාව කොපමණද යන්න හරිහැටි කිව නොහැකිය. මියගිය අයගෙන් සැලකිය යුතු පංගුවක් මියගොස් ඇත්තේ අතුරුදන්වූවන් වශයෙනි. මරණයට පත්වී නැතත්, ආබාධිත තත්ත්වයකට පත්ව සිටින අයගේ සංඛ්‍යාවද පනස් දහසක් පමණ විය හැකිය. ඊලාම් විරෝධී යුද්ධයෙන් ආබාධිත තත්ත්වයකට පත්ව සිටින ආරක්ෂක හමුදා සාමාජික සංඛ්‍යාව පමණක් 14,000 බව කියනු ලැබේ. ගැටුම් පැවති කාලයේදී කුරිරු වදහිංසාවන්ට ලක්වූවන්ගේ සංඛ්‍යාවද විශාලය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී ආරක්ෂක හමුදා පවත්වාගෙන ගිය වධකාගාර ක්‍රමයක් සිංහල දකුණේ ක්‍රියාත්මක විය. එවැනි ක්‍රමයක් දෙමළ උතුරේද ක්‍රියාත්මක වන්නට ඇත. ජේවීපීයට තමන්ගේ නිදහස් කරගත් ප්‍රදේශ නොතිබුණු නිසා වධකාගාර පවත්වාගෙන යෑමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණද ඔවුන් සමහර විරුද්ධවාදීන් මරන්නට පෙර උපරිම ලෙස වදහිංසාවට ලක් කළ අවස්ථා තිබුණි. මරා දමන ලද මිනිසුන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන විධි විධාන පනවන ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර ඒ මගින් මරණකරුවන්ගේ පවුලේ සාමාජිකයන් උපරිම මට්ටමෙන් නින්දාසහගත තත්ත්වයකට පත් කැරිණි. කොටි සංවිධානයටද තමන්ගේ පාලන බලයක් පවත්වාගෙන ගිය ප්‍රදේශ තිබීම නිසා ඔවුහුද වධකාගාර ක්‍රමයක් පවත්වාගෙන ගියහ. ඔවුන් පවත්වාගෙන ගිය වධකාගාර ගැන කිසියම් ප්‍රමාණයක හෙළිදරව්වක් රාජන් හූල් විසින් කර තිබෙන්නේ යැයි කිව හැකිය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී ආරක්ෂක හමුදා විසින් පවත්වාගෙන ගිය වධකාගාර පිළිබඳව ලියැවුණු සාහිත්‍යයක් අපට තිබෙන්නේය. අජිත් පැරකුම් ජයසිංහද ඒ ගැන පොතක් ලියා තිබෙන අතර මීට සති හතරකට පමණ ඉහතදී එම පොත දොරට වැඩීමේ උත්සවයේදී ලංකාවේ නූතන කැරලි අළලා කතාවක් පැවැත්වීමේ අවස්ථාවද මට ලැබුණි. අජිත් නවකතාවක ස්වරූපයෙන් ලියා ඇත්තේ මාතර එළියකන්ද මුදුනේ මරණයේ කූඩුව ලෙස නම් කරන ලද කේ (k) පොයින්ට් හෙවත් කිලිං පොයින්ට් වධාකාරයේ සිදුවූ දේවල් පිළිබඳවය. අජිත් එම බිහිසුණු වධකාගාරයේ ජීවත් වී ඇති කාලය අවුරුද්දකුත් මාසයකි.

එම වධකාගාරයේ ස්වභාවය තේරුම් ගැනීමට එම පොතෙන් උපුටා ගත් එක උපුටා ගැනීමක් මෙසේය.

“එළියකන්දේදී මිනිසුන් මැරීම සඳහා වෙඩි උණ්ඩ පාවිච්චි කරන සම්ප්‍රදායක් නොතිබුණි. මරන්නට වුවමනා මිනිසාට පහර දී මරා දමන්නට එහි ගැටසහිත මුගුරු තිබුණි. ගිල්වා මරන්නට පුළුවන් වතුර ටැංකි තිබුණද ඒවා පුරවා තිබුණේ අමාරුවෙන් කඳු මුදුනට බවුසර්වලින් ගෙන එන වතුරෙන් හෙයින් ඉඳහිට යමෙකුට වද දීමට පමණක් ඒවා භාවිත කෙරිණි. වධයට පමුණුවන ලද මරණාසන්න මිනිසුන් නිවස පසුපස අතහැර දමන ලද කිළිටි කුස්සියක එලොව දුටහ. ඇතැම් රාත්‍රීවල සිරකරුවන් බත් කා, අත සෝදාගෙන, මුත්‍රා කිරීමට ගබඩා කාමරය පසුපසට ගියේ අඳුරේ බිම බාවා තිබුණු මළ සිරුරු උඩින් පනිමිනි. මාතර කොටුවේ ගැමුණු කඳවුරෙන් එළියකන්දට බත් කල්දේරම් හා හොදි බාස්කට් රැගෙන ආ පරිප්පු කහපාට විය. ශ්‍රී ඉසුසු ඩබල් කැබ්රියේ පිටුපස පටවා ඒ මළමිනී බැහැර කිරීම පිණිස රෑ මැදියමේ ගෙන යන ලදි. මරණය ඉතා සරල හා සිල්ලර දෙයක් විය. එය බීමත් සැන්දෑවක විනෝද ක්‍රියාවක් වූ දවස් ද තිබිණි.”

අජිත් සිය අත්දැකීම් ආශ්‍රයෙන් ලියා තිබෙන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී සිංහල ප්‍රදේශයක පවත්වාගෙන ගිය එක වධකාගාරයක් ගැන පමණය. ඒ කාලයේ එවැනි වධකාගාර සිංහල ප්‍රදේශවල හැම දිස්ත්‍රික්කයකටම එකක්වත් තිබුණි. අජිත්ගේ මේ පොත ආශ්‍රයෙන් ඒ කාලයේ පැවති වධකාගාරවල පවත්වාගෙන ගිය ම්ලේච්ඡ ගණයෙහිලා සැලකිය හැකි වධක ක්‍රම ගැන මනා අවබෝධයක් ඇති කරගත හැකිය.

එළියකන්ද වධකාගාරයේ එය පවත්වාගෙන ගොස් තිබෙන අවුරුදු දෙකකට වැඩි කාලය තුළ කුරිරු වධහිංසාවන්ට ලක් කළ පුද්ගලයන් සංඛ්‍යාව 500ක් ලෙසත් වදහිංසා නිසා මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව 200ක් ලෙසත් වද හිංසාවන්ට ලක්වී මරණයට පත් නොවී නැවත සමාජයට එකතුවන්නට ඇති අයගේ සංඛ්‍යාව 300ක් ලෙසත් සැලකුවහොත් ලංකාව පුරා පවත්වාගෙන ගිය වධකාගාරවලදී වදහිංසාවන්ට ලක්වී මරණයට පත්වූ අය ගැනත් වදහිංසාවන්ට ලක්වී නොමැති ජීවත් වන අයගේ සංඛ්‍යාව පිළිබඳවත් දළ අදහසක් ඇති කරගත හැකිය. එවැනි වධකාගාර 20ක් රටේ තිබුණේ නම් එම වධකාගාරවල වධහිංසා නිසා මරණයට පත්වූ අයගේ සංඛ්‍යාව 4000ක් ලෙසත් දරුණු වධහිංසාවන්ට ලක්වී නොමැරී සමාජයට එකතුවූවන්ගේ සංඛ්‍යාව 6000ක් ලෙසත් සැලකිය හැකිය. සමහර පොලිස් ස්ථානවල සිදුවූ දේවලට අදාළ අයගේ සංඛ්‍යාව එම ගණන් හිලව්වලට ඇතුළත්වන්නේ නැත.

එසේ එවැනි වධකාගාරවල දරුණු වදහිංසාවන්ට ලක්වී ජීවතුන් අතර සිටින දහස් ගණනකට තමන්ට මුහුණ දෙන්නට සිදුවූ බිහිසුණු අත්දැකීම් මැරෙන තෙක්ම අමතක කළ හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. එසේම එම බිහිසුණු අත්දැකීම් ඔවුන්ගේ ජීවිත කෙරෙහිත් දරුණු බලපෑමක් ඇති කරන්නට ඇති බවටද සැකයක් නැත. දියුණු පුද්ගලයකු ලෙස සැලකිය හැකි අජිත් පැරකුම් ජයසිංහ පවා එම බිහිසුණු අත්දැකීම්වලට මුහුණදී අවුරුදු 25කට පසුව එම අත්දැකීම් අළලා නවකතාවක ස්වරූපයෙන් පොතක් ලියන්නට ඇත්තේ තම හදවතේ හොල්මන් කරන එම බිහිසුණු මතකයන්ගෙන් නිදහස්වීමට අවශ්‍ය වූ නිසා විය හැකිය.

ජේවීපී කැරැල්ල කාලයේ ගැටුම තිබුණේ සිංහලම කණ්ඩායම් දෙකක් අතරය. ජේවීපී තරුණයන් සිංහල තරුණයන් වන විට ජේවීපීයට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදාවෝද සිංහල වූහ. එහෙත් එල්ටීටීඊයට එරෙහිව කෙරෙන සටන සිදුවූයේ එකම වර්ගයකට අයත් කණ්ඩායම් දෙකක් අතර නොව, වර්ග දෙකක ජන කණ්ඩායම් දෙකක් අතරය. එල්ටීටීඊ හමුදා දෙමළ වන විට ඔවුන්ට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා සිංහල විය. දෙමළ කැරැල්ල පැවති කාලයේදී ආරක්ෂක හමුදාවන්ට, එල්ටීටීඊයට වධකාගාර ක්‍රමයක් තිබුණේ නම් ඒවාහි ස්වභාවය කෙසේ වෙන්නට ඇද්දැයි තේරුම් ගැනීම අමාරු නැත.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී ආරක්ෂක හමුදා පවත්වාගෙන ගොස් ඇති වධකාගාර ගැන ලියැවී තිබෙන සාහිත්‍ය අනුව පෙනීයන්නේ ලංකාවේ පවත්වාගෙන ගොස් ඇති වධකාගාර ක්‍රමය හිට්ලර්ගේ කාලයේදී යුදෙව්වන්ට එරෙහිව පවත්වාගෙන ගිය වධකාගාර ක්‍රමයටත් වඩා නීච හා තුච්ඡ තත්ත්වයක පැවති බවය. ලංකාවේ වධකාගාර ක්‍රමය තුළ ජර්මනියේ තරම් විශාල සංඛ්‍යාවක් මරා දමා නැතත්, මිනිසුන් වධහිංසාවනට ලක් කිරීම සඳහා යොදාගෙන තිබෙන ක්‍රමවේදය හිට්ලර්ගේ වධකාගාරවල යොදාගෙන තිබෙන ක්‍රමවේදයන්ටත් වඩා කුරිරුය. හිට්ලර් ලක්ෂ ගණනක් යුදෙව්වන් ගෑස් උදුන්වලට යවා මරා දැම්මේය. අපේ රටේ වධකාගාරවල ඒ ආකාරයේ දැවැන්ත මනුෂ්‍ය සංහාරයක් සිදු නොවූවද මිනිසුන් වධහිංසාවන්ට ලක්කර තිබෙනුයේ උපරිම මට්ටමේ කෲරත්වයක් ක්‍රියාත්මක වන ආකාරයටය.

සිංහල දෙමළ කැරලි කාලයේදී දරුණු වධහිංසාවන්ට ලක්වී ජීවතුන් අතර සිටින සියලුදෙනා සැලකිය යුත්තේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ලෙසය. එසේම වධහිංසාවට ලක්වූ ඔවුන් පමණක් නොව ඔවුන් වධහිංසාවන්ට ලක් කළ පුද්ගලයන්ද ජීවතුන් අතර සිටී නම් ඔවුන්ද සැලකිය යුත්තේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ලෙසය.

දෙවැනි කැරැල්ල අවසාන කාලයේදී අත්අඩංගුවට ගන්නා ලද විජේවීර ඇතුළු සියලු නායකයන් මරා දමන ලදි. උතුරේ දේවල් සිදුවන්නට ඇත්තේද ඊට සමාන ආකාරයකටය.
දකුණේ ජේවීපී සිංහල කැරැල්ල සේ ම උතුරේ එල්ටීටීඊ දෙමළ කැරැල්ලද අවශ්‍යයෙන්ම පරාජය කළ යුතුව තිබුණු කැරලි දෙකක් ලෙස සැලකිය හැකිය. රටේ තිබුණු දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගත යුතු තරම් හොඳ දේශපාලන ක්‍රමයක් ලෙස සැලකීමට පුළුවන්කමක් නැතත්, ජේවීපීය හෝ එල්ටීටීඊය එම කැරලි ජයගත්තේ නම් ඔවුන් අතින් ඇතිවිය හැකිව තිබුණු ක්‍රමය තිබෙන ක්‍රමයටත් වඩා විනාශකාරී හා ජුගුප්සාජනක වන්නට ඉඩ තිබුණි.

ජේවීපීය හා එල්ටීටීඊය කරළියට ගෙනා මේ කැරලි දෙකම හෝ විප්ලව දෙකම සැලකිය හැක්කේ ඉහ වහා ගිය කෲරත්වයක් මුදාහළ කැරලි දෙකක් හෝ විප්ලව දෙකක් ලෙසය. විප්ලවය කුරිරු වනවිට ප්‍රතිවිප්ලවයද කුරිරු වන්නේය. අවසානයේ ඒවා කුරිරු බලවේග දෙකක් අතර කෙරෙන කුරිරු සටන් බවට පත්වූ අතර ප්‍රතිපක්ෂය අබිබවා ගිය කෲරත්වයක් මුදාහැරීමට ශක්තිය තිබූ පාර්ශ්වය අවසානයේ ජයගත්තේය. විප්ලව හා ප්‍රතිවිප්ලව වශයෙන් මේ පාර්ශ්ව දෙකම සමාජය මත මුදාහරින ලද කෲරත්වයේ පරිමාව ඉතා විශාලය. එය සමාජය බෙලහීන කොට රෝගී කළේය. විකෘති කළේය. ප්‍රචණ්ඩ ගැටුම් අවසන් වී වසර 10කට වැඩි කාලයක් ගතවී ඇතත් රෝගීවී විකෘති වී බෙලහීන වී තිබෙන සමාජය සුවපත් කිරීමට හේතුවන කිසිදු වැදගත් ප්‍රතිසංස්කරණ කාර්යභාරයක් සිදුකර නැත. එය ලංකාවේ කුණුවීම හා එකතැන පල්වීම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයකි.

ප්‍රචණ්ඩ ගැටුම්වලින් තුවාල ලැබූ ඒ තුවාල තවමත් මුළුමනින් සුවවී නැති අයගේ සංඛ්‍යාව ඉතා විශාලය. එය එක පැත්තකට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොව හැම පැත්තකටම අදාළ පොදු ප්‍රශ්නයකි.