රාවය

නීරෝගම සහ තෙන්නක්කුරියාවේ ඉඩම් කොල්ලය

නීරෝගම සහ තෙන්නක්කුරියාවේ ඉඩම් කොල්ලය

(ඡායාරූපයේ දැක්වෙන්නේ “නීරෝගම රණවිරු ගම්මානයේ” දර්ශනයකි. එහි දකුණු පසින් ඇති කුඩා නිවස “නීරෝ” නම් යුධ සෙබලාගේ මවට ඉදිකළ නිවස වන අතර වම් පසින් ඇත්තේ ඉදිවන තවත් නිවාස කිහිපයකි.)

පුත්තලම ප්‍රදේශයේ වියළී ගිය කර්කෂ භූමිය මතින් හමන වියළි සුළඟ කියන්නේ මේ පොළොවේ පයගසා ජීවත්වීමේ අසීරුවයි. පායන හිරු ඔවුන්ගේ බිමේ තෙතමනය උරාගෙන ඇතිවා සේය. ඉමක් නොපෙනෙන හරිත පැහැය. හැලූ ඉපල් ගහණය මිනිසුන්ගේ ජීවිත හෙම්බත් කිරීමට වෙර දරනු දිසේ.

කොච්චිකට්ටුව
පුත්තලමෙන් හැරී හලාවත පාරේ සැතපුම් දොළහකට නුදුරේ කොච්චිකට්ටුව හමුවේ. එතැන් සිට මේ කතාවට අදාළ භූමියට තවත් හැතැප්ම දහයක් පහළොවක් යා යුතුය. භූමිය අක්කර වලින් අක්කර විසි හයකි. අප එහි යන විට ඒ භූමිය වටා විශාල ස්ථිර අලි වැටක් ඉදිකර තිබුණි. අලි වැටට මෙපිටින් නවත්වන ලද යතුරු පැදියකි. එළි පෙහෙළි කළ භූමියේ කාර්යයේ නියුතු ගොවීන් දෙදෙනෙකි.

“ඔය ඉඩම් ඉස්සර ගමේ මිනිස්සු වගාකරපු ඉඩම්, කජු පොල් දාල අපි ඉස්සර ඕවයෙ හිටියෙ” ඒ චමින්ද ගේ හඬය. ඔහු දැන් සිටින්නේ ඒ ඉඩමට මෙපිටින් පුංචි පැලක් අටවාගෙනය. මේ ඉඩම ගැන හොඳින්ම දන්නේ ද ඒ පිළිබඳව කතා කරන්නට වඩාත් සුදුසුම පුද්ගලයා ද චමින්ද වන බැවින් අපි චමින්දගේ පැලට ගොඩ වුණෙමු.
චමින්ද තවම තරුණය. ඔහු අලි වැට ගසා වට කළ ඉඩම දෙස බලාගෙන අපට කතාව කියන්නට පටන් ගත්තේය. “ඔය ඉඩමෙ මුලින්ම වගා කරකර හිටියෙ මමයි අපේ අයියයි, තව කිහිප දෙනෙකුයි. අපි වගා කරන අතරෙ මේ ඉඩමට අපට බලපත්‍ර ඉල්ලුවා. ඒත් අපට දුන්නේ නෑ. ඔහොම ඉන්නකොට දෙදාස් දෙකේදි මේ ඉඩම යුධ හමුදා කඳවුරක් සඳහා පවරගන්ඩ කටයුතු කරනවා. දෙදාස් තුනේදි විතර තමයි ඒකට මනින්ඩ එන්නේ. ඒ කාලෙ යුද්දෙත් තිබ්බ නිසා අපි විරුද්ධ වුණෙත් නෑ. කොහොම හරි පස්සෙ හමුදා කඳවුර හදන වැඬේ නවතිනවා. ඒ වුණාට අපට ආයෙ ඉඩම දුන්නෙත් නෑ.”

“ඔහොම ඉන්නකොට දෙදාස් දාසයේදී ගමේ මිනිස්සුන්ට මේ ඉඩමෙ නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන්ඩ සූදානම් වෙනවා. අඩු ආදායම්ලාභී නිවාස අහිමි පිරිස්වලට අයදුම් කරන්ඩ කියනවා.” ඒ මෙන්ඩිස්ය. ඔහු ඉඩම් නොමැතිව අසාධාරණයකට ලක් වූවකු හෝ නිවෙස් අහිමි අයකු නොවේ. ඔහු අසාධාරණයට ලක්වී සිටින මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. මෙන්ඩිස් මේ කතාවේ අගමුල අල්ලා ගැනීමට හොඳ පොටකි. නිවාස අයදුම් කිරීමේදී සිදුවූ වංචාව ඔහු පැහැදිලි කරන්නේ මෙසේය. “මුලින් පිරිසක් අයදුම් කළාට පස්සේ අන්තිමට ඉඩම් ලබාදීමට තෝරා ගැනුණු පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අයදුම් නොකරපු පුද්ගලයන්ගේ නම් ටිකක් තිබ්බා. මම ඒකට විරෝධතාව දැක්වූවා.”
ඔහු පවසන කාරණාව හෙළිවන්නේ කොට්ටුකච්චිය ඉඩම් ඉල්ලුම්කරුවන්ගේ හා අවසානයේ ඉඩම් ලබාදීමට අනුමත වූ නම් ලැයිස්තු දෙක හොඳින් අධ්‍යයනය කිරීමේදීය. එහිදී ඉඩම් ලබා ගැනීම සඳහා ග්‍රාම සේවක විසින් ඉදිරිපත් කරන පිරිස එකසිය තිස් හතර දෙනෙකි. ඉන්පසුව ඉඩම් ලබාදීම සඳහා දෙදාස් දහසයේ අප්‍රේල් මස හත්වන දින ඉදිරිපත් කරන නාමලේඛනයේ සඳහන් වන පිරිස එකසිය හතළිස් හත් දෙනෙකි.

විශේෂත්වය වන්නේ මෙන්ඩිස් පවසන ආකාරයටම මෙහි මුල් ලැයිස්තුවේ ඉල්ලුම් නොකළ පුද්ගල නාම දහතුනක් සඳහන් වීමයි. ඔවුන් සියලුදෙනාගේම ලිපිනයන් එකක් වන අතර ඒ ලිපිනය වන්නේ, “කොට්ටුකච්චිය, ආණමඩුව” යන්නයි. මෙසේ ලිපිනයන් යෙදීමම ගැටලුසහගතවන්නේ කොට්ටුකච්චිය සහ ආණමඩුව යන දෙතැනෙහිම තැපැල් ස්ථාන පිහිටා ඇති බැවිනි. කෙසේ හෝ ඔවුන් දහතුන් දෙනාගේ නම් මෙසේය.

1. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ ඉඳුනිල් ගුණතිලක. 2. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ ගුණතිලක. 3. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ දිනුල් ශාඛ්‍ය බංඩාර 4.ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ සංජුලී භාව්‍යා ගුණතිලක. 5. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ අරුණ ගුණතිලක. 6. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ ගවීන්ද්‍ර ගයෂාන් 7. මද්දුමගේ අමාලි සෙනවිරත්න නානායක්කාර 8. කුමාර කමල් නානායක්කාර 9. අධිමාලි කංකානම්ගේ දර්ශී තරංගනී. 10. බුලත්සිංහලගේ නික්ෂි ලලිෂාරා ගුණතිලක. 11. ඔවිනි නිමා නානායක්කාර. 12. ඬේවින් මිත්‍ර නානායක්කාර. 13. ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ රුවංගි ගුණතිලක.

”ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 649, කොට්ටුකච්චිය ග්‍රාම නිලධාරී වසමේ පිඹුරුපත් අංක 3208 දරන ඉඩමට අයථා ලෙස බලපත්‍ර ලබාදීම” යන විගණන විමසුමට අනුව මෙකී දහතුන් දෙනා වෙත ඉඩම් බෙදාදෙනු ලබන්නේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි 2016 ඔක්තෝබර් 31 වැනි දිනැති අ.ග.පි. 3208 දරන මිනුම මඟිනි.

එසේම එම විගණන විමසුමේ සඳහන් වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා පළාත් ඉඩම් කොමසාරිස් වෙත සාවද්‍ය තොරතුරු සපයා ඔහු නොමඟ හැර ඇති බවයි. එසේම පහත ඡේදය විගණන විමසුමෙන් උපුටා ගන්නා ලද්දකි. “ඉඩම් කච්චේරිය සඳහා ඉහත පුද්ගලයන් 13 දෙනාගෙන් ලබාගත් අයදුම් පත්‍ර වල එම පුද්ගලයන් කොට්ටුකච්චිය ග්‍රාම නිලධාරී වසමේ ස්ථිර පදිංචිකරුවන් වන බවත් ඔවුන්ට වෙනත් ඉඩම් නොමැති බවත් අංක 649 ග්‍රාම නිලධාරීවරයා සහතික කර තිබූ නමුත් ඔවුන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සනාථ කර තිබුණි. වැඩිදුරටත් කළ විමර්ශනවලදී හෙළිවූයේ අදාළ තැනැත්තන් තුන් දෙනකු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ 522 බී පිටකෝට්ටේ ග්‍රාම නිලධාරී වසමේ ද, තවත් 03 කු කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ 479 ඒ පහළවෙල ග්‍රාම නිලධාරී වසමේද පුද්ගලයන් 04 ක් හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ කිරුළපන ග්‍රාම නිලධාරී වසමේද, එක් තැනැත්තකු මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මැතිවරණ කොට්ඨාසයේ 152 උඩ ඊරියගමබටහිර ග්‍රාම නිලධාරී වසමේ ඡන්දහිමි නාමලේඛනයේ ප්‍රකාරව ස්ථීර පදිංචිකරුවන් වන බවය. එසේම අදාළ තැනැත්තන් 13 දෙනාගෙන් උක්ත පරිදි අනන්‍යතාව තහවුරු නොකර තිබූ තැනැත්තන් දෙදෙනාගේ ස්ථීර පදිංචිය හා ඡන්ද හිමි නාමලේඛනයේ පදිංචිය මැතිවරණ දෙපාර්තමේන්තුවෙන්ද සනාථ කරගැනීමට නොහැකි විය. එබැවින් ඔවුන් බාලවයස්කරුවන්ය යන සැකය බැහැර කළ නොහැකි විය.”

“මේ නම් තියන අය මේ ගමේ අය නොවන හින්දා, මම මේ නම් ලැයිස්තුවට විරෝධතාව දක්වලා ප්‍රාදේශීය ලේකම්ට ලියුමක් දෙනව. ඒ වුණාට ප්‍රාදේශීය ලේකම් මේ ගැන සලකන්නේ නැතුව ඒ ගොල්ලන්ට බලපත්‍ර නිකුත් කෙරුවා. ” මෙන්ඩිස් විටින් විට සිදුවූ දේ පවසයි.
කෙසේ හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ බලපත්‍ර දීම සිදු කරනු ලබන්නේ ලැයිස්තුවට අලුතින් එකතු කළ දහතුන් දෙනාට පමණි. ඒ බලපත්‍ර ලබාදෙන පිරිස ඇතුළත ගම්වාසීන් කිසිවකු සිටියේ නැත.

“ගමේ අයට ඉඩම් දෙනවා කියල අන්තිමට ගමේ එක්කෙනකුටවත් දුන්නේ නෑ. පිට අයට තමයි ඉඩම් ටික දුන්නේ.” එසේ ඌනපූර්ණයක් එකතු කළේ චමින්ද විසිනි.
ඊට පස්සේ මම මේ ගැන ජනාධිපතිට, අගමැතිට මේ හැමතැනකටම ලියනවා. ඒත් කිසිම උත්තරක් නොලැබෙන තැන මම මේ ගැන විගණකාධිපතිට ලියනවා. ඊට පස්සේ විගණකාධිපති මේ ගැන පරීක්ෂණයක් කරනවා. ඒකෙදි හෙළිවෙනවා මේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා අවුරුදු දහයක් තිස්සේ එකම තැන ඉඳල තියෙන්නේ කියලා. මම මේ ගැන හාරල අවුස්සන්ඩ ගත්තහම මට විවිධ තර්ජන ආවා, මගෙ ගෙදරට බෝම්බ දානව කියල පවා තර්ජන ආවා.

කෙසේ හෝ ඉහත සඳහන් විගණන විමසුමෙන් අනතුරුව මෙන්ඩිස් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් වෙතින් විමසනු ලබන්නේ අදාළ ඉඩමට ලබාදුන් බලපත්‍ර අවලංගු කළේ ද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙන සහකාර ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.පී.එස්.එස්. වික්‍රමසිංහ සඳහන් කරන්නේ එම බලපත්‍ර 13ම අවලංගු කළ බවයි. එසේම එම ගැටලුව චමින්දත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පළාත් ඉඩම් කොමසාරිස් වරයාගෙන් විමසන අතර එහිදී ද ලැබෙන පිළිතුර වන්නේ එම බලපත්‍ර දහතුන අවලංගු කර ඇති බවයි.

එහෙත් අප කළ සොයා බැලීමේදී අප දුටුවේ එම අදාළ ඉඩමේ පෞද්ගලික හිමිකරුවකු විසින් ගමේ පුද්ගලයකු යොදවා තවදුරටත් සංවර්ධන කාර්යන් කෙරෙමින් පවතින බවයි. මෙසේ මේ වන විට අදාළ ඉඩම බුක්ති විඳින්නේ බලපත්‍ර ලබාදුන් දහතුන්දෙනාගෙන් මුලින්ම නම සඳහන් වූ ඒකනායක රාජපක්ෂ මුදියන්සේලාගේ ඉඳුනිල් ගුණතිලක යන අය විසිනි.

අඩු ආදායම්ලාභීන් වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ ඉඩමක් කුමන ආකාරයකට එම ව්‍යාපෘතිය සඳහා අයදුම් හෝ නොකළ පුද්ගලයන් දහතුන් දෙනකුට බෙදා දුන්නාද යන්න ගැටලුවකි. ඔවුන් අඩු ආදායම්ලාභීන් හෝ නිවාස නොමැති අයවලුන්ද නොවන නිසා සාධාරණ සැකයක් මතුවන්නේ ග්‍රාමසේවක හා ප්‍රාදේශීය ලේකම් විසින් සිතා මතා වංචාවක් කිරීමේ අදහසින් යුක්තව මෙම දහතුන් දෙනා වෙත ඉඩම් බෙදා දෙන්නට ඇති බවයි. එසේම විගණන විමසුමට අනුව එහි පැහැදිලිවම සඳහන් වන පරිදි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වංචාවක් සිදු කර ඇත. එහෙත් ඔහුගේ වංචාව ඔහුට ලැබුණු දඬුවමක් ද නැත. හිමිවූ එකම දෙය නම් ස්ථාන මාරුවක් පමණි. එසේම එම ප්‍රාදේශීය ලේකම්වරයා මේ වන විට ආණමඩුවේ නොමැති අතර මේ වන විට ආණමඩුවේ සිටින ප්‍රාදේශීය ලේකම්වරියද තමාට පෙර සිටි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදුකරන ලද වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බවක් ද පෙනෙන්නට නැත. ඒ නිසාම බලපත්‍ර නොමැතිව පවා මේ වන විට උක්ත ඉඩම පෞද්ගලික පරිහරණකරුවකු විසින් පරිහරණය කරමින් පවතී.

නීරෝගම
ආණමඩුවේ රජයේ ඉඩම් කොල්ලය එතැනින් නවතින්නේ නැත. ඔබට මතක නම් යුධ සමයේ බැනර්වල ගසා නගරයක් නගරයක් පාසා ප්‍රදර්ශනය කළ ස්නයිෆරයක් අතින් ගත් සොල්දාදුවා නීරෝ, ඔහු යුද්ධයේදී මිය යන අතර ඔහුට ගෞරව පිණිස ‘නීරෝගම’ නමින් ආදර්ශ ගම්මානයක් නිවාස අධිකාරිය විසින් ඉදිකරනු ලබන්නේ ආණමඩුව ප්‍රදේශයේය.
ඉදිකර ඇති හා ඉදිකරමින් පවතින සුඛෝපභෝගී තට්ටු නිවාස විශාල ප්‍රමාණයක් අපි නීරෝගමට ඇතුළු වන විටම දුටුවෙමු. අප නීරෝගම සිදු කළ සංචාරයේදී දුටුවේ දෙමහල් නිවාස බොහෝ ගණනකින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. එය බැලූ බැල්මට ධනවතුන්ට ඉඩම් විකිණීමට ඉදිකරන නිවාස ව්‍යාපෘතියක් වැනිය. අඩු ආදායම්ලාභීන් ඉදිකරන නිවාස අප දුටුවේ දෙකකි. අනෙක්වා උසට තාප්ප ගසා වට කළ නවීන පන්නයේ සුඛෝපභෝගී නිවෙස්ය. මෙහිදී අපට වැටහුණු කාරණාව නම් නිවාස ව්‍යාපෘතියක මුවාවෙන් ධනවතුන්ට ඉඩම් විකිණීමේ කූට ජාවාරමක් මෙහි සිදුවී ඇති බවයි.

අප සංචාරයෙන් සොයාගත් තොරතුරු වලට අනුව එම ගම්මානයේ යුධ සෙබළකුගේ යැයි කිව හැකි එකම නිවස නීරෝගේ මවට සාදා දුන් එක් කුඩා නිවස පමණි. නීරෝගේ මවට සාදා දුන් නිවෙස තිබුණේ එම ගම්මානයේ කෙළවරකට වන්නටය. එම නිවාසය ගම්මානයේ අනෙක් නිවාසවලින් හුදෙකලා වී පැවතුණි. එහි කිසිවකු නොසිටි අතර ඉඩමද තිබුණේ වල්වැදීය. නීරෝගේ මව බොහෝ කාලයක පටන් එහි ජීවත් නොවන බව අපට කීවේ ගම්වැසියෙකි. අනෙක් කිසිදු නිවාසයක් යුධ සෙබළකුට හෝ අඩු ආදායම් ලාභියකුට හිමි නැත. එසේම අනෙක් විශේෂත්වය නම් මේ අතුරින් වැඩි පිරිසකට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සමග සමීප ළැදියාවක් තිබීමයි.

ඒ නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්ගේ නම් ලැයිස්තුව හා ඔවුන් කවුරුන්ද යන වග මෙසේය. මේ නම් ලැයිස්තුව නිවාස අධිකාරිය විසින් වීරෝධාර රණවිරු ‘නීරෝගම’ ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කරන ලද නම් ලැයිස්තුවයි.

1. කේ.කේ.ඩබ්.ඩබ්. නිමල් චන්ද්‍රසේන – දර්ශනගම ආණමඩුව. (රජයේ නිලධාරියෙකි, 1988 ගම් උදාව යටතේ දර්ශනගමින් නිවෙස්ලාභියෙකි.)

2. ආර්. ඒ. රුවන්ජලා උදයංගනී රණසිංහ – නව ගම්මානය තෝනිගල ආණමඩුව. (මැයගේ නම යටතේ ගන්නා ලද ඉඩම පාලිත රංගේ බංඩාරගේ පුත්‍රයා විසින් ලබාගෙන ඇත.)

3. ඒ. චලනි දිල්හාරා – දෙවට පාර, බෝගහ යාය, ආණමඩුව (රන්දික නමින් රංගේ බංඩාර ළඟ වැඩකරන අයගේ සහෝදරිය.)

4. එස්. ඒ. චමින්ද – වීරපුර, යාය 07, සාලිය වැව හන්දිය, කරුවලගස්වැව. (රංගේ බණ්ඩාරගේ රියදුරුවරයෙක් ලෙස කටයුතු කරයි )

5. ඒ. ඉන්ද්‍රචාපා වනිගසිංහ – තට්ටෑව පාර, ආණමඩුව. (රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්ගේ ලොකු දුව )

6. ආර්. බී. පියුමි ගීතිකා – ඉසුරු වෙළෙඳසැල, පරමාකන්දගම. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ ආගමික කටයුතු ලේකම්ගේ බිරිඳ.)

7. ඉ. එම්. ඒ. නයනා එදිරිසිංහ – නො. 02 , උස්වැව පාර, ආණමඩුව. (රජයේ පාසලක සේවය කරනා ගුරුවරියකි.)

8. එස්. එච්. ඒ. ප්‍රසන්න සාලිය විජේසිංහ – අංක 18, හලාවත පාර, ආණමඩුව. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙක්)

9.ටී. අනෝමා කුමාරි – හලාවත පාර, ආණමඩුව. (අසේල ප්‍රේමලාල්ගේ නැගනිය. අසේල ප්‍රේමලාල් යනු රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් වරයෙකි. එසේම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාය.)

10. ඩී. එම්. දනුෂ්ක උදය කුමාර – කොතලකෙමියාව ආණමඩුව. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ හිටපු ලේකම්වරයෙකි. මෙහිදී මොහුගෙන් ලක්ෂ දෙකක මුදලක් ඉඩම සඳහා ලබාගෙන ඇත.)

11. නදීකා කුමුදු කුමාරි (අසේලගෙ ප්‍රේමලාල්ගේ අයියගෙ නෑනා

12. ඒ. ජී. ශිවන්තිකා දිල්හානි. – ප්‍රාදේශීය සභාව ඉදිරිපිට, හලාවත පාර, ආණමඩුව. (නිවාස හිමිකාරිනියකි.)

13. ජී. ජී ලෙරෝයි සුමේද ප්‍රසන්න – හලාවත පාර ආණමඩුව. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ හිටපු ලේකම්වරයෙකි.)

14. පී. එන්. රණසිංහ – නවගත්තේගම පාර, ආණමඩුව (රුවන්ජලා උදයන්ගනී රණසිංහ නම් ඉහත නම් සඳහන් අයගේ පියා. විදුහල්පතිවරයෙක්.)

15.එස්. ඩබ්. ඬේසි ශ්‍රිරානි – කොට්ටුකචිචිය, කච්චිමඩුව. (කොට්ටුකච්චියේ නිවාස අධිකාරිය විසින් දෙන ලද ඉඩමක් ඇත )

16. එන්. එම්. චමින්ද වන්නිනායක – තල්ගස් වැව, ආණමඩුව (ව්‍යාපාරිකයෙකි. ලොරි රථ 7ක හිමිකරුවෙකි. තල්ගස් වැව නිවෙසක් ඇත. මීට අමතර මෙම ස්ථානයේ වෙනත් ඉඩම් දෙකක් මිලදී ගෙන ඇත.)

17. ආර්. බී. ප්‍රේමසිරි බණ්ඩාර – 3 වන පටුමග, බෝධිරාජපුර, පුත්තලම. (විමලරත්න බණ්ඩාරගේ පුතා. විමලරත්න බණ්ඩාර යනු අමාත්‍ය රංගේ බණ්ඩාරගේ වැඩිමහල් සහෝදරයාය.)

18. ඩබ්ලිව්. ඒ. වසන්ත කුමාර – නව ගම්මානය, තෝනිගල ආණමඩුව. (බොරු නමකි.)

19. ජේ. ඒ. ඩී. අමිල චතුරංග කරුණාරත්න – නො, 88 හලාවත පාර, ආණමඩුව. (ලේකම් අසේල ප්‍රේමලාල්ගේ වැඩිමහල් සහෝදරයා.)

20. එච්. ඒ. අනිල් ප්‍රියසාන්ත – පොරමාකුත්තුව ආණමඩුව. (බොරු නමකි, ලේකම් අසේල විසින් පරිහරණය කරනු ලබයි.)

21. ඉ. එම්. තනූජා කුමාරි ඒකනායක. – මුරුක්කුවට්ටන, කරුවලගස්වැව. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ සහෝදරියගේ දුව)

22. පී. ඩී. නිශාන්ත ප්‍රේමලාල් – නො. 23, සමඟි උදාව ආණමඩුව. (රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ ප්‍රචාරක ලේකම්. වාරියපොළ හා සමගිගම නිවාස ඇත. ආණමඩුව ජලසම්පත් මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ.)

23. එච්. එම් ටිකිරි චමින්ද බණ්ඩාර – සතුට, තලාකොළ වැව, ආණමඩුව. (රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ හිටපු ලේකම්)

මේ වන විට මෙහි ඉඩම් හතක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් දැනට විකුණා ඇත. ඒ නිසා ඉහත නම් සඳහන් බොහෝ දෙනකු නීරෝගමින් සොයාගත හැක්කේ නොවේ. එහෙත් නිවාස අධිකාරිය ඉඩම් ලබාදෙන්නේ ඉහත නම් ලැයිස්තුවටය.

තෙන්නක්කුරියාව
තෙන්නක්කුරියාව යනු රංගේ බණ්ඩාරගේ තවත් ඥාති සංග්‍රහයකි. නීරෝගමේ කාබන් කොපිය වන්නේ තෙන්නක් කුරියාවයි. තෙන්නක්කුරියාව යනු නීරෝගම හා සැසැඳීමේදී වඩා වැඩි වාණිජමය වටිනාකමක් ඇති ප්‍රදේශයකි. එය එසේ වන්නේ නීරෝගම ආණමඩුව නගරයෙන් තරමක් දුරට වන්නට පිහිටා තිබීමත්, තෙන්නක්කුරියාව ආණමඩුව නගරයට තමක් ආසන්නයට වන්නට පිහිටා තිබීමත්, තෙන්නක්කුරියාවේ අදාළ ඉඩම අසල තෙන්නක්කුරියාව වැව පිහිටා තිබීමත්ය. අප තෙන්නක්කුරියාව යනු නීරෝගමේ කාබන් කොපියයැයි පැවසුවේ, නීරෝගමට වූ දෙයම තෙන්නක්කුරියාවටද සිදුවන්නට යන බැවිනි. තෙන්නක්කුරියාවේ යෝජිත ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතියේ ඉඩම් හිමියන්ගේ නාමලේඛනය බැලූවිට එය පැහැදිලි වේ. එහි සඳහන් නම් එකසිය තිස් හතර තුළින් විසි දෙකක් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ඥාතීන්ය.

අප තෙන්නකුරියාගේ අදාළ ඉඩම් ව්‍යාපෘතිය සහිත ඉඩමට ගමන් කරන විටත් එය සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර පැවතුණි. අදාළ ඉඩමෙන් ඔබ්බටද ගොස් ඒ එළිපෙහෙළි කිරීම් ඉඩමේ මායිමක ඇති වැව් කණ්ඩිය තෙක් ද පැතිරී තිබුණි. වැව් කණ්ඩියේ තිබූ විශාල වෘක්ෂයෝ ඒ වනවිටත් බිම හෙලා අවසන්ය. බැලූ බැල්මට විශාල ජෛව විවිධත්වයක් තිබූ පරිසරයක් යැයි කිවහැකි එය දැන් එහි හරිත පැහැයක් නැත. සම්පූර්ණයෙන්ම එය වියළි පැහැතිය. ගිනි තැබූ කොටන් අලුවී ඒ අළු සෑම තැනම විසිරී ඇත.

තෙන්නක්කුරියාව ඉඩම්ලාභීන්ගේ නාමලේඛනයේ ඇති නම් අතුරින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ඥාතීන් මෙසේය.

1. ඩබ්.ආර්.ඒ. කුමාරි වර්ණකුලසූරිය. 199, කනත්ත හන්දිය, අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ අක්කාගේ දුව)

2. ඩබ්. ආර්. මාධව තිලන්ක වර්ණකුලසූරිය, 199 කනත්ත හන්දිය, අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ අක්කාගේ පුතා)

3. එස්. එම්. සෙනවිරත්න බණ්ඩාර, අංක 25, ආනන්ද මාවත පුත්තලම (අමාත්‍යවරයාගේ මස්සිනා)

4. ශ්‍රීමති පුෂ්පලතා රංගේ බණ්ඩාර, අංක 99, කනත්ත හන්දිය , අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ අක්කා)

5. එස්. පී. රම්‍යා තනූජා ගුණතිලක. උප්පලවත්ත, ආණමඩුව (අමාත්‍යවරයාගේ මාමණ්ඩියගේ දුව)

6. එච්. එම්. ධනසිරි හේරත්, උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ ඥාති)

7. එස්. පී. සමුද්‍රා සුදර්ශනී ගුණතිලක, උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ ඥාති)

8. මෙලානි තිලකරත්න, 8 කණුව අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ ඥාති)

9. ආර්. බී. යශෝධ නෙතජය, මුරුක්කුවටවන, කරුවලගස්වැව. (අමාත්‍යවරයාගේ පුතා)

10. එස්. පී. මහින්ද ලක්ෂ්මන් ගුණතිලක, උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ මස්සිනා)

11. ඩබ්. ලියෝන් ප්‍රනාන්දු, සංඝට්ටිකුලම, ආණමඩුව. (අමාත්‍යවරයාගේ මස්සිනා)

12. ආර්. බී. මල්ලිකා කුමාරි රත්නායක, හල්මිල්ලකොටුව. (අමාත්‍යවරයාගේ සහෝදරියක්)

13. ඩබ්. ජොන්සන් වසන්ත සංඝට්ටිකුලම, ආණමඩුව. (අමාත්‍යවරයාගේ මස්සිනා)

14. ආර්. එම්. සී. රත්නායක, 2 කණුව, අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ ඥාති)

15. ආර්. සුපුනි සෙව්වන්දි වීරකෝන් උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ ඥාති)

16. ඒ. එච්. එම්. ප්‍රියංකා අබේරත්න, කරඹෑව, මහඋස්වැව. (අමාත්‍යවරයාගේ ඥාති)

17. ආර්. ඩී. එස්. ස්වර්ණාකුමාරි, 2 කණුව, අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ ඥාති)

18. ප්‍රදීප් එදිරිසිංහ, 2 කණුව අනුරාධපුර පාර, පුත්තලම. (අමාත්‍යවරයාගේ ඥාති)

19. ආර්.ඒ.එච්.එම්.සී.බී.ආර්. නවගත්තේගම, නවගත්තේගම. (අමාත්‍යවරයාගේ අක්කගේ දුවගේ සැමියාගේ සහෝදරයෙක්)

20. ආර්. ඩී. කුසුමාවතී, උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ ඥාති)

21. ආර්. පී. යසරත්න, උප්පලවත්ත, ආණමඩුව. (අමාත්‍යවරයාගේ ඥාති)

22. ආර්. ශානිකා සෙව්වන්දි, උප්පලවත්ත. (අමාත්‍යවරයාගේ ඥාති)

විලිලැජ්ජා නැතුව රංගේබණ්ඩාරලා මෙසේ වංචා කරන්නේ ලක්ෂ හැට දෙකක ජනතා පරමාධිපත්‍ය බව ඔවුන් සිහියේ තබාගත යුතුය. හැට දෙලක්ෂයක ජනතාවට කොකා පෙන්වමින් රංගෙලා මේ වංචා කිරීමට මාන බලන්නේද වංචා කර ඇත්තේද රටේ කෝටිපතියන්ගේ ඉඩකඩම් නොව එදා වේල ගැටගහගෙන හිසට සෙවණක් හොයන මිනිසුන්ගේ අනාගත බලාපොරොත්තුය.

රාජපක්ෂවරුන් පවුල් පිටින් රජයේ දේපළ කොල්ල කෑවායි කියමින් බලයට පැමිණි යහපාලන රජයද මේ වන විට මහජන දේපළ පවුල් පිටින් කොල්ලකමින් සිටී. රංගේ බණ්ඩාරලා මේ ඔප්පු කරමින් සිටින්නේ එයයි. හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරකම් කරමින් සිටින්නේ නම් තවදුරටත් රටේ ජනතාවට යහපාලනය කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකිය.

ආණමඩුවෙ හැමතැනම ඉන්නෙ මගේ ඥාතීන්
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේ බණ්ඩාර
ආණමඩුව ප්‍රදේශයේ රජයේ ඉඩම් ඔබේ ඥාතීන්ට බෙදාදීමක් පිළිබඳව චෝදනාවක් එල්ල වෙනවා?

මගේ ඥාතීන් තමයි ආණමඩුවෙ හැමතැනම ඉන්නෙ. හැබැයි මගේ කිසිම ඥාතියකුට නිවාස අධිකාරියේ ඉඩම් දීල නෑ. තෙන්නක්කුරියාවෙ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියෙන් දැන් මිලට අරගෙන තියෙන්නෙ. ඒ ඉඩම් ඕනෙ කෙනකුට ගන්ඩ පුළුවන්.

ඔබතුමාගෙ පුතාටත් මෙතන ඉඩමක් තියනවා?
මගෙ පුතාට මේ ලංකාවෙ බිම් අඟලක්වත් නෑ. එයා මධ්‍යම පාන්තිකයෙක්. නිවාස අධිකාරියෙන් ඉඩම් දෙන්නෙ ඉඩම් නැති අයටනේ, ඉතින් මගේ පුතාටත් එහෙම සුදුසුකම් තියනවා.

ඔබේ කාර්ය මණ්ඩලයත් මේ පිරිස අතර ඉන්නව?
මගේ කාර්ය මණ්ඩලය මේ ආණමඩුවෙම මිනිස්සු. එයාල රස්සා ඉල්ලගෙන මම ගාවට එද්දි මම මගෙ ළඟ තියන රස්සා ඒගොල්ලන්ට දෙන්නේ. ඇයි ඒ මිනිස්සුන්ට ගෙවල් හදාගන්ඩ හොඳ නැද්ද ඒ මිනිස්සු ගස් යටද ඉන්ඩ ඕනෙ.

ආනමඩුව ප්‍රාදේශීය ලේකම් පී. ඩබ්ලිව්. එන්. එන්. බණ්ඩාර
කොට්ටුකච්චිය ඉඩමේ වගා කටයුතු කරන්ඩ කාටහරි බලපත්‍රයක් දීල තියනවද?
මට මාධ්‍යයට ඒ ගැන කියන්ඩ බෑ.

ඉන්පසු ඇය දුරකතනය විසන්ධි කළාය.