රාවය

කහටක් නැති ලැයිම් ජීවිතේ කහට පැත්ත

කහටක් නැති ලැයිම් ජීවිතේ කහට පැත්ත

ටිරන් කුමාර බංගගමආරච්චි /නිමල් අබේසිංහ

ජීවිතේ කර්කෂ වෙච්ච තරමට හිතේ කහට ගැන හිතන්න වෙලාවක් නැහැ. ඇඟිලි තුඩුවල කහට තිබුණට මේ මිනිස්සුන්ගේ හිතේ කහටක් නැහැ. සැවොම බන්ධනයකින් බැඳ දැමුවා වගේ කරන්නේ එකම කාරිය. මේ රාජකාරිය හරියට දේවකාරිය වගේ. දල්ල නොකඩා ඇරියොත් මහා පත ගස්වන ‘තේ’ නෙළන දල්ල නිසාම නොවැඩි එක ගාණටම එක හැඩට එක රටාවට තියෙනවා. මේ ජීවිතත් හරියට ඒ වගේ කිසිම වැඩීමක් නෑ. එක විදිහටම පවතිනවා. එකම රටාවකට දුකම වලඳනවා.

ලංකාව තුළ ලෝකයේ හොඳම තේ නිපදවන්නේ මේ මිනිසුන්ගේ ශ්‍රමය, කඳුළු, දහඩිය මතින්. ඒ විදිහට තමයි ඒ නාමය උපදින්නේ. සුමිහිරි පානයක් වන අමෘතයක් බඳු තේ උගුරක් උගුරෙන් පහළට ගලාගෙන යනකොට මේ කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මේ ගැහැනු මිනිස්සු භේදයකින් තොරව බියර්, අරක්කු, නැතිනම් කසිප්පු කුසට හලා ගන්න කොට ඒ අයටත් ඒ අය ගැන වගේ වගක් නැහැ. ජීවිතය ඒකාකාරීයි. ඊට එහා හැඩක් නැහැ. ඒ ගැන මේ අයට වගක් නැහැ.

කාෂ්ඨක අව්ව එක විදිහටම දවනවා. ඒත් ඒක නොදැනෙන්න හුළඟත් එක්ක හිතල ඇඟට රිංගනවා. මේ පැත්තේ කාලගුණය එහෙමයි. දවන්නේ පවා නොදැනෙන්න. අපි කරක් ගැහැව්වේ හැටන්වල, මස්කෙළියේ, ඩයගම, තව නම් නම් ගොඩක් තිබුණා. බලන හැමතැනම තියෙන්නේ ‘තේ’ යාය. දකින හැම ඇඟිලි තුඩක්ම නෙළන්නේ ‘තේ’ දලු. හරි පරිස්සමට හීනියට ඒ වැඬේ කෙරෙනවා. මොකද දල්ලට විතරක් නෙමෙයි, ගහටත් හානියක් වෙන්න බැහැ. ඒක නීතියක්. නීතිය කෙසේ වෙතත් මේ කාලවර්ණ මිනිස් ඇඟිලි තුඩු දල්ලත්, ගහත් බේරලා පරිස්සමට දල්ල නෙළනවා. අවුරුදු සිය ගණනක් තිස්සේ නැති වුණේ ඒ අයගේ පරම්පරා ගණනාවක ජීවිත පරිස්සම විතරයි.

අපි ගියේ මේ ආණ්ඩුව බෙදන ගෙවල් බලන්න. ඒවා ඉදිකිරීමට තෝරාගෙන තිබුණ තැන් හරිම සුන්දරයි. කඳු මුදුන්වල තේ යායෙන් වටවෙලා ඈතින් කඳු වළල්ල ගලා යන ගංගා අතු ඇස්වලට සිතුවම් මවනවා. මේ අය පරිසරය විඳිනවාද නැද්ද වැඩක් නැහැ. නව නිවාස ඉදිකිරීම සුන්දරම තැන්වල සිදුවෙනවා. ඒත් ඒ තැන් දුෂ්කර ගමනාන්තයක් ඇත්ත එයයි. අබලන් පාරවල් කොන්ක්‍රීට් ඉල්ලලා කෑගහනවා. ඉන්දියානු රජයත් ශ්‍රී ලංකා රජයත් එකතු වී හදන නිවාස අපේ රජය තනියම ඉදිකරන නිවාසවලට වඩා පෙනුමයි. හුරු බුහුටියි. වර්ග අඩි පන්සිය ගාණක්. අවංකවම ඒ ගෙවල් සුන්දර දසුනක්. පර්චස් හතක් ලොකු ඉඩක්.

“අපිට හොඳට වැසිකිළියක් එහෙම තියෙනවා.” ඩයගම වැසියෙක් වැසිකිළියේ දොර ඇර අපට පෙන්වීම තුළ මොනතරම් දේ සිතිය හැකිද? වැසිකිළිය උඩ වතුර ටැංකිය අනිවාර්යය අංගයක්. සැබැවින්ම සාලය, කාමර දෙක, කුස්සිය, වැසිකිළිය, එය කොටු කෙරුණු පර්චස් හත මේ අයට ලොකු ජයග්‍රහණයක්. සැබැවින්ම අලුත් ආරම්භයක්. අලුත් ජීවිතයට දොරගුළු ඇරීමක්. ආණ්ඩුවේ ඉලක්කය මෙවැනි නිවාස ලක්ෂ 5ක්. ඒත් තවමත් නිවාස පන්දහක් සම්පූර්ණ කිරීම අපහසු වෙලා. මීට පෙර ආණ්ඩු කාලෙත් තොණ්ඩමන් අමාත්‍යවරයාත් මෙවැනි ගෙවල් ලබාදීලා තියෙනවා. ඒත් අතළොස්සයි. දැන් ඊට ටිකක් වැඩියි. ඒත් ඉලක්කය තව බොහෝ දුරයි. ලැයිම් ගෙවල්වලට සමුදීම තව ඈතයි.
දැනට නව නිවාස ලැබූ අය ස්වභාව දහමින් ඒ තැනට තල්ලු කළ අය. නායගිය, නායයෑමට නියමිත ලැයිම් ගෙවල් ඉවත් කොට ඒතැන්හි හිටි අය මේ විදිහට පදිංචි කරලා ඇත්ත ඒකයි. අහම්බෙන් සිදුවූ විපර්යාසය තුළින් වුව ලබන සතුට අපමණයි.

“අපිට ගෙවල් ලැබිලා අවුරුද්දයි. දැන් තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ අපි භූමිතෙල් ලාම්පුවෙ එළියෙන් හිටියේ. දැන් ලයිට්, වතුර තියෙනවා. අඩුපාඩු කියන්න දෙයක් නැහැ. මොකද හිටිය තරම දන්නෙ අපි. දැන් ඒ අතින් අපි ලොකු මිනිස්සු වෙලා. අපේ ලැයිම් ගෙවල් නාය ගියා. ඒ නිසා අපිට මේ ගෙවල් ලැබුණා. අපි කියන්නේ හැමෝටම මේ ගෙවල් දෙන්න. අපේ මිනිස්සු ගොඩාක් තවමත් ඉන්නේ ලැයිම් ගෙවල්වල ඒ අයටත් ගෙවල් දෙන්න. එතකොට තමයි අපිට සතුටු.” රවිචන්ද්‍රන් කහටක් නැතිව කිව්ව.

එක තැන අලුත් ගෙවල් 20-24 තියෙනවා. පර්චස් හතේ කෑලි. නිවාස සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන්. පදිංචි වෙලත් ඉවරයි. මේ හැම වහලයකම ඩයලොග් ටී.වී. සැටලයිට් එක හයිකොට ඇත. සෝපා කට්ටලයක්, පියෝ ටී.වී. එකක්, ලොකු සෙටප් එකක් නියත අංග වී ඇත. මේවා ලැයිම් ගෙවල් තුළත්, තිබෙන බව කිවයුත්තේ සෝපා හැරය. ටී.වී. එක සහ සෙටප් එක නියත අංග වී ඇතිවා සේ ම හවස්වරුව දෙමළ ගීවලින් කන් පුරවාලන්නේ දකුණු ඉන්දියාව සිහිකරමිනි.

ඉන්දීය සම්භවයක් ඇති නිසාම තවමත් මේ පැති ඉන්දියාවේ කොළනියක් වගේයි. ඒත් දැන් මේ මිනිස්සු අපේ රටේ මිනිස්සු ලාංකේය දේශපාලනය හොළවන කතිරයක් සහිත මිනිස්සු. ඒත් තවමත් දෙමළ දේශපාලකයන් මහා ඉහළින් වන්දනා මාන කරන මිනිස්සු. දෙමළ චිත්‍රපටවල මෙන්ම දෙමළ දේශපාලකයන්ගේ සපත්තුව වුව ලෙවකන මිනිස්සු. මේ පැත්තේ දිගම්බරන්ට ලොකු ප්‍රසාදයක් ඇත. කලක් මේ මනාපය තිබුණේ තොණ්ඩමන්ටය. අදටත් අවසාන මනාපය අරක්කු කාලටත් කේවල් වන වටපිටාවකි.

“අපි ලැයිමේ පවුල් දෙකක් හිටියා. ඔක්කෝම දහයයි. එහෙම බලපුවහම අද තමයි අපි හොඳට ජීවත් වෙන්නෙ. මේ ගේ ලැබුණහම අපට සතුට කියන්න බැරිවුණා. දැන් අපිට කියලා ගෙයක් තියෙනවා. අපිට ලැයිමේ ඉන්න එපා කිව්වා. වහිනකොට කඩාගෙන යයි කියලා. අපිට මේ ගෙවල් ලැබුණා. ඒත් තවමත් ලැයිම දාලා එන්නේ නැති අය ඉන්නවා. ඒ අය මේ වගේ ගෙවලුත් අරගෙන ලැයිම් ගෙවල්වල ඉන්නවා. ඇයිද කියලා තේරෙන්නේ නැහැ. මෙහෙම ඉන්න එක ෂෝක්නේ අප්පා.”

ඒ මිනිස් රොත්තකින් ඇසුණු තව කතාවකි. එයට තවත් කෑලි එකතු කළේ දහවලේම සප්පායම් වූ මිනිසෙක් බව පැහැදිලිය.
“මේ ගෙවල් අරගෙන ඔප්පුව පොලියට දීලා කීයක් හරි ගන්න මිනිස්සු ඉන්නවා. දැනටමත් එහෙම ඔප්පුව තියලා සල්ලි අරගත්ත අය ඉන්නවා. තව අය මේවා කුලියට දීලා ලැයිම් ගෙවල්වලම ඉන්නවා. ඒ වගේ වැඩ නම් කරන්න හොඳ නැහැ. ගෙයක වටිනාකම අපි දැන් දන්නවා. ඒක කොච්චර දෙයක්ද කියලා අපේ සමහර අයට තේරෙන්නේ නැහැ. අපි හිටියේ දහයයි දහය කාමරයක. එහෙම ගෙවල් දහය පහළොව තිබුණා ලැයිමේ. වැසිකිළි එකයි තිබුණේ. අපි පෝලිමේ ඉන්නවා. දැන් අපිට කියලා වැසිකිළියක් තියෙනවා. වතුර, ලයිට් තියෙනවා. දැන් අපිට හොඳ ජීවිතයක් තියෙනවා. එහෙනම් මොකද මේ ගෙවල්වලට එන්නෙ නැතිව ලැයිමෙම ඉන්නවා.” ඔහු එහෙම කියද්දී තව තැනකින් ඇහුණේ වෙනම කතාවක්. ඒ මේ තැනට පිටින් ආ කෙනෙක්.

“අපි කියන්නෙ අනේ අපිටත් ගෙයක් දෙන්න කියලා. අපිත් ඉන්නේ ලැයිම් ගෙවල්වල. අපිත් ආසයි මේ විදිහට ඉන්න. ඒත් මේවා දෙන්නෙ නායගිය අයට. එහෙම නැත්නම් නාය යන තැන්වල ඉන්න අයට. අපේ තැන් එහෙම නෑ කියනවා. ඒත් අපිත් ලැයිම් ගෙවල්වල පුදුම දුක් විඳිනවා. අපිත් ආසයි මේ වගේ ගෙයක ඉන්න. පත්තරයට ලියනවා නම් කියන්න ජනාධිපතිතුමාට අපිටත් මේ වගේ ගෙවල් දෙන්න කියලා.”

මේ නිවාස ඉදිකිරීම්වල ඕනෑතරම් අඩුපාඩු තිබිය හැකිය. ඇතැම් ඒවායේ විදුලිය ලබාදී නැති ලිපි පළවිය. අප ගිය තැන්හී ජලය, විදුලිය දෙකම තිබුණි. මාර්ග අබලන්ය. හැමදේම සම්පූර්ණ වන්නට තව කාලයක් ගතවනු ඇත. එහෙත් ආණ්ඩු මාරු වුවද මේ හොඳ දේ නතර නොකළ යුතුය. ලැයිම් ජීවිතවලට අනුව ඔවුන්ට මෙය මාලිගයකි. එක් නිවසක් පැත්තක් වෙනස් කොට තට්ටු දෙකට ඉදිකරන තැනට වැඩ සිද්ධවෙමින් පවතී. තවත් නිවාස බොහොමයක් ටයිල් අතුරා ඇත. වත්ත පුරා මල් සාරයට වවා ඇත. නියතවම මේ ජීවිත දැන් අලුත් ගමනක් අරඹා ඇති බව පැහැදිලිය. ඇතැම්විට මේ නිවාස ලබාදීම දේශපාලන අල්ලසක් විය හැකිය. එහෙත් ඒ අල්ලස ඔවුන්ට නව පණක් ලබාදී ඇත.

“මගේ ළමයි කොළඹ ඉන්නේ. දුව, පුතා දෙන්නම. අපි තමයි මේ ගෙදර ඉන්නවා. අපිට දැන් හොඳයි. සන්තෝෂයි.”

මේ දේශපාලන හිතවත්කම්වලට කී කතා නොවේ. දිගම්බරන් මේ නිවාස විවෘත කළා යැයි ඔහුට ආවඩන වදන් මොවුන් තුළ නැත. මොවුන් විඳිනුයේ තමන් දැන් ලද අලුත් ජීවිතයය. නව නිවසක කල් ගෙව්වද මොවුන්ට වත්තෙන් ලැබෙනුයේ තවමත් සොච්චම් පඩියකි.

“මාසයට දවස් දහඅටක් වැඩ කළේ නැත්නම් දවසට ලැබෙන්නේ රුපියල් 500යි. දවස් 18ට වඩා වැඩ කළොත් තමයි රුපියල් 750ක් ලැබෙන්නේ. එහෙම වෙන්නෙත් වත්තේ වැඩ ලැබුණොත්. දැන් අපි මේ ගෙදරට ගෙවන්නත් ඕන. අපිට ගෙයක් තියෙනවා. එහෙනම් ජීවත් වෙන්න හොඳ වැටුපක් වත්තෙන් අපිට දෙන්න ඕන.”

මේ පොදුවේ නැගෙන හඬය. ලැයිම් ගෙවල්වල ජීවිත අඳුරුය. එය සුද්දාගේ කාලයේ සිට අද දක්වාම එලෙසය. ලැයිම් ගෙවල් පේළියක නිවසකට ගොඩවූ කල මේ ජීවිතය කෙතරම් හතරැස්ද යන්න වැටහේ. පටුද යන්න පැහැදිලි වේ.

‘තේ’ ගමන
ලංකාව තුළ සාර්ථකව කරගෙන ආ කෝපි වගාවට වින වෙන්නෙ වසංගත රෝගයක් වැළඳීම නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස කෝපි වෙනුවට සෙවූ විකල්පය ‘තේ’ වූ නිසා ලංකාවේ තේ වැවීම ආරම්භ වී ඇත. James Taylor නම් සුදු ජාතිකයා කඳුකරයේ ‘තේ’ වගාව පටන් ගත් බව පොතපතේ සඳහන්. ඒ 1867දීය.
1873දී එංගලන්තයට ලංකාවෙන් ගිය නෞකාවක රාත්තල් 23ක් එනම් කිලෝ 10ක තේ ප්‍රමාණයක් ළඟාවෙනවා. ඒ තමයි ලංකාවේ මුල්ම ‘තේ’ අපනයනය.
එතැන් සිට ලංකාව ‘තේ’වලට ප්‍රසිද්ධියක් උසුලන්නේ කලක් ලෝකයේ හොඳම ‘තේ’ වවන රටවල් අතර මුලටම සිටිමින් කාලෙන් කාලයට ඒ තත්ත්වය වෙනස් වුණෙත් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන අතර ‘තේ’ නිශ්චිතව පවතිනවා. මේ නිසා විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ‘තේ’ අදටත් සුරැකෙනවා.
ඒ තත්ත්වය සුද්දගේ කාලේ ඉඳලම රැකෙන්නේ මේ වතුකර ජනයාගේ සූරාකෑම, දුක, කඳුළු දහඩිය නිසා. ඒ සියල්ල ‘තේ’වල කහට රහට මැකිලා.

ලැයිම් ගෙවල්
සුද්දගේ ‘තේ’ වගාව කරන්නට සිංහලයා විරුද්ධ වීම නිසා ඉන්දියාවෙන් මිනිස්සු ගෙනා බවත් මේ අදත් සිටිනුයේ ඒ පරම්පරාවල අය බවත් දන්න කතාව. මේ කර්කෂ පරිසරයේ මුල්ම ‘තේ’ අඩිතාලම දමන්න මේ මිනිසුන්ගේ මුල් පරම්පරාවත් අප්‍රමාණ දුක් විඳින්න ඇති. අදටත් ඒ දුකම චක්‍රයක් වගේ පවතිනවා.

ඉන්දියාවෙන් ගෙනා මිනිසුන්ගේ වාසස්ථාන තේ වත්තෙම අයිනක පෙළට ඉදිකළ අතර එම ගෙවල්, භාවිතාවට අනුව ‘ලැයිම් ගෙවල්’ වුණා. ගෙවල් කිව්වද ඇත්තටම මේවා කාමර. අදටත් සුද්දා හදලා දීපු ‘ලැයිම්’ තියෙනවා. දහයයි දහය කාමරය තමයි මේ ගෙවල්. ඒ කොටුව තුළ කුඩා කාමරයක් ඉදිකරනවා. කුස්සියත් ඒ තුළමයි. ඒ පවුල් ව්‍යාප්ත වුණත් දරුවන් පවුල් වුණත් ඒ පවුල් දෙක තුනටම නිවස වුණේ මේ ලැයිම් කාරමය. මේ ගෙවල් තුළ ලිංගිකත්වය වුණත් රහසිගත නෑ. එහෙම රහසිගත වෙන්න බෑ. හැම එක ගොඬේ.

ලැයිම් ගෙවල් 10-15කට වැසිකිළි දෙකයි. සමහර තැන්වල එක වැසිකිළියයි. එක පවුලේ සාමාජිකයෝ පහයි. මේ මිනිස්සු ගෙයක් කිව්වේ, නිවසක් කිව්වේ නිවහනක් කිව්වේ එහෙම නැත්නම් හිසට වහලක් කිව්වේ මේ ජීවිතයට.

මේක වහල් සේවයක්. වත්තටම යාකරලා මේ ලැයිම් ගෙවල් හැදුවේ වත්තෙ වැඩෙන් පිට නොයන්න. මේ අයගේ මුළු ලෝකයම වත්ත එක්ක බැඳුණා. උදේට වත්තේ වැඩ බලන කංකානම් ලැයිම්වලට පැමිණ ගැහැනු පිරිමි සියල්ල වත්තේ වැඩට රැගෙන යනවා. ලැයිමේ දිවි ගෙවීම වත්තේ වැඩ කිරීම ලෙස හංවඩු ගැහිලා. වත්තේ වැඩ නොකරනවා කියන්නේ ලැයිමේ හිඳීමත් අවලංගු වෙනවා. අද මේ නිවාස ලැබීමත් සමග ඒ බැම්ම පුපුරනවා. වතු හිමියන් මේ මිනිසුන්ට නිවාස ලැබෙනවට කැමති නැහැ. දැන් ඒ අයට මේ වත්තේ වැඩට ආ යුතුමයි කියා අනිවාර්ය කරන්න බෑ. අද වතුකරයේ තරුණ පිරිස් කොළඹ රැකියාවලට එනවා. ගැහැනු ගාමන්ට්වලට එන අතර පිරිමි කෑම කඩවල රැකියාවට එනවා. ආප්ප, කොත්තු, බාස්ලා බහුතරය වතුකරයේ අය.

එමෙන්ම මේ යටින් සිදුවන තවත් ඛේදවාචකයක්ද තියෙනවා. නගරවල ලොකු ගෙවල් බොහොමයක මෙහෙකාරකම් සඳහා ළමුන් සපයනුයේ වතුකරයෙන්ය. ඒ ළමා වෙළෙඳාම ජයට සිද්ධ වෙනවා.

ලැයිමේ සිට පාසලට දුර කප්පරක්. ඒ සියල්ල පයින් ගමන්. මේ නිසාම පාසල් යෑම වෙනුවට නොයෑම මේ අයගේ තේරීම වෙනවා. බොහෝවිට මේ පාසල් යන අය පවා අඳිනුයේ එකම නිල ඇඳුම. බොහෝවිට සපත්තු නෑ. කොළඹ පරණ කෝට්කාරයන් ඒ ඇඳුම් එකතු කරගෙන විත් විකුණන්නේ වතුකර ජනතාවට. ලැයිමට කොටුවූ මේ ජීවිත දිළිඳුකමේ පතුළටම වැටී ඇත්තේ නූගත්කම හින්දා. නිවාස විතරක් නෙවෙයි අලුත් පරම්පරාවල් දැනුමට යොමු කරන ක්‍රමත් මේ අතර ඕනවෙනවා.

වතුකර ප්‍රදේශවල බාර් එමටය. වතුකර මිනිසුන්ගේ අවශ්‍යතාවන් මනාව හඳුනාගෙන ඇත. අරක්කු ගාණ වැඩි නිසා කසිප්පු පොළවල් බහුලව ඇත. හම්බ කරන මුදල්වලින් බීමට යෙදෙන පංගුව විශාලය. ප්‍රධාන ආහාරය රොටී වන අර තුන්වේලටම රොටි කන්නේ එහෙමත් පවුල්ය. ඇතැම් අය උදේට හදා ගන්නා රොටියම දවසටම තියා ගනී.
පාන් පිටි, භූමිතෙල් මෙන්ම අරක්කුද වතුකරයේ අත්‍යවශ්‍ය අංග වී ඇත. හවසට සියලු පීඩන අරක්කු හෝ කසිප්පුවලින් සමනය වන අතර ඉතිරි පීඩනය පිටවන්නේ ගෙදර ගැහැනියට තඩිබෑමෙනි. එක්කෝ අසල්වැසියකු සමග වලියකිනි. අතමානයේ සියල්ල සිටින නිසා ගැටුමද අතේමය. වක්පිහි ඉස්සර වන අවස්ථාද එමට ඇත. මේ නිසාම වතුකරයේ ජනයාට කෝවිල තරමට පොලිසියද කිට්ටුය. මේ නිසා දෙයියන්ගෙන් යදිනවාට වඩා දේශපාලකයා ඉදිරියේ මිනිසා බේරාදෙන්නැයි යදින්නට සිදුව ඇත්තේ ඔවුන් වැඩිපුර පොලිසියේ කල් මරන නිසාය. වතුකර දේශපාලකයාට මේ සම්බන්ධය අත්‍යවශ්‍ය වී ඇත. ඔහු සහ මේ මිනිසුන් අතර බැඳීම පොලිසිය නිසා ශක්තිමත් වී ඇත. මේ මගේ මිනිහෙක් නිදහස් කරන්නැයි කියන එකම ඡන්දයකි.

මේ කටුක වටපිටාවෙන් මේ අය මුදාගන්නට නව නිවාස ලබාදීම හරහා ප්‍රශ්න ගණනාවක් සමනය වේ. ඒ අතර පර්චස් හතක් වෙන් කොට ඇති නිසා තනි ජීවිතයක් උරුම වී ඇත. මෙය ගැටුම් අඩුවීමට හේතුවක් විය හැක. අරක්කු බීම, ගැහැනියට පහරදීම මේ හරහා වළකා ගගත නොහැකි වුවත්, ඉදිරි පරම්පරාවන් ඉගෙනුමට යොමු කිරීම හරහා එයද අඩුකර ගත හැකිය. නිවස යනු පවුලේ කේන්ද්‍රස්ථානයයි. අද වතුකරයේ ජනයා පවුල් බවට විකාශය වී ඇත. එහෙත් ඒ ඉතාම අතළොස්සකි. ඒද ස්වභාව දහමේ අනතුරක සේයාවන් නිසාය.
වතුකරයේ ලැයිම් ගෙවල් සදහටම ඉවත් වනවා නම් ඒ සැමට මේ ලෙස නිවාස ලැබෙනවා නම් අපූරුය. විදුලිය, ජලය මෙන්ම මහා මාර්ගද මනාව සම්පූර්ණ විය යුතුවා මෙන්ම ප්‍රවාහන ක්‍රමද දියුණු විය යුතුය. එමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යයටද අවශ්‍ය සියල්ල නිර්මාණය විය යුතුය. එය තව වසර සියයකින්වත් ඉටුවේදැයි නොහැඟේ. අද නිවාස ඉදිකර ඇති මුත් ඒ පන්දහසටත් වඩා අඩුවෙනි. එසේ නම් ඉලක්කය ලක්ෂ 5 ඉක්මවන විට කාලය කොතෙක් දිගුවේද? එතෙක් මේ දුක මේ විදිහටම තවත් පරම්පරා ගණනක් වලඳනු ඇතිය.

‘තේ’ මායා පානයක්. අමෘතයක් වූ නිසාම මේ ජීවිත දුකක්ම විය. තේ ගහ මෙන්ම කප්පාදු විය.