රාවය

රටේ කුණුවීම හා දේශපාලන සුනාමිය

රටේ කුණුවීම හා දේශපාලන සුනාමිය

රටේ කුණුවීම පිළිබඳව මා හා පුනරුද ව්‍යාපාරය පළකරමින් තිබෙන අදහස්, ගැඹුරු පරිවර්තනයක අවශ්‍යතාව පිළිගන්නා අය අතර සාකච්ඡාවට ලක්වන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ. ඒ ගැන මීට පෙර ජයවික්‍රම සූරියබණ්ඩාරද ගියවර කලාපය මනෝ විද්‍යා උපදේශකයකු වූ සුගත් කංකානම්ගේද අදහස් පළකර තිබුණි. මෙම විචාරකයෝ දෙදෙනාම රටේ ලොකු කුණුවීමක් තිබෙන බව පිළිගනිති. ඔවුන් දෙදෙනාම පිළිනොගන්නේ කුණුවීම ජයගැනීම සඳහා මා ඉදිරිපත් කරන ක්‍රමවේදය පමණය. මේ දෙදෙනාම කියන්නේ අලුතෙන් ගොඩනගා ගන්නා රටට හිතැති අවංක දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් විසින් පරණ ක්‍රමයටම ඡන්දයෙන් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බලය ලබාගන්නා ක්‍රියාමාර්ගයක් මගින් රටේ ඇතිවී තිබෙන කුණුවීම ජයගත යුතු බව. එසේ කිරීමෙන් රටේ ඇතිවී තිබෙන කුණුවීම ජයගත හැකි බවය. මනෝවිද්‍යා උපදේශක සුගත් කංකානම්ගේ වැඩිදුරටත් එසේ ගොඩනගා ගන්නා නව දේශපාලන බලවේගය වෘත්තීයවේදීන්ට බර තබන ව්‍යාපාරයක් විය යුතු බව කියයි. ඔහුගේම වචනවලින් කියතොත් හැමදාම උගත් වෘත්තිකයන්ට ඉහළින්, නූගත්, ආත්මාර්ථකාමී රට පිළිබඳ දැක්මක් රහිත දේශපාලනඥයන් ක්‍රියාත්මක වූ නිසා වෘත්තිකයන්ට තම දැනුමෙන්, කුසලතාවෙන් මෙන්ම උගත්කමින්ද රටට අවශ්‍ය දෙය නිර්මාණය කළ නොහැකි විය. ඒ නිසා “තමන්ට ඉහළින් සිටින්නාවූ මෙම නූගත් ආත්මාර්ථකාමී, දේශපාලනඥයන් රැල ඉවතට විසිකිරීමෙන් වෘත්තීයවේදීන්ට රටටත්, ජනතාවටත් සේවය කිරීමේ ඉඩ ප්‍රස්ථා විවර කරගත යුතු බව ඔහු කියයි.

නූගත් දේශපාලනඥයන් හා උගත් වෘත්තීයවේදීන්
නිදහසින් පසු හැමදාමත් ලංකාවේ උගත් වෘත්තීයවේදීන්ට ඉහළින් ඉඳිමින් නූගත් දේශපාලකයන් පිරිසක් රට පාලනය කළේය කියන අදහස නිවැරදි නැත. එක විශ්වවිද්‍යාලයක සිටින උගතුන්ගේ සංඛ්‍යාවට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටි යුගයක්ද අපට තිබුණි. එම ප්‍රවණතාවයේ සෝදා පාළුවක් ඇතිවීම ආරම්භවන්නේ 1956දීය. එම නැඹුරුවේ වේගවත් වර්ධනයක් ඇතිවන්නේ 1988න් පසුවය. 1924 සිට 1960 දක්වා කාලය තුළ ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සමාජ පසුබිම අළලා මාෂල් ආර් සින්ගර් Marshall R Singer (The Emerging Eliterd a study of political leadership in Ceylon 1964) හා 1931 සිට 1985 දක්වා ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සමාජ පසුබිම අළලා තාරා කුමාරස්වාමි (Parliamentry Representation in Sri Lanka 1951-1986) විසින්ද අගනා පර්යේෂණ නිබන්ධන දෙකක් ලියා තිබෙන අතර එහි එන තොරතුරු ආශ්‍රයෙන් ලංකාවේ ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍ය පාලනයේ සුක්කානම හැසිරවූ දේශපාලකයන්ගේ නියම ස්වභාවය හඳුනාගත හැකිය. එම නිබන්ධන දෙකේ එන තොරතුරු අනුව 1956 දක්වා ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් උගත් වෘත්තිකයන් ලෙස සැලකිය හැකිය. ඒ නිසා හැමදාමත් ලංකාව උගත් වෘත්තීයවේදීන්ට ඉහළින් සිට නූගත් දේශපාලනඥයන් රට පාලනය කළේය කියන සුගත් කංකානම්ගේ මතය නිවැරදි මතයක් වශයෙන් සැලකිය නොහැකිය.

දේශපාලකයන් නූගත් පිරිසක් ලෙස උපකල්පනය කළද ඔවුන්ගේ ඍජු පාලනයක් නැති උගත් වෘත්තීයවේදීන් පාලනය කරන ක්ෂේත්‍ර හෝ ආයතන විශාල සංඛ්‍යාවක් රටේ ඇත්තේය. රීතියක් ලෙස වෘත්තීයවේදීන්ගේ පාලනය නූගත් දේශපාලනඥයන්ගේ පාලනයකට වඩා යහපත්, ජනහිතකාමී, කාර්යක්ෂම ක්‍රමවත් හා දූෂණයෙන් තොර වේ නම් වෘත්තීයවේදීන් පාලනය කරන එම ක්ෂේත්‍ර හා ආයතන යහපත් හා ප්‍රශස්ත තත්ත්වයක තිබිය යුතුය. රටේ නිදහස් සෞඛ්‍ය සේවය මුළුමනින්ම වාගේ පාලනය කරන්නේ නූගත් දේශපාලනඥයන් විසින් නොව උගත් වෘත්තීයවේදී වෛද්‍යවරුන් විසිනි. එම ක්ෂේත්‍රය යහපත් ජනහිතකාමී, කාර්යක්ෂම හා දූෂණයෙන් තොර මනා තත්ත්වයක තබාගැනීමට වෛද්‍යවරුන් සමත් වී තිබේද? නීති වෘත්තියද ඇතුළුව සමස්ත අධිකරණ සේවය පාලනය කරන්නේ නීති හා අධිකරණ වෘත්තිකයන් විසිනි. මහජනයාට යුක්තිය ඉටුකරන, දූෂණයෙන් තොර, කාර්යක්ෂම නීති සේවයක් හෝ අධිකරණ සේවයක් පවත්වාගෙන යෑමට නීති හෝ අධිකරණ වෘත්තිකයන් සමත් වී තිබේද? ඒ තර්කය අධ්‍යාපනය, කෘෂිකර්මය, වාරිමාර්ග, විදුලි බලය හා බලශක්තිය, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළ හා විවිධ වෘත්තීයවේදීන්ගේ ආයතන ක්‍රම සඳහා යොදාගත හැකිය. ඒ සියලු තැන් පාලනය කරන්නේ වෘත්තීයවේදීන් නොවේද? ඒ ආයතනවල දූෂණයෙන් තොර කාර්යක්ෂම හා ඵලදායී පාලනයක් ඇතිකර ගැනීමට වෘත්තීයවේදීන් සමත්ව තිබේද?
ලංකාවේ වෘත්තීයවේදීන්ගේ ලෝකය ලංකාවේ දේශපාලන ලෝකයට වඩා හුඟාක් පුංචිය. තමන්ගේ පුංචි ලෝකය වෙලාගෙන තිබෙන කුණුවීම ජයගැනීමට හෝ අඩුම වශයෙන් එම කුණුවූ තත්ත්වය නිවැරදි කරගැනීමට බලවත් උත්සාහයක පවා යෙදී නැති වෘත්තීයවේදීන් ලංකාවේ කුණුවීම ජයගනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?
ලංකාවේ කුණුවීමට අදාළව අප කරන විග්‍රහය ඉහත කී විචාරකයන් දෙදෙනාම හොඳින් තේරුම් ගැනීමට සමත් වී නැති බවක්ද පෙනෙන්නට තිබේ. ක්‍රමය කුණුවෙලා යැයි කියන විට ක්‍රමය මුළුමනින් බිඳ වැටී තිබෙන බව හා බිඳ වැටෙමින් තිබෙන බව අදහස් වේ. විධිමත් ක්‍රමයකට කිසිවක් සිදු නොවන බව හා දූෂණය, අකාර්යක්ෂමතාව හා පරපීඩාකාමය රජකරන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද අදහස් වේ. එය වර්තමාන රාජ්‍යයේ හා සමස්ත ආයතන ක්‍රමයේ දක්නට තිබෙන විශේෂ තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.

කුණුවීමේ අත්තිවාරම්
ඒ කෙරෙහි බලපා තිබෙන හේතු විවිධය. යටත්විජිත තත්ත්වයක තිබූ රටක් නවීන රටක් බවට පත්වන්නේ යටත්විජිත තත්ත්වයෙන් නිදහස්වීමට එම සමාජය දරන බලවත් උත්සාහය ඔස්සේ ලබන නිදහසත් සමගය. එම රටේ සමාජය නවීන සමාජයක් බවට පත්වන්නේද, වර්ග, ආගම්, කුල වැනි බෙදීම්වලට තිබුණු පිළිගැනීම දුර්වල කොට ඒකාග්‍ර සමාජයක් ඇතිකර ගැනීමට හේතුවන ලෙස නූතන ජාතිය ගොඩනගා ගන්නේද, රටේ අනාගතය සඳහා අවශ්‍ය පරිණත නායකයන් ඇතිකර ගන්නේද, රටේ ඉදරි ගමනට අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් ඇතිකර ගන්නේද එම සමාජ දේශපාලන ක්‍රියාදාමය ඔස්සේය. එහෙත් ලංකාව නිදහස දිනාගත්තේ එවැනි බලවත් සමාජ දේශපාලන ක්‍රියාදාමයක් මගින් නොවේ. එය විශාල උත්සාහයකින් තොරව තෑගි වශයෙන් ලබාගත් නිදහසක් ලෙස සැලකිය හැකිය. ඒ නිසාම නූතන ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවූ අතර සමාජය නූතන සමාජයක් බවට පරිවර්තනයවීමක්ද සිදු නොවීය. පොදු ජාතික දෘෂ්ටියක් උරුම කරගැනීමට නොහැකි වූ අතර පරිණත නායකයන් බිහිවීමක්ද සිදු නොවීය.

ඒ නිසා බිහිවූ නිදහස් ලංකාව ශක්තිමත් අත්තිවාරමක් ඇතිව බිහිවූ ලංකාවක් ලෙස සැලකිය නොහැකිය. අඩුම වශයෙන් ලංකාව ඉන්දියාවේ මෙන් තමන්ට බි්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණු යටත්විජිත අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් ගොඩ නගා තිබුණු රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය නිදහස් ලංකාවේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගැනීමක්වත් සිදු නොවීය. වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම අහෝසි කිරීමට හේතුවන ලෙසත් භේදයකින් තොරව සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන ප්‍රවේශයක් තුළත් නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා නිදහස ලැබී බොහෝ කල් යන්නට මත්තෙන් කලකෝලාහල ඇතිවී පසුව ඒවා දිග්ගැස්සුණු ප්‍රචණ්ඩ අරගල ස්වරූපයෙන් කරළියට ආවේය. එම ප්‍රචණ්ඩ ගැටුම්වලින් සිංහල දකුණේත්, දෙමළ උතුරේත් මියගිය අයගේ සංඛ්‍යාව අද දක්වා නිල වශයෙන් ප්‍රකාශ වී නැතත්, ඒ ගණන ලක්ෂයකටත් වඩා බොහෝ වැඩි බව විචාරකයන්ගේ මතය වී තිබේ. කුරිරු වධහිංසාවන්ට ලක්වූවන්ගේ හා ආබාධිත තත්ත්වයකට පත්වූවන්ගේ සංඛ්‍යාවද විශාලය. ප්‍රියයන් අහිමිවීම නිසාත්, දේපළ අහිමිවීම නිසාත් අසරණභාවයට පත්වූ අයගේ සංඛ්‍යාවද අතිවිශාලය. ගැටුම් පැවති දීර්ඝ කාලය තුළ රටේ සියලු මිනිසුන්ට ජීවත් වන්නට සිදුවූයේ මරණය බියෙනි. එම බිහිසුණු දීර්ඝකාලීන අශීලාචාර සමාජ වටාපිටාව මුළු මහත් සමාජයට අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ රෝගී හා විකෘති සමාජයක් ඇති කිරීමට හේතුවිය.

සමාජයේ ඇතිව තිබූ එම මහා පරිහානිය රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය කෙරෙහිද බලපෑවේය. එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය වෙනස් කොට රාජ්‍යයේ සකලවිධ බලය කිසිවකුටත් වගනොකියන ජනාධිපතිවරයකු අතට පත් කෙරෙන ආකාරයට ආණ්ඩු ක්‍රමයේ ඇති කළ වෙනස්කම්ද නිදහසේ සිට ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් සිදුවන කුණුවීමේ ක්‍රියාදාමය වර්ධනය කිරීමට හේතුවිය. නව ආණ්ඩුක්‍රමය පාලක පක්ෂවල වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කළේය. රටේ ඇතිවෙමින් වර්ධනයවෙමින් පැවති ප්‍රචණ්ඩ වටපිටාව දේශපාලකයන්, අපරාධකාරයන් මතත්, අපරාධකාරයන් දේශපාලනඥයන් මතත් යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. මේ කාලයේ සිට ලංකා සමාජයේ ලුම්පන් සමාජ පංගුවේද ප්‍රවර්ධනයක් ඇති කිරීමට හේතුවී තිබුණු එම විශේෂ වටපිටාව රාජ්‍යයේ ස්වභාවය වෙනස් කොට එයට චෞර හා මාංශ භක්ෂක පෙනුමක් ලබාදීමට හේතුවිය. එම තත්ත්වය පෙරළා රාජ්‍යයේද, සමස්ත ආයතන ක්‍රමයේද ඇතිවී තිබුණු කුණුවීම වර්ධනය කළේය.

වැරදි නිවැරදි නොකිරීම
ඕනෑම දෙයක (ක්‍රමයක, යාන්ත්‍රණයක හෝ පද්ධතියක) සිදුවන බරපතළ වරදක් සිදුවූ විට ඒ වරද නිවැරදි නොකොට ඒ බරපතළ වරද දිගින් දිගට සිදුවන්ට ඉඩහරින ක්‍රමයක් තුළ වැරදි සිදුවීම හා ඒවා නිවැරදි නොකිරීම ගල් ගැසුණු දෙයක් බවට පත්වී ඒ නිසා ඒ දෙය, ක්‍රමය, යාන්ත්‍රණය හෝ පද්ධතිය ඉක්මනින් ක්‍රියාවිරහිත වන හෝ කුණුවන තත්ත්වයකට පත්වන්නේය. මෙය ලංකාවේ කුණුවීම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායකයට තේරී පත්වන්නන්ට රජය සමග ව්‍යාපාර කරන්නට කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන්නට හෝ ආදායම් උපයන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියා කරන්නට ඉඩදෙන්නේ නැත. එවැනි අයට තමන්ගේ දේපළ රජයට විකිණීම හෝ රජයේ දේපළ මිලදී ගැනීමට ඉඩ දෙන්නේ නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් පවතින හැම රටකම පාහේ ක්‍රියාත්මක වන වැදගත් ධර්මතාවන් වන අතර 1977 දක්වා ලංකාවේද එය ක්‍රියාත්මක විය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම ධර්මතාව නැතිභංග කොට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය වශයෙනුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ වශයෙනුත් ධනය උපයාගත හැකි වන ආකාරයට ඒ දක්වා මන්ත්‍රීවරුන්ට තහනම් දේවල් ලෙස සැලකුණ සියල්ල අහෝසි කොට ඒ වැරදි කිරීමේ අයිතිය මන්ත්‍රීන්ට ලබා දුන්නේය. මන්ත්‍රීවරුන්ට ඒ ක්‍රියාදාමයට එකතුවීමේ බියක් සැකයක් හෝ ලැජ්ජාවක් තිබුණේ නම් එය නැති කිරීමේ අභිලාෂයෙන් තමන්ට තිබුණ කනාටු පොල්වත්තකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ සරුසාර පොල්වත්තක් හුවමාරු කරගත්තේය. ඒ සමග ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ සරුසාර වටිනා ඉඩම් ඉතාමත් නොවටිනා මිල ගණන්වලට මිලදී ගනිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්විය. ඒ සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රජය සමග කොන්ත්‍රාත් කරන කොන්ත්‍රාත්කරුවන් බවටත්, ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බලපත්‍රලාභීන් බවටත් පත්විය. ඉන්පසු ව්‍යවස්ථාදායකය දූෂිත මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දූෂිත පාර්ලිමේන්තුවක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එක දිගට අවුරුදු 17ක් පාලන බලයේ සිටි එජාපයට තිබූ පාලන බලය අවසන් වී ශ්‍රීලනිපයට පාලන බලය ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව ක්‍රියාත්මක වූ එම දූෂිත හා අධම ක්‍රමය වෙනස් කළේ නැත. 1964දී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ වරද ගැන සොයා බලා නීතියට පටහැනිව ක්‍රියාකර තිබෙන මන්ත්‍රීවරුන් උපයාගෙන තිබෙන ධනය රාජසන්තක කරන දැඩි පිළිවෙතකට ගියේ නම් මෙම තත්ත්වය මුළුමනින් වෙනස් වන්නට ඉඩ තිබුණි. එහෙත් සමගි පෙරමුණු ආණ්ඩුව මෙම වරද නිවැරදි නොකළා පමණක් නොව, පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව ක්‍රියාත්මක වූ එම අවලස්සන ක්‍රමයට අලුත් අංගද එකතු කරගනිමින් ඉදිරියට ගෙන ගියේය. මන්ත්‍රීවරුන් හරහා මත්පැන් බලපත්‍ර බෙදා දෙන ක්‍රමයක් ඇති කළේ චන්ද්‍රිකාගේ පාලන කාලයේදීද ඒ සමග මන්ත්‍රීවරුන්ට තැබෑරුම්කරුවන් වීමේ හැකියාවද ලැබුණි.

පසුගිය කාලයේදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි කිසිදු ව්‍යාපාරයක් (සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය, එක්සත් ජාතික පක්ෂ හෝ ජනතා විමුක්ති පෙරමුණ) රටේ ව්‍යවස්ථාදායකය අන්ත දූෂිත තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබුණු පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මුළුමනින් පටහැනි මෙම අවලස්සන නින්දාසහගත ක්‍රමය ඉවත් කරන යෝජනා හෝ විධිවිධාන ඔවුන්ගේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත්වලට ඇතුළත් කර තිබුණේ නැත. එසේ වූයේ එය බරපතළ වරදක් බව ඔවුන්ට නොපෙනුණ නිසාද? එසේ නැතිනම් ඒ වරද නිවැරදි කිරීමට බැරිතරමට දුරදිග ගිය දෙයක් බව පෙනුණු නිසාද? එසේත් නැතිනම් එය වරදක් නොවේ යැයි ඔවුන් කල්පනා කළ නිසාද?
සිදුවන බරපතළ වරදක් නිවැරදි නොකාට එම බරපතළ වරද දිගින් දිගට සිදුවන්නට ඉඩ දුන් විට එය නිවැරදි කිරීම ඉතාමත් දුෂ්කර වනවා පමණක් නොව ඒ වරද වරදක් ලෙස මහජනයාට නොපෙනෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී එම වරද සිදුවන ආයතන ක්‍රමය කුණු කිරීමටද හේතුවන්නේය. ඉහත නිදර්ශනය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය. රට ගලවා ගැනීම සඳහා වෘත්තීයවේදීන්ට බර තබන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමත් වෘත්තීයවේදීන්ට එම වරද වරදක් ලෙස පෙනුණේද? ඒ වරද නිවැරදි කිරීම සඳහා ඔවුන් මොනයම් හෝ දෙයක් කර තිබේද?

මන්ත්‍රීවරුන්ට බදු විරහිත පදනමකින් විකුණා ලොකු ආදායමක් උපයා ගැනීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන ක්‍රමයද පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මුළුමනින් පටහැනිය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ඇමතිවරුන්ට නිල වාහන දෙන ක්‍රමයක් ඇතත් මන්ත්‍රීවරුන්ට වාහන ලබාදෙන සම්ප්‍රදායක් ඇත්තේ නැත. මන්ත්‍රීවරුන්ට සාමාන්‍යයෙන් දෙන්නේ පොදු ප්‍රවාහන සේවාවලින් නොමිලේ ගමන් කිරීමේ අයිතිය පමණය. වසර 5ක් සඳහා මන්ත්‍රීවරයකුට රජයෙන් ලබාදෙන වාහනයක් සඳහා රජයට අහිමිවන ආදායම ලක්ෂ 200ක් ලෙසත්, වසර පහට ලබාදෙන ඉන්ධන දීමනාව සඳහා යන වියදම ලක්ෂ 30ක් ලෙසත් ගණන් බැලුවහොත් මන්ත්‍රීවරයකු ගමනාගමනය සඳහා පමණක් මසකට වැය කරන වියදම රුපියල් ලක්ෂ 3.83කි. රජයේ උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා සුඛෝපභෝගී වාහන ලබාදෙන හා විශ්‍රාම යන විට තමන් පරිහරණය කළ වාහනය ගෙදර ගෙනයෑමට ඉඩදෙන සම්ප්‍රදායක් ඇතිවූයේ මන්ත්‍රීවරුන් සතුටු කරන්නට දෙන එම වරදානයේ ප්‍රතිඵලයක් වශයෙනි. සුප්‍රා ගණයේ රජයේ නිලධාරියකුට දෙන වාහනයේ මිල රුපියල් ලක්ෂ 300කට වැඩිය. රජයේ නිලධාරීන්ට එවැනි මිල අධික වාහන ලබාදෙන්නේ රුපියල් ලක්ෂ 70-80 අතර මිලකට හොඳ හයිබි්‍රඞ් මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව තිබියදීය. හයිබි්‍රඞ් වාහනයක් සඳහා වැය වන ඉන්ධන වියදම මෙන් හය හත් ගුණයක ඉන්ධන වියදමක් සුප්‍රා ගණයේ නිලධාරීන් පරිහරණය කරන වාහන සඳහා දරන්නට සිදුවේ. ලංකාවේ වාහන මේනියාව වෙනුවෙන් කරන වියදම අතිවිශාල වන අතර එය රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කරන සාධයක් ලෙසද ක්‍රියා කරයි.

ලංකාව රජයේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යන ඉඩම් හා නිවාස ප්‍රතිපත්තියද අන්ත දූෂිත වනවා සේ ම ඒ සඳහා යොදාගෙන තිබෙන ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට මුළුමනින්ම පටහැනිය. මා ඒ ගැන මෙහිදී විග්‍රහයක නොයෙදෙන්නේ ලිපිය දික්ගැස්සීම වළකා ගැනීම සඳහාය.

අධිකරණයේ කුණුවීම
අධිකරණය රාජ්‍යයේ යහපැවැත්ම කෙරෙහි බලපාන ඕනෑම රාජ්‍යයක තිබෙන වැදගත්ම බලමණ්ඩලය ලෙස සැලකිය හැකිය. අධිකරණයක සිදුවන බරපතළ වැරදි නිවැරදි නොකොට ඒවා දිගින් දිගට සිදුවන්නට ඉඩදෙන ක්‍රමයක් තුළ අධිකරණය බෙලහීන වී එය කුණුවන තත්ත්වයකට පත්විය හැකිය.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රමයට බලපාන බරපතළ වැරදි නිවැරදි නොකොට දිගින් දිගටම එවැනි වැරදි සිදුවන්නට ඉඩදෙන පිළිවෙතක් අනුගමනය කළොත් ආණ්ඩු ක්‍රමය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් ජාලාවක් බවට පත්වී ආණ්ඩුක්‍රමය සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද කුණුවූ තත්ත්වයකට පත්විය හැකිය. දැන් අපේ රටේ ආණ්ඩුක්‍රමයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුවී තිබෙන්නේද එයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙන සංශෝධනවලින් 19 වැනි සංශෝධනයද ඇතුළුව සැලකිය යුතු තරම් සංශෝධන ප්‍රමාණයක් පටු දේශපාලන අභිලාෂ සපුරා ගැනීමේ අරමුණින් ආණ්ඩු ක්‍රමය අවුල් කිරීමට හේතුවූ ව්‍යවස්ථා සංශෝධන ලෙස සැලකිය හැකිය. කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නඩු තීන්දුවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවන අවස්ථාවකදී එය නිවැරදි කිරීමේ සම්ප්‍රදායයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පවතී. ඉන්දිරා ගාන්ධි පාලන කාලයේදී පාර්ලිමේන්තුවේ තමන්ට තිබුණු වැඩි බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාවට පටහැනි නීති සම්පාදනයක් සිදුකරන ලදි. ඉන්දිරා ගාන්ධි පාලනය පරාජය වූ වහාම එම නීති සම්පාදනයන් සේ ම ඒවාට අදාළ නඩු තීන්දුද විධිමත් ආකාරයකට බලරහිත කරන ලදි. ඇමරිකන් ව්‍යවස්ථාවේ තේරී පත්වූ ජනාධිපතිවරයකු ධුරයට තේරී පත්විය හැකි ධුර කාල ගණන කොතරම්ද යන්න සඳහන් වූයේ නැත. එහෙත් ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැක්කේ ධුර කාල දෙකක් ලෙස සාම්ප්‍රදායික අර්ථයෙන් සලකන ලදි. ව්‍යවස්ථාවේ තිබුණු මේ හිඩැස ප්‍රයෝජනයට ගෙන ප්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් (1932-1944) තමන්ගේ පළමු ධුර කාල දෙක අවසන්වීමෙන් පසු තවත් අතිරේක ධුර කාල දෙකක්ද ජනාධිපති තනතුර හෙබවූයේය. 1947දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 22 වන සංශෝධනය මගින් තවත් කෙනකුට එම වරද කිරීමට ඉඩක් නොලැබෙන ලෙස ඒ වරද නිවැරදි කර තිබේ.

එහෙත් ලංකාව ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි කර තිබෙන කිසිදු වරදක් නිවැරදි කර නැත. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවන ආකාරයේ නඩු තීන්දු ගණනාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇතත්, ව්‍යවස්ථාවට පටහැනි ඒ කිසිදු නඩු තීන්දුවක් අද දක්වා නිෂ්ප්‍රභ කර නැත.

1977දී තේරී පත්වූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයකට අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්වූ සිව්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙනු ලැබූ තීන්දුව ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. එම නීති විරෝධී සාහසික ක්‍රියාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොදිය යුතුව තිබුණි. එහෙත් එම සංශෝධනය විමර්ශනයට ලක් කළ විනිසුරු මඬුල්ලේ හත්දෙනාගෙන් තිදෙනකු ඊට විරුද්ධ වන විට ඉතිරි සිව්දෙනා ඊට පක්ෂවීම නිසා ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු 6කින් දීර්ඝ කරගැනීමට ඉඩ නොලැබුණේ නම් 83 කළු ජූලියක් සේ ම දකුණේ සිංහල තරුණ කැරැල්ලක් සේ ම උතුරේ දෙමළ තරුණ කැරැල්ලක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි. ඊට අදාළ නඩු තීන්දුව අද දක්වා නිෂ්ප්‍රභ කර නැත. ඒ නිසා අනාගත පාලකයකුටද එම නඩු තීන්දුව ආයුධයක් කරගෙන පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරගන්නා තැනකට යා හැකිය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ පළමු සංශෝධනය, දෙවැනි සංශෝධනය, තුන්වැනි සංශෝධනය, හතරවැනි සංශෝධනය, හයවැනි සංශෝධනය, 18 වැනි සංශෝධනය, 19 වැනි සංශෝධනය නීතියට පටහැනි වනවා සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනයටද පටහැනිය. ඒ සියලු සංශෝධන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව තිබුණා සේ ම, ඒවාට අදාළ නඩු තීන්දු නිෂ්ප්‍රභ කොට ඒවා නීතිපොත්වලින් ඉවත් කළ යුතුව තිබුණි. එහෙත් බරපතළ වැරදි ඇතිවූ විට ඒවා ගල් ගැසෙන්නට ඉඩ නොදී ඒවා නිවැරදි කරන සම්ප්‍රදායක් අපේ දේශපාලන සංස්කෘතියේ හෝ නීති සංස්කෘතියේ නැත. සමස්ත ආණ්ඩුක්‍රමය අවුල් ජාලාවක් බවට පත්වී කුණුවූ තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ නිසාය.

කුණුවීම ජය ගැනීම
සුගත් කංකානම්ගේ මතය වී තිබෙන්නේ රටේ කුණුවීමේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මත පදනම් වූ ඡන්දය හරහා බවය. සියලු පරණ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කොට වෘත්තීයවේදීන්ට බර තබා හදා ගන්නා නව පක්ෂයක් බලයට පත්කිරීමෙන් ලංකාව මුහුණ දී තිබෙන කුණුවීමේ ප්‍රශ්නය ජයගත හැකි බව ඔහුගේ විශ්වාසය වී තිබේ.

පුනරුද ව්‍යාපාරය දරන මතය ඊට මුළුමනින් වෙනස්ය. ලංකාවේ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය තිබෙන්නේ වේගයෙන් කඩා බිඳ වැටෙමින් තිබෙන මහා අර්බුදයකය. එහි සිදුවෙමින් තිබෙන වේගය නොකඩවා වර්ධනයවෙමින් පවතී. සමහරවිට ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව වනවිට හොඳටම කුණුවී තිබෙන ක්‍රමය සුනුබුන් වන තත්ත්වයකටද පත්විය හැකිය. සියලු දේශපාලන නායකයන් ජනතාවට නයාට අඳුකොළ වැනි තත්ත්වයකට පවා පත්විය හැකිය. ලංකාව දැන් තිබෙන්නේ දේශපාලන සුනාමියක මුවවිටය. මුහුදින් එන සුනාමි තත්ත්වයක් නොව ක්‍රමය අභ්‍යන්තරයෙන් එන සුනාමි තත්ත්වයකි.

ඒ කිසිවක් සිදු නොවී සියල්ල වර්තමානයේ පවතින ආකාරයකට පැවතියද දැන් රාජ්‍යය තිබෙන්නේ ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට එන කවර පාලකයකුට හෝ පාලක පක්ෂයකට වුවද ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි කුණුවූ තත්ත්වයකය.

සුගත් කංකානම්ගේ නමැති මනෝ විද්‍යාඥයා සිහින දකින ආකාරයටම වෘත්තීයවේදීන්ට බර තබා අලුතෙන් ගොඩනගන දේශපාලන ව්‍යාපාරයක අපේක්ෂකයකුට ජනාධිපතිවරණයකට තරග කොට එය ජයගැනීමට සමත් වුවද වර්තමාන ව්‍යවස්ථාව අනුව එම ජනාධිපතිවරයා බොහෝ දුරකට බලය අහිමි කරන ලද තටු කපන ලද ජනාධිපතිවරයෙකි. ඔහුට අගමැති වෙනස් කළ නොහැකිය. කැබිනට් මණ්ඩලයද වෙනස් කළ නොහැකිය.

ඉන්පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපතිවරයාගේ පක්ෂයට බහුතර බලයක් ලබාගැනීමට අසමත්වෙතොත් එම ජනාධිපතිවරයා දේශපාලන විකටයකුගේ තත්ත්වයට පත්වනු නොවැළැක්විය හැකිය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගත්තද අධිකරණය හා නිලධරතන්ත්‍රය තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයක නිසාම බලයට පත්වන එම ආණ්ඩුවට ගැඹුරු වෙනසක් ඇති කරනවා වෙනුවට ලොකු අර්බුදයකට යන්නට සිදුවනු ඇත්තේය. කිසිදු වෙනසක් අධිකරණයේ අනුමැතිය නැතිව කළ නොහැකිය. අනෙක් අතට ඒ හැම දෙයක්ම කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද ක්‍රමවත් තත්ත්වයක නොව කැඳ හැලියක තත්ත්වයකය. එම තත්ත්වය ඉදිරියේ නව පාලකයා හා පාලක පක්ෂය හාස්‍යජනක විගඩමක තත්ත්වයට පත්වනු නොවැළැක්විය හැකිය.

මෙම අර්බුදය ජයගැනීමට නම් මහජනයා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මාරුවීම අවශ්‍ය වේයැයි කියන පුනරුදයේ අදහසට එරෙහිව සුගත් කංකානම්ගේ ඉදිරිපත් කර තිබෙන කරුණු දැක්වීම ගැන වෙනම ලිපියකින් කතා කරන්නට බලාපොරොත්තු වෙමි. ඔහු ඒ ගැන අදහස් පළකර තිබෙන්නේ ඒ ගැන පුනරුදය දරන අදහස් හරියාකාරව තේරුම් ගැනීමකින් තොරවය.