රාවය

ක්‍රිකට් ඉවරද?

ක්‍රිකට් ඉවරද?

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමුවෙන් බංග්ලාදේශය වෙතින් ද දෙවැනිව ඇෆ්ගනිස්තානය වෙතින් ද ලත් කුජීත පරාජයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාව කුමන දිශාවකට ගමන් කරනු ඇතිදැයි සිතාගත නොහැකි තරමට ම තක්බීර් වී ඇත. මේ සා දරුණු ලැජ්ජාසහගත පරාජයක් මෑත ඉතිහාසයේ කිසිදු කණ්ඩායමක් ලබා නැත. මේ හිස් අතින් ගෙදර ආවේ, ආසියානු කුසලානය 5ක් වරක් දිනූ කණ්ඩායම ය. 2014 වසරේ මීට පෙර පැවැති තරගාවලියේ ශූරයන් වූ කණ්ඩායම ය. තරගාවලි 12කින් තරගාවලි 11ක් අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායමය.

අප රටක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ලත් පරිහානිය අවම කර ගැනීමට නම් පටන් ගත යුත්තේ මේ පරාජයත් සමග ඈඳෙන ඉහත කතාවත් සමගය. තරගාවලියේ යම් තරමකට හෝ කතා කිරීමට දෙයක් ඇත්නම් ඒ වසරකට පසු ලසිත් මාලිංග නැවත එක්දින කණ්ඩායමට පැමිණීම පමණි. එම කැඳවීම ද “උඹ කාල වරෙන්” න්‍යායේ වූවකි. කෙසේ වෙතත් සියලු ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටුකරමින් මාලිංග සුපුරුදු දක්ෂතාවන් අතරට පිවිසියේ ය. එය ප්‍රේක්ෂක සමූහයේ අමන්දානන්දනයට හේතු වූවද ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්ට නම් වහ කදුරු වෙන්නට ඇත.

කෙසේ වෙතත් මේ හොඳ ආරම්භයකි. පරාජයකින් පසු මිනිසුන් වඩාත් පන්නරය වේ ය යනු පැරණි කතාවකි. එය සදා කාලයට වලංගු ය. දැන් එය ක්‍රිකට් ක්‍රීඩාවට ද අදාළ කරගත යුතු කාලය එළැඹ ඇතැයි අප ගේ විශ්වාසයයි.

බංග්ලාදේශය කණ්ඩායම පසුගිය කාලයේ වරින් වර ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කළ අයුරු අපට මතක ය. එහෙත් ඇෆ්ගන් ක්‍රීඩකයෝ මේ පළමු වතාවට ය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හිස එසවූයේ. එයත් එසේ මෙසේ හිස එසවීමක් නොව දරුණු ගණයේ පරාජයකට ප්‍රතිවාදීන් ඇද දැමීමකි.

මේ සම්බන්ධයෙන් දැන් නම් තැන තැන කියැවෙන කතා ගොඩකි. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොහැකියාව ගැනම මිස අන් දෙයක් නොවේ. ඇත්තටම නිමා වූ මේ ආසන්නතම තරග දෙකේ දී අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පෙර පාසල් ළමයෙක්ටත් වඩා අන්ත බැව් පිළිගත යුතු ය.

එසේ වූයේ කුමක් නිසා ද? බලධාරීන් සෙවිය යුත්තේ ය. මේ පරාජයන් හී හේතූන් මතුපිටින් අතගා බලා ඕනෑ කෙනෙක්ට ඕනෑ විස්තරයක් දිය හැකි ය. එහෙත් එය ප්‍රමාණයත් වේ ද? මේ නියෝජනය කළෝ රට වෙනුවෙනි. එහි දී වෙනත් වෙනත් අභිමතාර්ථයන් තිබිය නොහැකි ය.

කඩුලු අතර නිවැරදිව දිවිය නොහැකි නම්, නිසියාකාරයෙන් උඩ පන්දුවක් රැක ගත නොහැකි නම්, දිගින් දිගට ම කඩුල්ල තුළට එන පන්දුවකින් ආරක්ෂා වීමට නොහැකි නම් මේ ක්‍රීඩකයෝ මෙතැන තබාගෙන සිටීමේ තේරුමක් නැත. අනෙක් අතට මේ ක්‍රීඩකයෝ නිවැරදිව පාලනය කරගත නොහැකි නම් නායකත්වයේ සිටීමෙන් ද පළක් නැත. අප එසේ පවසන්නේ මේ දේවල් හිතා මතා ම යම් කෙනෙක් අපහසුතාවට ලක් කිරීම අරමුණු කර ගනිමින් කළ හැකි දේවල් නිසා ය.

නායකයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් දැන් කුමක් කීව ද දැන් සිදුවිය යුතු දේ සිදුව අවසන් ය. කිසිවෙක් පිට වරද පැටවිය නොහැකි තරමට ම මේ පරාජයන්හි වේදනාව රිදුම් සහගත ය. මෙය නායක ඇන්ජලෝට පමණක් නොවේ, කණ්ඩායමේ සෑම කෙනෙක්ට ම පොදු ය. පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ සිට සියල්ලන් ද ඊට අයත් ය.
ක්‍රිකට් පරිපාලනය නිශ්චිත නොවන කල ක්‍රිකට් කණ්ඩායම ද ඒ මත ම තබා ඇණ ගැසීමට සූදානම් වූ බොහෝ දෙනෙක්ට නම් මේ පරාජය කදිම ය. ඒ මතින් කතාන්දර හදමින් තමන් ම ගොඩ ඒමට දඟලන්නන්ට දැන් ඉබේ ම වේදිකාවක් ගොඩ නගා ඇත. මැතිව්ස් ඇතුළු කණ්ඩායම වේදිකාව සැරසිලිවලින් පමණක් නොව ලයිට් දමමින් ද අලංකාර කර ඇත. ඉතිරිව ඇත්තේ වේදිකාවට ගොඩ නැගීම පමණි.

උදාකළ එම තත්ත්වයන් ගැන ඇන්ජලෝ මැතිව්ස් අතුළු කණ්ඩායම ම ලැජ්ජා විය යුතු ය. තරගයක දී පරාජයක් යනු සාමාන්‍ය දෙයකි. එහෙත් මෙවැනි පරාජයක් මේ වැනි කණ්ඩායමකින් බලාපොරොත්තු විය හැකි ද? පරාජය වෙන්නේ අපේ ක්‍රීඩකයන්ගෙන් උපදෙස් ලබා ගත් බංග්ලාදේශය වැනි කණ්ඩායමකින්ය. තවමත් කෝඩුකාරයන් ලෙසින් හැඳින්වෙන ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමකට ය.

එම පරාජයන් ද පසෙකින් තබමු. ඒ, අද ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට පරාජය විය හැකිය යන න්‍යාය අනුව ය. එහෙත් කතාව වෙන්නේ මෙවැනි විශේෂිත වූ තරගාවලියක දී අප කණ්ඩායමට මෙසේ ක්‍රීඩා කළ හැකි ද යන්න ය?

දැනට ලෝක ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි තැන වසර කිහිපයක් තිස්සේ ම පවතිනුයේ පහළ තැනක ය. එහෙත් ආසියානු කලාපයෙන් අප සිටිනුයේ දෙවැනි තැන ය. එසේ වෙද්දීත් ය, මේ කෝඩුකාරයන් වෙතින් පරාජය වී වේලාසනින් ම ගෙදර ඒමට සිදු වූ පළමු කණ්ඩායම වෙන්නේ.

අනෙක් අතට මේ සියලු ක්‍රීඩකයෝ වැටුපකට ක්‍රීඩා කරන්නෝ ය. තමන් විසින් හෙළන දහඩියට ඔවුන්ට යම් මුදලක් ගෙවති. අනෙක් අතට සියලු වරප්‍රසාද ද ඔවුන් සතු ය. එසේ වෙත්දීත් ලත් මේ පරාජයේ වගකීම කවුරුන් සතු කළ යුතු ද? අඩුම තරමින් ඔවුන් ලබා ගන්නා වැටුපටවත් සේවයක් කළ යුතු නොවේද? මේ මුදල ඉදිරියට දමාගෙන කරන විවේචනයක් නොව, ඔවුන් ගේ වගකීම කුමක්දැයි කරන වටහා දීමකි.

ශ්‍රී ලංකාවේ මේ සා සැලකීමක් අන් කිසිදු කණ්ඩායමකට නැත. එක්දින ලෝක ශූරතාවත්, විස්සයි 20 ලෝක ශූරතාවත් දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැක් වූ ප්‍රතිචාරයන් කෙබඳු ද? එම සැලකීම ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ලැබුණේ නැත. ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩකයන් ද බැබැළවූයේ මෙරට නාමය ය. එහෙත් සැලකීම දෙවිදිහ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද දවසේ තේරුම් ගත යුත්තේ එය ය. කැරම් ක්‍රීඩකයන්ට සේ ම කැරම් ක්‍රීඩාවට ද නැති ගෞරවයක්, සැලකීමක් මෙරට ප්‍රජාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට වගේ ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද ඇත. ශ්‍රී ලංකා ප්‍රජාව ඔවුන් මේ තැන් හි තබා තිබෙන්නේ එනිසා ය. එම තැන ආරක්ෂා කර ගැනීම ක්‍රිකට් ක්‍රීඩකයන් ම සතු යුතුකමකි.