ප්‍රතිපත්තියක් නැති ක්‍රීඩාව

ඒ. වික්‍රමසූරිය

දයාසිරි ජයසේකර දහසයේ කල්ලියට ගිය නිසා ඔහු එතෙක් කරගෙන ආ ක්‍රීඩා ඇමති ධුරය අහිමි වූ අතර අද ඔහු දහසයේ කල්ලියෙත් නැත. එහෙත් අමාත්‍ය ධුරයකත් නැත. එහෙත් ඒ නිසා සිදුවූයේ තිබුණාට වඩා අවැඩකි. එනම් දයාසිරි ජයසේකරගේ හිඩැස පුරවන්නට තාවකාලිකව කියමින් ස්ථිරවම ෆයිසර් මුස්තාපා පත්කිරීමය.

ඔහු ප්‍රසිද්ධ වූයේ ඡන්දයක් පැවැත්විය නොහැකි ඇමති ලෙසය. එහෙත් තවමත් ඔහු පළාත් පාලන ඇමතිය. ඒ අමාත්‍ය ධුරයේ වැඩ ඇනූ නිසාම ඔහුට තවත් අමාත්‍ය ධුරයක් බාර දුන්නේය. ඒ ක්‍රීඩාවය. පත්තරේ විස්තරේට අනුව රට කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රීඩාව දිනෙන් දින පණ අදින බව පුවත්පත් හරහා හෝ නොදැක්කේද? තමාට සැවොම හතුරු වන කල්හි මිතුරු වී ඇති නිකමුන්ට ඕනෑවටත් වඩා තනතුරු දීම නිසා අද ආණ්ඩුවම සවුත්තු වී ඇත. ෆයිසර් මුස්තාපාට ක්‍රීඩාවේ දියුණුවට වැඩ කළ නොහැකි බව මේ ගෙවුණු කාලය තුළ හොඳටම පැහැදිලිය. මේ ඇමැත්තාද වලිකනුයේ ක්‍රීඩා පනත වෙනස් කරන්නටය. හිටපු බොහෝ ඇමතිවරු මෙන්ම ඔහුද කාගේ හෝ ලණුවක් ගිල ඇත. වැඩ කරන ඇමතිවරයකුට දැනට පනතේ ඇති බලයම ප්‍රමාණවත්ය. නටන්න බැරි නිසා සැමට පොළොව ඇදවී ඇත.

මේ ආණ්ඩුවේ අවසානය ළඟාවෙමින් ඇත. ඒ නිසා ඉදිරි කෙටි කාලය තුළ ක්‍රීඩාව තුළ හෝ ලොකු විජ්ජා කළ නොහැකිය.
අඩුම තරමේ දැන් හෝ ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය හැකිය. එවිට ආණ්ඩු මාරු වුවද ඇමතිවරු මාරු වුවද එක ප්‍රතිපත්තියක ගමන් කරනු ඇත. දැන් එකිනෙකාට ඕනෑ ලෙස ක්‍රියාකිරීම නිසා මේ ක්‍රීඩා ක්ෂේත්‍රයම උගුලක හිරවී ඇත. එයින් මිදෙනු වෙනුවට දිනෙන් දින එහිම හිරවෙනු දක්නට ලැබේ.

රටේ ප්‍රගතියට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රවලට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. කවර රජයක් යටතේ වුව එය ඉදිරියට යා යුතුය. ක්‍රීඩාවටද එසේමය. ජයග්‍රහණයක් වූ විට උඩ පැනීමත් පරාජය වූ විට විකාර කතා කියවීමත් අද ඉතිරිව ඇත්තේ අපට කියා නිවැරදි ප්‍රතිපත්තියක් නැති නිසාය. ක්‍රිකට් බිඳ වැටීම සලකා බැලිය යුත්තේ රටක් ලෙසටය. එය ඇන්ජලෝ මැතිව්ස්ගේ ගොබ්බ කතාවලට සීමා නොකළ යුතුය. අප තවමත් කතා කරනුයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනීමය. ඉන් දශක දෙකක් ඉක්ම වුවද නැවත එය දිනාගැනීම අපහසු කාර්යයක් වී ඇත. ඉන් ගම්‍යවන්නේ ජයග්‍රහණ ඉදිරියට රැගෙන යෑමේ සැලැස්මක් නැතිකමය. එයට හේතුව නිවැරදි දැක්මක් ප්‍රතිපත්තියක් නොමැතිවීමය. එස්.බී. දිසානායක තමා කෙරුමා ලෙස කරන වැඩ ඉන්පසු එන ක්‍රීඩා ඇමතිට කළ නොහැකිය. සමහරු තමන්ගේ වේගයට හිමින් දුවති. ඒ අය මේ කෙටි දුර දිවීමක්ද දුර දිවීමක්ද නොඅදහති.

1948දී ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනන විට එම හපන්කම නැවත කරන්න තව දශක පහකට වැඩි කාලයක් බලා සිටින්නට සිදුවිය. ඒ 2000දී සුසන්තිකා ජයසිංහ සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ලබාගෙනය. එසේ නම් ඊළඟ පදක්කමට අපි තව වසර පනහක් බලා සිටිය යුතුද?

මේ ගැන මීට පෙරද ඇති පදම් කතා කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 පෙබරවාරි මස 12 වැනිදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගනු ලැබීය. ඒ ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක්ය. එය එම වසරේම මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහෙත් එයට එතැනින් එහාට කුමක් වූවාද යන්න දන්නේ ක්‍රීඩාව කරවන අයමය.
ෆයිසර් මුස්තාපා ක්‍රීඩා ඇමති ලෙස වැඩ භාර ගනිමින් චණ්ඩි කතා කීමුත් අදටත් කළ චණ්ඩි වැඩක් නම් නොවීය. ඒ වෙනුවට ඔහු පසුව කීවේ තමා වසර 12ක් විවිධ අමාත්‍යාංශවල වැඩ කර ඇතිමුත් මේ තමන්ට ලැබුණු නරකම අමාත්‍යාංශය බවය. ජනපති කිට්ටුවන්තයාට දී ඇත්තේ නරකම අමාත්‍යාංශය නම් එය තවත් නරක් නොකොට ඔහු එය කළ හැකි කෙනකුට භාර නොදෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

තමා ජනාධිපති නීිතිඥයකු යැයි කියමින් උඩඟු ප්‍රතිපත්තියක සිටින මුස්තාපා ක්‍රීඩාව තුළදී නම් නොදන්නේද නීතිය බව පැහැදිලිය. එසේ නොවන්නට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමෙන් ඔහු මෙතරම් ඇණගන්නේ නැත. ක්‍රීඩා පනතේ දෙවැනි වගන්තියට අනුව ජාතික ක්‍රීඩා සභාවක් පත් කළ යුතුය. ජාතික ක්‍රීඩා සභාවක් සැදුම්ලන්නේ ක්‍රීඩාවේ දැනමුත්තන්ගෙනි. ඒ ක්‍රීඩාව ගැන නොදන්නා ඇමතිවරුන්ට උපදෙස් ගන්නටය. එහෙත් ෆයිසර්ට ඒවා අවැසි නැත. ඔහු සිතනුයේ ඔහු කෙරුමා බවය. අවසානයේ කෙරුමාගේ කරුමයට කරගසන්නට සිදුව ඇත්තේ ක්‍රීඩාවේ නියැලි අයටමය. ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු 13 දෙනකුගෙන් සමන්විතය. ඇමතිවරයාට උපදෙස් දීම මෙන්ම ක්‍රීඩා සංවර්ධනයට අවශ්‍ය කටයුතු කිරීමද ඔවුන්ගේ වගකීම වේ. එය පත් කළා නම් ෆයිසර්ට තම ඇමතිකම පහසුවනවා නියතය. එසේ නොකර තම අභිමතයට තීන්දු ගැනීම නිසා ඔහු හත්පොළේම ගා ගත්තේය. ක්‍රිකට්හි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි පත්කිරීමේදී නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වූයේ ක්‍රීඩා පනතේ 44 වැනි වගන්තියට අනුව එය සිදුකරන බවය.

එහෙත් ක්‍රීඩා පනතේ ඇත්තේ වගන්ති 43කි. එය අනාවරණය කළ පසු මුද්‍රණ දෝෂයක් කියා අත පිසදා ගත් මුත් එයින්ම ක්‍රීඩා ඇමතිට නිසි උපදෙස් නොලැබෙන බව තහවුරු විය. ජාතික ක්‍රීඩා සභාවක් තිබුණේ නම් මීට වඩා පරිස්සම් වනවා නියතය. පසුගිය කාලය තුළ ජාතික ක්‍රීඩා සභාවට දැමුයේද ඇමති හෙංචයියන්මය. ඔවුන් නමට හිටියා මිස ඇමතිවරු ඔවුන්ගෙන් උපදෙස් නොගත්හ. එවැනි තත්ත්වයක්ද නැතිවාම නොවේ. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්තියක් අවශ්‍යමය.

දැන් ක්‍රිකට් පරිපාලනය ගැනද ඔහු හිතන බව කියනුයේ ක්‍රිකට් පරාජයෙන් පසුවය. තමන් කුමක් කළ යුතුදැයි ෆයිසර් මුස්තාපාට හිතාගත නොහැකි වී ඇත. එසේ නම් ක්‍රීඩාවේ හෙට දවස ගැන කවර කතාද? අඩුම තරමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය ක්‍රියාවට නංවන තැනටවත් යන්නේ නම් තව වසර පනහකින් හෝ ක්‍රීඩාවේ හොඳ ප්‍රතිඵල ලැබෙනු නියතය. ක්‍රීඩා ඇමතිවරුන්ගේ නොදන්නාකම් මෙන්ම ළාමක ක්‍රියාපිළිවෙත් නිසා ක්‍රිීඩා සංගම්හි සිටින කම්බහොරුද කිසිදු පැකිළීමකින් තොරව තම තනතුරුවලම සිටිති. ඒ අයගේ ක්‍රීඩාවන් බිමටම සමතලා වුවද මොවුන් යෙහෙන් වැජඹෙමින් රට සවාරි ගසමින් ඒවා අත් නොහැර බහිරවයන් සේ ම සිටිති. ක්‍රීඩාව ගැන ඇත්තේ කළකිරීමකි. ඒ අන් කිසිවක් නිසා නොව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියදී ඒ අය උඩට ගන්නා යාන්ත්‍රණයක් නොමැති වීම නිසාය. යහපාලනයේ ක්‍රීඩාව බලු නොවටී. එයට හරි හමන් ඇමතිවරයකු හෝ පත්කිරීමට ඔවුන්ට නොහැකිය. එබැවින් දියුණුව ගැන කවර කතාද?