රාවය

දේශපාලනය සහ කලා සංස්කෘතික වටපිටාවක් මැදින් විමුක්ති ගී කරා

දේශපාලනය සහ කලා සංස්කෘතික වටපිටාවක් මැදින් විමුක්ති ගී කරා

සුනිලා අබේසේකර: දළ පිය සටහන් (3)

පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි.

මං හිතන්නේ මා සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දු වෙන්න එක හේතුවක් වුණේ මගේ පවුලේ පසුබිම. විශේෂයෙන්ම තාත්තා. මේ ගැන කියන්න ඕන කරුණු දෙකක් තියෙනවා.

මං ගියේ බිෂොප් කොලිජියටනේ. ඒක ප්‍රභූවාදී පාසලක්. අපට හිටියා භද්‍රා ගුණතිලක කියල ගුරුවරියක්. චීනයේ දීර්ඝ කාලයක් සේවය කර තිබූ ඇය සමාජවාදිනියක්. වාමාංශිකාවක්. ඇය තමයි මගේ සිංහල ගුරුවරිය වුණේ. ඇගේ පාඩම්හි දී ඇය සමාජවාදය ගැන හුඟක් කතා කළා. මට ඇයගෙන් ලොකු බලපෑමක් ඇතිවුණා.
දෙවැනි හේතුව තමයි තාත්තා. ඔහුට විශාල දේශපාලන උනන්දුවක් තිබුණා. ඔහු මා විවිධ දේශපාලන රැස්වීම්වලට අරගෙන ගියා.

මං තවත් එකක් කියන්න ඕන. 1969-70 වසරවල මං අවුරුද්දක් ම ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටියේ. මට මෙඩිකල් ෆිල්ඞ් සර්විසස් කියන ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ හේතුවෙන් මට ලොස් ඇන්ජලීස්වල කැලිෆෝනියාවේ උසස් විද්‍යාලයකට යන්න වරම් ලැබුණා. ඒ තමයි වියට්නාම් යුද විරෝධී ව්‍යාපාරය ඇමෙරිකාවේ ඉතාම ශක්තිමක් වෙලා තිබුණ කාලෙ. නොහිතපු හරිම පුදුම විදිහකට ඇමෙරිකාවෙ දී දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට මා එහෙම පිටින් ම විවෘත වුණා.

ඒක තමයි කාලේ. මා එහේ ඉන්දෙද්දිමයි ලොස් ඇන්ජලීස් සරසවියකින් කළු ජාතික විමුක්තිවාදිනියක වූ ඇන්ජිලා ඬේවිස් දොට්ට දැම්මේ. ඒ ඇය යෙදී සිටි සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරකම් නිසා. මං අත්දැක්කා සාමාන්‍ය මිනිස්සු ඉටිපන්දම් පත්තු කරගෙන සැන්දෑයාමේ විරෝධතා පාගමන් යන හැටි, කාඞ් බෝඞ්වල සටන් පාඨ තමන්ම ලියා ගෙන. ඔවුන් වියට්නාම් යුද්ධයට විරුද්ධවයි පාරට බැස්සේ. ඒක මගේ ජීවිතයේ මං ලබපු එවැනි මුල්ම අත්දැකීම. ලංකාවේදි මං විරෝධතා පෙළපාළි දැකලා තිබුණා. ඒත් ඒවට සහභාගි වුණේ එක්කෝ වෘත්තීය සමිති සාමාජිකයෝ, නැත්නම් දේශපාලන පක්ෂවල සාමාජික සාමාජිකාවෝ. එක්සත් ජනපදයෙදි, සාමාන්‍ය වැඩ කරන ජනයා, ගෘහණියන් සිය පවුල් පිටින් යුද විරෝධී ව්‍යාපාරයේ පාගමන්වල යෙදුණා. මං නතර වෙලා සිටි නිවසේ අයත් යුද විරෝධී ව්‍යපාරයේ පා ගමන්වලට දිගට ම ගියා. ඔය විදිහට පුලුල් පදනමකින් යුතු සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයේ ප්‍රථම අත්දැකීම මං ලැබුවේ ඇමෙරිකාවේ දි වියට්නාම් යුද විරෝධී ව්‍යාපාරයෙන්.

ඉතිං ඔන්න මං ආපහු ආවට පස්සේ තාත්තා මාව එක්ක ගියා කොළඹ නව කලාගාරයේ තිබුණු ජවිපෙ රැස්වීමකට. මට මතක හැටියට මහින්ද විජේසේකර තමයි එහි කතා කළේ. පස්සේ අපි විද්‍යෝදය සරසවියේ තිබුණ එවැනි රැස්වීමකටත් ගියා. 1971 පෙබරවාරි මාසයේ හයිඞ්පිටියේ තිබුණු ජවිපෙ විශාල රැස්වීමටත් ගියා. මං ගියේ තාත්තා එක්ක. මට හරි උනන්දුවක් ඇතිවුණා. මොකද හරියට සාමාන්‍ය මිනිස්සු රැස්වීමට ඇවිල්ල හිටිය නිසා. එදා විජේවීර කතා කළාට පස්සේ තරුණ ගැහැනු ළමයි තමන්ගේ කණකර, මාල, වළලු ගලවල වේදිකාවට දුන්න. ඒක මායාවක් නෙවෙයි. ඇත්ත ගැහැනු තමන්ගේ රන් භාණ්ඩ ගලවල වේදිකාවට දුන්නා. ඔය විදිහට මං දේශපාලනය ගැන උනන්දු වෙන්න ගත්තේ මගේ තාත්තාට තිබුණු දේශපාලන උනන්දුව මැද්දෙන්. ඔහු හැම තිස්සේම මාව අරං ගියා. ඔහුට උවමනාව තිබුණා වටපිටාවේ වෙන දේවල් ගැන මට අවබෝධයක් ලබා දෙන්න.
පස්සේ කාලේ ඔහු කනස්සල්ලට පත්වෙන්න ගත්ත මං සීමාව පන්නල යනවද කියලා. හුඟක් පියවරුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ඒක. ඒත් ඔහු තමයි මාව දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට පළමුවෙන්ම විවෘත කළේ.

ඔබ මගේ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් ගැන ඇහුවනේ. ඇත්ත, මගේ ප්‍රගතිශීලී ක්‍රියාකාරකම් දිර්ඝ කාලයක් පුරා කලා සංස්කෘතික ක්ෂේත්‍රය හරහාත් සිදුවුණා. ඒ සම්බන්ධයටත් පවුල් පසුබිමෙන් තල්ලුවක් ලැබුණා.

මං පාසල් යන කාලයේ ඉඳලම නාට්‍යවල රඟපෑව. ඒ වගේම මගේ තාත්තත් මාමා වූ එච්.ඩී. සුගතපාලද සිල්වා යන දෙදෙනාම ඒ දවස්වල සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයින් විදිහට හිටිය. ඉතිං ඔවුන් නාට්‍ය බලන්න ගියා නිරන්තරයෙන්. ඒ දෙදෙනාම සිංහල නාට්‍යවේදීන් හුඟ දෙනෙක් දැන හඳුන ගෙන උන්නා. ඔය විදිහට අපි පොඩි කාලේ ඉඳලම හැදී වැඩුණේ සිංහල නාට්‍යවේදීන් හඳුනගෙන. ඔය අතරවාරෙ දවසක් හෙන්රි ජයසේන දැන ගත්ත මං රඟපාන්න ආස බව. ඔහු මට ‘ජනේලය’ වේදිකා නාට්‍යයේ රඟපාන්න ආරාධන කළා. ඒ තමයි මගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රංගනය. මේ 1968-69 කාලේ. මං එතකොට සිංහල සංස්කෘතික ක්‍රියාධරයින් හුඟ දෙනෙක් දැනගෙන හිටියා.

ඇමෙරිකා එක්සත් ජනපදයෙ වසරක් ඉගෙනගෙන ආවට පස්සේ ම ධම්ම ජාගොඩ පවත්වාගෙන ගිය රංග ශිල්ප ශාලිකාවට බැඳුණා. ඔහු ලයනල් වෙන්ට් රඟහළේ නාට්‍ය වැඩමුළු පවත්වාගෙන ගියා. මං රංග ශාලිකාව එක්ක තදින් බැඳුණා. හුඟාක් සංස්කෘතික සහ නාට්‍ය කටයුතුවල යෙදුණා. ඒ වගේම රංග ශාලිකාව හරහා මං ක්‍රමයෙන් තේරුම් ගත්තා වේදිකා නාට්‍ය දේශපාලන වශයෙන් යොදා ගන්නේ කොහොමද කියලා.

පුදුමයකට වගේ මා ජවිපෙ එක්ක වැඩ කරන්න ගත්තහම ඔවුන් කළ එක් දෙයක් වුණෙත් සංස්කෘතික කණ්ඩායමක් හදපු එක. ඒ 1978 විතර ඔවුන් පක්ෂ ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්ත කාලේ. ඔවුන්ට සමාජවාදී කලා සංගමය කියලා සංස්කෘතික සංගමයක් තිබුණා. ලයනල් බෝපගේ තමයි එහි හුඟක් ම ක්‍රියාකාරීව සිටියේ.

දවසක් ලයනල් බෝපගේයි, නන්දන මාරසිංහයි මං හම්බ වෙන්න ආවා, විමුක්ති ගී කියලා කරන්න යන ගී සංදර්ශනයක් ගැන කතා කරන්න. ඔවුන් ඇහුවා මාත් කැමැතිද කියලා ඊට එක් වෙන්න. මං ඒකපාරටම ඔව් කිව්වා. ඒ කාලේ නන්දන මාරසිංහට සංගීත ලෝකයේ සෑහෙන්න සම්බන්ධකම් තිබුණා. ඒ වගේම ඔහුට සංගීතයට ලොකු ළැදියාවකුත් තිබුණා. ඔහු රජරට සේවයේ ගුණදාස කපුගේ වගේම රෝහණ වීරසිංහ, නන්දා මාලිනී, සේන වීරසේකර වගේ අය දැන සිටියා. අපි මේ හැම දෙනෙක්ම හමුවෙන්න ගියා.
සේන වීරසේකර, අප මුලින්ම විමුක්ති ගී සංදර්ශනය කරන කොට ගොඩාක් උදව් කළා. අප ඔවුන්ට කිව්වා පුලුවන් නම් අපට ගී තනු කිහිපයක් නිර්මාණය කර දෙන්නැයි කියලා. සංගීත කණ්ඩායම හදා ගන්න සේන වීරසේකර හුඟාක් සංගීතඥයින් එක්ක අපට සම්බන්ධකම් හදල දුන්නා. නන්දා මාලිනී සති පූජා දරසෑයේ ගීතයේ තනුව හදලා දුන්නා. ඒ ගීය ගැයුවේ මං. ඔබ දන්නවානේ ඒ දවස්වල හැම කෙනෙක්ම වගේ ජවිපෙ ගැන බැලුවේ සාධනීය විදිහට බව. හැමෝටම උවමනා වුණා අපට උදව් කරන්න. විමුක්ති ගී ප්‍රසංග අදහසෙත් නවතාවක් තිබුණා. සංස්කෘතික ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඒ අදහසට සහාය දුන්නා.

ලයනල් බෝපගේයි නන්දන මාරසිංහයි හරිම අපූරු පුද්ගලයන් දෙන්නෙක්. ඔවුන් දැන සිටියා අනෙක් අයට කතා කරන්න ඕන හැටි. ඒ වගේම සිවිල් සමාජයේ අය එක්ක කටයුතු කරන්න ඕන හැටි. ඔවුන් දේශපාලනය ගැන බරට සැරට කතා කළේ නැහැ. කතා කළේ ජනතා ව්‍යාපාරයක්, සාධාරණත්වය සහ ජනතාවගේ අරගලයට දායක වීම සඳහා සංගීත වැඩ සටහනක් කරන්න. ඔන්න ඔය විදිහට තමයි විමුක්ති ගී සංදර්ශනය සඳහා සහාය ගොඩ නඟා ගත්තේ.

මේ සඳහා සූදානම් වෙන්න ලයනල් බෝපගේ චිලියේ විප්ලවීය ගායක වික්ටර් හාරා සහ එවැනි සංගීත කණ්ඩායම් ගීත වලට එක දිගට සවන් දුන්න. මං හිතන්නේ අලුත් අදහස් සොයා ගන්න ඔහු ගීත සෑහෙන ගණනකට සවන් දෙන්න ඇති. මා ළඟත් වික්ටර් හාරාගේ ගී තැටි ගණනාවක් තිබුණ. ඒවට සවන් දුන්නට පස්සේ බෝපගේ කිව්ව අපි මේ තනුවලට අපේ වචන දාල ගමු කියලා. ඇත්තටම අප ඒක තමයි කළේ.

අප මේ සූදානම්වන කාලය අතරතුර ම ඉන්දික ගුණවර්ධන හමුවෙන්නත් ගියා. ඔහු ළඟ විවිධාකාර විදේශීය විප්ලවවාදී ගී තැටි විශාල ප්‍රමාණයක් තිබුණා. ඔහු අපට ඒ තැටි දුන්නා. ඒ එක්කම බෝපගේ කළ තවත් වැදගත් කාර්යයක් වුණේ ඉන්ටනැෂනලේ නොහොත් ජාත්‍යන්තර නිර්ධන පංති ගීතය සිංහලට පරිවර්තනය කරපු එක.

මට හරියට මතක නැහැ කවදද අප මුල්ම විමුක්ති ගී සංදර්ශනය කළේ කියලා. මං හිතන්නේ විවෘත වේදිකාවක හයිඞ් පිටියෙ හරි වෙන තැනක හරි. අප, ගායක ගායිකාවෝ හතර පස් දෙනයි හිටියේ. මං, පද්මා මාරසිංහ, දොස්තර අතුල සුමතිපාලගේ සහෝදරී, තවත් පිරිමි ගායකයෝ දෙතුන් දෙනෙක් උන්නා. අප ඔක්කොම ජවිපෙට මොන විදිහකට හරි සම්බන්ධ අය. සම්බන්ධ නැති කව්රුත් හිටියෙ නැහැ. ගිටාර් වාදනයට පමණක් පිට කෙනෙක් හිටිය. මාරසිංහ තබ්ලාව වාදනය කළා. සිතාර් වාදනය ජයතිලක. කණ්ණාඩි ජයතිලක වගේ තවත් අයත් හිටියා.

ඒ ප්‍රථම සංදර්ශනය ඉතාම සාර්ථක වුණා. ඒ වෙන කොට අපට වේශ නිරූපණ ඇඳුමක් ගැන අදහසක් තිබුණෙ නැහැ. අප හැමෝම ඇන්දේ රතු වාටියක් තිබුණ සුදු සාරි. පස්සේ පස්සේ කටයුතු වඩාත් සංවිධානාත්මක වුණා. ලයනල් බෝපගේ කාට හරි කියල ඇඳුමක් නිර්මාණය කරගෙන ආවා. ඒ දුඹුරු පාට සරොම් සහ කහපාට කමිස. කමිසයේ තරු එම්බ්‍රොයිඩර් කරලා තිබුණා. ඔන්න ඔහොමයි අපට සංදර්ශන ඇඳුමක් ලැබුණේ.

අප, විමුක්ති ගී සංදර්ශනය අරගෙන රටේ හැම තැනකටම වගේ ගියා. අපේ සංදර්ශනය අහන්න ජනයා පොදිකෑවා. සංදර්ශනය අවසන් වුණාම හැමවිටම විජේවීර කතාවක් පැවැත්තුවා.

මට මේ අත්දැකීම හරිම වැදගත් එකක් වුණා. මොකද එතනදි තමයි මට මුලින්ම මහජන ප්‍රේක්ෂක පිරිසක් හමුවුණේ. දහස් ගණන් ජනයා ආව සංගීතය රස විඳින්න. ඇත්ත, ඒක කලා කෘතියක් වශයෙන් උසස් ගනයේ සංදර්ශනයක් නොවෙයි. ඒත් එය බොහෝ මිනිසුන්ට ජීව ගුණයක් දුන්න. ඒ වගේම ජනයා විමුක්ති ගී ප්‍රශංසාත්මකව පිළිගත්තා.
මා දන්නා තරමින් මෙවැනි සංදර්ශනයක් කවර හෝ ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව එයයි. ඒකත් වැදගත්. ඒ වගේම එහි ගැයුණු හැම ගීයක ම හැම වචනක ම තේරුමක් තිබුණ. සති පූජා දර සෑයේ ස්ත්‍රීන් ගැන. වේලුපිල්ලේ අයියේ වතුකම්කරු ජනයා ගැන.

උතුරු කොනේ සිංහල දෙමළ ජනයා ගැන. නන්දන මාරසිංහගේ ඒ ගීය පස්සේ ගුණදාස කපුගේ ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් කළා. කපුගේ අපට උදව් කළත් විමුක්ති ගී සංදර්ශනයට සම්බන්ධ වුණේ නැහැ.

ජවිපෙ සාමාජික සාමාජිකාවන් හිරගෙවල්වලදී ඊටත් වඩා වනගතව සිටිය දී ගැයූ ගීත ගණනාවක් ම තිබුණා. විමුක්තියේ රතු උදාර ඉන් එකක්. එතකොට උයන්ගොඩ ලියූ ගීය සදා සමරමු සෝයුරෝ තිබුණා. ඒ වන විට ජවිපෙ උයන්ගොඩ එක්ක දේශපාලන වශයෙන් විරසක වෙලා තරහෙන් හිටියේ. ඒ නිසා එම ගීතයේ වචන දෙක තුනක් වෙනස් කරලා ඒක උයන්ගොඩගේ ගීය නොවයි කියල ගායනා කළා. විමුක්ති ගී සරණියේ එවැනි ගීත පහ හයක් තිබුණා. ජවිපෙ සාමාජික සාමාජිකාවන්ට ඒ ගීතවලට ලොකු ආත්මීය බැඳීමක් තිබුණා.
අප ඉවත් වුණාට පස්සේ, ජවිපෙ වෙනත් ගීත ඇතුල් කරල විමුක්ති ගී සරණිය වෙනස් කළා. මං හිතන්නේ මුල් විමුක්ති ගී සරණිය නිර්මාණය වුණේ ලයනල් හා මාරසිංහට එය කරන්නේ කොහොම ද කියල අදහසක් තිබුණ නිසා. ඔවුන් දැන සිටියා එවැනි දෙයක් සාර්ථක වෙන්න නම් සංගීතයේ අගය දන්නා කණ්ඩායමක් සිටිය යුතුයි කියලා.

ඔය කියන 1976 – 1978 කාලෙ මං සංගීතඥ ප්‍රේමසිරි කේමදාසත් එක්කත් වැඩ කරමින් ගී ගයමිනුයි උන්නේ. මං කියපු සිනමා ගීත දෙකක් තිබුණා. එකක් ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටයට. අනෙක ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් විත්‍රපටයට. ඒ ගීත දෙක ගුවන් විදුලියේ ජනප්‍රිය වූ නිසා ඒ දවස්වල මං සෑහෙන්න ප්‍රසිද්ධයි. මේ කාලයේම මා දෙතුන් වතාවක් ලයනල් බෝපගේ, කේමදාස ළගට එක්ක ගියා. ඇත්ත, කේමදාස එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. ඔහු කිසිම උනන්දුවක් පෙන්නුවේ නැහැ විමුක්ති ගී සරණිය වගේ දේකට. ඔහුට කැමැත්ත තිබුණේ ඔහුගේම දෙයක් කරන්න.

කේමදාසව ඔහුගේ සියලු සංගීත සිම්පනි පැවැත්වූවේ කාන්තා විද්‍යාලයෙනේ. ඔහු වැඩ කළේ කලම්බු පිලිමොනික් ඔකෙස්ට්‍රා සමඟ විතරයි. ඒක ඉහළ පන්තියේ වැඩක්. ඒත් දවසක් මට පුදුම හිතුණා ලයනල් බෝපගේ එවැනි සිම්පනියක් නැරඹීමට කාන්තා විද්‍යාලයට විජේවීර කැඳවා ගෙන ආවහම. ඔවුන් ටිකට් අරං ඇවිත් හිටියේ. බෝපගේ සෑහෙන්න මහන්සි ගත්තා විජේවිරට සංගීතය තේරුම් ගන්න වන්න. ඒකයි මං කියන්නේ විමුක්ති ගී සරණිය ඇති වීමට බෝපගේ තීරණාත්මකයි කියලා. ඉතිං බෝපගේ ජවිපෙන් ඉවත් වුණාට පස්සේ විමුක්ති ගී සරණිය නිකම් ම මැරිල ගියා.

කොහොම වුණත් මං හිතන්නේ සංදර්ශනයෙන් පස්සේ ඇවිල්ල අපට කතා කරපු ජනයා දිහා බැලුවම පෙනුණා විමුක්ති ග’ වෙනසකට මඟ පෑදු බව. ඔවුන් කතා කළේ සංගීතය ගැන. තරුණ පිරිස්වලට එහි ලොකු ආකර්ශනයක් තිබුණා.

ඒ දවස්වල ජවිපෙ කතා කළේ දේශපාලනය සහ අරගලය ගැන පමණක් නොවෙයි. සංස්කෘතිය, සංගීතය සහ සංගීතය යොදා ගැනීම ගැන. එක් අවස්ථාවක දී සමාජවාදී කලා සංගමයට ඉතා පුලුල් සාමාජික පදනමක් තිබුණා. ජවිපෙ පිරිස් වික්ටර් හාරා ගැන, චිලී රටේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය ගැන, ජාත්‍යන්තර කම්කරු ගීතය වැනි දේ ගැන දැන ගත්ත. ඒ විදිහට එය ජාත්‍යන්තරවාදය ගැන ඉගෙනීමක් බවට පත් වුණා. ඒ වගේ ම විවිධ රටවල ජනයා සංස්කෘතිය පාවිච්චි කරන විධි ගැන. ඒ අතින් ගත්තහම විමුක්ති ගී ජවිපෙ ධාරව ඇතුළෙ එදා ලොකු වෙනසක් ඇති කළා කියලයි මා හිතන්නේ.