සමාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම

යුද සමයේ සිදුවීම්වලට හමුදාව හා එල්ටීටීඊයට පොදු සමාවක් දිය යුතුය යනුවෙන් ඇමති චම්පික රණවක කළ යෝජනාව සැලකිල්ලට ගතයුත්තකි. මෙතෙක් කල් රණවක වැනි ජාතිකවාදී දේශපාලන මතයක් නියෝජනය කළ ධාරාවේ බොහෝ දෙනෙක් රජයේ හමුදාව පිළිබඳ ළැදියාවන් පෙරදැරිව සිටි තත්ත්වය රණවකගේ ප්‍රකාශයෙන් යම් ප්‍රමාණයකට ඛණ්ඩනය වෙයි. රට ගමන් කළයුත්තේ ආපස්සට නොව මෙතැන් සිට ඉදිරියට බැවින් චම්පික පළ කළ අදහස කෙරෙහි රටේ නායක දෙපළගේ අවධානය යොමුවීම වැදගත්ය. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව දිගුකාලීන වර්ගවාදී අරගලය සමනය කරගත්තේ එකිනෙකාට සමාව දීමේ ක්‍රියාපිළිවෙතකිනි. එවැනි සාර සමාජ ක්‍රියාවලියකට පදනම දැමීමට මැන්ඩෙලා, ටුටූ වැනි විශිෂ්ටයන් ලංකාවට නැතත් එම උත්තුංග ආදර්ශය පෙරදැරිව ක්‍රියාකිරීමට මැන්ඩෙලා කෙනකු, ටුටූ කෙනකු නැති එක බාධාවක් නොකර ගත යුතුය. දකුණු අප්‍රිකාව මෙම විෂයේදී නව පරමාදර්ශ ගොඩනැගුවේ ආසන්නයේ කැපී පෙනෙන පූර්වාදර්ශ රහිතවය. සිංහල දෙමළ සියලු ජන හදවත් වල සමාව දීමේ ගුණය බලපවත්වන්නේ නම් මැන්ඩෙලාලා, ටූටූලා බිහිකරන චින්තනය එතුළින් උපදිනු ඇත.

චම්පික මෙහිදී ජනපතිගෙන්, අගමැතිගෙන් මෙන්ම දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රජයේ ආරක්ෂක අංශ, ඔවුන්ට සහයෝගය දුන් සන්නද්ධ කණ්ඩායම්, එල්ටීටීඊය හා එසමයෙහි ක්‍රියාකාරී වූ වෙනත් දෙමළ සංවිධානවලටත් සමාව දෙන ලෙසය. එය වැදගත් කාරණයක් වන නමුත් වඩා තීරණාත්මක වන්නේ මිනිසුන් වශයෙන් රටේ සියල්ලන් එකිනෙකා කෙරෙහි හෘදයාංගම වීමය. ඒ සමගම එම ඉල්ලීම කරන ඇමති රණවකත් මෙතැන් සිට ඔහුගේ පැරණි සිංහලෝත්තමවාදයෙන් හරයාත්මකව විතැන් වී බහුත්වවාදී ශික්ෂාවක් පිළිපැදිය යුතුය. එසේ කීමට සිදුව තිබෙන්නේ ඔහු මෙරට බුර බුරා නැගුණු ජාතිවාදයට එක් කලෙක මතවාදී තලයේ පසුබිම සැකසුවකු වන නිසාය. දැනට ඔහු එම ස්ථාවරයෙහි යම් වෙනසක් ප්‍රදර්ශනය කරන නමුත් එය නිල් බාල්දියෙහි වැටුණු සත්වයාගේ කෙටිකාලීන රංගනය සේ නොවිය යුතුය.

ඇමතිවරයා මෙහිදී තවත් වැදගත් අදහසක් පළකර තිබුණි. එය නම් යුද පසුබිම යොදා ගනිමින් පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමේ අරමුණින් අපරාධවල නියැලුණු ආරක්ෂක අංශවල හෝ එල්ටීටීඊ සාමාජිකයන් නීතිය හමුවට පමුණුවා ඔවුන් සම්බන්ධයෙන් නීති කෘත්‍ය ක්‍රියාත්මක කළ යුතු බවය. එම අදහස ඉතාම නිවැරදිය. ආරක්ෂක අංශ හා එල්ටීටීඊය පුද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා කරන ලද බව පෙනෙන කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා නීති ක්‍රියාමාර්ගවලට යෑම අත්‍යවශ්‍යය. වින්දිතයන් එම වින්දිතභාවයෙන් ගලවා ගැනීමට ඔවුන් මැරෙන තුරුම අපට නොහැකි වුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුළ සිදුවූ අසාධාරණයන්ට එරෙහිව යුක්තිය පසිඳලීමක් අත්‍යවශ්‍යය. සමහරවිට ඇමති රණවක මෙම මාතෘකාව කරළියට ගන්නට ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය සැලකිල්ලට ගෙන විය යුතුය. ආණ්ඩුවේ අන් කිසිවෙක් ඒ ගැන කට නාරිද්දී රණවක වෙනත් ස්වරූපයකින් හෝ මූලික ප්‍රශ්නයට අදාළව මතයක් පළකිරීම වැදගත් කාරණයකි. එහෙත් ලංකාවේ සෑමවිටම ජනාධිපති ධුරයට පත්වන තැනැත්තා රටේ බලපවත්නා ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීම නැතහොත් යටත්වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්වී ඇත. ත්‍රිකුණාමලය ගන්සයිඞ් සිද්ධියේ වරදකරුවන්ට දඬුවම් කිරීමට ගියහොත් තමා ආරක්ෂක අංශවලට එරෙහිව වැඩ කරන නායකයකු ලෙස විපක්ෂය හුවා දැක්වීමට පුළුවන් යන අතාර්කික බිය ජනපති තුළ තිබේ. මෙය ඉදිරියට එන සෑම නායකයකුම පෙළන බිල්ලකු බවට පත් වුවහොත් ආරක්ෂක හමුදාවල සාමාජිකයන් කරන අනීතික කටයුත්තකට එරෙහිවවත් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. දැනටත් සිදුව ඇත්තේ එය මිස අනෙකක් නොවේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩහැරියාට ජනපතිට කිසිවක් වන්නේ නැත. ජනපති අපකීර්තියට ලක්වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරියේ නැත්නම්ය. ආරක්ෂක හමුදාවල ඇතැම් නිලධාරීන් සිදුකර තිබෙන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් රජවන්නේ අවනීතිය බව ජනපතිට ඒත්තු ගැන්වීමට ඇමති රණවකට හැකි නම් එය ඔහු කළ සමාවදීමේ යෝජනාවටත් වඩා සප්‍රයෝජනවත්ය.

මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන් අපරාධවල නියැලී තිබෙන බව දැන් අන්තර්ජාතිකව පවා ප්‍රචලිත කාරණයකි. ඒ ගැන ජනපති අතීසාරයට අමුඩ ගසනවා වැනි පිළිතුරු සෙව්වාට ඒවා පළදෙන්නේ නැත. ඒ කිසිවකුට සමාවක් නොදිය යුතු බවත් නීති ප්‍රකාරව ක්‍රියා කළයුතු බවත් අවධාරණය කළ යුතු වෙයි. රණවක කියන සමාව වලංගු වියයුත්තේ සටන් බිම තුළ සිදුවූ ක්‍රියාකාරකම් උදෙසා පමණි.