රාවය

මහින්දගේ තේරීම ශෂීන්ද්‍ර රාජපක්ෂද?

මහින්දගේ තේරීම ශෂීන්ද්‍ර රාජපක්ෂද?

මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය මේ මොහොතේ ටිකක් පරණ විය හැක. එහෙත් අමතක කළයුතු තරම් පැරණි නැති බව කිව යුතුය. රාජපක්ෂවාදීන්ට අතිසාර්ථක සංචාරයක් වන එය රාජපක්ෂ විරෝධීන්ට අසාර්ථක සංචාරයකි. මේ ලංකාවේ දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයය.

එහෙත් ඒ දෙස වෙනම තැනක සිට නිරීක්ෂණය කරන විට මහින්දගේ ගමන ප්‍රබල යැයි හැඟේ. එය දේශපාලනිකව ඔහු රඳවාගෙන සිටින ප්‍රතිරූපය ලංකාවට පමණක් නොව, ඉන්දියාවටත් වැදගත් බව සිතිය හැකි තරම්ය. මහින්දගේ ඉන්දීය ගමනේ ඇති විශේෂත්වය ඔහු ඒ සඳහා ප්‍රධාන චරිතයක් ලෙස නාමල් රාජපක්ෂ රැගෙන යෑමය. නාමල් සංචාරයට සහභාගි වන්නේද මහින්දගේ අනාගතය ලෙසටමය. සුපුරුදු සාටකයද පැළඳය. පොදුජන පෙරමුණේ ලකුණ පොහොට්ටුව නොව සාටකය නොකළේ මන්දැයි සිතේ. එය හාස්‍යයට වර නැගුණකි.

ඉන්දීය ගමන
මහින්ද හා නාමල් රාජපක්ෂ ඉන්දියාව බලා පිටත් වූයේ නවදිල්ලි නුවර පිහිටි සම්මන්ත්‍රණයක් ඇමතීමටය. එහෙත් ඔහු ලංකාවට එනවිට එය ලොකු දේශපාලන අරුතක් ඇති ගමනක් විය. කුහක මානයෙන් නොබලන්නේ නම් මහින්ද ඉන්දීයාවේදී ලකුණු දාගත් බව සැබෑය. අපිට මෙරට දේශපාලකයන් ගැන අමුතු ආලයක් නැත. ඒ නිසාම කා ගැන වුව දැනෙන අවංක දේ කීමේ දෙගිඩියාවක්ද නැත. මහින්ද මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහුගේ හිටපු ජනපතිකම තවමත් ලොකු තනතුරක් වන්නේ මෙරටටය. එහෙත් ඉන්දියාවේදී ඔහු පෙන්වන චිත්‍රය හරහා පැහැදිලි වනුයේ ඔහු තවමත් බලසම්පන්න චරිතයක් බවය. 2015 ජනවාරි 8 වැනිදා විශාල ජන අප්‍රසාදයක් ඇතිව පරාජය වන මහින්ද වසර තුනහමාරක් ගෙවෙන තැන නැවත යෝධයකු සේ නැගී සිටිනුයේ කෙසේද? ආණ්ඩු මාරුවක ලකුණු පේනවිට එයට දින ළං වන විට මෙරට පමණක් නොව ඉන්දීය දේශපාලනය වුව වෙනස් වී ඇති බව පැහැදිලිය.

මහින්දගේ පරාජය පිටුපස ඉන්දියාවද සිටි බව පසුගිය කාලයේ කතාබහ විය. රාජපක්ෂවරුන්ගේ චීන සබඳතා ඉන්දියාව තිගැස්මට පත් කළ බවත්, ඒ නිසා රාජපක්ෂ බලයේ සිටීම ඉන්දීය ජාතික ආරක්ෂාවටද අභියෝගයක් වන බැවින් රාජපක්ෂ පැරදවීමේ යටතේ ඉන්දියාව පෙරමුණ ගත් බව දේශපාලන විචාරකයන්ගේ අදහස විය. මේ අදහස් මේ දිනවල යහපාලන දේශපාලන විචාරකයන්ගෙන්ම පිටවේ. එදා මහින්ද පරාජය කිරීම ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල් කළ කුමන්ත්‍රණයක් බව රාජපක්ෂවාදීන් කියන විට මෙය සුපිරිසිදු ජනතා ජයග්‍රහණයක් ලෙස උදම් වූ යහපාලන චින්තකයෝ අද මහින්දගේ ඉන්දීය ගමන දෙස බලා එදා රාජපක්ෂවාදීන් කී දේ අනුමත කරති. කාලෙන් කාලයට දේශපාලනය හැසිරෙන හැටි අපූරුය.

පොරොන්දු සහ ඉදිරි ගමන
මහින්දගේ ඉන්දීය සංචාරයේ වැදගත්ම කරුණු අතර ඔහු මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාව ලබාදීමට කිසිදු විරෝධයක් නැති බව අගමැති මෝදිට ප්‍රකාශ කළ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරයකු ඉදිරිපත් වන බවද එරට මාධ්‍ය වාර්තා කොට තිබුණි. ඒ රාජපක්ෂ කී දේ අනුවය. ඔහුගේ තවමත් මුල්ම විශ්වාසය ඔහුය. දෙවැනි විශ්වාසය නාමල්ය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ගැටය ලිහා ගතහොත් මහින්ද නැවත ඉල්ලනු නියතය. ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වන මහින්ද වුව තවමත් ඒ පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන බව පැහැදිලිය. ජී.එල්. පීරිස් කිසිදු බාධාවක් නැතැයි කීවද මහින්ද තවමත් එය එලෙසට නොගන්නා බව ඉන් පැහැදිලිය. අනෙක් කරුණ නම් තමාට ඒ තැන නොලැබෙන්නේ නම් දෙවැනි විකල්පයට මහින්දට තිබී ඇත්තේ තම ලොකු පුතා වන නාමල් රාජපක්ෂය. එයට ඇති බාධාවද මහින්ද ඉන්දියාවේදීම හෙළි කළේ ජනපතිකමට ඉල්ලීමට තිබූ වයස අවුරුදු 30 සීමාව 35 කිරීම නිසා නාමල්ට ඒ දොරගුළු වැහුණු බවය. මෙය මෙරට යහපාලන දේශපාලන විචාරකයන්ට අපූරු පුවතකි. තාත්තා නැත්නම් පුතා. මෙය අලුත් දෙයක්ද? චන්ද්‍රිකා කරළියට ගෙන එනවිට තිබූ උද්යෝගය කුමක්ද? බණ්ඩාරනායකලා නොවේද? ඉන්දියාවට මෙය අලුත්ද? අදටත් ගාන්ධිලා මත නැහෙන ඔවුන්ට රාජපක්ෂලා ඒම අරුමයක්ද? රනිල් වුව හීනියට රුවන් විජේවර්ධනලා ගොඩනගන්නේ පවුලේ ඇම්මට නොවේද? සජිත් මෙන්ම නවීන් දඟලනුයේද යටගියාවේ පිය උරුමය පෙන්වමින් නොවේද? ඒ අතින් මහින්ද මෙතනදී අවංකය. තමා ඇරුණු කොට ඔහුගේ දෙවැනි තේරීම තම පුතාය.

ජය පැරදුම කෙසේ වෙතත් පොදුජන පෙරමුණට ඇති ඡන්ද බලය මහින්දය. එසේ නම් මහින්ද තම ඡන්ද බලය නිකරුණේ පූජා කිරීමට සූදානම් නැත. ඔහු ඒ සඳහා කවුරු හෝ බලයට ගෙන ඒමට ලෑස්ති නැත. ඔහු ඒ වරම දෙන්නේ කාට වුව ඔහු නැවත මහින්දට අනුව නැටිය යුතුය. රූකඩයක් විය යුතුය. නාමල් යනු මහින්ද නැවත ජනපති වීමමය. ඒ නිසා මහින්දට හැම අතින්ම ඇති වඩා විශ්වාසවන්තයා ඔහුය. ඒ බව ඔහු විවෘතවම කියන අතර ඔහුට තරග කළ නොහැකි බවද කියන්නේය.

එවන් පසුබිමක දේශපාලන පොර පිටිය නිර්මාණය කරන අයට මෙසේ ඇසිය හැකිය. පොදු ජන පෙරමුණේ කොතරම් ප්‍රබලයන් වේද? ඔවුන් සිටියදී නාමල්ට දීම උචිතද? විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනික තරුණ ජවයන්ට ඒ තැන නොදී නාමල්ට දෙන්නට තරම් නාමල් ඒ අයට වඩා ප්‍රබලවන්නේ කෙසේද? මේවා කෙටවීමට කියන කතා නිසා අවුලක් නැතත් නිකමට අවංකව කියන කතා ලෙස ගතහොත් සැබැවින්ම එහි ඇත්තක් තිබේද? අපට කීමට තිබෙන ඇත්ත නම් නාමල් ඉදිරියේ විමල් සහ ගම්මන්පිල සිල්ලර බවය. විමල් මෙන්ම ගම්මන්පිලද අද පොරවල් වූයේ රාජපක්ෂලාට හොරණෑ පිඹලාය. විමල් මෙන්ම ගම්මන්පිල රාජපක්ෂ සරණ නොගියේ නම් ඡන්ද ගනිත්ද? රාජපක්ෂගේ පිහිටෙන් දේශපාලනයේ ඉහළට ගොස් සුර සැප විඳින මේ අය රාජපක්ෂලාගේ මෙහෙකරුවන්ය. නාමල්ට නොදී ඔවුන් සුදුසු නැද්දැයි ඇසීමම විහිළුවක් නොවේද? ඒ ප්‍රශ්නය ඔවුන් දෙපළ හීනෙන්වත් නොඅසනු නියතය. පසුගිය කාලයේ බොහෝ ඇමැත්තෝ මහින්ද ඉදිරියේ නොව නාමල් ඉදිරියේද දණ නැමූහ. ඒ නිසා රාජපක්ෂගෙන් කවුරු හෝ ගොඩ යෑමට උත්සාහ කරනවා නම් ඒ තුළ පළමු තැන ඇත්තේ නාමල්ම බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ බව මහින්ද කීම අවංකය.

සැඟවුණු අමුත්තා
තමන්ටත් තරග කළ නොහැකි නම්, තම පුතාටත් ඒ තැන අහිමි නම්, ඊළඟට ඇති විකල්පය ලෙස මහින්ද කියනුයේ රාජපක්ෂ සහෝදරයා ඉදිරිපත් වනු ඇති බවය. රාජපක්ෂ සහෝදරයන් තිදෙනෙක් ඇති නිසා දැන් සැවොම කරනුයේ සැඟවුණු අමුත්තා සෙවීමය. ඒ ගෝඨාද, බැසිල්ද, චමල්ද යන්නය.

රාජපක්ෂ
කාට වුව පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේ නම් ඔහු රාජපක්ෂ කෙනෙක් විය යුතුය. එය සත්‍යයකි. එය පසෙකලා නිකමට හිතන්න ජනපති ආරක්ෂක විමල් හෝ ගම්මන්පිල කියා මහින්ද කීවද ජනතාව එකඟ වේද? වාසු හෝ දිනේෂ් වුවද වෙනසක් වේද? ඒ අයත් ඒ බව දනිති. ඔවුහුද කවුරු වුව රාජපක්ෂලාට දරදිය අදිති. එසේ නොකර ඔවුන්ටද පැවැත්මක් නැත. මේ සැම පවතින්න නම් රාජපක්ෂලා සිටිය යුතුමය. රාජපක්ෂලා අහිමි වුවහොත් මේ සැම අගාධයේය. එසේ කියා මහින්ද ශිරන්තිව ඒ තැනට නොදාන බව පැහැදිලිය. ඔහු ඒ තරම් ළාමක දේශපාලකයකු නොවේ.

යහපාලනයේ දිනෙන් දින සිදුවන දුර්වලතා නිසා මහින්ද ප්‍රතිරූපය දිනෙන් දින ශක්තිමත් විය. මහින්ද ඉන්දියාවට මත්තල දීමට එකඟයි කියන විට විනිවිදභාවයෙන් තොරව ගසන සිංගප්පූරු ගිවිසුමට වඩා එය අවංක නැද්ද කියා කෙනකුට ඇසිය නොහැකිද? අපි කැමති වුවත් අකමැති වුවත් මහින්දට මේ රටේ ලොකු ප්‍රසාදයක් ඇත. දැනට අනෙක් පාර්ශ්වවලට ඇති එකම සහනය ඔහුට තරග වැදීමට නොහැකිවීමය. යම් බාධාවක් නැතිව ඔහු තරග කළහොත් ඔහු දිනනු ඇත. උතුරේ ඡන්ද වුව ඉන්දීය බලපෑම යටතේ හෝ ඔහු නම්මා ගනු ඇත. එහෙත් දැන් ප්‍රශ්නය එය නොවේ. ඔහු වෙනුවට ඔහු දමන තරගකරුවාට මුහුණදීමය. එහිදී ඔහුද පරිස්සම් සහගතය. එනම් තරගකරුවා ඔහු අබිබවා නොයෑමය. ඔහු දමන තරගකරුවා කවුරු වුව නැවත ඔහුට බලය ලබාගැනීමට උපකාර කරන්නකු විය යුතුය. ඒ අනුව බලන කල අද වඩා අමාරුවේ වැටී ඇත්තේ මහින්දය. එනම් කෙනකු රජකරවීමේ බලය ඔහු සතුය. එහි අනිටු ප්‍රතිඵලය ලෙස තමාගේ බෙල්ල ගසා යනු ඇත්ද යන විචිකිච්ඡාවද ඔහු තුළ පවතී. දැන් ඔහුට ඇත්තේ උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා විසිකරන්නත් බැරි ප්‍රශ්නයකි. ගෝඨාභය තමා යටතේ වුව ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කළ පිළිවෙත ගැන සිතන මහින්ද ඔහුට සම්පූර්ණ බලය දුන් විට අත්වන ඉරණම ගැන සිතනවා විය හැක. බැසිල් වුව පුටුවෙහි ඉඳගතහොත් තත්ත්වය හිතන තරම් පහසු නැතිවිය හැක. එසේ නම් එතැන චමල්ටද? රාජපක්ෂ සැම එකය. ඒ බව මුලින්ම ලියා ඇත. රාජපක්ෂ කවුරු ආවද රාජපක්ෂලාගේම පාලනයක් වනු ඇත. එහෙත් මෙහි ඇත්තේ නැවත මහින්දටම බලයට ඇති කෑදරකමය. ඔහු දැන් එය සහෝදරයකුට වුව දෙන්නට අකමැතිය. ඔහු සතු ඡන්ද බලය නිසා ඒ බලයෙන් කාව හෝ රජ කරන්නේ නම් එහි බලය තමන්ට ඕනෑය කියන තැන ඔහු සිටී. ගෝඨාට හෝ බැසිල්ට ඒ තැන දුන්නද මහින්ද අවලංගු වන්නේ නැත. එහෙත් මහින්ද බලාපොරොත්තු වන සියල්ල නොලැබෙන බවද ස්ථිරය. ඒ නිසා ඔහු ඒ තැනට දාන්නේ කවුද යන පැනය දිවා රෑ කල්පනා කරනවා නියතය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ
එසේ නම් මහින්දට රාජපක්ෂලා අතර ඇති විශ්වාසවන්තයා ශෂීන්ද්‍ර රාජපක්ෂ බව හැඟීමය. දේවාල ගම් පනත පවා ඔහුට අවැසි ලෙස වෙනස් කළ මහින්ද ඔහුගේ අනාගතය ගොඩ දැම්මේ තම පුතකුට සලකන ගාණටය. ඒ බැඳීම ඔහු තුළත් එලෙසම ඇති බව එකල කතාවලින් පැහැදිලිය. අද කරළියේ නැති එහෙත් අවැසි නම් නාමල්ට සමානවම මහින්දට අවැසි ලෙස පාවිච්චි කළ හැකි තුරුම්පුව ශෂේන්ද්‍ර රාජපක්ෂ බව අපගේ හැඟීමය. රාජපක්ෂ සහෝදරයන්ට වඩා මහින්ද ඔහු කෙරෙහි විශ්වාස කරන බව සිතිය හැකිය. රාජපක්ෂ සහෝදරයන් අතර සැමගේ තේරීම චමල් නම් මහින්ද චමල්ට වඩා ඉදිරියට දැමිය හැකි චරිතය ලෙස ඔහුගේ පුතා පිළිගන්නවා ඇත. දේශපාලනයේ අනාවැකි කිව නොහැකිය. එහෙත් රාජපක්ෂ කෙනෙක්ම සොයන්නේ නම් මහින්දගේ විකල්පය එය විය හැක. එය උපකල්පනයක් පමණි. කෙසේ වෙතත් වඩා වැදගත් වී ඇත්තේ යහපාලන අය දේශපාලනිකව ඉදිරියේදී දමන තුරුම්පුව නොව මහින්ද දමන තුරුම්පුවයි. සියල්ල තීරණය වන්නේ එතැන් සිටය. එහෙත් මෙවර එය අවසානය දක්වා මහින්ද සඟවන බව පැහැදිලිය. තරග කරනුයේ ඔහු නොවුණහොත් එය පොදු අපේක්ෂකයා තරම් සැඟවුණු අමුත්තෙක් වනු ඇත.