මට දේශපාලනයකුත් නෑ. පක්ෂයකුත් නෑ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

විභජ්ජවාදී ආභිධාර්මික සම්භාෂණය ලෙසින් මහා සංඝයාගේ අලුත් පෙළගැස්මක් දකින්නට ලැබෙනවා. ඔබවහන්සේත් දැකගන්නට ලැබෙන මේ අලුත් වේදිකාව කුමක් සඳහාද ?

පහුගිය කාල වකවානුව පුරා සෙමින් සෙමින් සෙමින් ජනතාව අතරට විකෘති ධර්ම අර්ථකථන අරගෙන ගිය පිරිස් හිටියා. ගාල්ල, වඳුරඹ සිරිවර්ධන මහත්තයා ‘සිරිවර්ධන බුදුන්’ ලෙසින් පෙනී සිටින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. විවිධ ප්‍රදේශවල රහතුන් බිහිවෙලා හිටියා. කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවන්ගේ වැඩපිළිවෙළ ඇතුළේ, ඒ බෝධිඥාණ සභාව ත්‍රිපිටකයෙන් එක පිටකයක් (අභිධර්ම පිටකය) ප්‍රතික්ෂේප කළා. පාංශුකූල කිරීම, පිරිත් දේශනා ආදී නොයෙක් පූජා චාරිත්‍ර විධි ප්‍රතික්ෂේප කළා. ඒ හරහා ඔවුන් ජනතාව සහ ආගම අතර තිබෙන සම්බන්ධතාව බිඳදාන්න උත්සාහ කළා. ඒත් එක්කම අපි දැක්කා බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේ කියලා අදහසක් ඉදිරිපත් කරලා, ඒ ගැන පොත් ලියලා සමාජ ගත කළා. මහා වංශය කියා කියන්නේ බොරුවක්ය, පංසලේ හාමුදුරුවෝ කියන්නේ බොරුය කියන මතවාදය සකස් කළා. ධර්මයට දී තිබෙන අර්ථ කථන වෙනස් කළා. ධර්මය සම්පූර්ණයෙන්ම විකෘති කළා. මේවාට ප්‍රතිචාර දැක්වීමට ත්‍රිපිටක ධර්මය සමාජගත කරන්නයි විභජ්ජවාදී ආභිධාර්මික සම්භාෂණය ආරම්භ වෙන්නේ.

ඔය කියන පිරිස් සමාජගත කරන්නේ ත්‍රිපිටක ධර්මය නොවෙයිද?

මේ අය ත්‍රිපිටක ධර්මයට වැරදි අර්ථකථන දෙමින් ඒවයි සමාජගත කරන්නේ. ‘හාමුදුරුවෝ’ කියලා කියන්නේ හාමුකම දුරු කරපු අය කියලා කිව්වා. පංසල කියන්නේ පංචකාමය සලාදමන තැනය, පල්ලි කියන්නේ මේ පහ අල්ලගන්න නිසාය කියලා කිව්වා. පට්ඨාන ධර්මය කියන්නේ ‘පට්ට ධර්මය’ කියන විදිහට අර්ථ කථනය කළා. කර්මය, කර්ම ඵලය පිළිබඳ තියන මූලික දේශනා විකෘති කළා. මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ බෞද්ධයාට හරි ධර්මය මොකක්ද? වැරදි ධර්මය මොකක්ද කියලා හොයාගන්න බැරි ගානට බුදු දහමේ විකෘතියක් ඇති කරන්නයි කටයුතු කෙරීගෙන යන්නේ.

විමසිල්ලෙන්ම බැලුවොත් බුද්ධ ධර්මය විකෘති කිරීම අනෙක් සියලු පාර්ශ්වයන්ට වැඩියෙන් සිදුවන්නේ බෞද්ධ භික්ෂුව අතින්ම නොවේද?
ඔය කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. හිස රැවුල් බාගෙන සිවුර දාගත්තම විනාඩි කීපයකින් හාමුදුරු කෙනෙක් හැටියට පෙනී ඉන්න කාට වුවත් පුළුවන්. දැන් ඔය ධර්මය විකෘති කරන මීවණපළානේ සිරිධම්මාලංකාර කියන කෙනා රාජ්‍ය සේවයේ නියුතුව ඉඳළා වයසට ගිහිල්ලා පැවිදිවෙලා, පස්සේ ශාසනයෙන් නෙරපපු කෙනෙක්. ඒ විදිහට ගත්තාම ඒ ශාසනයේ භික්ෂුවක් නොවෙයි. එයාම කියනවා එයාට නිකායක් නෑ කියලා. ලංකාවේ තුන් නිකායට බැහැරින් හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් එයා භික්ෂුන්වහන්සේ නමක් නෙවෙයි භික්ෂු ප්‍රතිරූපකයෙක්. රහතුන් යැයි පෙනී සිටි ඒ වගේ තව විශාල පිරිසක් ඉන්නවා. ආන්න ඒ වගේ භික්ෂු ප්‍රතිරූපයකයන් තමයි මේ කටයුත්තේ ඉන්නේ.

ඔබවහන්සේ දකින විදිහට මීට හේතු මොනවාද?
ඩයස්පෝරාවේ එකම අරමුණ ඊළාමය ලබාගැනීමයි, ඒක මේ රට බෙදීමේ ව්‍යාපෘතියේ කූඨප්‍රාප්තිය කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදියි. ඊළාමයක් ජයග්‍රහණය කරනවා වගේම ඒ හරහා ඊළාම් දෙමළ-කතෝලික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් තියන බව අපි අවුරුදු ගානකට කලින් හෙළිදරව් කළා. මේ සමස්තයම රටට බෙදුම්වාදය ගෙන එන, ජාතියට ජයග්‍රහණ අහිමි කරන, සම්බුද්ධ ශාසනයට කණකොකා හඬන, සංස්කෘතිය අසංස්කෘතිය කරන සමස්ත වැඩපිළිවෙළක ක්‍රියාදාමයක්. මනෝ ගනේෂන්ගේ කාර්යාලයෙන් පහුගිය කාලේ නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකාවේ ජනවර්ග ගැන ප්‍රකාශනයක්. එහි තියනවා සිංහලයන් කියලා කියන්නේ අවුරුදු දෙදහසකට පෙර ලංකාවේ හිටියේ නැති පිරිසක්. දෙමළ කියලා කියන්නේ අවුරුදු හාර දහසකට එහා ලංකාවේ හිටිය පිරිසක්. ඔවුනට තමයි නාග ගෝත්‍රිකයෝ කියන්නේ. ඔවුන්ට පහර දීලා එළවලා තමයි සිංහලයන් මේ රට අල්ලා ගන්නේ ආදී වශයෙන් විස්තරයක්. මහා වංශය බොරු කරන්න ඒ අය මත හදනවා. සිංහල බෞද්ධයා කියන්නේ ආගමික සහ සංස්කෘතික ආක්‍රමණයක් කළ කණ්ඩායමක් කියන තැනට අරගෙන එනවා. ඒ විදිහට විවිධ උදවියට විවිධ අරමුණු සහ ඉලක්ක තියනවා. ඒ අයගේ අරමුණු සාර්ථක කරගන්න මේ ධර්මය විකෘති කරන කණ්ඩායම් උදව්වෙලා තියනවා.

බෞද්ධ සම්ප්‍රදාය, සංස්කෘතිය තුළ පවතින බොහෝ අංගත් බුදු දහමට පටහැනි බවක් දකින්නට ලැබෙනවා. ධර්මය විකෘති කිරීමට එරෙහිව මතු කෙරෙන මේ විරෝධතා තුළ ඒ ගැන අවධානයක් යොමුව නැත්තේ ඇයි?
ලෞකික අපේක්ෂා ඉටු කරගැනීම සඳහා ලෝකෝත්තර ආශිර්වාදය ලබාගත්ත දේවල් බුද්ධ කාලයේ සිටම අපි කරලා තියනවා. විශාලා මහනුවර තුන්බිය ඇතිවුණු වෙලාවේ බුදුහාමුදුරුවෝ බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්න එහි ගියේ නෑ. ඒ වෙලාවේ ඇතිවෙලා තිබුණු පාරිසරික තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තියක් ඇතුලත් කිරීමයි කළේ. දීඝායු කුමාරයාගේ ආයුෂ පිරිහුණු වෙලාවේ පිරිත් දේශනා කරලා තියනවා. ගැබිණි මවක් ගැන කරුණාවක් ඇතිවුණු වෙලාවේ අංගුලිමාල හාමුදුරුවන්ට පිරිත් දේශනා කරන්න, බුදු හාමුදුරුවෝ ජේතවනාරාමේ නැති වෙලාවල්වල වඳින්න ආනන්ද බෝධිය රෝපණය කරන්න අනුදැන තියනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ ධාතු වන්දනාව අනුදැන වදාරල තියනවා. බුදු දහම තුළ අද පවතින පූජා චාරිත්‍රවලට අදාළ මූල බීජයන් ඔය විදිහට දේශනාව තුළම දැකගන්නට තියනවා.

දේශනාව තුළ තියෙන ඒ වගේ නිදසුන් මතුකරගෙන ධර්ම පරියාය යටපත් කරගැනීම ගැටලුවක් නොවන බවද ඔබවහන්සේගේ අදහස?
මම එහෙම අදහස් කරන්නේ නෑ. බුද්ධත්වයට පත්වූ පසු ධර්මය දේශනා කිරීමට බුදුහාමුදුරුවෝ මන්දෝත්සාහී වෙනවා. අවිද්‍යාවෙන් වැසුණු මේ ලෝකයාට උඩුගම් බලා යන ගැඹුරු දහමක් වන මගේ ධර්මය නිෂ්ඵල වූවක් බවට පත්වෙයි කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේ සහම්පතී බ්‍රහ්මයා පැමිණ ආරාධනා කරනවා මේක තේරුම් ගත හැකි පිරිසක් ඉන්නවා ධර්මය දේශනා කරන්න කියලා. ඒත් ඒ පිරිස ප්‍රමාණයෙන් බොහොම ටිකයි. අනෙක් පිරිස වටවෙන්නේ මෙහි තියෙන නොයෙක් පූජා චාරිත්‍රවලට. එහෙම දේවල් නැතිව චතුරාර්ය සත්‍යයයි, පටිච්ච සමුප්පාදයයි පමණක් නම් මේකේ උගන්වන්නේ මේකත් ලෝකයේ තියන අනුගාමිකයන් නැති සමහර දර්ශනයන් වගේ දර්ශනයක් හැටියට පමණක් ඉතිරිවෙයි. හැබැයි අනුගාමිකයන් පිරිලා එයින් යම් කොටසක් හරි දර්ශනය කරා එන්න නම් දර්ශනය වටකරගත්තු සංස්කෘතියක් ඇතිවෙන්න ඕනේ.

විභජ්ජවාදී සම්භාෂණයට අනුග්‍රහය දක්වන බෞද්ධයා වැනි විද්‍යුත් නාලිකාවල විකාශනය කෙරෙන ධර්ම දේශනාවල පවා ධර්මය විකෘති කිරීම් අසන්නට ලැබෙනවා?
ධර්ම දේශනාවක් පැයක් යනවා නම් මේ පැය ඇතුළත බුද්ධ දේශනාවනේ කරන්න ඕනේ. ධර්මාසනයේ වාඩිවෙන්නෙත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහන්න එන්න කියන ආරාධනය දෙවියන්ට කරමින්නේ. ධර්මඥානය තියන භික්ෂූන්වහන්සේලා දිගටම ඒ පැය තුළම ධර්මයම තමයි කතා කරන්නේ. ඇතැම් දේශකයන්වහන්සේලාට ධර්මඥානය නැති වුණාට පස්සේ කරන්නේ කාලය ගෙවා ගන්න තමන්ට හිතෙන හිතෙන දේවල් ප්‍රකාශ කිරීමයි. සමාජයේ තියන යම් යම් දේවල් ඒගොල්ලන්ටත් වහනය වෙන එක සාමාන්‍යයයි. එතකොට දේශනා ඇතුළට ඒවත් එනවා.

විකෘති කිරීම් ප්‍රකෘති කරන්න ඉදිරිපත් වෙන අයත් විකෘති කිරීම් කරනවා නම් අවසානයේ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙයිද?
කිරම විමලජෝති හාමුදුරුවෝ කියන්නේ මේ රටේ ඉන්න ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන, ත්‍රිපිටක ග්‍රන්ථ සුලබ කරලා ධර්මය ප්‍රචාරය කරන්න උත්සාහ කරන හාමුදුරු කෙනෙක්නේ. හැබැයි උන්වහන්සේත් පහුගිය කාලේ ධර්මය විකෘති කරන වහරක කණ්ඩායමට අහුවුණා. වහරකගෙන් සමාව පවා ගත්තා. මේ රටේ ප්‍රකට චරිත රාශියක් තියනවා ධර්මඥානය අතින් හීන. ඒ අතින් ගත්තම ධර්මය පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක්ගෙන් වැරදි වෙනවා කියන එක පුදුමයක් නොවෙයි. ගිහියෙක් වේවා, භික්ෂුවක් වේවා ධර්මඥානය අඩුනම් ඔවුන්ට ප්‍රවේශ වෙන්න විකෘති ධර්ම කථකයන්ට පුළුවන්කම තියනවා. පැයක් බණ කියන හාමුදුරුවරුන්ගේ දේශනාවලට පමණක් නොවෙයි කල්පයක් පවතින්න ලියන ත්‍රිපිටක පොත්වලට පවා ඉහඳ තියන්න මේ පිරිස් දැන් ලෑස්තිවෙලා ඉන්නවා. එවැනි බරපතළ ශාසනික ව්‍යසනයක් ඉදිරියේ අපි ඉන්න නිසයි විභජ්ජවාදී සංවිධානය ප්‍රබලව සමාජය තුළ ගොඩනැඟිය යුතු වෙන්නේ.

සිරකරුන් දෙදෙනකුගේ දඩ ගෙවන්න සිදුකළ මුදල් පිණ්ඩපාත චාරිකාවෙදි ඒක බුදුහාමුදුරුවෝ අනුමත කළ දෙයක් කියා ඔබවහන්සේ කළ ප්‍රකාශයත් ඒ දිනවල දැඩිව විවේචනය වුණා. එයත් ධර්මය විකෘති කිරීමක් නොවේද?
කොහෙද එහෙම තියෙන්නේ. මම සල්ලි පිණ්ඩපාත චාරිකාවේ ගිහිල්ලම නෑ. මම කළේ පිණ්ඩපාතේ ගියපු හාමුදුරුවරුන්ට සල්ලි පූජාකරපු එක. භික්ෂූන්වහන්සේලා කොහොමද සල්ලි පිණ්ඩපාතේ යන්නේ. භික්ෂූන්වහන්සේ තමන් වෙනුවෙන් සල්ලි පිණ්ඩපාතේ යන එක කරනවා නම් ඒක වැරදියි. හැබැයි රටේ ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් වෙනුවෙන් යනවා නම්…

එහි තිබුණු ජාතික වැදගත්කම මොකක්ද?
රටේ ජාතික වැදගත්කමක් ඇති චරිත දහයක් තිබුණා යුද්දේ වෙලාවේ වැඩකරපු. ඒ චරිත දහයේ සියලුම වාර්තා තියාගන්නා පුද්ගලයා තමයි ජනාධිපති ලේකම්වරයා. ජනාධිපති ලේකම්වරයා සිරගත කළේ උපාසක අම්මලාට සුදු රෙදි බෙදුවාට නෙවෙයි. දේශපාලන අවශ්‍යතාවකට. එතනදි ලක්ෂ හත්සීයක් ගෙවන්න ඕනේ කියලා කිව්වා. මම දන්නවා පාත්තරේට වැටෙන්නේ නෑ ලක්ෂ හත්සීයක් කියලා. මහා සංඝයාගේ විරෝධයයි එතනදි අපි පළකළේ. මිනිස්සු විවිධ විදිහට විරෝධය පළකරනවා. ටැංකි උඩ නගිනවා. ගස් උඩ නඟිනවා. ලයිට් කණුවේ නඟිනවා. අපිට ඒවා කරන්න බැරි නිසයි පිණ්ඩපාත චාරිකාව කළේ. දේශද්‍රෝහී වැඩපිළිවෙළට විරෝධතාව පළකිරීම මුදල් පිණ්ඩපාතය කළා කියන පදයට ලඝු කරන්නේ ප්‍රඥාව නැති මිනිසුන්. ඔවුන් මේකේ සංකේතාත්මක අර්ථය ගන්නේ නැතිව ව්‍යවහාර අර්ථය ගත්තා. අද මේ වෙනකොට බුද්ධි අංශ නිලධාරින් ඔක්කොම සිරගත කරලා තියනවා. මේ රටේ ඔක්කොම වැරදි කරලා තියෙන්නේ බුද්ධි අංශයද? රටට ආදරය ඇති මහා සංඝරත්නය හැටියට ඒ මිනිස්සුන්ට හානියක් වෙනවා නම් මොනම අවස්ථාවකදී වුණත් අපි ඉදිරිපත් වෙනවා.

ඥාන ගවේෂණයේ සිටි තරුණ භික්ෂුන්වහන්සේ කෙනකු වුණු ඔබවහන්සේ අද වෙන කොට දේශපාලනයේ නිරත භික්ෂුවක් දක්වා රූපාන්තරණය වූයේ කොහොමද?
නෑ. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම දේශපාලනයේ නිරත භික්ෂුවක් නෙවෙයි. මට දේශපාලනයක් නෑ. මට පක්ෂයක් නෑ. මම කිසිම දේශපාලන වේදිකාවකට යන්නේම නෑ. කොහේ හරි දේශපාලන වේදිකාවක මම ඉන්නවා දැකලා තියනවා නම් කියන්න. කිසිම තැනක නෑ. පහුගිය කාලේ එක් දේශපාලනඥයෙක් මගෙන් හොඳටම බැනුම් ඇහුවා කඩුවෙල පැත්තේ ඒගොල්ලන්ගේ අන්තිම රැස්වීමට මම වඩිනවද කියලා අහලා.

විභජ්ජවාදී සම්භාෂණ වේදිකාවේ දැකගන්නට කලින් ඔබවහන්සේ හිටියේ මොනවගේ වේදිකාවකද?
භික්ෂූන්වහන්සේ කෙනකුගේ කාර්යභාරය කියන්නේ දේශපාලනඥයන් පස්සේ යන එක නොවෙයි. රටේ ජාතික, සංස්කෘතික ගැටළුවලදී තමන්වහන්සේගේ ස්වාධීන මතය ප්‍රකාශ කිරීමයි. කෙනකුට පුළුවන් ඒක දේශපාලන කෝණයකට දාගන්න. මේක සිංහලයන්ගේ රට කියලා කොහෙද තියෙන්නේ කියලා විජේදාස රාජපක්ෂ කියපු වෙලාවේ මම කිව්වා එන්ඩ මම පෙන්වන්නම් තියන තැන කියලා. එතකොට ඒක යූඑන්පියට විරුද්ධව කතා කළා කියලා කෙනකුට දාගන්න පුළුවන්. ඒත් මම එතනදි කතා කළේ ඒ මතවාදයට විරුද්ධව. සරත් ෆොන්සේකා හිරේ දාන වෙලාවේ මම මහින්ද රාජපක්ෂට විරුද්ධව කතා කළා. පහුගිය කාලේ මම කරපු ප්‍රවෘත්ති සාකච්ඡා දෙතුන් සීයක් මම දෙන්නම්. ඒ එකකවත් තියනවාද කියලා බලන්න දේශපාලනික කාරණා. ඒවා බලලා මම හිටිය වේදිකාව මොකක්ද කියලා පැහැදිලි කරගන්න.

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති කරවන්න ඔබවහන්සේ උත්සාහ කරන බවට අදහසක් බොහෝ දෙනකු තුළ තිබෙනවා. ඔහු ඔබවහන්සේට බොරලැස්ගමුව නගරයේ කඩ පේලියක් හදලා දීම ඊට හේතුව බවත් අසන්නට ලැබෙනවා?
කඩ පෙළක් නෙවෙයි ඒක ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක්. ළමයින් දෙසීයක් විතර ඒකේ ඉන්නවා. ඒ ඉඩම පන්සලට පූජා කළ නින්දගම් ඉඩමක්. මෙතන පාර ලොකු කරද්දී සුනේත්‍රා මහා දේවි පිරිවෙණට හම්බවෙච්ච මුදලුයි, මහා භාරකාරයා යටතේ තිබුණු මුදලුයි අරගෙන සම්පූර්ණයෙන්ම කුළී ගෙවලා බාසුන්නැහේලා දාලා නීලම්මහර සරත් කන්ස්ට්‍රක්ෂන් එකට දීලා තමයි ඒක කළේ. ගෝඨාභයගේවත් ආණ්ඩුවේවත් ශත පහක් ඒ වෙනුවෙන් අරගෙන නෑ. මට කිසි දෙයක් ගන්න ඕනෙත් නෑ. මොකද මේවා රාජකීය ස්ථාන. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. අද ලංකාවේ ජනාධිපතිට වඩා පඩියක් හම්බවෙනවා මහාචාර්යවරයකුට. ඒ නිසා කිසි කෙනකුට යටත් නෑ.