රාවය

ජනපති සහ ගෝඨාභය ඝාතන චෝදනාව

ජනපති සහ ගෝඨාභය ඝාතන චෝදනාව

සාකච්ඡා කළේ – වින්ද්‍යා ගමගේ

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබඳ චෝදනාවක් පොලිස්පතිවරයකුට එරෙහිව එල්ල වී තිබේ. චෝදනාව එල්ල කරන පුද්ගලයා හා චෝදනාවට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට සීඅයිඩී පරීක්ෂණයක් ආරම්භ වී ඇත. මේ සාකච්ඡාව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ වත්මන් තත්ත්වය විෂය කරගනී.

මාස දෙක තුනකින්
පරීක්ෂණය කළ යුතුයි
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී
බිමල් රත්නායක

මේ සඳහා චෝදනා ලබා තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මෑත කාලය ගතහොත් ලංකාවේ ඉහළම නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස්පතිවරු පවා විවිධ ගණයේ අපරාධවලට චෝදනා ලබා තිබෙනවා. උදාහරණයක් ලෙස වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඝාතන ගණනාවකට සම්බන්ධ වී දැන් වරදකරු වී සිරගතව සිටිනවා. රජකුමාරවරුන්ගේ ඝාතන සඟවන්න ගොසින් තාජුඩීන්ගේ ඝාතනය වෙනුවෙනුත් ජ්‍යෙෂ්ඨ මෙන්ම සේවා දිගු රැසක් ලබාගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වසරක් පමණ රිමාන්ඞ් භාරයේ සිටියා. අපට මතකයි මීට අවුරුදු 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ හෙරොයින් සහ පාතාලයේ ප්‍රධාන ආධාරකරුවෙක් බවට, පොලිස්පතිවරයකුට චෝදනා එල්ල වී තිබුණා. එක් පැත්තකින් ගතහොත් පොලිසියේ සිටින නිලධාරීන් සමහරෙකු එවැනි කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. එනිසා මේ චෝදනා බැහැර කිරීමට හැකි ඉතිහාසයක් පොලිසිය සතුව නැහැ. ඒ නිසා මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදුවිය යුතුයි.

මෙහි තව පැත්තක් තිබෙනවා. සමහරු කියනවා මෙය ජනාධිපති හෝ වෙනයම් පුද්ගලයකු ඝාතනය කරනවා නම් මේ දේවල් කිය කියා කරයිද කියා. ඒ නිසා මේ තුළ වෙන යටි අරමුණක් ඇතැයි කියා කියනවා. එසේ නම් එය හෙළිදරව් කරගැනීමටත් වහාම සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. අප දකින ආකාරයට පොලිසියේ දිගු ඉතිහාසය තුළ ඉහළ මට්ටමේ ඝාතන, පැහැර ගැනීම් සඳහා පොලිසියේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වී තිබෙනවා. ඒවා පොලිසියේ වුවමනාවට මෙන්ම රාජ්‍යයේ වුවමනාවටත් සිදුකර තිබෙනවා. පළමු කාරණය ලෙස මේ චෝදනා ලද පොලිස් නිලධාරියා වැඩ තහනම් කිරීමකට ලක්වී තිබෙනවා. මෙය බරපතළ චෝදනාවක් වන නිසා පරීක්ෂණ අවසන් වන තෙක් මෙවැනි බලවත් පුද්ගලයෙක් එසේ තැබීම සුදුසුයි. ඒ වගේම මේ පරීක්ෂණ කඩිනමින් කළ යුතුයි, මන්ද මෙය දේශපාලන ව්‍යාපෘතියක කොටසක් විය හැකියි. ඒ නිසා මේ සඳහා වැඩි කාලයක් නොගෙන මාස 2-3ක් ඇතුළත මෙම පරීක්ෂණ කටයුතු අවසන් කර රටට හෙළිදරව් කළ යුතුයි.

පරීක්ෂණය රවීට හෝ ශානිට භාර දෙන්න
නියෝජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක

මේ ගැන අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. මේ සම්බන්ධව දුරකතන සංවාද තිබෙනවා, චූදිතයෙක්, පැමිණිලිකරුවෙක්, විත්තිකරුවෙක් සිටිනවා. විදුලි සංදේශ කුලුනු තිබෙනවා. සීසීටීවී කැමරා තිබෙනවා. ඒ නිසා අද චෝදනාවක් ඉදිරිපත් වූ විට එය සත්‍යදැයි දැනගැනීමට ඇති තාක්ෂණය ඉතා දියුණුයි. අද තිබෙන තාක්ෂණය සමග කිසිවකුට බොරු චෝදනා කළ නොහැකියි. මේ චෝදනා ලද අයගේ පෙර හැසිරීම් තිබෙනවා. ඒ අය හමුවූ ස්ථාන තිබෙනවා. මේ කිසිවක් ලෝකයට අලුත් දේ නොවේ. පසුගිය කාලයේ මෙවැනි අපරාධ ගණනාවක් සිදුවී තිබෙනවා. ලංකා ඉතිහාසය ගෙන බැලුවත් හිටපු කැබිනට් ඇමතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට මෙවැනි චෝදනාවක් එල්ල වුණා. මහින්ද රාජපක්ෂ ඝාතනයට තැත් කිරීම සම්බන්ධව. ඒ නඩුවත් තවමත් පැවැත්වෙනවා.

රමේෂ් නමැති සහකාර පොලිස් අධිකාරිවරයකු හිටපු ජනාධිපතිව ඝාතනයට තැත් කිරීමේ චෝදනාව පිට තවමත් රිමාන්ඞ් භාරයේ සිටිනවා. අතීතයේ සමහර නායකයන් ඝාතනය කිරීමට කළ තැත් කිරීම් සාර්ථක වුණා. උදාහරණයක් ලෙස ප්‍රේමදාස ඝාතනය, ඇතුළත්මුදලි ඝාතනය හා ගාමිණී දිසානායක ඝාතනය දැක්විය හැකියි. මෙය අසාර්ථක වුණු තැත් කිරීමක්දැයි අප දන්නේ නැහැ. මේ අවස්ථාවේ රජයක් වශයෙන් නාලක සිල්වා හා නාමල් කුමාර දුරකතන හා හමුවූ තැන් හා මෙයට පොලිස්පතිගේ සම්බන්ධතා සියල්ල සමග මෙය ඉතා පහසුවෙන් කළහැකි විමර්ශනයක්. ඇත්ත වශයෙන්ම මෙය සීඅයිඩීයට භාරදුන් පසු ස්වාධීන පරීක්ෂණයක් කෙරේවි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ අන් පැමිණිලිකරුවන් නිර්ණාමික අය වුවත් මෙම පැමිණිලිකරුවා සිය නමින් ඉදිරිපත් වී තිබීමයි. එනිසා මේ සම්බන්ධව තාක්ෂණය භාවිත කර පහසුවෙන්ම මෙය අනාවරණය කරගත හැකියි. ඒ නිසා මම පුන පුනා කියන්නේ මෙය ආවරණය කරගැනීමට දැනට අප සතු තාක්ෂණය හොඳටම ප්‍රමාණවත්. එහෙත් මේ පරීක්ෂණ කිරීමට වඩා විශ්වසනීය ආයතනයකට භාරදිය යුතුයි. මගේ රෙකමදාරුව නම් සීඅයිඩියේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර කියන මහත්වරුන් අතට මෙම පරීක්ෂණය භාරදුනහොත් ඔවුන් මෙය ඉතා හොඳින් විමර්ශනය කරයි යන්නයි. ඔවුන් ඉතාම දක්ෂ නිලධාරීන්.

චෝදනාව බොරුවක් නෙවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩලස් අලහප්පෙරුම

මෙහි තිබෙන ගැටලුව වන්නේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න කරපු සැලසුමක් ගැන තමයි ඔහු අනාවරණය කරන්නේ. එම ඝාතනයට උපදෙස් දෙන්නෙ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙය කරන්න හදන්නේ පාතාලය හරහා. පාතාලය හා නියෝජ්‍ය පොලිස්පති අතර සම්බන්ධීකරණය හදන්නේ පොලිස්පතිවරයා. මෙයින් ඉතාම භයානක පෙනුමක් එන්නේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඍජුව උපදෙස් දෙනවා අගමැති පුම්බන්න, ජනපති විනාශ කරන්න කියලා. ඒ නිසා මෙහි කුමන්ත්‍රණ මුහුණුවරට දේශපාලන මුහුණුවරකුත් එකතු වෙනවා. මෙය හෙළිදරව් වූ පසු පොලිස්පතිවරයා මේ පරීක්ෂණ කටයුතු භාර දෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර සිටින කනිෂ්ඨතම පුද්ගලයකුට. එයට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරු විරුද්ධ වෙනවා. ඒත් ඔහු මෙය කනිෂ්ඨයකුට ලබාදෙනවා. පසුව ජනාධිපතිවරයා මැදිහත් වී මෙය සීඅයිඩියට පවරනවා. මේ වෙලාව වනවිට අදාළ චෝදනාලාභී නියෝජ්‍ය පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන්, අනිවාර්ය නිවාඩු යවා ඇත. එය හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මේ සිදුවීම් ජාලයම එකට තියලා බැලුවම ඉතා පැහැදිලියි. මෙය පසුපස අවුරුදු 152 පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ බරපතළම චෝදනාව පොලිස්පතිට එල්ල වී තිබෙනවා. ඒ වගේම රට අනාරක්ෂිත වෙලා තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවරභාවය රට තුළත් ජාත්‍යන්තරවත් විශාල වික්ෂිප්තභාවයක්, අස්ථාරභාවයක් ගොඩනැගී තිබෙනවා.

මේ චෝදනාව එල්ල කළ පුද්ගලයා සම්බන්ධව මට පූර්ව දැනීමක් නැහැ. මෙම හෙළිදරව්ව සිදුකර අදට දින 8ක් වෙනවා. එය බොරුවක් නම් හෙළිදරව් කළ කෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔහු පොලිස් මූලස්ථානයටම පැමිණ පැමිණිල්ලක් කළා. ඒ වගේම ඔහුගේ නිවසට ගොස් ප්‍රශ්න කිරීම් කර ඇති බවටත් ආරංචි වෙනවා. ඔහු බොරුකාරයෙක් හෝ බොරුවක් කියනවා විය නොහැකියි. මෙය බරපතළ වරදක් වන නිසා බොරුවක් නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නට ඕනෑ. ඒ අනුව නිගමනයකට පැමිණිය හැකියි මෙය බොරුවක් නොවන බව.

අපි ඉන්නෙ
වාර්තාව ලැබෙන තුරු
දිනේෂ් ගුණවර්ධන

ජනාධිපතිතුමා විසින් නියෝග කර තිබෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කර වාර්තා කිරීමට. ඒ අනුව අප පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා මෙහි ප්‍රගතිය පිළිබඳව. ඒ පරීක්ෂණ වාර්තාව අදාළ පරීක්ෂණ කණ්ඩායම් විසින් වහා ලබාදීම මේ සඳහා ගතයුතු පළමු පියවරයි. ඒ තුළින් ලැබෙන නිගමනයන් අනුව ඉදිරි තීරණ ගන්නවා. එම වාර්තාව ලැබෙනතුරු ඒකාබද්ධ විපක්ෂය වන අපත් මහජනතාවත් බලා සිටිනවා.

චූදිතයා අත්අඩංගුවට ගන්න
එජනිස මහ ලේකම්
මහින්ද අමරවීර

මගේ මතය මෙම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයාගේ වැඩ තහනම් කර වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ඔහු පොලිසියේ ඉහළ නිලධාරියෙක් නිසා රිමාන්ඞ් නොකළහොත් ඔහුට මෙම පරීක්ෂණවලට බලපෑම් කළ හැකියි. රටේ රාජ්‍ය නායකයා ඝාතනයට තැත් කිරීම ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ නිසා මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන ආකාරය දෙස අප ඉතා දැඩි විමසිල්ලෙන් සිටිනවා.