රාවය

තොරතුරු නීතිය පොදු උන්නතියට යොදා ගන්නා අපේ මාධ්‍යවේදියෝ

තොරතුරු නීතිය පොදු උන්නතියට යොදා ගන්නා අපේ මාධ්‍යවේදියෝ

නාලක ගුනවර්ධන

ravaya@nalaka.org

තොරතුරු අයිතිය 2015 අප්‍රේල් සිට මෙරට සියලු පුරවැසියන් ලැබ තිබෙන මූලික මානව අයිතියක්. ඒ අයිතිය ක්‍රියාත්මක කරන රාමුව ලබා දෙන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතයි.

මේ අයිතිය පොදු උන්නතිය වෙනුවෙන් යොදා ගන්නා පිරිස් අතර මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රධානයි. මාධ්‍යවේදීන් තොරතුරු අයිතිය කෙසේ භාවිත කරනවාද යන්න මදක් විමසා බලමු.

මාධ්‍යවේදීන් යනු තොරතුරු යම් ක්‍රමවේදයන් හරහා ලබා ගෙන, ඒවායේ නිවැරදිබව තහවුරු කර ගත් පසු සමාජගත කරන වෘත්තිකයන් පිරිසක්.

තොරතුරු නීතියේ ක්‍රියාකාරිත්වය ගැන අදාල අවස්ථාවල වාර්තා කිරීමත් ඔවුන්ගේ පුවත් විෂය පරාසයට අයත්. එසේම පුරවැසියන් ලෙස තොරතුරු නීතිය යටතේ පොදු අධිකාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමට මාධ්‍යවේදීන්ටත් එක සමාන අයිතියක් තිබෙනවා.

තොරතුරු නීතිය හඳුන්වා දුන් මුල මාස කිහිපයේ මෙසේ ඉල්ලීම් ගොනු කිරීම ගැන බොහෝ මාධ්‍යවේදීන් තුළ දෙගිඩියාවක් තිබූ බව පෙනුණා. ‘අපට නිල තොරතුරු ලබා ගන්න අපේම ක්‍රම සහ විධි තිබෙනවා‘ යයි ඔවුන් සමහරුන් කියා සිටියා. ‘තොරතුරු නීතිය යටතේ යමක් ඉල්ලා දින 14ක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටින්න අපට අමාරුයි,‘ යයි සමහරුන් මැසිවිලි නැගුවා.

එහෙත් මෙය ටිකෙන් ටික වෙනස් වී තිබෙනවා. මෙරට භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් වන හෝ විකාශය කැරෙන මාධ්‍යවල පුවත් ගවේෂණයට දැන් කෙමෙන් තොරතුරු නීතිය හරහා තොරතුරු ලබා ගනු දැකිය හැකියි.

රාජ්‍ය ආයතනවල නොයෙක් අක්‍රමිකතා, දූෂණ මෙන්ම වගකී නොතකා හැරීම් රැසක් තොරතුරු ඉල්ලීම් හරහා මතු කර ගන්නට ඔවුන් සමත්ව තිබෙනවා. මෙය මාධ්‍යකරණයට මෙන්ම නිසි රාජ්‍ය පාලනයටත් වැදගත් ප්‍රවනතාවක්.

ශ්‍රී ලංකාවේ මා දන්නා හැටියට මෙතෙක් වැඩිම තොරතුරු ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ගොනු කොට ඇති මාධ්‍යවේදීයා ලංකාදීපයේ තරිඳු ජයවර්ධනයි. 2017 පෙබරවාරි ඉල්ලුම්පත් භාර ගැනීම ඇරැඹී ටික දිනකින්ම තම මුල් ඉල්ලුම්පත යොමු කළ ඔහු පසුගිය සතිය (2018 සැප්තැම්බර් 15) වන විට ඉල්ලුම්පත් 300ක් විවිධ රාජ්‍ය ආයතන වලට ගොනු කර තිබුණා. එයින් පිළිතුරු ලැබී ඇත්තේ 100කට පමණයි.

ප්‍රතිචාර නොලද අවස්ථා 30කදී ඔහු අදාළ ආයතනයේම ඉහළ නිළධාරියකුට (පනතට අනුව නම් කළ නිලධාරියාට) මුල් අභියාචනත්, එතැනින් ද ප්‍රතඵල නොලද විට තොරතුරු කොමිසමට අභියාචනා 8ක්ද ඉදිරිපත් කොට තිබෙනවා. තොරතුරු කොමිසම මේ දක්වා ඔහුගේ අභියාචනා 2ක් විභාග කොට ඔහු ඉල්ලා සිටි තොරතුරු දීමට අදාළ රාජ්‍ය ආයතනයට නියෝග කර තිබෙනවා.
“සමහර සහෝදර මාධ්‍යවේදීන් තොරතුරු ඉල්ලුම්පතක් නිසි පරිදි ඉදිරිපත් කර ප්‍රතිචාර ලැබෙන තුරු දිගටම බලා සිටිනවා. නීතියට අනුව දින 14ක් තුළ ඉල්ලු තොරතුරු දිය යුතුයි. නැත්නම් දීමට නොහැකි ඇයි යන්න කිව යුතුයි. තමන්ගේ ඉල්ලුම්පතට හරිහැටි ප්‍රතිචාරයක් නොලදහොත් එය නීතියෙන් පනවා තිබෙන ක්‍රියාදාමයට අනුව ඉදිරියට ගෙන යාමේ වගකීම අපට තිබෙනවා.” යයි සති අන්තයේ අනුරාධපුර පැවති මාධ්‍ය වැඩමුළුවකදී තරිඳු සඳහන් කළා.
යාපනය මාධ්‍ය සමාජය හා ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව (IMS) හවුලේ සංවිධානය කළ එම වැඩමුළුවට උතුරු පළාතේ දිස්ත්‍රික් පහම නියෝජනය කරමින් විවිධ මාධ්‍ය ආයනවල සේවය කරන මාධ්‍යවේදීන් 30 දෙනකු සහභාගි වුණා.

එහි විශේෂත්වයක් වූයේ දකුණේ මාධ්‍යවල දැනටමත් තොරතුරු නීතිය දක්ෂ ලෙස යොදා ගනිමින් වාර්තාකරණයේ යෙදෙන සහෝදර මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් බෙදා ගැනීමයි.
තොරතුරු ඉල්ලුම් හරහා ලද තොරතුරුත්, තමන්ගේ බිම් මට්ටමේ කරුණු ගවේෂණත් එක් කොට ලියූ ප්‍රවෘත්ති හා විශේෂාංග ලිපි කිහිපයක් ගැන තරිඳු කතා කළා. (එයින් සමහරක් ලියා ඇත්තේ බිඟුන් මේනක ගමගේත් සමඟයි.)

2013 අගෝස්තු 1 වැනිදා වැලිවේරියේ, රතුපස්වල ජල දූෂණය සම්බන්ධ මහජන උද්ඝෝෂණයට හමුදාව පහර දීමේ සිද්ධිය මුළු රටම කම්පාවට පත් කළා. මෙය සිය පුවත්පත හරහා එම කාලයේ වාර්තා කළ තරිඳු, හොඳ මාධ්‍යවේදියකු ලෙස එම සිද්ධිය පුවත් අවධානයෙන් ගිලිහී ගිය පසුද සිදුවීම්වල පසුබිම සොයන්නට උත්සුක වුණා. ජලය දූෂණය කළා යැයි චෝදනා ලද කර්මාන්ත ශාලාවට අදාළව පරිසර අධිකාරිය කළ ජල සාම්පල් රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල හා වෙනත් තොරතුරු ඔහු තොරතුරු ඉල්ලුම්පත් හරහා ඉල්ලා සිටියා.

2016 දී ඔහු ලියූ ‘ජන අරගලයක දිය සළකුණ රතුපස්වල’ නම් පොතටත් මේ තොරතුරු යොදා ගැනුණා. මෙහි ආදර්ශය නම් කලක් ගත වී හෝ යම් අසාධාරණයක් හෝ අක්‍රමිකතාවක් ගැන තොරතුරු නීතිය යටතේ යමකුට සොයා ගෙන යා හැකි බවයි.
2016 ඔක්තොම්බර් 20 වැනිදා රත්‍රියේ යාපනයේ කුලප්පිඩි හන්දියේදී පොලිස් වෙඩි පහරින්, සුන්දිරාජා සුලක්ෂන් හා නඩරාසා ගජන් නම් යාපනය සරසවි සිසුන් දෙදෙනා මිය යාමේ සිද්ධිය තරිඳු එම ස්ථානයට ගොස් වාර්තා කළා.

පොලිසිය මුලින් කීවේ සිසුන් දෙදෙනා ගමන්ගත් මෝටර් සයිකලය පාරෙන් පිටට පැන තාප්පයක ගැටීමෙන් සිදු වූ තුවාල නිසා ඔවුන් මිය ගිය බවයි. පසුව හෙළි වූයේ පොලිසිය වෙඩි තැබූ බවයි. එහෙත් පොලිසිය දිගටම කියා සිටියේ සිසුන් බීමත්ව සිටි බව හා නැවැත්වීමට දුන් අණ නොතකා ගිය නිසා පිටුපසින් වෙඩි තැබූ බවයි. මේ ගැන දකුණේ සමහර මාධ්‍ය වාර්තා කළේත් තනිකරම වරද මිය ගිය සිසුන් දෙදෙනා මත පැටවෙන ආකාරයට බව අපට මතකයි.

මේ ගැන පොලිසිය කී දේ උතුරේ බොහෝ දෙනා සැක කළත් එම සැකය තහවුරු කිරීමට සාකෂි සොයා ගැනීම දුෂ්කර වුණා. මේ සිදුවීමේ අක්මුල් සොයා ගන්නට නම් මරණ පරීක්ෂණ වාර්තා ලබා ගත යුතු බව තරිඳු දැන සිටියා. යාපනයේ අධිකරණයට ඉදිරිපත් කළ එම වාර්තා කොළඹ සිට ලබා ගැනීම දුෂ්කර වූ හෙයින් මේ සිදුවීම ගැනම ස්වාධීන පරීක්ෂණයක් කළ මානව හිමිකම් කොමිසමට ඔහු අදාල ලියවිලි ඉල්ලා තොරතුරු අයදුම්පතක් ගොනු කළා.

සිදුවීමෙන් මාස 20කට පසු මරණ පරීක්ෂණ වාර්තා එසේ ලබාගෙන ඔහු සොයා ගත්තේ සුලක්ෂන් සිසුවාට රයිෆල් ගිනි අවියකින් පිට වූ උණ්ඩයක් පපුවේ ඉදිරියෙන් වැදී බරපතල තුවාල වූ බවත්, නඩරාසා තියුණු නොවූ වැදීමකින් පපුවට සිදු වූ බහුවිධ තුවාල නිසා මිය ගිය බවත්. එසේම දෙදෙනාගෙන් එක් අයකුවත් මත් පැන් පානය කළ බවට කිසිදු දේහමය සාක්ෂියක් මරණ පරීක්ෂකට හමු වූයේ නැහැ.

ජන සමාජයට සැබෑ තතු හෙළිදරව් නොවී, සිසුන්ගේ වරදින් ඔවුන් වෙඩි කා මිය ගියා යැයි පොදු නිගමනයකට යොමු වීමට ඉඩ තිබූ අවස්ථාවක් මේ ගවේශනාත්මක මාධ්‍යකරණය නිසා වැළකී ගියා. පොලිසිය මේ තරුණයන් දෙදෙනා රාත්‍රියේ නතර කොට ඔවුන්ට පහර දී එක් අයකුට වෙඩි තැබුවාද යන්න මේ හරහා මතුවනවා. අධිකරණ ක්‍රියාදාමයේදී මෙය විසඳේවි.

ප්‍රාදේශීය මට්ටමින් සිදුවන අනවසරයෙන් වැලි ගොඩ දැමීම්, රජයේ ඉඩම් හා වන රක්ෂිතවල ඉඩම් බලහත්කාරයෙන් අත්කර ගැනීම්, වනාන්තර හෙළි කිරීම්, වැනි පාරිසරික හා සොබා සම්පත් පිළිබඳ අකටයුතුකම් ගැනද තරිඳුගේ තොරතුරු ඉල්ලුම්පත් හරහා පොදු උන්නතියට වැදගත් කරුණු හෙළි වී තිබෙනවා.

තමන්ගේ තොරතුරු ඉල්ලීම් ගැන තවදුරටත් ඔහු කීවේ මෙයයි. “මගේ තොරතුරු අයදුම්පත් 300 න් 295ක්ම මා යවා තිබෙන්නේ ඊමේල් හරහායි. මේ මාධ්‍යයෙන් රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීම දුෂ්කර යැයි මතයක් සමාජයේ පවතින නමුත් මා එය ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. පනතට අනුවත් තොරතුරු අයදුම්පත් තොරතුරු නිලධාරියා හමුවී හෝ තැපෑලෙන් හෝ විiුත් තැපෑලෙන් යොමු කළ හැකියි.”

පාරිසරික ප්‍රශ්න ගැන තොරතුරු ඉල්ලුම්පත් හරහා වාර්තාකරණයේ යෙදෙන තවත් තරුණ මාධ්‍යවේදියකු නම් රාහුල් සමන්ත හෙට්ටිආරච්චියි. විශේෂයෙන් වන සම්පත හා අලි- මිනිස් ගැටුම් ගැන ඔහු කලක සිට මහත් උනන්දුවෙන් කරුණු ගවේෂණය කරනවා.

තොරතුරු නීතිය පොදු උන්නතිය වෙනුවෙන් යොදා ගන්න තවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගණනාවක් සිටිනවා. අනුරාධපුරයේ සිට ITN ඇතුළු මාධ්‍ය ආයතන වලට උතුරුමැද පළාතේ සිදුවීම් වාර්තා කරන සරත් මනුල වික්‍රම ඒ අතර කැපී පෙනෙන අයෙක්. ඔහු මේ දක්වා තොරතුරු ඉල්ලුම්පත් 50කට වඩා ගොනු කොට තිබෙනවා.
උතුරු පළාත් සභාවේ ආයතන මහජන මුදල් යථා පරිදි හා කාර්යක්ෂම ලෙස භාවිත කරනවාද යන්න ගැන ඔහු තොරතුරු ඉල්ලීම් හරහා විමර්ශනය කරනවා. උදාහරණයකට උතරු මැද පළාත් පුස්තකාල සේවා සභාව, පොත් මිලදී ගැනීමේ තීරණ ගන්නා පදනම හා එයට කර ඇති වියදම් ගැන ඔහු විස්තර ඉල්ලා සිටියා.

2010-2017 වකවානුව සඳහා වූ මේ තොරතුරු විමර්ශනයෙන් සොයා ගත්තේ පළාතේම පදිංචි ලේඛකයන්ගේ පොත් අඩුවෙන් මිලට ගන්නා අතර බස්නාහිර පළාතේ ලේඛකයන්ගේ කෘතීන් ඊට බෙහෙවින් වැඩි ලෙස මිලට ගැනීමේ ප්‍රවනතාවක් ඇති බවයි. එසේම පළාත් සභාවේ සමහර නිලධාරීන් ලියූ පොත් පිටපත් මහා පරිමාණයෙන් මිලට ගෙන ඇති බවත් පෙනී ගියා.

මේ තොරතුරු ඉල්ලීම ගොනු කොට සති දෙකක් ඇතුළත තමන්ට පිළිතුරක් ලැබීමට පෙර අදාළ මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වූ බවත්, එම ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පළාත් සභාවේ සැසිවාරයක සාකච්ඡාවට ලක් වූ බවත් මනුල කියනවා. මාධ්‍යක පළ කරනවා වෙනුවට ඔහු එහිදී කළේ කෙළින්ම තම සොයා ගැනීම් සිය ප්‍රජාව සමඟ බෙදා ගැනීමයි.

“තොරතුරු ඉල්ලුම්පත් හරහා ලබා ගන්නා තාක්ෂණික මූල්‍යමය හා පරිපාලන තොරතුරු නිසි ලෙස තේරුම් ගන්නට විග්‍රහ කරන්නටත් අපට හැකි විය යුතුයි. එසේම එම නිල තොරතුරු බිම් මට්ටමෙන් අප ක්ෂේත්‍රයට ගොස් කරන නිරීක්ෂණ හා අදාල පුද්ගලයන් සමඟ කරන කතාබහෙන් මතුකර ගන්නා කරුණුත් සමඟ බද්ධ කරගත යුතුයි. අක්‍රමිකතා, අකාර්යක්ෂමතා සහ මුදල් වංචා පිළිබඳව සාක්ෂි සහිතව හඬක් නැගීමට අපට හැකි වන්නේ එවිටයි.” මනුල කියනවා.

සමහර අක්‍රමිකතා ගැන මුල් නිමිත්ත හමුවන්නේ අහම්බෙන් විය හැකියි. උතුරු මැද පළාතේ කුඩා වැව් තැනීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමටත්, අතුරු මර්ග තැනීමට හෝ නඩත්තුවට විශාල ලෙස මහජන මුදල් වෙන් කරනවා. එහෙත් ඒ සැම තැනකම ඉලක්ක කළ පරිදි භෞතික ඉදිකිරීම් සිදුවන්නේ නැහැ.

මෑතදී අලුතෙන් තැනුවා යැයි කියන වැවක් ගැන සාකච්ඡා කරන්න ප්‍රදේශයේ ගොවීන්ට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇරැයුමක් ලැබෙනවා. එහෙත් නිල වාර්තාවල සඳහන්වන ස්ථානයේ එබඳු වැවක් සැබවින්ම නැති බව හෙළි වෙනවා. මේ නිමිත්ත ඔස්සේ ගවේෂණය කරන මනුල සොයා ගන්නේ එවන් වැව් කිහිපයක්ම හැදූ බවට තාක්ෂණික නිලධාරීන් සහතික කොට කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ද ගෙවා ඇති බවයි. සමහර අතුරු මාර්ගවලත් මෙබන්දක් සිදු වෙලා. දැන් තොරතුරු ඉල්ලීම හරහා මේ ගැන ඔහු සාක්ෂි එකතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බලාත්මක නොමැති වීම ලොකු ප්‍රශ්නයක්. කොළඹ හා යාපනය කේන්ද්‍ර කරගත් පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන ඔවුන්ව සලකන්නේ අමුද්‍රව්‍ය සම්පාදනය කර දෙන පිරිසක් ලෙස පමණයි. ඔවුන් සපයන වාර්තා ඡායාරූප හා වීඩියෝ ආවරණයන්ට ගෙවීම් කරනු ලබන්නේ භාවිත වූවොත් පමණයි.(එවිටද බෙහෙවින් අඩු ගෙවීම්) කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් හෝ රැකවරණයක් නැතිව ක්‍රියාකරන ඔවුන් දේශපාලන රැස්වීම්, විවෘත කිරීම්, අනතුරු හා ආපදා වැනි දේ ගැන මතුපිටින් ආවරණය කරනවාට ඔබ්බට යන්නේ කලාතුරකින්.

ගවේෂණාත්මකව තම වාර්තාකරණය කිරීමට ඔවුන් සමහර දෙනකුට ඕනෑකම ඇතත් එය පළ කර ගන්නට ඇති අවකාශය ඉතා සීමිතයි. සරත් මනුල වික්‍රම වැනි මාධ්‍යවේදීන් තොරතුරු නීතිය යොදාගෙන හෙළිදරව් කරගන්නා මහජන සුබසිද්ධියට ඍජුවම අදාළ තොරතුරු මාධ්‍ය වෙනුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට ලබා දීමට සිදුව තිබෙනවා.

ඇත්තටම ඔහුත් මාධ්‍යවේදියකු වනවාට අමතරව සමාජ ක්‍රියාකාරිකයෙක්. ඒ භූමිකා දෙක එකිනෙක සවිමත් කරනවා. රටේ වෙනත් ප්‍රදේශවල ද මෙම භූමිකා දෙකම එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිටිනවා.

ගවේෂණාත්මක මාධ්‍යකරණය කඩිමුඩියේ කළ හැකි දෙයක් නොවෙයි. වෙහෙස වී කරුණු එක්රැස් කොට ඒවා විශ්ලේෂණය හරහා තේරුම් ගන්නටත්, සුපරීක්ෂාකාරීව මාධ්‍ය වාර්තා සම්පාදනය කරන්නටත් සති හෝ මාස ගණනක් ගත වීම දියුණු මාධ්‍ය භාවිතයක් ඇති රටවල සුලබ දෙයක්.

තොරතුරු නීතිය හරහා ගවේශනාත්මකව වෘත්තියේ නියැලීමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය තරම් කාලවේලාව, ක්ෂේත්‍රයට යාමට වියදම් හා කතුවරුන්ගේ දිරිගැන්වීම ඉතා වැදගත්. සමහර වාර්තාකරණ සඳහා නීතිමය උපදෙස් ලබා ගන්නටද සිදුවෙනවා.

අද අප සඳහන් කළ දකුණේ මාධ්‍යවේදීන්ට අමතරව යාපනයේ උදයන් පත්‍රයේ දිලීප් අමුදන් මාධ්‍යවේදියාද බහුවිධ තොරතුරු ඉල්ලුම්පත් හරහා මාධ්‍යකරණයේ නියැලෙන්නෙක්. ඔහුගේ අභියාචනා කීපයක් තොරතුරු කොමිසම හමුවටද පැමිණියා.